This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Wednesday 10 January 2024

ඈන් කුමාරිය ලංකාව ඇවිත් - අපිට ඒවා වැඩක් නෑ..



Princess Anne visited Sri Lanka to mark 75 years of diplomatic relations with the UK - බ්‍රිතාන්‍යයේ තුන්වෙනි චාල්ස් රජගේ දකුණු අත වගේ ඉන්න කාන්තාව (King’s “right-hand woman”) ලෙස සැලකෙන, රජගේ සහෝදරිය වන, ඈන් කුමාරිය මේ දවස්වල ලංකාවට ඇවිත් ඉන්නවා. ඒ බ්‍රිතාන්‍යයයි, ලංකාවයි අතර රාජ්‍යය තාන්ත්‍රික සම්බන්ධතා අරභා 75 වෙනි වසර සමරන්න - අපිට ඒවා වැඩක් නෑ...

ලංකාව බ්‍රිතාන්‍යය කිරීටයෙන් නිදහස්වී ගෙවීගිය වසර 75 තුල ශ්‍රී ලංකාව හා බ්‍රිතාන්‍යය අතර තිබුන රාජ්‍යයතාන්ත්‍රික සම්බන්ධතා සෑම විටම සමීපව සහ සුහදව තිබුනේ නෑ... - අපිට ඒවා වැඩක් නෑ...

බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ ඉගෙන ගත්ත S.W.R.D. බණ්ඩාරනායක 1956 බලයට ඇවිත් ඔහුගේ රජය යටතේ කටුනායක පැවැති බ්‍රිතාන්‍යය රාජකිය ගුවන් හමුදා කදවුර, ත්‍රිකුණාමලයේ පැවැති බ්‍රිතාන්‍යය රාජකීය නාවික හමුදා කදවුර ඉවත්කර ගන්න කියද්දී, බ්‍රිතාන්‍යය ජාතිකයින් සතුව පැවැති වැවිලි සමාගම් ලංකා රජයට පවරාගද්දී, බ්‍රිතාන්‍යය සහ ශ්‍රී ලංකාව අතර පැවති රාජ්‍යය තාන්ත්‍රික සබදතා පලුදු වූවා - අපිට ඒවා වැඩක් නෑ...

1972 සිරිමාවෝ බණ්ඩාරනායක රජය යටතේ සම්මතවූ ප්‍රථම ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඔස්සේ ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යය ඩෝමීනියන් රාජ්‍යයක්ව පැවැති තත්වයෙන් සම්පුර්ණයෙන් ඉවත්වී දෙරට අතර පැවති රාජ්‍යයතාන්ත්‍රික සබදතා වෙනත් මුහුණුවරක් ගත්තාය යන්න - දැන් අපිට වැඩක් නෑ...

1987 ඉංදියාව ලංකාවේ ගුවන් සීමාව උල්ලංඝනය කරලා, ඉංදියාව ලංකාවට පරිප්පු දාද්දී, J.R. ජයවර්ධනගේ රජය (ලංකාව බ්‍රිතාන්‍යය කිරීටයෙන් නිදහස් වෙද්දී) 1947 බ්‍රිතාන්‍යය එක්ක අත්සන් කල Defence Agreement එක අනුව ලංකාව බ්‍රිතාන්‍යයේ හව්හරණ බලාපොරොත්තුවූ අවස්ථාවේ, දැන් ඒ ගිවිසුම කල් ඉකුත්වී ඇතැයි බ්‍රිතාන්‍යය කියද්දී, ලංකාව ඉංදියාව හමුවේ අසරණ වූනා කියන එක - දැන් අපිට වැඩක් නෑ...

1991 දී ලංකාවේ බ්‍රිතාන්‍යය මහකොමසාරිස්වරයා වූ David Gladstone ව R. ප්‍රේමදාස ජනාධිපතිවරයා, ගැලැස්ටන් රටේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වෙනවා, ඔහු ලංකාවේ චන්ද (දූෂණ) ගැන, මානව හිමිකම් (කඩවීම්) ගැන කතා කරනවා කියලා ලංකාවෙන් පන්නා දමද්දි, බ්‍රිතාන්‍යය සහ ලංකාව අතර පැවැති රාජ්‍යය තාන්ත්‍රික සම්බන්ධතාවල ඉරිතැලීම් ඇතිවූවා කියන එක - අපිට දැන් වැඩක් නෑ...

කොටින්ම බ්‍රිතාන්‍යය සහ ලංකාව පශ්චාත් යටත් විජිත සම්බන්ධතා කියන ඒව වත්, යටත් විජිතය සහ යටත් විජිතය හිමිව සිටි රටවල් දෙක අතර රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා කියන ඒව වත්, ඊට අවුරුදු 75 ක්ම ගත්වී ඇතැයි කියන ඒවවත් - දැන් අපිට අදාල නෑ...

අඩුම තරමින් බ්‍රිතාන්‍යය රජ පවුලේ ඈන් කුමාරිය 1995 ලංකාවට ආව වෙලේ රිජ්වේ ආර්‍යා ළමා රොහලට ගොඩවී එහි ළදරු කළල ඒකකයේ සිටි එදින උපන් දරුවන් සමග ඡායාරූප ගෙන එම දරුවන් ගේ පවුල් සමග දිගටම ලිපි, සුභපැතුම් පත් හුවමාරු කරගත්තා වගේ කාරණාවත් - දැන් අපිට වැදගත් නෑ...

අපිට වැදගත් ඊජිප්තුවේ සිට පැමිණි "අවලෝකිතේශ්වර"...එයා යන එන තැන්, එයා කරණ කියන දෑ, එයාට වදින කරණ අය - අපිට දැන් වැදගත් ඒවා..

රටේ ලෝකේ මොක වුනත්, අපිත් දැන් අර ළිඳේ ඉන්නන් ගානට වැටිලා, තමන්ගේ මැට්ටම් තම්මැට්ටම් කියමින් නේ ඉන්නේ...

ඉතින් එහෙම රටකට ඈන් කුමාරිය එන එකවත්... ඇවිල්ලා, බ්‍රිතාන්‍යයයි ලංකාවයි අතර 75 වසරක රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා සමරණවා කියන එකේවත් ඇති වැදගත්කම මොකක්ද?

මාකස් ප්‍රියන්ත පෙරේරා

10/01/23

2 comments:

  1. ශ්‍රී ලංකා බ්‍රිතාන්‍ය රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාවය ගැන හොද මතකය අවදි කිරීමක්....

    ReplyDelete
    Replies
    1. තව කරුණු රාශියක් තියෙනවා මතු කරන්න.. ඒත් ගොඩාක් දිගට ලියන ඒවා දැන් කියවන්නේ නෑ කියලා හිතෙනවා

      Delete