This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Thursday 12 May 2022

ජනාධිපතිවරයාගේ සංයුක්ත වැඩපිලිවෙල

ඊයේ ජනාධිපතිවරයාගේ කතාව අසා සිටියෙමි. එය ඔහු මෙතෙක් කල කතා කිහිපයටම වඩා වෙනස් ස්වරූපයක කතාවක් බව පසුගිය මාස කිහිපයේ ඔහු කල අනෙකුත් කතා දෙක, තුනක් නැවත නැරබීමෙන් වුවද පෙනී යනු ඇත.

මෙවර ඔහුගේ කතාව සංයුක්ත වැඩපිලිවෙලක් පිලිබදව අදහසක් ඉදිරිපත් කරයි.

මීට පෙර පැවැත්වු ඔහුගේ අනෙකුත් කතාවල පැවැති වියුක්ත, ව්‍යාකූල සහ විසිරුණු ස්වරූපය ඊයේ කතාව තුල නොතිබුණු බව මගේ හැගීමයි. මෙවර ඔහු කිසියම් වැඩපිලිවෙලක්, කිසියම් න්‍යායපත්‍රයක්, දේශපාලන මාර්ග සිතියමක් ඇතිව පැමිණ තිබේ.

මෙම වැඩපිලිවෙල කාගේද? ඔහුට එවැනි වැඩපිලිවෙලක් සකස්කර දුන්නේ කවුද? යන්න පිලිබදව අවධානය කිරීමට පලමුව ඔහුගේ කතාවේ පැවැති සංදර්භය/පෙලගැස්ම කුමක්ද? යන්න විමසා බැලීම වටී.

1. කතාව ආරම්භ කරමින් - "අපේ රට ඉතිහාසයේ බරපතලම අර්බුදයකට මුහුණ දී තිබෙන අවස්ථාවක්" යැයි කියයි.

2. "විසඳුම් හැටියට විවිධ පාර්ශ්වයන් ඉදිරිපත් කල පොදු යෝජනාවක් වුයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන බහුතරයක් පක්ෂ එකතුකරන නව ආණ්ඩුවක් පිහිටුවීම " යන්නයි.

3. ඒ සදහා පලමු පියවරක් ලෙස "රාජපක්ෂවරු නැති තරුණ ඇමැතිවරුන්ගේ යුතු කැබිනට් එකක් පත්කලා" යැයි දක්වයි.

4. "අගමැතිවරයා ඉල්ලා අස්වී සමස්ත කැබිනට් මණ්ඩලයම විසුරුවා නව අගමැතිවරයෙකුට සහ කැබිනට් මණ්ඩලයකට අවස්ථාව සලසා දෙන්න එකඟතාවකට පැමිණියා." යැයි කියයි.

5. එහෙත්, 9වෙනිදා, "හමුදාව ස්ථානගත කරන්නත් කලින් සිද්ධීන් ඇතිවුනා." යැයි ද

6. "ඒ සදහා අනුබල දුන්න අයට දැඩි පියවර ගන්නවා" යැයි ද

7. ඒවගේම, "ඉන් පසුව ඇතිවු මංකොල්ලකෑම්, ජීවිත හා දේපළ හානි දෙස බලා තවදුරටත් වෛරය වපුරුවන කණ්ඩායම් හෙළා දකින්නට මේ රටේ වගකිවයුතු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින.."බවත්

8. රට අරාජිකවීම වලක්වන්න, පාර්ලිමේන්තුවේත්, රටේත් බුහුතර විශ්වාසය දිනාගත් නව අගමැතිවරයෙක් සහ රජයක් මේ සතිය අවසන් වෙන්න පෙර පිහිටුවන බවත්,

9. ඊට පස්සේ පාර්ලිමේන්තුවට වඩා බලතල ලැබෙන ආකාරයට 19 වන සංශෝධනයේ අන්තර්ගත දෑ නැවත බලාත්මක කරන බවත්,

10. පත්වන රජය රට ස්ථාවර කර ඉදිරියට ගෙන ගියායින් පසු ජනාධිපතිධූරය අහෝසි කරන්න සලකා බලන බවත් දක්වයි..

ජනාධිපතිවරයාගේ කතාව පෙලගැසී තිබුන ආකාරයටය එයයි .

එම කතාවට අනුව ජනාධිපතිවරයා දේශපාලන සංශෝධන කිහියකට එකගවී සිටි බවත් හිටපු අගමැතිවරයා සහ ඔහුගේ පාර්ශ්වය එය කිසියම් ආකාරයකින් ප්‍රමාද කිරීමට හෝ නොකිරීමට වගබලාගෙන සිට ඇති බවත් පෙනී යයි.

ඇත්තවශයෙන්ම, ජනාධිපතිවරයා රාජපක්ෂලා නැති, නව අගමැතිවරයෙක් සහිත රජයක් පිහිටුවිමට කටයුතු කිරීම තුල කිසියම් දේශපාලන සංශෝධන කිරීමට එකගබව පමණක් නොව ඒ සදහා පියවර ගනිමින් සිටින බවද කියා පෑමකි.

ජනාධිපතිවරයා දේශපාලන සංශෝධන කිරීමට පියවර ගැනීම ම අරගලයේ ජයග්‍රහණයකි.

එහෙත් ඒ අරගලය ජය ගැනීම නම් නොවේ.

අරගලය ජය ගැනීමට නම් ජනාධිපතිවරයා ඉවත්වී සමස්ථ රාජ්‍යය ව්‍යහුයම වෙනස්කිරීමක් කරා යොමුවිය යුතුය.

ජනාධිපතිවරයාගේ කතාව තුල ඔහු ඉවත්වී, සමස්ථ රාජ්‍යය ව්‍යහුයේම වෙනසක් කරා යොමුවෙන බවක් නොකියයි. ඒ වෙනුවට සංශෝධනයන් ඉදිරිපත් කරයි.

නව අගමැතිවරයෙක් යටතේ නව රජයක් යන්න මෙන්ම අන්තර්වාර / අන්තර්කාලීන පාලනයක් ආදිය ඔස්සේ ද ඉදිරිපත් වූයේ එකී සංශෝධනයන් ය.

ජනාධිපතිවරයා එකගවුවා යැයි කියන දේශපාලන සංශෝධන කිරීමට දැන් ඔහුට අවස්ථාවක් හිමිවී ඇත. ඒ මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයා ඉවත්වීම පමණක් නොව ඔහුගේ ආධාරකරුවන්ගේ සහ ඔහුගේ පාර්ශ්වයේ බලය බිදවැටීම තුලය. ඇත්තවශයෙන්ම, එකවිට දියත්වූ පොහොට්ටුවේ කෙරුමන්ගේ ගෙවල් ගිනිතැබීමද මහින්ද පාර්ශ්වයේ බලය බිදවැටීම, සහ බිද දැමීමට, හේතුවී ඇති බවට සලකුණුකි.

එවැනි අවකාශයක් තුල ජනාධිපතිවරයා එකගවු බව කියන සංශෝධන ක්‍රියාත්මක කල හැකි වනුයේ ඔහු ජනාධිපති ලෙස සිටියදීම කිසිවෙක් අගමැතිධූරය බාර ගැනීමට එකග වන්නේ නම් පමණි.

රනිල් වික්‍රමසිංහ අගමැති වෙනු ඇතැයි කියවෙන්නේ එවැනි පසුබිමකය. ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ සමග ඊයේ සාකච්ඡා කල බව මාධ්‍යය මගින් නිවේදනය කලේය. පාර්ලිමේන්තුවේ එක් මංත්‍රිධුරයක් ඇති රනිල් වික්‍රමසිංහ අගමැති වෙනවා නම් වෙන්නේ පොහොට්ටුවේ ජනාධිපතිවරයාගේ පූර්ණ අනුග්‍රහය සහ රනිල් හිතවාදී සෙසු දේශපාලන පක්ෂවල සහයෝගය ඇතිවය.

ඇත්තවශයෙන්ම, ගොල්ෆෙස් අරගලය පෙරටුකරගත් රටපුරාම දියත්වූ මහජන අරගලය විසින් රාජපක්ෂලාට ඉතිරිකර තිබුනේ විසදුම් කිහිපයක් පමණි.

1. ජනාධිපතිවරයා ඉවත්වීම

2. අගමැතිවරයා ඉවත්විම.

3.ජනාධිපතිවරයා හෝ අගමැතිවරයාගෙන් එක් අයකු ඉවත්වී ඔවුන්ට අනතුරු අවම නව පාලනයක ඉඩ කඩ සැකසීම.

රාජපක්ෂලා තෝරාගන්නේ 3 වන විසදුම බව දැන් පෙනෙන්නට තිබේ. එහිලා රනිල් වික්‍රමසිංහව අගමැති ලෙස තෝරගැනීමට ඔවුන්ගේ නඩු වැටුනු ඉතිහාසය තුල රනිල් ඔවුන්ට ලබා දුන් සහන ම හොදටම ප්‍රමාණවත් ය. ශ්‍රී ලංකාවේ රාජපක්ෂ මාෆියාව Godfather චිත්‍ර පටියේ Don Corleone ලාට වඩා දේශපාලන වශයෙන්ද ශූරය.

එමෙන්ම ජනාධිපතිවරයාගේ කතාවෙන් නොකීවද ජනාධිපතිවරයා ගේ තීරණය රටේ ජනයාට කැමැතෙන් හෝ අකමැත්තෙන් බාර ගැනීමට සිදුවන වටාපිටාවක්ද ඔවුන්ගේ දායකත්වයෙන්ම දැන් ගොඩනැගී ඇත. එනම්

1. මහබැංකුවේ අධිපතිවරයා ඊයේ ඉදිරිපත්කල රටේ ආර්ථිකයේ සෝචනීය ඉරණම තුල නව රජයක් වහා පිහිටවුයේ නැති නම් බෙහෙත් ටිකවත්, කන්නවත් නැතිවෙන බවට වු අනතුර.

2. රටපුරාම හමුදාව බලාත්මකව ස්ථාන ගතකිරීම ඔස්සේ හමුදා පාලනයක් ඇතිවේ ද යන භීතිය.

මේ තත්වය තුල ජනාධිපතිවරයා පත්කරන නව රජයක් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් බාරගැනීමට රටවැසියාට සිදුවෙනු ඇත.

එවැනි තත්වයක් තුල අරගලයට සිදුවන්නේ කුමක්ද?

මගේ අදහස නම් 'පියවරක් පස්සට, පියවර දෙකක් ඉස්සරහට' -“It is necessary sometimes to take one step backward to take two steps forward” (Lenin -1904) ක්‍රියාවට නැන්වීම වඩා උචිත බවයි.

අරගලය ඉල්ලා සිටියේ ජනාධිපතිවරයා ඉවත්වීමේ සිට සමස්ථ රාජ්‍යය ව්‍යහුයේ වෙනසකි. ඒවෙනුවට දැන් ලැබෙන්න යන්නේ සංශෝධනයකි. එම සංශෝධනය භාරගැනීමට බලකරන පසුබිමක්ද නිර්මාණය වී හමාරය. අද අරගල භූමිය සම්බන්ධයෙන් නඩු තීන්දුවක්ද නිකුත්වීමට නියමිතය.

දැන් කල යුත්තේ අරගලයේ ඉදිරි දිශානතිය සකස් කරගනිමින්, ඉදිරි වැඩපිලිවෙලක්, සම්මුතියක්, යෝජනා කර, සකස්කර, අරගල භූමියෙන්ම එය සම්මත කරගැනීමය. මින් අදහස් කරන්නේ අරගලය අවසන් කිරීම යන්න නොවේ එය අලුත් පියවරකට ගෙන යා යුතු බවයි.

මාකස් ප්‍රියන්ත පෙරේරා

12/05/22

No comments:

Post a Comment