This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Sunday 21 March 2021

කළු ඉරිදාවෙන් පසු පාස්කු පෙලගැස්ම

පාස්කු ප්‍රරහාරයට අදට මාස 23ක් ගත්වී ඇත. ලබන අප්‍රියල් 21දා වන විට පාස්කු ප්‍රරහාරය එල්ලකර වසර දෙකක් ගත්වී හමාරය. එහෙත් ප්‍රරහාරයෙන් විපතට පත්වූවන් තවදුරටත් ප්‍රතිකාර ලබමින්ද, මරාදැමු සිය ඥාතිමිත්‍රාදීහු කෙරෙහි ඇඩූ කදුලෙන්ද තවමත් පසුවෙති. මේ සැලසුම් සහගත සමූහඝාතන කුමන්ත්‍රණයට සම්බන්ද සියල්ලන්ම පමණක් නොව මේ මහා විනාශය දැන දැනත් එය වැලැක්වීමට කිසිවක් නොකල බලධාරීන්ට මෙන්ම නිලධාරින්ටද එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නයැයි බලකරමින් දියත්වු හඩ දැන් ක්‍රමයෙන් දැවැන්ත පෙලගැස්මක් බවට පරිවර්තනය වෙමින්තිබේ.

මෙකී පෙලගැස්මේ ආරම්භය සටහන් කලේ මීට සති දෙකකට පෙර යෙදුනු ඉකුත් මාර්තු 07වෙනිදා පැවැති 'කළු ඉරිදා' විරෝධයය. එදින දිවයිනේ දේවස්ථාන ඉදිරිපිට පැවැත්වූ නිහඩ විරෝධය පාස්කු ප්‍රරහාරයෙන් විපතට පත්වූවන්ට යුක්තිය සහ සාධාරණය ඉටුකරගැනීමටවු නොනැසි හඩ සංවිධානාත්මක පෙලගැස්මක් බවට පත්කලේය. 

එපමණක් නොව 'මාර්තු 7 කළු ඉරිදා' විරෝධයට ජාති, ආගම්, භාෂා ආදි බේදයකින් තොරව රට තුලින් මෙන්ම, රටින් පිටත සිටින පිරිස්වලින්ද ලැබුන දැවැන්ත සහයෝගය විසින් පාස්කු ප්‍රරහාරයෙන් විපතට පත්වූවන්ට යුක්තිය සහ සාධාරණය ඉටුකරගැනීමට නැගු හඩ - 'පාස්කු ප්‍රහාරය පිලිබද සියලු තොරතුරු දැනගැනීමට සියලුදෙනාටම අයිතියක් ඇත !!' - යන ස්ථාවරයට පරිවර්තන කලේය.

මෙය වූකලි, ඉතාමත් සුවිශේෂී පරිවර්තනයකි. මන්දයත් පාස්කු ප්‍රහාරය ඉස්ලාමීය අන්තවාදීන්ගෙන් මෙන්ම අනෙකුත් අන්තවාදීන්ගෙන්ද, විදේශීය කුමන්ත්‍රණකරුවන්ගෙන්ද ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවට එල්ලවෙමින් ඇති තර්ජන ගැන රටේ ජනයාට හෙලිකරගත හැකි ඛේදවාචකයක් බව රටේ ජනයා හදුනාගැනීම සහ ඒ සම්බන්දයෙන් දැඩිව ක්‍රියාත්මකවීමට පෙලගැසීමම ශ්‍රී ලංකාවේ කිසියම් සමාජ ප්‍රවර්ධනයකට හේතුවන නිසාය.

ඇත්තවශයෙන්ම, පාස්කු ප්‍රරහාරය සිදුවූ දිනයේ සිට ඒ සම්බන්දයෙන් රටේ ජනයාගේ මහත් කම්පනක්විය. පසුගිය ආන්ඩු පෙරලියටද එකී කම්පනය දැඩිව බලපෑවේය. එමෙන්ම වසර 30ක කුරුරු යුද්දයකින් පීඩාවිදිමින් සිට යන්තම් නිදහසේ ජීවත්වීමට පටන්ගත් ජනසමාජයක් මතට පාස්කු බෝම්බ ප්‍රරහාරය එල්ලකලේ දැවැන්ත විනාශයකි. ලේහෙසියෙන් අත්මිදිය නොහැකි කම්පනයකි. අවිනිශ්චිත අනාගතයකි. 

රටතුල තවත් භයානක ත්‍රස්තවාදයක් ඉස්මතුවෙමින් තිබේද? ලංකාව විදෙස් බලවතුන්ගේ ලේවැකි කෙලිබිමක් බවට පත්වෙමින් ඇද්ද? දේශපාලන ඝාතන ඔස්සේ දේශපාලන බලයට ඉව අල්ලන මීනිමරු දේශපාලකයින් සිය මේලේච්ච දේශපාලන අභිලාෂයන් මුදුන් පමුණුවාගැනීමට පාස්කු ප්‍රරහාරය සිදුකලාද? ප්‍රරහාරය ගැන දැන දැනත් එය වැලැක්වීමට කිසිවක් නොකරමින් විවිධ පුද්ගලයන් සිය පෞද්ගලික අභිලාෂයන් සාක්ෂාත් කරගැනීමට මිනිස් ජීවිත සිය ගණනාවක් බිල්ලට දුන්නාද? ආදි ප්‍රශ්න ලංකා සමාජය තුල දැන් වඩාත් තීරණාත්මක ප්‍රශ්න බවට පත්වී ඇති බව මාර්තු 07 කළු ඉරිදා විරෝධයට ලැබු ප්‍රචාර ඔස්සේ කියවිනි.

කළු ඉරිදා විරෝධයත් සමගම කොලඹ අගරදගුරු මැදුරට පැමිණි නීතිපති දප්පුල ද ලිවේරා මහතා සිය දෙපාර්තමේන්තුවට විමර්ශන වාර්තාවේ සියලු පිටපත් ලැබී නැතිබව දැන්වීය. ඒවනවිට එළිදක්වා තිබුනේ අවසන් වාර්තාව පමණි. අවසන් වාර්තාවේ සියලු කොටස් සහ වෙළුම් එලිදක්වා තිබුනි.

එහෙත් කොමිෂන් සභාව හමුවේ සාක්‍ෂිකරුවන් විසින් ලබාදුන් සාක්‍ෂි, විවෘත සාක්‍ෂි ලේඛන, රහස්‍ය සාක්‍ෂි ලේඛන, විවෘත හා කොටසක් රහස්‍ය ලෙස ලබාගත් සාක්‍ෂි ලේඛන, සී ලේඛන, එක්ස් ලේඛන (රහස් ලේඛන) සහ සාක්‍ෂිකරුවන් විසින් සාක්‍ෂිදීමේදී ඉදිරිපත් කරනලද ලේඛන වෙළුම් ලෙස සකස් කර ඇති මුත් ඒවා එලිදක්වා නොතිබිනි. එකී සම්පූර්ණ වෙළුම්වලට අයත් සම්පුර්ණ පොත් සංඛ්‍යාව 87 ක් වන අතර එම පොත් සංඛ්‍යාවේ පිටු 69770 ක් අන්තර්ගත විය. මේ සියලු ලේබන පමණක් නොව නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් සහ ශ්‍රී ලංකාවේ පොලිස් දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටි ලේඛනපවා තවමත් නීතිපති දෙපාර්තමේන්තුවට ලැබී නැතිබව නීතිපතිතුමා රංජිත් මැල්කම් කාදිනල් කාදිනල්තුමාටත්, රදගුරුතුමන්ලාටත් දැන්වීය.

ශ්‍රී ලංකා රදගුරු සම්මේලනය රැස්ව පාස්කු ප්‍රරහාරය විමර්ශන කල කොමිසමේ වාර්තාව සාදරයෙන් පිලිගන්නා බවත්, කොමිසමේ වාර්තාවෙන් දෝෂදර්ශනයට ලක්කර ඇති සියල්ලන්ට නීතියානුකූලව ක්‍රියාකිරීමට නීතිපතිවරයාට හැකිවෙන ලෙස කොමිසමේ සියලු ලේඛන ලබාදෙන ලෙස රදගුරු සම්මේලනය ඉල්ලා සිටියේය. එහිලා වහාම ක්‍රියාත්මකවූ ගෝඨාභය ජනාධිපතිවරයාගේ ජනාධිපති කාර්‍යාලය කොමිසමේ සියලු වෙලුම් සහ ලේඛන නීතිපති දප්පුල ද ලිවේරා මහතා අතට පත්කලේය. එය එක්තරා ආකාරයකින් 'මාර්තු 07 කළු ඉරිදා' විරෝධය අත්කරගත් ජයග්‍රහණයක් ලෙස මෙන්ම ශ්‍රී ලංකා රදගුරු සම්මේලනයේ ඉල්ලීමට දැක්වූ යහපත් ප්‍රතිචාරයක් ලෙසද සැලකිය හැක. 

කෙසේවුවද, එකී ඉල්ලීම ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකා රදගුරු සම්මේලනය නිකුත්කල මාධ්‍ය නිවේදනය ඇත්තම් පුවත්පත් වාර්තාකරණය කර තිබුනේ රංජිත් මැල්කම් කාදිනල්තුමාගේ රූපය ඇතුලත්ව කිසියම් ආකාරයක ද්වේෂ සහගත ස්වරූපයකිනි. ඇත්තවශයෙන්ම, ශ්‍රී ලංකා රදගුරු සම්මේලන නිවේදනයේ සදහන්කොට තිබුනේ 'පාස්කු කොමිසමේ වාර්තාව සාදරයෙන් පිලිගනී' යන්න මිස 'කොමිසමේ වාර්තාව අනුමත කරයි' යන්න නොවේ. ශ්‍රී ලංකා රදගුරු සම්මේලනයට පාස්කු කොමිසමේ අවසන් වාර්තාව ගැන ප්‍රශ්න තිබුනි. විශේෂයෙන්ම කොමිසමේ වාර්තාව තුලින් පාස්කු ප්‍රරහාරය දියත්කල සහරාන් ඇතුළු පිරිස පිටුපස සිටියේ කවුද? සහරාන්  මෙහෙයවූ පාස්කු ප්‍රහාරයේ මහමොලකරු කවුද? යන්න හෙළිවී නොතිබිම පිලිබදව ශ්‍රී ලංකා රදගුරු සම්මේලනය ප්‍රශ්නකර තිබුණි.

එහෙත් ශ්‍රී ලංකා රදගුරු සම්මේලනය එකී වාර්තාව ප්‍රතික්ෂේප කරන තත්වයකට ගමන්කලේ නැත. ඒ වෙන්වුවට ශ්‍රී ලංකා රදගුරු සම්මේලනය කලේ කොමිසමේ වාර්තාව විසින් දෝෂ දර්ශනයට ලක්කර ඇති බලධාරීන්ට සහ නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නයැයි ඉල්ලිමය. එය ඉතාමත් ප්‍රගතිශිලි පියවරකි. පාස්කු ප්‍රහාරයට යුක්තිය සහ සාධාරණය සොයායන ගමනේදී එකී පියවර ඉතාමත් නිවැරදි තීරණයකි. මන්දයත් වසර ගණනාවක් තිස්සේ කාලයත්, ශ්‍රමයත් වැයකර රැස්කරගත්  සාක්ෂි සහ තොරතුරු සමුහය නිකම්ම නිකන් වලපල්ලට යෑමට ඉඩදිය නොහැක. කොමිසමේ වාර්තාව ප්‍රතික්ෂේප කිරීම නම් පටු අදහසකට ශ්‍රී ලංකා කතෝලික සභාව ලඝු නොවීම ඉතාමත් වැදහත් තීරණයක් යැයි දක්වන්නේ එහිනි.

කොමිසමේ වාර්තාව ඔස්සේ හිටපු ජනාධිපති සිරිසේනට චෝදනා එල්ලවීම නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කොමිසමේ වාර්තාව ප්‍රතික්ෂේප කිරිමට තිරණය කිරිමත්, ගලගොඩඅත්තේ ඥාණසාර හිමි ඇතුළු බෞද්ධ භික්ෂුන් කිහිප නමක්ම දෝෂ දර්ශනයට ලක්කර ඇති නිසා බොදුබල සේනා සංවිධානය ඇතුළු භික්ෂුන් පිරිසක් කොමිසමේ වාර්තාව ප්‍රතික්ෂේප කිරීමට තීරණය කිරීම හා සසදා බැලීමේදී පාස්කු ප්‍රහාරය සම්බන්දයෙන් විමර්ශනයකල කොමිසම ඔස්සේ සියළු කරුණු හෙලිනොවුනද කොමිසමේ සියළු විමර්ශනයන් ප්‍රතික්ෂේප නොකිරීමට කතෝලික සභාව ගත් තීරණය සලකා බැලීමේදී ඔවුන් කෙතරම් ධනාත්මක ප්‍රවේශයක් ගෙනතිබේද යන්න පැහැදිලිය.

කතෝලික සභාවේ දැන් අරමුණවී ඇත්තේ කොමිසමේ හෙළිවී ඇති කරුණු ඔස්සේ නඩු පැවරීම් සිදුවෙනු දැකිමය. එසේ නොවුනහොත් ඔවුන් ලබන අප්‍රියල් 21 වෙනිදා වනවිට තවත් දැවැන්ත ක්‍රියාමාර්ගයකට එලබීමට තිරණය කරතිබේ.

දැන් දිගහැරෙමින් ඇත්තේ වඩාත්ම තීරණාත්මක සමයකි...

මාකස් ප්‍රියන්ත පෙරේරා
21/03/21

No comments:

Post a Comment