This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Tuesday 16 February 2021

අද අළු බදාදාට පෙර අගහරුවාදා - පෑන්කේක් දිනය.

අපේ පලාත්වල නම් අද දිනය හදුන්වන්නේ 'ගුරු අගහරුවාදා' දිනය ලෙසය. ඒ ඉස්සර අද වගේ දිනක ගෙදර දොරවල්වල, උළුවස්සේ ගුරු පාටින් (ගඩොල් රතුපාට) කුරුස ලකුණ සටහන් කරන නිසාය. මීගමුවේ දූව, දූවන, මංකුලිය, පලගතුරේ ආදි සමහර පලාත්වල අද දිනයේදී ගුරුපාට මොනවා හෝ දියකර එකිනෙකාට ගහගන්න සම්ප්‍රදායකුත් තිබුනි. ඊටත් වඩා අද දිනය ප්‍රසිද්ධව පැවතියේ කුණු බිත්තර ගහන දිනය ලෙසය. අපි කුඩා කාලේ නම් කුනු බිත්තර ගැසීම ජයටම සිදුවිය. පසුව කුනු බිත්තර වෙනුවට නරක් නොවුණු හොද බිත්තර ගහන්නටද පටන් ගත්තේය. දැන් බිත්තර ගහන වැඩේ නවත්වා ඇත. එය හොද දෙයකි. ඇත්තටම මිනිස්සු අපහසුතාවයට පත්කරන ක්‍රියාකාරම් නැවතිය යුතුමය. 

කුණු බිත්තර ගහන වැඩේ තුල සංකේතවත් කලේ අප සියල්ලන් කුනුවී ඇති බවත්, ජේසුට පාස්කු සමය තුල අත්වීමට නියමිත දුඛප්‍රාප්තිය අත්වෙන්නේ අපේ මේ පිරිහීම නිසා බවත් පසක්,කරදීමට‍ය. ගුරුපාට මොනවා හෝ දියකර එකිනෙකාට ගහගන්නෙත් මේ උදාවීමට නියමිතව ඇත්තේ දුඛ්‍යදායක කාලයක්ය යන්න සංකේතවත් කිරීමටය. එහෙත් මට නම් හිතෙන්නේ එම ක්‍රියාකාරකම් දෙකම දැන් කල්ඉකුත්වු ක්‍රියාමාර්ග ලෙසය. එවැනි ක්‍රියාකාරකම් මගින් ආගමීක අදහස් බලහත්කාරයෙන් ඔබ්බනවා වැනි අදහසක් හැගේ. අනෙක් අතට එය හිංසාකාරීය. අවලස්සනය. නූතන සමාජයට කිසිසේත්ම ගැලපෙන්නේ නැත. 

ඇත්තවශයෙන්ම බ්‍රිතාන්‍යයේද, යුරෝපයේද අළු බදාදාට පෙර අගහරුවාදා සමරන සම්ප්‍රදායන් තිබේ. අළු බදාදාට පෙර අගහරුවාදා මේම රටවල හදුන්වන්නේ Shrove Tuesday ලෙසය. යුරෝපයේ කිතුනුවන් පාපච්චාරනය/කොමිසන් (confession) කරන, නැතිනම් කොමිසන් අහන දවස ලෙස අද දිනය සමරයි. එහෙත් අද දිනය වඩාත්ම ජනප්‍රියව ඇත්තේ පෑන්කේක් කන දිනය ලෙසය. එම නිසාම අද දිනය පෑන්කේක් දිනය (Pancake Day) ලෙස නම් කර තිබේ. එංගලන්තයේ මේ සම්ප්‍රදාය පස්වෙනි සියවසේ ඇංග්ලෝ-සැක්සන් (Anglo-Saxon) යුගය දක්වා දිව යන බව කියවේ. ඒ කෙසේවුද, අද පෑන්කේක් කමින් ඔවුන් සමරන්න උත්සාහ කර ඇත්තේ කිරි, බිත්‍තර, බටර් වගේම පෑන්කේක් මත උඩින් යොදන රසවත් දේවලින් වැලකී ඉදිරි දින 40ක චතාරික කාලය තුල සරල ආහාර අනුභවයක් අනුව යමින් යහමින් සෙමින් ජීවත්වීමය. චතාරික සමය (Lent) හෙවත්, පාස්කු කාලය හෙවත් කොරොස්ම කාලය තුල කිසියම් ආකාරය සරලත්වයක් තුල ජීවත්විය යුතුය යන්න තවමත් මේ රටවල තරුණ ප්‍රජාව අතර පවා මුල්බැසගෙන තිබේ. 

ඊට හොදම උදාහරණයක්සේ සැලකිය හැකි සංවාදයක් වැලන්ටයින් දිනය යෙදුන පසුගිය ඉරිදා (14/2) සුපර්මාර්කට් එකකදී හම්බවුන මගේ දරුවන්ගේ පාසලට තමන්ගේ දරුවන්ද එවන සුදුජාතිකයෙක් සහ මා අතර ඇතිවිනි. ඔහු දැක්වුයේ මෙවර වැලන්ටයින් දිනය යෙදුන ඉරිදා උපරිම සතුටකින් සැමරිය යුතුබවය. මන්දයත් ඊලගට යෙදෙන්නේ චතාරික කාලය (Lent) බැවින් නැවැත පාස්කු ඉරිදා වෙනතුරු උත්සව නැතිබව ඔහු කීය. චතාරික දින 40ය තුල යෙදෙන ඉරිදා දින චතාරික සමයට කතෝලික සභාව ඇතුලත්කර නැති නිසා ඉරිදා සාමාන්‍ය විවේකී දිනයක් ලෙස සතුටින් ගත කිරීමට කතෝලික දින දර්ශනය ඉඩප්‍රස්තාව ලබාදී ඇති බව මම ඔහුට විස්තර කර දුන්නේය. එහෙත් ඔහු දැක්වූයේ පාස්කු සමය තුල යහමින් සෙමින් ගතකිරීම ඔවුන්ගේ සම්ප්‍රදාය බවයි. එවැනි තත්වයක් තුල පාස්කු සමයට පෙර එලබෙන පෑන්කේක් දිනය ඔවුන් කෙසේ සමරයිද යන්න අපට සිතාගත හැක. 

එහෙත් යුරෝපයේ තරම් ලංකාවේ පෑන්කේක් කෑම එතරම් ජනප්‍රිය නැත. කිරි ආප්ප ලෙස ලංකාවේ සමහර පලාත්වල හදුන්වන පෑන්කේක් බොහොදුරට කන්නේ පැනිපොල් සමග රෝල් කරය. එහෙත් මෙවැනි රටවල පලතුරු, චොකලට් ආදිය පමණක් නොව හැම් සහ චීස්ද යෙදූ විවිධ පෑන්කේක් තිබේ. එවැනි වර්ගයේ පෑන්කේක් ආපනශාලාවක් 1990 දශකයේ මුල්භාගයේදී මීගමුවේ ලුව්ස් (Lewis Place) පෙදෙසේ විය. ස්විඩන් පෑන්කේක් නිවස (Swedish pancake house) ලෙස හැදින්වූ එම ආපනශාලාවට පසුව සිදුවුයේ කුමක්ද කියා මම නොදනිමි. එහෙත් පෑන්කේක් සංස්කෘතිය අපිට තවමත් ආගන්තුක බව මම දනිමි. 

මාකස් ප්‍රියන්ත පෙරේරා 
16/02/2021

No comments:

Post a Comment