හරියටම වසරකට පසුව ගම්පහ අඩවි වන නිලධාරීනී දේවානී ජයතිලක මහත්මිය නැවතත් අප සියල්ලන්ගේම අවධානයට ලක්ව තිබේ. ඒ මෙවර ඇය ඉදිවෙමින් ඇති මධ්‍යම අධිවේගී මාර්ගයකට බිලිවීමට ගිය වදවීගෙන යන පැරණි ශාකයක් ලෙස 'රතු පොතට' එක්වී ඇතැයි කියන 'පණුකරඳ' ගසක් හෙවත් කෲඩියා සෙලනිකා (Crudia zeylanica) යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන ශාකයක් රැක ගැනීමට අභීතව පෙරට පැමිණිම නිසාය. ඇයගේ අභීත උත්සහය නිසාම මහජනයා මෙම ශාකය රැක ගැනීමටත්, මේ රජය බලයට පත්වූ සමයේ සිට වේගවත්වුයේ යැයි නිතර දැක්වෙන ගස්වැල්, වනාත්තර සහ පරිසර විනාශයටත් විරුද්ධව විශාල හඩක් ගොඩනැගී ඇත. එම ගස මෙන්ම දින දින විනාශවෙමින් ඇති පරිසර පද්ධතීන් රැක ගැනීමට භික්ෂුන් වහනසේලාද, මුතුරාජවෙල වන විනාශය ගැන සදහන් කරමින් කාදිනල්තුමාද ගස්වැල්, වනාත්තරා සහ පරිසර විනාශයට එරෙහිව මැදිහත්වෙමින් සිටී. මේ සියල්ල සම්බන්දයෙන් ගම්පහ අඩවි වන නිලධාරීනී දේවානී ජයතිලක මහත්මියට යම් ගෞවරවයක් හිමිවිය යුතුය. තනි පුද්ගලයෙකුට සමස්ථ සමාජයක් අවධිකල හැකිවුයේ නම් එසේ කල හැකිවුයේ මෑත කාලයේදී දේවානී ජයතිලක මහත්මියට පමණි.
ඇයගේ ඒ හඩ ප්‍රථමයෙන් රුව් පිළිරැව් දුන්නේ පසුගිය වසරේ (2020) පෙබරවාරි 12වෙනි දින ධීවර සහ මිරිදිය කටයුතු රාජ්‍ය ඇමති සනත් නිශාන්ත, රාජ්‍ය නිලධාරීන් සහ මීගමුවේ ධීවරයන් අතර පැවති හමුවකදී පැන නැගුන උණුසුම් තත්වය තුලය. එම හමුවට සහභාගීවූ හිටපු මීගමුව මන්ත්‍රී සරත් කුමාර ගුණරත්න මහතා සහ මීගමුව මුන්නක්කරයේ ධීවර කණඩායමක් මීගමුවේ ඇති එකම වනගහනය වන කඩොලාන භූමි වලින් කොටසක් කපා ඉවත්කර කුඩා ළමයින්ට ක්‍රීඩා පිටියක් සහ ධීවරයින්ට ගෙවල් ආදිය හැදිය යුතුයැයි කල ඉල්ලීමට එරෙහිව අභිතව නැගී සිටිමින්, දැඩි බලපෑමක් ආදිය කිසිවකට හිස නොනමමින් ඇය කඩොලාන භූමි හෙලිකීරිමට ඉඩදිය නොහැකියැයි දැඩිව ප්‍රකාශ කළේය. 'ඔක්සිජන් මොකටද' යන කථාවක් මාධ්‍යවලින් ලොකු කර පෙන්වුයේ මෙම හමුවේ ඇතිවූ එකී උණුසුම් වාතාවරණය තුල හුවමාරුවූ වචන පදනම් කරගෙනය.
ඇත්තවශයෙන්ම එකී හමුව සුදානම්කර එකී උණුසුම් වාතාවරණය සම්පුර්නයෙන්ම නිර්මාණයකර මෙහෙයවුයේ මීගමුවේ දේශපාළුවෝය. එහෙත් ඒ පිටුපස මීගමු ධීවරයන්ගේ අදෝනාවක්ද විය. මීගමුවේ ධීවරයන්ව කඩොල්කැලේ කපා හෝ ගෙවල් හදමු, ක්‍රීඩා පිට්ටනි හදමු කියමින් මිනිස්සුන්ට සරල උත්තර සපයමින් මිනිස්සු උසිගන්වන්නේ මීගමුවේ දේශපාළුවො බව නොරහසකි. මීගමුවේ අධික ජනගහන ගැටලුව, නිවාස සහ අනෙකුත් ගැටළු ගැන ජනයාට පුළුල් සහ ධරණීය විසදුම් සොයයනු වෙනුවට මැතිවරණවලදී චන්ද ගොඩ වැඩිකර ගැනීමට මීගමුවේ පමණක් නොව රටේම දේශපාළුවො මහජනයා නොමගයවමින් සිටී. ඒ බසින් නන්නත්තාරවූ වැසියෝ ලක් පොළවම වනසමින් සිටී. මීගමුවේ පොළවම පමණක් නොව මීගමු වෙරළද, කලපුවද, මීගමුවේ සංස්කෘතික ලක්ෂණද ඔවුන් ඉවක්බවක් නැතිව විනාශ කරමින් සිටී. කොල පාට ට යමක් මීගමුවේ ඉතුරුවී තිබුණි නම් ඒ මීගමුව කඩොල්කැලේ පමණි. දැන් එයද හනි හනිකට කපමින් සිටී. කලපුව ගොඩකරමින් තිබේ. වෙරළ කරෝල මුදලාලිලාට බදුදී තිබේ.
මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිව සිටියදී මීගමුව කලපුව සංවර්ධනය කිරීමට අයවැයෙන් වෙන්කර දුන් මුදල් මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ව්‍යාපාරය සදහා යෙදවූයේ යැයි යන චෝදනා මත නඩු වැටී සිටි හිටපු ඇමති සරත් ගුණරත්නද, අමාත්‍ය නිමල් ලන්සාද මීගමුවේ කලපුව, වෙරළ, කඩොලාන හෝ පරිසරය රැකගැනීමට කල කිසිවක් නැත. තිබෙනදේ රැකගැනීමට කිසිවක් නොකළ ඔවුන් දැන් අළුතින් ධීවර නිවාස ඉදිකිරීමට, ක්‍රීඩා පිට්ටනි තනන්නට මීගමුවේ ධීවරයින්ව උසි උසිගැන්වුයේ මීගමුවේ ධීවරයින්ගේ ප්‍රශ්න විසදීමට නොව අළුත් වැඩ මවමින් කොමිස් ගැසීමටය. එහෙත් එකී දේශපාලුවන්ට මෙන්ම කෙටිකාලීන විසදුම් සෙවූ ධීවරයන්ටද එදා ගම්පහ අඩවි වන නිලධාරීනී දේවානී ජයතිලක මහත්මියගේ අභීත නැගී සිටීම හමුවේ පසුබසින්නට විය. කිසිදු ගොරනාඩුවට යටපත් නොවී ඊට එරෙහිව නැගී සිටි අඩවි වන නිලධාරීනී දේවානී ජයතිලක මහත්මියට අපි අද මෙන්ම එදාද අපේ ප්‍රණාමය පුදකලෙමු. ඇය එදා ඉතා නිර්භීතව කාලකන්නි දේශපාලුවන්ට මෙන්ම උන්ගේ කටු ලෙවකන හෙන්චයියන්ටද විරුද්ධවද නැගී සිටීම මේ යුගයේ අප දුටු ඉතාම නිර්භීත ක්‍රියාවක් ලෙස හැදින්වූ අප ඇයට ශක්තියක්වෙන මිනිස්සුවෙමු යැයි ඉල්ලා සිටියෙමු. අද ඇයට ඒ ශක්තිය එදාටත් වඩා අවශ්‍යව ඇත. ඇය වැනි අයෝමය පුද්ගලයින් ආරක්ෂා කිරීම එදාටත් වඩා අද අභියෝගයක්ව ඇත. ඒ සදහා යම් ජන පෙලගසීමක්ද ගොඩනැගී ඇති බවද පෙනී යයි. එහෙත් ඇත්තවශයෙන්ම, අවශ්‍යයවන්නේ මාධ්‍ය තුලින් පුම්බා සකසන ව්‍යාජ පෙළගැසීමක් නොව ඇත්ත මහජන පෙළගැසිමකි.
ගියවසරේ මීගමුවේ සිදුවූ ඉහත සිද්ධියෙදී මාධ්‍ය අල්ලා ගත්තේ රට වනසන දේශපාලුවන් නොව වචනක් වැරැදුනු 'ඔක්සිජන් සුරංග' ය. එම සිද්ධිය ඇතිවු දිනයේම (12/02/2020) 'ඔක්සිජන් සුරංග' ගේ මිතුරෙක් මට කතා කලේය. කතාකර කියා සිටියේ 'ඔක්සිජන් සුරංග' ට හරි අසාධාරණයක් වූ බවය. ඔහු කියන්න උත්සහ කලේ ''ඔක්සිජන් වැඩක් නැහැ කොල්ලෝ කුඩුවලට ඇබ්බැහිවෙනවා නම්, සෙල්ලම් පිට්ටනියක් දාලා හරි ඒක නවත්ව ගන්නවා මිසක් ඔක්සිජන් තිබිලා වැඩක් තියෙනවාද?'' වගේ කතාවකි. එහෙත් වන නිලධාරිනිය මෙන්ම මාධ්‍යයද අල්ලගත්තේ ''ඔක්සිජන් වැඩක් නැහැ'' කියන කෑල්ල විතරක්ය යන ඔහු විස්තර කළේය. පසුව face බුකියම අල්ල ගත්තේත් ඒ කෑල්ල විතරමය. ඔවුන් කිසිවෙක් මීගමුවේ කඩොලාන පරිසරය විනාශ කිරීමට පිබුරුපත් සකසමින් ඉන් කෝටි ගගන් උපයාගන්න උත්සහකල දේශපාලකයින් හෙළිකරගැනීමට අවධානය යොමුකළේ නැත.
ඇත්තවශයෙන්ම 'ඔක්සිජන් සුරංග'ගේ කතාවේ මෙන්ම මීගමුවේ ඇතිවූ දේවානිගේ පළමු නැගිටිමේද පැති - මාන ගණනාවක් තිබුණි. එහෙත් පැහැදිලිවම ගම්පහ අඩවි වන නිලධාරීනී දේවානී ජයතිලක මහත්මිය එදා මෙන්ම අද ද පෙනී සිටින්නේ ඇගේ පෞද්ගලීක ප්‍රතිලාභයක් වෙනුවෙන්වත්, ඇයගේ රැකියාව ගැන සිතාවත් නොවේ. ඇය කටයුතු කලේ පැහැදිලි උතුම් අරමුණක් වෙනුවෙනි. මේ තිබෙන ගස්කොලන් ටිකද නැති කරගතහොත් මිනිස්සු හුස්ම ගන්නේ කොහොමද? යන ඇගේ ප්‍රශ්නය අපි සියල්ලන්ගේම ප්‍රශ්නයක් නොවේද? ඇය පෙනී සිටියේ එවැනි පරමාදර්ශ වෙනුවනි. එබැවින් අපි සියල්ලන් ඇය වෙනුවෙන් පෙනී සිටිය යුතුය. ඇයට ඒ සදහා හිමිවිය යුතු සියළු ගෞවරව හිමිවිය යුතුය.
අනෙක් පැත්තෙන් එදා 'ඔක්සිජන් සුරංග' ආදීන් පෙනී සිටියේ මොකක් සදහාද? ළමයින්ට ක්‍රීඩා පිටියක් හදන්නය ය. තරුණයන් මත් කුඩු ආදියට ඇදීයෑමට නොදී ක්‍රීඩාවට යොමු කිරීමටය. ඔහු මීගමුව මුන්නක්කරය ග්‍රාමය තුල, මංකුළිය ග්‍රාමය තුල, පල්ලිය තුල කවදත් මහජන ගැටළු වෙනුවෙන්, සමාජ ප්‍රවර්ධන කටයුතුවලට දායකවෙමින්, ප්‍රජාවේ උන්නතිය වෙනුවෙන් කටයුතුකල තරුණයෙකි. ඇතැම්විට ඔහු සමාජ-දේශපාලන ක්‍රියාකාරීත්වයක් වෙනුවෙන්වූ නිවැරදි ප්‍රවේශයක් මෙන්ම අදාල අවස්ථාව තුල නිසිලෙස වචන හසුරුවා ගැනීමට නොහැකිවූ තරුණයෙකි. එහෙත් 'ඔක්සිජන් සුරංග'ව හපකල ආකාරයෙන්ම එදා එතැන සිටි දේශපාලකයින්වූ රාජ්‍ය ඇමති සනත් නිශාන්ත, මීගමුවේ හිටපු ඇමති සරත් ගුණරත්න, රාජ්‍ය ඇමති නිමල් ලන්සා ආදීන්ව මාධ්‍ය හෝ සමාජ ජාලා හපකලේ නැත.
මීගමුවේ තිබෙන ප්‍රධාන ක්‍රීඩා පිටියවන මීගමුව කොටුව පට්ටනිය වල්බිහිවී, එහි ක්‍රීඩා මන්ඩපය ගරා වැටි ඇති තත්වයක් තුල, කඩොල්කැලේ පිට්ටනියද එසේ වල් බිහිවී ඇති තත්වයක් තුල, මීගමුව වෙරළ කරෝල මුදලාලිලාට බදුදී එයද එකම කුණු ගොඩක්කර ඇති තත්වයක් තුල, මීගමුවේ පැරණි ලන්දේසි කොටුව විනාශවී ජරාජීරනවී ඇති තත්වයක් තුල, එකී ස්ථාන ගොඩනැගීමට හෝ නඩත්තු කිරීමට කිසිවක් නොකරන, මීගමුවට කුඩු ගෙනෙන අයව අල්ලනේ නැතුව, කුඩුවලට පොලබවන තත්වයන් වෙනුවෙන් කිසිවක් කරන්නේ නැතිව, කුඩුවලට ඇබ්බැහිවුවන් පුනරුත්ථාපනය කරන්න කිසිවක් කරන්නේ නැති, ධීවරයින්ගේ නිවාස ගැටලුව විසදීමට කිසිවක් නොකරන දෙස්පාලුවන්ව උදේ හවස ප්‍රශ්න කරන්නේ නැතිව මාධ්‍ය එදා කලේ ඔවුන් මීගමුවේ ඇති අන්තිම කඩොල් ටිකද කපා මීගමුවේ අළුත් ක්‍රීඩා පිටියකට රුපියල් මිලියන 700ක් සම්මතවී ඇති බව පාරම්බෑමය. අද එම මුදලටද අත්වූ ඉරණමක් නැත. ඒ දේශපාලුවන්ව එලව එලවා ප්‍රශ්න කිරීමට මාධ්‍ය කටයුතු නොකරයි. ඒ වෙනුවට දේවානි හෝ 'ඔක්සිජන් සුරංග' වෙනත් අලෙවිකල හැකි යමක් අලවිකරමින් දවස ගෙවයි.
ඇත්තටම මේ සිදුකරමින් සිටින්නේ සියල්ලන් 'ජෝකර්ලා' කිරීමද?
එහෙත් කවුරු කාව 'ජෝකර්ලා' කලද අප ඉදිරියේ උඩුදුවමින් යන ප්‍රශ්න රාශියක් තිබේ. අප සිටින්නේ කොයියම්ම මොහොතක හෝ පුපුරාගිය හැකි ගිනිකන්දන් බදු ප්‍රශ්න ගොඩක බව අප මතක නොකළ යුතුය. ජෝකර්ලා කියුවිට මගේ මතකට එන්නේ 2020 වසරේ ඔස්කා සිනමා උළෙලේදී සම්මාන දිනු Joker චිත්‍රපටියේ ප්‍රධාන චරිතය රගපෑ, එම ඔස්කා උළෙලේදී හොදම නළුවාට හිමි සම්මානය දිනු Joaquin Phoenix කල කතාවය. ඔහු එහිදී සදහන් කලේ ''අපි ඉන්නේ කෙරුම්කාරයෝ (champion) වගේ...අපි හිතන් ඉන්නේ අපිට මුක්තියක් /දුර්විපාක නොලබා සිටීමට (impunity) ඉඩක් තියෙනවා අනෙක් ජාතීන්, අනෙක් වර්ගයන්, අනෙක් සත්ව කොට්ටාශයන්, පරිසරය ආදිය යටපත් කරලා ඒ මත ආධිපත්‍ය දරාගෙන ජීවත් වෙන්න... අපි ඉන්නේ අපි වටා ඇති ස්වභාවික ලෝකයෙන් කැඩිලා වෙන්වෙලා ගිහිල්ලා...එකේ මුදුනෝ වගෙයි... අපි මේ ස්වභාවික පරිසරය විනාශ කරලා, අපි එහි සම්පත් කොල්ලකාලයි (plunder) ජීවත් වෙන්නේ... මේ ලෝකේ තියෙන හැමදේම තියෙන්නේ අපේ අවශ්‍යතා සපුරා ගන්නයි කියලයි අපි හිතන්නේ.. මේහෙම හුදු ආත්මාර්ථකාමි ලෝක දැක්මකින් (egocentric world view) ජීවත්වීමට අපි ඔක්කොම වැරදි කාරයෝ...මම වුනත් වැරදි කාරයෙක්..මම වුනත් පෞද්ගලික ජීවිතයේදී ආත්මාර්ථකාමියෙක් ලෙස ජීවත්වුනා..අද මම මෙතන ඉන්නේ මට මිනිස්සු දෙවන අවස්තාවක් (second chance) දුන්න හින්දයි...අපි එකිනෙකාට උදව් කරගම්මු හැදෙන්න, වැරදින් ගැලවෙන්න (redemption), ආදරයෙන් යුතුව මුදවාගනිමු...එවිට සාමය ලගාවෙයි'' යන්නය.
ඇත්ත වශයෙන්ම දේවානිගේ දෙවන නැගී සිටීම තුලද අප සියල්ලනට මේ සිදුවෙමින් යන විනාශයට විරුද්ධව නැගී සිටීමට තවත් අවස්ථාවක් ලබා දී ඇත.
මාකස් ප්‍රියන්ත පෙරේරා
11/02/2021
මීගමු මුන්නක්කර කළපු ප්‍රශ්නය ගැන සුරකිමු මීගමු කළපුව - Save Negombo Lagoon සංව්ධානය 19/09/2020 පළකර තිබු ලිපියක්ද පහතින් පළවේ.
=================================================
සැබෑ ප්‍රශ්නය කුමක්ද කියලා හොයනවා වෙනුවට සමාජ ජාලය පුරාවටම "ඔක්සිජන්" කතාවක් අල්ලගෙන හැමෝම මේ ප්‍රශ්නය විහිළුවකට ගත් බවක් තමයි පෙනෙන්නට තිබුණේ.
එතකොට මොකද්ද මේ දැන් මතු වී ඇති අර්බුදය ?
ගැටළුව තමයි මීගමුව මුන්නක්කරය සා.නිකුලා පාසලට ක්‍රීඩා පිට්ටනියක් නොමැති කම.
මුන්නක්කරය කියලා කියන්නේ වැඩිපුර දෙමල කතා කරන මීගමුව නගරයට නුදුරින් , මීගමුව කලපුවෙන් හා ඝණ කඩොලාන රක්ෂිතයකින් වට වු දුපතක් ලෙස සැළකිය හැකි සිංහල ධීවර ගම්මානයක් කිව්වොත් මා නිවැරදියි.
මුන්නක්කරය ගමේ පාසල තමයි සා නිකුලා සිංහල මිශ්‍ර විදුහල. අතීතයේ මේ පාසල දෙමල පාසලක් වුවත් පසු කාලයේ දෙමල අංශය වැසී ගියාට පස්සේ මේ පාසල සිංහල පාසලක් බවට පත් වුණා. වර්තමානයේ මෙම පාසලේ ළමුන් 1000-1200 ක් පමණ ඉගෙනුම ලබනවා.
එතකොට එදා පටන් අද දක්වා මේ පාසලේ ළමුන්ට ක්‍රීඩා පිට්ටනියක් තිබුණේම නැද්ද...?
ක්‍රීඩා පිට්ටනියක් තිබුණා..
ඉස්සර කොල්ලෝ වොලි බොල් /ක්‍රිකට් සෙල්ලම් කළේ ඒ පිට්ටනියේ, ඔය කියන පිට්ටනියේ පොඩි කොල්ලෝ හවසට සරුංගල් යැව්වා..
ඒ විතරක් නෙමෙයි මුන්නකරය පාසලේ ක්‍රීඩා උත්සවය පවා තිබුණේ ඒ පිට්ටනියේ...
පරම්පරා ගණනක මුන්නක්කරයේ මිනිස්සුන් දුව පැන සෙල්ලම් කරපු එහෙව් ක්‍රීඩා පිට්ටනියක් අවාසනාවකට මුන්නක්කරයට අහිමි වුණා.ඇත්තම කිව්වොත් අහිමි කළා.
මේක තමයි කතා කළ යුතුව තිබෙන ප්‍රශ්නය..
තිබුණු ක්‍රීඩා පිට්ටනියට මොකද වුනේ කියන කාරනාව..
මම මේ කියන ක්‍රිඩා පිට්ටනිය තිබුනේ මුන්නක්කරය "අලියා පොළට" මායිම්ව මංකුලිය පාරට මුහුණලා , හරියටම මුන්නක්කරය පාසලට මීටර 200 ක් තරම් වූ දුරකිනි.(සිතියමේ පෙන්වා දී ඇති ආකාරයට)"
අලියා පොළ" කියන්නේ එදා පටන් අදටත් මුන්නක්කරයේ මිනිසුන්ගේ දෛනික ජීවිතයෙන් වැඩි හරියක් දේවල් සපුරා ගන්නා වූ වෙළද මධ්‍යස්ථානයයි. ඉස්සර මේ අලියා පොළ තිබුනේ බොහොම අබලං තත්වයක ගරා වැටුණු වහලක් යට වෙළදාම් කරන කාන්තාවන් සිටියේ අපහසුවෙනි.
මේ අපහසුතාවය ගැන මැසිවිලි නගපු වෙළෙන්දෝ මේ පිළිඹද මීගමුව මහා නගර සභාව දැණුවත් කළා. එවක මීගමුවේ පුරපතිව සිටියේ නිමල් ලංසාය.අපරාදේ කියන්න බෑ. ලංසා මේ වෙළෙදුන්ගේ ප්‍රශ්නය විසදීමට කඩිනමින් මැදිහත් වුණා.
එතැන් පටන් තමයි මුන්නක්කරය ක්‍රීඩා පිට්ටනියට කන කොකා හඩලන්න පටන් ගත්තේ.
ලංසා මොනාද කළේ, අර අබලං වූ අලියා පොළ වෙනුවට ඉදි කළා මහල් දෙකකින් සමන්විත ගොඩනැගිල්ලක් පහල මහල පාරම්පරික වෙළදුන්නටත්, දෙවෙනි තට්‍ටුවේ කඩ කාමර කීපයකුත් ගැහුවා බදු පදනම යටතේ කුළියට දීමට.මේ මිනිහා එතනින් නැවතුනේත් නෑ , අලියා පොළට මායිම්ව තිබුණු මම අර කලින් කියපු මුන්නක්කරය පිට්ටනියත් අහුරලා ගැහුවා උත්සව ශාලාවක්.මුන්නක්කරය මිනිස්සු නෙමෙයි කටක් හෙල්ලුවෙ.
දේශපාලුවන්ගේ හිතුමනාපෙට ගමේ සම්පත් සූරා ගෙන යනකන් බලා හිටියා හැරෙන්න අද පිට්ටනියක් නැති වේදනාවෙන් කෑගහන එවුන් එදා පිට්ටනිය අහිමි වෙනකොට බුදියන්ද හිටියේ කියලත් හිතෙනවා.
අන්තීමෙට මුන්නක්කරයට තිබුණු ක්‍රීඩා පිට්ටනිය ගමට අහිමි වුණා.වෙලදුන්ගේත් ප්‍රශ්නය විසදුනේ නැති වුණාට මොකෝ අලියා පොළෙන් ලංසා income එකක් හදා ගත්තා
අදටත් බාගෙට බාගයක් අලියා පොළේ වෙළෙන්දු ඉන්නේ පාර දෙපැත්තේ කුඩ අල්ලගෙන ,වැසිකිළි පහසුකම් නෑ..ජල පහසුකම් නෑ..
මුන්නක්කරයට පිට්ටනිය අහිමි වුනේ මුන්නක්කරයේ ජන ගහනය වැඩි වෙලා නෙමෙයි.
අද මුන්නක්කරයේ මිනිස්සු කඩොල් ගස් කපලා ක්‍රීඩා පිට්ටනියක් යාන්තමින් හරි හදා ගන්න තරමට අසරණ කළේ වෙන කවුරුත් නෙමෙයි නිමල් ලංසාය.මේකට එවකට හිටපු මන්ත්‍රී සරත් කුමාර ගුණරත්නත් වග කියන්න ඕනා.
මේ ප්‍රශ්නය ගැන ඇත්තටම කතා කරන්න ඕනා නිමල් ලංසා සමගය.
මුන්නක්කර මිනිසුන්ට යුතුකමක් තියෙනවා කඩොල් උයන එළි කරන්න කලින් තමුන්ගේ ගමේ තිබුණු ක්‍රීඩා පිට්ටනියට වුණු වින්නැහිය ගැන කතා කරන්න.
කඩොල් උයනක් කපලා මුන්නක්කර මිනිස්සු දැන් කරන්න යන්නේ පාරසරික විනාශයක්, කතාවට කියනවා “මැණිකේ අගය කනා දන්නේ නෑ කියලා”
මුන්නක්කරයේ මිනිසුත් අන්න හරියට ඒ වගේ
ගම වටේ කඩොල් ගස් තිබුණාට කඩොල් ගහේ අගේ මුන්නකරයේ මිනිස්සු දන්නේ නෑ.
ලෝකේ කාබන් අවශෝෂණය ඉහළම ශාක පද්ධතිය වන්නේ කඩොලාන ශාකයි. ගෝලීය උෂ්ණත්වය හා දේශගුණික විපර්යාස අවම කිරීමට මහගු පිටුවහලක් වන ශාකයක් තමයි කඩොලාන ශාකය.අනෙක් අතට ගොඩබිමට පැමිණෙන උදම්රළට ස්වභාවික බාධකයක්ව මුහුණදීමට තරම් කඩොලාන ශක්තිමත්ය.
කඩොල් ගස් පද්ධතියක වටිනාකම ධීවරයෝ පවා හොදට දන්නවා.ඒක නිසා කඩොල් උයන කපන්න දගලන ධීවරයෝ යැයි කියා ගන්න පිරිස ඇත්තටම ධීවරයෝ ද එහෙමත් නැතිනම් දේශපාලුවන්ගේ කුළි කාරයෝද කියලත් සැකයි.
අමතක කරන්න එපා ගුරුගේ කාරයා හෝටලය ගහන සමයේ එහි කම්කරුවන්ට ඉන්න හිටින්න තැන් පවා දුන්නේත් මුන්නකරයේ මිනිස්සුම තමයි.
(මීගමු කළපුව රැක ගන්න නම් අපි මේ ප්‍රශ්නය ගැන විවෘත්තව කතා කළ යුතුව තිබෙනවා,නැතිනම් මතු පරම්පරාවට මේ සම්පත් අහිමි විය හැක)
https://lankacitizens.com/political/දේවානි-ඔක්සිජන්-සුරංග-මා/
ReplyDeleteThank you මාතලන්.
ReplyDelete