This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Wednesday 24 March 2021

බ්‍රිතාන්‍යය ලොක්ඩවුන්වී වසරයි. කරෝනා අදුරෙන් එලියට?

ඊයේ දිනය (23/03) තුල බ්‍රිතාන්‍යය මුල්වරට ලොක්ඩවුන්ව වසරක් ගත්වීම සමරනු ලැබුවා. බ්‍රිතාන්‍යයද කොරෝනා වයිරසය තදින්ම බලපෑ රටවල් අතරින් එකක්. 

කොරෝනා ආසාදනය හේතුවෙන් දැනටමත් එක් ලක්ෂ විසිහය දාහකට (126,000) වැඩි පිරිසක් මෙරට තුල මියගොස් ඇත. ඒ අතර අප දන්නා හදුනන ශ්‍රී ලංකිකයන් කිහිපදෙනකුමවූ අතර ඔවුන්ගෙන් ඇතමෙක් යන්තම් වයස අවුරුදු 40 ඉක්මවූ හොද සෞඛ්‍යය තත්වයෙන් පසුවූවන්ය. 
කොරෝනා වයිරසය බිලිගත් ජීවිත ගණන සංබ්‍යත්මක අතින් පමණක් නොව කුඩා දරුවන්ට පියවරුන් අහිමිවීම, බොහෝ පවුල්වලට සිය ආදරණීයන් අහිමිවීම වැනි හෘර්දයාංගම කරුණු අතින් සලකා බැලුවද සිදුකර ඇති විනාශය සුළු පටු නොවේ. 

මේසා විශාල විනාශයක් නොවී මේ විනාශයෙන් ගොඩඒමට හැකියාවක් පැවැතියේද? විනාශය වලක්වා ගැනීමට හෝ අවම කරගැනීමට කලහැකිව පැවැති යමක් බ්‍රිතාන්‍යයට මගහැරුනේද? යන්න ගැන සොයාබැලීමට බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තුව වෙනම අධ්‍යනය කමිටුවක් (lesson learning committee) පත්කර තිබේන්නේ බ්‍රිතාන්‍යය පුරාම මෙකී ජීවිත විනාශයන් පිලිබද පසුවිපරමක අවශ්‍යතාවය තිදින්ම මතුව ඇති තත්වයක් තුලය. 

ඊයේ (23/03) මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න කිරීම්වලට උත්තර දෙමින් අගමැති බොරිස් ජොන්සන් දැක්වූයේ කොරෝනා වයිරසයේ සෑබෑ ස්වරූපය සහ එහි අතිසීඝ්‍ර ව්‍යාප්තිය පිලිබද නිසි තොරතුරු කලින්ම රැස්කර ගැනීමට ඔවුන්ට හැකිවුනිනම් තත්වය මීට වඩා වෙනස්වීමට ඉඩ තිබුනු බවය.

ඇත්තවශයෙන්ම, නවතම වයිරස විශේෂයක්වූ කොරෝනා වැනි වයිරස ව්‍යාප්තියකට බ්‍රිතාන්‍යය හෝ යුරෝපය මේ සියවස තුල මෙතෙක් මුහුණපා නොසිටියේය. එහෙත් නැගෙනහිර ආසියාවේ බොහෝ රටවල් නම් සාර්ස් (SARS) වැනි කොරෝනා වයිරසයේ මුල් ප්‍රභේදවලට තරමක් හෝ මුහුණදි කිසියම් ආකාරයක අත්දැකීම්ක් ඇතිව සිටියහ. එහෙත් කොරෝනා වසංගතය එකී රටවල සිදුකල විනාශයද, ජන ජීවිතවලට කලහානියද අතිමහත්ය. 

මීට වසරකට පෙර කොරෝනා වසංගත තත්වයක් බ්‍රිතාන්‍යය තුල ඉස්මතුවීමත් සමගම බ්‍රිතාන්‍යය ලොක්ඩවුන්වීමක් කරා යොමුවූයේ ඒවන විටත් ඉතාලිය, ස්පාඤ්ඤ ආදී රටවල් ලොක්ඩවුන්වී ඇති තත්වයක් තුලය. බ්‍රිතාන්‍යය ලොක්ඩවුන් පියවරක් කරායොමුවූයේ යුරෝපයේ බොහෝ රටවලට පසුවය. 

බ්‍රිතාන්‍යය ලොක්ඩවුන් වූයේ රටතුල සීඝ්‍රයෙන් පැතිරන කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය කිසියම් ආකාරයට පාලනය කිරීමටය. එසේ නොවුනහොත් බ්‍රිතාන්‍යය සෞඛ්‍යය සේවයට ඔරොත්තු නොදෙන තරම් රෝගීන් ප්‍රමාණයකින් රෝහල් පිරිගොස් මෙරට සෞඛ්‍යය සේවය බිදවැටීම සිදුවිය හැකිබව ඔවුන්ගේ අවධානයට ලක්ව තිබිනි. 

එමෙන්ම කොරෝනා වයිරසයට ප්‍රතිකර්මය ලොක්ඩවුන් කිරීම නොවන බවද බ්‍රිතාන්‍යයේ ලොක්ඩවුන් නීති පනවමින් අගමැති බොරිස් ජොන්සන් සිදුකල පලමු කතාවේදීම දක්වාලුහ. ඔහු ඉල්ලා සිටියේ ඔබ ගෙදර තුල රැදි සිටිමින් ඔබේ ආදරණීයයන් මෙන්ම ජාතික සෞඛ්‍යය සේවයත් රැකගන්නා ලෙසය (stay at home protect the NHS and protect loved one). 

මහජනයා එසේ නිවෙස්වලටවී සිටින අතර රජය ඔවුන්ගේ වැටුප්වලින් 80%ක් ගෙවීය. ව්‍යාපාර සදහා සහන ණය පහසුකම් සපයා ඔවුන් ආරක්ෂා කලේය. ඒ අතරම, ඒ සියල්ලටම වඩා කොරෝනා රෝගය සදහා ප්‍රතිකාරයක් සොයාගැනීමට බ්‍රිතාන්‍යය අතිමහත් පරිශ්‍රමයක් දැරීය. කොරෝනා වසංගතය සදහා එක්කෝ වසංගතය එය විසින්ම පරාජය කිරිමට සමත් ප්‍රතිදේහ නිපදවන Herd immunity තත්වයක් උත්ගතවි වසංගතය දුරුවිය යුතුය නැතිනම් එන්නතක් සොයාගත යුතුයි යන ස්ථාවරයේ බ්‍රිතාන්‍යය රජය දිගටම සිටින ලදි. 

ලංකා රජය නිල මෙන්ම නිල නොලත් ආකාරයෙන්ද පැනි, කල්ක, චූර්ණ, මුට්ටි ආදිය අත්හදා බලමින් සිටින අතර බ්‍රිතාන්‍යය විශ්වාසය තැබුවේ තර්කානුකූල විද්‍යාත්මක විසදුම් කෙරෙහිය. 
එහි ප්‍රතිපලයවූයේ වසරක් ඇතුලත කොරෝනා වයිරසය සදහා ලෝකයේ ප්‍රථමවරට එන්තක් ලබාදුන්න රට බවට බ්‍රිතාන්‍යය පත්වීමය. පලමු රැල්ලට වඩා දරුනුවට නැගීගෙනා දෙවන රැල්ල පාලනය කිරීමටද බ්‍රිතාන්‍යය පසුගිය දෙසැම්බරයේ නැවැතත් ලොක්ඩවුන්වීමකට යොමුවිය. 

එහෙත් දැන්වනවිට තත්වය පාලනයකර තිබේ. මාස දෙකකට පෙර, ජනවාරියේ, 18,000කට වඩා වැඩි පිරිසක් කොරෝනා වයිරසය ආසාදිතව බ්‍රිතාන්‍යයේ රෝහල්වල ප්‍රතිකාර ලැබුහ. දැන් එම සංඛ්‍යාව 5000ක් දක්වා අඩුවී ඇත. දිනකට 50,000ක් පමණ වාර්තාවූ නව ආසාදිතයින් ගණනද දැන් 5000ක් දක්වා අඩුවී ඇත. මේ වනවිට රටේ වැඩිහිටි ජනගහනයෙන් 50%කට වඩා වැඩි පිරිසකට හෙවත් මිලියන 28 කට වඩා වැඩි පිරිසකට කොරොනා මැඩපැවැත්විය හැකි එන්නත ලබාදි හමාරය. එය ලංකාවේ ජනගහනයටත් වඩා වැඩි පිරිසකි. 

මේ තත්වය තුල බ්‍රිතාන්‍යය මේවනවිට කොරෝනා ව්‍යාසනය හමුවේ කිසියම් අලෝකයක් දකිමින් සිටී. 

ඇත්තවශයෙන්ම, සුද්දාට බැන බැන සිටිනවාට වඩා ඔවුන්ගෙන් ඉගෙන ගැනීමට බොහෝදේ ඇත.

මාකස් ප්‍රියන්ත පෙරේරා 
24/03/21

2 comments:

  1. හොඳ ලිපියක් මාකස්....ස්තූතියි.

    ReplyDelete