This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Tuesday 30 January 2024

ශ්‍රී වික්‍රම රජ, බ්‍රිතාන්‍යයන්, අප සහ 'මහා අනෙකා'


Why did the British respect the last king of Sri Lanka? උඩරට ප්‍රභූන් විසින් පවාදෙන ලද, ලංකාවේ අවසාන රජ, ශ්‍රී වික්‍රම රාජසිංහ රජ, ඉංදියාවේ වෙල්ලෝරයේදී මියගියේ, (1832) ජනවාරි 30, අද වැනි දිනක යැයි, අද උදේ කියවනු ලැබූවා. එම ලිපිය පහලින් පල කරන්නම්. ඒ ලිපියේ දක්වා තිබුන දෙයක් තමයි උදරේ අමාරුවකින් පීඩාවිදි රජට ප්‍රතිකාර කිරීමට ඉංග්‍රීසි වෛද්‍යවරයෙක් පවා බ්‍රිතාන්‍යය පාලකයෝ යොමුකළා, ඒ වගේම රජ මියගිය විට, රජට ආචාර වෙඩිමුර සහිතව රාජකීය ගෞරව සහිතව අවසන් කටයුතු සිදුකළා යන්න.

බ්‍රිතාන්‍යයන් ලංකාවේ අවසාන රජ, ශ්‍රී වික්‍රමසිංහ රාජසිංහ රජට, එසේ ගෞරව ප්‍රණාම පුදකරද්දී අපි දන්නවා, කියවලා තියෙනවා, අහලා තියෙනවා, ශ්‍රී වික්‍රමසිංහ රාජසිංහ රජව පාවා දුන්න, බ්‍රිතාන්‍යය හමුදාව සමග ගිහින් රජව අත් අඩංගුවට ගත්ත, උඩරට ප්‍රභූන් රජට පහර දුන්නා, නින්දා අපහස කලා, වැල්වලින් බැදලා ඇදගෙන ආවා, කන් වලින් ලේ බේරෙද්දී රජගේ බිසෝවරුන්ගේ කනකර ආභරණ පවා කඩා ගත්තා... මේ ආදී අධම ආකාරයට තමයි ලාංකීක ප්‍රභූන් තමන්ගේම අවසාන රජවු ශ්‍රී වික්‍රමසිංහ රජට සැලකුවේ කියලා.

ආක්‍රමණිකයාටත් වඩා දරුණු විදිහට ලාංකිකයන් මෙසේ සිය රජට සලකද්දී බ්‍රිතාන්‍යයන් රජට ගරු බුහුමන් සහිතව සැලකුවේ ඇයි? අත් අඩංගුවට ගැනීමේ ඉදන් පිටුවහල්ව සිටියදී පවා බ්‍රිතාන්‍යයන් ලාංකාවේ අවසාන රජට එසේ සැලකුවේ ඒක ඒ අයගේ protocol නැති නම් ඒ ඒ නිලයන්ට සැලකිමේ සම්ප්‍රදාය නිසාද? බොහෝ දුරට එහෙම වෙන්න පුලුවන්. ඒත් ඇත්තටම protocol නැති නම් ඒ ඒ නිලයන්ට සැලකිම තුල ප්‍රදර්ශනය කරන්නේ ඔවුන්ගේ ක්‍රම වේදය විතරක් නෙමේ ගරු බුහුමන් සහිතව කෙසේ කටයුතු කළ යුතුද? යන්නයි.

එසේ කටයුතු කරද්දී ඔවුන් ඒ හැම වෙලාවෙම හිතන දෙයක් තමයි අනෙකා අපි දිහා බලන්නේ කොහොමද කියන එක...නැතිනම් අනෙකා අපි දිහා බලන් ඉන්නවා කියන එක.. බ්‍රිතාන්‍යයන් ලංකාවේ රජට සලකන විදිහ ගැන රටේ මිනිස්සු බලන් ඉන්න බව ඔවුන් හිතන්න ඇති. අපේ මිනිස්සු අත් අඩංගුවට ගත් රජට එහෙම පහත් ආකාරයෙන් සැලකද්දී අරූ බලන් ඉන්නවා, මූ බලන් ඉන්නවා, කියන එක අදාල නෑ.. රජ සමග තිබුන තරහව පිට කිරීමට පමණයි ඔවුන් උත්සාහ කලේ...

හැබැයි බ්‍රිතාන්‍යයන්ට එහෙම බෑ... අනෙකෙක් බලන් ඉන්නවා...'මහා අනෙකා' (Big Other) බලන් ඉන්නවා.. කියන එකක් ඔවුන්ගේ ඔළුවේ තියෙනවා...'මහා අනෙකා' තමන්ගේ ඉහල නිලධාරීයෙක්, ඊට ඉහල කෙනෙක්, ආයතනයක්, රටේ නීති පද්ධතිය, මහජනයා විතරක් නෙමේ, සමහරවිට දෙවියන් වහන්සේ පවා විය හැකියි.

හැබැයි අපේ ප්‍රභූන්ට එහෙම නෑ...කවුරු බලන් හිටියත් වැඩක් නෑ,එයලා තමයි ලොක්කෝ, සෙස්සෝ සොක්කෝ... එදත් එහෙමයි, අදත් එහෙමයි...උඩරට, රදළ, සම්ප්‍රදායික ප්‍රභූන් විතරක් නෙමේ අලුතින් දනිපනි ගහලා නැගිටපු දැන් ලොක්කෝ කියලා හිතන සික්කෝත් එහෙමයි...

Marcus Priyantha Perera

30/01/24

ජයාරූපය - දකුණු ඉංදියාවේ වෙල්ලෝරේ (Vellore) ඇති Muthu Mandabam නමින් හදුන්වන ශ්‍රී වික්‍රම රාජසිංහ රජගේ සොහොන - අන්තර් ජාලයෙන්.

මගේ අවධානයට ලක්වූ Hasitha Chamikara Gunasinghe මහතාගේ සටහන //වර්ෂ 1832 ජනවාරි මාසය ආරම්භයේ පටන්ම රජතුමාගේ සෞඛ්‍ය යහපත් මට්ටමක නොපැවතිණි. රජතුමාට ප‍්‍රතිකාර කළ දකුණු ඉන්දීය වෛද්‍යවරුන්ගේ අදහස වූයේ රජතුමාගේ සෞඛ්‍ය අතිශය අසතුටුදායක මට්ටමක පවතින බවයි. මෙනිසා ඉංගී‍්‍රසි ජාතික ශල්‍ය වෛද්‍ය රීඩ් කැඳවීමට තීරණය කෙරිණි.

රජතුමා පරීක්ෂා කළ වෛද්‍ය රීඩ්ගේ රෝග විනිශ්චය වූයේ රජතුමාට සාමාන්‍ය උදරාබාධයක් පවතින බවයි. ඒ අනුව ආරම්භයේදී ඉංගී‍්‍රසි වෛද්‍ය ප‍්‍රතිකාර ලබාගැනීමට රජතුමා එකඟ වූ නමුත් කල්යත්ම දේශීය වෛද්‍ය ප‍්‍රතිකාරවලට යොමුවීමට රජතුමා විසින් තීරණය කරන ලදී.

එහෙත් කිසිදු ප‍්‍රතිකාරයකින් සුවයක් නොලත් රජතුමා ජනවාරි මස 30 වනදා සවස අභාවයට පත්විය. ඒ වන විට රජතුමාගේ වයස අවුරුදු පනස්දෙකක් පමණ වූ බව වාර්තා වේ.

රජතුමාගේ මෘතදේහය පසුදා පහන් වන්නට පෙර ආදාහනය කිරීමට රාජකීය ඥාතීන්ගේ එකඟත්වය පළවිය. ඒ අනුව ඉංගී‍්‍රසි හමුදා ගෞරව මධ්‍යයේ රාජකීය මෘතදේහය පාලර් නදියේ දකුණු ඉවුර අසබඩ පිහිටි ආදාහන ස්ථානයට රැගෙන යන ලදී. හමුදා ආචාර වෙඩිමුර පැවැත්වීමෙන් අනතුරුව රජතුමාගේ මෘතදේහය හින්දු චාරිත‍්‍රානුකූලව ආදාහනය කෙරිණි.

පසුව රජතුමාගේ භෂ්මාවශේෂ සොහොන් ගැබක තැන්පත් කරන ලද අතර ඒ පරිශ‍්‍රය ‘මුතුමණ්ඩපම්’ නමින් හඳුන්වනු ලැබේ.

කන්ද උඩරට රාජධානියේ අවසන් රජතුමා මෙන්ම ලක්දිව රාජාවලියේ අවසන් රජතුමා වූ ශී‍්‍ර වික‍්‍රම රාජසිංහ රජතුමා අභාවයට පත්ව අදට වසර 192ක් සපිරේ. මෙම සටහන ඒ වෙනුවෙනි.

ඡායාරූපය : වර්ෂ 1807දී ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා විසින් කොටිකාපොළ ධම්මජෝති නාහිමියන්ට පූජා කරන ලද සැඟෑලෙන සන්නස නමින් හඳුන්වන තඹ සන්නස// https://m.facebook.com/story.php?story_fbid=905322624394535&substory_index=905322624394535&id=1470435034

8 comments:

  1. මේ කරුණු මතක් කිරීම වටිනවා. අපේ හැසිරීම අදටත් වැඩි වෙනසක් නෑනෙ.

    ReplyDelete
  2. sudda awe nathnama thama gas uda ekkoo allahu akbar kiyala wada gena innawa

    ReplyDelete
    Replies
    1. පෘතුගීසින් ආවේ නැතිනම් ලංකාවේ මුස්ලිම් බලයට නතුවෙන්න ගියා කියලා ඉතිහාසඥයෝ දක්වලා තියෙනවා..

      Delete
  3. සුනෙත්‍රාගෙ කැන්ඩි මහල් කියව්වද

    ReplyDelete
    Replies
    1. නැහැ ලින්ක් එකක් තියෙනවද?

      Delete