This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Sunday 5 May 2019

පාස්කු ඉරිදා ප්‍රහාරය, මෙතැනින් කොතැනටද?


පාස්කු ඉරිදාට පෙර දින, එනම් ආලේලුයියා සෙනසුරාදා,  ලෙස්ටර් නගරයේ වෙසෙන  සිංහල කිතුනුවන් විසින්  සිංහල දිව්‍ය පුජාවක් සංවිධානයකර තිබු බැවින් එයට සහභාගීවීම සදහා අප එහි මිතුරෙකුගේ නිවසට ගොස් සිටියේ ලොවපුරාම වෙසෙන වෙනත් කිතුනුවන් මෙන් ඉකුත් අප්‍රියල් 21වෙනිදාට යේදී තිබුන පාස්කු උත්සවය සැමරීමටය. බොහෝ රෑ බෝවනතුරු එහි සතුටු සාමිච්චියේ යේදීසිටි අප නින්දට වැටුනේ පාන්දර 2කට පමණය. එහෙත් අළුයම පහ පමණවන විට මගේ දුරකථනය නාදවන්නට විය. පාස්කුවට සුබපැතීමට මිතුරන්ගෙන් ලැබෙන සුපුරුදු දුරකථන ඇමතුමක් වියහැකියැයි අනුමානකල මම මුලින්ම එයට ප්‍රතිචාර නොදැක්වීය. එහෙත් එක දිගටම දුරකථනය නාදවන්නටවීමත්, ඇමතුම් එන්නේ විවිධ පුද්ගලයින්ගේන්වීමත් නිසා පුරුදු පදිරි ''හලෝ මචන්'' යැයි කිව්වා පමණි; ''මල්ලී මුළු කටුවපිටිය පල්ලියම ඉවරයි, අපි මේ දැන් මිනී අදිනවා මල්ලි, මොකද්ද මේ වෙන්නේ කියලා හොයලා බලන්න මල්ලී" යැයි කියා දුරකථනය විසන්ධිවිය. ඒ සමග තවත් දුරකථන ඇමතුමක් ලැබුණ අතර ඉන් කියවුනේ ''මචන් කටුවපිටියේයි, කොච්චිකඩේයි පල්ලි දෙකටම බෝම්බ ගහලා මචන්, මේ මොකක්ද වෙන්නේ මචන්" යැයි විමසීය. හොයලා බලලා කියන්නම් යැයි පිළිතුරුදුන් මම ඉන් පසුව මගේ මිතුරාවද ඇහැරවාගෙන රෑපවාහිනී සහ වෙනත් විද්‍යත්මධ්‍ය ඔස්සේ මෙන්ම ඥාතීන්ට, මිතුරන්ට  දුරකථන ඇමතුම් දෙමින්ද ඔවුන් පිලිබදව මෙන්ම තත්වය පිළිබදවද සොයා බලන්නට විය.        

ඒ අනුව පැවසිය හැක්කේ සාමයෙන්, සමගියෙන්, සතුටින් ජීවත්වූ ලාංකික කිතුනු ප්‍රජාව ක්‍රි.ව. 1544 දී යාපනේ පළමුවන සංකිල්ලි රජ විසින් මන්නාරමේදී කතෝලිකයින් 600කට වැඩි පිරිසක් ඝාතනය කිරීමෙන් අනතුරුව ලාංකික කිතුනුවන් සිය ඉතිහාසයේ මුහුණපෑ විශාලතම සමුහ සංහාරයට ලක්වී ඇති බවය. 1995 ජුලි 09වෙනි දින ශ්‍රී ලංකා ගුවන් හමුදාව එල්ලකළ ප්‍රහාරයකින් විනාෂවූ යාපනේ නාවාලි ප්‍රදේශයේ පිහිටි සා. පේදුරු පාවුළු පල්ලිය තුල සිටියදී මියගියේයැයි සැලකෙන 125 දෙනෙකුගේ මරණවලින් අනතුරුව  කිතුනු දේවස්ථානයකට එල්ලවූ මෙලේච්චම ප්‍රහාරය මෙයය. ලාංකීක කිතුනුවෝ නැවතත් සමුහ ඝාතනයකට ලක්කර ඇත.

පාස්කු ඉරිදා ප්‍රහාරය කිතුනු පල්ලි මෙන්ම සංචාරක හෝටල්ද ඉල්ලකරගත්තද, පැහැදිලිවම එය ක්‍රිස්තියානි ප්‍රජාව ඉලක්ක කරගත්තකි. ප්‍රහාරයෙන් වැඩිම පිරිසක් මියගොස් සහ තුවාල ලබා ඇත්තේ පාස්කු ඉරිදා දේවස්ථානවලට රැස්ව සිටී පිරිසය. එයිනුත් වැඩිම පිරිසක් විපතට පත්ව ඇත්තේ අපගේ මීගමුව නගරයේ කටුවපිටිය සා. සෙබස්තියන් දේවස්ථානයට එල්ලකල ප්‍රහාරයෙනි. එහි පමණක් 111කට අධික පිරිසක් මියගොස් 200කට වැඩි පිරිසකට තුවාල සිදුව ඇත. කොච්චිකඩේ සා. අන්තෝනි දේවස්ථානයට සිදුවූ ප්‍රහාරයෙන් මෙන්ම මඩකලපුවේ සියොන් ක්‍රිස්තියානි පල්ලියට එල්ලවූ ප්‍රහාරයෙන්ද 100කට අසන්න පිරිසක් මියගොස් තිබේ. මේ අනුව මෙම ප්‍රහාරයෙන් මියගිය පිරිස 300කට ආසන්න නම් ඉන් 220 වැඩි පිරිසක් මියගොස් ඇත්තේ  කිතුනුවන්ය. එයිනුත් වැඩිම පිරිසක් මියගොස් ඇත්තේ මීගමුවේය. මේ අනුව ප්‍රහාරය පැහැදිලිවම කිතුනුවන් ඉලක්ක කරගෙන දියත්වුවක් බවත් පැහැදිලිය. 

එහෙත් සියළු ජාතීන් සහ ආගම් සමග ලංකාව තුල මෙන්ම ලෝකය තුලත් සාමයෙන් සතුටින් සහ සහජීවනයෙන් ජීවත්වෙන කිතුනු ප්‍රජාවන් ඉලක්කකරගෙන ප්‍රහාර එල්ල කරන්නේ කවුද? කාගේ උවමනාවටද? මෙම තත්වය ජාතික මෙන්ම අන්තර් ජාතිකවද විමසා බැලිය යුත්තකි. 

ක්‍රි.ව. 1989 දී සෝවියට් දේශයේ බිදවැටීමත් සමග දෙවන ලෝක යුද්ධය අවසානයේ සිට පැනනැගී ශීත යුද්ධ සමය (Cold War) ලෙස හැදින්වූ කාලය නිමාවිය. ඉන් අනතුරුව උදාවූ යුගය හෙවත් 1990 පසු යුගය ආගමීක, වාර්ගික සහ ජාතීන් අතර ගැටුම් යලි සක්‍රියවූ යුගය බවට පත්විය. එක් එක් ජාතික රාජ්‍යන් මට්ටමින් විවිධ ආගමීක සහ වාර්ගික ගැටුම් පැවතියද ඒ සියල්ල අභිබවා ඉස්ලාමීය ආගමික අන්තවාදී ප්‍රහාරයන් වඩාත් කෲර සහ සහාසික ලෙස ඉස්මතුවිය. සිරියාවේ සහ උතුරු ඉරාකයේ සිටි ඉස්ලාමීය සටන්කාමීන් ISIS සංවිධානය බිහිකර ගැනීමත් ඔවුන් ලොව පුරාම සිටින මුස්ලිම්වරුන් සදහා ‘උම්හා’ (Ummah) රාජ්‍යක් බිහිකිරීමට යුද්ධයක් ප්‍රකාශයට පත්කිරීමත් සමග එක් එක් රටවල  රැඩිකල් ඉස්ලාම් සටන්කාමීන් එයට එක්වීමත් සිදුවිය. 

විශේෂයේන්ම 1. සෞදි අරාබිය සහ කටාර් රාජ්‍යන් රැඩිකල් ඉස්ලාම් ආගම (Wahhabism) ප්‍රවර්ධනය කිරීමට  පුජකයින් සහ දේශකයන් පුහුණු කිරීම සහ ප්‍රවර්ධනය කිරීම දිගටම සිදුකිරීමත්, 2. එසේ මතවාදී ලෙස රැඩිකල්වුවන් විසින් සම්ප්‍රදායක මුස්ලිම් ආගමීක නායකයින් අභිබවා  මුස්ලිම් පල්ලිවල සහ ආගමීක පාසැල්වල (Madrasa) බලය අල්ලාගැනීමත්, 3. එකී රැඩිකල්  ඉස්ලාමීය ආගමික ප්‍රවණතා තවදුරත් පෝෂණය කිරිමට ඉවහල්වූ ආක්‍රමණශීලී ආර්ථික, දේශපාලන සහ සංස්කෘතික අරමුණු මුල්කරගත් විදේශ ප්‍රතිපත්තියක් බටහිර රටවල් සහ රුසියාව අනුගමනය කිරීමත්, 4. ඊශ්‍රරායලය දිගටම පලස්තීන මුස්ලිම් ජනයා ඉලක්කකරගත් ප්‍රහාර දියත්කිරීමත්, 5. මැදපෙරදිග අත්තනෝමතික රෙජීමයන් ඉවත්කිරීමට සහ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමේ නාමයෙන් එම කලාපයේ විවිධ රටවල් ආක්‍රමණයකිරීමත් ආදිය හේතුකොටගෙන  ලොව පුරාම වෙසෙන ඉස්ලාම් බැතිමතුන් වෙනුවෙන් ලෝක ව්‍යාප්ත මුස්ලීම් රාජ්‍යන් වෙනුවෙන් සටන්කිරීමට අවශ්‍ය තරම් රැඩිකල් ඉස්ලාමීය සටන්කාමීන් බිහිකර ගැනීමට අඩුවක් නැතිව ඉවහල්විය. එම නිසාම ලොව පුරාම ඉස්ලාමීය ප්‍රහාරවල අඩුවක් නොවීය. එකී ඉස්ලාමීය සටන්කාමීන්ගේ මුලික ඉලක්කයවුයේ ලොව පුරාම වෙසෙන, කිතුනුවන්, අන්‍යය ආගමීකයින්, බටහිර ජාතීන්, රුසියාව, ඊශ්‍රායලය, චීනය, ජපානය සහ ගෝලීය ආර්ථික, දේශපාලන සහ සංස්කෘතික උරුමයන්, කොටස්කරුවන් සහ  ඔවුන්ගේ දේපොළය. ඒ සියල්ල ඉස්ලාම් ආගමේ සතුරන් ලෙස හැදින්වූ අතර ඒවා සියල්ල පිටුදැකීම සදහාවූ යුද්ධයක් හෙවත් jihad යුධයක් ඔවුන් නිරතවී සිටී. එම යුද්ධයකට ලංකාව ලක්වන්නේ කෙසේද? 

පැහැදිලිවම 1985 පමණ වනවිට ලංකාව පුරාම රැඩිකල් ඉස්ලාමීය ප්‍රවණතා හිස එසවන්නට විය. විශේෂයෙන්ම නැගෙනහිර පළාතතුල පැතිරගිය වහබ්වාදය කල්මුනේ මුස්ලිම් පල්ලියක තිබු පැරණි මුස්ලිම් සොහොන් පාලකයක් කැඩීමෙන්  මුස්ලිම් පල්ලිතුලද බලය තහවුරුකරගත් බව කියවේ. එම ප්‍රවණතාව රට පුරාම පැතිරගිය අතර මීගමුව නගරයේ පිහිටි  කාමච්චෝඩේ සහ පෝරුතොට  මුස්ලිම් පල්ලිතුල පිහිටි පැරණි සොහොන් සහ සොහොන් පලක ඉවත්කිරීම දක්වා පැතිරිණි. ඒ සමග ලංකීක ඉස්ලාම් බැතිමතුන්ද මැදපෙරදිග ස්ලාම් බැතිමතුන් මෙන් ඇදුම් පැළදුම් ඇදීමටත් මෙතෙක් ඔවුන් පොදුවේ භාවිතාකල දෙමළ බසවෙනුවට අරාබි බස බහුලව භාවිතා කිරීමටත් පෙලබුනි. ජාත්‍යන්තර වශයෙන් මුස්ලිම් ජනයාට සහ ඔවුන්ගේ රටවලට එල්ලවන ප්‍රහාර සම්බන්දයෙන් සිකුරාදා  ආගමීකවතාවත්වලින් පසු බටහිර තානාධිපති කාර්යාල ඉදිරිපිට විරෝධය දැක්වීම බහුලවශයෙන් දැකිය හැකිවිය. එහෙත් යුද්ධ ජයග්‍රහණයෙන් පසු ඔදවැඩී ගිය සිංහල-බෞද්ධ ජාතිකවාදීන් විසින් ඉන් අනතුරව  මුස්ලිම් ජනයා ඉලක්කකර ගැනීමත් නිසා එතෙක් ජාත්‍යන්තර දේශපාලන ප්‍රවණතාවයන්ට විරෝධය දක්වමින් පොදු මුස්ලිම් අනන්‍යතාවයක් තුල පෙළගැසෙමින් සිටි ලාංකීක මුස්ලිම් ප්‍රජාව අභ්‍යන්තර දේශපාලන ප්‍රවණතාව හේතුකොටගෙනද වඩ වඩාත් රැඩිකල්වීම සිදුවිය. විශේෂයෙන්ම දැන් සාකච්ජාවෙන කරුණු අනුව පෙනී යනුවේ බොදුබල සේනා, මහසෝන් බලකාය, වැනි අන්තවාදී සිංහල-බෞද්ධ ජාතිකවාදී  ව්‍යාපාරයකින් එල්ලවිය හැකි තර්ජනයකට මුහුණදීම සදහා මුස්ලිම් ප්‍රජාව ආයුද සන්නද්ධව සිටිය යුතුය වැනි අදහසක් ඇතැම් රැඩිකල් මුස්ලිම් තරුණයන් අතර මුල්බැසගත් බවය. 

එයින් කියවෙනුවේ ලාංකීය මුස්ලිම් ප්‍රජාව  ජාත්‍යන්තර දේශපාලන ප්‍රවණතාවයන් සම්බන්දව සක්‍රියව සිටින අතරම ජාතික වශයෙන් බොදුබල සේනා, මහසෝන් බලකාය වැනි අන්තවාදී සිංහල-බෞද්ධ ජාතිකවාදී  ව්‍යාපාරයකින් එල්ලවිය හැකි තර්ජනයකට මුහුණදීමට රැඩිකල්ලෙස මෙන්ම අඩුම තරමින් කඩුකිනිසි ආදියෙන්වත් යුතුව සුදානම් සිටිබවකි. නැගෙනහිර පළාත නියෝජනය කරන අතාවුල්ලා මන්ත්‍රීවරයාවරක් පාර්ලිමේන්තුව තුල කියා සිටියේ මුස්ලිම්වරුන්ට එරෙහිව එල්ල කරන ප්‍රහාරයක් රටම ලේවිලක් කිරීමට හේතුවන බවය (ඒවා ගැන පරීක්ෂණ නොකෙරුණි). එහෙත් මෙලෙස අන්තවාදී සිංහල-බෞද්ධ ජාතිකවාදී  ව්‍යාපාරයකට මුහුණදීමට  ගොඩ නැගුන රැඩිකල්, සන්නද්ධ, ඉස්ලාමීය කණ්ඩායමක් ක්‍රිස්තියානි ජනයා ඉලක්ක කලේ ඇයි? පැහැදිලිවම එය ජාත්‍යන්තර උවමනාවක් අනුව සිදුවුවකි. මහනුවර ප්‍රහාරයට වසරක් පිරීම නිමිතේන් සුදානම්වූ
ඔවුන් ඒ වෙනුවට පාස්කු ඉරිදා ප්‍රහාරයකට යොමුකළේ ISIS ජාත්‍යන්තර ජාලය බව එක් සැකකරුවෙක් පාපොච්චාරණය කල බව මම එක් පුවත්වාර්තාක කියවීමි. පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරය දියත්කල ලාංකීය ඉස්ලාම් සටන්කාමීන් ISIS ත්‍රස්තයන් සමග සම්බන්දව බවටත්, ඔවුන් කඩු කිනිසවලින් පමණක් නොව වඩාත් ප්‍රබල පුපුරන ද්‍රව්‍යවලින් සංවිධානයවී සිටිබවත් දැන් සියල්ලෝම දනී.  එම ප්‍රහාරය ISIS ත්‍රස්තයන් එම ප්‍රහාර සිය මූලෝපායික සැලසුම් සමග සමපාතවීම සදහා කිතුනු පල්ලි සහ විදේශිකයන් පැමිණෙන හෝටල් ආදිය ඉලක්කරගෙන තිබේ. මෙවැනි පෙළගැස්මක් පිලිබදව වාර්තාවූ සැනින්ම  විදේශ බුද්ධි අංශ ලංකාවේ බුද්ධි අංශ දැනුවත් කර ඇති බවත්ද, ආරක්ෂක ලේකම්වරයා මේ ගැන දැනුවත්ව සිටිබවද ඔහු මධ්‍ය සමග කල කථාවෙන් කියවේ. ඔහු කිව්වේ ප්‍රහාරයක් දියත්වෙන බව දැනන් සිටියද එය මෙතරම් විශාල PR

එසේනම්  කුඩා හෝ ප්‍රමාණයේ ප්‍රහාරයක් කිතුනු ආගමික ස්ථානවලට හෝ හෝටල්වලට එල්ලවීමට ඉඩ හැර බලා සිටියේ ඇයි? 

එය බෞද්ධ පන්සලකට නොව වෙනත් ආගමික ස්ථානයකට එල්ලවෙන ප්‍රහාරයක් නිසා බෞද්ධ ආගමික ස්ථානයකයට එල්ලවෙන ප්‍රහාරයක් ගැන  යොමුවෙන තරම් අවධානයක් හෝ හැගීමක් මේම අනතුර ගැන  ශ්‍රී ලංකා බලධාරීන්ට  නොදැනෙන්නේද? වර්තමාන ශ්‍රී ලංකා රාජ්‍ය සේවයේ අතිශය බහුතරයක් රටේ මහා ජාතික අනන්‍යතාවය වන ග්‍රාමීය සිංහල-බෞද්ධ ජන පදනමකින් පැමිණි අයගෙන් සැදුම් ලද්දක්වීමත්, ලාංකික සමාජයේ අතිශය මිශ්‍ර සමාජ සැකැස්ම ගැන ඔවුන්ගේ ආකල්ප සහ ප්‍රවේශයන් ගැන විමසාබැලීම වැදගත්බව මෙහි අදහසයි.

ලංකාවේ ඉහල රාජ්‍යය නිලධාරීන් අකර්මන්‍ය නිසාද? නැතහොත්  අදාල ආරක්ෂක කටයුතු කිරීම සදහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම වෙනුවට හුදෙක් ලියුම් එහෙට මෙහෙට පාස් කිරීම පමණක් හුදෙක් සිය රාජකාරිය යැයි සිතා සිටීම නිසාද? මෙහිදී මතුකළ යුතු තවත් කරුණක් වන්නේ කිසියම් හේතුවක් මත් මහරගම කතෝලික දේවස්ථානයට උදේ 6.30 පමණ පැමිණි පොලිස්නිලධාරීන් දෙදෙනෙක් එහි මීසම් භාර පියතුමාට (ජූඩ් නිකුලස් ?) ප්‍රදේශයෙන් යම් අනතුරුදායක තත්වයක්ගැන දැනුම් දී ඇතිබවත්, එම පියතුමා දේවස්ථානයට ජනයා ඇතුල්වීමෙන් පසුව ගේට්ටුව වසා පුජාව පැවැත්වූ බව වාර්තාවීමය. ඒ අනුව අනතුර ගැන හෝ කුමන හෝ අනතුරක් ගැනයම් නිලධාරියෙක් ක්‍රියා කල අතර අතිමහත් බහුතරයක් එසේ නොකළ බවත් පෙනී යන්නකි. 

මෙවැනි ප්‍රහාරයක් ගැන අවශ්‍යතරම් තොරතුරු පැවතියේදී  දේශපාලන වාසි සලසා ගැනීම සදහා ප්‍රහාරය එල්ලවීමට ඉඩ හැර බලධාරීන් බලා සිටියාද?  1983 කළු ජූලියේ සිට එවැනි දේශපාලන පෙළගැසීම් ලංකාවට අලුත් තත්වයක් නොවේ. 1983 රට පුරාම ජාතිවාදේ කෝලාහල ඇතිවූ විට එය මර්ධනය කිරීමට ජේ. ආර්. ජයවර්ධනගේ ආණ්ඩුව දින තුනක්ම බලා සිටි අතර පසුව විරුද්ධ පක්ෂ තහනම් කරමින් එය දේශපාලන වශයෙන්  යොදාගැනීමට ඔවුන් කටයුතු කලේය. මෙවරද එවැනි  ප්‍රහාරයකින් වාසි සලසා ගැනීමට බලාපොරොත්තුවුයේ දැයි විමසා බැලිය යුතුය. විශේෂයෙන්ම ජනාධිපති සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ අතර ඇති බල දේශපාලන ගැටුම රට මෙන්ම රටේ ජනයාද උවදුරේ හෙලන ලදී.  ජනාධිපති පත්කළ ආරක්ෂක ලේකම්වරයා කිතුනු ආගමික ස්ථානයකට හෝ විදේශිකයන් ලැගුන් ගන්නා හෝටලයකට ඉස්ලාමීය අන්තවාදීගේන් එල්ලවිය හැකියැයි වාර්තාවූ කුඩා ප්‍රහාරයකට හෝ පැවති ඉඩ කඩ වසා නොදැමුවේ එමගින් 1. රැඩිකල් මුස්ලිම් කණ්ඩායම් මර්ධනය කර  රැඩිකල් සිංහල-බෞද්ධ ප්‍රජාව සතුටු කිරීමට ඉඩක් විවර වෙන නිසාද? 2. එවැනි ප්‍රහාරයකට කිතුනුවන් බිලිදීමට ඉඩහැර එක්සත් ජාතික පක්ෂයේ කතෝලික ජන්ද පදනම බිද දැමිය හැකි යැයි ගණනය කල නිසාද? 3. එමෙන්ම කිතුනු ජන්ද පමණක් නොව, මෙවැනි ප්‍රහාරයක් නිසා ඇතිවෙන ජාතිවාදී ප්‍රවණතා හමුවේ එක්සත් ජාතික පක්ෂයට හිමි මුස්ලිම් ජනයාගේ ජන්ද පවා අහිමි කිරීමට හැකි බව එම ගනණය කිරීමට ඇතුලත්වීමට ඉඩ තිබුණි. 4. තවද අගමැතිවරයා ප්‍රමුඛ රජයේ ආර්ථික වැඩපිළිවෙල මෙන්ම ජාත්‍යන්ත්ර ප්‍රසාදයද අහිමි කිරීම මෙන්ම  5. අන්තවාදය මර්ධනය කිරීමට සිදුකරන මෙහෙයුම් ඔස්සේ ආරක්ෂක ඇමති ජනාධිපතිවරයාගේ ජනප්‍රියත්වය ඉහල දමාගැනීමටද වුවද හැකි බවද,   එවැනි ප්‍රහාරයකට බලධාරීන් දැනුවත්ව ඉඩ හැරියේ නම්  අත්කරගත හැකි දේශපාලන වාසි අතර තිබෙන බව පෙනේ. 

ඒමෙන්ම ආරක්ෂක  විෂය අගමැති රනිල් වික්‍රමසිංහ හෝ රජය අත නොපවතින, ආරක්ෂක මණ්ඩලයේ රැස්වීම්වලට අගමැතිවරයාට ආරාධනා නොකරන තත්වයක් තුල, මෙවැනි ප්‍රහාරයක් ගැන කිසියම්ම හෝ තොරතුරක් අගමැතිවරයාට හෝ රජයට වාර්තාවුයේ නම් කිසියම්ම හෝ ක්‍රියා මාර්ගයක් නොගත්තේ එහි වරද ජනාධිපතිවරයා අත පටවා අත සෝදාගැනීමට හැකි වෙන නිසාය. එහෙත් ජනාධිපතිවරයාගේ ප්‍රසාදය ඉතා අවම මට්ටමක පවතින තත්වයක් තුල සහ ඒමගින් ආර්ථීකයට එල්ලවෙන බලපෑම හමුවේ අගමැතිවරයා හෝ රජය එවැනි ප්‍රහාරයකට ඉඩ නොතිබීමට ඉඩ ඇත. 

අනෙක් අතට රාජපක්ෂ කදවුරට මෙම තොරතුර ආරංචි වුයේ නම් ඔවුන් ඒ සමබන්දයෙන් කිසිවක් නොකරන බවද පැහැදිලිය. 

කෙසේවුවද අවසාන වශයෙන් බිලිවුයේ මෙරට සාමකාමීය ජන කොටසක්වූ කිතුනුවන්ය. මෙවැනි මෙලෙච්ච ප්‍රහාරයකින් ඔවුන් ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා රාජ්‍ය කිසිවක් කලේ නැත. මෙවැනි විනාශයක් හමුවේ පවා ශ්‍රී ලංකා  කිතුනුවන් මෙසේ හෝ ශක්තිමත්ව සිටින්නේ කාදිනල්තුමාගේ මගපෙන්වීමද, ප්‍රදේශවාසීන්ගේ මහත්වූ කැපවීමද, ශ්‍රී ලංකා කතෝලික පල්ලියේ මැදිහත්වීමද, ශ්‍රී ලංකික සැමගේ සහ සාමයට ලැදි ලෝකවාසී ජනයාගේ සෝසුසුම් සහ යහපත් ප්‍රාර්ථනා මත මිස කිසිදු දේශපාලකයෙකුගේ කිසිම ශක්තියක් සහ ආරක්ෂාවක් මත් නොවේ, එය ඉදිරියටද එසේමය.

(ඉතිරි කොටස පසුව ලියමි)

මාකස් ප්‍රියන්ත පෙරේරා. 
05/05/2019. 


        

2 comments:

  1. මාකස් අයියේ උඹ මට ඇත්ත්ත්ත කියපං,
    බෝම්බ ප්‍රහාරය ගැන ඇහුවාම උඹට හිතුනේ මේක සිංහල බෞද්ධයන්ගේ වැඩක් කියලා නේද?

    ReplyDelete