This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Friday 17 April 2020

නොට්‍ර ඩාමය අප තුල ඇවිලූ ගින්න

''ජීවිතය කියන්නේ නැරබීමේ ක්‍රීඩාවක් නෙමේ. බලාසිටීම නම් ඔබ කරන්න යන්නේ, ඔබේ ජීවිතේත් යන එක තමයි ඔබට බලාසිටීමට වෙන්නේ''.. (Life's not a spectator sport. If watching is all you're gonna do, then you're going watch your life go by without ya.) ඔය කථාව තියෙන්නේ වික්ටර් හියුගෝ ගේ (Victor Hugo) 'නොට්‍ර ඩාම්යේ කුදා' (The Hunchback of Notre-Dame) නවකථාවේයි. ඔය නවකථාව සහ  වික්ටර් හියුගෝගේ 'මනුතාපය' කියවපු අපි පැරිස් නගරය දැකීමටත් නොට්‍ර ඩාම් දේවස්ථානය බැලීමට යාමටත් බොහෝ ආශාකලා. ඇත්තටම  මට  ඒ සදහා  අවස්ථා  රාශියක්ම  උදාවුනා.  තවමත්  මම එක දිනකට හෝ පැරිස් නගරයට ගොඩවෙන සෑමවිටම නොට්‍ර ඩාම් දේවස්ථානය බැලීමට යාමට අමතක කරන්නේ  නැහැ.   

මම ඔය කථාව මතක්කලේ ප්‍රංශයේ පැරිස් නුවර තිබෙන නොට්‍ර ඩාම් ඓතිහාසික දේවස්ථානයේ ඇවිලුන මහ ගින්නට 15/04/2020 දිනට වසරක් උදා වෙන නිසා. ගිය වසරේ අද වැනි දවසක ඇවිලුණු මහ ගින්නකින් වසර 850ක් පැරණි මෙම ගොතික් සම්ප්‍රදායට අයත් ලෝකප්‍රකට දේවස්ථානයේ ප්‍රධාන කුළුණු දෙකක් ඇතුළුව ශෛලමය සැකිල්ලට විශාල හානියක් සිදුවුවා. ගින්නෙන් වසරක් ගෙවී ගියත් සම්පුර්නයෙන්ම යථා තත්වයට මෙම දේවස්ථානය තවමත් පත්වී නැහැ.

ප්‍රංශයේ 9 වන ලුවී රජු පැරිසියට රැගෙනවිත් මෙම දේවස්ථානයේ තැම්පත් කර තිබු ජේසුස් වහන්සේගේ 'කටු ඔටුන්න' ඇතුළුව බොහෝ කෞතුක සහ ආගමීක වස්තූන් නිරූපද්‍රිතව බේරා ගැනීමට හැකි වී තිබුණත් 12 වන සියවසේදී ඉදි කරන ලද මෙම දේවස්ථානයට සිදුවූ හානිය සිත් කම්පා කරවන සුළුයි.

මෙම ගින්න ඇතිවු සමයේම එය කිසියම්ම හෝ ලෝක විනාශයක් ඇතිවීමට නිමිත්තක් යැයි යන හැගීමක් ඒ කාලය තුලදීම ප්‍රකාශවුනේ හරියට බයිබලයේ හෙළිදරව්ව පොතේ කියවෙන 'ඒ ගින්නෙහි නැගෙන දුම' (The smoke of her burning - Revelation 18:9 ) ගැන කියවූ කෙනෙකුට මතු ඇතිවෙන තත්වයන් ගැන හැගෙන දේවල් ඒ ආකාරයටම වේදොයි යනුවෙන් ඇතිවෙන හැගීම නිසා වියයුතුයි.

ඇත්තටම, අපිට ඒ ගින්නෙන් පස්සේ කොච්චර නම් විනාශයන් ගැන අහන්න ලැබුනාද? අත්වින්දාද?

නොට්‍ර ඩාම් ගින්න අත්වී සුමානයකට පසුව ලංකාවේ පාස්කු ප්‍රහාරය...ඊට පස්සේ චීනයේ සහ ජපානයේ ස්වභාවික ව්‍යයසන.. ඊටත් පස්සේ ඕස්ට්‍රේලියාවේ ලැව් ගිනි...දැන් කොරෝනා... ඉවරයක් නැති මේ මහා විනාශයන් කීයක් නම් ඇතිවුනාද නොට්‍ර ඩාම් ඓතිහාසික දේවස්ථානයේ ගින්න ඇවිලී ගෙවී ගිය වසරක කාලය තුල?

ඒ කිසිවක් සම්බන්දයෙන් කිසිවක් කල නොහැකිව බලාසිටීම හැර වෙන කිසිවක් කල නොහැකි තත්වයට අපි සියල්ලන් අද පත්වී සිටිනවා නේද? ඇත්තටම ජීවිතය කියන්නේ නැරබීමේ ක්‍රීඩාවක් නෙමේ තමයි, බලාසිටිනවා නම් බලා සිටින්නවෙලා තියෙන්නේ ඔහේ ජීවිතේත් ගෙවිලා යන එක විතරයි...

එළියේ නම් කොච්චර ලස්සන දේවල් තියෙනවාද නරබන්න..අහෝ කොරෝනා ඔබ අප සිත්තුල ඇවිලූ ගින්නක මහත..

මාකස් ප්‍රියන්ත පෙරේරා
15/04/2020

No comments:

Post a Comment