This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Wednesday, 29 March 2023

විජේවීර නන්දසිරි අත්හරින විට නන්දසිරි නම අගට දාගත් සනත්

සනත් නන්දසිරි කියන්නේ අපි කවදත් කැමැතිම ගායකයෙක්...

ඔහු ගායනා කල “එදා මෙදා තුර”, “ලස්සන නම් නෑ පෙනෙන්නේ”, “එක යායට මල් පීදුණු බිම් තීරේ”, “මම නම් ආසයි අහන්න නයනා”, “වරදක් කළත් සිතකින් නොවෙයි”, වගේ සින්දු අපි 'සෙට්වුනාම' කියන සින්දු අතර නොවරදාම කියන සින්දු කිහිපයක්...

ඒ එක්කම, කපුගේ ගේ, අබේවර්ධන බාලසූරියගේ, අපි කැමැතිම ගීත කිහිපයකම සංගීතය නිර්මාණය කරලා තියෙන්නේත් සනත් නන්දසිරි කියලා දැක්කහම සනත් නන්දසිරිට අපේ ඇති රුචිකත්වය තවත් ඉහල යනවා...

ඒ වගේම, සනත් නන්දසිරි කියන්නේ අමරදේව ගෙන් පස්සේ කොළඹ සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ කුලපති වෙලා හිටිය, සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ ඉගැන්නූ, සම්මානිත මහාචාර්ය ධූරයකින් පිදුම් ලැබූ, 'සංගීත් නිපුන්' කියන ඉංදියානු රාගධාරී සංගීත උපාධිය දිනාගත් ප්‍රථම ලාංකිකයා, ඉංදියාවේ ලක්නව් වල භාත්ඛණ්ඩ සංගීත විද්‍යාලයෙන් විශාරද උපාධිය හැදෑරූවෙක්...ආදි කරුණු කාරණා දැන ගත්තහම අපි 'සෙට්වුනාම' අහන/ගයන ගායකයා ගැන අපිට ඇතිවෙන්නේ ගෞරවයක්, සැලකිල්ලක් සහ උපහාරයක්...

හැබැයි සනත් නන්දසිරි ගැන මට තිබුන ඒ බුහුමන එක මොහොතක අවුල් වෙලා ගියා ඒ එයා ගේ බිරිද මල්කාන්ති නන්දසිරි (බදින්න කලින් මල්කාන්ති පීරිස්) 2008 මාර්තු 16 ලංකාවේ Sunday Observe පත්තරයට දීලා තිබුන interview එකකදී...

ඉංග්‍රීසි කථා කරන, ඉහල මධ්‍යම පාන්තික කතෝලික පවුලක හැදී වැඩුන මල්කාන්ති කියනවා; 'මගේ නව යොවුන් විය හරිම සුන්දරයි. අපිත් ‘වැලන්ටයින් දිනය’ සැමරුවා. ඒ කාලේ සාන්ත වැලන්ටයින් වෙනුවෙන් යාච්ඤා කරලා රෑ කෑම නොකා නිදාගන්න පිලිවෙතක් තිබුනා. ඒ පිලිවෙත අනුගමනය කලාම අපේ අනාගත සහකරු ගැන සිහින දැකීමට අපට හැකි වෙනවා (ඇය ඒ කාලේ අනිවාර්යෙන්ම Charlotte Bronte ගේ Jane Eyre වගේ නවකතා කියවපු කෙනෙක් වෙන්න ඕනේ) කියලා අපි විශ්වාස කලා. ඒ සඳහා අපි වැලන්ටයින් සාන්තුවරයාට පවා යාච්ඤා කළා. මමත් එක පාරක් අර පිලිවෙත අනුගමනය කලා. නමුත් මට සිහිනෙන් පෙනුනේ කාවද දන්නවාද? - බෝතල් පත්තර කාරයෙක් ව" ('My teenage years were wonderful. And we too celebrated ‘Valentine’s Day’. On that day we used to pray for St.Valentine and go to bed without having dinner. We believed that this practice would let us give an opportunity to dream of our future partner. We even prayed to the saint for that. I too did it once. But you know what I dreamt of; a ‘Bothal Paththara Karaya’...) කියා දක්වා තිබුණා.

මොකක්... බෝතල් පත්තර කාරයෙක් ව....සනත් නන්දසිරි බෝතල් පත්තර කාරයෙක්ද? කියලා මට එක පාරටම හිතුනා..

මල්කාන්ති එහෙම කියලා නෑ, එහෙම සම කරන්නත් බෑ, ඒ මට හිතිච්ච දේ...ඒත් මල්කාන්ති නන්දසිරි/බදින්න කලින් මල්කාන්ති පීරිස් ගේ 2008/03/16 Sunday Observe පත්තරේට දීලා තිබුන ඒ interview එක කියවද්දී මට හිතුන දේ තමයි සනත් නන්දසිරි ගෙයි, මල්කාන්ති පීරිස් ගෙයි පැහැදිලි පන්ති පරතරයක් තියෙනවා කියන එක.

මල්කාන්ති (මුතුතන්ත්‍රීගේ රන්ජනී මල්කාන්ති කාමෙල් පිරිස් 
- Muthuthanthirige Ranjani Malkanthi Carmel Peiris) කියන්නේ කලින් කිව්ව විදිහටම ඉංග්‍රීසි කථා කරන, ඉහල මධ්‍යම පාන්තික කතෝලික පවුලක හැදී වැඩුන කාන්තාවක්. ඇයගේ පියා හැරිසන් පිරීස් (Harrison Peiris). අදටත් පලවන ලංකාවේ පැරණිම පුවත්පත වන ඥානාර්ථ ප්‍රදීපය කතෝලික පුවත්පතේ ඉංග්‍රීසි පුවත්පත වන the ‘Catholic Messenger’ පුවත්පතේ අවුරුදු 35 ක්ම කතෘ. ප්‍රසිද්ධ ඉංග්‍රීසි කවියෙක්. ලෙස්ටර් ජේමිස් පිරිස් ලගේ, චිත්තම්පලම්ලා ගේ, ලෙස්ටර් ගාඩිනර්ලාගේ, D.B. ධනපාල ලාගේ, A.S මචාඩෝලගේ සමකාලීනයෝ, ගජයෝ. මම දන්නේ නෑ ඇයි එයා ඒයාගේ දරුවන්ට මල්කාන්ති, කුමාර, නිර්මලා, නිරංජලා, සකුන්තල, මනෝජ් වගේ නම් දැම්මේ කියලා (Shyam Selvadurai ගේ Cinnamon Gardens නවකතාව කියවද්දි ඒ කාලේ, ඒ වගේ පංති පදනමක් තියෙන මිනිස්සුත් ඒවගේ නම් යෙදීම ගැන අරුමයක් හිතෙන්නේ නෑ...) සමහරවිට මල්කාන්තිටයි එයාගේ සහෝදර/සහෝදරියන්ටයි නම් දාන්න ඇත්තේ එගොල්ලන්ගේ අම්ම වෙන්න ඇති. ඇය තමයි මල්කාන්තිව ලංකාවේ ගුවන් විදුලියේ සිංහල ගායනයටත් යොමු කරන්නේ...

ඇයට සනත් නන්දසිරිව හම්බවෙන්නේත් ගුවන් විදුලියේ දී, වැඩියෙන්ම කුළු පගවුනයි කියන්නේත් සනත් නන්දසිරි සංගීත අධ්‍යක්ෂණය කල 'මාර පරාජය' කියන වෙසක් නාට්‍යයේ දී ලු, මල්කාන්ති ත් එහි චරිතයකට පණ පොවලා තියෙනවා. සනත් නන්දසිරිව ගුවන් විදුලියේදී හමුවීම ගැන මල් කාන්ති අර Sunday Observe පත්තරේ interview එකේ කියලා තියන්නේ; "දැක්ක ගමන් වදින්න හිතුනා... ඉංදියාවේ ඉදලා ආව ගමන්.. (හින්දි නළුවෙක් වගේ) ඉංදියන් කාරයෙක් වගෙයි... ඔහුගේ සංගීතයෙන් ඇය මුසපත්වුනා.. සිංහල කතා කලෙත් හරි වෙනස් විදිහට...එයා යෝදයෙක් මම ලිලිපුට්ටෙක්... (“My love for him was not one at first sight; it was a respect in abundance; a grand feeling; enthralling. I was mesmerised with the music he played. And I thought he was an Indian. He looked like an Indian and spoke in Hindi with the others around him. I felt he was even pronouncing Sinhala words differently. I was almost worshipping him. He was a giant and I was like a Liliput before him,”) ඔය වගේ විදිහටයි ඇය ඔහුව හමුවීම සදහන් කරලා තිබුනේ...

කොහොමවුනත්, සනත් නන්දසිරිව හමුවීම තුල ඇත්තටම වුනේ, එතෙක් Elvis Presley ලා, Jim Reeves ලා, Cliff Richard ලා, Nat King Cole ලා අහ අහ හිටිය මල්කාන්ති පිරීස්ගේ ලෝකයට ඉංදියානු රාගධාරී සනත් නන්දසිරි අරක්ගැනීමයි.

සනත් නන්දසිරි කිව්වට සනත් නන්දසිරගේ වාසගම නන්දසිරි නෙමේ. එයාගේ තාත්තගේ නම H.M. ව්ලියම් පෙරේරා. සනත් එයාගේ තාත්තගේ පෙරේරා වාසගම ගත්තේ නෑ.. නන්දසිරි කියලා නමකිනුයි ප්‍රසිද්ධ වුනේ.. 1960 ගණන්වල ඔය කාලේම තමයි නන්දසිරි විජේවීර නන්දසිරි කෑල්ල හලලා රෝහණ කියලා නමකින් ප්‍රසිද්ධ වෙන්නේ... විජේවීර නන්දසිරි කෑල්ල හලනවා, සනත් නන්දසිරි කෑල්ල එකතුකර ගන්නවා...

ඒ ක්‍රියාවන් දෙකටම රටේ සිංහල-බෞද්ධ-ජාතික- අනන්‍යතාවය පිලිබද ඒ වන විට රටේ තිබුන පෙලගැස්ම බලපාන්න ඇති...

සනත් නන්දසිරිත් හැදෙන්නේ ඒවගේ වටාපිටාවක, ජීවත්වන්නේ ගොතටුවේ, ස්කොලේ යන්නේ මහා බෝධි මහා විද්‍යාලයට, තරුණ කාලේ ගත කරන්නේ බොරැල්ලේ තරුණ බෞද්ධ සංගමයේ (YMBA), සංගීත හාණඩය (instrument) ලෙස තෝරාගන්නේ තබ්ලාව, එක්කෝ පොලීසියට යන්න ඕනේ නැත්නම් ඉංදියාවට ගිහින් සංගීත හදාරන ඕනැයි කිව්වහම තාත්තා කොන්ත්‍රාත්කරුවෙක් විදිහට යම් ආර්ථික හැකියාවක් තිබු තැනැත්තෙක් නිසා ඔහුව ඉංදියාවට යවනවා...ඒ කාලේ වැඩි ගාණකුත් නෑ... එහෙම අවුරුදු 6 විතර ඉදලා ලංකාවට ආවහම ගුවන් විදුලියට සම්බන්ධ වෙන්න පුලුවන් වෙනවා...සංගීත ගුරුපත්වීමකුත් ලබා ගන්න පුලුවන් වෙනවා.. ඉතින් ඒ අතින් ජීවිතයට පදනමක් දාගන්න පුලුවන් වෙනවා...

හැබැයි එයාගේ ජීවිතයේ සාර්ථකත්වය ගොඩ නැගෙන්නේ මල්කාන්තිව බැන්දයින් පස්සේ... ආගම සහ පවුල් පසුබිම නිසා මල්කන්තිගේ පවුලේ අය මුලින් විරුද්ධවුනත් ජයට මගුල් කාල තමයි බැදලා තියෙන්නේ. 1971 සිරිමාවෝ ගේ කාලේ, හාල් පෝලිම්, සලාක ක්‍රමයට බඩු බෙදන කාලේ, ජයට මගුලක් ගන්නවා කියන්නේ ලේසි නෑ... හැබැයි සනත්-මල්කාන්තිලා එහෙම කරලා.. දාහකට විතර ආරාධනා කරලා මගුල් ගෙවල් තුනක්ම අරන් තියෙනවා...

කොහොමවුනත් මල්කාන්ති වැලන්ටයින් සාන්තුවරයාට යාච්ඤා කරලා, රෑ කෑම නොකා නිදාගෙන, හිනෙන් දැක්ක ඇගේ අනාගත සහකරුවා බෝතල් පත්තරකාරයෙක් නොවෙයි කියලා සහතික කරන්න නම් මල්කාන්ති මගුල් ගෙදර දවසේ ඉදලා කටයුතු කරලා තිබෙනවා...

සංගීත වැඩ, ඉගැන්වීම් ආදියට අමතරව සනත් නන්දසිරි වාහන අංගනයක් පවත්වාගෙන ගිය සහ වෙනත් ව්‍යාපාර කටයුතුවල නිරතවුනු ව්‍යාපාරිකයෙක් කියලත් කියනවා...ඒ වගේම ඔහු 2001 දී කොළඹ කෝට්ටේ ට UNP එකෙන් චන්දේ ඉල්ලු වා. කොහොමත් මහින්ද ගේ දෑත ශක්තිමත් කරන්න පස්සේ ගියත් සනත් නන්දසිරි ලා උපන්ගේ UNP කාරයෝ, දේශපාලකයින්ට කඩේ ගිය කලාකරුවන් / ගායකයින්ගේ සංගම්වල එයා ආරම්භ සභාපති වරයෙක්. UNP යේ මහවැලි ගීතයවුනු 'ගංගා එන්නකෝ ගංගා' ගීතය කිව්ව අබේවර්ධන බාලසූරිය මෙයාගේ මස්සිනා... සනත් නන්දසිරි මල්කාන්ති පිරිස්ව බැන්දයින් පස්සෙ ඒ පවුලේ අනෙක් සහෝදරියන් වූ නිර්මලා, නිරංජලා බැන්දෙත් ගායකයෝ, මම හිතන්නේ ඒගොල්ලත් බෞද්ධ වුනා.. සකුන්තලා විතරක් පිලිපීනයේ Radio Veritas එකේ වැඩකලා..

කොහොම හරි මල්කාන්ති පිරිස් හිනෙන් දැක්ක ඇගේ අනාගත සහකරුවා බෝතල් පත්තරකාරයෙක් නම් නොවී සනත් නන්දසිරි නම් විවිධ ක්ෂේත්‍රවල සාර්ථක තැනැත්තෙක් බවට නම් පත්වුවා...එහෙත් ඔහු ලාංකික සංගීත ක්ෂේත්‍රය තුල කිසියම් තීරණාත්මක කාර්යභාරයක් ඉටුකලාද? නොමැකෙන සලකුණක් සටහන් කලාද? ඒක නම් විවාද ජනකයි...!! ඉංදියානු සංගීත දැනුමක් අරන් ආව සනත් නන්දසිරිට, බටහිර රුචිකත්වයක්, ඉංග්‍රීසි කියවීමක්, සංස්කෘතික සංදර්භයක් තිබුන මල්කාන්ති පීරිස් වගේ කෙනෙක් එකතුවුනාම නවතම ආකාරයක ඉදිරිගමනක් බලාපොරොත්තු වියහැකි වුනත් එවැන්නක් සිදුවුනේ නෑ... එහෙම මිශ්‍ර සංස්කෘතික අනන්‍යතාවයක් ඇති පරම්පරාවක් රටේ බිහිවුනෙත් නෑ... වුනේ රටේ මහා සංස්කෘතිය විසින් ක්ෂුද්‍ර සංස්කෘතිය අවශෝෂණය කරගැනීමයි. බෞද්ධ සංස්කෘතිය කතෝලික සංස්කෘතිය අවශෝෂණය කරගැනීමයි. ඉතින් සංස්කෘතික අනන්‍යතාවයන් දෙකක් තිබූ සනත් - මල්කාන්තිගේ විවාහය තුල අලුත් මිශ්‍ර සංස්කෘතික අනන්‍යතාවයක් බිහිවෙයි කියලා බලාපොරොත්තු වෙන්නත් බෑ. ඇතැම් විට ඔවුන්ගේ කුළුදුල් පුතා ගේ මරණය නොවන්නට ඔවුන්ගේ නිර්මාණ මෙයටත් වඩා වෙනස් වෙන්නත් තිබුනා... ඒත් ඔවුන් දෙදෙනා මහත් ආදරයකින් බැදී සිටි දෙදෙනෙක් බව නම් සදා සත්‍යයක්!!

සුබ ගමන් !!!

මාකස් ප්‍රියන්ත පෙරේරා

29/03/23

4 comments:

  1. shirt eka nathiwa sarma pitin delkanda handiye meyawa dakala thiyenwa ma raata

    ReplyDelete
  2. හොඳ ලිපියක්. ආදරණිය ආදරය කල ගායකයෙක්

    ReplyDelete
  3. මමත් ඔය කතාව අහලා තියෙනවා

    ReplyDelete