This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Friday, 19 February 2021

Negombo has embraced their Easter traditions with the bringing of the Christ Statue to the city centre.

The statue of the Miraculous Christ of Duwa, Negombo, was brought last Sunday (14/02/21) from Duwa's Our Lady of Good Voyage Church (Sindatri Mata Church) to St. Peter's Church at Negombo's city centre. 

Below are a few pictures of it. 

Ever since St. Peter's Church was built by a group of Duwa Fishermen, it has become the tradition to rotate the Miraculous Statue of Christ between the Duwa Church and St. Peter's Church. Hence, the Statue was kept for two years in the Duwa Church and one year at St. Peter's Church of Negombo. The Statue is now open to the public every Friday from today (19/02) onwards at St. Peter's church, Negombo. 

This life size Christ Statue was created for Duwa Passion Play, in 1838, by Joachim Mistral of Cochin/Kochi, a renowned sculptor of Cochin, India. 'Duwa Historical Passion Play' is believed to be over 300 years old Passion Play in Sri Lanka.

Before the construction of the Munnakkaraya main bridge (the Kothalawala bridge) in 1954, the Statue of Christ was taken from Duwa to Negombo city through Hamilton Canal and Negombo Lagoon. Since the bridges were constructed over the Canal and the Lagoon, the process of bringing back or returning this Miraculous Christ from Duwa to Negombo and back again has become a devotional exercise, as well as a unique event in Negombo's Easter traditions and Negombo culture.

මීගමුව දූවේ ආශ්චර්යමත් ක්‍රිස්තු ප්‍රතිමාව පසුගිය ඉරිදා (14/02/21) මීගමුව දූවේ සින්දාත්‍රි මාතා දේවස්ථානයේ (Our lady of good voyage Church) සිට මීගමුව නගර මධ්‍යයේ පිහිටි සා. පීතර දේවස්ථානය කරා රැගෙන ඒම සිදුකරන ලදි. 

මෙහි දැක්වෙන්නේ එහි ජයාරූප කිහිපයකි. 

දූව දේවස්ථානයේ වසර 2ක්ද, සා. පීතර දේවස්ථානයෙහි වසරක් ද තැම්පත්කර තබන මෙම ආශ්චර්යමත් ක්‍රිස්තු ප්‍රතිමාව ඒ අනුව අද සිට සෑම සිකුරාදාවකම මීගමුව නගර මාධ්‍යයේ පිහිටි සා. පීතර දේවස්ථානයේ විවෘතව තැබේ. 

වසර 300යකට වඩා පැරණි දූවේ පාස්කු දර්ශනය සදහා යොදාගැනීමට 1838 දී ඉන්දියාවේ කොචින් හී සිටි ප්‍රකට මුර්ති ශිල්පියෙකුවූ ජෝකීනු මේස්ත්‍රි (Joachim Mestre of Cochin/Kochi) විසින් නිර්මාණය කර මීගමුව දූවට ගෙන ලද මෙම ක්‍රිස්තු ප්‍රතිමාව එතැන් පටන් මීගමුව ජනයාගේ නොබද ගෞවරවයට පාත්‍රවිය. 1954 මුන්නක්කරය මහ පාලම හෙවත් කොතලාවල පාලම ඉදිවීමට පෙර දූවේ සිට මීගමුව නගර මාධ්‍යයටත්, මීගමුව නගර මාධ්‍යයේ සිට දූවටත් එම ක්‍රිස්තු ප්‍රතිමාව රැගෙන එම සහ රැගෙනයාම සිදුකර ඇත්තේ හැමිල්ටන් ඇළ සහ කලපුව ඔස්සේය. කලපුව හරහා මෙන්ම ඇල හරහාද පාලම් ඉදිකර කිරීමෙන් පසුව පෙරහැරින් සිදුකරන මෙම භක්ති අභ්‍යාසය මීගමුවේ පාස්කු සම්ප්‍රදයේ සුවිශේෂ අංගයකි.
















Marcus Priyantha Perera.
19/02/2021

Tuesday, 16 February 2021

අද අළු බදාදාට පෙර අගහරුවාදා - පෑන්කේක් දිනය.

අපේ පලාත්වල නම් අද දිනය හදුන්වන්නේ 'ගුරු අගහරුවාදා' දිනය ලෙසය. ඒ ඉස්සර අද වගේ දිනක ගෙදර දොරවල්වල, උළුවස්සේ ගුරු පාටින් (ගඩොල් රතුපාට) කුරුස ලකුණ සටහන් කරන නිසාය. මීගමුවේ දූව, දූවන, මංකුලිය, පලගතුරේ ආදි සමහර පලාත්වල අද දිනයේදී ගුරුපාට මොනවා හෝ දියකර එකිනෙකාට ගහගන්න සම්ප්‍රදායකුත් තිබුනි. ඊටත් වඩා අද දිනය ප්‍රසිද්ධව පැවතියේ කුණු බිත්තර ගහන දිනය ලෙසය. අපි කුඩා කාලේ නම් කුනු බිත්තර ගැසීම ජයටම සිදුවිය. පසුව කුනු බිත්තර වෙනුවට නරක් නොවුණු හොද බිත්තර ගහන්නටද පටන් ගත්තේය. දැන් බිත්තර ගහන වැඩේ නවත්වා ඇත. එය හොද දෙයකි. ඇත්තටම මිනිස්සු අපහසුතාවයට පත්කරන ක්‍රියාකාරම් නැවතිය යුතුමය. 

කුණු බිත්තර ගහන වැඩේ තුල සංකේතවත් කලේ අප සියල්ලන් කුනුවී ඇති බවත්, ජේසුට පාස්කු සමය තුල අත්වීමට නියමිත දුඛප්‍රාප්තිය අත්වෙන්නේ අපේ මේ පිරිහීම නිසා බවත් පසක්,කරදීමට‍ය. ගුරුපාට මොනවා හෝ දියකර එකිනෙකාට ගහගන්නෙත් මේ උදාවීමට නියමිතව ඇත්තේ දුඛ්‍යදායක කාලයක්ය යන්න සංකේතවත් කිරීමටය. එහෙත් මට නම් හිතෙන්නේ එම ක්‍රියාකාරකම් දෙකම දැන් කල්ඉකුත්වු ක්‍රියාමාර්ග ලෙසය. එවැනි ක්‍රියාකාරකම් මගින් ආගමීක අදහස් බලහත්කාරයෙන් ඔබ්බනවා වැනි අදහසක් හැගේ. අනෙක් අතට එය හිංසාකාරීය. අවලස්සනය. නූතන සමාජයට කිසිසේත්ම ගැලපෙන්නේ නැත. 

ඇත්තවශයෙන්ම බ්‍රිතාන්‍යයේද, යුරෝපයේද අළු බදාදාට පෙර අගහරුවාදා සමරන සම්ප්‍රදායන් තිබේ. අළු බදාදාට පෙර අගහරුවාදා මේම රටවල හදුන්වන්නේ Shrove Tuesday ලෙසය. යුරෝපයේ කිතුනුවන් පාපච්චාරනය/කොමිසන් (confession) කරන, නැතිනම් කොමිසන් අහන දවස ලෙස අද දිනය සමරයි. එහෙත් අද දිනය වඩාත්ම ජනප්‍රියව ඇත්තේ පෑන්කේක් කන දිනය ලෙසය. එම නිසාම අද දිනය පෑන්කේක් දිනය (Pancake Day) ලෙස නම් කර තිබේ. එංගලන්තයේ මේ සම්ප්‍රදාය පස්වෙනි සියවසේ ඇංග්ලෝ-සැක්සන් (Anglo-Saxon) යුගය දක්වා දිව යන බව කියවේ. ඒ කෙසේවුද, අද පෑන්කේක් කමින් ඔවුන් සමරන්න උත්සාහ කර ඇත්තේ කිරි, බිත්‍තර, බටර් වගේම පෑන්කේක් මත උඩින් යොදන රසවත් දේවලින් වැලකී ඉදිරි දින 40ක චතාරික කාලය තුල සරල ආහාර අනුභවයක් අනුව යමින් යහමින් සෙමින් ජීවත්වීමය. චතාරික සමය (Lent) හෙවත්, පාස්කු කාලය හෙවත් කොරොස්ම කාලය තුල කිසියම් ආකාරය සරලත්වයක් තුල ජීවත්විය යුතුය යන්න තවමත් මේ රටවල තරුණ ප්‍රජාව අතර පවා මුල්බැසගෙන තිබේ. 

ඊට හොදම උදාහරණයක්සේ සැලකිය හැකි සංවාදයක් වැලන්ටයින් දිනය යෙදුන පසුගිය ඉරිදා (14/2) සුපර්මාර්කට් එකකදී හම්බවුන මගේ දරුවන්ගේ පාසලට තමන්ගේ දරුවන්ද එවන සුදුජාතිකයෙක් සහ මා අතර ඇතිවිනි. ඔහු දැක්වුයේ මෙවර වැලන්ටයින් දිනය යෙදුන ඉරිදා උපරිම සතුටකින් සැමරිය යුතුබවය. මන්දයත් ඊලගට යෙදෙන්නේ චතාරික කාලය (Lent) බැවින් නැවැත පාස්කු ඉරිදා වෙනතුරු උත්සව නැතිබව ඔහු කීය. චතාරික දින 40ය තුල යෙදෙන ඉරිදා දින චතාරික සමයට කතෝලික සභාව ඇතුලත්කර නැති නිසා ඉරිදා සාමාන්‍ය විවේකී දිනයක් ලෙස සතුටින් ගත කිරීමට කතෝලික දින දර්ශනය ඉඩප්‍රස්තාව ලබාදී ඇති බව මම ඔහුට විස්තර කර දුන්නේය. එහෙත් ඔහු දැක්වූයේ පාස්කු සමය තුල යහමින් සෙමින් ගතකිරීම ඔවුන්ගේ සම්ප්‍රදාය බවයි. එවැනි තත්වයක් තුල පාස්කු සමයට පෙර එලබෙන පෑන්කේක් දිනය ඔවුන් කෙසේ සමරයිද යන්න අපට සිතාගත හැක. 

එහෙත් යුරෝපයේ තරම් ලංකාවේ පෑන්කේක් කෑම එතරම් ජනප්‍රිය නැත. කිරි ආප්ප ලෙස ලංකාවේ සමහර පලාත්වල හදුන්වන පෑන්කේක් බොහොදුරට කන්නේ පැනිපොල් සමග රෝල් කරය. එහෙත් මෙවැනි රටවල පලතුරු, චොකලට් ආදිය පමණක් නොව හැම් සහ චීස්ද යෙදූ විවිධ පෑන්කේක් තිබේ. එවැනි වර්ගයේ පෑන්කේක් ආපනශාලාවක් 1990 දශකයේ මුල්භාගයේදී මීගමුවේ ලුව්ස් (Lewis Place) පෙදෙසේ විය. ස්විඩන් පෑන්කේක් නිවස (Swedish pancake house) ලෙස හැදින්වූ එම ආපනශාලාවට පසුව සිදුවුයේ කුමක්ද කියා මම නොදනිමි. එහෙත් පෑන්කේක් සංස්කෘතිය අපිට තවමත් ආගන්තුක බව මම දනිමි. 

මාකස් ප්‍රියන්ත පෙරේරා 
16/02/2021

Thursday, 11 February 2021

දේවානි, 'ඔක්සිජන් සුරංග', මාධ්‍ය සහ පරිසරය

හරියටම වසරකට පසුව ගම්පහ අඩවි වන නිලධාරීනී දේවානී ජයතිලක මහත්මිය නැවතත් අප සියල්ලන්ගේම අවධානයට ලක්ව තිබේ. ඒ මෙවර ඇය ඉදිවෙමින් ඇති මධ්‍යම අධිවේගී මාර්ගයකට බිලිවීමට ගිය වදවීගෙන යන පැරණි ශාකයක් ලෙස 'රතු පොතට' එක්වී ඇතැයි කියන 'පණුකරඳ' ගසක් හෙවත් කෲඩියා සෙලනිකා (Crudia zeylanica) යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන ශාකයක් රැක ගැනීමට අභීතව පෙරට පැමිණිම නිසාය. ඇයගේ අභීත උත්සහය නිසාම මහජනයා මෙම ශාකය රැක ගැනීමටත්, මේ රජය බලයට පත්වූ සමයේ සිට වේගවත්වුයේ යැයි නිතර දැක්වෙන ගස්වැල්, වනාත්තර සහ පරිසර විනාශයටත් විරුද්ධව විශාල හඩක් ගොඩනැගී ඇත. එම ගස මෙන්ම දින දින විනාශවෙමින් ඇති පරිසර පද්ධතීන් රැක ගැනීමට භික්ෂුන් වහනසේලාද, මුතුරාජවෙල වන විනාශය ගැන සදහන් කරමින් කාදිනල්තුමාද ගස්වැල්, වනාත්තරා සහ පරිසර විනාශයට එරෙහිව මැදිහත්වෙමින් සිටී. මේ සියල්ල සම්බන්දයෙන් ගම්පහ අඩවි වන නිලධාරීනී දේවානී ජයතිලක මහත්මියට යම් ගෞවරවයක් හිමිවිය යුතුය. තනි පුද්ගලයෙකුට සමස්ථ සමාජයක් අවධිකල හැකිවුයේ නම් එසේ කල හැකිවුයේ මෑත කාලයේදී දේවානී ජයතිලක මහත්මියට පමණි. 

ඇයගේ ඒ හඩ ප්‍රථමයෙන් රුව් පිළිරැව් දුන්නේ පසුගිය වසරේ (2020) පෙබරවාරි 12වෙනි දින ධීවර සහ මිරිදිය කටයුතු රාජ්‍ය ඇමති සනත් නිශාන්ත, රාජ්‍ය නිලධාරීන් සහ මීගමුවේ ධීවරයන් අතර පැවති හමුවකදී පැන නැගුන උණුසුම් තත්වය තුලය. එම හමුවට සහභාගීවූ හිටපු මීගමුව මන්ත්‍රී සරත් කුමාර ගුණරත්න මහතා සහ මීගමුව මුන්නක්කරයේ ධීවර කණඩායමක් මීගමුවේ ඇති එකම වනගහනය වන කඩොලාන භූමි වලින් කොටසක් කපා ඉවත්කර කුඩා ළමයින්ට ක්‍රීඩා පිටියක් සහ ධීවරයින්ට ගෙවල් ආදිය හැදිය යුතුයැයි කල ඉල්ලීමට එරෙහිව අභිතව නැගී සිටිමින්, දැඩි බලපෑමක් ආදිය කිසිවකට හිස නොනමමින් ඇය කඩොලාන භූමි හෙලිකීරිමට ඉඩදිය නොහැකියැයි දැඩිව ප්‍රකාශ කළේය. 'ඔක්සිජන් මොකටද' යන කථාවක් මාධ්‍යවලින් ලොකු කර පෙන්වුයේ මෙම හමුවේ ඇතිවූ එකී උණුසුම් වාතාවරණය තුල හුවමාරුවූ වචන පදනම් කරගෙනය. 

ඇත්තවශයෙන්ම එකී හමුව සුදානම්කර එකී උණුසුම් වාතාවරණය සම්පුර්නයෙන්ම නිර්මාණයකර මෙහෙයවුයේ මීගමුවේ දේශපාළුවෝය. එහෙත් ඒ පිටුපස මීගමු ධීවරයන්ගේ අදෝනාවක්ද විය. මීගමුවේ ධීවරයන්ව කඩොල්කැලේ කපා හෝ ගෙවල් හදමු, ක්‍රීඩා පිට්ටනි හදමු කියමින් මිනිස්සුන්ට සරල උත්තර සපයමින් මිනිස්සු උසිගන්වන්නේ මීගමුවේ දේශපාළුවො බව නොරහසකි. මීගමුවේ අධික ජනගහන ගැටලුව, නිවාස සහ අනෙකුත් ගැටළු ගැන ජනයාට පුළුල් සහ ධරණීය විසදුම් සොයයනු වෙනුවට මැතිවරණවලදී චන්ද ගොඩ වැඩිකර ගැනීමට මීගමුවේ පමණක් නොව රටේම දේශපාළුවො මහජනයා නොමගයවමින් සිටී. ඒ බසින් නන්නත්තාරවූ වැසියෝ ලක් පොළවම වනසමින් සිටී. මීගමුවේ පොළවම පමණක් නොව මීගමු වෙරළද, කලපුවද, මීගමුවේ සංස්කෘතික ලක්ෂණද ඔවුන් ඉවක්බවක් නැතිව විනාශ කරමින් සිටී. කොල පාට ට යමක් මීගමුවේ ඉතුරුවී තිබුණි නම් ඒ මීගමුව කඩොල්කැලේ පමණි. දැන් එයද හනි හනිකට කපමින් සිටී. කලපුව ගොඩකරමින් තිබේ. වෙරළ කරෝල මුදලාලිලාට බදුදී තිබේ. 

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිව සිටියදී මීගමුව කලපුව සංවර්ධනය කිරීමට අයවැයෙන් වෙන්කර දුන් මුදල් මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ව්‍යාපාරය සදහා යෙදවූයේ යැයි යන චෝදනා මත නඩු වැටී සිටි හිටපු ඇමති සරත් ගුණරත්නද, අමාත්‍ය නිමල් ලන්සාද මීගමුවේ කලපුව, වෙරළ, කඩොලාන හෝ පරිසරය රැකගැනීමට කල කිසිවක් නැත. තිබෙනදේ රැකගැනීමට කිසිවක් නොකළ ඔවුන් දැන් අළුතින් ධීවර නිවාස ඉදිකිරීමට, ක්‍රීඩා පිට්ටනි තනන්නට මීගමුවේ ධීවරයින්ව උසි උසිගැන්වුයේ මීගමුවේ ධීවරයින්ගේ ප්‍රශ්න විසදීමට නොව අළුත් වැඩ මවමින් කොමිස් ගැසීමටය. එහෙත් එකී දේශපාලුවන්ට මෙන්ම කෙටිකාලීන විසදුම් සෙවූ ධීවරයන්ටද එදා ගම්පහ අඩවි වන නිලධාරීනී දේවානී ජයතිලක මහත්මියගේ අභීත නැගී සිටීම හමුවේ පසුබසින්නට විය. කිසිදු ගොරනාඩුවට යටපත් නොවී ඊට එරෙහිව නැගී සිටි අඩවි වන නිලධාරීනී දේවානී ජයතිලක මහත්මියට අපි අද මෙන්ම එදාද අපේ ප්‍රණාමය පුදකලෙමු. ඇය එදා ඉතා නිර්භීතව කාලකන්නි දේශපාලුවන්ට මෙන්ම උන්ගේ කටු ලෙවකන හෙන්චයියන්ටද විරුද්ධවද නැගී සිටීම මේ යුගයේ අප දුටු ඉතාම නිර්භීත ක්‍රියාවක් ලෙස හැදින්වූ අප ඇයට ශක්තියක්වෙන මිනිස්සුවෙමු යැයි ඉල්ලා සිටියෙමු. අද ඇයට ඒ ශක්තිය එදාටත් වඩා අවශ්‍යව ඇත. ඇය වැනි අයෝමය පුද්ගලයින් ආරක්ෂා කිරීම එදාටත් වඩා අද අභියෝගයක්ව ඇත. ඒ සදහා යම් ජන පෙලගසීමක්ද ගොඩනැගී ඇති බවද පෙනී යයි. එහෙත් ඇත්තවශයෙන්ම, අවශ්‍යයවන්නේ මාධ්‍ය තුලින් පුම්බා සකසන ව්‍යාජ පෙළගැසීමක් නොව ඇත්ත මහජන පෙළගැසිමකි. 

ගියවසරේ මීගමුවේ සිදුවූ ඉහත සිද්ධියෙදී මාධ්‍ය අල්ලා ගත්තේ රට වනසන දේශපාලුවන් නොව වචනක් වැරැදුනු 'ඔක්සිජන් සුරංග' ය. එම සිද්ධිය ඇතිවු දිනයේම (12/02/2020) 'ඔක්සිජන් සුරංග' ගේ මිතුරෙක් මට කතා කලේය. කතාකර කියා සිටියේ 'ඔක්සිජන් සුරංග' ට හරි අසාධාරණයක් වූ බවය. ඔහු කියන්න උත්සහ කලේ ''ඔක්සිජන් වැඩක් නැහැ කොල්ලෝ කුඩුවලට ඇබ්බැහිවෙනවා නම්, සෙල්ලම් පිට්ටනියක් දාලා හරි ඒක නවත්ව ගන්නවා මිසක් ඔක්සිජන් තිබිලා වැඩක් තියෙනවාද?'' වගේ කතාවකි. එහෙත් වන නිලධාරිනිය මෙන්ම මාධ්‍යයද අල්ලගත්තේ ''ඔක්සිජන් වැඩක් නැහැ'' කියන කෑල්ල විතරක්ය යන ඔහු විස්තර කළේය. පසුව face බුකියම අල්ල ගත්තේත් ඒ කෑල්ල විතරමය. ඔවුන් කිසිවෙක් මීගමුවේ කඩොලාන පරිසරය විනාශ කිරීමට පිබුරුපත් සකසමින් ඉන් කෝටි ගගන් උපයාගන්න උත්සහකල දේශපාලකයින් හෙළිකරගැනීමට අවධානය යොමුකළේ නැත. 

ඇත්තවශයෙන්ම 'ඔක්සිජන් සුරංග'ගේ කතාවේ මෙන්ම මීගමුවේ ඇතිවූ දේවානිගේ පළමු නැගිටිමේද පැති - මාන ගණනාවක් තිබුණි. එහෙත් පැහැදිලිවම ගම්පහ අඩවි වන නිලධාරීනී දේවානී ජයතිලක මහත්මිය එදා මෙන්ම අද ද පෙනී සිටින්නේ ඇගේ පෞද්ගලීක ප්‍රතිලාභයක් වෙනුවෙන්වත්, ඇයගේ රැකියාව ගැන සිතාවත් නොවේ. ඇය කටයුතු කලේ පැහැදිලි උතුම් අරමුණක් වෙනුවෙනි. මේ තිබෙන ගස්කොලන් ටිකද නැති කරගතහොත් මිනිස්සු හුස්ම ගන්නේ කොහොමද? යන ඇගේ ප්‍රශ්නය අපි සියල්ලන්ගේම ප්‍රශ්නයක් නොවේද? ඇය පෙනී සිටියේ එවැනි පරමාදර්ශ වෙනුවනි. එබැවින් අපි සියල්ලන් ඇය වෙනුවෙන් පෙනී සිටිය යුතුය. ඇයට ඒ සදහා හිමිවිය යුතු සියළු ගෞවරව හිමිවිය යුතුය. 

අනෙක් පැත්තෙන් එදා 'ඔක්සිජන් සුරංග' ආදීන් පෙනී සිටියේ මොකක් සදහාද? ළමයින්ට ක්‍රීඩා පිටියක් හදන්නය ය. තරුණයන් මත් කුඩු ආදියට ඇදීයෑමට නොදී ක්‍රීඩාවට යොමු කිරීමටය. ඔහු මීගමුව මුන්නක්කරය ග්‍රාමය තුල, මංකුළිය ග්‍රාමය තුල, පල්ලිය තුල කවදත් මහජන ගැටළු වෙනුවෙන්, සමාජ ප්‍රවර්ධන කටයුතුවලට දායකවෙමින්, ප්‍රජාවේ උන්නතිය වෙනුවෙන් කටයුතුකල තරුණයෙකි. ඇතැම්විට ඔහු සමාජ-දේශපාලන ක්‍රියාකාරීත්වයක් වෙනුවෙන්වූ නිවැරදි ප්‍රවේශයක් මෙන්ම අදාල අවස්ථාව තුල නිසිලෙස වචන හසුරුවා ගැනීමට නොහැකිවූ තරුණයෙකි. එහෙත් 'ඔක්සිජන් සුරංග'ව හපකල ආකාරයෙන්ම එදා එතැන සිටි දේශපාලකයින්වූ රාජ්‍ය ඇමති සනත් නිශාන්ත, මීගමුවේ හිටපු ඇමති සරත් ගුණරත්න, රාජ්‍ය ඇමති නිමල් ලන්සා ආදීන්ව මාධ්‍ය හෝ සමාජ ජාලා හපකලේ නැත. 

මීගමුවේ තිබෙන ප්‍රධාන ක්‍රීඩා පිටියවන මීගමුව කොටුව පට්ටනිය වල්බිහිවී, එහි ක්‍රීඩා මන්ඩපය ගරා වැටි ඇති තත්වයක් තුල, කඩොල්කැලේ පිට්ටනියද එසේ වල් බිහිවී ඇති තත්වයක් තුල, මීගමුව වෙරළ කරෝල මුදලාලිලාට බදුදී එයද එකම කුණු ගොඩක්කර ඇති තත්වයක් තුල, මීගමුවේ පැරණි ලන්දේසි කොටුව විනාශවී ජරාජීරනවී ඇති තත්වයක් තුල, එකී ස්ථාන ගොඩනැගීමට හෝ නඩත්තු කිරීමට කිසිවක් නොකරන, මීගමුවට කුඩු ගෙනෙන අයව අල්ලනේ නැතුව, කුඩුවලට පොලබවන තත්වයන් වෙනුවෙන් කිසිවක් කරන්නේ නැතිව, කුඩුවලට ඇබ්බැහිවුවන් පුනරුත්ථාපනය කරන්න කිසිවක් කරන්නේ නැති, ධීවරයින්ගේ නිවාස ගැටලුව විසදීමට කිසිවක් නොකරන දෙස්පාලුවන්ව උදේ හවස ප්‍රශ්න කරන්නේ නැතිව මාධ්‍ය එදා කලේ ඔවුන් මීගමුවේ ඇති අන්තිම කඩොල් ටිකද කපා මීගමුවේ අළුත් ක්‍රීඩා පිටියකට රුපියල් මිලියන 700ක් සම්මතවී ඇති බව පාරම්බෑමය. අද එම මුදලටද අත්වූ ඉරණමක් නැත. ඒ දේශපාලුවන්ව එලව එලවා ප්‍රශ්න කිරීමට මාධ්‍ය කටයුතු නොකරයි. ඒ වෙනුවට දේවානි හෝ 'ඔක්සිජන් සුරංග' වෙනත් අලෙවිකල හැකි යමක් අලවිකරමින් දවස ගෙවයි.

ඇත්තටම මේ සිදුකරමින් සිටින්නේ සියල්ලන් 'ජෝකර්ලා' කිරීමද? 

එහෙත් කවුරු කාව 'ජෝකර්ලා' කලද අප ඉදිරියේ උඩුදුවමින් යන ප්‍රශ්න රාශියක් තිබේ. අප සිටින්නේ කොයියම්ම මොහොතක හෝ පුපුරාගිය හැකි ගිනිකන්දන් බදු ප්‍රශ්න ගොඩක බව අප මතක නොකළ යුතුය. ජෝකර්ලා කියුවිට මගේ මතකට එන්නේ 2020 වසරේ ඔස්කා සිනමා උළෙලේදී සම්මාන දිනු Joker චිත්‍රපටියේ ප්‍රධාන චරිතය රගපෑ, එම ඔස්කා උළෙලේදී හොදම නළුවාට හිමි සම්මානය දිනු Joaquin Phoenix කල කතාවය. ඔහු එහිදී සදහන් කලේ ''අපි ඉන්නේ කෙරුම්කාරයෝ (champion) වගේ...අපි හිතන් ඉන්නේ අපිට මුක්තියක් /දුර්විපාක නොලබා සිටීමට (impunity) ඉඩක් තියෙනවා අනෙක් ජාතීන්, අනෙක් වර්ගයන්, අනෙක් සත්ව කොට්ටාශයන්, පරිසරය ආදිය යටපත් කරලා ඒ මත ආධිපත්‍ය දරාගෙන ජීවත් වෙන්න... අපි ඉන්නේ අපි වටා ඇති ස්වභාවික ලෝකයෙන් කැඩිලා වෙන්වෙලා ගිහිල්ලා...එකේ මුදුනෝ වගෙයි... අපි මේ ස්වභාවික පරිසරය විනාශ කරලා, අපි එහි සම්පත් කොල්ලකාලයි (plunder) ජීවත් වෙන්නේ... මේ ලෝකේ තියෙන හැමදේම තියෙන්නේ අපේ අවශ්‍යතා සපුරා ගන්නයි කියලයි අපි හිතන්නේ.. මේහෙම හුදු ආත්මාර්ථකාමි ලෝක දැක්මකින් (egocentric world view) ජීවත්වීමට අපි ඔක්කොම වැරදි කාරයෝ...මම වුනත් වැරදි කාරයෙක්..මම වුනත් පෞද්ගලික ජීවිතයේදී ආත්මාර්ථකාමියෙක් ලෙස ජීවත්වුනා..අද මම මෙතන ඉන්නේ මට මිනිස්සු දෙවන අවස්තාවක් (second chance) දුන්න හින්දයි...අපි එකිනෙකාට උදව් කරගම්මු හැදෙන්න, වැරදින් ගැලවෙන්න (redemption), ආදරයෙන් යුතුව මුදවාගනිමු...එවිට සාමය ලගාවෙයි'' යන්නය.

ඇත්ත වශයෙන්ම දේවානිගේ දෙවන නැගී සිටීම තුලද අප සියල්ලනට මේ සිදුවෙමින් යන විනාශයට විරුද්ධව නැගී සිටීමට තවත් අවස්ථාවක් ලබා දී ඇත. 

මාකස් ප්‍රියන්ත පෙරේරා 
11/02/2021
මීගමු මුන්නක්කර කළපු ප්‍රශ්නය ගැන සුරකිමු මීගමු කළපුව - Save Negombo Lagoon සංව්ධානය 19/09/2020 පළකර තිබු ලිපියක්ද පහතින් පළවේ. 
=================================================
සැබෑ ප්‍රශ්නය කුමක්ද කියලා හොයනවා වෙනුවට සමාජ ජාලය පුරාවටම "ඔක්සිජන්" කතාවක් අල්ලගෙන හැමෝම මේ ප්‍රශ්නය විහිළුවකට ගත් බවක් තමයි පෙනෙන්නට තිබුණේ.

එතකොට මොකද්ද මේ දැන් මතු වී ඇති අර්බුදය ?

ගැටළුව තමයි මීගමුව මුන්නක්කරය සා.නිකුලා පාසලට ක්‍රීඩා පිට්ටනියක් නොමැති කම.

මුන්නක්කරය කියලා කියන්නේ වැඩිපුර දෙමල කතා කරන මීගමුව නගරයට නුදුරින් , මීගමුව කලපුවෙන් හා ඝණ කඩොලාන රක්ෂිතයකින් වට වු දුපතක් ලෙස සැළකිය හැකි සිංහල ධීවර ගම්මානයක් කිව්වොත් මා නිවැරදියි.

මුන්නක්කරය ගමේ පාසල තමයි සා නිකුලා සිංහල මිශ්‍ර විදුහල. අතීතයේ මේ පාසල දෙමල පාසලක් වුවත් පසු කාලයේ දෙමල අංශය වැසී ගියාට පස්සේ මේ පාසල සිංහල පාසලක් බවට පත් වුණා. වර්තමානයේ මෙම පාසලේ ළමුන් 1000-1200 ක් පමණ ඉගෙනුම ලබනවා. 

එතකොට එදා පටන් අද දක්වා මේ පාසලේ ළමුන්ට ක්‍රීඩා පිට්ටනියක් තිබුණේම නැද්ද...?

ක්‍රීඩා පිට්ටනියක් තිබුණා..

ඉස්සර කොල්ලෝ වොලි බොල් /ක්‍රිකට් සෙල්ලම් කළේ ඒ පිට්ටනියේ, ඔය කියන පිට්ටනියේ පොඩි කොල්ලෝ හවසට සරුංගල් යැව්වා..

ඒ විතරක් නෙමෙයි මුන්නකරය පාසලේ ක්‍රීඩා උත්සවය පවා තිබුණේ ඒ පිට්ටනියේ...

පරම්පරා ගණනක මුන්නක්කරයේ මිනිස්සුන් දුව පැන සෙල්ලම් කරපු එහෙව් ක්‍රීඩා පිට්ටනියක් අවාසනාවකට මුන්නක්කරයට අහිමි වුණා.ඇත්තම කිව්වොත් අහිමි කළා.

මේක තමයි කතා කළ යුතුව තිබෙන ප්‍රශ්නය..

තිබුණු ක්‍රීඩා පිට්ටනියට මොකද වුනේ කියන කාරනාව..

මම මේ කියන ක්‍රිඩා පිට්ටනිය තිබුනේ මුන්නක්කරය "අලියා පොළට" මායිම්ව මංකුලිය පාරට මුහුණලා , හරියටම මුන්නක්කරය පාසලට මීටර 200 ක් තරම් වූ දුරකිනි.(සිතියමේ පෙන්වා දී ඇති ආකාරයට)"

අලියා පොළ" කියන්නේ එදා පටන් අදටත් මුන්නක්කරයේ මිනිසුන්ගේ දෛනික ජීවිතයෙන් වැඩි හරියක් දේවල් සපුරා ගන්නා වූ වෙළද මධ්‍යස්ථානයයි. ඉස්සර මේ අලියා පොළ තිබුනේ බොහොම අබලං තත්වයක ගරා වැ‍ටුණු වහලක් යට වෙළදාම් කරන කාන්තාවන් සිටියේ අපහසුවෙනි. 

මේ අපහසුතාවය ගැන මැසිවිලි නගපු වෙළෙන්දෝ මේ පිළිඹද මීගමුව මහා නගර සභාව දැණුවත් කළා. එවක මීගමුවේ පුරපතිව සිටියේ නිමල් ලංසාය.අපරාදේ කියන්න බෑ. ලංසා මේ වෙළෙදුන්ගේ ප්‍රශ්නය විසදීමට කඩිනමින් මැදිහත් වුණා.

එතැන් පටන් තමයි මුන්නක්කරය ක්‍රීඩා පිට්ටනියට කන කොකා හඩලන්න පටන් ගත්තේ.

ලංසා මොනාද කළේ, අර අබලං වූ අලියා පොළ වෙනුවට ඉදි කළා මහල් දෙකකින් සමන්විත ගොඩනැගිල්ලක් පහල මහල පාරම්පරික වෙළදුන්නටත්, දෙවෙනි තට්‍ටුවේ කඩ කාමර කීපයකුත් ගැහුවා බදු පදනම යටතේ කුළියට දීමට.මේ මිනිහා එතනින් නැවතුනේත් නෑ , අලියා පොළට මායිම්ව තිබුණු මම අර කලින් කියපු මුන්නක්කරය පිට්ටනියත් අහුරලා ගැහුවා උත්සව ශාලාවක්.මුන්නක්කරය මිනිස්සු නෙමෙයි කටක් හෙල්ලුවෙ.

දේශපාලුවන්ගේ හිතුමනාපෙට ගමේ සම්පත් සූරා ගෙන යනකන් බලා හිටියා හැරෙන්න අද පිට්ටනියක් නැති වේදනාවෙන් කෑගහන එවුන් එදා පිට්ටනිය අහිමි වෙනකොට බුදියන්ද හිටියේ කියලත් හිතෙනවා.

අන්තීමෙට මුන්නක්කරයට තිබුණු ක්‍රීඩා පිට්ටනිය ගමට අහිමි වුණා.වෙලදුන්ගේත් ප්‍රශ්නය විසදුනේ නැති වුණාට මොකෝ අලියා පොළෙන් ලංසා income එකක් හදා ගත්තා

අදටත් බාගෙට බාගයක් අලියා පොළේ වෙළෙන්දු ඉන්නේ පාර දෙපැත්තේ කුඩ අල්ලගෙන ,වැසිකිළි පහසුකම් නෑ..ජල පහසුකම් නෑ..

මුන්නක්කරයට පිට්ටනිය අහිමි වුනේ මුන්නක්කරයේ ජන ගහනය වැඩි වෙලා නෙමෙයි.

අද මුන්නක්කරයේ මිනිස්සු කඩොල් ගස් කපලා ක්‍රීඩා පිට්ටනියක් යාන්තමින් හරි හදා ගන්න තරමට අසරණ කළේ වෙන කවුරුත් නෙමෙයි නිමල් ලංසාය.මේකට එවකට හිටපු මන්ත්‍රී සරත් කුමාර ගුණරත්නත් වග කියන්න ඕනා.

මේ ප්‍රශ්නය ගැන ඇත්තටම කතා කරන්න ඕනා නිමල් ලංසා සමගය.

මුන්නක්කර මිනිසුන්ට යුතුකමක් තියෙනවා කඩොල් උයන එළි කරන්න කලින් තමුන්ගේ ගමේ තිබුණු ක්‍රීඩා පිට්ටනියට වුණු වින්නැහිය ගැන කතා කරන්න.

කඩොල් උයනක් කපලා මුන්නක්කර මිනිස්සු දැන් කරන්න යන්නේ පාරසරික විනාශයක්, කතාවට කියනවා “මැණිකේ අගය කනා දන්නේ නෑ කියලා”

මුන්නක්කරයේ මිනිසුත් අන්න හරියට ඒ වගේ

ගම වටේ කඩොල් ගස් තිබුණාට කඩොල් ගහේ අගේ මුන්නකරයේ මිනිස්සු දන්නේ නෑ.

ලෝකේ කාබන් අවශෝෂණය ඉහළම ශාක පද්ධතිය වන්නේ කඩොලාන ශාකයි. ගෝලීය උෂ්ණත්වය හා දේශගුණික විපර්යාස අවම කිරීමට මහගු පිටුවහලක් වන ශාකයක් තමයි කඩොලාන ශාකය.අනෙක් අතට ගොඩබිමට පැමිණෙන උදම්රළට ස්වභාවික බාධකයක්ව මුහුණදීමට තරම් කඩොලාන ශක්තිමත්ය.

කඩොල් ගස් පද්ධතියක වටිනාකම ධීවරයෝ පවා හොදට දන්නවා.ඒක නිසා කඩොල් උයන කපන්න දගලන ධීවරයෝ යැයි කියා ගන්න පිරිස ඇත්තටම ධීවරයෝ ද එහෙමත් නැතිනම් දේශපාලුවන්ගේ කුළි කාරයෝද කියලත් සැකයි. 

අමතක කරන්න එපා ගුරුගේ කාරයා හෝටලය ගහන සමයේ එහි කම්කරුවන්ට ඉන්න හිටින්න තැන් පවා දුන්නේත් මුන්නකරයේ මිනිස්සුම තමයි.

(මීගමු කළපුව රැක ගන්න නම් අපි මේ ප්‍රශ්නය ගැන විවෘත්තව කතා කළ යුතුව තිබෙනවා,නැතිනම් මතු පරම්පරාවට මේ සම්පත් අහිමි විය හැක)

Friday, 5 February 2021

බුරුමයේ කරුමය

මේ මස උදාවත්ම සිදුවූ (01/02) හමුදා කුමන්ත්‍රණයකින් බුරුමය හෙවත් මියන්මාරයේ හමුදාව නැවතත් එරට බලය පැහැරගත්තේය. ඒ අනුව ප්‍රජාතන්ත්‍රවාදී නායිකාවක් ලෙස සලකන අවුන්සන් සූකී නැවතත් නිවාස අඩස්සියට පත්කර තිබේ.

මීට පෙරද, 1988 සිට 2011 මැතිවරණය තෙක්ම, අවුන්සන් සූකී සිටියේ නිවාස අඩස්සියේය. එකල ඇය නිදහස් කරගෙන බුරුමයේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට බුරුමය තුල මෙන්ම ඉන් පිටතද ක්‍රියාත්මකවූ දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් තිබුණි. අවුන්සන් සුකී සිරකරගෙන බලහත්කාර මිලිටරි පාලනයක් ගෙනගිය බුරුම හමුදා පාලනයට විරුද්ධව බුරුමය තුලත් ඉන් පිටතත් ක්‍රියාත්මකවෙමින් අවුන්සන් සුකී නිදහස් කරගැනීමේ (Free Aung San Suu Kyi Movement) ගාමක බලවේගයවූයේ බුරුම ප්‍රජාතන්ත්‍රවාදී ශිෂ්‍ය පෙරමුණ (All Burma Students' Democratic Front - ABSDF හෙවත් බුරුම ප්‍රජාතන්ත්‍රවාදී අරගලයේ සංකේතය ලෙස සැලකු The Fighting Peacock ව්‍යාපාරය ය. එහි ඇතැම් නායකයින් මට ආසියානු ශිෂ්‍ය සංගමයේ (ASA) රැස්වීම් පැවැති බංග්ලාදේශයේදී, හොංකොං හිදී සහ තායිලන්තයේදී  හමුවී තිබේ. බුරුම-තායිලන්ත දේශසීමාවේ පවත්වාගෙන ගිය ඔවුන්ගේ කදවුරක පැවැති වැඩසටහනකටද වරක් මා සහභාගීවූවෙමි. බුරුම ශිෂ්‍ය ව්‍යාපාරයේ නායක සමාජිකයින් සමගවූ කතාබහ මෙන්ම විටෙන්විට බුරුමයේ විවිධ කන්ඩායම් සමග ඇසුරද, බුරුමය සම්බන්ද කියවීම්වලට වඩා බුරුමයේ ප්‍රජාතන්ත්‍රවාදයේ සීමා මායිම් ගැන යථාභූත අවබෝධයක් ලබාගැනීමට මට මහගු උපකාරයක් විය.

බුරුමයද ලංකාව මෙන්ම ථෙරවාදී බෞද්ධ රටකි. බුරුමයටද ලංකාවේ මෙන්ම බුද්ධාගම පැමිණියේ ඉංදියාවේ අශෝක අධිරාජයාගෙන් බව කියවේ. එහිද ත්‍රිපිටකයක්, බුද්ධාගම, ජාතිය සහ රාජ්‍යය එකිනෙකට සම්බන්ද කරමින් ලියවුනු වංශ කතා සාහිත්‍යයක් සහ රාජ්‍යයේ සහ ජාතියේ පදනම එරට මුල්බැසගත් ථෙරවාදී බුද්ධාගම විසින් ගොඩනැගුවේ යැයි පිලිබිබුවන ඉතිහාසය ගැන දැක්මක්ද බුරුමය තුල තහවුරුව තිබේ.

එහෙත් මෙකී ජාතිය, ආගම සහ රාජ්‍යය පිලිබද බුරුම මතවාදයන් වඩ වඩාත් තීවුරව මතුවීමට ගත්තේ පසුගිය සියවස් දෙකක කාලය තුල මිස ඊට පෙර සිට නොවේ යැයි බුරුම වාර්ගික- ආගමීක-ජාතිකවාදය ගැන කතිකාවලදි නිතර සදහන් කරන්නකි.

ආක්‍රමණික බ්‍රිතාන්‍යය හමුදා මුලු බුරුමයම යටත්කර ගැනීමට පෙර පැවති බුරුමයේ කොන්බග්ගුන් රජ පෙලපතේ (Konbaung dynasty) පාලනය ලංකාවේ අමරපුර නිකාය ආරම්භකල බුරුමයේ අමරපුරෙන් වරම් ලැබුවද බුරුමය තුල ථෙරවාදී බුද්ධාගම මුල්කරගත් බුරුම වාර්ගික-ආගමීක-ජාතිකවාදය හිස ඔසවන්නේ 1824 ඇරබී බුරුමයේ බ්‍රිතාන්‍යය යටත්විජිත පාලනය සමය තුලය.

ඇත්තවශයෙන්ම, බුරුමයේ බ්‍රිතාන්‍යය පාලනය බුරුම ජාතිකවාදයත්, බුරුමයේ විවිධ ජන වර්ගයන්ගේ අනන්‍යතාවයත්, බුරුම ථෙරවාදී බුද්ධාගමේ ප්‍රබෝධයත් එකවර තුන් ආකාරයකට අවදිකලේය. එහෙත් බුරුමයේ බ්‍රිතාන්‍යය පාලනය ලංකාවේ බ්‍රිතාන්‍යය පාලනය තරම්වත් එරට සමාජ, දේශපාලන සහ ආර්ථික විපර්යාසයන් සිදුකල පාලනයක් නොවිනි. ලංකාවේ බ්‍රිතාන්‍යය පාලනය සිදුකල ආර්ථික සමාජ සහ දේශපාලන වෙනස්කම්වල බලපෑම යාපනේ සිට මාතර දක්වා වෙරළ තීරය දක්වාත්, රට අභ්‍යන්තර මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් දක්වාත් දිව ගියාක් මෙන් බුරුමයේ බ්‍රිතාන්‍යය පාලනය සිදුකල ආර්ථික සමාජ සහ දේශපාලන වෙනස්කම්වල බලපෑම දිවගියේ එරට ඉරවඩි ගං තීරුව දෙපසට පමණක් යැයි කියනු ලැබේ.

1824 ආරම්භවු බුරුමයේ බ්‍රිතාන්‍යය පාලනය 1937 දක්වාම බ්‍රිතාන්‍යය ඉංදියානු පාලනයේ කොටසක් ලෙස තිබුනද, බ්‍රිතාන්‍යයන් සුදුකල ආර්ථික, සමාජ දේශපාලන විපර්යාසයන්ගේ බලපෑම එතරම් මුල් බැස නොගත්තද: බුරුම රජ්‍යය සහ ආගමීක සැකැස්මට බ්‍රිතාන්‍යය පාලනයේන් ප්‍රබල බලපෑම් එල්ලවුයේය.

බ්‍රිතාන්‍යයන් බුරුම රජ බලයෙන් පහකල අතර ආගම රාජ්‍යය පාලනයෙන් වෙන්කලේය. ඉන් වඩාත්ම බලපෑම එල්ලවුයේ එරට සංඝ සමාජයටය. බ්‍රිතාන්‍යය පාලනය යටතේ සංඝ සමාජයට රාජ්‍ය අනුග්‍රහය අහිමුවු අතර රජට අර්ථයෙන් ධර්මයෙන් දේශනා කරමින් ඔවුන් හෙබවූ සුවිශේෂී සමාජ අස්ථානයද ඔවුන්ට අහිමිව ගියේය. එමෙන්ම එතෙක් බුරුමය තුල වෙනත් ආගම්වලට හිමිනොවු නිදහසක් බ්‍රිතාන්‍යය පාලනය සමයේදී අනෙක් ආගම්වලට හිමිවිය. ඒ අවසරයෙන් ක්‍රිස්තියානි, හින්දු මෙන්ම මුස්ලිම් ආගම්ද , මහායාන බෞද්ධ සම්ප්‍රදායන්ද බුරුමය තුල හිස ඔසවන්නට විය. මේ සියල්ල එරට එතෙක් මුල් බැසගත් බුරුම ථෙරවාදී සංඝ සමාජයේ සංවේගයටත්, ආවේගයටත් හේතුවිය.

ථෙරවාදී භික්ෂූන් නිරාහාරව සත්‍යක්‍රියාවල නිරතවෙමින් මිය‍යන තත්වයටත්, බ්‍රිතාන්‍යය පාලනයට මෙන්ම එරට ක්‍රමයෙන් පැතිරයමින් තිබූ ක්‍රිස්තියානි, හින්දු, මුස්ලිම් ආගම්වලටත් එරෙහිව නැගීසිටීම ක්‍රමයෙන් වාර්තා වෙන්නට විය. 1911 වනවිට ලංකාවේ පානදුරාවාද මෙන් ක්‍රිස්තියානි පාදිලිවරුන් සහ බෞද්ධ භික්ෂූන් අතර විවාදයන් එරටද ඇතිවිය. මෙකී වාද විවාදයන් ක්‍රමයෙන් වචනවලට සීමා නොවුනි. 1920 වන විට පල්ලිවලට ගිනි තියන, ක්‍රිස්තියානීන් ඝාතනය කරන තත්වයක් දක්වා වර්ධනය විය. විශේෂයෙන්ම ප්‍රෙතස්තන්ත්‍ර බැප්ටිස් ක්‍රිස්තියානි ආගම වැලදගත් කැරන් (Karen's) ජනයාට එරෙහිව එල්ලවූ ම්ලේච්ඡ ප්‍රරහාර වැලැක්වීමට බ්‍රිතාන්‍යය යටත්විජිත පාලනයට පවා නොහැකිවිය. එමෙන්ම ක්‍රිස්තියානි මෙන්ම හින්දු ආගම වැලදගත් කචින් (Kachin), චින් (Chin) සහ කයින් (Kayin) ජනයාට මෙන්ම යුරෝපීයානු, ආසියානු මිශ්‍ර ජනකොටස්වලට (Eurasians) වලටද දැඩි ප්‍රහාර එල්ලවන්නට විය.

බ්‍රිතාන්‍යයන් ඔවුන්ගේ ඇෆ්ගනිස්තානයේ සිට බුරුමය දක්වා දිවගිය ඉංදියානු උප මහද්වීපික පාලනයෙන් බුරුමය ඉවත්කර 1934 සිට එය වෙනම රාජ්‍යයක් ලෙස පාලනය කිරීමට යොමුවීමට බුරුමය තුල ක්‍රමයෙන් උත්සන්නවෙමින් තිබු ඉහතකී නොසන්සුන්තාවයන්ද හේතුවන්නට විය. එමෙන්ම එම යුගයේ හිස ඔසවමින් තිබූ චීන කොමියුනිස්ට් අතපෙවීම් සහ බුරුමයේ සමාජවාදී දේශපාලනය ක්‍රියාකාරකම්ද, බ්‍රිතාන්‍යය රාජ්‍ය අභිලාෂයන්ද එහිලා හේතුවන්නට විය. එහෙත් දෙවන ලෝක යුද්ධ සමයේදී ජපානය බ්‍රිතාන්‍ය -බුරුමය ආක්‍රමනය කල නිසා බුරුමයේ බ්‍රිතාන්‍යය පාලනය වැඩිකල් නොගොස්ම බිදවැටුනේය.

ආක්‍රමණික ජපන් හමුදා බුරුමයේ එවකට අගනුවරවූ රැන්ගුන් නුවර අල්ලාගත්තා පමණක් නොව බ්‍රිතාන්‍යයන් බෙංගාල දේශසීමාව දක්වා පලවාහැරීමටද සමත්විය. දැන් බලය අත්කරගෙන සිටින හමුදා පාලනය විසින් බලයෙන් පහකල අවුන්සන් සූකීගේ පියාවු අවුන් සන් (Aung San) සිටියේද මෙකී ආක්‍රමණික ජපන් හමුදාව සමගය. ඔහු පමණක් නොව ආක්‍රමණක ජපන් හමුදාවල සහයට බෞද්ධ භික්ෂූන්ද ඉදිරිපත්ව සිටියේය. ජපන් අක්‍රමනයට පෙර අවුන්සන් සූකීගේ පියාවු අවුන් සන් (Aung San) පමනක් නොව බොහෝ භික්ෂූන්ද චීනයේ කොමියුනිස්ට්වාදී පිලිවෙතටද, සමාජවාදයටද නැබුරක් පෙන්වා තිබුනි. ඔවුන්ගේ පොදු හතුරාව සිටියේ බ්‍රිතාන්‍යය යටත්විජිත පාලකයන්ය. චීන හෝ ජපන් සහයෙන් බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස්වීම අධිරාජ්‍යවාදී පාලනයෙන් සහ ඔවුන්ගේ ගැත්තන්ගෙන් නිදහස්වීමක් ලෙස බුරුම නිදහස්කාමීන් සිතුහ. එහෙත් ජපන් ආක්‍රමණිකයන් සමග බ්‍රිතාන්‍යයන්ට එරෙහිව පෙරමුණ ගෙන සිටි අවුන්සන් සුකිගේ පියාවූ අවුන් සන් සහ බුරුම භික්ෂූන්ගේ සහය ලැබු බුරුම සහයක හමුදා අක්‍රමණික ජපනුන්ට සහය දෙන අතරම බුරුමයේ වෙසෙන මුස්ලිම් ජාතිකයන්ට විරුද්ධවද වර්ගවාදී ප්‍රහාරයන් දියත් කිරීමට යෑම ජපනුන්ගේ උදහසට හේතුවිය. ජපනුන් එකී බුරුම කොටස්වලට දැඩි දඩුවම් පැමිණිවීම ආක්‍රමණයක ජපන් හමුදාවට බුරුම සහය අහිමි කලේය.

පසුව අවුන්සන් සූකීගේ පියාවු අවුන් සන් (Aung San) ඇතුලු බුරුම සහයක හමුදා ජපනුන්ට විරුද්ධව බ්‍රිතාන්‍යයට සහයදිය. ජපනුන් පරදා බ්‍රිතාන්‍යයන් නැවත බුරුමය අත්කර ගත්තද බ්‍රිතාන්‍යයන් ඉන්දියානු කලාපයෙන් ඉවත්වීමට තීරණය කල බැවින් ඉංදියාවෙන්, බුරුමයේ මෙන්ම ලංකාවේද බ්‍රිතාන්‍යය පාලනය අවසන් කිරීමට පිබුරුපත් සැකසිණි. එහිලා අවුන්සන් සූකීගේ පියාවු අවුන් සන් (Aung San) ගේ ප්‍රධානත්වයෙන් බුරුමයේ නව පාලනයක් ස්ථාපිත කිරිමට කටයුතු පිලියල කෙරුණි. ඒ අනුව ලංකාවේ මහනුවරට පැමිනි අවුන් සන් බෞද්ධයන්ගේ මුදූන් මල්කඩවූ මහනුවර ශ්‍රි දන්ත ධාතූන් වහන්සේ වැදපුදාගෙන බුරුමයට බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස හිමි වෙන මහනුවර සම්මුතියටද අත්සන් කලේය.

එහෙත් බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස්වී බුරුමය තුල නව පාලනයක් ස්ථපිත කිරීමට පෙර අවුන් සන් (Aung San) සහ ඔහුගේ කැබිනට් මන්ඩලය ඝාතනය විය. අදටද මේ ඝාතන පසුපස සිටි පුද්ගලයන් සහ බලවේග‍යන් කවුදැයි හදුනාගෙන නොමැත. ඒම ඝාතන පිටුපස අවුන් සන් (Aung San) ගොඩ නැගූ බුරුම නිදහස් හමුදාවේ ඇතැම් නායකයින්ද, එමෙන්ම එකී හමුදාව බ්‍රිතාන්‍යයන් ගොඩ නැගූ බුරුමයේ ජාතික ආරක්ෂක හමුදාවට හා මුහු කිරීමට විරුද්ධවූ බුරුමයේ නිල ජාතික හමුදාවේ නිලධාරින්ද, විරුද්ධ පාර්ශ්වයන්ද සිටින බව කියවේ.

එහෙත් නිදහස ලබන සමයේම සිදුවූ මෙකී ලේවැකි කුමන්ත්‍රණය නිදහසින් පසු බුරුමයේ නොනැවතින ලේවැගිරීම් රැසකට මංපෑදීය. 1948 නිදහස ලබා 1962 දක්වා ක්‍රියාත්මකවූ සිවිල් පාලන සමය තුලද බුරුමයේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කල නොහැකි සමයක් විය. අවුන් සන් (Aung San)ගේ ඝාතනයෙන් පසුව එකක් පසුපස එකක් ලෙස වැල නොකැඩී දේශපාලනය ඝාතන සිදුවන්නට විය. එමෙන්ම 1948 බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස ලබා ගැනීමත් සමග එරට ථෙරවාදී බුද්ධාගම රාජ්‍ය ආගම ලෙස නම් කල අතර ථෙරවාදී බෞද්ධාගමේ වර්ධනය, ප්‍රවර්ධනය සහ ථෙරවාදී සංඝ සභාවේ උන්නතිය රාජ්‍යයේ ප්‍රමුඛ කාර්යක් ලෙස ව්‍යාවස්ථානුකුලවම තවුරුවිය. එය එක්තරා ආකාරයකට බුරුම රාජ්‍ය පාලනය සම්බන්දයෙන් එරට ථෙරවාදී බෞද්ධාගමට සහ ථෙරවාදී සංඝ සභාවට හිමිකම් පැවැරීමක් ලෙස විස්තර කරයි. ක්‍රිස්තියානි පොතපත පමනක් නොව ක්‍රිස්තියානි ධර්ම ප්‍රරචාරක කටයුතුද තහනම කරන ලද අතර ක්‍රිස්තියානින්ට රජයේ තනතුරු දැරීම තහනම් කර ඇත. එරට ක්‍රිස්තියානි බහුතර ප්‍රජාවක් වු කැරන් (Karen's) ජනයාට විරුද්ධව වර්ග සංහාරයක යුද්ධයක් ආරම්භ කෙරුනි. පසුව එය සිවිල් ගැටුම් ලෙස කචින් (Kachin), චින් (Chin) සහ කයින් (Kayin) ජනයාට මෙන්ම යුරෝපීයානු, ආසියානු මිශ්‍ර ජනකොටස්වලට (Eurasians) වලට එරෙහිව දියත්වෙන ලදි. ඒ එරට වෙනත් සුලු ජන කන්ඩායම් පෙඩරල් පලනයක් හෝ ස්වයං පාලනයක් ඉල්ලා සටන් කරන අතරය.

ප්‍රජාතන්ත්‍රවාදි පාලනය දුර්වලව, අභ්‍යන්තර වශයෙන් වියවුල්ව, සිවිල් යුද්ධ රාශියකට සහ ආගමීක ඒකාධිකාරයකට හිරව අකර්මණ්‍යව සිටි නිදහස් බුරුමයේ රාජ්‍ය පාලනය 1962 දී එරට හමුදාව අත්කර ගන්නා ලදි. 1962 සිට දැඩි හමුදා පාලනයක් පැවැතියද, බුරුම‍ය ලෝකයේ දිලිදුම රටවලින් එකක් බවට පත්වුවද, මානව හිමිකම් කඩ කරමින් ලොව පුරාම සම්බාදකයන්ට ලක්ව තිබුනද, බුරුමයේ බෞද්ධ භික්ෂූන්ගේ සැලකිය යුතු සහයත්, ජනතාවට වෙනත් විකල්පයක් නොවීමත්, චීනයේ සහයත් තුල 2011 දක්වාම එරට දීර්ඝකාලයක් තිස්සේ හමුදා පාලනයකට නතුව පැවතිනි.

ප්‍රජාතන්ත්‍රවාදය පිලිබදව යම් හෝ උනන්දුවක් ඇතිවූයේ 1988 අවුන්සන් සූකී නැවත බුරුමයට පැමිණ එරට ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ දියත් කිරිමෙන් අනතුරුවය. හමුදාව ටික කලකින්ම ඇයව අත් අඩංගුවට ගෙන නිවාස අඩස්සියට පත්කලේය. එහෙත් ප්‍රජාතන්ත්‍රවාදය පිලිබදවු ඇය දැල්වූ බලාපොරොත්තුව වේගයෙන් වර්ධනයවූ අතර ශිෂ්‍යයගේ, භික්ෂූන්ගේ සහ මහජනයාගේ පිබිදීම් ක්‍රමයෙන් හිස ඔසවන්නට විය. ඊට විරුද්ධව හමුදාව දැඩි මර්දනයක් දියත් කිරීමත් විශේෂයෙන්ම 2007දී එරට භික්ෂූන් ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා දියත්කල මහජන උද්ඝෝෂණ මාලාවට (Saffron Revolution) එරෙහිව හමුදාව දියත්කල ම්ලේච්ඡ ප්‍රරහාරත් නිසා බුරුමයේ දිගුකලක් බලයේ සිටි මිලිටරි ජුන්ටාව බිදවැටුනි.

2011දී බුරුය ක්‍රමයෙන් ප්‍රජාතන්ත්‍රවාදී මාවතට අවතීරනව මහා මැතිවරණයක් පැවැත්වූ අතර එරට බොහෝ ප්‍රදේශවලින් පත්වූ මහජන නියෝජිතයින්ගෙන් සමන්විත මන්ත්‍රණ සභාවක් පිහිටවීමට හැකිවිය. එහෙත් එරට දිගුකලක් පාලන බලය රදවාගෙන සිටි හමුදාව තවත් වසර ගනනාවක් යනතුරුම අවුන්සන් සූකීගේ නායකත්වයෙන් යුතු පාලනයක් බිහිකීරීමට ඉඩ නොදුන්නහ. අවසානයේ මීට වසර 5කට පෙර ඇගේ නායකත්වයෙන් යුතු රජයක් බිහිකලද පාර්ලිමේන්තුවේ ආසන සංඛ්‍යාවෙන් හතරෙන් එකක් හමුදාව යටතේ තබාගැනීමට හමුදා පාලකයන් කටයුතු කලේය.

ඇත්ත වශයෙන්ම, අවුන්සන් සූකීට ද බුරුමය ප්‍රජාතන්ත්‍රවාදී මාර්ගයට රැගෙන ඒමට නොහැකිවිය. ඇය එක් පසෙකින් හමුදාවේ බලපෑමටද අනෙක් පසින් වාර්ගික- ආගමීක-ජාතිකවාදයෙන් අවි අමෝරාගෙන සිටින සටන්කාමී භික්ෂූගේද ගිරයට අසුවු පුවකක් මෙන් විය.

විශේෂයෙන්ම එරට සටන්කාමී බෞද්ධ භික්ෂූන්ගේ දායත්වය වඩවඩාත් ඉස්මතුව පෙනුන රෝහින්‍යා අභ්‍යන්තර ගැටුම නිසා බුරුමය යනු එරට බෞද්ධ නොවන කැරන් ක්‍රිස්තියානී මෙන්ම රෝහින්‍යා වැනි ප්‍රදේශවල වෙසෙන මුස්ලිම් ජනයාව වර්ග සංහාරයකට ලක්කරන වර්ගවාදී රාජ්‍යයක් ලෙස ජාත්‍යන්තර ප්‍රජාව සලකන්නට විය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය එරටට කටයුතු කිරීමට යෑම තුල භික්ෂූන් ක්‍රියාකාරීත්වයන්ගේ ඉහලයාමත් අවුන්සන් සූකීගේ රජයේ ජනප්‍රියත්වය ක්‍රමයෙන් හීනවිමත් සිදුවිය. එම තත්වය තුල ජාතියේ, ආගමේ සහ රාජ්‍යයේ ආරක්ෂකයා ලෙස හමුදාව නැවතත් සිය අවකාශයන් පුලුල් කරගැනීමත් දැකිය හැකිවිය. එසේවුවත් පසුගිය වසරේ පැවැති මැතිවරණයෙන්ද අවුන්සන් සූකීගේ ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජය ලැබීය. එහෙත් දැන් එරට හමුදාව එකී ප්‍රතිපල ප්‍රතික්ෂේපකර නැවත රාජ්‍ය බලය අල්ලාගෙන තිබේ.

බුරුම ජනයාට නැවැතත් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සටන් කිරීමට සිදුව ඇත. ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරගැනීමට නොහැකිවීමේ කරුමයට මුහුනදීමට බුරුමයට නැවත වරක් සිදුව ඇත.

මාකස් ප්‍රියන්ත පෙරේරා.
06/02/2021

Thursday, 21 January 2021

පාස්කු ප්‍රරහාරයට අදට මාස 21කයි, කොමිසමේ සාක්ෂි විභාගය අවසන්, දහදෙනෙක් නිදහස්!!

2019 අප්‍රේල් 21ක එල්ලවූ පාස්කු ප්‍රරහාරයට අදට මාස 21ක් ගෙවී ඇත. එහෙත් පසුගිය සතියේද එම ප්‍රහාරය නිසා කන් බෙරයට හානිව ඇසීම අහිමිවුවෙක් සැත්කමට භාජනය කර තිබුනි. 

මේ ගෙවී යන්නේ පාස්කු ප්‍රරහාරයෙන් විපතටපත් ඥාතිමිත්‍රාදීන්ට සිය සමීපතයන් වඩ වඩාත් සිහිකැදවන සමයකි. පසුගිය මාසයේ යෙදී තිබුන නත්තල සමයේදී කටුවපිටිය පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වූන් මිහිදන්කර ඇති කනත්තට ගිය පිරිස් ප්‍රහාරයෙන් මියගිය සිය ඥාතිමිත්‍රාදීන් මිහිදන්කර ඇති භූමියේ නත්තල ගස් සිටවා, ගවලෙන ආදිය ඉදිකරමින් මියගිය ඔවුන්ගේ සමීපතයන් සමග පසුගිය නත්තලද සිහිකිරීමට ගෙන තිබූ උත්සාහ දකින විට ඇතිවෙන වේදනාව අපමනය. හද කම්පාකරවන සුලුය.

නත්තලින් මසක් යෑමට මත්තෙන් ඊයේ (20/01) කටුවාපිටිය සා. සෙබස්තියන් මුනිදුන්ගේ පල්ලියේ මංගල්‍යයද යෙදී තිබුනි. පාස්කු ප්‍රරහාරයේ විනාශයත්, වේදනාවත් තවමත් දරා සිටින කටුවාපිටියේ ජනතාවට පවත්නා කොරෝනා වංසගත තත්වයද හේතුකොටගෙන පෙර පරිදි අති උත්කර්ෂවත් අන්දමින් සිය පල්ලියේ මංගල්‍යය සැමරීමට නොහැකිව තිබුනි. එහෙත් චාම් මෙන්ම උපරිම භක්තියාදරයකින්ද, අලංකාර වීදි සැරසිරිවලින්ද, නොඅඩුව ඔවුහු ඊයේ (20/01) යෙදී තිබුන කටුවාපිටිය සා. සෙබස්තියන් මුනිදුන්ගේ වාර්ශික මංගල්‍යය සැමරූහ. මංගල්‍ය දිව්‍ය පූජාවෙන් අනතුරුව පවත්වන සුරුවම රැගත් විදී සංචාරයේදීද මාර්ග දෙපස රැදීසිටි ජනයා ප්‍රහාරයෙන් විපතට පත් සිය ඥාතිමිත්‍රාදීන්ගේ ජායාරූප ඇතිව සිටිම දැකිය හැකිවිය.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය නම් නොකල ප්‍රාණපරිත්‍යාගීන්ගේ ආත්මවලට මොක්සුව අත්වේවා, නම් නොකල එම සාන්තුවරුන්ගේ ලෙයින් තෙත්වී ඇති කටුවාපිටිය ග්‍රාමයත්, අපගේ මීගමුව නගරයත්, සමස්ත ලංකාවත්, මුලුමහත් ලෝක තලයත් මේ උදාවී ඇති වසංගත තත්වය හමුවේ වංසගත සහ රෝගාබාධදයන්ගේ පිහිටාධාරයවූ සා. සෙබස්තියන් මුනිතුමාගේ මැදිහත්වීමෙන් සුවපත් වෙත්වා යැයි ඊයේ මංගල්‍යට රැස්වසිටි සියල්ලෝම සැදැහැසිතින් ‍යදින්නට වුහ. 

ඇත්තවශයෙන්ම නත්තල් සමය යෙදෙන දෙසැම්බරයේත්, පල්ලියේ මංගල්‍යය යෙදෙන ජනවාරියේත් පාස්කු ප්‍රහාරයේ විනාශයත්, වේදනාවත් දරාසිටින කටුවාපිටියේ ජනයාට නම් මහත් වේදනාවක් සිය හදවත් තුල දල්වන මාස දෙකකි. පාස්කු ප්‍රරහාරයට පෙර නත්තල මෙන්ම සිය පල්ලියේ මංගල්‍යයද අති උත්කර්ෂවත්ව සැමරූ මීගමුව කටුවාපිටියේ ජනයාට අද එම උත්සව දෙකම සැමරීමට සිදුව ඇත්තේ සිය වේදනාබර මතකයන් හිසේ දරාගෙනය. 

මීගමුවේ නත්තලින් පසුව එලබෙන පල්ලිවල මංගල්‍යය සමය ආරම්භවනුයේ කටුවාපිටිය පල්ලියේ මංගල්‍යයත් සමගිනි. පාස්කු ප්‍රහාරයට මෙන්ම කොරෝනා වසංගතයටද පෙර පැවැත්වූ කටුවපිටිය පල්ලියේ මංගල්‍යය වූකලී ලංකාවේ පැවැත්වූ අති උත්කර්ෂවත්ම පල්ලි මංගල්‍යයවලින් එකකි. ලංකාවේ පල්ලියක මංගල්‍යයකට වැඩිම තොරන් ප්‍රමාණයක් ඉදිකරන මංගල්‍යය ලෙස කටුවාපිටිය පල්ලියේ මංගල්‍යය සැලකන ලදි. පාස්කු ඉරිදා ප්‍රරහාරයත්, දැන් පවත්නා කෝවිඩ් වසංගත තත්වයත් නිසා මෙවරද කටුවාපිටිය මංගල්‍යයේ අති උත්කර්ෂවත් බව අඩුව ගියද, ජනයාගේ අතිමහත්වු භක්තියේද, අචල විශ්වාසයේද, නොසිදලෙන උද්යෝගයේද මදකදවූ අඩුවක් මෙවර මංගල්‍යය තුලද දැකිය නොහැකිවිය. 

මෙවරද මංගල දිව්‍ය පුජාව පැවැත්වුයේ මැල්කම් රංජිත් කාදිනාල්තුමන්ය. එම පුජාවේ දේශනාව තුල කාදිනල්තුමා සදහන් කලේ පාස්කු ප්‍රහාරය කවදාවත් අපේ සිත්සතන් තුලින් අමතක කල නොහැකි බවත්, ඒ පිලිබවවූ හර්දසාක්ෂිය සැමදා ආරක්ෂා කරගතයුතු බවත්, කවුරැ බලයේ සිටියද පක්ෂ පාට භේදයෙන් තොරව වැරදි දේ වැරදි බවත්, වැරදිකරුවන් හෙලිකරගන්නා තුරුම, ඔවුන් නීතිය ඉදිරියට පමුනුවනතුරුම, ඒ වෙනුවෙන් හඩ නැගීම අත්නොහරින බවත්ය. කිසිසේත්ම පාස්කු ප්‍රහාරය පිළිබද සත්‍ය තොරතුරු වසංකර දැමීමට ඉඩ නොදෙන බවට එතුමා සපථ කළේය. 

මෙසේ සිය තිර අදිටන ගැන නැවත මතුකරලීමට එතුමා කටයුතු කලේ මුතුරාජවෙල පරිසරය විනාශකරමින් සිදුකරන ඉඩම් මංකොල්ලයට විරුද්ධව දැඩි හඩක් නගා රජය මහජන හඩට කන්දීමට කටයුතු නොකරන්නේ නම් මේ ආණ්ඩුවත් වෙනස් කිරීමට සිදුවේ යැයි පවසා දින කිහිපයක් යන්නට මත්තෙන් මීගමුව බෝලවලානේ අටවන බෙනඩික් පාප් මධ්‍යස්ථානයේ උපාධි අධ්‍යනය සදහා සිසුන් ලියාපදිංචියට නන්දසේන ගෝඨාභය ජනාධිපතිතුමා සමග හරි හරියට පෙනීසිටීම ගැන සමාජ මාධ්‍යවල දැඩි විරෝධයක් වර්ධනය වෙමින් පැවති තත්වයක් අතරතුරය. 
මේ අතර නන්දසේන ගෝඨාභය ජනාධිපතිවරයා පත්කළ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති විමර්ශන කොමිසම සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි සටහන් කරගැනීම 01/19/21 දිනයේ සාක්ෂි ලබාගැනීමේ කටයුතුවලින් පසුව අවසන් කළ බව කොමිසම සඳහන් කළේය.

එහෙත් ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කළ ශානී අබේසේකර මහතා සාක්ෂි ලබාදීම සදහා මෙතෙක් සහභාගීවී නොමැත. පවත්නා අසනීප තත්වය තුල හිටපු අධ්‍යක්ෂකවරයාගේ සාක්ෂි ලබාදීම මේ දක්වා අවිනිශ්චිත තත්වයක පවතී. එහෙත් ඉදිරි දින කිහිපයේදී හිටපු අධ්‍යක්ෂවරයා සාක්ෂි ලබාදෙනු ඇති බව කොමිසම සඳහන් කළේය.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ අවසාන වශයෙන් සාක්ෂි ලබා දුන්නේ සහරාන් හෂීම් සමග සබඳතා පැවැත්වූ උමීර් මොහොමඩ් නැමැත්තාය. මේ වන විට රැඳවුම් නියෝග මත පසුවන ඔහුගේ සාක්ෂි විමසීම මාධ්‍යයට විවෘත නොවීය. සහරාන් හෂීම්ගේ බිරිදගෙන් සාක්ෂි ලබා ගත්තේද, නැද්ද යන්න ගැනද නිශ්චිත තොරතුරු තවමත් හෙලීවී නොමැත. 

කොමිසමේ කටයුතු මෙසේ ක්‍රමයෙන් අවසානය කරා ලගාවෙමින් තිබියදී පාස්කු ඉරිදා ප්‍රහාරයේදී කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ මරාගෙන මැරුණු බෝම්බකරු වූ මොහොමඩ් ඉන්සාෆ් අහමඩ් නැමැත්තාට අයත් අංක 111/6 ඒ, අවිස්සාවේල්ල පාර වැල්ලම්පිටිය ප්‍රදේශයේ පිහිටි ‘කොලොසස්’ නමින් පවත්වාගෙන ගිය තඹ කම්හලේ සේවය කල සැකකරුවන් 10 දෙනා නීතිපති උපදෙස් ප්‍රකාරව නිදහස් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය 19/01/2021 නියෝග කළාය. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්දයෙන් අත් අඩංගුවට ගත් එම සැකකරුවන් සම්බන්ධයෙන් ඉදිරියට නීති මඟින් කටයුතු නොකරන බවට නිතිපතිවරයා ලබාදී ඇති උපදෙස් ප්‍රකාරව සැකකරුවන් නඩුවෙන් නිදහස් කරන ලෙසට ත්‍රස්ත මර්දන සහ විමර්ශන කොට්ඨාසය අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය එම සැකකරුවන් එලෙස නිදහස් කළාය.

ජනාධිපති විමර්ශන කොමිසමේ සහ පාර්ලිමේන්තු තේරීම් කරකා සභාවේද, හිටපු ජනාධිපති සිරිසේන මහතා පත්කළ ජනාධිපති කොමිසමේ වාර්තාවේද කරුණු අනුව සැකකරුවන් සම්බන්ධයෙන් ඉදිරියට නීති මඟින් කටයුතු නොකරන බවට නිතිපතිවරයා ලබාදෙන උපදෙස් අනුව අත් අඩංගුවේ සහ රැදවුම් භාරයේ සිටින්නන්ගෙන් තවත් කවුරුන් නිදහස් වේදෝයි යන්න ගැන පාස්කු ප්‍රහාරය පිලිබදව සිදුවෙන විමර්ශනයන් සම්බන්දයෙන් උන්නදුවන සියල්ලෝම මේ මොහොතේ ඇස් දල්වා බලාසිටිති.

මාකස් ප්‍රියන්ත පෙරේරා 
21/01/2021

Tuesday, 12 January 2021

පාස්කු ප්‍රහාරය ගැන හෝඩුවාවක්?

පසුගිය සතියේ (06/01/2021) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කල හරීන් ප්‍රනාන්දු මංත්‍රීවරයා නන්දසේන ගෝඨාභය ජනාධිපතිවරයාගේ අගසව්වන් ලෙස දෙරණේ දිලිත් ජයවීර, උදයංග වීරතුංග, නිශ්ශංක සේනාධිපති සහ තවත් දෙදෙනෙක් නම් කර ජනාධිපතිවරයාගේ පාලනයට පාස්කු ප්‍රහාරයේ සාපය, බෞද්ධ ජනයාට නාගයෙක් පෙන්වා මුලාකිරීමේ සාපය ඇතුලු සාප පහක් වැදී ඇති බව දැක්වීය. 

සාප කථාව කෙසේවුවද, එම සතියේම (07/01/2021) ස්වරණවාහිනියේ  සුදේව හෙට්ටිආරච්චි මෙහෙයවන රතු ඉර සමගමී සජීවී විකාශය වැඩසටහනට එකතුවෙමින් හරීන් ප්‍රනාන්දු මංත්‍රිවරයා දැක්වූයේ ඇවන්ගාඩ් අධිපති නිශ්ශංක සේනාධිපති මහතාට ISIS සංවිධානය සමග සම්බන්දතා ඇති බවත්, පාස්කු ප්‍රරහාරය පිලිබද චෝදනා එල්ලවිය යුත්තේ ඔවුන්ට බවත් දැක්වීය. 

හරීන් ප්‍රනාන්දු ඇතුලු දේශපාලකයන්ගේ කතා, කයිවාරු සහ කට වාචලකම් වල වැදගත්කමක් නැති බව අපි හොදින් දනිමු. එමෙන්ම පාස්කු ප්‍රහාරය සම්බන්දයෙන් ඔහුට සහ ඔවුන්ගේ යහපාලන රජයට එල්ලවූ අපවාද සහ චෝදනාවලින් ගැලවීමට හෝ ඉන් නිදහස්වීමට ඔහුට මෙන්ම හිටපු යහපාලන දේශපාලකයන්ටද අවශ්‍යව ඇති බවද අපි දනිමු. 

එහෙත් එහිලා ඔවුනොවුන් දරනා සෑම උත්සාහයකදීම මතුවෙන කරුණු කාරනා ගැන අවදාන යොමුකිරීම පාස්කු ප්‍රරහාරය ගැන උනන්දුවන්ට අතීශය වැදගත්ය. 

විශේෂයෙන්ම පාස්කු ප්‍රරහාරය පිටුපස සිටි සියලු දෙනා හෙලිවී නැති අවස්ථාවක, සහරාන් ඇතුලු ත්‍රස්තවාදීන් අවි ආයුද සහ පුපුරන ද්‍රව්‍යය රැස්කර ගත්තේ කෙසේද යන්න සහමුලින් භෙලිවී නැති පසුබිමක, කුප්‍රකට අවි ආයුද සැපයුම්කරුවෙක් සහ මුහුදූ කොල්ලකරුවන්ට එරෙහිව ආරක්ෂාව සපයන්නෙක් ලෙස, අවි ආයුද සහ වෙනත් පහසුකම් සලසන්නෙක් ලෙස ලියාපදිංචිවී සිටින, කෝටි ගණන් මුදල් එහෙ මෙහෙ යෙදවන්නෙක් සහ විවිධ පුද්ගලයන්ට විශාල වශයෙන් මුදල් ලබාදුන්නෙක් ලෙස කියවෙන නිශ්ශංක සේනාධිපති මහතාගේ නම පාස්කු ප්‍රරහාරය සම්බන්දයෙන් හරීන් ප්‍රනාන්දු මංත්‍රිවරයා මතුකීරීම බොහෝ දෙනෙකුගේ ඇස්දැල්වීමට හේතුවන බව නොඅනුමානය.

මේ අතර, මීට සති දෙකකට පෙර (24/12/2020 පැය 04-48-23) lankaenews වෙබ් අඩවිය දැක්වුයේ  හිටපු ජනාධිපති මෙන්ම එවකට හිටපු ආරක්ෂක ඇමැතිවරයාදවූ මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රරහාරය වැලැක්විමට මැදිහත් නොවීම වෙනුවෙන් රුපියල් කෝටි ගණනාවක මුදලක් සිංගප්පූරුවේදී ලැබු බවට ඔවුන්ට තොරතුරු ඇති බවයි. ( එම ලිපියේ ශිර්ෂ පාඨය වුයේ - පාස්කු බෝම්බ පිපිරවීමට පහසුකම් සැපයීම වෙනුවෙන් මෛත්‍රිපාල සිරිසේන ඇ.ඩොලර් මිලියනයක් අරන්..! සල්ලි සැඟවූ තැන පවා හෙළිවේ..! චන්ද්‍රප්‍රදීප් හෙළිකරයි)

පාස්කු ප්‍රරහාරය පිලිබද සොයාබලන සියලුදෙනා පැහැදිලිවම මේ මතුවී ඇති කරනු කරනා කෙරෙහි අවදානය යොමුකල යුතුව ඇත. එහෙත් එම කරනු ගැන අවධානය යොමුකිරීමකින් තොරව පාස්කු ප්‍රරහාරය පිලිබද විමර්ශන අවසන්වෙනු ඇතැයි යන්න දැන් බොහෝදුරට තහවුරුවෙමින් ඇති තත්වයකි. මුතුරාජවෙල විවිධ පුද්ගලයන්ට සහ පෞද්ගලික අංශවලට විකුණා දැමීමට සහ එහි පරිසර පද්ධතිය විනාශ කිරීමට එරෙහිව කාදිනල්තුමා පසුගියදා (07/01/2021) කොළඹ අගරදගුරු මැඳුරේදී පැවැත්වූ මාධ්‍ය හමුවේදී දැඩි හඩක් නැගුවේ පවත්නා රජයේ ඉහත ක්‍රියා පිලිවෙත කෙරෙහි කාදිනල්තුමාගේ සහ ශ්‍රී ලංකාවේ කතෝලික සභාව තුල මෝදුවෙමින් පවත්නා විරෝධයේ ප්‍රතිපලයක් වීමටද පුලුවන. 

කෙසේ වෙතත්, හරීන් ප්‍රනාන්දු මංත්‍රිවරයාගේ ඉහතකී පාර්ලිමේන්තු කථාව පිලිබදව නන්දසේන ගෝඨාභය ජනාධිපතිවරයා දැඩිසේ උරනවී ඇති බව ඔහු 09/01/2021 අම්පාරේ උහන පැවති 'ගම සමඟ පිළිසඳර' නම් වැඩ සටහනේ දී සිදුකල කතාව තුල පැහැදිලිවම ප්‍රකාශවිය. එහිදි ජනාධිපතිවරයා තමා ආරක්ෂක ලේකම්වරයා ලෙස සිටයදී තමාට කොල්ලුපිටියේ පිත්තල හංදියේදී බෝම්බ ගැසූ ප්‍රභාකරන්ට අත්වූ ඉරනම ගැන මතක් කර සිටීම හරීන් ප්‍රනාන්දු මංත්‍රිවරයා තමාට ජනාධිපතිවරයාගෙන් ජීවිත තර්ජන එල්ලවීමක් ලෙස පොලිස්පතිවරයාට 2021 ජනවාරි 10  දින ලිඛිතව පැමිනිලිකර තිබේ. 

මේ පසුබිම තුල හරීන් ප්‍රනාන්දු මංත්‍රිවරයා පාර්ලිමේන්තුවේදී සිදුකල කතාවත්, එහි කියවෙන නම්ගම් සහ ඉගිකිරීම් ආදියත්, මංත්‍රිවරයාගේ කතාවට නන්දසේන ගෝඨාභය ජනාධිපතිවරයාගේන් එල්ලවී ඇති අනතුරු ඇගවීමත් නිසා එකී කතාව ලේසියෙන් නොසලහැරිය නොහැකි, දැඩි අවධානයක් යොමුවෙන කතාවක් බවට පත්ව ඇත. 

මාකස් ප්‍රියන්ත පෙරේරා 
11/01/21

Monday, 4 January 2021

ඉන්දියානුවන්ට කොවිඩ් එන්නතට පෙර වතුර එන්නත් කරයි

අහලා තියෙනවාද ලංකාවේ ඉපදුන M.G.රාමචන්ද්‍රන් (M.G.R) තමිල්නාඩුවේ චන්දෙට කලින් මිනිස්සුන්ට වතුර ගන්න මුට්ටි බෙදුවා කියලා? 

ඒ 1977 තමිල්නාඩුවේ ප්‍රාන්ත මැතිවරණය කාලේ. ඒ මැතිවරණය පැවැත්වුයේ තමිල්නාඩුවේ විශාල ඉඩෝරයක් පැවති සමයක. M.G.R කිව්ව කථාව තමයි තමිල්නාඩුවේ වතුර ප්‍රශ්නයට එකම විසදුම කාවේරි නදිය තමිල්නාඩුවේ ස්ථාන කිහිපයකට පැතිරයන ලෙස හරවන්න ඕනේ, එහි ජලය නියගයට හසුව ඇති ප්‍රදේශවලට බෙදාහරින ක්‍රමයක් සකස්කරන්න ඕනේ කියන එක. එත් ඒක එහෙම කියන තරම් ලේසි නැති, වියදම් අධික, මධ්‍යම රජයේ මැදිහත්වීම තවත් වැඩි කරන (ඉන්දියාවේ බොහෝ ප්‍රාන්ත රාජ්‍ය මධ්‍යම ආණ්ඩුව කරන නිරත්තර මැදිහත්වීම් ගැන ලොකු විරෝධයක් දක්වනවා), අසල්වැසි කර්ණාටක ප්‍රාන්තයත් එක්ක ගැටුම් ඇති කරගන්නා, හුදු දේශපාලන සුරංගනා කථා කියලා තමයි ඔහුගේ විරුද්ධවාදීන් ප්‍රකාශ කලේ. එහෙත් M.G.R ඒවා සත පහකට ගණන් ගත්තේ නැහැ. චන්දේ කිට්ටුවෙද්දී එයා තමිල්නාඩුවේ මිනිස්සුන්ට මුට්ටි බෙදන්න පටන් ගත්තා. ඉතින් මිනිස්සු හිතුවා M.G.R ආවාහම වතුර එනවා ඒනිසා ඔහුව දිනවන්න ඕනේ කියලා මිනිස්සු චන්දේ දුන්නා. තමිල්නාඩු ප්‍රාන්තයේ එවකට පැවති ආසන 234න් ආසන 144ක්ම දිනාගෙන M.G.R මහ ඇමැතිවුනා. මහ ඇමැතිවෙලා 1987 වෙනකම් හිටියා. එත් තමිල්නාඩුවේ මිනිසුන්ගේ වතුර ප්‍රශ්නය විසදුනේ නැහැ. මේ අවුරුද්දේ තවත් මාස කිහිපයකින් පැවැත්වීමට තිබෙන තමිල්නාඩුවේ ප්‍රාන්ත මහා මැතිවරණයේදීත් ප්‍රධාන මාතෘකාව වෙලා තියෙන්නේ වතුර ප්‍රශ්නය. 
අදත් තමිල්නාඩුවේ වතුර ප්‍රශ්නය විසදිලා නැහැ. එදා තමිල්නාඩුවේ චන්දේ දිනන්න M.G.R මුට්ටි බෙදුවා වගේ දැනුත් මුට්ටි බෙදනවා. හැබැයි දැන් වෙනම තේමාවක් ඇතුලේ. දැන් කියනවා 'එදා M.G.R ගේ සිහිනය මෙදා සැබෑ කරගනිමු' කියලා. ඕනේ නම් කියන්න පුළුවන් මිනිස්සුව තවමත් අන්දනවා නේද කියලා...හැබැයි මෙහෙම දේකුත් වෙලා තියෙනවා නේද? එදා හුදු දේශපාලන උපක්‍රමයක් වෙච්ච දෙයක් අද මහජනයාගේ කවදා හෝ අත්කර ගතයුතු ප්‍රධාන දේශපාලන ඉල්ලීමක කේන්ද්‍රීය සංකේතය බවට පත්වෙලා තියෙනවා නේද? එහෙම තමයි ජනතාවකගේ දේශපාලන ඉල්ලීම් පදනම් කරගත් දේශපාලන විඥානයන් ගොඩනැගෙන්නේ...

ඒතව දෙයක් කියන්න ඕනේ M.G.R ගේ දේශපාලන ජයග්‍රහණ වල පදනම වතුර ප්‍රශ්නය පිළිබද ඔහුගේ දැක්ම වගේම දෙමළ ජනයාගේ දේශපාලන අනන්‍යතාවය, ඔවුන්ගේ දේශපාලන අභිලාශයන් ගැන ඔහු දැක්වූ උනන්දුව, එහි එක් දිගුවක් ලෙස ලංකාවේ දෙමළ සටන්කාමීන් සදහා සහයෝගය දැක්වීම ආදියත් බලපෑ බව. 

දැන් ඇත්තටම මම මේ M.G.R චන්දේකාලේ වතුර ගන්න මුට්ටි බෙදුවා කියන කථාව ගැන කථා කරන්න ගත්තේ මේ දවස්වල ඉන්දියාවේ සිදුවෙන තවත් දෙයක් ගැන කථා කරන්න. ඒ තමයි ඉන්දියාව කොරෝනා වයිරසයට ප්‍රතිකාරයක් ලෙස එන්තක් ලබාදීමේ පෙරහුරුවක් ලෙස මේ දවස්වල මහජනයාට එන්නතක් ලබාදීමේ ක්‍රියාවලියක් දියත් කිරීම. 

මේ වනවිටත් ඉන්දියාවේ ප්‍රාන්ත ගණනාවක මේ පෙරහුරුවට ලක්ෂ සංඛාත ජනතාවක් සහභාගීකරගෙන තිබෙනවා. මේ පෙරහුරුවේදී බෙහෙතක් විදින්නේ නැහැ. නමුත් එහෙම කරලා පෙන්වනවා මෙහෙමයි එන්නත් කරන්නේ කියලා පෙන්වා දෙන්න. මේ පෙරහුරුව සංවිධානය කරන රාජ්‍ය ආයතන කියන්නේ ඉන්දියාවේ මහජන ප්‍රතිශක්තිකරණය පිළිබද ජාතික වැඩපිළිවෙලක් තවමත් දියත්වෙලා නැති නිසා, විශේෂයෙන්ම වැඩිහිටි ජනග්‍රහනය එවැනි වැඩපිළිවෙලක් ගැන අධ්‍යාපනයක් නොමැති නිසා, මෙවැනි පෙරහුරු වැඩසටහන් අවශ්‍ය බවයි. ඒක එක්තරා ආකාරයක පදනමක් සහිත තර්කයක්. අනික, දියුණු වෙමින් පවතින රටක් වශයෙන් විශාල ප්‍රතිශක්තිකරණ වැඩ පිළිවෙලකට යනවා නම් මේ වගේ පෙරහුරු වැඩ සටහනක අත්දැකීම් ඉතා වැදගත්. 
එහෙත් ඉන්දියාව කවදා එන්නතක් ලබාදීම පටන් ගනීද කියලා කියන්න දන්නේ නැහැ. දැනටමත් එහි මිලියන 10කට වඩා වැඩි පිරිසකට කොරෝනා හැදිලා ලක්ෂ එකහාමාරක් විතර මියගිහින්. කොහොමවුනත් ඔවුන් දැනටමත් ඔක්ස්ෆෝර්ඩ් එන්නත අනුමත කර අවසන්. ඒ වගේම බ්‍රිතන්‍යය සහ ඉන්දියානු සමාගමක් එක්ව ඉන්දියාවට තවත් එන්නතක් ලබාදෙන්නත් කටයුතු කරන් යනවා. එත් ලේසිවෙන්නේ නැහැ. ඉතින් බිලියන 1.3 වෙන ඉන්දියානු ජනතාවට කොරෝනාවලට ප්‍රතිශක්තිකරණ එන්නතක් ලබාදෙනවා කියන්නේ ලෙහෙසි පහසු වැඩපිළිවෙලක් නෙමේ. ඒක එහෙම වුනත් අඩුම තරමේ පෙරහුරුවක් කිරීමට වතුර එන්නතක් ලබාදීමත් මිනිස්සුන්ට එක්තරා ආකාරයක් බලාපොරොත්තු දැල්වීමක්. අර වතුර මුට්ටි ලබාදෙනවා වගේ මෙවැනි පෙරහුරු එන්නත් ලබාදීම නිසා මිනිස්සුන්ට නිසි ප්‍රතිකාරයක් පිලිබදව කවදා හෝ බලාපොරොත්තු වෙන්න වගේම ඒ වෙනුවෙන් පෙනීසිටිමටත් පුළුවන්. 

මම නම් කියන්නේ මේවා අර ධම්මික පැණිය, අර පැණිය, මේ පැණිය, කිය කියා මිනිස්සු රවට්ටනවාට වඩා ප්‍රගතිශීලි වැඩ කියලයි. ඉන්දියාවේත් ඔය පැණි කාරයෝ, එක එක තෙල් බෙහෙත් වෙළෙන්දන්ගේ අඩුවක් තිබුනේ නැහැ. අර ඉන්දියාවේ අති ප්‍රසිද්ධ යෝගා ගුරෙක් ඉන්නේ Baba Ramdev Patanjali කියලා එයාත් කොරෝනාවට Coronil kit කියලා තෙලක්, පැණියක් එහෙම හදුන්වලා දීලා කෝටි ගණන් මුදල් කැඩුවා. හැබැයි බලයේ ඉන්නේ වඩාත් ජාතිකවාදී, ජාතිවාදී, පක්ෂයක් වන භාරතීය ජනතා පක්ෂය වුනත් ඒක ඒ අය උඩදාගෙන ප්‍රවර්ධනය කරන්න ගියේ නැහැ. කලේ Baba Ramdev අලුතින් රැස්කරගත් ධනයට tax ගහලා ජාතික ධනයට එයින් ආදායමක් එකතුකර ගන්න එක විතරයි .

එකට එක්ක අපේ රටේ පාලකයෝ.. පැණිය දීලා ජනතාව අන්දනවා විතරක් නෙමේ ඒ අස්සේ රටේ ප්‍රධාන ආදායම් උපයන මාර්ගයක් වන කොලඹ වරායේ නැගෙනහිර පරියන්තයත් ඒ අස්සේ ඉන්දියාවට විකුණලා දානවා. ඒකෙන් හරි මේ දවස් ටිකේ වියදම් ටික පිරිමහගන්න9 ගන්න බලනවා...

හැබැයි එගොල්ලෝ කියන්නවා ඒ අයගේ රජය කිසිම දෙයක් විකුණනන්නේ නැහැල්ලු...අඩුම තරමේ ධම්මික පැණියවත්. ඒකත් නිකම්ම දීලා දානවා...

ඇත්තටම මුන් දන්න ධනවාදයකුත් නැහැ , වෙලද පොල ආර්ථිකයකුත් නැහැ, විද්‍යාවකුත් නැහැ, මිත්‍යාවකුත් නෑ...අපි හිතන් උන්නේ මුන්ට අඩුම තරමේ නූල්පොටක්වත් නැතිව අන්දන්නවත් පුලුවන් කියලනේ. හැබැයි ඉන්දියාව එක්ක බලද්දී ඒකත් බෑ වගේ.

මාකස් ප්‍රියන්ත පෙරේරා 
03/01/21