This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Tuesday, 9 March 2021

ඔව් ඒ ශිෂ්‍යයා මම තමයි

උපුල් ශාන්ත සන්නගල මහතාගේ Royal Taprobanian ආයතනය විසින් අතුරුදහන්වුන්ට යුක්තිය සහ සාධාරණත්වය ඉටුකරගැනීම සදහා ක්‍රියාකාරීව මැදිහත්ව සිටින ප්‍රකට මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකුවන බ්‍රිටෝ ප්‍රනාන්දු මහතා සමග එක්ව අතුරුදහන් ආදරය නමින් වැඩසටහනක් කිරීමට යන බව දැක්වෙන වීඩියෝවක් දක්නට ලැබුනා.

ඔව්, මේ විඩියෝවේ 4.43වෙනි මිනිත්තුවේ කියන 'අපූර්ව ශිෂ්‍යයා' මම තමයි. සර් මගේ නම වරද්දනවා. මගේ නම මාකස් ප්‍රියන්ත පෙරේරා මිසක් මාකස් ප්‍රියන්ත ප්‍රනාන්දු නෙමේ. එත් එක වැදගත් නෑ, ඔය කියන ශිෂ්‍යයා මම. මීගමුවේ පන්ති කරන කාලේ සන්නස්ගල සර්ට බ්‍රිටෝ ප්‍රනාන්දුව වගේම ප්‍රෙඩී ගමගේව හදුන්වලා දුන්නෙත් මම තමයි. හැබැයි සර්ට අමතකවෙලා, බ්‍රිටෝ මේ වැඩසටහන කරන්න සර්ව හොයාගෙන එන්න කලිනුත් සර්ට බ්‍රිටෝව හම්බවෙලා තියෙනවා. ඒ කටුනායක වෙළඳ කලාපේ සිදුවුනු වර්ජනයක් වෙලාවේ මම සර්ව එතනට එක්කන් ගියා. එතනදී බ්‍රිටෝ එක්ක වගේම ජයන්ති අක්කා එක්කත් උපුල් සර් කතාකලා. වැඩ වර්ජනයේ නිරතවූ අයගේ කැට එකතුකිරිමේ ව්‍යාපාරයට සර් ආධාරයකුත් කලා. හැබැයි වැඩිවෙලා එතන හිටියේ නැහැ, ගම්පහ පන්තියට යන්න තියෙනවා කියලා ගියා. සර්ට ඒක එක නිමේෂයක් වෙන්න ඇති. නමුත් එතන දින ගණනාවක් වැඩ වර්ජනයේ නිරතවෙලා හෙම්බත්වෙලා හිටිය තරුණ තරුණියන්ට උපුල් සර්ගේ පැමිණීම මහත් ආශ්වාදයක් ගෙනදුන්නා. 

උපුල් සර් වගේම බ්‍රිටෝ අය්යත් අපේ ජීවිතවලට ගොඩක්දේවල් එකතුකරපු මිනිස්සු. 

මම බ්‍රිටෝ අය්යාව දන්නේ පොඩි කාලයේ ඉදලමයි. බ්‍රිටෝ කියන්නේ ඒ දවස්වල අපේ ගමේ තරුණ නායකයෙක්. තරුණයෝ අතර වීරයෙක්. පල්ලියේ කන්තාරු කණ්ඩායමේ ඉදන්, පල්ලියේ පාර අයිනේ සුරුවම අනික් පැත්ත හැරවීම වගේ කොලු-දග වැඩවල ඉදන්, නව සමසමාජ පක්ෂයේ දේශපාලනයේ නිතරවූ ප්‍රගතිශීලි රැඩිකල් තරුණයෙක් ලෙස වගේම 88/89 අතුරුදහන්වූ, රද්දොළුගම හන්දියේ මරා පුළුස්සා දමන ලද, රංජිත්-ලයනල්ලා වෙනුවෙන් යුක්තිය ඉටුකරගැනීමට ගොඩනැගු 'ඔක්තෝම්බර් 27' සමරුවේ සිට උතුරු නැගෙනහිර යුද්ධ සමයේ අතුරුදහන්වූ දෙමළ තරුණ-තරුණියන්ගේ අතුරුදහන්වීම් ඇතුළුව රටපුරා අතුරුදහන්වූ, නීතියට පිටින් සිදුකල ඝාතන ගැන සත්‍යය හෙළිකරගැනිමේ සහ ඔවුන් වෙනුවෙන් යුක්තිය සහ සාධාරණත්වය ඉටුකරගැනීම වෙනුවෙන් කටයුතු කරන රාජ්‍ය නොවන සංවිධානයක ප්‍රබල ක්‍රියාකාරී නායකයෙක් දක්වාවු විවිධ භූමිකා නිරූපණය කල බ්‍රිටෝ අයියාව මම හොදින් දන්නවා. ඔහු ඔය කියන 'NGO කාරයෝ' කියලා රටේ හදුනාගෙන ඇති හොර, තක්කඩි, අවස්ථාවාදී, එක එකාගේ කොන්ත්‍රාත් ඉටුකරන බඩගෝස්තරවාදී ද්‍රෝහියෙක් නෙමේයි - සමාජය වඩා යහපත් තැනක් කිරීමට වෙරදරන්නෙක්.

කොහෙන් හරි ආධාරයක් හරි, උපකාරයක් හරි අරන්, මිනිස්සුන්ට, සමාජයට, වැඩක් කිරීමට කැපවී සිටින්නෙක්. එකට NGO එකක් හරි හදලා, පිටරටවලින් හරි සල්ලි අරන්, ඒ වැඩේ කරන්න පුළුවන් නම් ඔහු එක කරනවා. රුසියන් විප්ලවය කරනකාලේ ලෙනින්වුනත් ජර්මනියෙන් සල්ලි ගත්තා. සල්ලි කොහෙන්ද ගත්තේ, ඒගොල්ලෝ දුන්නේ මොකටද කියන එක වැදගත් නෑ . ඒවයින් මොනවද කලේ, කරන්නේ, කියන එකයි වැදගත්. බ්‍රිටෝ ඉස්සර කියන දෙයක් තමයි ''මරන්න හදන්න ව්‍යාපාර නෙමේ 'මැරෙන්න හදන' ව්‍යාපාර හදමු. ලෝකය වෙනස් කරන්න පුලුවන් එවැනි ව්‍යාපාරවලට විතරයි'' කියන එක . ඒ කියන්නේ passion එකක් (මහත් ලැදියාවක්) ඇතිවෙන ව්‍යාපාර හදමු කියන එක තමයි බ්‍රිටෝ ඉන් අදහස් කලේ . බ්‍රිටෝ සන්නස්ගලව හොයන් එන්නෙත් ඒකයි. හැමදාම අතුරුදහන්වුවන්, මිනීමැරුම්, නීතියට පිටින් ඝාතන, NGO, ඔය වගේ කටෝර, කර්කශක, රළු, සටන්පාඨ, උද්ගෝෂණ වෙනුවට; 'මේ මිනිස්සුත් මිනිස්සු', 'මේ මිනිස්සුන්ගේ වේදනාවත් වේදනාවක්', 'මේවට උත්තර හොයන්නේ නැති සමාජයක් කවදාවත් සුවපත්වෙන්නේ නෑ' කියන එක සන්නස්ගලාගේ වේදිකාව හරි පාවිච්චිකරලා සමාජගතකරන්න පුළුවන් නම් එකයි වැදගත්. අන්න එක කරන්න තරම් බ්‍රිටෝ සමාජ-දේශපාලන-කලාව ආදිය ගැන සවිඥානිකයි. නිර්මානශිලියි.

ඒ වැඩේට උපුල් සර් ඉඩලබාදීමත් ඉතා වැදගත්. ඇත්තටම සන්නස්ගලලා වගේ අයව මේවගේ වැඩවලට කලින් සම්බන්ද කරගන්න තිබුනා නම් වඩා හොදයි. අපිට මේක හිතුනේ අද ඊයේ නෙමේ, අර 1990 ගණන්වල කටුනායක වෙළඳ කලාපේ වැඩ වර්ජනය වෙලාවේ මම උපුල් සර්ව එතනට එක්කන් ගිය වෙලාවේ තමයි මට ඕක මුලින්ම හිතුනේ. එදා වැඩ වර්ජනයේ නිරතවෙලා හිටිය තරුණ තරුණයින්ට සර්ව හදුන්වලාදිලා කථාවක් එහෙම කරන්න දුන්න නම් හොදයි කියලා හිතුනා. එහෙමවුනා නම් ඒ වර්ජනයේ නිරතවුන්ට ලැබෙන ආශ්වාදය ගැන අපිට වැටහීමක් තිබුනා. එත් ඒවා උනේ නෑ. සන්නස්ගල මහත්තයත් හිටියේ කඩිමුඩියේ, එක පන්තියක් ඉවරවෙලා අනිත් පන්තියට දුවන වානිජවාදී ධනෙශ්වර තරගයේ. එහෙම ඉද්දිවුනත් ඒ කාලේ බ්‍රිටෝලා ගහපු නිවෙකා පත්තරේ මම අරන් ගියහම සර් සල්ලිදීලා පත්තර කිහිපයක් මිලදී ගන්නවා විතරක් නෙමෙයි අපි ඒ පත්තරේ ලියලා තියෙන ලිපිවල අඩුපාඩු පවා පෙන්වාදෙනවා. 

කවුරුත් දන්නවානේ අපි එන්නේ එහෙම ලොකු සිංහල පරිචයක් තියෙන පසුබිමකින් නෙමේ කියලා. අපේ ගමේ, මිගමුවේ, දෙමළ වගේම සිංහලත් අණ්ඩර. කැඩුන, බිදුන, විවිධ භාෂාවලින් කෑලි එකතුවුණු, අමුතුම බස්වහරක් තමයි මීගමුවේ තියෙන්නේ. උපුල් සර් සිංහල ඉගැන්වූයේ ඒවගේ පලාතක. ඒ වගේ පිරිසකට. අපි වුනත් සිංහල විෂයක් විදිහට පාසල්වල විවිධ ගුරුවරු යටතේ ඉගෙනගත්තත් සිංහල කියන්නේ සමාජ සංඥායන මාධ්‍යයක් ලෙස ඉගෙනගත්තේ උපුල් සර්ගෙන්. මම ලියපු යමක් කොහේ හෝ ඉස්සෙලාම පලවුනානම් ඒ පලවුනේ 1993 සර්ගේ උසස්පෙළ සිංහල පන්තිවල හොදම ප්‍රථිපල ලබාගත් ශිෂ්‍යයන්ගේ කවි රචනා නිසාදැස් එකතුකරලා පලවුනු සමරු කලාපයේ. ඒ සගරාවට 'මම මාකස්, ගම මීගමුව, හිටියේ වලේ, වලේ හොදම එකේ' කියලා ලියපු නිසදැස පලවෙලා තිබුනා. ඒ අධ්‍යාපනය මට කොළඹ විශ්ව විද්‍යාලයේ සිට ලන්ඩනයේ ග්‍රිනිච් විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධිය හැදැරු විද්‍යාර්ථයෙක් ලෙස ශාස්ත්‍රීයව ගොඩනැගීමට හේතුවුනා. ඒ වගේම බ්‍රිටෝ අයියාගේ ඇසුර සමාජ-දේශපාලන කටයුතු ගැන මහත් ලලසාවක් ඇති (passion) පුද්ගලයෙක් බවට පත්කරනු ලැබුවා. 

ඉතින් මම වගේ කෙනෙක් උපුල් ශාන්ත සන්නස්ගලයි, බ්‍රිටෝ ප්‍රනාන්දුයි එකතුවෙලා Royal Taprobanian මණ්ඩපයේ කරන්න යන 'අතුරුදන් ආදරය' වගේ වැඩසටහනක් ගැන ඇස් දල්වන් බලන් ඉන්නේ ලංකාවේ මේ කැකෑරෙන ප්‍රශ්න ගැන අළුත් තරුණ පරම්පාරවේවත් හදවත් අවධිවෙයිද? ලාංකික සමාජය වෙනස්ව කිරීමේ මහත් ආශාවක් ඇති, passion එකක් ඇති, කිහිපදෙනෙකු හෝ බිහිවීමට හේතුභූතවෙයිද? කියන හැගීමෙන්.
සුභ පැතුම්!!! 

මාකස් ප්‍රියන්ත පෙරේරා 
09/03/2021

1 comment: