This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Monday 25 October 2021

කොලින් පවෙල් (Colin Powell)-ඇමරිකානු ඉතිහාසයේ ඉහලින්ම ඔසවා තැබූ බෆොලෝ සොල්ජර් (Buffalo Soldier)

Black History Month කියන්නේ කළු ජාතිකයින්ගේ පීඩිත ඉතිහාසයට එරෙහිව ඔවුන්ගේ අභිමාවත් නැගීසිටීම් සමරන මාසයක්. ඇමෙරිකාවේ සහ කැනඩාවේ මේ සැමරුම යෙදෙන්නේ පෙබරවාරි මාසේ. එහෙත් යුරෝපයේ බොහෝ රටවල, විශේෂයෙන්ම බ්‍රිතාන්‍යයේ, Black History Month නම් කළු ජාතිකයින්ගේ පීඩිත ඉතිහාසයට එරෙහිව ඔවුන්ගේ අභිමාවත් නැගීසිටීම් වාර්ෂිකව සමරන්නේ ඔක්තෝම්බර් මාසේදීයි. ඇමෙරිකාවේ සහ කැනඩාවේ මේම සැමරුම පෙබරවාරි මාසේ යෙදීමට හේතුවක්ව ඇත්තේ 13 වෙනි ව්‍යවස්ථා සංශෝදනය ඔස්සේ වහල් සේවය සහ දාසකම තහනම්කල (abolished slavery and involuntary servitude) ඇමරිකාවේ 16 වෙනි ජනාධිපති ඒබ්‍රහම් ලින්කන්ගේ (Abraham Lincoln) උපන් දිනය පෙබරවාරි 12 යෙදීමත්, ඇමරිකාවේ කළු ජාතිකයන්ගේ නිදහස් සටනේ පුරෝගාමියෙකුවූ ෆෙඩ්රික් ඩග්ලස්ගේ (Frederick Douglass) උපන් දිනය පෙබරවාරි 14 යෙදීමත්  කරනුකොට ගෙනයි. 

මා මේම  Black History Month ගැන අවධානය යොමුකලේ මේ ඔක්තෝම්බර් මාසය නිසාවත්, Black History Month පටන්ගත් Association for the Study of Negro Life and History නම් වූ අධ්‍යනය ආයතනය පිහිටවූ Carter G. Woodson ගැන කතා කිරීමටවත් නොව, ඔක්තෝබර් 18 වෙනිදා පශ්චාත් කෝවිඩ් තත්වයක් නිසා මියගිය Colin Powell ගැන අවධානය යොමුකිරීමටයි.

කවුරුත් දන්නා ලෙස  කොලින් පවෙල් (Colin Powell) යනු ඉරාකය සහ පැනමාව ආක්‍රමණය කල ඇමෙරිකානු  හමුදා ප්‍රධානියායි. ඇමෙරිකානු මිලිටරි යාන්ත්‍රණයේ ප්‍රකට චරිතයක්. ආක්‍රමණිකයෙක්, මර්ධකයෙක්, ඇමරිකානු ප්‍රචණ්ඩ රාජ්‍ය යාන්ත්‍රණයේ නියමුවෙක්. ඒ සියල්ල අවිවාදිත සත්‍යයන්. එහෙත්  ඒ අතරත් ඔහු ගැන කියවෙන තවත් කාරණයක් තමයි ඔහු ඇමෙරිකාවේ ප්‍රථම කළු ජාතික හමුදා ප්‍රධානියාය මෙන්ම  ඇමෙරිකාවේ ප්‍රථම කළු ජාතික රාජ්‍ය ලේකම් වරයාය කියන කාරණා. ඇත්තටම මම අවධානය යොමුකරන්නේ සුදු ජාතිකයන ආධිපත්‍ය දැරූ  එම තනතුරුවලට ඔහු වැන්නෙක් පත්වුයේ කෙසේද යන්න  ගැනයි. ඔහු ඉතාම පහල තැනකින් පැමිණි, අප්‍රතිහත ධෛර්ය මත සිය ජීවිතය ගොඩනගාගත්ත දැවැන්ත මනුෂයෙක් බවය ඔහුගේ ජිවිත කතාව දෙස හැරී බැලිමේදී පෙනීයන නමුත් වැඩි දෙනාගේ අවධානය යොමුනොවන කරුණක්. 

කොලින් පවෙල් (Colin Powell)ගේ පියා ජැමෙයිකාවෙන් ඇමෙරිකාවට සංක්‍රමණයවූ කළු ජාතිකයෙක්. මවද ස්කොට්ලන්තයෙන් ඇමරිකාවට සංක්‍රමණයවූ  තැනැත්තියක්. පියා වරාය ලිපිකරුවෙක් ලෙසත්, මව ඇදුම් මසන්නියක් ලෙසත් සේවයකල සාමාන්‍ය මිනිස්සුන්. කොටින්ම කොලින් පවෙල් (Colin Powell) වයස අවුරුදු 13-14 වෙද්දීම නැගෙනහිර යුරෝපායයෙන් ඇමෙරිකාවට සංක්‍රමණයවු ජුදෙව් ජාතිකයන් පවත්වාගෙන ගිය කඩයක වැඩ කිරීමට පවා ගොස් ඇති අගහිගකම්වලින් යුතු දරුවෙක්. පාසැල වියේදී එතරම් දස්කම් නොදැක්වූ සාමන්‍ය අධ්‍යාපනයක් ලැබපු තැනැත්තෙක්. එහෙත්  පවෙල්ගේ ජීවිත කතාව කියවනවිට පෙනීයන දෙයක් තමයි ඉහත සදහන්කල ජුදෙව් කඩේ වැඩකිරීමටයාම තුල පවෙල් ගොඩනගාගත් යුදෙව් මිනිසුන්ගේ ඇසුර ඔහුගේ ජිවිතයට, ඔහුගේ සමාජනුයෝජනයට, ඔහුගේ ජිවිතයේ ඉදිරිගමනට විශාල ලෙස බලපාලා ඇති බව. ඇත්තවශයෙන්ම, නැගෙනහිර යුරෝපයේ යුදෙව් මිනිස්සුන් කතා කරන යිඩිෂ් (Yiddish) යුදෙව් බස පවා පවෙල්ට හොදින් කතා කිරීමට හැකිව තිබුනා. වරක් ඇමරිකානු රාජ්‍ය ලේකම්ව සිටියදී ඊශ්‍රායෙල් මාධ්‍යවේදියෙකුට ඔහු ප්‍රසිද්ධියේ පිළිතුරු දුන්නේ යිඩිෂ් (Yiddish) යුදෙව් බසිනුයි. ගැටවරවියේ සිට ඉහතකී යුදෙව් ජනයා සමග පවෙල් ගොඩනගාගත් ඇසුර වෙනත් සමවයසේ කොලු නාඩයන් සහ ඇසුරට ලක්වී එක් එක් මාවත්වලට යොමුවෙනවාට වඩා ඔහුව කිසියම් දිශානතියක් කෙරෙහි   යොමුකරන්නට  ඇති බව මගේ කියවීමයි. 

කෙසේවෙතත් කොලින් පවෙල් (Colin Powell) ගේ ජිවිතය ගොඩනැගෙන්නේ ඔහු ඇමෙරිකානු හමුදාවට එක්වූවායින් පසුවයි. ඔහු 1958දී විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක්ව සිටියදී ඇමරිකානු අතිරේක හමුදාවේ නිලනොලත් නිලධාරියෙක් ලෙස ස්වේචා පදනමකින් (Reserve Officers) ඇමරිකානු  පාබල හමුදාවට එක්ව සිටියා. පසුව විශ්ව විද්‍යාලයෙන් පිටවූ හැටියේම දෙවෙනි  ලුතිනන් කෙනෙකු ලෙස ඇමරිකානු නිත්‍යය හමුදාවට බැදුනි. එසේ පටන් ගත් ඔහුගේ හමුදා ජිවිතයේ තීරණාත්මක මංසංධියවුයේ වියට්නං යුද්ධයයි. ඔහු තුවාල ලබා ටික දවසකට රෝහල් ගත්ව පවා සිට සුවවී නැවත සක්‍රිය හමුදා සේවයට යොමුවන්නේත්උසස්වීමක් ලද හමුදා නිලධාරියෙකු ලෙසයි. වියට්නාම් යුද්ධයේ මෙහෙයුම් කිහිපයටම ඔහු නායකයත්වය දී තිබෙනවා. වියට්නාම්  යුද්ධයෙන් පසුව ඇමැරිකානු හමුදා උපදේශකයෙක් බවට පත්වූ ඔහු 1987දී රෝනඩ් රේගන් (Ronald Reagan) ජනාධිපතිවරයාව සිටියදී ඇමරිකාවේ  ජාතික ආරක්ෂක උපදේශක ලෙස පත්කර ගන්නවා. ඉන් අනතුරව බලයට පත් ජෝර්ජ් බුෂ් (ජෝර්ජ් බුෂ් සීනියර්-George H. W. Bush) ඔහුව ඇමරිකානු හමුදාවේ ජෙනරාල්වරයා ලෙසත් ඇමරිකානු හමුදා ප්‍රධානියා ලෙසත් (Chairman of the Joint Chiefs of Staff) 1989දී පත්කරනු ලබනවා. එය පිමි කිහිපයකින් පෙරට පැමිණීමක්. අවසානවශයෙන් ඔහු නතර වුයේ ඇමරිකාවේ ප්‍රථම කළු ජාතික හමුදා ප්‍රධානියා ලෙස පමණක් නොවෙයි, එරට ප්‍රථම කළු ජාතික රාජ්‍ය ලේකම්වරයා (United States Secretary of State) බවට පත්වීමෙනුයි. ඒ 2001දී ජෝර්ජ් බුෂ්ගේ පුතාවූ George W. Bush ජනාධිපතිවරයා යටතේයි. 

පසුකලක ටෙක්සාස් ප්‍රාන්තයේ තෙල් සමාගමක අධ්‍යක්ෂකයෙක් ලෙස ව්‍යාපාරිකයෙක් වශයෙන් බුෂ් පවුල සමග ඔහු ගොඩනගාගෙන තිබුණු සම්බන්දය ඔහුගේ ප්‍රගමනයන්ට වඩා හේතුවූ බවට පිළිගත හැකි තර්කයක්. එහෙත් සුදු මිනිස්සුන්ගේ ආධිපත්‍යයක් පවතින ඇමරිකන් ඉහල හමුදා නිලධාරිතන්ත්‍රය සහ රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රයට මුලසිට පුහුණුකරන සුදු ජාතිකයන් රාශියක් අභිබවා එකී තනතුරුවලට යම්  අභියෝගයක් සහිතව පත්වීම දක්වා පැමිණීමත් එක්තරා  ආකාරයක කොලින් පවෙල්ගේමවූ අරගලයක ජයග්‍රහණයක්. 

ඔහු එම සේවය අවසන් කරනෙත් යුද්ධය පිලිබදව ඔහුගේමවූ මතවදයකුත් ඉදිරිපත් කරලයි. "Powell Doctrine"  ලෙස එම මතවාදය තුල යුද්ධය ආරම්භය මෙන්ම අවසානයත් මුලෝපායික සැලසුමකින් සමන්විතවුවක් වියයුතු බව ඔහුගේ ඉගැන්වීමයි. එය දැනටමත් හමුදා අද්ෂ මෙහෙයුම් අධ්‍යනවල හදාරන්නක්, උගන්වන්නක්. ඒවගේම බෆොලෝ සොල්ජර් (Buffalo Soldier) ලෙස  - බොබ් මාලිගේ (Bob Marley) අර්ථයෙන්ම හදුන්වන 'ඇමරිකාවේ කළු ජාතික හමුදා සෙබළුන්ගේ අතරින් වඩාත්ම සාර්ථකවූ මෙන්ම ඔවුන්ගේ දායත්වය සහ වීරත්වය (legacy of the Buffalo Soldier) පෙරට ගෙනගිය කළු හමුදා සෙබලා සලකන්ත් පවෙල්ව පිළිගැනීමට ලක්වෙනවා  - Powell has been a long time champion of recognising the legacy of the Buffalo Soldier at the post.

ඉතින් කළු ජාතිකයින්ගේ පීඩිත ඉතිහාසයට එරෙහිව ඔවුන්ගේ අභිමාවත් නැගීසිටීම සිහිකරන Black History Month මාසේයේම අභිමානවත් කළු ජාතිකයෙක් ලෙස මියයෑමට ලැබීමත් කොලින් පවෙල් (Colin Powell)ගේ භාග්‍යයක් නෙමේද? 

මාකස් ප්‍රියන්ත පෙරේරා 

25/10/2021

4 comments:

  1. තොරතුරු රැසක් සොරා ගතිමි!

    ReplyDelete
    Replies
    1. ගන්න ගන්න, කිසි අවුලක් නෑ.

      Delete
  2. අපූරුයි ලිපිය.
    මට තියෙන ප්‍රශ්නේ (ඔහු එතරම් කළු ජාතිවාදයෙන් බැට කෑවාදැයි දනුනෑ) ඔහු යම් පීඩිත තත්වයක පසුවෙලා හිඳල පසු කාලීනව ඔහුම පීඩිතයෙකු වීම.
    පසු ගිය දශක දෙක තුන දිහා ආපහු හැරිල බැලුවාම ඇමරිකාව මැද පෙරදිග ඇතුළු මධ්‍යම ආසියාවට කළ හානිය සුළුපටු නෑ. අවසානයට ඇෆ්ගනිස්තානය ට පවා.
    ඔබ කියනාකාරයට එයට සෘජු දායකත්වයක් කොලින් පවෙල් සපයා තිබෙනවා 😒😒😒

    ReplyDelete
  3. ඔහුගේ හමුදා ජීවිතයේ මුල්කාලයේදී කළු නිසා යම් යම් පීඩාවන්ට පත්වු බව සදහන්. එහෙත් ඔහු වරක් සදහන්කර ඇත්තේ වර්ගවාදීන්, ජාතිවාදීන්, අන්තවාදීන් ඕනෑම තැනක සිටිය හැකිවූවත් ඔවුන්ට රිසිසේ ක්‍රියාකල හැකිලෙස බලය හැසිරවීමට ඉඩනොතිබිය යුතුබවයි. එහිලා ආයතනය තුල ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත් කිරීම වගේම, ප්‍රජාතන්ත්‍රවාදී ආයතනය බලගැන්වීමත් ඔහුගේ අරමුණවී තිබුනා. ඔහු දිගින් දිගටම කළු හමුදා භටයින්ගේ සහ කළු ජාතිකයන්ගේ ගැටලුව ගෑන මැදිහත්වුවෙක්. හමුදා නිලධාරියෙක් වශයෙන් නම් මර්ධකයෙක් තමයි.

    ReplyDelete