This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Wednesday 20 October 2021

පාස්කු ප්‍රහාරයට මාස 30යි, සත්‍ය සහ යුක්තිය වෙනුවෙන් පෙරමුණු කිහිපයක්ම පෙරට

අද දිනය, 21/10/2021, වනවිට පාස්කු ප්‍රහාරයට මාස 30ක් ගතව ඇත. ඒ වෙනුවෙන් කොළඹ කොච්චිකඩේ සා. අන්තෝනි පල්ලිය ඉදිරිපිට සහ මීගමුව කටුවපිටිය සා. සෙබස්තියන් පල්ලියට හැරෙන බාල්දී හන්දිය ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වීමට නියමිතව ඇත. එමෙන්ම අද දිනයේදී පාස්කු ප්‍රහාරය සම්බන්දයෙන් කතෝලික සභාවේ පෙළගැස්ම ගැන කුඩා පොත් පිංචක් බෙදා හැරිමටද කටයුතු සම්පාදනය වෙමින් තිබේ.    

මේ වන විට පාස්කු ප්‍රහාරය සම්බන්දයෙන් ශ්‍රී ලංකා රජය නඩු විභාගයක් පැවැත්වීමට කටයුතු සම්පාදනය කරමින් සිටි. නඩු විභාගය ඔස්සේ පාස්කු ප්‍රහාරයේ සත්‍ය අනාවරණය කරගැනීමට හැකිවේද? වින්දිතයන්ට යුක්තිය ඉටුවේද? යන්න සියල්ලන් විමසිල්ලෙන් බලාසිටින්නකි. ඒ අතර හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ  අධ්‍යක්ෂක නිලන්ත ජයවර්ධන මහතා හෝ  හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා හෝ නැතහොත් ඔවුන් දෙදෙනාමව හෝ රජයේ සාක්ෂිකරුවන් කිරීමට උත්සහයක් පවත්නා බවත් වාර්තාවේ. ඒ සම්බන්දයෙන් මැල්කම් රංජිත් කාදිනල්තුමා ඇතුළු ශ්‍රී ලංකා කතෝලික සභාව දැනටමත් විරෝධය දක්වා තිබේ. එම විරෝධතාවයන්ට රජය කෙතෙක් කන්දේද යන්න තවමත්  කිවනොහැක. රජය කතෝලික සභාවේ විරෝධය නොතකමින් කටයුතු කරන්නට යන බවක් පසුගියදා ඕස්ට්‍රේලියාවේ පදිංචි 300කට අධික පිරිසක් සහ කාදිනල්තුමා අතර අනතර්ජාලය ඔස්සේ පැවති සාකච්චාවකදී කාදිනල්තුමා හෙළිකලේය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා කාදිනල්තුමාට දුරකථනය ඔස්සේ කථාකොට පාස්කු කොමිසමේ ඇතැම් නිර්දේශ ඔහුට ක්‍රියාත්මක කළනොහැකි බවත්, ඇතැම් නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ගියහොත් ජනාධිපතිවරයාගේ දේශපාලන ජනප්‍රියත්වය දියවී යනබව තමාට දැන්වූබව කාදිනල්තුමා  ප්‍රකාශ  කළේය. 

එම ප්‍රකාශය අනුව පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වුවනට යුක්තිය  සහ සාධාරණය ඉටුකිරීමට වඩා ජනාධිපතිවරයා සිය දේශපාලන පැවැත්ම සහ දේශපාලන අභිලාෂයන්ට  ප්‍රමුඛතාවය දෙනබව පෙනීයයි. එහෙත් පාස්කු ප්‍රහාරය සම්බන්දයෙන් විමර්ශනය කල ජනාධිපති කොමිසමේ කුමන නිර්දේශ ජනාධිපතිවරයා  ක්‍රියාත්මක  කිරීමට  අපේක්ෂා  නොකරන්නේද? කුමන නිර්දේශ පමණක් ක්‍රියාත්මක කරන්නේද? නැතිනම් එකදු  නිර්දේශයක් හෝ ක්‍රියාත්මක  නොකරන්නේද?  යන්න  පැහැදිලි කරගත යුතුව  ඇත. 

පාස්කු ප්‍රහාරය පිළිබද පරීක්ෂාකල ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශ 31 වන පරිච්ෙඡ්දයේ දක්වා ඇත. එකී  පාස්කු කොමිසමේ නිර්දේශ අතර:  
     
1. සහරාන්, රිල්වාන්, ෂයිනි, ඉල්හාම්, ඉන්ෂාෆ්, ජමිල්, නස්තුන්, මුවාත්, අසාද්, මුබාරක්, නවුෆර්, මිල්හාන්, සාදික් සහ තවත් අය ත‍්‍රස්තවාදී ක‍්‍රියාවන්ට සෘජුවම සම්බන්ධ පුද්ගලයන් බවට ඉදිරිපත් වී ඇති සාක්‍ෂිවලට අනුව පරීක්‍ෂණ කොමිෂන් සභාවේ කාර්යභාරය යටතේ හඳුනාගෙන, ඔවුන්ගෙන් සමහරෙකු පිළිබඳ විස්තර 16 වන පරිච්ෙඡ්දයේ සඳහන්කර ඇති අතර ඔවුන්ගේ ඉස්ලාම් අන්තවාදය ක‍්‍රියාත්මක වන පදනම වන්නේ තවුහිද් (වහබ්) දෘෂ්ටිවාදය බවත්, ශ‍්‍රී ලංකා ජමාතේ ඉස්ලාම් (ශ‍්‍රී ලංකා ජමාතේ ඉස්ලාම් ශිෂ්‍ය ව්‍යාපාරය) සහ තවුහිද් කණ්ඩායම් වැනි සංවිධාන වක‍්‍රව ඊට සම්බන්ධ වී ඇති බවත්, ඒ සම්බදයෙන් රජය දැඩිව ක්‍රියාත්මකවිය යුතුබව රජයට නිර්දේශ කර ඇත.
 
 2. 19 වන පරිච්ෙඡ්දයේ හඳුනාගෙන ඇති නිලධාරීන් සහ බලධාරීන් මෙවැනි ත‍්‍රස්තවාදී හා අන්තවාදී ක‍්‍රියාකාරකම් රට තුළ සිදුවනු ඇති බවට පූර්ව නිශ්චය කිරීමට අපොහොසත් වීම සහ ඊට අදාළ කරුණු සොයා බැලීම හෝ ඊට සම්බන්ධ කවුරුන්ද යන්න පිළිබඳව සොයා බලා නීතියට අනුව ක‍්‍රියා කිරීම නොසලකා හැරීම සහ මේ සම්බන්ධයෙන් නිසි ක‍්‍රියාමර්ග නොගෙන ඇති බව පරීක්‍ෂණ කොමිෂන් සභාව නිරික්ෂණයකර ඇත. එමෙන්ම 2019 අපේ‍්‍රල් 21 වන දින සිදුවූ ත‍්‍රස්ත ප‍්‍රහාර වැළැක්වීමට අපොහොසත් වීම සහ ඔවුන්ගේ රාජකාරි ඉටු කිරීමට අපොහොසත් වීම සහ නිසි පියවර නොගැනීම සම්බන්ධයෙන් 19 සහ 20 වන පරිච්ෙඡ්දවල හඳුනාගෙන ඇති නිලධාරීන් සහ බලධාරීන් වගකිව යුතු බවට පවතින සාක්‍ෂි මත පරීක්‍ෂණ කොමිෂන් සභාව නිගමනය කර ඔවුන් සම්බන්දයෙන්ද රජය දැඩිව ක්‍රියාත්මක වියයුතු බවට නිර්දේශ කර ඇත.

3. 2019 අපේ‍්‍රල් 21 වන දින ප‍්‍රහාරය සිදුවීමෙන් පසු මහජන විරෝධතා, කඩාකප්පල්කාරී ක‍්‍රියාවන් දේපළ හා පුද්ගලයන්ට හානි සිදු කිරීම සහ මහජන නොසන්සුන්තාවයට 27 වන පරිච්ෙඡ්දයේ හඳුනාගෙන ඇති පුද්ගලයන් සම්බන්ධ බවට ලැබී ඇති සාක්‍ෂි මත පරීක්‍ෂණ කොමිෂන් සභාව නිගමනය කර ඔවුන් සම්බන්දයෙන් නිතිය ක්‍රියාත්මක කලයුතු බවට කොමිසම නිර්දේශකර ඇත.
 
4. 18, 22 සහ 25 පරිච්ෙඡ්දවල හඳුනාගෙන ඇති පුද්ගලයන් සහ සංවිධාන වාර්ගික හා ආගමික ක‍්‍රියාවන්ට හේතු වූ වාර්ගික හා ආගමික කැළඹීම් ඇති කිරීමට තුඩුදුන් මහජන නොසන්සුන්තාවයක් ඇති කොට රට තුළ මෙවැනි ක‍්‍රියාවන්ට ආධාර හෝ අනුබල ලබා දුන් බවට සහ එම ක‍්‍රියාවන් මගින් සමාජය තුළ සාමය ස්ථාපිත කිරීමට බාධා කළ අතර සමාජ අඛණ්ඩතාව කඩාකප්පල් කරමින් වාර්ගික කැළඹීම්ද ඇති කළ බව ඒ සම්බන්ධයෙන් පවතින සාක්‍ෂි මත පරීක්‍ෂණ කිරිමට කොමිෂන් සභාව නිරදේශකර ඇත. 
 
 5. 2019 අපේ‍්‍රල් 21 වන දින සිදුවීම් සඳහා මූලිකව හේතු වන්නේ වහබ් දෘෂ්ටිවාදය සහ තවුහිද් කණ්ඩායම්, ශ‍්‍රී ලංකා ජමාතේ ඉස්ලාම් සහ ශ‍්‍රී ලංකා ජමාතේ ඉස්ලාම් ශිෂ්‍ය ව්‍යාපාරය වැනි කණ්ඩායම්ද, ජාත්‍යන්තරව අයිඑස් සංවිධානයේ ක‍්‍රියාකාරකම් සහ දේශීය වශයෙන් බොදුබල සේනා සංවිධාන වැනි අන්තවාදී කණ්ඩායම්වල ක‍්‍රියාකාරකම් මෙම සිදුවීම් සඳහා දායක වූ බව පරීක්‍ෂණ කොමිෂන් සභාව නිගමනය කර ඔවුන් සමබන්දයෙන්ද නිර්දේශ ඉදිරිපත්කර ඇත.
 
6. අපේ‍්‍රල් 21 සිදුවීම සඳහා ප‍්‍රධාන වශයෙන් අරමුදල් සපයනු ලැබුවේ ඊබ‍්‍රාහිම් සොහොයුරන් වන ඉන්ෂාන් සහ ඉල්හාම් විසිනි. 26 සහ 31 පරිච්ෙඡ්දවල දක්වා ඇති පරිදි අගතියටපත් පාර්ශවයන් සඳහා වන්දි ගෙවීම සහ සුභසාධන ක‍්‍රියාමාර්ග අනුගමනය කිරීම සිදු කළ යුතු බව පරීක්‍ෂණ කොමිෂන් සභාව නිර්දේශ කරයි. මහජනතාවගේ ආරක්‍ෂාව සහතික කිරීම සහ මෙවැනි සිදුවීම් නැවත ඇතිවීම වැළැක්වීම සඳහා පරීක්‍ෂණ කොමිෂන් සභාවේ නිර්දේශ 23 සහ 31 වන පරිඡේදවල දක්වා තිබේ. 
        
7. රිෂාඞ් බදියුදීන් මහතා සම්බන්ධයෙන් 22 වන පරිච්ෙඡ්දයේ දක්වා ඇති තම කර්මාන්ත ශාලාවට අදාළ කරුණු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාව වෙත යොමු කළ යුතු කාරණයක් ලෙස පරීක්‍ෂණ කොමිෂන් සභාව හඳුනාගැනීම.
 
 9. එම වැරදි සිදු කළ බවට චෝදනා ලැබ සිටින පුද්ගලයන්ට එරෙහිව අපරාධ නඩු පැවරීම පිළිබඳව සලකා බැලීම සඳහා අතිගරු ජනාධිපතිතුමා විසින් වාර්තාවේ සම්පූර්ණ වාර්තාව නීතිපති වෙත භාර දීම මැනවැයි පරීක්‍ෂණ කොමිෂන් සභාව නිර්දේශ කිරීම ආදිය ඇතුලත්ය. 

ඊට අමතරව සුවිශේෂී නිර්දේශ කිහිපයක් මෙසේය.

  • හිටපු ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන, හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු, පාර්ලිමේන්තු මන්තී‍්‍ර රිෂාඞ් බදියුදීන්, හිටපු ජාතික බුද්ධි අංශ ප‍්‍රධානී සිසිර මෙන්ඩිස්, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්‍ෂ නිලන්ත ජයවර්ධන, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන අයට එරෙහිව අපරාධ නඩුවක් ගොනු කිරීමට තිබෙන හැකියාව සොයා බලන ලෙස පාස්කු ප‍්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම නීතිපතිට නිර්දේශ කර ඇත. ප‍්‍රහාරය පිළිබඳව තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කි‍්‍රයාත්මක නොවීම ඇතුළු කරුණු කිහිපයක් එම නිර්දේශ සඳහා හේතුවී ඇති බව කොමිසම් වාර්තාවේ දැක්වේ.  
  • තවද මරාගෙන මැරුණු බෝම්බකරුවන්ගේ සියලූ දේපළ රාජසන්තක කළ යුතු බවටද මෙහි නිර්දේශ කිරීම.  
  • රජය විසින් මියගිය අයට රුපියල් මිලියන දෙකක් හා තුවාල ලැබූ අයට ලක්‍ෂ 05 බැගින් වන්දි ලබාදීම. 
  • මඩකලපුව සියොන් දේවස්ථානයේ මරණ අවම කිරීම වෙනුවෙන් කැපවුණු රමේෂ් රාජු මහතාගේ සමීපතම ඥාතීන්ට ත්‍යාගයක් ලබාදීම.  
  • පාස්කු ප‍්‍රහාර සම්බන්ධව සිදුකරනලද විමර්ශනවලට අදාළව රිෂාඞ් බදුර්දීන් හා අසාද් සාලි සිදුකරනලද මැදිහත්වීම්වලට අදාළව පහත නිර්දේශ ඉදිරිපත් කර ඇත.  
  • ඒ අනුව ජනවාර්ගික අසමගිය ඇති කරන පුද්ගලයකු වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීමට විධිවිධාන සැලසීම.
  • පාස්කු ඉරිදා චූදිතයන් වෙනුවෙන් නඩු විභාගය සඳහා කැපවෙන විශේෂ මහාධිකරණයක් පිහිටුවා දිනපතා නඩු විභාග කිරීම, විනිසුරුවරුන්ට විශේෂ රැකවරණයක් ලබාදීම.
  • ඕනෑම පොදු ස්ථානයක මුහුණු ආවරණය සේ නිර්මාණය කර ඇති ඇඳුම් ඇඳීම තහනම් කිරීම.
  • ශී‍්‍ර ලංකාවේ ඉස්ලාමීය රාජ්‍යයක් පිහිටුවීමට කුමන්ත‍්‍රණය කළ රෂිඞ් අක්බාර්ට එරෙහිව අපරාධ නඩු පැවරීම. 
  • අබ්දුල් රාසික්ට එරෙහිව චෝදනා ගොනු කිරීම. 
  • ආරක්‍ෂක අමාත්‍යාංශය සෑම විටම ජනාධිපතිවරයා යටතේ විය යුතු බවත් ඔහු විදේශ ගත වන්නේනම් ජනාධිපතිවරයා අනිවාර්යයෙන්ම වැඩබලන ආරක්‍ෂක අමාත්‍යවරයකු පත්කළ යුතු බව. 
  • විදෙස් රටවල තහනම් කර ඇති අන්තවාදී දේශකයන්ගේ ජීවිත කතා හෝ පොත් මෙරටේ කිසිම ආයතනයක් විසින් පළ කළ යුතු නැත. 
  • ආරක්‍ෂක අවසරයකින් තොරව කිසිම විදේශිකයකුට මෙරට සේවය කිරීමට ඉඩ නොදිය යුතුය. 
  • මද්‍රසා පාසල්වලට ලැබෙන අරමුදල් නිගමනය කිරීම සියලූම ආගමික පාසල් නියාමනය කළ යුතුය.  
  • මද්‍රසා මෙන්ම බෞද්ධ, කි‍්‍රස්තියානි, හින්දු ආගමික පාසල් නියාමනය විය යුතුය. 
  • බෞද්ධ කි‍්‍රස්තියානි හින්දු හෝ ඉස්ලාම් වශයෙන් පාසල් ආගමික වර්ගීකරණයක් නොකළ යුතු බවට නිර්දේශ කර තිබේ. 
  • ආගමික කටයුතු සඳහා පැවැතිය යුත්තේ එක් අමාත්‍යාංශයක් පමණි. එය ජනාධිපතිවරයා යටතේ පැවැතිය යුතුය. 
  • ත‍්‍රස්තවාදයට එරෙහිව නව නීතියක් පැනවිය යුතු බව මෙහි නිර්දේශවී ඇත. 
  • ජංගම දුරකථන සබඳතා නිකුත් කිරීමේදී එක් පුද්ගලයකු සඳහා ලබාදෙන සම්බන්ධතා ගණන සීමා කිරීම. 
  • හදිසි නීතිය පැනවීමකින් තොරව පොලිසියට හමුදාවේ සහය ලබාගත හැකි නීතිමය රාමුවක් සකස් කිරීම.
ආදියද කොමිසමේ නිර්දේශ අතර වේ. 

ඉහතකී  නිර්දේශ අතරින් ජනාධිපතිවරයා ක්‍රියාත්මක කිරීමට නොහැකි යැයි  දක්වන  නිර්දේශ මොනවද?  ක්‍රියාත්මක  කිරීමට  බලාපොරොත්තු  වන නිර්දේශ මොනවද? ක්‍රියාත්මක කිරීමට නොහැකි යැයි ඔහු දක්වන නිර්දේශයක් වෙතොත් ඒ ඇයි යන්න ගැන දැනගැනීමට මහජනයාට අයිතියක් ඇත. ඒ අයිතිය වෙනුවෙන් බොහෝ පාර්ශව දිවා රෑ දෙකෙහිම වෙහෙස නොබලා ක්‍රියාත්මකවෙමින් සිටි. 

මේ වන විට පාස්කු ප්‍රහාර සම්බන්දයෙන් සත්‍ය සහ යුක්තිය සොයාගැනීමට විවිධ පාර්ශව විවිධ පෙරමුණු ඔස්සේ පෙරට ඇදෙමින් සිටි. ශ්‍රී ලංකාවේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වහා ක්‍රියාත්මක වන ලෙස දැන් ලංකා සභාව ලෙස හදුන්වන ලංකාවේ එංගලන්ත සභාව මේ වසරේ ඔක්තෝම්බර් මස 8 වෙනිදා සිට ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර රැස්වු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේන් ඉල්ලා සිටියේය. ඔවුන් එසේ ඉල්ලා සිටියේ එංගලන්ත සභාවේ  (Church of England/Anglican church) ලංකා ශාඛාව ලෙසයි. එහෙත් ලබන වසරේ (2022) එංගලන්තයේ  ලොම්බාත් නුවර රැස්වෙන ඔවුන්ගේ ජාත්‍යන්තර සමුළුවේදී (Lambeth Conference) ඔවුන් එම යෝජනාව සමස්ථ එංගලන්ත සභාවේම ඉල්ලීමක් ලෙස ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරමින් සිටි. 

ලංකාවේ කතෝලික සභාව මෙන්ම අනෙකුත් ක්‍රිස්තියානි සභාවල්ද ශ්‍රී ලංකාවේ පාස්කු ප්‍රහාරය සම්බන්ධ සත්‍ය මතුකරගැනීමටත්, යුක්තිය ඉටුකරගැනීමටත් වෙන වෙනම මෙන්ම එකට එක්ව ලොව පුරාම කටයුතු කිරීමට පෙරමුණ ගනිමින් සිටින බව මින් පිලිබිඹුවේ. 

එංගලන්ත සභාව හෙවත් ඇන්ග්ලිකන් (Church of England/Anglican church) සභාවේ නායකයා වන කැන්ටබරියේ අගරදගුරු (the archbishop of canterbury) ජෙස්ටින් වෙල්බි(Justin Welby) අගරදගුරුවරයා ලංකාවට පැමිණි ලංකාවේ මැල්කම් රන්ජිත් කාදිනල්තුමා ඇතුලු කතෝලික රදගුරු තුමන්ලාත්, පාස්කු ප්‍රහාරයට ලක්වු මීගමුවේ කටුවපිටිය දේවස්ථානයත් බැහැදැකීමට 2019 වසරේ අගෝස්තුවේම පැමිණියේය. 

එංගලන්ත සභාවෙන් එසේ කටයුතු කරමින් සිටින අතර අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉකුත් සැප්තැම්බර් 13 වෙනිදා ඉතාලියේ බොලොඤ්ඤ නුවරට පැමිණිමත් සමග ඇරබි ලොවපුරාම වෙසෙන ලාංකිකයන් පාස්කු ප්‍රහාරයට යුක්තිය සහ සාධරණය ඉල්ලා පෙරට පැමිණීම දැවැන්ත රැල්ලක් බවට පරිවර්තනය විය. බොලොඤ්ඤවෙන් ඇරබි රැල්ල ඉන් අනතුරුව  හමා ආවේ ඇමරිකාවේ නිව්යෝර්ක් නුවරටය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ වාර්ෂික සමුළුව ඇමතීමට නිව්යෝර්ක් නුවරට ගියවිට එහිදී එම හඩ තවදුරටත් අති ප්‍රබලව මතුව ආහ. එහිදී ඔවුන්හු "දෙරණ සසලුනත් නෑ අපි බියපත් වන්නේ..හමුදාවන්ගේ රජිදෝ අප හා බැන්දෝ...ජකොවුන්ගේ දෙවිදාණෝ බලකොටුව අපේ'' යන ගීතිකාව මහා හඩින් ගයමින් සත්‍ය සහ යුක්තිය ඉල්ලා මොරගැසුහ. එකී මෝරාලෑම් අනතුරුව වෙරෝනා, මිලානෝ, ජිනීවා නුවරවලද රැව් පිලිරැව් දුන්නහ. 

ඉන් අනතුරුව එම රැල්ල ලංඩනයටද හමා ආහ. ඉකුත් 16/10 දින අපි ලංඩනයේ වෙසන තවත් ශ්‍රී ලාංකිකයන් සමග යුක්තිය සහ සත්‍ය ඉල්ලා හඩ නැගුහ. එම විරෝධතාවය අතරතුර මම කතාවක්ද පැවැත්වන ලදී. එම කථාව පහතින් දක්වමින් මම මේ සටහන අවසන් කරමි. පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වුවනට යුක්තිය සහ සත්‍ය ඉල්ලා පෙරට ඇදෙන මහා ජන ප්‍රවාහය දැක අප සියල්ලන් තවදුරටත් ශක්තිමත් කර ඇති බව තවදුරටත් මෙහි සටහන් කරමි. මා පැවැත්තුවූ  කථාව මෙසේය:

''ඔබ සියලු දෙනාගේම අවසරයි !! 

ලබන සුමානෙට පාස්කු ප්‍රහාරය සිද්ධවෙලා මාස 30 ගතවෙනවා. එත් පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වුවනට යුක්තිය සහ සාධාරණ ඉෂ්ට කරන්න, පාස්කු ප්‍රහාරය පිටුපස ඉන්නේ කවුද කියන සත්‍ය  හෙළිකරන්න  කියන හඩ අද ලොවපුරාම රැව්පිළිරැව් දෙන්න පටන් අරන්. අද අපි මෙතනට රැස්වෙලා ඉන්නෙත්, මා නියෝජනය කරන සත්‍ය  සහ යුක්තිය වෙනුවෙන්වූ සහයෝගිතා ව්‍යාපාරය මතුකරන්නෙත් පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වුවනට යුක්තිය ඉෂ්ටකරන්න, පාස්කු ප්‍රහාරය පිළිබද සත්‍ය ලෝකෙට හෙළිකරන්න, කියන එකයි. 

අපි දන්නවා පාස්කු ප්‍රහාරයෙන් 269දෙනක් මියගියා. 400යකට වැඩි පිරිසකට තුවාල සිදුවුණා. ඉන් 116ක්ම මියගියේ මගේ ගම වන මිගමුවේ. අපේ අල්ලපු මීසමේ, කටුවපිටියේ. අපිත් එක්ක එකට ස්කොලේ ගිය, එකටහැදුනවැඩුන අයත් ඒ අතර ඉන්නවා. ඒවගේම කොළඹ කොච්චිකඩේ සාන්ත අන්තෝනි පල්ලියේ 56දෙනෙකු මියගියා. මඩකලපුවේ සියොන් කිතුනු දේවස්ථානයේ 31දෙනෙක් මියගියා. දේවස්ථානවල පමණක්  මියගිය ගණන 203යි. ඒ වගේම කින්ස්බරි හෝටලයේ 10දෙනෙකුත්, ෂන්ග්‍රිලා හෝටලයේ 35දෙනෙකුත්, සිනමන්ගාඩන් හෝටලයේ22 මියගියා, මහවිල උයනේ 7ක් මියගියා. මේ මියගිය අය අතර කිතුනුවෝ වගේම, සිංහල වගේම, දෙමල, මුස්ලිම්, ශ්‍රී ලාංකික, විදේශීය, බ්‍රිතාන්‍ය, අමෙරිකානු, ඉන්දියානු ආදී විවිධ ආගම්වලට, ජාතිවලට, රටවලට අයත් පිරිසක්වෙනවා. අපි යුක්තිය ඉෂ්කරන්න කියලා කියන්නේ මේ සියල්ල්න්ටමයි. 

අනෙක් අතින්  යුක්තිය  ඉෂ්කරනවා කියලා කියන්නේ මොකක්ද? මළවුන් වෙනුන් ඉටුකරන්න පුළුවන් යුක්තිය මොකක්ද  කියලා  අහන්න අයත් ඉන්නවා.

පලමුවෙන්ම කියන්න ඕන කාරණය තමයි සත්‍ය හෙළිදරව් කරගැනීමත් යුක්තිය ඉටුකර ගනිමේම කොටසක් බව. අපි දන්නවා පාස්කු ප්‍රහාරය  පිලිබදව කොමිසන් තුනක් පැවැත්වුවා. එකක් පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව, අනෙක මලල්ගොඩ කොම්සම. තුන්වෙනි එක ජනාධිපති කොමිසම. ඒ කොමිසන් තුන ඔස්සේ කාරණා රාශියක් මතුකරලා තියෙනවා. හැබැයි ඒවායින්  මහජනයාට  දැනගැනීමට  නිකුත්කරලා තියෙන්නේ කිහිපයක් පමණයි. වෙළුම් 23ක්වෙන ජනාධිපති කොමිසමේ  අවසන් වාර්තාවෙන් පාර්ලිමේන්තුවට නිකුත්කරලා තියෙන්නේ 1ක් වෙළුමක් පමණයි. කෝ අනිත්  වෙළුම්  22ක? ඇයි ඒ ටික  පාර්ලිමෙන්තුවටවත් නිකුත් කරන්නේ නැත්තේ... ඒවායේ තියෙන තොරතුරු මහජනයාගෙන් සගවන්නේ  ඇයි? මහජන මුදලින්  පවත්වාගෙන  ගිය  කොමිසමේ වාර්තාව මහජනයාට  දැනගැනීමට  අයිතියක් නැද්ද? මහජනයාට සත්‍ය දැනගැනීමට අයිතියක් තියෙනවා. මියගිය  අය වෙනුවෙන් ඉෂ්ට කරන්න පළමු යුක්තිය තමයි පාස්කු ප්‍රහාරය පිළිබද  සත්‍ය හෙළිකරගැනීම.

අපි දන්නවා පාස්කු ප්‍රහාරය පිලිබදව හෙළිවී ඇති තොරතුරු අතර  සහරාන්ලා කාලයක් තිස්සේ රටේ ආරක්ෂක අංශයේ කොටසක් එක්ක සබදතා පවත්වාගෙන ගියා කියලා හෙළිවෙලා තියෙනවා කියලා. රටේ මිනිස්සු දැනගන්න  ඕනෑ ඒ කවුද?  මොනවද ඒ සබදතා කියලා. ආරක්ෂක අංශයට සම්බන්ද 'සොනික් සොනික්' කියන්නේ කවුද? බණ්ඩාර කියන්නේ  කවුද? කටුවපිටියේ  බෝම්බකරුගේ  බිරිද 'පුස්තිව' ඉන්දියාවට යන්න මන්නාරමට අරන් ගියයි කියන පොලිස් නිලධාරියා කවුද? ඇයි ඒ අය එහෙම  දේවල් කලේ? ශ්‍රී ලංකා ආරක්ෂ අංශයට  සම්බන්ද  පිරිස් සහ  පාස්කු ප්‍රහාරය එල්ලකරපු සහරාන්ලා අතර තිබ්බයි කියලා මතුවෙලා තියෙන කරුණුගැන සත්‍ය දැනගැනීමට රටේ මිනිස්සුන්ට අයිතියක් තියෙනවා. 

ඒවගේම  ප්‍රහාරය එල්ලවෙන්න දින 17කට කලින්, 2019 අප්‍රියල් 04 වේද්දී, ප්‍රහාරය එල්ල කරන්නේ කවුද, කවදද, කොහෙටද, කියලා තොරතුරු ජාතික  බුද්ධි  අංශවලට  ලැබිලා තියෙද්දෙත් ඒ ගැන කිසිවක්  නොකළේ ඇයි? ප්‍රහාර වලක්වාගන්න කිසිවක් නොකෙළේ ඇයි? කියන එක මහජනයාට දැනගන්න ඕනේ. හිටපු ආරක්ෂ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහත්තයම කිව්වා ප්‍රහාරයක් වෙන බව දැනන් හිටියා එත් මෙච්චර දෙයක් වෙයිකියලා දන්නේ නැහැ කිව්වා. ඒ කියන්නේ ප්‍රහාරයක් වෙන්නදීලා, එකෙන්  දේශපාලන වාසියක්  ගන්න බලන් හිටියා කියන එකද? හිටපු ආරක්ෂක ඇමති, හිටපු ජනාධිපති  සිංගප්පුරුවට වෙලා හිටියේ ඒකටද? දැන් සිරිසේන මහත්තයා මේ ආණ්ඩුවේ කොටස්කාරයෙක්. 'මම මොකටද  සමාව ඉල්ලන්නේ?' කියලා කිව්වා, හිටපු ජනාධිපති කිව්වා එයාට මේ ආණ්ඩුව  නඩුදානේ නැහැ කියලා. ඔව්, ආණ්ඩුව එයාට නඩුදාලා නැහැ. ජනාධිපති කොමිසම් සභා වාර්තාවේ පළමු වෙළුමේ 293පිටුවේ  පැහැදිලිවම කියනවා හිටපු ජනාධිපති සිරිසේන මහත්තයා  වගකිම්  පැහැර ඇරලා තියෙනවා කියලා. ඒ විතරක් නෙමේ එම වෙළුමේ 295 පිටුවේ  තියෙනවා සාපරාධී වගකීම් පැහැර හැරීම සම්බන්දව සිරිසේන මහත්තයට  අපරාධ නඩුවක් ගොනුකරන්න කියලා. ඒවා වෙලා නෑ. එයා  කියනවා මට  මේ ආණ්ඩුව නඩුදානේ නැහැ කියලා. ඒවගේම කොමිසන් වාර්තාවේ පළමු වෙළුමේ 308පිටුවේ  තියෙනවා රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ඉස්ලාමීය  අන්තවාදය කෙරෙහි ලිහිල් ප්‍රවේශයක සිට කටයුතු කලා කියලා. එයත්  මේ විනාශය වෙන්න යම් දායකත්වයක් ලබාදුන්නද කියලා හොයලා බලන්න ඕනෑ නැද්ද? 

අපි දන්නවා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහත්තයටයි, හිටපු පොලිස්පති  පුජිත ජයසුන්දර  මහත්තයටයි  නඩු  දාල  තියෙනවා  කියලා. එත් කොමිසන්  සභා වාර්තාවේ 316/317 පිටුවල සාපරාධි  වගකීම් පැහැර හරිම ගැන දෝෂදර්ශනයට ලක්කර ඇති හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහත්මයට නඩු පවරන්නේ නැද්ද? ඒවගේම කොමිසම්සභා වාර්තාවේ 319-320දක්වා පිටුවල බලපතල ලෙස දෝෂදර්ශනයට ලක්කර ඇති හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂක නිලන්ත ජයවර්ධන  මහත්තයට නඩු පවරන්නේ නැද්ද? මේ ආණ්ඩුව පත්වුනාම නිලන්ත ජයවර්ධන  මහත්මයාව මධ්‍යම පළාතේ පොලිස් ප්‍රධානියා කරනවා. ප්‍රහාර සිද්ධවනවිට නිවාඩු ගිහින් හිටිය කොළඹ උතුර බාරව සිටිය දේශබන්දු තෙන්නකෝන්  මහත්තයාව නියෝජ්‍ය පොලිස්පති  කරනවා. තව බෝම්බ  පිපිරෙයි  කියලා කියපු ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්දයෙන් පරික්ෂනයක්වත්  නොකරන සරත් වීරසේකර මහත්තයාව මහජන ආරක්ෂාවභාර  ඇමතිවරයා ලෙස තියන් ඉන්නවා. මිනිස්සු පුහුල් හොරු කරෙන්  දැනෙනවා කියලා කියන්නේ ආණ්ඩුවේ මේ ක්‍රියාපටිපාටියවල් නිසා නෙමේද? 

චන්දේ කාලේ නම් කිව්වේ තුවක්කුව බැන්ද එකා අහුවෙනවලු දඩයාම  කරේ තියන්යද්දී කියලයි. ඒ තරමට මේ ආණ්ඩුව පාස්කු ප්‍රහාරය  ඒගොල්ලන්ගේ තමන්ගේ දේශපාලන වේදිකාවල මොරගෑව. පාස්කු ප්‍රහාරය ඒගොල්ලන්ගේ චන්දගොඩ වැඩිකරන්න  භාවිතාකලා. කෝ ඇවිල්ලා  ඉටුකරපු යුක්තිය  සහ සාධාරණය? තවම  විමර්ශන  කොමිසමේ වෙළුම 23ම එලියට  දාන්න බැරිවෙලා තියෙනවා.  පාස්කු කොමිසමේ නිර්දේශ  ක්‍රියාත්මක කරන්න බැරිවෙලා තියෙනවා. චෝදනා 23,270 ගොනුකරලා නඩුදාලා තියෙනවා තමයි, හැබැයි ඒ මුස්ලිම් පිරිසක්  ඉලක්ක කරගෙන විතරයි, පාස්කු ප්‍රහාරය පිටිපසේ නම කියවෙන ආරක්ෂා අංශවල  අයගැන, වගකීම් පැහැරහැරිය අය ගැන නඩු නෑ, මේ නඩුවේ චෝදනා 23,270 දවස් 365හේම ඇහැවත් 63යැයිද විභාගකරලා ඉවර කරන්න. අඩුම තරමේ මේ නඩුව ඉවරවෙන්න අවුරුදු20-30ක්වත් යයිද කියලා සැකයක්  තියෙනවා. අර කාදිනල්තුමා කියනවා වගේ මේවත් මේ හීමීට කාපට් එක යටට අතුගාලදාන්න කරන වැඩද? 

විශ්‍රාමගිය නිතිතුමා, දප්පුල ද ලිවේරා මහතා කිව්වා පාස්කු ප්‍රහාරය පිටුපස දැවැන්ත කුමන්ත්‍රණයක්  දියත්වෙලා තිබෙනවා  කියලා පෙනවා කියලා. ඒ ගැන  පරික්ෂා කරන්නැ ඕනේ  නැද්ද? ඇත්තටම මේ  නඩුවෙන්වත්, මේ  පරික්ෂවලින්වත් පාස්කු ප්‍රහාරය පිළිබද සත්‍ය හෙළිකරගන්න  හැකිවෙන්නේ නෑ, යුක්තිය ඉටුවෙන්නේ නැහැ කියලා අපිට  පෙනියනවා. ඒනිසා ජාත්‍යන්තර විමර්ශනයක් අවශ්‍යයි කියලා අපි ඉල්ලනවා. දැනටමත් රටේ විවිධ තැන්වලින්, සිද්ධස්ථාන පර්ශ්‍රයන්ගෙන් බෝම්බ හමුවෙන්න  පටන් අරන්. කලා-බිලා, සින්දුවක් කියලා, සෙල්ලමක් කරලා සතුටින්  සාමයෙන් නිදහසේ සිටිය කිතුනුවන්ට පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් එල්ලකලා වගේ තවත් අනතුරක් වෙන්න පුළුවන් කියලා කියන පටන් අරන් තියෙනවා. මේ පිළිබද පරීක්ෂණ ඕනෑ, සත්‍ය දැනගන්න ඕනෑ, යුක්තිය ඉෂ්ටවෙන්න ඕනේ. හයවෙනි පාවුළු පාප්වහන්සේ කාලෙකට කලින් ලියාලා තියෙනවා ඔබට සාමය  අත්කරගන්න ඕනේ නම් ඔබට  යුක්තිය ඉෂ්ටවෙන්න ඕනේ කියලා. අද අපිට කියන්න වෙලා තියෙන්නෙත් එචච්රයි සාමය අත්කරගන්න යුක්තිය ඉෂ්ටකරන්න කියලා තමයි අපිටත් කියන්න වෙලා තියෙන්නේ. IF YOU WANT PEACE, WORK FOR JUSTICE. 

On this occasion, we would like to appeal to the international community to help and extend your solidarity as well as to achieve the truth and justice for Sri Lanka's Easter Sunday victims. 

 Thank you.

මාකස් ප්‍රියන්ත පෙරේරා
21/10/2021
  

6 comments:

  1. Deshapalakayoo owa karanne na..unp slfp..pobottu

    ReplyDelete
    Replies
    1. දේශපාලකයෝ අපරාධකරුවන්ට දඩුවම් කරන්න දෙන්නේ නැහැ - කොහෙන් හරි මේක නවතින්න ඕනේ නැද්ද? මේ වැඩෙන් හරි ඒ සදහා උත්සහයත් ගනිමු.

      Delete
  2. Api horu..vijayge paramparawa...hora wada thama ithin karanne...cardinal wahanse gana adam arai..bauddayata mechchara kelinawa eka ganayeka katha karanne na

    ReplyDelete
    Replies
    1. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුවුනා වගේ යුක්තිය සහ සාධාරණත්ව ඉල්ලා රටේ අනෙකුත් ප්‍රශ්න සම්බන්ධයෙන්ද මිනිස්සු එකට පෙලගැසේනවා නම් රටේ අනාගතයට එය යහපත්.

      Delete
  3. සත්තකින්ම මේ ලිපිය මා කියැවූයේ නෑ! මේ ලියන්නේ ඔයා ජනාධිපති කිව්වයි කියන දේ කියවලයි. කාඩිනල් තුමා හිතා හිටියාට ගෝඨා වැඩේ විසඳලා දෙයි කියලා මගේ නම් සත පහකවත් විශ්වාසයක් තිබුනේ නෑ ඔය ගැටළුව විසඳාවි කියලා. කාඩිනල් තුමාත් තව බලං ඉන්නවානං මේ ආණ්ඩුව විස්ඳයි කියලා මට කියන්නට ඇත්තේ "ඔබගේ බුද්ධිය පිළිබඳව මාගේ බලවත් කණගාටුව !" කියලා පමණයි. මුං කිසිදාක යුක්තිය ඉටුකරණ්නට යන්නේ නැත! එහෙම කලා කියලා ඉතිහාසයේද නැත!

    ReplyDelete
    Replies
    1. ඇත්තටම යුක්තිය කියන්නේ දිනාගත යුතු දෙයක්. එය ඉතිහාසය පුරාම මිනිස්සුගේ පෙලගැස්ම් ඔස්සේ ලබාගත් දෙයක් මිසක් කවුරුත් ලබාදුන් දෙයක් නෙමේ.ඒ ඒ අවස්ථාවල ඒ ඒ තත්වයන් සහ වර්ධනයන් සමග කටයුතු කලයුතු අවස්ථා එනවා.ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඒ සදහා සහය දක්වන බව කිව්වා.නමුත් දැන් තත්වය වෙනස්. එහෙත් අපි මුලික වශයෙන්ම සිටිය යුතු, සිටින තැන තමයි. එය දිනාගත යුත්තක් මිස කවුරුන් හෝ ලබාදෙන්නක් නොවන බව. එදත් මේ පෙලගැස්ම්ව් වල පදනම එයයි.

      Delete