This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Thursday 2 April 2020

කුසගින්නෙන් පෙලෙනන්ට ලතියෙන් තැලීම

කවුරු හරි බලලා තියෙනවාද Richard Attenborough අධ්‍යක්ෂණය කල Ravi Shankar සංගීතය නිර්මාණය කල Ben Kingsley ගාන්ධි ලෙස රගපාන 1982 තිරගත කල Gandhi චිත්‍රපටිය? බලලා තියෙනවා නම් මතක්වෙන්න ඕනේ ගාන්ධිගේ ලුණු පාගමන...බ්‍රිතාන්‍ය යටත්විජිත පාලකයෝ ඒක මර්ධනය කරපු හැටි...ඉන්දියාව පාලනය කල සුද්දෝ 1930 ලුණුවලට බද්දක් ගහනවා..ගාන්ධි ඒකට විරුද්ධව හැතැම්ම 240යක පාගමනක් යනවා රට මැද්දේ ඉදන් මුහුදගාවට. ගිහින් අපි සුද්දට බදු ගෙවන්න ඕනේ නැහැ අපිට පුළුවන් ලුණු හදාගන්න කියලා පෙන්නුවා. ගාන්ධිව අත්අඩංගුවට පත්වෙනවා..ඊට පස්සේ එයාගේ අනුගාමිකයෝ ගාන්ධිවගේ විරෝධය දිගටම කරගෙන යන්නවා...බ්‍රිත්නය යටත්විජිත පොලිසිය ඔවුන්ගේ හරහට හිටිනවා...එත් මිනිස්සු 10 දෙනා 10 ගානේ ඉස්සරහට එනවා පොලිසිය දිග පොල්ලකින් ඒ මිනිස්සුන්ට ගහනවා. තව දහයක් එනවා ආපහු අර පොලුවලින් ගහනවා...මේ මෙලේච්ච පහරදීම් ගැන ඇමරිකානු පත්තරකාරයෙක් වෙච්ච Webb Miller ලියනවා 'නිරායුධ ජනයාට පොලුවලින් තඩි බාන්න ඉන්දියාවට ගෙනාව බ්‍රිතාන්‍ය ශිෂ්ටත්වය මේකද?' කියලා. ඔහු සුද්දගේ රෙද්දේ ගැලවෙන්නම ලිව්වා... ලැජ්ජා හිතෙන්න ලිව්වා..

සුද්දගෙන් නිදහස් වුණායින් පස්සේ සුද්දගේ මෙලෙච්චකම ගැන කිව්ව නේරුලාම 1952 ඉන්දියාවේ ඇතිවෙන සිවිල් නීති කඩ කිරීමේ විරෝධයකට නිදහස් ඉන්දියාවේ පොලිසිය ලව්වා විරෝධයට ඇවිත් හිටිය මිනිස්සුන්ට අර පොලුවලින්ම තඩි බානවා..එලෝ එලෝ ගහනවා.. නේරු ඒ ගැන පස්සේ ජනයාගෙන් සමාව ගත්තා..

ඊයේ පෙරේදා මොදිත් මිනිස්සුන්ගෙන් සමාව ඉල්ලුව දැක්කාද? ඇයි ඒ.. පැය හතරක කෙටි දැනුම්දීමකින් ඇදිරිනීතිය දැම්මා .. කොරෝනා පැතිරෙයි කියන බයට .. ලංකාවේ වගේ එහෙන් මෙහෙන් හිසඔසවද්දීම මුළු රටටම ඇදිරිනීතියදාලා හිරකලේ ඉතාලියේ, එංගලන්ත්යේ, ඇමරිකාවේ සහ යුරෝපයේ වෙන රටවල වගේ - අපි ඔය යුරෝපයට වඩා කොච්චර හොදින් කොරෝනා පාලනය කරවා කිව්වත් - බැරිවෙලාවත් පැතිරුනොත් ආපහු මෙලෝ ගොඩවීමක් නැහැ කියලා දන්න නිසයි..මොන නරිවාදම් ගැහැව්වත් යුරෝපයේ වගේ තත්වයක් ආවොත් වැලේ වැල් නැතිවෙනවා කියලා හොදහැටි දන්නවා...

ඉතින් එකට මුහුණ දෙන්න බැරි බව දන්නා නිසා, එහෙම හැකියාවක් නැති බව දන්න නිසා , මිනිස්සුන්ට මොනතරම් අපහසුදායක තත්වයක් ආවත් රටම lockdown කරනවා .. එහෙම කරලා මිනිස්සුන්ට කියනවා අපි සියලු ක්‍රියාමාර්ග ගත්තා .. හැබැයි පැතිරුනේ මිනිස්සුන්ගේ වරදින්, මිනිස්සු කියන දෙයක් ඇහැව්වේ නැහැ කියලා මිනිස්සුන්ටම වරද පටවනවා.

එතකොට කොරනාවලට මුහුණ දෙන්න තරම් සෞඛ්‍යයක් නැති ආණ්ඩුත් බේරෙනවා.... පහුගිය අවුරුදු 70ටම අවශ්‍යතරම් intensive care unit ටිකක් නෙමේ රෝහල් ඇදන් ටිකක්වත් හදාගන්න බැරිවුණ උන්ගේ දුෂිත system එකත් බේරෙනවා..

ඇත්තටම මේ හිටිගමන් නීති දාලා, මිනිස්සුන්ට එලියට බහින්න බැරි කරලා ..අතේ සතේ නැතිකරාම මිනිස්සු මැරෙන්නේ කොරෝනාවලින් නෙමේ කුසගින්නේ.. කුසගින්නට කෑම හොයාගෙන යන මිනිස්සු මැරෙන්නේ පොලීසියෙන් අර දිගු පොලුවලින් ගුටිකාලා... ඇයි ඔය ආණ්ඩුවලට කියන්න බැරි ... අපිට මේක හැදුනොත් යුරෝපයට වගේ නෙමේ අපේ රටවලට මුහුණ දෙන්න බැහැ.. ඒ නිසා උබලා මේ විදහට පරිස්සම් වෙයල්ලා..මෙහෙම කරපල්ලා.. අපිට කරන්න පුළුවන් දේ මෙච්චරයි කියලා.... එහෙම කියපු ගමන් තමන්ගේ දේශපානය බලය නැතිවෙනවා...ආණ්ඩුවල පැවැත්ම අවලංගු වෙනවා... ඒනිසා හිටපු ගමන් සියල්ල වහලාදානවා.. මිනිස්සුන්ට ගමට යන්නත් බැහැ.. නගරේ ඉන්න රස්සාවකුත් නැහැ... හැකියාවකුත් නැහැ... මිනිස්සු සාගතයෙන් මැරුණත් ඇදිරිනීතිය දාලා බැරි නම් හදිස්සි නීතිය දාලා හරි මිනිස්සුව හිර කරලා හරි... කෑම හොයාගෙන එන උන්ට පොලුවලින් ගහලා හරි...කොරෝනා නවත්වන්න හදනවා..

මිනිස්සු කුස ගින්නේ මැරුණත් කොරෝනා ආවොත් ඒ රටවල මිනිස්සුත් ඉවරයි, ආණ්ඩුත් ඉවරයි, උන්ගේ දුෂිත system එකත් ඉවරයි.. එංගලන්තේ, ඇමරිකාව, ඉතාලිය, යුරෝපයට බැරිවුනාට අපිට පුළුවන් කියලා ඔය මොන කයිවාරු ගැහැව්වත් කරන්න පුළුවන් මගුලක් නැහැ කියලා දන්නවා.. එක හෙළිවෙනවා...උන් දන්නවා කොරෝනාවලින් ලොකුම තර්ජනය තියෙන්නේ මිනිස් ජීවිතවලට වඩා උන්ගේ ආණ්ඩුවලට, උන්ගේ පැවැත්මට, උන්ගේ දේශපාලන බල අධිකාරියට, දුෂිත system එකට..ඉතින් කොයි මොහොතේ හෝ මර්ධනය දියත්වෙනවා..පොලුපාරවල් එල්ල වෙනවා...

ඔය ගහන්න යොදාගන්න පොල්ල මොකක්ද දන්නවාද.. ඒකට කියන්නේ ලති (lathi) කියලායි. ඒක ඉන්දියාවේ වැඩවම් පාලනය තියන කාලේ ඉඩම් හිමියෝ, ඊනියා ඉහල කුලවල මිනිස්සු තමන් ගාව වැඩකරන, තමන්ට වඩා පහලයි කියලා උන් හිතන් හිටපු මිනිස්සුන්ට ගහන්න භාවිතා කරපු එකක්. බ්‍රිතාන්‍යය යටත්විජිත පාලකයෝ එක තමන්ගේ යටත් විජිත පොලිසියේ නිල ආයුධයක් බවට පත්කරගන්නවා...සම්ප්‍රදායක ප්‍රජා පීඩක පොල්ල ඔවුන්ගේ අධිකාරීත්වයේ සංකේතයක් ලෙස ආයතන ගතකරනවා. ඉන්දියාව සුද්දගේ ඔක්කොම දේවල් ප්‍රතික්ෂේප කලත් මේ මර්ධනකාරී උපකරණය නම් ප්‍රතික්ෂේපකලේ නැහැ.. අදත් උන් ඒක භාවිතා කරනවා කුසගින්නේ කෑම හොයාගෙන යන මිනිස්සුන්ට තඩිබාන්න..
මාකස් ප්‍රියන්ත පෙරේරා 
01/04/2020

2 comments:

  1. රට ලොක් ඩවූන් කළේ පාලකයන්ගේ ගැලවීමට කියන කතාව පිළි ගන්න අමාරුයි නේද?. දැන් ලෝකේ සංවර්ධිත රටවල් පවා ලොක් ඩවූන් කරලා තියෙන්නේ වෙන විකලපයක් නැති නිසා මොකද ලොක් ඩවූන් කිරීමේ ප්රතිඵල අපි හිතනවට වඩා දරුණුයි.

    ReplyDelete
  2. මිනිස්සුන්ට යම් කාලයක් දීලා ලෝක්ඩවුන් කරනවා මිසක් මේ හිටි හැටිය පය 4ක් දීලා ලෝක්ඩවුන් කරපුවහම මිනිස්සු කබලෙන් ලිපට වැටෙනවා

    ReplyDelete