This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Tuesday 21 September 2021

වැස්සට දෙකට වල්බිහිවී කටුපදුරින් වැසීයන ලංකා භුමියේ පාස්කු ප්‍රහාරයට මාස 29යි.

ඉහත ජායාරූපයෙන් දැක්වෙන්නේ 2019 අප්‍රියල් 21 පාස්කු ඉරිදා එල්ලවූ ප්‍රහාරයෙන් මියගිය කටුවපිටිය සා. සෙබස්තියන් දේවස්ථානයේ පාස්කු ඉරිදා දිව්‍ය පුජාවට සහභාගීවු ජනයා මිහිදන්කර ඇති කටුවපිටිය සුසානභුමියේ වල්පැල ආදිය ගලවමින් පිළිසකර කරන කටුවපිටිය ජනයාගෙන් කොටසකි.

වැස්සට දෙකට වල්බිහිවී සියල්ල වල්වැදී, කටුපදුරින් වැසීයන ලංකා භුමියේ මිට වසර 2කකුත් මාස 5කට පෙර, එනම් මාස 29කට පෙර, මිහිදන්කල පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වුන්ගේ සොහොන්වලට අත්වීමට නියමිතව පැවති ඉරණමවුයේද එයය. එහෙත් අප්‍රියල් 21 පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වූ කටුවපිටියේ ජනයා පමණක් නොව, කොළඹ කොච්චිකඩේ සා. අන්තෝනි පල්ලියේ  ජනයාද, මඩකලපුව සියොන් දේවස්ථානයේ ජනයාද, කොළඹ තරු හෝටල්වල විපතටපත්වූ ජනයාගේ ඥාති-මිත්‍රාදීන්ද  එකී ප්‍රහාරයෙන් විපතට පත්වූවන් අමතක කලේ නැත. අතහැරදමනලදව, වල්වැවී, වනවැදී, යටපත්වීයෑමට ඉඩහැරියේ නැත. ඔවුන්ට අත්වූ සහාසික ඉරණම වෙනුවෙන් ඔවුහු නොකඩවාම හඩනැගුහ. 

එහිලා පෙරමුණ ගත්තේ මැල්කම් රංජිත් කාදිනල්තුමා ඇතුලු  ශ්‍රී ලංකා කතෝලික සභාවය. සිය ආගමික චර්යාව අනුව  කිතුනුවන්  කිසිවිටකත් මළවුන්  අමතක කරන්නේ නැත. වසර 2000කට පෙර මරාදැමූ සිය ශාස්තෘවරයාවූ ජේසුස් ක්‍රිස්තුන්වහන්සේගේ දුක්ප්‍රාප්තිය ඔවුහු සෑම වසරකම චතාරික කාලය තුල සමරති. ක්‍රිස්තියානි ආගමික විශ්වාසය අනුව ජීවත්වූ, ක්‍රිස්තියානි ආගමික විශ්වාසය නිසා සිය ජීවිත පරිත්‍යාගකල විශ්වාසින් ප්‍රාණපරිත්‍යාගීන් / නම් කල  හෝ නම් නොකළ සාන්තුවරුන්  ලෙස සලකා සෑම වසරකම නොවැම්බර් මස පළමුවෙනිදා 'සියළු සාන්තුවරුගේ දිනය' (All Saints' Day) ලෙස ඔවුන් සමරති. සෑම වසරකම නොවැම්බරය කිතුනුවන්  සමරන්නේ  මලවුන්ගේ මාසය ලෙසය. එම මාසය තුල හෝ ඔක්තෝබර මාසයේ අගසිටම මියගිය සිය ඥාති-මිත්‍රාදීන් මිහිදන්කර ඇති  සුසාන භූමිවලට ගොස් ඒවා සුද්ද පවිත්‍රකර ඔවුන් වෙනුවන් මල් තබා, ඉටිපන්දම් දල්වමින් මියගිය ජනයා අනුස්මරණය කිරීම කිතුවන්ගේ සිරිතය. 

ඔක්තෝම්බර් අග හෝ  නොවැම්බර් මාසයේදී ඥාති-මිත්‍රාදීන් පැමිණ සුසාන භූමිය පවිත්‍ර කිරීම වනතෙක් කල්නොදමාම පාස්කු ප්‍රහාරයෙන් මියගිය කටුවපිටියේ ජනයාගේ සුසාන භූමිය වල්වැදී යටපත්වීයෑමට ඉඩනොදී පවත්වාගෙනයෑමට 'අප්‍රියල් 21ක යුක්තියට-පදනම' සංවිධානය  කටයුතුකර තිබීම සංඛේතාත්මකව නිකුත් කරන පණිවිඩය ඉතා  ඉහලය. එය එක්තරා  ආකාරයකින්  පාස්කු ඉරිදා  එල්ලවූ  ප්‍රහාරයෙන් විපතට පත් ජනයාව  කිසිසේත්ම අමතක නොකරන  බවට තවත් එක් ක්‍රියාකාරී ප්‍රකාශනයකි. මැල්කම් රංජිත් කාදිනල්තුමා ඇතුලු  ශ්‍රී ලංකා කතෝලික සභාව මෙන්ම තවත් මෙවැනි ආකාර විවිධ සමාජ, සංව්ධාන, පදනම් මෙන්ම තනි තනි පුද්ගලයින් රාශියක්ද පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වුවනට යුක්තිය  ඉටුකිරීම වෙනුවෙන්  අප්‍රතිහත ධෛර්යෙන් සහ නොපසුබස්නා වීරයෙන් යුතුව ස්වේච්චාවෙන්ම රට තුල  මෙන්ම  ඉන් පිටතත්, ගමතුල මෙන්ම  ජාත්‍යන්තරයේත්  කටයුතු කරමින් සිටින බව පැහැදිලි සත්‍යයකි. 

මේවූකලී ශ්‍රී ලංකා භූමියට සහමුලින්ම නව්‍යය තත්වයකි. සියල්ල සති දෙකෙන් අමතකවී යන්නේ යැයි කියන ශ්‍රී ලංකා ජනසමාජය තුල පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වූවන් වෙනුවෙන් දින ගණන් , සති  ගණන්, වසර දෙකකටත් වැඩි  කාලයක් පුරා, බියගැන්වීම්, තර්ජන එල්ලවීම්, වසංගත, නිරෝධායන ඇදිරි නීතින් ආදියෙන් පවා නිෂ්ක්‍රිය නොවී දිගින් දිගටම නොකඩවාම හඩනැගිමද පුදුමයකි.  පාස්කු ප්‍රහාරය පිළිබද ජනාධිපති කොමිසම්  සභා  විමර්ශනයක් සිදුවෙනතෙක් මෙන්ම  එකී  විමර්ශන වාර්තාව මහජනයාට  නිකුත්කරනතෙක් මැදිහත්වීමද, එම  වාර්තාව ඔස්සේ දෝෂදර්ශනයට ලක්කර ඇති සියල්ලන්ට  එරෙහිව  නිති අනුව  නඩු පවරන ලෙස ඉල්ලමින්  දිගින් දිගටම  නොපැකිලිව  ක්‍රියාකාරීවීමද  අපරාධ යටපත්වී  අපරාධකරුවන් නිදැල්ලේ පසුවන ශ්‍රී ලංකාවට නව්‍ය  අත්දැකිමකි. 

ඇත්තවශයෙන්ම, පාස්කු ප්‍රහාරය  පිළිබද නිසි විමර්ශනයක් සහ අපරාධකරුවන්ට නිතිය අනුව දඩුවම් හිමිවිය යුතුයයි යන්න    දැන් ශ්‍රී ලංකා සමාජයේ දින දින මුවහත්වෙන නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ  පාලනය සහ යුක්තිය ප්‍රතිෂ්ඨාපනය කිරීමේ 

අරගලයේ  සංකේතාත්මක සටනක් බවට පත්වෙමින්  ඇත. එයට හේතුවුයේ පැවති රජය මෙන්ම පවත්නා රජයද පාස්කු ප්‍රහාරය  පිළිබදව  නිසි විමර්ශනයක්  සිදුනොකර  අපරාධකරුවන්ට දඩුවම් නොදී   කිසියම් හෝ ආකාරය එය ඉබේ යටපත්වීමයෑමට කටයුතු සැලස්වීමේ ප්‍රවනතාවකින්  කටයුතු  කිරිමය. 

ඒ කෙසේවුවද, ඔවුන් බලාපොරොත්තු වූ ආකාරයට  පාස්කු ප්‍රහාරය  එසේ වල්බිහිවී යටපත්වී ගියේ නැත. මැල්කම් රංජිත් කාදිනල්තුමා ඇතුලු  ශ්‍රී ලංකා කතෝලික සභාවේ මැදිහත්වීමත්, අනෙක විධ  සමාජ, සංව්ධාන, පදනම් මෙන්ම තනි තනි පුද්ගලයින්ගේ ස්වේච්චා දායකතත්වයන්  නිසා පාස්කු ප්‍රහාරයේන්  විපතට පත්වුවනට යුක්තිය ඉටුකිරීම පිළිබද සටන දිගින්  දිගටම  ශක්තිමත්ව  වඩ වඩාත් පෙරට පැමිණ ඇත. එකී මැදිහත්වීම්, කැපවීම් නිසාම ඉදිරි සති කිහිපය තුල ත්‍රිපුද්ගල විනිසුරුවන්ගෙන්  සමන්විත  අධිකරණයකින්  පාස්කු  ප්‍රහාරයේ  විමර්ශන  ඔස්සේ අත්අඩංගුවට පත් පුද්ගලයින්ට එරෙහිව  නඩු පැවරිමකට යන බව වාර්තා වේ. එලෙස පවරන නඩුවක් තුල ප්‍රහාර පිලිබදව නිසි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ප්‍රහාරය ලක්වා නොගත් හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියාවූ  නිලන්ත ජයවර්ධන නියෝජ්‍ය පොලිස්පතිවත්, ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවීමෙන් පසුව රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා ලෙස පත්කළ මේජර් ජෙනරාල්  සුරේෂ් සාලෙයිවත්, ඉකුත්කාලයේදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ වියත්මගේ රැස්වීම්වල කථිකයෙක් ලෙස කටයුතු  කල ත්‍රස්‌තවාදී කටයුතු පිළිබද 'ස්වයං-ප්‍රකාශිත විශේෂඥයෙක්' ලෙස නම්කරගන්නා මහාචාර්ය රොහාන් ගුණරත්නවත් රජයේ  සාක්ෂිකරුවන් බවට පත්කරන බවත් මධ්‍යවාර්තා සදහන් කරයි. 

මෙම නඩු කටයුත්තේ අරමුණ පාස්කු ප්‍රහාරය ISIS ත්‍රස්‌තවාදී ගිණුමට බැහැ කිරීම බව නඩුව පැවරිමට පෙරම පෙනීයන්නකි. අනෙක් අතට  පාස්කු ප්‍රහාරය පිලිබදව විමර්ශනයකල ජනාධිපති කොමිසමෙන්  දෝෂදර්ශනයට ලක්කළ හිටපු ජනාධිපති සිරිසේන ඇතුළු නිලධාරින් සහ බලධාරීන්ට මෙකී නඩු කටයුත්ත තුල නඩු පැවරිමක් සිදුවන්නේද? නැද්ද? යන්න පැහැදිලි  නැත. එහෙත් පැහැදිලිවම  ඇතැම් නිලධාරින්  සහ  බලධාරීන්  නිදහස්වෙන බව නම් අනුමානකල හැක. මන්දයත්  ජනාධිපති  කොමිසම් සභාවේ දෝෂදර්ශනයට ලක්කර ඇති ප්‍රහාරය පිලිබදව කිහිපවරක්ම දැනුවත්කලේයැයි හෙළිවී ඇති රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියාවූ නිලන්ත ජයවර්ධන නියෝජ්‍ය පොලිස්පතිව රජයේ සාක්ෂිකරුවා කිරීමෙන් නිතියේ මුක්තිය  ඔහුට හිමිවීමට  ඉඩක් පැවතීමයි. 

මේ සම්බන්දයෙන් නීතිපතිවරයාව දැනුවත් කිරීමට හෝ ඒ සම්බන්දයෙන් විරෝධය දැක්වීමට කතෝලික සභාවට අනුබද්ධ ආයතනවල නිති කටයුතු පිළිබද විශේෂඥයින් මෙන්ම වෙනත් නීති විශාරයින්ද කටයුතු කරන බවක් වාර්තාවේ. කෙසේ වෙතත් එවැනි නඩු කටයුත්තකදී ශ්‍රී ලංකා කතෝලික සභාව සහ කාදිනල්තුමා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ෂමල් පෙරේරා  මහතාත්, නීතිඥ දුතික පෙරේරා, වරුණ සේනාධීර, ඉන්දික අබේකෝන්යන මහත්වරුත් පෙනීසිටීමට නියමිතය. 

කෙසේවෙතත්,  නඩු කටයුත්තකින් පමණක්  යුක්තිය  ඉටුවේද? අපරාධකරුවන්ට දඩුවන්  හිමිවීම වෙනුවට ඔවුන් නිදොස්වී නිදහස්වේදෝයි යන ගැන  සැකයක් මහජනයා තුල පවතී. විශේෂයෙන්ම පාස්කු ප්‍රහාරයේ විමර්ශන කටයුතු සම්බන්ධයෙන් රජය දිගින් දිගටම මන්දගාමීව කටයුතු කිරීමත්, චූදිතයන්ට නඩු දැමීමේ කටයුතු ප්‍රමාද කිරීමත්, "සොනික් සොනික්", "මෙයා අපේ එකෙක්, මේක අපේ ප්‍රොජෙක්ට් එකක්","ටාජ් හෝටලයේ බෝම්බකරු දෙහිවලදී හමුවීම", "ප්‍රහාරයෙන් පසු වගකීම භාරගැනීමට ඉන්දුනීසියාවේ ISIS නායකයින්ට කතාකිරීම", ආදී ශ්‍රී ලංකා ආරක්ෂක අංශයේ බුද්ධ් අංශවල කන්ඩායම් සහ පාස්කු ප්‍රහාරය එල්ලකල සහරාන්ගේ කන්ඩායම් අතර පැවැති සබඳතා ගැන හෙලිවී ඇති කරනු පිලිබදවත් නිසි විමර්ශනයක්  සිදුනොවීමත් ඊට හේතුවය . 

අනෙක් අතින් බොදුබල සේනා සංවිධානයේ ගලගොඩඅත්තේ ඥානසාර හිමි, සිහළ රාවය සංවිධානයේ මාගල්කන්දේ සුදන්ත හිමි වැනි අන්තවාදී බෞද්ධ සංවිධානවල භික්ෂුන් පෙරට පැමිණ කාදිනල්තුමන්වත්, කතෝලික  පල්ලියත් විවේචන කරමින්  විවිධ දෝෂ සහගත ප්‍රකාශකරමින්, වර්ගවාදය, ජාතිවාදය උඩදැමීමට  කටයුතු කරන බවක්ද පෙනීයැයි. කිතුනු ජනයාට  තවත්  ප්‍රහාරයක් එළවීමට නියමිතයැයි ගලගොඩඅත්තේ ඥානසාර හිමි හිරු රූපවාහිනී සේවයේ වැඩසටහනකදී කල ප්‍රකාශය ගැන නිසි විමර්ශනයක්  කරන මෙන්  ශ්‍රී  ලංකා කතෝලික සභාව ප්‍රසිද්ධියේ  ඉල්ලා සිටියේය. කෙසේවුවද බොදුබල සේනා සංවිධානයේ ගලගොඩඅත්තේ ඥානසාර හිමි, සිහළ රාවය සංවිධානයේ මාගල්කන්දේ සුදන්ත හිමි වැනි අන්තවාදී බෞද්ධ සංවිධානවල භික්ෂුන්ව විවේචනයට ලක්කරමින්  ශ්‍රී ලංකාවේ භික්ෂුන්  වහන්සේලාගෙන්  බහුතරයක් කාදිනල්තුමාට සහ ලංකික  කතෝලික  ජනයාට සහය පලකිරීමට පෙරට පැමිණීම අප ඉතා ඉහලින්ම  අගය  කලයුතුය. එකී සහය පලකල භික්ෂුන් අතර උගත්, සැදැහැවත්, රටපුරාම පිලිගැනීමට ලක්වූ භික්ෂුන් වහන්සේලාද සිටීම ගිහි  පැවැදි සියළු ජනයාට විශාල  ශක්තියකි.  

රටතුල යුක්තිය  සහ සාධාරණත්ව ඉටු නොවන්නේ නම්  ජිනීවා හි  පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානය ඇතුළු  ජාත්‍යන්තරයට  ගොස් හෝ  යුක්තිය  සහ සාධාරත්වය ඉටුකර ගැනීමට කාදිනල්තුමාට සහ කතෝලික සභාව ක්‍රියාකළ යුතුයැයි දැක්වීමට තරම් පාහිංගල ආනන්ද සාගර හිමියන  පෙරට පැමිණීම කාදිනල්තුමාට සහ ශ්‍රී ලංකික  කිතුනුවන්ට අන්තවාදී භික්ෂුන්ගෙන් එල්ලවන තර්ජන, ගර්ජන  සහ චෝදනාවලට එරෙහිව ලංකික බෞද්ධ සමාජය සමගම  නැගිසිටිම අත්වැල සපයන්නකි. 

ඇත්තවශයෙන්ම, අද සියල්ලන් අවශ්‍යව ඇත්තේ පාස්කු ප්‍රහාරයේ සුලමුල සැකනැතිව හෙළිකර ගැනීමය. ප්‍රහාරය  පිටුපස බළල් අත් තිබේද? ඒ කවුද? සැගවුනු න්‍යාය පත්‍ර තිබේද? ඒ මොනවාද? යන්න හෙළිකර ගැනීම අද  මෙරට පමණක් නොව  ලොව පුරාම ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා එල්ලවූ ප්‍රහාරය ගැන උනන්දුවන්න සියල්ලන්ගේ එකම අරමුණය. එකී අරමුණු ඉටුකර  ගන්නාතෙක්  පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශන  යටපත්වීයෑමට  ඉඩනොදී  රැකගැනීමට අප සියල්ලන්ගේම සහය හිමිවිය යුතුය. 

මාකස් ප්‍රියන්ත පෙරේරා. 

21/09/2021    

4 comments:

  1. මොකක්ද හැබෑට මැරුණ අයට සාධාරණයක් කරන්න ඕනෑය කියන්නේ.

    ඇසට ඇස, දතට දත, පණට පණ වගේ දෙයක්ද?

    නොදන්න කමට ඇහුවේ.

    ReplyDelete
  2. අපි පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වුවනට යුක්තිය සහ සාධාරණය ඉල්ලනේ දුෂ්ටකමින් නේම්යි, මෙවැනි දේවල් නැවත නැවත සිදු නොවිය යුතු නිසයි. ඒ හැම මනුෂයක් ගේම මනුෂ්‍ය ජීවිතයට වටිනාකමක් තියෙන නිසයි. http://marcuspriyanthaperera.blogspot.com/2019/05/blog-post_23.html

    ReplyDelete
  3. දේශපාලුවන්ට මිනිස් ජීවිතයක වටිනාකමක් තේරෙන්නේ නෑ .. මෙළොව ඉපදෙන ඕනෑම කෙනෙක්ගේ වටිනාකමක් තියෙනවා. එත් මුන්ට අවශ්‍ය උන්ගේ මඩි තරකරගන්නයි බලයේ සදාකාලිකව රැඳී සිටීම පමණි

    ReplyDelete