This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Thursday 23 April 2020

බ්‍රිතාන්‍ය කොරෝනා වයිරසයට එන්නතක් අත්හදා බලයි

බලාපොරොත්තු දල්වන දවසක්!!! අද(23/04/2020) බ්‍රිතාන්‍ය කොරෝනා වයිරසයට ප්‍රතිකාරයක් ලෙස එන්නතක් අත්හදා බලන දවසක්. එය කොරෝනා වයිරසයෙන් බැටකා සිටින සෑම සියළු මිනිස් ප්‍රජාවකටම යම් බලාපොරෝත්තුවක් දල්වන්නක බව පැහැදිලිය. මේ වන විටත් බ්‍රිතාන්‍යයේ පමණක් කොරෝනා වයිරසය නිසා පුද්ගලයින් 18,100 වඩා මියගොස් ඇති අතර අඩුම තරමින් 133,495 දෙනෙකුට වයිරසය ආසාදනයවී ඇති බව සොයාගෙන තිබේ. එහින් කිසියම්ම හෝ ප්‍රතිකාරයක් පිළිබද පරීක්ෂණයක් යනු පැහැදිලිවම සුබ ආරංචියකි.

මෙම නව එන්නත නිපදවා ඇත්තේ ලෝකප්‍රකට ඔක්ස්ෆෝර් විශ්වවිද්‍යාලයේ වයිරස් පරීක්ෂණ ආයතනයවන Jenner Research Institute නම් ආයතනය විසිනි. මහාචාර්ය Sarah Gilbert ප්‍රමුඛ පරීක්ෂණ කණඩායමක් විසින් සිදුකල පරීක්ෂණ ඔස්සේ නිපදවා ඇති මෙම එන්නත දැනට හදුන්වන්නේ ChAdOx1 නම් සංකේත නාමයකිනි. තවමත් පරීක්ෂණ මට්ටමින් තිබෙන මෙම එන්නත මේ වනවිටත් සතුන් ඇතුළුව අදියර කිහිපයක පරීක්ෂණයට ලක්කර එහි ඊලග අදියර ලෙස මිනිසුන්ට එන්නත් කිරීම සිදුකරනු ඇත. ඒ අනුව අද සිට මුලින්ම ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වී ඇති 500 දෙනෙකුට මෙම පරීක්ෂණ එන්නත එන්නත් කර පසුව පුද්ගලයින් 1000ක නියැදියක් දක්වා යොමුවීමට පරීක්ෂකයන් බලාපොරොත්තුවේ. විවිධ පුද්ගලයන්ට මෙම එන්නත සිදුකරන බලපෑම ගැන අවධානය යොමුකිරීමෙන් අනතුරුව ජුනි-ජුලි මාසවනවිට සාර්ථක ප්‍රතිපලයක් අත්කරගැනීම මෙම පරීක්ෂණ කණ්ඩායමේ අරමුණය.

බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆෝර් විශ්වවිද්‍යාලයේ Jenner Research ආයතනයට අමතරව ලන්ඩනයේ Imperial Collage විශ්වවිද්‍යාලයද කොරෝනා වයිරසය සදහා ප්‍රතිකාරයක් සොයාගැනීමට දැඩි උත්සහයක නිරතවී සිටි. එම ආයතන දෙකටම බ්‍රිතාන්‍ය රජය පවුම් මිලියන 22ක බැගින් ලබා දී ඇත. සාමාන්‍යයෙන් එන්නතක් නිපදවීම වැනි මෙවැනි පරීක්ෂණ කටයුතු සදහා වසර ගණනාවක් ගතවුවද උද්ගතවී ඇති වසංගත තත්වය තුල මෙම පරීක්ෂණ ඉක්මන්කර තිබේ. 

මේ වන විට ඇමරිකා එක්සත් ජනපදය ද Biotech ආයතනයට ඩොලර් බිලියන ගනණක අරමුදල් ප්‍රධානය කරමින් කොරෝනා සදහා ප්‍රතිකාරයක් සොයාගැනීම ඉක්මන් කරන ලෙස ඉල්ලා තිබේ. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රෑම්ප් මහත් බලාපොරොත්තු තැබූ, ඉන්දියාවට පවා තර්ජනය කරමින් වහා සපයනලෙස ඉල්ලා සිටි මැලේරියා පෙත්ත හෙවත් Hydroxychloroquine නම් ඖෂධය කොරෝනා රෝගය මර්ධනය කිරීමට ප්‍රමාණවත් ප්‍රතිචාරයක් නොදැක්වීම ඊට එක් හේතුවක් විය හැක.

තවද කොරෝනා වයිරසය මැඩපැවැත්වීමට ඕස්ට්‍රේලියාව විසින් නිපදවූයේයැයි සදහන්කල එන්නතේ ප්‍රගතිය පිලිබදව වාර්තා නොලැබුනද ඕස්ට්‍රේලියාවේ කොරෝනා රෝගීන් සංඛාව පහලයෑම සහ ඇතැම් ප්‍රදේශවලින් නව කොරෝනා රෝගීන් වාර්තාවී නොමැති බවත් සදහන් පුවත්පළවේ. එකී තත්වය සහ ඕස්ට්‍රේලියාව සොයාගත්තායැයි සදහන් ප්‍රතිකාරය අතර සම්බන්දයක් තිබේදැයි යන්න තවමත් ප්‍රකාශයට පත්ව නොමැත. කෙසේවෙතත්, බ්‍රිතාන්‍යයේ හෝ ඔස්ට්‍රේලියාවේ හෝ ඇමරිකාවේ නිපදවන එනතක් හෝ වෙනත් ඖෂධයක් මහජනයා අතරට ගෙනයෑමට තවත් මාස කිහිපයක් ගතවෙන බව වාර්තාවේ.

තත්වය එසේ තිබියදීත් බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆෝර් විශ්වවිද්‍යාලයේ වයිරස් පරීක්ෂණ ආයතනයවන Jenner Research Institute විසින් අද සිදුකරන  ඔවුන්ගේ පරීක්ෂණ එන්නත මිනිස් ශරීරගත කිරීම පිලිබදව වැඩි අවධානයක් යොමුවී ඇත්තේ බ්‍රිතාන්‍යයට එන්නතක් ප්‍රතිකාර සමබන්දයෙන් ඇති කීර්තිමත් ඉතිහාසය නිසා විය යුතුය. 

ලෝකයේ ප්‍රථමවරට වසුරිය එන්නත සොයාගත් එඩ්වර්ඩ් ජෙනර් (Edward Jenner) පිලිබදව අපේ පැරණි පාසැල් පෙළපොත්වල පවා සදහන්වු බව මතකය. අද කොරෝනා වයිරසයක් සදහා එන්නතක් අත්හදා බලන ඔක්ස්ෆෝර් විශ්වවිද්‍යාලයේ වයිරස් පරීක්ෂණ ආයතනය වන Jenner Research Institute ආයතනය නම් කර ඇත්තේද වසුරිය රෝගය සදහා 1796 තරම් ඈත කාලයේදී එන්නතක් සොයාගත් එඩ්වර්ඩ් ජෙනර්(Edward Jenner) ගේ නමිනි. මේ වනවිට ලෝකයේ කුඩා දරුවන්ව සදහා විවිධ රෝග වැලක්වීම වෙනුවෙන් වැඩිම එන්නත් ප්‍රමාණයක් ලබාදෙන රට බවට බ්‍රිතාන්‍ය පත්ව සිටීමද ඔවුන්ගේ එන්නත් ප්‍රතිකාර පිළිබද ඇති කීර්තිනාමයට තවත් නිදසුනකි. 

පසුගියදා BBC ලෝක ප්‍රවෘත්ති සේවය වාර්තාකලේ මිනිසුන්ට වැළදෙන කොරෝනා රෝගය පිලිබදවද ප්‍රථමයෙන් සොයාගෙන ඇත්තේද බ්‍රිතාන්‍යයේ විද්‍යාඥවරියක් වූ ජුනි අල්මේදා (June Almeida) විසින් බවය. ඇය 1964 ලංඩනයේ ශා. තෝමස් රෝහලේ රසායනාගාරයේ සිදුකල පරීක්ෂණ තුලින් එකී සොයාගැනීම සිදුකර ඇතිබව එම වාර්තාවේ සදහන් කර තිබුණි. පසුගියදා කොරෝනා රෝගයට ප්‍රතිකාරගැනීම සදහා බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් මහතා ඇතුල්කර තිබුනේද මෙකී ලංඩනයේ ශා.තෝමස් රෝහලටය. 

මේම පසුබිම තුල බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆෝර් විශ්වවිද්‍යාලයේ වයිරස් පරීක්ෂණ ආයතනය වන Jenner Research Institute ආයතනය විසින් කොරෝනා වයිරසයට ප්‍රතිකාරයක් ලෙස නිෂ්පාදනය කරඇති පරීක්ෂණ එන්නත මිනිස් ශරීරගත කිරීම පිලිබදව කොරෝනා වයිරසයෙන් බැටකා සිටින සෑම සියළු මිනිස් ප්‍රජාවක්ම බලාපොරොත්තු දල්වාගෙන සිටීම පුදුමයට කරුණක් නොවනු ඇත. 

එහෙත් මේ සමග  අවධානය  යොමුකළ  තවත්  කරුනක්ද  ඇත. එනම් මහජනයාගේ බදු මුදල්වලින්, විද්‍යාඥනයිගේ මහත් උත්සහයකින් බිහිවෙන මෙවැනි එන්නත් සහ ඖෂධ ආදිය  මහාපරිමාණ ඖෂධය සමාගම්වලින් (pharmaceutical companies), ඖෂධ ජාවාරම්කරුවන්ගෙන් ලාභය මුල්කරගත් වැඩපිළිවල්වලින් බේරා ලෝකවාසී මහජනයාට සෙතක්  සැලසෙනසේ බේරාගන්නේ  කෙසේද යන්නයි. කොරෝනා වසංගතය හමුවේ මුඛ ආවරණවලින් (face masks) පවා මහා පරිමාණ ලාභ සෙවූ ජාවාරම්කරුවන්ගෙන් කොරෝනා වසංගතයට සොයාගන්නා ඖෂධයක්  හෝ එන්නතක් කෙසේ නම් බේරාගත හැකිවේද? 
මාකස් ප්‍රියන්ත පෙරේරා
23/04/2020

1 comment: