This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Tuesday 10 January 2023

'සේපාලගේ දළදා කතාව' සජබ/ජාජබ ඉලක්ක කරගත් මැතිවරණ මඩ ප්‍රචාරයක කොටසක්ද?


'සේපාල ගේ දළදා කතාව' ඇතැම්විට සමගි ජන බලවේගය මෙන්ම ජාතික ජනබල වේගයද ඉලක්ක කරගත් මැතිවරණ මඩ ප්‍රචාරයක මුල් පියවරක් විය හැක.

එසේ සිතෙන්නේ දළදා මාලිගාව, දළදා වහන්සේ සහ පත්තිරුප්පුව ආදිය මුල් කරගනිමින් මේ දිනවල සමාජ මාධ්‍යවලත්, අනෙකුත් මාධ්‍යවලත් දිග හැරෙන විවිධ පෝස්ට්, ලිපි, ප්‍රවෘත්ති සහ අනෙක් ඇතැම් වැඩසටහන් හා විවිධ දිගහැරීම් ආදිය දෙස බැලීමෙනි.

සේපාල දළදා වහන්සේ ගැන සදහන් කරමින් ආන්දෝලනාත්මක කතාවක් කියන්නේ මහනුවර නගරය මහ වැස්සට යටවීමත් සමගය. ඒ ගැන කතාකල චම්පික රණවක මහනුවර නගරය මහ වැස්සට යටවූයේ තමන් 'මෙගා' නගර සංවර්ධන ඇමැතිව සිටියදී කරගෙන යමින් සිටි මහනුවර නගර සංවර්ධන වැඩසටහන් කඩාකප්පල් වීම නිසා යැයි දක්වා තිබුනි.

හරි නම්, සේපාල වැන්නවුන් සිය වැඩසටහන් සදහා එය හොද නිමිත්තක් කරගනු ඇත. ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන ඒමට දරදිය ඇදි, සිංහල-බෞද්ධ ජාතිකවාදී නූතනත්වයක් ගැන පෙනී සිටින සේපාල වැන්නවුන්ට චම්පික රණවකගේ මහනුවර නගර සංවර්ධන සැලැස්ම කඩාකප්පල්වී හොද තොරතුරක් මෙන්ම හොද මාතෘකාවක් වීමටද ඉඩ තිබුනි. එහෙත් සේපාල ඒ වෙනුවට අල්ලගත්තේ වෙනකකි.

ඇතැම් විට, සේපාල, 75 වෙනි නිදහස් උත්සවය නිමිත්තෙන් විශේෂ දළදා ප්‍රදර්ශනයක් ඉල්ලා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මල්වතු-අස්ගිරි මහා විහාරවලට යැවූ ලිපිය එහෙන් මෙහෙන් ඉලක්ක කරගත්තා විය හැක. එසේ සිතෙන්නේ සේපාල ඔහුගේ අදාල යූටියුබ් වීඩියෝවේ "දළදාව එලියට ගත්තේ කවුද?" යනුවෙන් අහන ප්‍රශ්නය තුලය.

විශේෂ දළදා ප්‍රදර්ශනයක් පවත්වන්නේ විශේෂ කරුණක් මුල්කරගෙනය. අපල උපද්‍රව වලින් මිදීම සදහා මෙන්ම නියග, ඉඩෝරය ආදියෙන් සහනය පතාද දළදා වහන්සේ ප්‍රදර්ශනය කල බව අප අසා ඇත. දළදා වහන්සේගේ පිහිටෙන් එවැනි අවස්ථාවල නියන් ඉඩෝර හමාර කරමින් මහ වැසි වැසි බවද අප අසා ඇත. මහනුවර මහ වැසි ජලයෙන් යටවී යන අවස්ථාවක සේපාල "දළදාව එලියට ගත්තේ කවුද?" යනුවෙන් අසන්නේ ඉහතකී ජන මනස පිලිබද දැනුමකින් බව පැහැදිලිය.

ඉන් පසුව දළදා වහන්සේ සම්බන්ධ කරමින් වෙනත් දේවල් සහ ඔහු තවත් වැඩසටහනක් කරන්නේ කිසියම් ඉලක්කයක්, උවමනාවක්, අරමුණක්, වැඩපිලවෙලක් ඇතිවය.

එහි දෙවන දිග හැරුම 'වැලේ වැල් නැතිව හිටි' විමල් වීරවංශලා එල්ලීමය. සේපාල ගේ වීඩියෝව පාර්ලිමේන්තුවේත් ප්‍රශ්න කිරීමටත්, සේපාලව අත් අඩංගුවට ගෙන රදවා ගැනීමත් ඉන් අනතුරුව සිදුවේ.

ඒ සමග, රාජ්‍ය මර්ධනය, මාධ්‍ය මර්ධනය ආදිය ගැන කතා කරන සජබ/ජාජබ වැනි විපක්ෂද දළදා වහන්සේ අපහාසයට ලක් කිරීම ගැන චෝදනා කරමින් සේපාලට එරෙහිව කදවුරු බදී. මෙහිදී ජාජබ ඇතුළු ජවිපෙ සේපාලව වහා වහා ගලවා දැමීමට කටයුතු කලේ සිය කකුලේ වසා සිටි කූඩැල්ලෙකු ඉවත් කිරීමට කටයුතු කරන පරිදිමය. අතීතයේ චන්ද්‍රිකා, මහින්ද මෙන්ම සේපාල ද එක්තරා ආකාරය ඔවුන් මත පතිතවූ පිලිලයක් බව ඔවුන්ට තේරුම් යන්නට ඇත. සේපාල විවේචනය කිරීමට ඔවුන් වේගයෙන් මැදිහත්වන්නේ එහෙයින්.

සේපාලගේ කතාව මෙසේ නැගලා යන විට පොතුහැර දළදා මාලිගාවට සමාන ඉදිකිරීමක් කඩන්න යැයි කියමින් කුප්‍රකට මර්වින් සිල්වා ද කරලියට පැමිණියේය. එහිදී කවුදෝ කාන්තාවක් පැමිණ කුරුනෑගල පල්ලියකද එවැනි ඉදිකිරීමක් ඇතැයි කියමින් මර්වින් සිල්වාට කරුණු කීවද මර්වින් සිල්වා දක්වනුවේ "මම ආවේ ඒවා ගැන හොයන්න නෙමේ මේවා ගැන හොයන්න" යැයි කියයි.

ඉන් අනතුරුව මහනුවර දළදා මාලිගයේ පත්තිරුපුවට සමාන ඉදිකිරීම් දැක්වෙන ජයාරූප ෆෙස්බුක් පිටුවල සංසරණය වීමට පටන් ගනී. දළදා මාලිගයේ පත්තිරුපුවට සමාන ආනමඩුව ගම් උදාවේ උදිකල ගොඩනැගිල්ලකුත්, මහියංගනය මහජන පුස්තකාලයේ ජයාරූපත් ඒ අතර වේ. එම ගොඩනැගිලි බොහොමයක් ඉදිකර ඇත්තේ ආර්. ප්‍රේමදාස අගමැති යුගයේය. එකී ජයාරූප සමග හුවමාරුවෙන අදහස්/කොමෙන්ට් අතර 'හේමා (ප්‍රේමදාස) ත් නැග්ගා නේ පත්තිරුප්පුවට?' යනුවෙන් කතාවක්ද කියවේ. දළදා මාලිගාවේ පත්තිරුප්පුව කාන්තාවන්ට අකපැයි යන අදහසක් ඉන් ගම්‍ය වේ. 'හේමා ප්‍රේමදාස පත්තිරුප්පුවට නැග්ගා' යැයි සදහන් කරන්නේ ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයා මහනුවර දළදා මාලිගායේදී ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමය. එ අවස්ථාවට හේමා ප්‍රේමදාස මෙන්ම තවත් කාන්තාවක්ද එතැන සිටියහ. ඇය ඇතැම්විට එවකට දියවඩන නිලමේ නිරංජන් විජේරත්න මහතාගේ බිරිද විය හැක. එහෙත් විවේචකයින්ගේ ඉලක්කයවුයේ හේමා ප්‍රේමදාස මහත්මිය පමණි. එම විවේචන තුල කාන්තාවක් වීම යන්න පමණක් නොව කුල ප්‍රශ්නයක්ද මතුකලේය.

දැන් පුවත්පත්වල ජේවිපේ 88/89 යුගයේදී දළදා මාලිගාවට ප්‍රහාරයක් එල්ල කිරීම ගැන නැවත ලිපි පලවේ. නැතහොත් පරණ ලිපි නැවැත හුවමාරුවේ...

සේපාල ගේ දළදා කතාව දැන් බොහෝ දුර ගොසිනි. එය මහජනයා තුල උතුම්වු පුජා වස්තුවකට හානි කිරීමේ අවස්ථා රාශියක් සිහිකැදවා ඇත. තවත් එවැනි අවස්ථා සිහි කැදවීමට ඉඩ ඇත. මේ අවස්ථාවේ, දැනට, එය සජබ සහ ජාජබ ඉලක්ක කරගෙන ඇත. එහි දිග පලල, ඉදිරි දිග හැරීම් අපි නොදනිමු. එහෙත් බලයේ සිටින පාලක පන්තිය ජාතිය, ආගම, කුලය, භාෂාව හෝ වෙනත් ඕනෑම බෙදයකින් ජනයා බෙදා වෙන්කර දිගටම බලයේ සිටීමට ඕනෑම කුමන්ත්‍රණයක් කරනු ඇත. බෙදා වෙන්කර, එකිනෙකා කොටවා, පාලනය කිරීම ඔවුන් යටත් විජිත පාලකයින්ගෙන් හොදින් ප්‍රගුණකල පාඩමකි. සේපාල ලා යනු දැනුවත් ව හෝ නොදැනුවත්ව එකී න්‍යාය පත්‍රවල කොටස් ය. 





මාකස් ප්‍රියන්ත පෙරේරා
10/01/23

2 comments: