This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Friday 10 May 2019

කටුවපිටිය දේවස්ථානයට පැමිණි භික්ෂූන්වහන්සේලා

පසුගියදා භික්ෂූන් වහන්සේලා පිරිසක් පාස්කු ප්‍රහාරයට ලක්වූ මීගමුව කටුවපිටිය දේවස්ථානයට පැමිණ එය සුද්ධ පවිත්‍රකරනු දුටුවෙමි. එය බොහෝදෙනාගේ පැසසුමට ලක්වුවකි. නලින්ද සිල්වා වැනි ජාතිකවාදීන් පවා දක්වා තිබුනේ 'හාමුදුරවරුන් පල්ලි අතුගෑම සහජීවනය ඇති කර ගැනීමට මගක්' ලෙසය. තවද එය 'කතෝලික පල්ලිවලට පමණක් නොවෙයි මුස්ලිම් පල්ලිවලටත් හින්දු කෝවිල්වලටත් ව්‍යාප්ත කල යුත්තක්' ලෙසත් ඔහු දක්වා තිබුනි. සමාජ මාධ්‍ය තුල මෙන්ම වෙනත් මාධ්‍ය තුලද විශාල වශයෙන් ප්ර්චරයවුණු මෙම භික්ෂූන්වහන්සේලාගේ ක්‍රියාකාරීත්වය පැහැදිලිවම අගය කලයුත්තකි. එය වෙනත් ආගමක් අදහන ජනකොටසකට සිදුවූ විනාශයකදී ඔවුන් සිය සාතිශ්‍ය කණගාටුව බෙදාගැනීමකි. එකිනෙකා අතර සහජීවනය ප්‍රවර්ධනය කිරීමකි. 

එහෙත් මේ සත්ක්‍රියාව සදහා නායකත්වය දුන් භික්ෂූන්වහ්සේලා කවුද? ඔවුන් ලබාදුන් පණිවිඩය කුමක්ද? යන්න ගැන එතරම් අවධානයක් යොමු නොවූ බව මගේ අදහසය. මේ සදහා නායකත්වයගෙන ක්‍රියාකළේ ගාල්ලේ, බද්දේගම සමිත ස්වාමීන්වහන්සේයි. උන්වහන්සේ කාලයක් තිස්සේම ලංකාව පුරාම විවිධ ජාතීන් සහ ආගම් අතර සාමය, සමානාත්මතාවය සහ නිදහස ප්‍රවර්ධනය කිරීමට ක්‍රියාකළ ස්වාමීන්වහන්සේ කෙනෙක්ය. දශක ගණනාවක් පුරාම සමසමාජයක් වෙනුවෙන් වූ වාමාශික දේශපාලනයක නිරතවු උන්වහන්සේ මීගමුවේ සමසමාජ දේශපාලන ක්‍රියාකාරීත්වයන් සදහා මෙන්ම වෙනත් සමාජ දේශපාලන ක්‍රියාකාරකම් සදහාද නිතර මීගමුවට මෙන්ම රටපුරාම විවිධ ප්‍රදේශවලට ආ ගිය, මීගමුවේ පමණක් නොව රටපුරාම විවිධ ආගමීක සහ වාර්ගික ජන කොටස් අතර සාමය, සහෝදරත්වය, නිදහස සහ සහජීවනය වෙනුවෙන් ක්‍රියාකාරී හඩක් නගන ස්වාමීන්වහන්සේ නමකි. එම උන්වහන්සේ සමග තවත් භික්ෂුන්වහන්සේලා පිරිසක් එකට එක්ව මෙම ක්‍රියාකාරීත්වයට දායකවීම අප සියල්ලන් අගය කල යුත්තකි. 

මේහිදී උන්වහන්සේ දැක්වූ අදහස් සම්බන්දයෙන්ද අපේ අවධානය යොමුවිය යුතුය. උන්වන්සේ දැක්වුයේ ''බෞද්ධ භික්ෂූන්වහන්සේලා ලෙස සහෝදර කතෝලික ජනයාට සිදුවූ මේ විනාශය ගැන කම්පාවෙන බවත්, ඕනෑම ජනතාවකට තමන් අදහන ආගම නිදහසේ අදහාගැනීමට අයිතියක් තිබිය යුතු බවත්, ඒ අයිතිය අද කතෝලික ජනයාට අහිමිවී ගිය අවස්ථාවක් බවත්, ඒ තත්වය නැවත ඇති නොවීමට, ජාතීන් අතර සාමය සහ සහජීවනය ඇතිකර ගැනීමට, ලංකාව වඩාත් සාමකාමී තැනක් බවට පත්කරගැනීමට ඔවුන් කැපවෙන බවත්'' ය.

ඇත්තවශයෙන්ම ලංකාව තුල පමණක් නොව ලෝකයේ ඕනෑම රටක් වඩාත් සමකාමී තැනක් බවට පත්කළ හැක්කේ අරක රැකුනොත් මේක රැකෙයි, මේක රැකුනොත් අරක රැකෙයි ආදීන් ලෙස එක් ජාතියක හෝ එක් ආගමක හෝ ආධිපත්‍ය තහවුරුකිරීම තුල නොව සියළු ජාතීන් සහ ආගම් අතර සාමය, සමානාත්මතාවය, සහෝදරත්වය, නිදහස සහ සහජීවනය තහවුරුකිරීම තුල නොවේද?

මාකස් ප්‍රියන්ත පෙරේරා. 
10/05/2019 

2 comments: