This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Friday 28 May 2021

ලංකාව - සල්ලිවලට ඕනෑ කුනුගොඩක් කරගහන රටක්?

සල්ලි හම්බවෙනවා නම් ඕනෑ කුනුගොඩක් ගොඩගහගන්න රටක් වෙලා දැන් ලංකාව. 

කුවේටයේ ඉදන් ඉංදියාව වෙනකම්ම වරායවල් ගානක් වැද්ද නොගත්ත මේ නැව කොලඹ වරායට එන්න දෙන්නේම මොනවා හරි වුනොත් වන්දි හම්බවෙනවානේ කියන චේතනාවෙන්මයි.

ඒත් ඔය හම්බවෙන වන්දියට පුලුවන්ද මේ වෙච්ච විනාශය ආවරණය කරගන්න. බෑ. කිසිසේත්ම බෑ. දැන් මීගමුවේ ඉදන් උස්වැටකෙයියාවට නෙමේ පානදුරේ ඉදන් හලාවත දක්වාම මේ ගිනිගත් නැව කල විනාශය බලපෑම් කරනවා කියලයි කියන්නේ. 

මීගමුව පැත්තේ වෙරළ කළු වෙලා, මුහුදට විස රාසායන ද්‍රව්‍ය මුසුවෙලා, කැස්බෑවෝ රංචු පිටින් මීගමුවේ දුන්ගාලපිටියට ගොඩගහන්න පටන් අරන්ලු, ප්ලාස්ටික් කෑලි මාලූන්ගේ වරමල්වලට පවා ඇතුල්වෙලාලු, ධීවරයින්ට මුහුදු යන්න විදිහක් නෑ, වෙරළ අද්දර ධීවර කර්මාන්තයේ නිරතවුනු සුලුපන්න ධීවරයා ඉවරෙටම ඉවරයි. මීගමුව මෝය ඔස්සේ මේ ව්නාශය මීගමු කලපුවටත් පැතිරෙන එක වලක්වන්න පිටිපන මහපාලම ගාව පොලිතීන් එලාගෙන, දැල් එලාගෙන විශාල පරිශ්‍රමයක් දරනවා. 

ඇයි මේ? ඇයි මේ කොහවත් යන කුනු නැව් ලංකාව වැද්දගන්නේ ?? වැද්දගෙන මේ තරම් විනාශයක් කරගන්නේ??? දැන් ඔය හම්බවෙන වන්දියෙන් පුලුවන්ද වෙච්ච විනාශය ආවරණය කරගන්න. පරිසරයට වෙච්ච විනාශය, අපේ මුහුදුට, අපේ වෙරළට වෙච්ච විනාශ ආවරණය කරගන්න පුලුවන්ද? බෑ. කොහෙත්ම බෑ. 

රට ආර්ථික අහේනියක ඉන්න බව ඇත්ත. ගත්ත ණය ගෙවාගන්නවත් විදිහක් නැතිව ඉන්න බවත් ඇත්ත. ඒත් වන්දි හම්බවෙනවා කියලා මෙහෙම කුනුගොඩවල් කරේ තියා ගන්නවාද? 

කවුද කිව්වේ ඔය වගේ නැව් විනාශවුනත් වන්දි හම්බවෙනවා නේ කියලා? ගිය පාර නැගෙනහිර වෙරලේ ගිනිගත්ත නැවද මේ පාලකයින්ට ඉගැන්නුවේ මේ වගේ නැව්වලින් වන්දි ගන්න පුලුවන් කියල? කෝ ඒ ලැබුන වන්දි? ඒකට මොකද වුනේ? ඒක ගැන හෙව්වොත් මේ වගේ නැව් ලංකාවේ වෙරලට එන්න දෙන්නේ කවුද? ඒ ඇයි කියලා හෙලිකරගන්න පුලුවන්ද? 

හොරාකාලා පුරුදුවුනාහම මරන්න ගෙනියද්දීත් වදකයාගේ බෙරය හරි හොරකම් කරන්න තිබ්බ නම් හොදයි කියලා හිතන ජාතියේ හොරු ඉන්නවා කියලා කියනවා වගේ නැව් ගිනිගෙන මුහුදම කලුවෙලා ගියත් වන්දි ලැබෙනවා නේ කියන පාලකයෝ තමයි අපිට ඉන්නේ...

මුන් ගහකොල, සතා සිව්පාවා, ගොඩබිම විතරක් නෙමේ මුහුදත් විනාශකරලයි පස්ස බලන්නේ. එහෙම කාලකණ්ණි ආන්ඩුවක් තමයි අපිට ඉන්නේ..

මාකස් ප්‍රියන්ත පෙරේරා.
28/05/21

8 comments:

  1. මගේ වත් පොත් පිටුවේ හා බ්ලොග් වසන්තය වත් පොත් පිටුවේ පලකලෙමි!

    ReplyDelete
  2. ඔය විදිහට යමක් විනිවිද දකින්න පුලුවන් බහුතරයක් ඉන්නවනම් ලංකාව මීට වඩා හුඟක් ඉස්සරහින් ඉන්න ඕනෙනෙ. තමන්ගෙ පැත්තෙ කෙනා කරන ඕනෙම දෙයක් සාධාරණිකරණය කරන්න තමන්වත් විශ්වාශ නොකරන බොරු කියමින්, මධ්යස්තව කෙනෙක් කතා කලොත් ඒ තැනැත්තා ඉරිසියාකාරයෙක්, විරුද්ධ පක්ශයක කෙනෙක්, කඩාකප්පල්කාරයක් කියලා මහ හය්යෙන් කෑගහන එකනෙ කරන්නෙ. ඒ අතරෙ 'හිට්ලර්' ඇවිල්ල පොල්ලකින් පොඩ්ඩක් ඔලුවට තට්ටු කල ගමන් ක්ෂනිකව තමන් නීතිගරුක, විනයගරුක බබාලා බවට පරිවර්තනය වෙයි කියලා බලාපොරොත්තු වෙනවා.

    They RICHLY deserve the rulers they got!

    ReplyDelete
    Replies
    1. මම නම් හිතන්නේ බොහෝදෙනෙකුට නිදහසේ හිතන්න පතන්න නිදහසක් නෑ. ඒ අයව හැම පැත්තෙන්ම හිරකරලා. මිනිස්සු ඇත්තටම අසරණයි

      Delete
  3. මේ අනතුර වරාය නගරයට එරෙහිව කල ඉන්දියානු කුමන්ත්‍රණයක් විය හැකියි.

    ReplyDelete
    Replies
    1. කෝ ඔය කිව්ව ජාතික ආරක්ෂාව? තවම සලසාගන්න බැරිව ගියාද? මේ ආන්ඩුවත් කුමන්ත්‍රණවලට ඉඩදී බලා ඉන්නවා නම් රටේ ආරක්ෂාව සලසා ගන්නේ කොහොමද?

      Delete
    2. ඉන්‍දියාවෙදි ප්ලෑන් කරලා. මූද මැදදී ක්‍රියාත්මක කල කුමන්ත්‍රණයක්. හොයන්න නම් කේජීබීළ සී අයි ඒළ මොසාඩ් වගේ ඔත්තු සේවා අවශ්‍ය වෙයි.
      නැව් වල කෝල් ගන්නෙත් සැටලයිට් ෆෝන් වලින් ඒකෙන් අල්ලන්නත් බෑ.

      Delete
  4. කුමන්ත්‍රණය කවුරු සැලසුම් කෙරුවත්, ක්‍රියාත්මක වෙන්නේ ලංකාවේ, ඒකට සම්බන්ද පිරිසකුත් ඇතිනේ? නැව දවස් ගාණක් වරායේ නවතා තැබීම ගැනත් කියවෙනවා නේද?

    ReplyDelete