This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Friday, 24 September 2021

පෘතුගීසින්, ලන්දේසීන්, ඉංග්‍රීසින් මෙන්ම Viii වන වීර පරා­ක්‍ර­ම­බාහු රජුද ඉදිකළ හැමිල්ටන් ඇළ

1940 වසරේදී මිගමුව කොච්චිකඩේ පෝරුතොට හෙවත් පාරුතොට ප්‍රදේශයෙදී ගන්නා ලදැයි කියන මෙම ඡයාරූපය මාහට ලබාදුන්නේ මීගමුවේ උතුරු කෙලවරේ පිහිටි පෝරුතොට, ආබ්දීන් පාරේ, වසර 40 පමණ පදිංචිව සිටි මොහොමඩ් යුසුෆ් මහතාය. ඒ 2014දීය. ඒ මහතා දැන්  මියගොස් ඇති බව දැනගැනිමට ලැබුනි. මා ඔහුව මුණගැසෙන විටත් (2014) ඉතාමත් වයස්ගතව රෝගීව සිටියද ඒ මහතාට මෙම ඡයාරූපයේ ඉතිහාසය පිළිබදව පැහැදිලි මතකයක් තිබුණි. ඔහුට අනුව මේ ඡයාරූපයේ දැක්වෙන්නේ, 1970දී ඇළ සංවර්ධන දෙපාර්තුමේන්තුවේ කටයුතුවලට පෙරාතුව, මීගමුව පෝරුතොට පාලම අවට ප්‍රදේශයයි. පසුගිය සියවසේ කොප්පර ඇතුළු භාන්ඩ ප්‍රවාහනය සදහා යොදාගත් පාරු, මහඔය සහ ගින්ඔය ඔස්සේ හැමිල්ටන් ඇළට අතුල්වු විට පෝරුතොට ප්‍රදේශයේ නවතා තිබු බවත්, පෝරුතොටට ඒ නම ලැබෙනුයේ මෙම පාරු නවතා තැබූ පාරුතොට යන අර්ථයෙන් බවත් පසුව එය පෝරුතොටවූ බවත් ඒ මහතාගේ අදහසයි. 

හැමිල්ටන් ඇලේ ඉතිහාසය පිලිබදව නිවැරදී පැහැදිලි විස්තරයක් 2019 සැප්තැම්බර් 14  'සිළුමිණ' පුවත්පතට 'කොළඹ සරු කළ අතීත ඇළ මාර්ග පද්ධති' නමින් ලිපියක් ලියු ජේත­වන කෞතු­කා­ගා­රයේ හිටපු පාලක, මිහි­න්තලේ ශ්‍රී ලංකා රජ­රට විශ්ව­වි­ද්‍යා­ලයේ පුරාවිද්‍යාව පිළිබද බාහිර කථි­කා­චාර්යක් ලෙස සේවය කල ආචාර්ය කුසු­ම්සිරි කොඩි­තු­වක්කු මහතා දක්වා තිබුණි. ඒ මහතාගේ ගවේෂනාත්මක අදහස් පහතින් පළවේ;

==========================================

ඇළ හා ජල මාර්ග (Canals and Water ways) විය­දම් අඩු ප්‍රවා­හන ක්‍රම­යක්ය, යන්න අනා­දි­මත් කාල­යක සිටම ලොව බොහෝ රට­වල ප්‍රච­ලි­තව පැවති අද­හ­සකි. විශේ­ෂ­යෙන්ම, මේ සම්බ­න්ධ­යෙන් වඩාත් ප්‍රවී­ණ­ත්ව­යක් දැරුවේ මුහුදු මට්ට­මට වඩා පහත් හෝ නිතර ගං වතු­රට ලක් වන රට­වල වැසි­යෝය. ඒ අත­රින් ඕලන්ද ජාති­ක­යන් හෙවත් ලන්දේ­සීන්ට හිමි වන්නේ අද්වි­තීය ස්ථාන­යකි. ඔවුහු සිය, ජල විද්‍යා­ත්මක ඉංජි­නේරු ක්‍රම (hydraulic engineering techniques) සම්බන්ධ පරි­චය ප්‍රයෝ­ජ­න­යට ගනි­මින්, සිය යට­ත්වි­ජිත රට­ව­ලද ඇළ මාර්ග බිහි කිරී­මට පසු­බට නොවූහ. දැනට ශ්‍රී ලංකාවේ බට­හිර හා දකු­ණු­දිග වෙර­ළ­බඩ ප්‍රදේ­ශ­යෙහි දැකිය හැකි ඇළ මාර්ග­ව­ලින් බොහො­ම­යක්ම එලෙස ලන්දේ­සීන් අතින් බිහි වූ ඒවා වෙයි.

යට­ත්වි­ජිත පාලන සම­යේදී ඇළ මාර්ග බිහි කිරීමේ ගෞර­වය ලන්දේ­සීන්ට හිමි වුවද ශ්‍රී ලංකාවේ ජල කර්මා­න්තයේ ඉති­හා­සය බොහෝ ඈතට දිව යන්නකි. අනු­රා­ධ­පුර, පොලො­න්නරු යුග­ව­ලදී පැවති විශිෂ්ට වාරි තාක්ෂ­ණය ලන්දේ­සීන්ට කිසි විටෙ­කත් සම කළ නොහැ­ක්කකි. එසේම ප්‍රවා­හන කට­යුතු සඳහා අභ්‍ය­න්තර ජල මාර්ග ප්‍රයෝ­ජ­න­යට ගෙන ඇති අවස්ථා පිළි­බ­ඳ­වද අපගේ සාහි­ත්‍ය­මය මූලා­ශ්‍ර­ය­න්ගෙන් තොර­තුරු ලැබේ. ඇතැම් ඉති­හා­ස­ඥ­යන් සඳ­හන් කරන පරිදි කෝට්ටේ සහ රයි­ගම ප්‍රදේ­ශ­වල මුලින්ම ජල මාර්ග ඔස්සේ ප්‍රවා­හන කට­යුතු ආරම්භ කර ඇත්තේ සිංහල රජ­ව­රුය.

කෙසේ වෙතත් රට තුළ ප්‍රවා­හන කට­යුතු සඳහා භාවිත කළ හැකි පරිදි ජල මාර්ග දියණු කර ඇත්තේ ලන්දේ­සීන් විසිනි. වෑන් ඉම්හෝෆ් ආණ්ඩු­කා­ර­ව­රයා (1736-1740) නිල වශ­යෙන්ම මෙන්ම පෞද්ග­ලික වශ­යෙන්ද ඉම­හත් පරි­ශ්‍ර­ම­යක් දරා ඇති බව පෙනේ. එසේ ලන්දේ­සීන් විසින් ඇළ මාර්ග දියුණු කිරීම කෙරෙහි වඩාත් උත්සුක වී ඇත්තේ වෙළඳ භාණ්ඩ නිෂ්පා­දන ප්‍රදේ­ශ­වල සිට ලාභ­දායි ලෙස කොළඹ වරා­යට ප්‍රවා­හ­නය කර­වී­මයි. ලන්දේ­සීන් පැමි­ණී­මට පෙරා­තුව පෘතු­ගී­සීන් විසින්ද කොළඹ හා ඒ අවට ඇළ මාර්ග කීප­යක් ආරම්භ කොට තිබූ අතර ලන්දේ­සීන් අතින් ඒවාද වැඩි දියු­ණු­වට පත් විය.

කොළඹ හා ඒ අවට ඇති ඇළ මාර්ග අත­රින් පැර­ණිම ඇළ මාර්ග­යක් ලෙස උතු­රින් හැඳල දක්වාත්, දකු­ණින් බොල්ගොඩ ජලා­ශය හා කෝට්ටේ ජලා­ශය සම්බන්ධ වන අයු­රින් බිහි කර ඇති ඇළ මාර්ගය හැඳි­න්විය හැකිය. ලන්දේ­සීන්ගේ වාර්තා­ව­ලට අනුව එය පෘතු­ගී­සීන් විසින් ඉදි කරන ලද්දකි. එසේම කොළ­ඹට උතු­රින් කැලණි ගඟේ සිට පමු­ණු­ගම කල­පුව දක්වා ඉදි කර ඇති ඇළ මාර්ග­යද පෘතු­ගී­සීන්ගේ නිර්මා­ණ­යක් බව එල්.ආර්. බ්‍රෝහි­යර් (L.R. Brohier - Links Between Sri Lanka and Netherlands) සඳ­හන් කරයි. පර්නාවෝ ඩී. ක්වේරෝස් පිය­තුමා ( Fr. Fern ao de Queyroz ) සිය, “Temporal and Spiritual Conquest of Ceylon” නම් ග්‍රන්ථ­යෙහි එම ඇළ මාර්ගය වීර පරා­ක්‍ර­ම­බාහු රජුගේ නිර්මා­ණ­යක් ලෙස සඳ­හන් කර ඇති අතර, ඒ නිසැ­ක­යෙන්ම Viii වන වීර පරා­ක්‍ර­ම­බාහු (1476-1489) රජු විය හැකි බව එච්.ඩබ්ලිව්. කෝඩ්රි­න්ටන් ( H.W. Codrington - Short History of Ceylon) සඳ­හන් කරයි. කෙසේ වෙතත් ලන්දේසී වාර්තා අනුව එම ඇළද පෘතු­ගී­සීන් විසින් ආරම්භ කරන ලද්දකි.

කොළ­ඹට උතු­රින් සාර­වත් වෙල් යායක්ව පැවති මුතු­රා­ජ­වෙල පුරන් වී ගියේද එම ඇළ මාර්ගය ඔස්සේ ගලා ආ මුහුදු ජලය නිසා බව සඳ­හන් වේ.

ඒ පිළි­බඳ තව­දු­ර­ටත් තොර­තුරු සොයා බැලී­මේදී 1614.04.23 වැනි දින දොම් ජෙරො­නිමෝ ද අස­වේදු Dom Jeronimo de Azevedo විසින් මනු­වෙල් මස්ක­ර­ඤ්ඤස් හොමේම් MANOEL (Mascarenhas Homem) ජන­රා­ල්ව­රයා වෙත යවන ලද ආඥා පත්‍ර­ය­කින් (regimento) වැද­ගත් කරුණු රැසක්ම අනා­ව­ර­ණය කර ගත හැකි වේ.

පෘතු­ගීසී බසින් රචිත එම ලේඛ­න­යෙහි එම ඇළ මාර්ග පිළි­බ­ඳව සඳ­හන් වන ආකා­රය මෙහි දක්වා ඇත. 

එහි සිංහල පරි­ව­ර්ත­නය මෙසේය.

එහි (මීග­මුවේ) සිට කොළ­ඹට ඇති අභ්‍ය­න්තර ගංඟා­වක් නිසා කොළ­ඹට භාණ්ඩ ප්‍රවා­හ­නය ඉතා පහසු බැවින් හා නැව් වලින් ගොඩබාන භාණ්ඩ ප්‍රවා­හ­නය සඳහා පහ­සු­වෙන් බෝට්ටු සප­යා­ගත හැකි බැවින් මීගමු වරාය ඉතා යෝග්‍ය එකක් ලෙස සඳ­හන් කරයි.

තවද අය­හ­පත් කාල­ගු­ණය හා කුණාටු සහිත බව නිසා ඔබට කොළ­ඹට ගොඩ බැසී­මට අප­හසු වුව­හොත් කල්පි­ටි­යට යා හැකිය. එය ආර­ක්ෂිත වරා­යක් වන අතර ඊට “ ගඟ” ඔස්සේම යා හැකිය. එය වඩාත් පහසු හා ආර­ක්ෂිත මාර්ග­යක් වන අතර බෝට්ටු­ව­ලින් හා කම්ක­රු­ව­න්ගෙන් හිඟ නොවේ.

කෙසේ වෙතත් එම ලේඛ­න­යෙහි “ඇළ” යන්න වෙනු­වට ‘ගංගාව’ යන්න අර්ථ­වත් වන rio යන වච­නය යෙදා තිබීම මත­භේ­ද­යට තුඩු දෙන්නකි. rio යන්න ඇතැම් විට කල­පුව සඳ­හාද යොදා තිබේ. එහෙත් කොළඹ සිට මීග­මුව දක්වා විහි­දෙන කල­පු­වක් නැති බැවින්ද ශ්‍රී ලංකාවේ ගංඟා ව්‍යාප්ති රටාව අනුව කිසිදු ගංගා­වක් වෙර­ළට සමා­න්ත­රව නොවි­හි­දෙන බැවින් මෙහි “ගඟක්’ ලෙස සඳ­හන් කර ඇත්තේ ඇළ මාර්ග­යක් බව නිසැ­කය.

මීග­මුවේ සිට කල්පි­ටිය දක්වාද එම ඇළ මාර්ගය විහිදි බව සඳ­හන් කර තිබීම තවත් ගැටලු සහ­ගත තැනකි. මන්ද යත්, පුත්ත­ලමේ සිට කල්පි­ටිය දක්වා කලපු තීර­යක් විහි­දෙන බැවින් ඇළ මාර්ග­යක් අවශ්‍ය නොවන බැවිනි. ඒ අනුව මෙම ඇළ මාර්ගය කොළඹ සිට පුත්ත­ලම දක්වා නිර්මා­ණය කර තිබී ඇති අතර, එතැන් සිට කල්පි­ටිය දක්වා කල­පුව ඇළ මාර්ග­ය­ටම සම්බන්ධ කොට එක් ජල මාර්ග­යක් ලෙස ප්‍රයෝ­ජ­න­යට ගන්නට ඇතැයි සිතිය හැකිය.

කොළඹ සිට පුත්ත­ලම දක්වා සැත­පුම් 78 ක් දිගැති ඉහත ඇළ මාර්ගය පිළි­බඳ ඇතැම් ඉති­හා­ස­ඥ­යන් සඳ­හන් කරන්නේ මුලින් පෘතු­ගී­සීන් විසින් කොළඹ සිට මීග­මුව දක්වා කොටස නිර්මා­ණය කර තිබූ අතර ලන්දේ­සීන් විසින් පුත්ත­ලම දක්වා වූ කොටස සම්පූර්ණ කර ඇති බවයි. එහෙත් ක්‍රි.ව. 1614 වන විටත් එම සම්පූර්ණ ඇළ මාර්ග­යම නිර්මා­ණය වී තිබූ බව ඉහත ලේඛන අනුව ප්‍රත්‍යක්‍ෂ වේ. ඒ අනුව 18 වන සිය­ව­සේදී ලන්දේ­සීන් එම ඇළ මාර්ගය තව­දු­ර­ටත් නවී­ක­ර­ණය කර ඇති පෙනේ.

ඒ සම­ඟම කොළඹ හා පුත්ත­ලම අතර ප්‍රදේ­ශ­යෙහි ගංඟා, කලපු සම්බන්ධ කර­මින් සැත­පුම් 120ක පමණ ඇළ­වල් සංඛ්‍යා­වක් වෑන් ඉම්හෝෆ් ආණ්ඩු­කා­ර­ව­ර­යාගේ මූලි­ක­ත්ව­යෙන් ඉදි කරන ලද බව සඳ­හන් වේ.

කෝට්ටේ සිට කිරු­ළ­පන හරහා නැදි­මා­ල­ටත්, ඉන්ප­සුව බොල්ගොඩ ජලා­ශ­ය­ටත් විහි­දෙන ඇළද පෘතු­ගී­සීන් විසින් නිර්මා­ණය කරන ලද්දක් වන අතර පසුව එය ලන්දේ­සීන් විසින් පිළි­ස­කර කරනු ලැබ තිබේ. කෝට්ටේ සිට ගංගො­ඩ­විල ඔස්සේ නැදි­මාල දක්වා තවත් කෙටි ඇළ මාර්ග­යක් ලන්දේ­සීන් විසින් සැල­සුම් කළ ද එහි වැඩ කට­යුතු අව­සන් කළ නොහැකි වී තිබේ.

පෘතු­ගීන් හා ලන්දේසී යුග­ව­ලදී කොළඹ හා ඒ අවට ජල කර්මා­න්තය ගැන කතා කිරී­මේදී බේරේ වැව (Beira Lake) ද විශේ­ෂ­යෙන්ම සඳ­හන් කළ යුත්තකි. මුලින් කුඩා වැවක් ලෙස ඉදි කර ඇත්තේ 1521 දීය. ඒ, පෘතු­ගීසී බළ­කො­ටුව හා කොළඹ නග­රය ගොඩ­බිම දෙසින් එන සතුරු ආක්‍ර­ම­ණ­ව­ලින් ආරක්ෂා කර­ගැ­නීම සඳ­හාය. 

බේරේ වැවේ ආර­ම්භය පිළි­බඳ පර්නාවෝ ඩී. ක්වේරෝස් පිය­තුමා (1680), 1521 දී විජ­ය­බාහු රජු කොළඹ වැටලූ කල්හි පෘතු­ගීසී කපි­තාන් ලෝපොද බ්‍රිටෝ ආක්‍ර­ම­ණි­ක­යන් මර­මින් එක්තරා දොළක් දක්වා ලුහු­බැඳ ගිය බවත් පසු කලෙක එම දොළ හරස් කොට නග­ර­යට වඩා හොඳින් රැක­ව­ර­ණය ලබා­ගැ­නීම සඳහා වැවක් බඳින ලද බවත් සඳ­හන් කරයි.

ඒ අනුව වැව ඉදිකිරීම නිසා උතු­රින් හා බට­හි­රින් මුහු­දින් ආරක්ෂා වූ කොළඹ නග­ර­යෙහි දකුණු හා නැඟෙ­න­හිර සීමා­වල ආර­ක්ෂා­වද තර කර­ගත හැකි විය.

කෙසේ වෙතත් එම වැව “බේරේ වැව” ලෙසින් වඩාත් විශාල කොට නිර්මා­ණය කර ඇත්තේ ලන්දේ­සී­හුය. ඒ කාර්යෙ­හිලා ඩී. බියර් (De. Beer) නම් ලන්දේසී ජාතික ඉංජි­නේ­රු­වෙකු ප්‍රමු­ඛ­ත්වය ගෙන ඇති අතර, ඒ අනුව ඔහු­ගේම නමින් වැව නම් කර තිබේ. ආර­ම්භ­යේදී එම වැවෙහි ප්‍රමා­ණය (Lake area) අක්කර 400 (හෙක්ටාර් 162) ක් වී තිබේ. එහෙත් පසුව නොයෙ­කුත් අව­ශ්‍යතා සඳහා ගොඩ කරන ලදුව දැනට මෙහි ප්‍රමා­ණය හෙක්ටාර් 65.4 දක්වා අඩු වී තිබේ. පෘතු­ගීසී හා ලන්දේසී යුග­ව­ලදී සෙබ­ළුන් හා භාණ්ඩ ප්‍රවා­හන කට­යුතු සිදු වී ඇත්තේ ඒ වැව ඔස්සේය.

මුල් කාලී­නව බේරේ වැව හා සම්බ­න්ධව ඇළ මාර්ග කීප­යක් නිර්මා­ණය වී තිබී ඇති අතර, දැනට ඉන් ඉති­රිව ඇත්තේ එකක් පමණි. ඒ ‘සන්ත බස්ති­යම් ඇළයි. එම ඇළ පෘතු­ගීසී බළ­කො­ටු­වට පහර දීම සඳහා වැව හිස් කිරී­මට 1 වන රාජ­සිංහ රජු විසින් කර­වන ලද්දකි. ඒ සඳහා හේවා­ගම් කෝර­ලයේ ජන­තාව සම්බන්ධ වී ඇති බව සඳ­හන් වේ.

19 වන සිය­වස වන විට කොළඹ නග­රයේ ප්‍රවා­හන කට­යුතු හා ගං වතු­රින් ආරක්ෂා වීම සම්බ­න්ධ­යෙන් ඇළ මාර්ග­වල වැද­ග­ත්කම වට­හා­ගත් බ්‍රිතාන්‍ය පාල­ක­යන් තව­දු­ර­ටත් ඒවා නවී­ක­ර­ණය කොට පව­ත්ව­ගෙන යෑම­ටත්, නව ඇළ මාර්ග ඉදි කිරී­ම­ටත් උත්සුක විය. එහි ප්‍රති­ඵ­ල­යන් ලෙස කැලණි ගඟ පමු­ණු­ගම කල­පු­වට සම්බන්ධ කෙරෙන හැමි­ල්ටන් ඇළද බොල්ගොඩ ජලා­ශය කළු ගඟට සම්බන්ධ කෙරෙන අන්ස්ට්‍රෑ­දර් ඇළ (1829 දී කොළඹ අය­කැමි ධුරය දැරූ පිලිප් අන්ස්ට්‍රෑ­දර්ගේ නමින්) ද බිහි විය.

ඊට අම­ත­රව කෝට්ටේ කිරු­ළ­පන සහ නැදි­මාල ඇළද වැල්ල­ව­ත්තෙන් මුහු­දට සම්බන්ධ කර­මින් තවත් ඇළක් ද ඉදි කර තිබේ. මෙම ඇළ එව­කට බස්නා­හිර පළාතේ දිසා­ප­තිව සිටි සී.පී. ලෙයාඩ් විසින් සැල­සුම් කරන ලද බැවින් ලෙයාඩ්ගේ ඇළ නම් විය. කැලණි ගඟේ පිටාර ජලය බැහැර කිරීම එම ඇළ ඉදි කිරීමේ අර­මුණ වුවත් ඇළේ පතුල, ගං වතුර රඳන ප්‍රදේ­ශ­යට වඩා උස් වූ බැවින් එය ‘ලෙයාඩ්ගේ මෝඩ ඇළ’ නමින් ප්‍රකට විය. පසුව එම ඇළ ගැඹුරු කොට ගංව­තුර බැස්ස­වීමේ මාර්ග­යක් ලෙස සකස් කෙරිණි.

එම ඇළ මාර්ග ඔස්සේ ප්‍රවා­හන කට­යුතු සිදු කිරීම සඳහා ප්‍රධාන වශ­යෙන් ප්‍රයෝ­ජ­න­යට ගන්නා ලද්දේ ඔරු හා පාරු ය. ඒ අත­රින් භාණ්ඩ ප්‍රවා­හ­නය සම්බ­න්ධ­යෙන් වඩාත් වැද­ගත් යාත්‍රාව වූයේ පාරු­වයි.

බොහෝ ඉඩ­කඩ හා ආර­ක්ෂාව ඇතිව සකසා ඇති එම පාරු­ව­ලින් තේ, රබර්, පොල් වැනි කෘෂි නිෂ්පා­දන කොළඹ වරාය කරාත් ලුණු, ගඩොල්, උළු, ලී වැනි දේ රට අභ්‍ය­න්ත­ර­ය­ටත් ප්‍රවා­හ­නය කෙරිණි. දින ගණ­නක් මුළුල්ලේ සිදු කෙරුණු පාරු ගම­න්ව­ලදී අව් වැසි­ව­ලින් ආරක්ෂා වීම සඳහා පොල් අතු­ව­ලින් සැකසූ පිය­ස්සක් ද පාරු­වට විය. පොල් අතු වහ­ලක් සහිත එම පාරු විශේ­ෂය ලන්දේ­සීන් විසින් මෙර­ටට හඳුන්වා දෙන ලද්ද­කැයි පැවසේ. එම පාරු හබල් ගෑමෙන් හෝ දිග රිටි­ව­ලින් පැදී­මෙන් හෝ ඉවුරේ සිට කළ කණු­වල බැඳි කම්බි මගින් යාත්‍රා කෙරිණි. ආහා­ර­පාන පිළි­යෙල කර­ගැ­නී­මද පාරුව මත දීම සිදු වූ අතර පාරු නතර කර තැබීම සඳහා නිශ්චිත නැව­තුම් පොළද විය.

ඔරු, පාරු උප­යෝගී කොට­ගෙන කොළඹ ආශ්‍රි­තව සිදු කෙරුණු වෙළඳ කට­යුතු සම්බන්ධ පැර­ණිම සාධ­කය හඳු­නා­ගත හැක්කේ හංස සංදේ­ශ­යෙනි. එහි එක් කවෙක කොළඹ, වත්තල, පුත්තූ­රුව වැනි තැන්ව­ලින් පිටත්ව ඔරු, පාරු­ව­ලින් වෙළ­ඳාමේ යන වෙළ­ඳුන් ගැන සඳ­හන් කර ඇත්තේ මෙසේය.

‘කොළඹ විසල් වත්තල් පුත්තූරු වෙනි

නරඹ යනෙන වෙළ­ඳුන් ඔරු පාරු වෙනි’

එහි සඳ­හන් ‘පුත්තූ­රුව’ මට්ට­ක්කු­ලිය යනුද මත­යකි. සුනිල් සරත් පෙරේරා උපුටා දක්වන කොළඹ සිට මාදම්පේ දක්වා ගිය පාරු ගම­නක් විස්තර කෙරෙන බ්‍රිතාන්‍ය යුග­යට අයත් කවි කොළ­යක එම ගමන පිටත් වූ ස්ථානය ලෙස සඳ­හන් වන්නේ නාග­ල­ගම් පාල­මයි. කොළ­ඹින් පාරු ගමන පිටත් වීම විස්තර කෙරෙන එහි මුල් කවිය මෙසේය.

‘සකල සිරින් පිරි

පසල කොළො­ම්පුර

නාග­ල­ගම් පාලමේ සිටන්

යදල පඬුරු සන්තා­නම්

මව් හට වික්ටෝ­රියා පාලමේ යටින්

යැදල සිව්දෙන හබල් හතර ගෙන

කැලණි ගඟේ සැඩ පහර තදින්

යැදල නැමති ගමේ අලුත් ඇළට

වන් ලාදුරු වත්තට නුදුරු තැනින්'

1940 ගණන් වන විට දුම්රිය හා මහා මාර්ග ප්‍රවා­හන කට­යුතු වැඩි දියුණු වීම නිසා ප්‍රවා­හන කට­යුතු සම්බ­න්ධ­යෙන් ඇළ මාර්ග සතු වූ වැද­ග­ත්කම ක්‍රම­යෙන් අඩු වන්නට විය. ඒ අනුව ඊට තර­ග­කාරී ලෙස ඇළ මාර්ග ප්‍රවා­හ­නය පව­ත්වා­ගෙන යෑමට නම් ඇළ මාර්ග­වල ඉවුරු පිළි­ස­කර කොට යාන්ත්‍රි­කව ධාව­නය කෙරෙන යාත්‍රා උප­යෝගී කොට ගත යුතු බවට අද­හස් ඉදි­රි­පත් විය.

මේ අතර 1970 ගණන් වලදී ඇළ මාර්ග කීප­යක් පුන­රු­ත්ථා­ප­නය කිරීම සඳහා අව­ධා­නය යොමු කෙරුණු අතර ඉන් ප්‍රමු­ඛ­ත්වය හිමි වූයේ කොළඹ - පුත්ත­ලම ඇළ මාර්ග­ය­ටය.

එහෙත් එ පිළි­බඳ ප්‍රවා­හන ආර්ථික ශක්‍ය­තාව තක්සේරු කරනු පිණිස 1981 දී මෙහි පැමිණි නෙද­ර්ලන්ත ප්‍රවා­හන ආර්ථික විශේ­ෂ­ඥ­යන් දෙදෙ­නාගේ නිග­ම­නය වූයේ දුම්රිය මහා­මාර්ග වැනි දියුණු කළ යුතු වෙනත් ප්‍රවා­හන ක්‍රම තිබි­යදී ඇළ මාර්ග ප්‍රවා­හන කට­යුතු පිළි­බඳ වැඩි අව­ධා­න­යක් යොමු කිරීම අකා­ර්ය­ක්ෂම බවත් ඒ අනුව කොළඹ - පුත්ත­ලම ඇළ මාර්ගයේ ඉදිරි වැඩ කට­යුතු සිය­ල්ලද අත්හි­ටු­විය යුතු බවත් ය. (ආර්ථික විම­සුම - 1981 අගෝස්තු)

ප්‍රවා­හන ආර්ථික විද්‍යා­ත්ම­කව එසේ අව­ධා­න­යෙන් ගිලිහී ගිය අංග­යක් වුවද ශත වර්ෂ ගණ­නා­වක් මුළුල්ලේ ප්‍රවා­හ­න­යට උර දුන් එම ඇළ මාර්ග ඓති­හා­සික වශ­යෙන් අපට කිසි­සේත් අම­තක කළ නොහැකි මා හැඟි පුරා­වි­ද්‍යා­ත්මක ස්මාරක ලෙස හැඳි­න්විය හැකිය. 

====================================

කුසු­ම්සිරි කොඩි­තු­වක්කු මහතාගේ ඉහත ගවේෂනාත්මක ලිපිය අනුව පෙනීයන්නේ කෝට්ටේ සිට මෝදර දක්වා හෝ වත්තල, හැදල දක්වා හෝ වර්තමානයේ හැමිල්ටන් ඇළ ලෙස හදුන්වන මෙම ඇළ මාර්ගයේ මුල් අදියර ඉදිකර ඇත්තේ Viii වන වීර පරා­ක්‍ර­ම­බාහු (1476-1489) රජ සමයේ විය යුතුය. බොහෝදුරට එම ඇළ මාර්ගය පුළුල්කර කලපුව හරහා මිගමුව දක්වා දීර්ඝ කර ඇත්තේ පෘතුගීසීන්ය. එම කොටස සැතපුම් 9යක් හෙවත් කිලෝමිටර් 14.5කි. එහෙත් මෙම ඇළ මාර්ගය මීගමුවේ සිට  පුත්තලම  දක්වා දිවයයි. 

එම ලිපියේ සදහන් නොවුන තවත් කරුනක් වන්නේ ලන්දේසින් ඉදිකිරිමට ආරම්භකල නමුත් වැඩ අවසන් නොවූ මීගමුවේ සිට පුත්තම දක්වාවූ ඇලේ කටයුතු අවසන්කලේ ලංකාවේ ප්‍රථම බ්‍රිතාන්‍යය ආණ්ඩුකාරයාවූ ප්‍රෙඩ්රික් නොර්ත් ආණ්ඩුකාරයාය. ඒ 1804දීය. එය බ්‍රිතාන්‍යයන් ලංකාව (මුහුදුබට පළාත්) අත්කර ගැනීමෙන් පසුව සිදුකල පළමු සංවර්ධන ව්‍යාපෘතියය. එම ව්‍යාපෘතිය භාරව කටයුතුකලේ හැමිල්ටන් නම් නිලධාරියෙකි. අද පවත්නා හැමිල්ටන් ඇළ නම් කර ඔහු (Hamilton) නමිනි. 

අපි කුඩා කාලයේදී නෑමට පවා හැකිලෙස පිරිසිදුව පැවති හැමිල්ටන් ඇළ අද ජරාවාසව ගොසිනි. කුඩා බෝට්ටුවල ඇන්ජින්වලින් නිකුත්කරන තෙල්ද, අවට කාණුවලින් එකතුවන කුණු කන්දල්ද හැමිල්ට ඇළ සහමුලින්ම පාහේ අපවිත්‍රකර ඇත. ඇළ දෙපස භුමියද අනඅවසර ඉදිකිරීම් ඔස්සේ ජරාවාස කර ඇත. අතිතයේදී කොප්පරා ප්‍රවාහනයකල පාරුවලින් ළමාලපටීන් කොප්පර ඉල්ලා කෑ බවත්, නත්තල් කාලයේදී කැරොල් ගී ගයන කණ්ඩායම් පාරුවල නැගී හැමිල්ටන් ඇලේ කැරොල් ගී ගයමින්  ගිය බවත්, මුන්නක්කරයේ කොතලාවල පාලම ඉදිකිරිමට මත්තෙන් පාස්කු කාලයෙදී දුවේ ආශ්චර්යමත් ක්‍රිස්තු  ප්‍රතිමාව මීගමු දුවේ සිට මිගමුව සා. පීතර දේවස්ථානයට රැගෙනේම මෙන්ම රැගෙනයාම සිදුකලේ මෙම ඇළ මාර්ගය ඔස්සේ බවත්, මීගමුව වැල්ලවිදිය පල්ලියද, සා. පීතර පල්ලියද, තවත් පල්ලි රාශියක්ම ගොඩනගන කාලයේදී  උළු, ගඩොල්, ලී දඩු ඇතුළු බොහෝ ගොඩනැඟිලි ද්‍රව්‍ය  රැගෙන ආවේ මෙම ඇළ මාර්ගය ඔස්සේ බවත් මා මිට පෙර ලියා ඇත. 

ඇත්තවශයෙන්ම හැමිල් ඇල දියුණුකර රටේ ප්‍රවාහන  අවශ්‍යතා සදහා මෙන්ම සංචාරක කටයුතු සදහාද කෙතරම් යොදාගත හැකිනම්  කෙතරම් යහපත්ද? එහෙත් ඒ සම්බන්දයෙන් කිසිවෙකුගේ අවධානය යොමුනොවීම  කෙතරම්  නම් අවාසනාවක්ද? 

මාකස් ප්‍රියන්ත පෙරේරා. 

24/09/2021

5 comments:

  1. මෙ සියලුම කරැණූ අනුන්ගෙන් සොරාගෙන තමන්ගෙ ලියපු ඒවාය

    ReplyDelete
  2. අනුන්ගේ කරුණු අනුන්ගේ ලෙසත් මගේ කරුණු මගේ ලෙසත් පැහැදිලිව බෙදාවෙන්කර දක්වා තියෙනවා. හොදට බලන්න.

    ReplyDelete
  3. හැමිල්ටන් එක ගෝඨා ආරක්ෂක ලේකම් ඉන්නකොට පිළිසකර කළා නේද හමුදාව දාල. ඒත් මොකක් හරි හේතුවකට ඒ ප්‍රොජෙක්ට් නැවතුණා. මතක විදිහට සංචාරකයන් ඉලක්ක කරල තමා ඒක පටං ගත්තෙත්.

    හැමල්ටන් එකේ වර්තමානය ගැනත් යමක් ලිව්ව නං හොඳයි කියල හිතනවා.
    තුම්මෝදර හරියෙ නං ඇළක් නැත්තටම නෑ වගේ දැං. ඒත් නාත්තණ්ඩියෙ න් එහට්ට මහවැව කිට්ටුවට යනකං හොඳට තියේ.

    තුම්මෝදරිින් එහාට ඇතුලට කෝමද දන්නෑ. ඒත් කසිප්පු වඩි කීපයක් නං දැකල තියේ. හැමිල්ටන් එකේ මේ දවස් වල ලොකුම ප්‍රයොජනය ගන්නෙ ඒ වැඩ කරන අය 😃😃😃

    ReplyDelete
    Replies
    1. ඔව් හැදල හරියට වෙනකම් හැදුවා. පස්සේ නැවතුනා. ඇත්ත වලහපිටිය, මහවැව හරියට වෙනකම් හැමිල්ටන් ඇල පැහැදිලිවම පේන්න තියෙනවා. තුන්මොදර හරිය කැලෑවට ගිහින් සමහර පැති ගොඩවෙලා, කසිප්පු පෙරන අය ඒකත් ප්‍රයෝජනයට අරන් තමයි. ආපහු හලාවත හරියේදි හැමිල්ටන් ඇල තියෙනවා. මේවා හදන්න ආන්ඩුවලට කිසිම උවමනාවක් නෑ. අඩුම තරමේ ඒ ඒ ප්‍රාදේශීය සභාවත් එකතුවෙලා ඇල සුද්දකරලා දානවා නම් හොදයි. ඒත් ඇල සංවර්ධන දෙපාර්තමේන්තුවලින් ඕවට අවසර දෙනවද දන්නේ නැහැ.

      Delete