This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Wednesday 18 May 2022

රනිල් වික්‍රමසිංහ සොයන අසඩක්ලා කවුද?

රනිල් වික්‍රමසිංහ ඊයේ (17/05/22) පාර්ලිමේන්තුවේ දී කියනවා එයා වැල් පාලමේ කොතනද ඉන්නේ කියලා දන්නේ නැහැල්ලු...ඒ කතාව සම්බන්ධ කලේ ඔහු ඊට පෙර දින (18/05/22) කල කතාවේ අවසානයේ උපමා-රූපකව ඉදිරිපත් කල හුණු වටයේ කතාවේ දරුවා රැගෙන වැල්පාලමේ යන ගෲෂා ගේ කතාවටයි.

උපමා-රූපක ඕනෑ කෙනෙකුට විවිධ අර්ථ දැනෙන ලෙස විග්‍රහ කරගන්න පුලුවන්...ඒ හින්දා සමහරු හුණුවටයේ කතාවේ දරුවා මයිකල් කුමරු නිසා රනිල්ගේ උපමාවේ දරුවා නාමල් යැයි විග්‍රහ කර තිබුනා...ඒක එක අර්ථ දැක්වීමක්.

එහෙත් රනිල් ගේ හුණුවටයේ උපමා කතාවේ ගෲෂා ඔහු නම් දරුවා රට, රටේ අර්ථිකය සහ රටේ අනාගතය, විය යුතුයි.

ඒ උපමාව තුල රනිල් කියන්න හදන්නේ රට අමාරු අඩියක වැටිලා තියෙද්දී, වගකීමක් අරන් කරගෙන යන්න කෙනෙක් නැතිව සියල්ලෝ කරා අරිද්දී හුණුවටයේ කතාවේ සේවිකාවක් වූ ගෲෂා මයිකල් කුමරුව අරන් අබලන් වැල් පාලමෙන් එගොඩවෙලා දරුවා ව සුරක්ෂිත කලා වගේ තමනුත් රටේ අගමැති කම භාරගත්තේ රට ගොඩ දාන වැඩේ කරන්න කියන එක තමයි අදහස...

රනිල් ට එහෙම රට ගොඩදාන්න පුලුවන්ද? බැරිද? කියන එක පස්සේ බලන්න පුලුවන්. හැබැයි රනිල්ගේ ඒ උපමාව තුල රටේ ආර්ථිකය ගැන වගේම ඔහුගේ දේශපාලන අනාගතයත් දකිනවා කියලයි මගේ අදහස.

හුණුවටයේ කතාවේ ගෲෂා මයිකල් කුමාරයාව බේරාගෙන වැල් පාලමේනුත් එතරවෙලා ළමයව යන්තම් ලොකු කර ගත්තාහම ළමයගේ වදාපු මව, නටෙල්ලා අබෂ්විල්ලි බිසව, එනවා දරුවාගේ අයිතිය ඉල්ලන්.

නාට්‍යයට අනුව දරුවාගේ අයිතිය හිමි වෙන්න ඕනේ හදපු අම්මටද? වදපු අම්මටද? කියන එක විසදන්න වෙන්නේ නඩුකාරයා වෙච්ච අසඩක් ට. අසඩක් දරුවාගේ අයිතිය ගැන තීරණය ගන්නේ හුණු වටයක දාලා ලමයව දෙපැත්තට අදින්න කරලා තීන්දු කරලා එහිදී දරුවාගේ අත අත් හරින ගෲෂා ට දරුවාගේ භාරකාරත්වය හිමි කිරීමෙන්.

දැන් ඒ දරුවා නෙමේ රනිල් ගේ හුණුවටයේ උපමා කතාව දිහා බැලුවොත්, මේ වෙලාවේ දරුවා අතහරිනව ද? අසඩක් ගේ තීන්දුව දෙන වෙලාවේ දරුවා අතහරිනවද? කියලා තීන්දුවක් ගන්න වෙලා තියෙද්දී හුණුවටයේ ගෲෂා වගේ රනිලුත් තමන්ට කොහොමත් අයිතියක් ඇති දරුවෙක් ට කරගහනවා...දරුවා බේරගෙන ලොකු කරගත්තහම උරුමක්කාරයෝ හොයන් එයි කියලත් දන්නවා...එදාට තමන්ගේ ඉරණම තීන්දු කරන්නේ අසඩක් ලා කියලත් දන්නවා...

ඉතින් කවුද මේ අසඩක්ලා...රටේ මිනිස්සු වෙන්න ඕනේ...ඔහු පෙර දින (18/05) කතාවෙත්, ඊයේ (17/05) පර්ලිමේන්තුවේත් කිව්ව අපි මේ පාර්ලිමේන්තුවේ සංස්කෘතිය වෙනස් කරන්න ඕනේ නැත්නම් ආපහු අපිට එන්න පාර්ලිමේන්තුවකුත් ඉතුරුවෙන්නේ නෑ කියලා ඔහු කියන්නේ මේ පාර්ලිමේන්තුවට විතරක් නෙමේ රට ට මයි. රටේ මිනිස්සුට ඇහෙන්න තමයි ඔහු කියන්නේ...ඔහු කියන්නේ රටේ මිනිස්සුට අසඩක් ලා වෙන්න කියලා නෙමේද? ඔහුගේ විතරක් නෙමේ මේ බලයේ ඉන්න, මේ පාර්ලිමේන්තුවේ ඉන්න අයගේ අනාගතය තීන්දු කරන අසඩක්ලා රටේ මිනිස්සු කියලා හිතේ තියන් නෙමේද ඔහු එහෙම කතා කියන්නේ...

අපි දන්නවා රනිල් කියන්නේ ජනතා හඩට කන්දීපු නායකයෙක් කියලා ඉතිහාසයක් තියෙන පාලකයෙක් නෙමේයි... එහෙම නම් ඇයි දැන් අවසාන තීන්දුවක් ගන්න පුලුවන් අසඩක්ලා වැනි ජනතාවක් ගැන රනිල් වැනි ජනතාවට කන්දීමේ ඉතිහාසයක් නැති පාලකයෙක් හිත යොමුකරන්නේ...

මම කියන්නේ අන්න ඒක තමයි අරගලය මේ රටට උරුම කලේ...දැන් රටේ අවදිවූ ජනතාවක් ඉන්නවා...ඒ ජනතාව තමයි අවසාන තීන්දුවක් ගන්නේ...ගෝල්ෆේස් අරගල භූමියට ගහද්දී දුවගෙන ආවේ අරගලය එහෙම මැඩපවත්වන්න දෙන්න බෑ.. මේක අපේ අරගලයක් කියල හිතපු ජනතාව..හෝටල් වල..අවට කොම්පැනිවල... වරායේ.. සේවය කල ජනතාව..කොළඹ අවට වතුවල ජනතාව..අවට හිටිය මිනිස්සු...ඒ ජනතාවගේ නැගිටීම පාවිච්චි කරලා සමහරු ගිනිතැබීම්, කොල්ලකෑම් ආදියත් කලා..ඒවා අනුමත කරන්න බෑ..හැබයි ජනතාවක් ලෙස රටේ මිනිස්සු නැගී සිටියා...එහෙම අවදියෙන් ඉන්න ජනතාවක් දැන් රටේ ඉන්නවා කියලා ඔප්පු කලා.

අන්න ඒකයි අරගලයේ ජය...

උන්නත් දහයි, මලත් දාහයි, කියලා හිතලා රනිල් බලයට කර ගැහැවත් ඔහු උනත් දන්නවා ඇති දැන් බලය තියෙන්නේ ජනතාව අතේ මිසක් පාර්ලිමේන්තුවේ ඉන්න උන් අතේ නෙමේ කියලා.. ඒත් ඒක පාර්ලිමේන්තුවේ අයට තවම තදින්ම දැනිලා නෑ වගේයි..ඒකට තව කොච්චර කල් යයිද කියන්න දන්නේ නෑ..හැබැයි ඒ තාක් මේ අරගලය දියත්වෙන්නම ඕනේ...

මාකස් ප්‍රියන්ත පෙරේරා

18/05/22

6 comments:

  1. හොඳ ලිපියක් මාකස්.

    ReplyDelete
  2. කවදාවත්ම දැනෙන්නෙ නෑ! ඒ ගැන බලාපොරොත්තු තියාගන්න එපා!

    ReplyDelete
    Replies
    1. දැනෙයි, එතකොට පරක්කු වැඩිවෙයි.

      Delete
  3. ඒ අදහස හරි මචං. රනිල් හදන්නේ පාර්ලිමේන්තු ක්‍රමය බේරා ගන්න

    ReplyDelete
    Replies
    1. ඇත්ත. එයා මේ ක්‍රමයේ ආරක්ෂකයෙක්..

      Delete