This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Friday 29 October 2021

නිදහසින් පසු ලංකා කතෝලික සභාවට මගපෙන්වූ ලංකාවේ ප්‍රථම කාදිනල් තෝමස් කුරේ.

මීගමුවේ තවත් උදාර යුග පුරුෂයෙක් තමයි ලංකාවේ ප්‍රථම කාදිනල්වරයාවූ තෝමස් බෙන්ජමින් කුරේ කාදිනල්තුමා. අදට (29/10) එතුමා මියගොස් වසර 33ක් ගතවෙනවා. 1901 දෙසැම්බර් 28 මීගමුව පෙරියමුල්ලේ දිළිදු පවුලක එකම දරුවා ලෙස උපත ලැබූ එතුමා 1945 දෙසැම්බර් 14 වෙනිදා කොළඹ අගදරගුරුවරයා ලෙසත්,1955 පෙබරවාරි 12 වෙනිදා ලංකාවේ ප්‍රථම කාදිනල්වරයා ලෙසත් පත්කරනු ලබනවා. සිය 75 වන උපන්දිනයට මාස තුනකට පෙර එනම් 1976 සැප්තැම්බර් 2 වෙනිදා එතුමා සිය ධූරවලින් ඉල්ලා අස්වී විශ්‍රාම යනවා. ඒ 6වන පාවුළු පාප්වහන්සේ 1966දී යෝජනා සම්මතකල ආකාරයට රදගුරුවරයෙකු වයස 75වන විට විශ්‍රාමයෑම සම්බන්දයෙන් යම් සභා සම්මතයක් ගොඩනැගේමින් තිබු අවධියක. එතුමාගෙන් පසුව කොළඹ අගදරගුරුවරයා ලෙස පත්වන්නේත් තවත් මීගමුවේ යුග පුරුෂයෙක්වූ ගරු නිකුලස් මාකස් ප්‍රනාන්දු අගරදගුරුවරයායි. එතුමා ගැන මම මීට පෙර ලියා තිබෙනවා (ඒ ගැන මෙම යොමුවෙන් කියවන්න පුළුවන) 1988 අද වැනි දිනක, එනම්  ඔක්තෝම්බර් 29, තමයි එතුමා ස්වර්ගස්ථාවුයේ. 

කාදිනල් තෝමස් කුරේ අගදරගුරුවරයා නිදහසින් පසු ශ්‍රී ලංකා කතෝලික සභාව ගොඩනැගිය යුතු ආකාරය පිළිබවද මනා පදනමක් දැමු  කතෝලික සභා නියමුවා ලෙස දැක්වුවහොත් එහි කිසිවරදක් නැහැ. නිමල මරිය නිකායේ පියතුමෙක්වු එතුමා පදවි පුජක සේවය ආරම්භ කරමින් එතෙක් විවිධ නිකායවල්වලින් පියතුමන්ලා සපයාගනිමින් මීසම් සහ කතෝලික සභා ආයතනවල පුරප්පාඩු පියවීමේ දුෂ්කරතාවයන් ඉතා සාර්ථකව ජයගනු ලැබු සභා නියමුවෙක්. ඒ අනුව අම්පිටිය දෙව්සත්හල ශ්‍රී ලංකා කතෝලික පුජක පුහුණු ආයතන ලෙස ක්‍රමානුකුලව ගොඩනැගීමත්, ශ්‍රී ලංකා කතෝලික සභාව නිදහසින් පසුව ශක්තිමත්ව ගොඩනැගිමට අවශ්‍යය අනෙකුත් සියලුම අඩිතාලම් දැමිමත් ඉතා දක්ෂ ලෙස සහ දුරදක්නා නුවණකින් සැකසු උදාර සභා නායකයෙක්.

එතුමා ජීවත්වුයේ ලංකාවේ පමණක් නෙමෙයි ලෝකයේම කතෝලික සභාව නවතම ආකාරයකට ගොඩනැගු දෙවන වතිකානු මන්ත්‍රණ සභා යුගයේයි. දෙවන වතිකානු මන්ත්‍රණ සභාවේ ලංකා නියෝජිතයා වශයෙන් පමණක් නෙමෙයි දෙවන වතිකානු මන්ත්‍රණ සභාවේ ප්‍රධානියෙක් ලෙසත් විශාල වැඩ කොටසක් කල එතුමා සභාව දේශීයකරණය කිරීමේ අතිවිශාල කාර්යභාරයක් ඉටුකළ තැනැත්තෙක්. රටේ අධ්‍යාපනය තවදුරටත් ප්‍රවර්ධනය කිරීමට කතෝලික පාසල්වලින් සිදුවියයුතු සේවය තවදුරටත් ප්‍රවර්ධනය කිරිමටත්, සිනමා, කලා, විද්‍යා, අධ්‍යායන සහ විදෙස් භාෂා ක්ෂේත්‍රයන් හි නව ප්‍රවණතා ලාංකික සමාජයට හදුන්වාදීමට කතෝලික සභාවේ බරපැන දරමින් විවිධ  ආයතන බිහිකර ජාති ආගම් බෙදා නොතකා එම ආයතනවල සේවය රටේ ජනයාට ලබාදීමටත් කටයුතුකළ තැනන්වහන්සේ නමක්. ඒසා විශාල දායකත්වයක් ලබාදෙමින් රටේ අධ්‍යාපනයට නව ප්‍රවණතා හදුන්වා දෙමින් රටේ ජනයාට මහගු දොරටුවක් විවෘත කරමින් සිටිනවිට තමයි සිරිමාවෝ බණ්ඩාරනායක රජය විසින් 1962 දී කතෝලික අධ්‍යාපන ආයතන, පාසැල්, රජයට පවරා ගත්තේ. රජයේ එම තීරණය නිසා ජාත්‍යන්තර වශයෙන් ලොවම පිළිගත් ඉංග්‍රීසි භාෂාව ඇතුළුව ඉහල ගුණත්වයක් ඇති අධ්‍යපනයක් ලබමින් සිටි ලාංකික කිතුනුවන්ට පමණක් නොව සමස්ත රටේ අධ්‍යාපනයටත් මරු පහරක් වැදුනි. නමුත් පැමිනී බාධක හමුවේ සිය ජනයා ඉදිරියට ගෙනයන්නට නව මානයන් විවෘත කරගැනීමට එතුමා සමත්වූවා.

 එවැනි දහසකුත් එකක් බාධක හමුවේ කාදිනල්වරයෙකු ලෙස කතෝලික ජනයාට නායකත්වය දෙන්නේ කෙසේද? දේශපාලකයන් සමග කටයුතු කරන්නේ කෙසේද? යන්න දැනගැනීමට නම් අඩුම තරමින් 'ඥානාර්ථ ප්‍රදීපය' සහ 'The Messenger' පුවත්පත්වල හිටපු කතෘවරයෙක්වූ හෙක්ටර්  වෙලගම්පල මහත්තයා 2012දී  ලියු 'සුසිල්වත් අති උතුම් තෝමස් කුරේ  කාදිනල් යුගපුරුශයාණෝ' පොතවත් කියවන්න. එම පොතේ 65-66 වෙනි පිටුවල කියනවා ''ලංකාවේ කතෝලික සසුනේ  නායකයා වශයෙන් දේශපාලන කටයුතුවලට  කෙලින්ම මැදිහත් නොවීම කවදත් කුරේ හිමිගේ ප්‍රතිපත්තිය විය'' කි යනුවෙන්. රාජ්‍ය පාලකයන් සමග සසුන වෙනුවෙන් කතාබහ කිරීමට අවශ්‍යවුවිට එම වගකීම තම නියෝජිතයෙකුට පැවරීම වඩා යෝග්‍ය බව එතුමා දුටුයේය'' කියලත් වැඩි දුරටත්  කියනවා. යම් දෙයක් සම්බන්දයෙන් රාජ්‍ය සමග කටයුතු කිරීමට උවමනාවූ විට ඒ සදහා රදගුරු මණ්ඩලය විසින් කවුරු හෝ පත්කිරීම තමයි ලංකාවේ කතෝලික  සභාව එවකට අනුගමනය කල සම්ප්‍රදාය යැයි කියා  එම පොතේ දැක්වෙනවා. නිකලස් මාකස් අගරදගුරුවරයාත් එම ක්‍රමයම අනුගමයකලා. එහෙත් කාලය අනුව එය ක්‍රමයෙන් වෙනස්වුනා. විශේෂයෙන්ම ඔස්වල් ගෝමස් රදගුරුතුමාගේ කාලයේ පටන් ඒ වෙනස්කම් දැකිය හැකියි. රාජ්‍ය නායකයන් සමග ඍජුව හමුවී කටයුතු කිරීම ඇරබුනේ කාදිනල් රන්ජිත් මැල්කම් අගරදගුරුවරයාගේ කාලයේ සිට නෙමෙයි අගරදගුරු ඔස්වල් ගෝමස් රදගුරුතුමාගේ කාලයේ සිට බවයි මගේ නිරීක්ෂණය. 

 කාදිනල් තෝමස් කුරේ අගදරගුරුවරයා සිය මුළු ධුර කාලයටම (1965-1988) අගමැති සමග මුහුණට මූණ හමුවී කතා කර තියෙන්න 1970 අග  6වෙනි පාවුළු පාප්වහන්සේ ලංකාවට ආපු අවස්ථාවේ පමණයි. එවකට අගමැතිනිය සිරිමාවෝ බන්ඩාරනායක සා. බ්‍රිජට් (St. Bridget) පාසැලේ ආදී සිසුවියක් ලෙස එතුමාගෙන් පාසැලේ තෑගි ප්‍රධාන උත්සවයකදී  සම්මානයක් පවා හිමිකරගත් බව අගමැතිනිය පසු කලකදී සදහන් කරලත් තියෙනවා.  එහෙත්  අගමැති හෝ කිසිදු දේශපාලකයෙකු සමග හිතවත්කම් පවතවාගෙන යෑමට ඔහු උනන්දුවී  නැහැ. රටේ රාජ්‍ය නායකයාවූ අග්‍ර ආණ්ඩුකාර (පසුව ජනාධිපති) විලියම් ගොපල්ලව මහතාවත් කාදිනල් තෝමස් කුරේ අගදරගුරුවරයා හමුවී ඇත්තේ එකම එක වතාවකයි. ඒ එතුමා ලංකාවේ ප්‍රථම කාදිනල්වරයා ලෙස පත්කර පැමිණීමෙන් පසුවයි. කාදිනල්වරයා ලෙස අග්‍ර ආණ්ඩුකාර හමුවීම ගැන හෙක්ටර් වෙලගම්පල මහතාගේ කෘතියේ 150-151 පිටුවේ දක්වන්නේ මෙහෙමයි: ''තේ පැන් සංග්‍රහයක් සදහා රජගෙදරට පැමිණෙන ලෙස ලකිසුරු විලියම් ගොපල්ලව වෙතින් අගරදගුරු හිමියන්ට ඇරයිම් කෙරුණි ... කුරේ හිමියෝ 1963 ජනවාරි මස 24 වෙනිදා රජගෙදර  දී  ලකිසුරු සමග පැයක පමණවේලා සතුටු සාමිචියේ යෙදුනාහ. ලකිසුරු දේශපාලකයෙකු නොවුවත් තමන් රජගෙදරටයෑම නිසා ජනතාව අතර වැරදි අවබෝධයකට ඉඩ තැබීමට කුරේ හිමි නොකැමැති විය...'' එහින් ඒ සම්බන්දයෙන් කරුණු දක්වා කතෝලික ජනයාට නිවේදනයක් පවා නිකුත් කිරීමට එතුමා කටයුතු කර තිබුණා. ඒ තරමට ඔහු දේශපාලකයන් සමග ඇසුර ගැන පරිස්සම්වුවා. ඒ විතරක් නෙමේයි, එතුමා පෙන්වා දුන්නා 'ප්‍රජා සේවයට', දේශපාලනයට, වඩාත් සුදුසු වන්නේ යහපත් පුද්ගලයන් මිසක් නිකන් 'නමට ආගම අදහන්නන් නෙමෙයි' කියලයි. දේශපාලකයින්  සම්බන්දයෙන් එතුමාගේ මතය ඒ ආකාරයි. ඔහු ඒ බව සදහන් කර ඇත්තේ මීගමුව මහනගර සභාවේ නගරාධිපති ලෙස කිතුනුවෙකු නොවන විජයරත්නම් මහතාව පත්කරගැනීම සම්බන්දයෙන් මාධ්‍යවේදියෙකු එතුමාගෙන් අහපු ප්‍රශ්නයකට පිළිතුරක් ලෙසයි. ඕනේ නම් බලන්න හෙක්ටර් වෙලගම්පල මහත්තයාගේ ඉහත කෘතියේ 183 පිටුවේ සදහන් විස්තරය. 

කාදිනල් කුරේ එහෙම නිවැරදි පිළිවෙතක ජීවත්වූ ගැබුරු ධර්මයක්, ශික්ෂණයක් ප්‍රගුණ කල සැබෑ සභා නායකයෙක්. සුසිල්වත් ජිවිතයක් ගතකල සැබෑ සභා   එඩේරෙක්. අදටත් එතුමා නමින් යදිමින් පිහිටපතන ජනතාවක් සිටිනවා. එම නිසාම එතුමා කෙදිනක හෝ ශාන්තුවරයෙක් ලෙස නම් කිරීමට ඉඩක් තිබෙනවා. අදටත් ඒ සදහාවූ වැඩ පිළිවෙලක්  සභාව තුල ක්‍රියාත්මකවෙනවා. එතුමාගේ දේහය තැම්පත් කර ඇත්තේ එතුමා මහත් වෑයමකින් ගොඩනැගු රාගම තේවත්තේ පිහිටි ජාතික බැසිලිකාවෙයි. 

එතුමාට  මොක් සුව අත්වේවා!!!

මාකස්  ප්‍රියන්ත  පෙරේරා

29/10/2021

8 comments:

  1. මෙවැනි යහපත් මනුෂ්‍යයන් ගැන මතකය අවදිකරලීම ගැන ඔබට බොහොම ස්තුතියි.
    මා අසා ඇති පරිදි කාදිනල් තුමා සිංහල භාෂාව ගැනත් විශේෂඥ දැනුමක් තිබු කෙනෙක්.
    එතුමාට මොක් සුව අත්වේවා!!!
    ඉක්මනින්ම ශාන්තුවරයට එසවේවා!

    ඔබට ජයවේවා!
    Myself Hattor

    ReplyDelete
  2. එතුමා භාෂා 8ක් පමණ දැන සිටි බවයි මගේ අවබෝධය. ලතින්, ඉතාලි, පෘතුගීසි, ස්පාඤ්ඤ, ඉංග්‍රීසී,ඔස්ට්‍රේයානු-ජර්මන්, සිංහල, දෙමළ ආදි භාෂා එතුමා දැන සිටි බව හෙක්ටර් වෙල්ගම්පොල මහතාගේ කෘතිය සදහන් කරනවා !!

    ReplyDelete
  3. Methumala sinhala budda ayatath siya aewawan pulul kala yuthuyi..asarana una bauddaya gana misiweka hadak naganne na

    ReplyDelete
  4. නොමග ගිය කතෝලික දෙමළ තරුණයන්ව දෙමළ ජාතිවාදයෙන් මුදවාගෙන.
    සිංහල සංස්කෘතිය මෙරට කේන්ද්‍රීය සංස්කෘතිය බව ඔවුන්ට අවබෝධකරදීමට මෙතුමා විශාල වැඩ කොටසක් කලා.

    ReplyDelete
  5. දෙමළ තරුණ කැරලිකාරිත්වය වර්ධනය වෙන අවදියේ මෙතුමා විශ්‍රාම ගිහිල්ලා හිටියේ. එහෙත් 71 කැරැල්ල අවදියේදී සහ කැරැල්ලේන් අනතුරුව තරුණ ජීවිත රැකගන්න මෙතුමා සක්‍රියව දායකවුනා.

    ReplyDelete
  6. ආදර්ශමත් පැවිදි වරයෙක්. විශේෂයෙන්ම අද කාලෙ වෙසෙන ඕනෑම පූජක වරයෙකුට.
    කාලයේ අවාසනාව වෙන්න ඇති ඒ වගේ උතුම් මිනිසුන් බිහි නොවන්නේ

    ReplyDelete
    Replies
    1. ඇත්තටම අද පැව්දි අයගෙන් බොහොමයක් සැපසම්පත් සහ තාන්නමාන්න වෙනුවෙන් ක්‍රියාකරනවා වෙන්න පුලුවන්. එහෙත් ගුණ යහපත් කම් ඇති, අර්ථයෙන් ධර්මයෙන් ජීවිතාදර්‍ර්ශයෙන් සමාජ යහපත් තැනක් කරන්න කටයුතු කරන පැවිදි අය බොහෝ දෙනෙක් තවමත් මේ සමාජයේ ඉතිරිවෙලා ඉන්නවා.

      Delete