This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Wednesday, 29 October 2025

මුස්ලිම් හෙදියන්ට හිජාබ් අවශ්‍ය ඇයි?

 

මුස්ලිම් හෙදියන්ට හිජාබයක් පැලදීමට අවසරදීම පිලිබද සාකච්ඡාවක් පහුගිය දිනවල ලංකාවේ මතුව තිබුණි. ඒ සම්බන්ධයෙන් අවධානය යොමුකරන විට මට මතක්වුයේ අපි ඉගෙනගත් 1957 මැලේසියානු පාර්ලිමේන්තුවේ හෙදියන්ගේ නිල ඇඳුම පිලිබද විවාදය ය. 

පශ්චාත් යටත්විජිතවාදය ගැන සිදුකරන අධ්‍යයනවලදී සාකච්ඡාවට ලක්කරන මැලේසියානු පර්ලිමේන්තුවේ එම විවාදය අනුව කියවුනේ මැලේසියාවේ යටත් විජිත බලපෑම පිටු දැකීමට නම් හෙදියන්ගේ නිල ඇඳුමෙන්ම එය පටන් ගත යුතු බවයි. 

බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස ලැබූ මැලේසියානුවන්ට එකල හෙද සේවයට අදාලව පැවැති විවිධ නියාමන නිසාම එරට හෙදියන්ගේ නිල ඇඳුම එක්වරම වෙනස්කර ගන්නට බැරිවිය. එහෙත් එහිලා මුල්ම පියවරක් ලෙස ඔවුන් එය එරට වින්නඹුවන්ගේ  (midwives) නිල ඇඳුම වෙනස් කරමින් පටන් ගත්හ. මැලේසියානු වින්නඹුවන්ට හදුන්වාදුන් නිල ඇඳුම හිස් අවාරනයක් හා දණහිස දක්වා දිවෙන දිග ඇඳුමකින් යුක්තවූ ඉස්ලාමීය මූලධර්ම හා මැලේ සම්ප්‍රදාය සමග එකට මුසුවූ නිල ඇඳුමකි. සෞඛ්‍ය සේවයේ නිරතවන ඉස්ලාමීය කාන්තාවන්ගේ නූතන නිල ඇඳුම පිලිබද පෙළගැස්මේ  ආරම්භය එය යැයි සැලකේ. 

මෙහිදී වැදගත්ම ප්‍රශ්ණය නම් සෞඛ්‍ය සේවයේ නිරතවන ඉස්ලාමීය කාන්තාවන්ට, මුස්ලිම් හෙදියන්ට, වෙනමම නිල ඇඳුමක අවශ්‍යතාවය මතුවුයේ ඇයි? යන්නය.

එයට හේතුව වුයේ, හෙදියන්ගේ නිල ඇඳුම කතෝලික පැවිදි කන්‍යා සොහොයුරියන්ගේ (sisters) නිල ඇඳුමෙන් පැනනැගුනේ යැයි යන කියවීමයි. 

එහි ඇත්තක් තිබේ. නූතන හෙදියන්ගේ මුල්ම  නිල ඇඳුම කතෝලික කන්‍යා සොහොයුරියන්ගේ ඇඳුම් පැළඳුම් ඇසුරෙන්, එහි සෘජු ආභාෂය ලැබූවකි. කලාන්තරයක් පුරාම කතෝලික කන්‍යා සොහොයුරියන් රෝගීන්ට සහ තුවාල ලැබූවන්ට ප්‍රතිකාර කිරිම හා රැකබලා ගැනීම සම්බන්ධයෙන් නමක් දිනාගෙන සිටියහ. කතෝලික කන්‍යා සොහොයුරියන්ගේ එකී දයාවේ සේවයන් නුතන හෙද සේවයේ සංකේතයක් බවට පත්වූවකි. මෙකී ඓතිහාසික සම්බන්ධතාවය 1860 දී පළමු හෙද පාසල පිහිටවු ෆ්ලෝරන්ස් නයිටිංගේල්ට නූතන වෘත්තීය හෙදියන්ගේ හිස් ආවරණ, සුදු ඇප්‍රොන් සහිත දිග ඇඳුම ඇතුලත් මුල්ම හෙද නිල ඇඳුම මෙන්ම හෙද සේවයේ ප්‍රමිතීන් සකස්කර ගැනීමට ද බලපා තිබේ.

ඇත්ත වශයෙන්ම,1860 ගණන්වල සිට බොහෝ මෑත යුගයන් දක්වාම රෝහල්වල වෘත්තීය හෙදියන් මෙන්ම කතෝලික කන්‍යා සොහොයුරියන් ද එකට සේවය කර තිබේ. 

ශ්‍රී ලංකාවේ ද කොළඹ මහ රෝහල පිහිටවිමෙන් පසුව 1886 ජුනි 22 දා සිට ෆ්‍රැන්සිස්කන් නිකායේ (Franciscan Missionaries of Mary - FMM) කන්‍යා සොහොයුරියන් ද, පසුව සැල්වටෝරියන් නිකායේ (Salvatorian Sisters) ද, එමෙන්ම Little Sisters of the Poor නිකායේ හා යහපත් එඩේරාගේ නිකායේ (Good Shepherd Sisters) කන්‍යා සොහොයුරියන් ද රට පුරාම රෝහල් වල සේවය කර තිබේ. 

ඒ අතර මීගමුව දිස්ත්‍රික් රෝහල  ලංකාවේ රෝහලක වැඩිම විදේශීය කන්‍යා සොහොයුරියන් ප්‍රමාණයක් (Catholic nuns) ස්වේචාවෙන් සේවය කළ දිස්ත්‍රික් රෝහල වී තිබුණි. එම යුගයේදී මීගමුව රෝහල තුල පමණක් නොව මීගමුව දිස්ත්‍රික්කයේ සෑම මීසමකම කතෝලික පල්ලිය විසින් දියත්කල සෞඛය සහ පෝෂණ වැඩසටහන් වල එම කන්‍යා සොහොයුරියන් සක්‍රියව  කටයුතු  කරමින් සිට ඇත. 

එම යුගයේ මිනිසුන් තම දරුවන්ගේ බර කිරාගැනීමටත්, තුවාලයකට බෙහෙත් දමාගැනීමටත් පැමිණ ඇත්තේ පලාතේ මඩමටය. නැතිනම් පල්ලියේ බෙහෙත් ශාලාවටය. 

 එහෙත් මෙසේ ස්වෙච්චා පදනමක්මතවත් විදේශීය මෙන්ම දේශීය කන්‍යා සොහොයුරියන්ට (catholic nuns) ලංකාවේ රෝහල්වල කටයුතු කිරීමට නොහැකිවන ලෙස අණපනත් ගෙනවිත්, 1963වන විට විදේශීය කන්‍යා සොහොයුරියන්ගේ වීසා අත්හිටවා,  ලංකාවෙන් පිටුවහල්කර තිබේ. 

එම නිසාම මීගමුවේ ඉහතකී පල්ලිවල/මඩම්වල තිබූ සෞබ්‍ය මාධ්‍යස්ථාන වැසීගොස්, රෝහල්වල සේවයකළ, ඇප-උපස්ථානකළ හෙද කන්‍යා සොහොයුරියන්ගේ  සේවය මීගමුවට ද අහිමව ගොස් තිබේ. 1970, 80වන විට ලංකාවේ වැඩිම හෙද හිගයක් පැවති රෝහලක් ලෙස මීගමුව රෝහලත් නම් කළේ එවැනි පදනමකින් ය. මේ බව මම මීට කලකට පෙර ලියූ "1900 දී ලංකාවේ සෞඛ්‍යය සම්පන්නම දිස්ත්‍රිකය මීගමුව - In 1910, Negombo was the healthiest district of Ceylon" යන ලිපියේ දක්වා තිබුණි (එය https://marcuspriyanthaperera.blogspot.com/2020/06/1900-negombo-was-healthiest-district-in.html?m=1 යොමුවෙන් කියවිය හැක).

ඇත්තවශයෙන්ම, 1960 දශකයේ දී ශ්‍රී ලංකාවේ හෙද සේවයේ යෙදී සිටි දේශීය/විදේශීය කන්‍යා සොහොයුරියන්ව (catholic nuns) හෙද සේවයෙන් ඉවත් කිරීම සිදුවන්නේ පශ්චාත් යටත්විජිත සමයේ ශ්‍රී ලංකා දේශපාලනයේ සිදුවන වෙනස්කම් වලට සමපාතවය. එයද පශ්චාත්  යටත්විජිත මැලේසියාවේ හෙද සේවයේ කාන්තා නිල ඇඳුම සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ග ද එකම සංදර්භයක එකම පෙළගැස්මකි. 

පසුකාලීනව මැලේසියාව, ශ්‍රී ලංකාව පමණක් නොවේ බටහිර රටවල් පවා හෙද සේවයේ නිල ඇඳුමේ විවිධ වෙනස්කම් සිදුකර තිබේ. මැලේසියාව ඇතුළු මුස්ලිම් රටවල නම් එම වෙනස්කම් ඉස්ලාමීය ආගමික ඉගැන්වීම් හි කාන්තා ඇඳුමට ගැලපෙන ලෙස  ආගමීක පසුබිමකින් සිදුකරනු ලැබුවකි. යුරෝපයේ නම් එකී වෙනස්කම් 'පහසුව' මුල්කරගෙන   සිදුකරනු ලැබූවකි. යුරෝපයේ බොහෝ රටවල වර්තමානයේ හෙද සේවිකාවන් බොහෝදුරට කටයුතු කරන්නේ හිස් පලදනාවක් රහිතවය. එහෙත් නිල අවස්ථාවකදී ඔවුන් හිස් වැසුම සහිත නිල හෙද ඇඳුම අදිනු ලබයි. ඔවුන් නිල හෙද ඇඳුම සිය වෘත්තිය ගෞරවය සංකේතවත් කිරීමක් වශයෙන් සලකයි. 

එවැනි තත්ත්වයක් තුල ශ්‍රී ලංකාවේ හෙද සේවයේ නිරත ඉස්ලාමීය කාන්තාවන්ට හිජාබයක් ඇදීමට රජය ඉඩදීම තුලින් බලාපොරොත්තු වන්නේ ඇගේ ආගමීක අනන්‍යතාවය සිය වෘත්තිය නිල ඇඳුම තුලින් ද නිරූපණය කිරීමට ඉඩ පහසුකම් සලසාදීමක් ද? 

 කතෝලික කන්‍යා සොහොයුරියන්ගේ ඇදුමට සමානයැයි කියමින්  මුස්ලිම් හෙදියන් සදහා වෙනම හෙද ඇඳුමක් ඉල්ලු මැලේසියාවේන් පටන් ගත් මුස්ලිම් හෙද නිල ඇඳුම ගැන ශ්‍රී ලංකාවේ රජයට හා ජනතාවට නිසි කියවීමක් තිබේද? 

නිල ඇඳුම  කිසියම් වෘත්තියක නිල සංකේතයක් බව පොදු පිලිගැනීමය. පහසුව සදහා යම් යම් සරල කරගැනීම් සිදුකරගැනීම පිලිගත හැකි වුවද වෘත්තිය පිලිගැනීම්වලට ඉහලින් ආගමීක හා සංස්කෘතික අනන්‍යතාවයන් ඔසවා තැබිය යුතුද? 

පසුගිය දශක දෙක තුල බ්‍රිතාන්‍යය සමාජයේ පාසැල් නිල  ඇඳුමේ සිට හෙද නිල ඇදුම දක්වා  ඇතිවූ විවිධ සාකච්ඡා හා විවාදයන් හී අවධානයට යොමු කළ කරුණු අතරින් මාගේ අවධානය දිනාගත් කරුණක් අවසාන වශයෙන් මෙහි සටහන් කරමින් මෙම සටහන අවසන් කරමි: 

"Uniforms have helped to reduce peer problems; let’s not ruin that by introducing religious or cultural distinctions - නිල ඇඳුම් තරාතිරම පිලිබද ගැටළු අඩු කිරීමට උපකාරී වී තිබේ; ආගමික හෝ සංස්කෘතික වෙනස්කම් හඳුන්වා දීමෙන් එය විනාශ නොකරමු"

මාකස් ප්‍රියන්ත පෙරේරා 
29/10/25

No comments:

Post a Comment