This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Friday 10 September 2021

විමර්ශන නොකෙරෙන තැනට වැඩකරන්න ආණ්ඩුව කාදිනල් සමග දේශපාලන චෙස් ක්‍රීඩාවේ

පාස්කු ප්‍රහාරයේ විමර්ශන කටයුතු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කතෝලික සභාව සහ ශ්‍රී ලංකා රජය අතර බරපතල විරසකයක් නිර්මාණයවෙමින් ඇතිබව දැන් පැහැදිලිය.

මෙම විරසකය නිර්මාණයවුයේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කටයුතු සම්බන්ධයෙන් රජය දිගින් දිගටම මන්දගාමීව කටයුතු කිරීමත්, චූදිතයන්ට නඩු දැමීමේ කටයුතු ප්‍රමාද කිරීමත්, "සොනික් සොනික්", "මෙයා අපේ එකෙක්, මේක අපේ ප්‍රොජෙක්ට් එකක්","ටාජ් හෝටලයේ බෝම්බකරු දෙහිවලදී හමුවීම", "ප්‍රහාරයෙන් පසු වගකීම භාරගැනීමට ඉන්දුනීසියාවේ ISIS නායකයින්ට කතාකිරීම", ආදී ශ්‍රී ලංකා ආරක්ෂක අංශයේ බුද්ධ් අංශවල කන්ඩායම් සහ පාස්කු ප්‍රහාරය එල්ලකල සහරාන්ගේ කන්ඩායම් අතර පැවැති සබඳතා ගැන හෙලිවී ඇති කරනු පිලිබදව විමර්ශනය කරන ලෙසත් ශ්‍රී ලංකා කතෝලික සභාව රජයෙන් ඉල්ලා සිටීමත් සමගය.

එකී කාරණා සම්බන්ධයෙන් අවධානය යොමුකරමින් කතෝලික සභාව රජයට යොමුකල ලිපියට ශ්‍රී ලංකා රජයෙන් ලැබුන පිලිතුර ගැන ශ්‍රී ලංකා කතෝලික සභාව සෑහිමකට පත්නොවන බවත්, අවශ්‍යවනුයේ නිසි ක්‍රියාමාර්ග ගැනීම බවත්, එසේ නොකර පාස්කු ප්‍රහාරය පිලිබද විමර්ශන කටයුතු යටගැසීමට රජය කටයුතු කරමින් සිටින බවත්, රජය නිසි විමර්ශනයක් නොකරන්නේ නම් ජාත්‍යන්තරයට යාමටවුවද පසුබට නොවන බවත් පුවත්පත් සාකච්ඡාවක් පවත්වමින් ශ්‍රී ලංකා කතෝලික සභාව ප්‍රකාශ කලේය.

එකී ඉල්ලිම් ගැන ධනාත්මකව කටයුතුකර කතෝලික සභාවේ ඉල්ලීමට යහපත් ප්‍රතිචාර දක්වා උද්ගතවෙමින් ඇති තත්වය සමනය කරගනු වෙනුවට රජය තෝරාගත්තේ දේශපාලන දාදු ක්‍රීඩාවේ යෙදිමය.

එහි මුල්ම පියවරවුයේ උද්ගතවෙමින් ඇති අභියෝගයට මුහුනදීමට අමාත්‍යය මන්ඩලයේ වෙනස්කම් කරමින් ජී. එල්. පීරිස් මහතාව විදේශ කටයුතු ඇමතිවරයා ලෙස පත්කිරීමය. ජී. එල්. පීරිස් මහතා විදේශ කටයුතු ඇමතිවරයා ලෙස අතගැසූ මුල්ම කාර්යවුයේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කටයුතු සහ ප්‍රගතිය පිළිබදව සාකච්චා කිරිමට කාදිනල්වරයාගෙන් අවස්ථාවක් ඉල්ලා සිටිමය. විදේශ කටයුතු ඇමති ජී. එල්. පීරිස් මහතා සමග සාකච්චා කිරීමට මැල්කම් රංජිත් කාදිනල්තුමා කාලය ලබාදීම ප්‍රතික්ෂේප කළේය. කාදිනල්වරයා ප්‍රකාශකලේ විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා කර ඇති ආරාධනය පිළිගැනීමට නම් පාස්කු ප්‍රහාරයේ විමර්ශන විනිවිදභාවයකින් සිදුවන බවට විශ්වාසයක් තමා තුළ ඇතිවිය යුතු බවයි. මෙහිදී කාදිනල්වරයා භාවිතාකල ''විනිවිදභාවය සහ විශ්වාසයක් ඇතිවීම'' යන වචන ඉතාමත් ඉහල බරක් සහිත වචනය බව ජාතික සහ ජාත්‍යන්තර දේශපාලන කටයුතු අධ්‍යනය කල, යුද්ධය පැවති සමයේ ශ්‍රී ලංකාවේ ගැටුම් නිරාකරණය පිලිබදව ශාස්ත්‍රීය සහ ප්‍රායෝගිකව මැදිහත්වූ, යුක්තිය, සාමය සහ සාධාරණත්වය පිළිබද න්‍යාත්මක දැනුමක් ඇති විදේශ කටයුතු ඇමති මහාචාර්ය ජි. එල්. පීරිස් මහතාට පමණක් නොව එකී රාජ්‍ය තාන්ත්‍රික සහ දේශපාලන යෙදුම් පිළිබද අවබෝධයක් ඇති සියල්ලන්ට පැහැදිලිව වැටහෙනු ඇත.

මෙහිදී ඇත්තවශයෙන්ම සිදුවුයේ මැල්කම් රංජිත් කාදිනල්තුමා මහාචාර්ය ජි. එල්. පීරිස් ඇමතිතුමාට ඔහු දන්නා භාෂාවෙන්ම පිළිතුරුදිමය.

තත්වය එසේ ගොඩනැගෙමින් තිබියදී මහාචාර්ය ජි. එල්. පීරිස් ඇමතිතුමා වෙනත් ප්‍රවෘත්ති සාකච්චාවක් කැදවා පාස්කු ප්‍රහාරයේ විමර්ශන කටයුතු පිළිබද කතෝලික සභාවේ සහ කාදිනල්වරයාගේ අසතුට වෙනත් පාර්ශවයක් උපයෝගීකරගෙන රජය අපහසුතාවයට පත්කිරිමට මෙම ප්‍රශ්නය ජීනිවා මානව හිමිකම් කොමිසම දක්වා ගෙනයාමේ අනතුරක් ඇතැයි දැක්වීය. මෙහිදී විදේශ කටයුතු ඇමති ජි. එල්. පීරිස් ඇමතිතුමා සදහන්කල 'වෙනත් පාර්ශවයන්' කවරක්දැයි යන්න පිලිබදව නිෂ්චිතව සදහන් නොකළද, රටේ ප්‍රකට මානව හිමිකම් ක්‍රියාකරුවෙකුවන, මානව හිමිකම් වෙනුවෙන් ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරවලට පවා සහභාගීවූ, බ්‍රිටෝ ප්‍රනාන්දු මහතා මීගමුව 'කටුවපිටියේ යුක්තියට පදනම' සංවිධානය සංවිධානයකල මාධ්‍ය සාකච්ජාවක අදහස් දැක්වීම නිමිතක් කරගත්තේද යන්න සලකා බැලිය යුතුය.

ඇත්තවශයෙන්ම, පල්ලියේ කෙලින්ම සම්බන්දයක් ඇතිව සහ නැතිව දැන් ගොඩනැගී ඇති පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වූවන් වෙනුවෙන් යුක්තිය ඉල්ලා පෙරට පැමිණ ඇති පුළුල් මහජන ක්‍රියාකාරිත්වය තුල බ්‍රිටෝ ප්‍රනාන්දු මහතා හෝ ඔහු සමාජිකත්වය දරන 'මීගමු ජනතා පදනම' තවත් එක කණ්ඩායමක් පමණි. එයට වඩා පුළුල් ජනතා ගොඩනැගීමක් සිදුව ඇති බව පසුගියදා දින 8ක් තිස්සේ එකදිගට ප්‍රශ්න කල ශෙහාන් මාලක ගමගේ තරුණයා වටා ඇතිවු පෙළගැස්ම ඔස්සේ රජයට ඒත්තු යන්නට ඇත .

ඒ සමග බොදුබල සේනා සංවිධානයේ ගලගොඩඅත්තේ ඥානසාර හිමි, සිහළ රාවය සංවිධානයේ මාගල්කන්දේ සුදන්ත හිමි වැනි අන්තවාදී බෞද්ධ සංවිධානවල භික්ෂුන් පෙරට පැමිණ කාදිනල්තුමන්ව විවේචන කරන්නට කටයුතු කළේය. ආණ්ඩුවේ පෙළගැස්ම මෙන්ම මෙම භික්ෂුන්ගේ පෙලගැස්ම පැහැදිවම පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශන කටයුතු ජිනීවා නුවර මානව හිමිකම් කවුන්සිලයට යෑම වලක්වා ගැනීමය. එක පැත්තකින් ජිනීවා නුවර මානව හිමිකම් කවුන්සිලය වෙත මෙම පාස්කු ප්‍රහාරය පිලිබද මෙතෙක් සිදුකර ඇති පරීක්ෂණවලින් හෙළිවී ඇති තොරතුරු අනුව වුවද සහරාන්ගේ මුස්ලිම් අන්තවාදී කණ්ඩායම් මෙන්ම බොදුබල සේනා වැනි සිංහල බෞද්ධ අන්තවාදී සංවිධාන පවා ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යාංශයෙන් පෝෂණයවූ බව හෙළිවෙනු ඇතයි සාධාරණ සැකයක්, භයක් ඔවුන්ට තිබීමට හැක.

පාස්කු ප්‍රහාරය පිලිබදව විමර්ශන ජාත්‍යන්තරයට යාමට ඉඩනොදීමට නම් රජය කල යුත්තේ පාස්කු ප්‍රහාරය පිලිබදව පිළිගත හැකි සධාරණ විමර්ශනයක් රට තුල සිදුකර පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වුන්ට යුක්තිය සහ සාධාරණත්වය ඉටුකරලිමය.

එහෙත් ඒ වෙනුවට රජය කරමින් සිටින්නේ පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශන කටයුතු බෙලහින කිරිමය. නැතිනම් පාස්කු ප්‍රහාරය සිදුවන දිනයේ අළුයම පවා දුරකථන ඇමතුමකින් ප්‍රහාරය පිලිබදව දන්වා සිටි නමුත් ප්‍රහාරය වැලැක්වීමට කිසිවක් නොකළ හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානි නිලන්ත ජයවර්ධන මහතාව රජයේ සාක්ෂිකරුවාකර පරීක්ෂණ නොමග යැවීම වැනි ක්‍රියාවක් සිදුවෙතැයි යන අදහසක් තහවුරුවන අන්දමට කටයුතු කිරිමය.

ඒ සියල්ලටම වඩා පාස්කු ප්‍රහාරය වෙනුවෙන් හඩ නගන කාදිනල්තුමා ඇතුළු කතෝලික සභාවත්, වෙනත් ක්‍රියාකාරීනුත් කුමන හෝ ක්‍රම ඔස්සේ අඩපන කිරිමට හෝ යටින් හාරා බිද දැමීමට හෝ කටයුතු කිරිමය.

කාදිනල්තුමා හමුවීමට උත්සහකර එය අසාර්ථකවූ විදේශ කටයුතු ඇමති ජී. එල්. පීරිස් මහතා ඉන් අනතුරුව ලංකාවේ සිටින වතිකානු තානාපති බ්‍රයන් උඩයිග්වේ අගරදගුරුතුමන් හමුවීය. පාස්කු ප්‍රහාරයට වගකිව යුතු සියලූ දෙනා නීතිය හමුවට ගෙනෙන බවත් ඒ සම්බන්දයෙන් සාකච්චා කිරීමට මැල්කම් රංජිත් කාදිනල්තුමන් සහ කතෝලික රදගුරු සම්මේලනය සමග හැකි ඉක්මනින් සාකච්ඡාවකට ඉඩ ප්‍රස්ථාව සකසා දෙන ලෙසත් එහිදී ඉල්ලා තිබුණි. විදේශ කටයුතු ඇමතිවරයා වතිකානු තානාපති බ්‍රයන් උඩයිග්වේ අගරදගුරුතුමන් සමග ඔක්තෝම්බර් 12 වැනිදා ආරම්භ වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරය සහ සැප්තැම්බර් 21 දින පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය පිළිබඳවද මෙහිදී කරුණු හුවමාරු වූ බව තතු දත් ආරංචි මාර්ග පවසයි. මේ අනුව රජය පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශන කටයුතුවල ප්‍රශ්න එකී සභාවන්හිදී මතුවේදෝයි යන සැකයකින් පසුවෙන බව පැහැදිලිය.

එහෙත් එම සාකච්චාව පිළිබද වාර්තා කල රජයේ සහ රජයට සම්බන්ද මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයකලේ ''ලංකාවේ කතෝලික ජනයාට ශ්‍රී ලංකාව සලකන ආකාරය ගැන වතිකානු තානාපති බ්‍රයන් උඩයිග්වේ අගරදගුරුතුමන් අතිශයින්ම පැහැදීමට පත්වී ඇති බවත්, වෙනත් රටවලවත් මේ ආකරයෙන් කතෝලික ජනයාට සලකනවා තමන් දැක නැතිය'' වැනි අදහසකි. එමගින් රටේ ජනයාව කිසියම් ආකාරයේ වෙනතක යොමුකිරිමකට කටයුතු කලේද යන අදහසක් ජනිතවිය. එකී ප්‍රවෘත්තිය තුල මෙතෙක් සහෝදර ජනතාවක් ලෙස, සිංහල ජනයාගෙන් කොටසක් ලෙස සැලකු කතෝලික ජනයාව බෙදාවෙන් කිරීමක් ගැන අදහසක් මතුව ඇතයි පෙනීයයි.

මෙවැනි මාධ්‍ය උප්පරවැට්ටියක් මහින්ද රාජපක්ෂ අගමැතිවරයා දැන් සිදුකරන ඉතාලි සංචාරය තුලදී පාප් වහන්සේ හමුවී සිදුකිරිමට කටයුතු කරනු ඇතයි කාදිනල්තුමන් නොබෝදා පැවති මාධ්‍ය සාකච්චාවකදී දැක්වීය. මැල්කම් රංජිත් කාදිනල්තුමන්ගේ සහ ශ්‍රී ලංකා කතෝලික සභාවේ හඩට කන්දී පාස්කු ප්‍රහාරයේ විමර්ශන කටයුතු සම්බන්දයෙන් විනිවිදභාවය සහ විශ්වාසය රැකෙන පරිදි කටයුතු කරනවා වෙනුවට ඉතාලියට ගොස් පාප්වහන්සේ මුණගැසී අතට අතටදී මෙරට මාධ්‍ය ඔස්සේ පාප්තුමාද පාස්කු ප්‍රහාරය ගැන රජයේ විමර්ශන සම්බන්දයෙන් දැනුවත් කලේ යැයි දක්වමින් ආණ්ඩුවේ පළුදුවී ඇති විශ්වාසය ගොඩනගා ගැනීමේ දේශපාලන සටකපටකම්වලට ඉඩ නොදිය යුතුය යන ස්ථාවරයකට කාදිනල්තුමා ගමන් කර ඇති බව පෙනේ. ඒ අනුව කාදිනල්තුමා දක්වා සිටියේ අගමැති පාස්කු ප්‍රහාරය ගැන කියන්න පාප්වහන්සේ හමුවන්නේ නම්, යුක්තිය ඉල්ලා ඔවුන් ජාත්‍යන්තරයට යන බවය:

'' විදේශිය රටවල් පවා ඒ වගේ ම ශුද්ධෝත්තම පාප්වහන්සේ පවා නොමග යවන්නට බොරු කියලා අපි බලාපොරොත්තු වෙන යුක්තිය ඉටුකොට දෙන්නේ නැතිව ආණ්ඩුවට වාසිදායක විදිහට හැමදේම කරමින් සත්‍ය යටගහන්නට මේ රජය ගෙනයන ව්‍යාපාරයේ තවත් එක තුරුම්පුවක් තමයි ඔය ගහන්නට ලෑස්ති වෙන්නේ. මේ රජය පරීක්ෂණ යටගහන උත්සහයක් විනා වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීමට ක්‍රියාත්මක වීමක් අපිට පෙනේනට නැති බව අපි ජාත්‍යන්තරයට දැනුම් දෙන්නට කටයුතු කළා. ජනාධිපතිතුමාට ජූලි මාසේ දොලොස්වෙනිදා දිනය දරණ ලිපියක් අපි යැව්වා. සේරම කාරණා විස්තර කරලා. මේ සම්බන්ධව අපක්ෂපාති පරීක්ෂණයක් සිදු කළ යුතුයි කියන එක දන්වලා. නමුත් ඒකට අපිට ලැබුණේ බොහොම බාල පිළිතුරක්. මේ ප්‍රශ්නය මගඇරලා ගිහිල්ලා ජාත්‍යන්තරයත් රවට්ටන්න අපිට ඉඩ දෙන්න බෑ. ඒ නිසා රජය ජාත්‍යන්තරයට යනවා නම් අපිත් ජාත්‍යන්තරයට යනවා. මේ සම්බන්ධයෙන් අපි වතිකානුවේ යුක්තිය හා සාමය පිළිබඳ නියෝජනයට කරුණු ඉදිරිපත් කරලා තිබුණා කළින්. ඒ අය මට දැනුම් දුන්නා ඒ අය සූදානම් කියලා ජිනීවාහි සිටින ඔවුන්ගේ නියෝජිතයන් මාර්ගයෙන් අපේ මේ දුක්ගැනවිල්ල ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කරන්න සූදානම් කියලා. ඒ නිසා අපිට තියෙන්නේ ඒ කරුණු ඒ විදිහට ඉදිරිපත් කරන්න. ඉදිරිපත් කරන්න කටයුතු කිරීම පමණයි. මේ රටේ ක්‍රම ක්‍රමයෙන් ගොඩනැගුණු දූෂිත දේශපාලන ක්‍රමවේදය, දැන් ඒක එක පුද්ගලයෙකුගේ අතට සියලුම බලතල ලබාදීම තුළින් ඒ දූෂිත ක්‍රමය ශක්තිමත් වෙලා තියනවා. අපිට මේ රටේ මේ ප්‍රශ්නයට සාධාරණ විසඳුමක් ලැබෙයිද කියලා අපිට සැකයත් මතුවෙලා තියනවා. රටේ නීතිය පිළිබඳ ආධිපත්‍ය ක්‍රියාත්මක වෙනවද නැද්ද කියන එක පිළිබඳ ලිට්නස් පරීක්ෂණයක් වගේ වෙනවා මේ පාස්කු ප්‍රහාරය පිළිබඳ සත්‍ය හෙළිදරව් කරගැනීමේ වැඩපිළිවෙළ. තමන්ගේ පක්ෂෙ කෙනෙක් වුණත් වැරැද්දක් කරලා තියනවා නම් ඒ වැරැද්දට දඬුවම් ලබාදීම සඳහා උසාවියට ඉදිරිපත් කිරීමට කටයුතු කළ යුතුයි. ඒකයි අපි අවංක දේශපාලන නායකයන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ. තමන්ව ආරක්ෂා කරගන්න ජ්‍යාතන්තරේට ගිහිල්ලා ජාත්‍යන්තරේ උදව්ව ඉල්ලගෙන හැංගිලා යන්න බලන එක නෙමෙයි පිට කොන්ද තියන මිනිස්සු කරන්නේ. මේ ජාත්‍යන්තරේට යෑම ඉතාමත් ම බාල බොළඳ වැඩක්. දප්පුල ද ලිවේරා නීතිපතිතුමා පැහැදිලිව ම කිව්වා නිව්ස්ෆස්ට් නියෝජිතයෙකුට මේක ග්‍රෑන්ඩ් විශාල කුමන්ත්‍රණයක්. මේ කුමන්ත්‍රණය අපිට දැනගන්න ඕන. ජනාධිපතිතුමා බලයට එනකොට වේදිකාව උඩ මොරදුන්නේ මොනවද? එක රටක් එක නීතියක්. දැන් අපිට පේනවා එක රටක් ඕගොල්ලන්ට එක නීතියක් අපිට තව නීතියක්. ජාත්‍යන්තරේට ගිහිල්ලා ඒක අස්සේ හැංගෙන්න උත්සහ කරන එක බොහොම ළඳබොළඳ වැඩක්. ඒ නිසා අපි අගමැතිතුමාටත් විදේශ ඇමතිතුමාටත් කියනවා ඔය බාල්දු වෙන වැඩේ කරන්න යන්න එපා. අපි නෙමෙයි ජාත්‍යන්තරේට ගියේ. ඔබයි ගියේ. අන්න මතක තියාගන්න''

රජයේ එකී තුරුම්පුවද වැරදි ඇති තත්වයක් තුල ඊලගට වඩාත් පෙරට පැමිණ ඇත්තේ අන්තවාදී භික්ෂුන් සහ ඔවුන්ගේ වර්ගවාදී/ ජාතිවාදී සංවිධානය. රජය මේ හදන්නේ ජාතිවාදය, ආගම්වාදය අවුස්සන අන්තවාදී සංවිධානාවල කරමතින් ගොස් හෝ පාස්කු ප්‍රහාරය පිළිබද නිසි විමර්ශනයක් නොවන තැනට, වැඩ සිදුවෙන ලෙස පිටිය සැකසීමදැයි යන සැකයක් දැන් පැන නැගී ඇත. මෙම ගොඩනැන්මේ ඊලග පියවරවල් දැකිය හැක්කේ ඉදිරියේදීය.

එහෙත් එකක් නම් පැහැදිලිය. එනම් ගරු සිරිල් ගාමිණී පියතුමා දැක්වූ ලෙසම පාස්කු ප්‍රහාරයේ සත්‍ය හෙලිවුනුදාක ලංකාවේ දේශපාලනය කෙතෙක් දුෂිත යන්න හෙළිවනු ඇත.

මාකස් ප්‍රියන්ත පෙරේරා
10/09/2021 

6 comments:

  1. ආර්. ප්‍රේමදාස,ලලිත් ඇතුලත්මුදලි, ලසන්ත වික්‍රමතුංග ඝාතන සේම මෙයද කිසිදින හෙළිවන්නේ නැත. එහෙත් අවම වශයෙන් කාදිනල් තුමාට තමන් ආ මග පිළිබඳව අවබෝධයක් පහළ වේ නම් එයද ජයග්‍රහණයකි.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම පාස්කු ප්‍රහාරය පිලිබදව නිසි විමර්ශනයක් වෙනවා නම් රටේ ජනයාට රටේ දේශපාලනයේ ඇත්ත ස්වරූපය ඉතා හොදින් හෙලිකර ගත හැකියි.

      Delete
  2. එ.ජා.සංවිධානයේ කිසියම් හෝ විධානයකට එකඟව, ශ්‍රී ලංකාව අත්සන් කර නැති නිසා, ජිනීවා යෝජනා ඒ ලෙසම ක්‍රියාත්මක කරන්නට ලංකාව බැඳී නැති බව සමහර දේශපාලන විචාරකයන් ගේ මතයය.කාදිනල් තුමා කාරණය ජිනීවා ගෙන යාම ප්‍රමාද කළේ ඒ නිසාද?
    එතුමා චෝදනා කරන්නේ, මෛත්‍රීපාල / රනිල් පාර්ශවයට. ෂෙහාන් මාලක හදිසියේ පහළව චෝදනා කරන්නේ, පවතින ආණ්ඩුවට. එක කාරණයක් ගැන සභාව පැත්තෙන් චෝදනා දෙකක්. ක.සභාවේ පැත්තක් ලෙස කාදිනල් හිමි සැළකුවත්, ෂෙහාන්වත් සැළකිය හැකිද? අපට පෙනෙන්නේ, කාදිනල් හිමි යහපාලක පිරිස දණ්ඩනයට යොමු කරද්දී, ෂෙහාන් ප්‍රමුඛ පිරිස රාජපක්ෂලා දණ්ඩනයට යොමුකරන බවයි. දෙගොල්ල (කාදිනල්-ෂෙහාන්) රටේ ප්‍රධාන දේශපාලන ධාරා දෙකේ අතකොළු වෙලාද? හරි පරීක්ෂණයක් කෙරුවොත් පෙර සඳහන් දෙ පාර්ශවයේ දේශපාලනයත් හඳුනාගත හැකිවේවි.

    ReplyDelete
    Replies
    1. සිරිල් එඬේරමුල්ල.

      Delete
    2. හොහොදම විසදුම පිලිගත හැකි නිසි පරීක්ෂණයක් පවත්වා සත්‍ය සොයා ගැනීමයි.

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete