This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Wednesday 11 May 2022

මීගමුව ජාතිවාදීන්ගේ හා වර්ගවාදීන්ගේ ඉලක්කයක් වීම

පල්ලිවල පියතුමන්ලා, පැවිදි කන්‍යා සොයුරියන්, ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවල මැදිහත්වීම් නොවන්නට මීගමුවේ මහා විනාශයක් සිදුවීමට බොහෝදුරට ඉඩ තිබුනි.

බලය අහිමිවෙමින් යන හොර නඩය ඔවුන්ට කවදත් පුරුදු ජාතිවාදී වර්ගවාදී ගැටුමක් නිර්මාණය කර හෝ නැවැත බලය තහවුරු කර ගැනීමටත්, සිය දේපල සහ පැවැත්ම අහිමිවී ගොස් ඇති බලවතුන්ගේ වෛරය, ද්වේෂ සහ ක්‍රෝධයත්, ලැබෙන අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන කාගේ හෝ දෙයක් කඩාවඩා ගැනීමට බලාසිටින අවස්ථාවාදීන්ගේත්, කුඩු කාරයින් සහ මංකොල්ල කරුවන්ගෙත්, දරිද්‍රතාවයෙන් පෙලෙන්නගෙත් එකම සංකලනයක් ලෙස දියත්වූ කොල්ලකෑම් සහ ගිනිතැබීම් ජාතිවාදී, ආගම්වාදි රැල්ලක් බවට පත්වීම වලක්වා ගැනීම මීගමුවේ ජනයා පමණක් නොව සමස්ථ ලංකාවාසීන්ම ලත් ජයග්‍රහණයකි.

එහිලා ප්‍රදේශයේ කතෝලික පියතුමන්ලාටද, කන්‍යා සොහොයුරියන්ලාටද, ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවලටද විශේෂයෙන් ස්තුතිවන්ත විය යුතුය. සැහැසිකම්වලට පාරට පැමිණ සිටි පුද්ගලයන් අතරට ගොස්,සිය ජීවිත අනතුර ගැන පවා නොතකමින්, පිරිස් සන්සුන් කිරීමට කිතුනු පියතුමන්ලා මෙන්ම වෙනත් ආගමික නායකයින්ද දැඩි උත්සහයක් ගෙන තිබුනි. ඊට නොදෙවෙනි ලෙස එම ස්ථානවලට පැමිණි ආරක්ෂක අංශ සමාජිකයන්ද කටයුතු කරමින් පිරිස විසුරුවා හැර ඇත.

ගැටුම් ඇතිකිරීමට පැහැදිලිවම පිටස්තර බලවේගයක් ක්‍රියාත්මක වෙන බව අවබෝධ කරගත් සැනින්ම මීගමුවේ වෙසෙන වෙන වෙනස් ආගම් අදහන, විවිධ භාෂා කතාකරන, විවිධ ජාතීන්ට අයත් පිරිස් එකට එකතුවී එකාවන්ව කටයුතුකර අනතුරට එරෙහිව එක්ව මුහුණ දීමට එකා මෙන් සාමුහිකව නැගී සිටියහ. එය මීගමුවේ කවදත් ඇති ශක්තිය ය.

වර්ගවාදී, ජාතිවාදී බලවේග එකී සාමුහිකවත්ය බිද දැමිමට විවිධ තුරුම්පු අදිමින් සිටී. පැහැදිලිවම මීගමුව ජාතිවාදීන්ගේ මෙන්ම වර්ගවාදීන්ගේද ඉලක්කයක් වී ඇති නගරයකි. ගෝල්ෆේස් අරගල භුමීයට නිතිපතා ශක්තිය සපයාදිමට මිගමුවන් නිරන්තරයෙන් ක්‍රියා කිරීමත්, පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉල්ලමින්, සත්‍ය යටපත් වීමට ඉඩ නොදෙමින් අඛණ්ඩව නැගී සිටීමත් තුල ජාතිවාදීන්ගේ මෙන්ම වර්ගවාදීන්ගේද කැකෑරෙන වෛරයට මීගමුව පාත්‍රවී ඇත. ඔවුන් කිසියම් හෝ මොහොතක මීගමුව ඉලක්ක කරගැනීමට යම් ඉඩක් තිබේ. එයට මුහුණදීමට මෙන්ම ඔවුන් පරාජය කිරීමටද අපට ඇත්තේ ප්‍රාජාවක්, ජනතාවක් ලෙස සාමුහිකව, එකට එක්ව නැගී සිටීමය. එහිලා මුලින්ම අපි අප අතර ඇති අගතිගාමීත්වයන් මුලුමනින්ම හෙලිදරව් කර පිටුදැකිය යුතුමය.

මේ රාත්‍රි ගෙවීගොස්, හිරු නැග එනට තවත් හොරා කිහිපයක්ම තිබේ. ඒ දක්වාද අපි අපේ උත්සහයන් අත්නොහැර අවදියෙන් සිටිමු!!!

මාකස් ප්‍රියන්ත පෙරේරා

11/05/22

1 comment: