This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Monday 15 January 2024

දෙවෙනි ජුවාම් පාවුළු පාප්ට තැබූ වෙඩි උන්ඩය තැම්පත් කර ඇති පාතිමා ඔටුන්න


පෘතුගාලයේ පාතිමා සිද්ධස්ථානයට පැමිණෙන ඕනෑම අයකුට මම යෝජනා දෙයක් තමයි නොවරදවාම පාතිමා කෞතුකාගාරයට (Museum of the Shrine of Fatima) යන්න කියන එක. එය පිහිටා ඇත්තේ පාතිමා Apparitions දේවස්ථානය (Chapel of the Apparitions) ඉදිරිපිටමයි. එම කෞතුකාගාරය ඉතිහාසය පිලිබදව කෞතුකාගාරයක් නෙමේයි.

එය විශ්වාසය සහ භක්තිය පිලිබද කෞතුකාගාරයක්.

දේවාමාතාවන් දර්ශනය වූ බව අදහන ඇදහිලිවන්තයන් පාතිමා පුදබිමට පැමිණෙන්නේ තමන්ගේ දුක කියන්න. තමන්ගේ රෝගාබාධ ඇතුළු ගැටළුවලට පිලිසරණක් ඉල්ලීමට. ඔවුන්ගේ ප්‍රශ්නවලට විසදුමක් ඉල්ලා යැදීමට. තමන්ගේ බලාපොරොත්තුව ඉටුකර දෙන මෙන් ඉල්ලීමට. පාතිමා කෞතුකාගාරය පිරී ඇත්තේ එකී ඉල්ලීම්, බලාපොරොත්තු ඉටුවූවන්ගේ විවිධ තෑගිවලින්.

එහි රත්තරන්, මුතු, මැණික් දියමන්ති විතරක් නෙමේ ඉටිපන්දම් ඇදුම් ආයිත්තම් චායාරූප පවා තිබෙනවා. එක් අතකට මෙම කෞතුකාගාරය එහි පැමිණි විශ්වාශීන්ගේ පන්ති තත්වයන් මෙන්ම ඔවුන් කුමන රටවලින් පැමිණි අයද යන්න පවා එහි ගොඩගසා ඇති තෑගිවලින් නිරූපනය කරනවා. ඉතාමත් ධනවත් අය මෙන්ම ඉතා දිළිදු තැනැත්තන්ද, මෙක්සිකෝවේ සිට ඉංදියාව, නවසීලන්තය වැනි රටවලින්, අයිස්ලන්තයේ සිට දකුණු අප්‍රිකාව දක්වා වූ රටවලින් ද පිරිස් පාතිමා පුදබිමට පැමිණ සිය යැදුම් සාක්ෂාත් කරගත් බව මෙහි ඇති ද්‍රව්‍යවලින් නිගමනය කල හැකියි.

මෙම පාතිමා කෞතුකාගාරයේ ඇති ප්‍රදර්ශන අංග අතුරින් වඩාත් අවධානයට ලක්වන අංගයක් වන්නේ පාතිමා දේවමතා දර්ශනය සිදුවු වකවානුවේම (1917) ඉදිකල පාතිමා දේවමතා සුරුවමට පැලදවූ ඔටුන්නයි. එය ධනවත් කාන්තාවක් විසින් මුතු මැණික් රත්‍රන් රිදී යොදා තැනූවූවක්. එහෙත් එහි විශේෂත්වය එයම නොවේ..එම ඔටුන්න මැද සිදුරක් ඇතිව නිපදවීමයි. එහි එවැනි සිදුරක් ඇතිව එම ඔටුන්න නිර්මාණය කලේ ඇයි යන්නට නිෂ්පාදකයාටවත් උත්තර තිබි නෑ.

එහෙත් 1981 මැයි 13 වෙනිදා දෙවැනි ජුවාම් පාවුළු පාප්වහන්සේට වෙඩි තැබූ වෙඩි උන්ඩය දැන් එම ඔටුන්නේ සිදුර තුල බහා තිබෙනවා.

එකී වෙඩි තැබීමෙන් තුවාල ලබා, සැත්කම් ගණනාවකින් පසු, මරණයෙන් දිවිගලවාගත්, දෙවැනි ජුවාම් පාවුළු පාප්වහන්සේ ඉන් වසරකට පසුව, එනම් 1982 මැයි 13 වෙනිදා පාතිමා සිද්ධස්ථානයට ගොස් එම වෙඩි උන්ඩය පාතිමා කෞතුකාගාරයට දී එය ඔටුන්නේ සිදුර හා සැසදේ දැයි විමසා තිබෙනවා. ඒ ඔහු වෙඩි වැදී මරණ මංචකයේ සිටියදී දුටු දර්ශනයක් නිසාවෙන් යැයි කියවෙනවා. හරියටම ඔටුන්නේ සිදුර තිබී ඇත්තේ පාප්වහන්සේ ඝාතනය කිරීමට වෙඩි තැබූ උන්ඩය බහාලන්නට මෙන් වෙඩි උන්ඩය ඔටුන්නේ තිබූ සිදුර හා මනාව සැසදෙනවා. එතෙක් පටන් 1981 මැයි 13 වෙනිදා දෙවෙනි ජුවාම් පාවුළු පාප් වහන්සේ මරාදැමීමට තැබූ වෙඩි උන්ඩය ඇත්තේ පාතිමා සිද්ධස්ථාන කෞතුකාගාරයේ ඇති පාතිමා දේවමතා සුරුවමට පැලදවූ ඔටුන්න තුලයි.

එහි කිසියම් ආකාරයක විශේෂත්වයක් ඇති බව මගේ හැගීමයි. එකී හැගීම තවත් වඩ වඩාත් තීව්‍ර වන්නේ පාතිමා දේවමතා දර්ශනය දුටු ළමුන් තිදෙනාගෙන් වැඩිම කාලයක් ජීවත් වූ, පසුකලක පැවිදි කන්‍යා සොහොයුරියක් වූ, Sister Lúcia Santos, 1917 දී හෙළිකළ, මරියතුමියගේ දර්ශනය තුල, මරියතුමිය ඇයට දැක ගැනීමට සැලැස්වූ දර්ශණ අතරින් තුන්වන දර්ශණය හෙවත් තුන්වන රහස ලෙස දක්වන දර්ශණය ගැනත් දැනගත් විටයි. Sister Lúcia Santos හෙළිකළ තුන්වන දර්ශනයේ වූයේ 'සුදු වතින් සැරසුන සභා නායකයා රුධිරය වගුරවමින් වතිකානුවේ වැටී සිටින දසුනකුයි. එය පාප්වරයෙකු ඝාතන තැතක් පිලිබද ඉගියක් ලෙස පාතිමා දර්ශනය සිදුවූ 1917 දීම නිර්වචනය කර තිබුනා. 1981 මැයි 13 දෙවන ජුවාම් පාවුළු පාප්වරයා ඝාතන තැත එකී අනාවැකිය සපලවිමක් ලෙස සලකනු ලබනවා.

පෘතුගාලයේ පාතිමා නුවර දේවමාතාවන්ගේ දර්ශනය මුන්ම සිදුවූයේ 1917 මැයි 13 දාවකය. දෙවන ජුවාම් පාවුළු පාප්වහන්සේට වෙඩි තැබීම සිදුවන්නේ ද 1981 මැයි 13 වෙනිදාවක ය. ඉන් වසරකට පසුව වෙඩි තැබීමේ තුවාලවලින් සුවපත්වු දෙවන ජුවාම් පාවුළු පාප්වහන්සේ වෙඩි උන්ඩය රැගෙන පාතිමා පුදබිම වෙත යන්නේද 1982 මැයි 13 වෙනිදාය. ඒ අතින් මැයි 13 ද විශේෂය... 



මාකස් ප්‍රියන්ත පෙරේරා

14/01/24














4 comments:

  1. ඔටුන්නෙ සිදුරක් සහිතව නිර්මාණය කරලා තියෙන්නේ අනාගතයේ සිදුවෙන වෙඩි තැබීම් ගැන හිතාගෙනද?

    ReplyDelete
    Replies
    1. නෑ එහෙම නෑ. ඔටුන්න නිර්මාණය කලේ 1917, ඔටුන්න හැදූ කෙනා කියලා තියෙන්නේ එය වුවමනාවෙන් කල දෙයකට වාත්තු නිර්මාණයේදී ඇතිවුවක් කියලයි..කොහොමත් ඒ කාලේ ඒ ගැන ලොකු අවධානයක් යොමුවෙලත් නෑ. 1920 දී විතර ඔය ඔටුන්න සුරුවමට පැලදූවයින් පසුව ඒක එහෙම්ම අමතක වෙලා ..ඇත්තටම මගේ ප්‍රශ්ණේ දෙවන ජුවාම් පාවුළු පාප්වහන්සේ කොහොමද ඒ ඔටුන්නේ එහෙම සිදුරක් තියෙනවා කියලා..

      Delete