This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Thursday 4 November 2021

ලාංකික කිතු දන පුබුදුව ඇති කල ඔස්කා අබේරත්න පියතුමා

ගරු ඔස්කා අබේරත්න පියතුමා ස්වර්ගස්තවූ බව අසා අතීශයෙන්ම කණගාටුවට පත්වුවෙමි. ඔස්කා අබේරත්න පියතුමා මට අවසාන වශයෙන් මුණගැසුනේ මීට වසර 25කට පමණ පෙරය. ඒ ඉරණවිල ඇමරිකානු හඩ ව්‍යාපෘතිය සදහා හලාවත ඉරණවිල ග්‍රාමයේ ඉඩම් අත්පත් කරගැනීමට එරෙහිව ගොඩනැගුන ජාතික ව්‍යාපාරයේ කටයුතු කරමින් සිටි යුගයේ ය. සුදු වතින් සැරසුන කිතු දන පුබුදුවේ සමාජික සමාජිකාවන් සමග ඉරණවිල ග්‍රාමයේ කදවුරු බැදගනිමින් පාදනමස්කාර මෙහෙයන් සිදුකරමින්, පෙළපාලි, උද්ගෝෂණවල නිරතවෙමින්, දෙන දෙයක් කමින්, ලද තැනක බයිබලය දිගහැර ගනිමින් දේව වචනය මනස්කාන්ත ලෙස බෙදාගත්, මහත් අධ්‍යාත්මික ජිව ගුණයක් ප්‍රදර්ශනය කල සරල චාම් දිළිදු ජිවිතයක් ගතකල සැබෑ කිතුනු පියතුමෙක්වූ එතුමෝ දැන් සදහටම දෑස් පියාගෙනය. ඉරණවිලට එපිට කණ්ඩලමේදීද, වෙනත් අවස්ථා කිහිපයකදීම මුණගැසුන එතුමන්ව නැවත හමුනොවන බව සිහිවත්ම දැනෙන කණගාටුව අපමණය. ඊටත් වඩා පසුගිය වසර 25ක කාලය පුරාවටම කෙතරම් ඉඩප්‍රස්ථා සැලසුනද එතුමා හමුවීමට නොයෑම ගැන මා මහත්සේ ලතවෙමි. එතුමන් වැනි පියතුමෙක් නැවත හමුවීමට අවස්ථාවක් නොලැබෙන බව සිහිවනවිට අප කෙතරම් අවාසනාවන්තයෝදැයි සිතෙති. 

ඔස්කා අබේරත්න පියතුමා වඩාත්ම ප්‍රකටව පැවතියේ එතුමා බිහිකළ කිතු දන පුබුදුව නිසාය. කිතු දන පුබුදුව වූ කලී ලංකා කතෝලික සභාව තුල පැන නැගුන සුවිශේෂමවූ කිතුනු එකතුවකි. සභාව තුලත්, කිතුනු ජනතාව තුලත්, රටතුලත් අධ්‍යාත්මක, සංස්කෘතික සහ ජිවිත පුබුදුවක් ඉලක්ක කරගෙන පිහිටුවාගත් කිතු දන පුබුදුව ක්‍රිස්තියානි ජිවගුණය ප්‍රතිස්ථාපානය කිරීමට ශුද්ධාත්ම ආලෝකය ඉල්ලා හඩනගා යාක්ච්චා කල කිතුනු සංඝයකි. වෛයිවර්නවත්වුත්, අලංකාරවුත්, මහෝශාක්‍යවුත්, විනෝදවත්වුත් ජිවිතයක් ගතකල ලාංකික කිතුනුවන්ට ඉන් එහාට කිමිදී ගිය සැබෑ කිතුනු වටිනාකම් මතුකරගත් අධ්‍යාත්මික චිත්තප්‍රීතියක් සොයායන්නට කිතු දන පුබුදව මන් පෙත් විවර කළේය. එහෙත් එකී හරයන් හදුනාගන්නවා වෙනුවට ලංකික කතෝලිකයෝ කිතු දන පුබුදුව හදුනාගත්තේ සුදු අදින, තමන් උරුම කරගත් සංස්කෘතික අංගෝපාන්ගයන්ට අංචි අදින, සභා විරෝධී, දේශීයකරණය යැයි  කියමින් සිංහල-බෞද්ධ සංස්කෘතික අංග ගෙඩිපිටින් කිතුණු ජනයා මත පටවන්නට හදන එහෙටත් නැති මෙහෙටත් නැති ව්‍යාපාරයක් ලෙසය. 

එහෙත් කිතු දන පුබුදුව ද දෙවන වතිකානු මන්ත්‍රණ සභාව දිරිමත් කල 'ගිහි-සභා ප්‍රබෝධය' සහ 'දේශානුරූප සභාවක්' ගොඩනැගීම ඉලක්ක කරගෙන පිහිටවූ ජාත්‍යන්තර Charismatic Christians කිතුනු ව්‍යාපෘතියේම කොටසක්  ලෙස මෙරට  කතෝලිකයෝ හදුනා නොගත්හ. කිතු දන පුබුදුවද තම කිතුනු ව්‍යාපෘතිය සභා සම්මතයන් තුල දිරිමත්කල, ජාත්‍යන්තර මුලයකින් පැනනගින ලද  ගෝලීය කිතුනු  ව්‍යායාමයක කොටසක් යැයි යන්න හදුන්වාදීමට ප්‍රමාණවත් පරිදි කටයුතු නොකලේය. 

අඩුම තරමින් කිතු දන පුබුදුව මෙරට තුල බිහි කිරීමට ගරු ඔස්කා අබේරත්න පියතුමාට ශුද්ධාත්ම දානය ලද එතුමාගේ ජිවිත අත්දැකිමවත්  නිසි පරිදි  සෙසු කිතුනුවන් සමග කිතු දන පුබුදුව බෙදා ගත්තේ නම් මෙරට කිතුනුවන් අතර ඔවුනට වඩ වඩාත් මුල් බැසගැනිමට ඉඩ ප්‍රස්තා ලැබීමට හේතුවීමට ඉඩ තිබුණි. 

1932 මැයි 5 වෙනි දින මොරටුවේදී  උපතලද ඔස්කා අබේරත්න 1957 පෙබරවාරි 02 දින තෝමස් කුරේ කාදිනල්තුමා විසින් පුජකවරයට එසවන ලදුව තරුණ කිතුනුවන් වෙනුවෙන් වැඩ කිරීමට යොමුකරන ලද පියතුමෙක් විය.  ලෝක ව්‍යාප්ත තරුණ ක්‍රිස්තියානි ව්‍යාපාරයේ (YCS) ලංකා ශාඛාව බිහිකළ එතුමා 1957 සිට මෙරට ක්‍රිස්තියානි තරුණ කොටස් තුල ක්‍රියාකාරී වැඩ කොටසක් ඉටුකළ පියතුමෙක් විය. දැන් කටුනායක ගුවන් හමුදා කදවුරට නතුකරගෙන ඇති මීගමුව ගොලුවපොකුණ වත්තේ පැවති තරුණ ක්‍රිස්තියානි ව්‍යාපාරයේ තරුණ කදවුරුවලට මගේ දෙමව්පියන්ද තරුණ තරුණියන්ව සිටියදී සහභාගීවී ඇත. එකල කිතුනු තරුණ තරුණියන අතර අතිශය ජනප්‍රියව පැවති තරුණ ක්‍රිස්තියානි ව්‍යාපාරයට කණකොකා හැඩළුවේ 1971 කැරැල්ලත් සමගිනි. 

තමන්  අවිහිංසාවාදීව 'අපි විප්ලවය  නොකරමු, විප්ලවය අපිම වෙමු' යන තේමාව මුල් කරගත් ජෝසප් කාඩයින් පියතුමාගේ පරමාදර්ශය තුල ගොඩනැගු  තරුණ ක්‍රිස්තියානි ව්‍යාපාරයේ තරුණ තරුණියන්ද 71 කැරැල්ලට සම්බන්දවනු දැක මහත්සේ කලකිරුණු එතුමෝ සිය පුජක කැදවීම ගැනද කලකිරුණි. එය වටහාගත් එවකට කාදිනල් කුරේ හිමිපාණෝ එතුමන්ව රෝමයට යොමුකර අධ්‍යත්මික ප්‍රභවය නැවත සොයායන්නට යොමුකලේය. එතනින් ද පරිපුර්ණත්වයකට පත්වීමට නොහැකිවූ බව කුරේ කාදිනල්තුමාට අබේරත්න පියතුමා දැන්වූ හෙයින් එතුමා ඔස්කා අබේරත්න පියතුමාව එංගලන්තයේ මැන්චෙස්ටර පළාතේ විසු Bob Balkam පවුලේ නිවසේ ටික කාලකට නැවතීමට යන්න යැයි දැන්වුහ. Bob පවුලේ නිවැසියන් සමග සිටියදී ඔවුන්ගේ යැදුම් වැඩසටහනකට සභභාගිවූ එතුමා මත ඔවුන් සියල්ලන් අත තබා යාක්ච්චා කරමින් ඔබ දෙවියන්ගෙන් අපේක්ෂා කරන්නේ කුමක්දැයි විමසුහ. යහපත් පුජකයෙක්වීම සිය අපේක්ෂාව බව ඔහු ඔවුන්ට දැන්වුහ. එකෙනෙහිම තමාමත කිසියම් ශක්තියක් ආරෝපණයවූ බවත් ශුද්ධාත්මයන් තමා මත ප්‍රභාවත්වූ බව දැනුන බව එතුමෝ  ප්‍රකාශකර  ඇත. Bob Balkam ඇතුළු කණ්ඩායම ජාත්‍යන්තර Charismatic Christians කිතුනු ව්‍යාපාරයට සම්බද ශුද්ධාත්ම ආලෝකය වෙනුවෙන් වැඩකරන කණ්ඩායමක් බව සිරි ඔස්කා අබේරත්න  පියතුමා පසුව දැනගත්හ. වහා ශ්‍රී ලංකාවට පැමිණි  ඔස්කා අබේරත්න පියතුමා තම අත්දැකීම බෙදාගැනීමට කිතුනු සංඝ ගොඩනැගීමට කාදිනල් කුරේ හිමියන්ගෙන් අවසර ඉල්ලීය. ඔස්කා අබේරත්න පියතුමා පිහිටවූ ලංකා කිතු දන පුබුදුව බිහිවුයේ ඒ අනුවය.  

කිතු දන පුබුදුව ලංකික සභාවේ මෙතෙක් නොවීවිරු ලෙසින් දැඩි කිතුනු  පුබුදුවකින් කිතුනු  ජනයා අතර වේගයෙන් පැතිර යන්නට  විය. ඒ සම්බන්දයෙන් ප්‍රසංසා මෙන්ම දැඩි විවේචනද එල්ලවිය. එහෙත් ඒ සියල්ල හමුවේ එවකට ලංකික කතෝලික සභා එඩේරා ලෙස කාදිනල් කුරේ හිමියන්  ප්‍රකාශ කලේ  ''මෙය මනුෂ්‍යයන් පිරිසක් විසින් සිදුකරන කටයුත්තක් නම් එය කැඩී බිදී නවතිනු  ඇත. එහෙත්  දෙවියන් වහන්සේ විසින් සිදුකරනු ලබන්නක් නම් එය කිසිවිටකත් නොනවතිනු ඇත'' යනුවෙනි.  සිරි  ඔස්කා අබේරත්න පියතුමා ස්වර්ගස්ථ වී ඇති මේ මොහොතේ පවා කාදිනල් කුරේ හිමියන්ගේ ඒ වැකිය  අදාලය. 

ගරු සිරි  ඔස්කා අබේරත්න පියතුමාට මොක්සුව පතමු !!!

මාකස් ප්‍රියන්ත පෙරේරා 

04/11/2021

7 comments:

  1. එතුමාට මොක් සුව පතමි.

    ReplyDelete
  2. මොක්සුව අත්වේවා !!

    ReplyDelete
  3. මේ වන විටත් ඔබගේ බ්ලොගය අප අපගේ සින්ඩියට ඇතුලත් කොට හමාරය. එය "3. බ්ලොග් සඟරා" කොලමයේ දක්වා ඇත! අපට අවශ්‍ය වන්නේ බ්ලොග් ස්වර්ණමය යුගයක් යලිත් ඇතිකිරීමටය. ඒ සඳහා ඔබගේ සහයෝගයද අප නිරන්තරයෙන් බලා පොරොත්තු වෙමු. අප පිළිබඳව හැකි උපරිම ප්‍රචාරණයක් ලබා දෙන්න!

    ReplyDelete
    Replies
    1. මාවත් ඔබේ සින්ඩියට ඇතුල්කර ගත්තට ස්තුතියි. ඒවගේම මමත් ඔබේ සින්ඩිය ප්‍රවර්ධන කිරීමට සෑම සියලු සහයෝගයක්ම ලබාදෙන්නම්.

      Delete