This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Friday 11 November 2022

මීගමුවේ නිවාස ප්‍රශ්නය හා මීගමුවේ ජනසංයුතිය වෙනස් කිරීමේ සැලැසුම්

පහුගිය 3 වෙනිදා, ලෝක ජනාවාස දිනයදා, මීගමුව ජනාවබෝධ කේන්ද්‍රය ප්‍රමුඛ මීගමු ජනතා ඒකාබද්ධ සංවිධානය මීගමුවේ නිවාස අහිමි ජනයාගේ ප්‍රශ්න මතුකරමින් මීගමුව මහවීදිය පල්ලියේ සිට රුක්මණී දේවී සමරු ශාලාව දක්වා විරෝධතා පාගමනක් සහ රැස්වීමක් සංවිධානය කර තිබුනා. එයට කොළඹ අගරදගුරු ගරු මැල්කම් රංජිත් කාදිනල්තුමා ඇතුළු ප්‍රදේශයේ පියතුමන්ලා සහ පැව්දි සොයුරියන් රාශියක්ද පැමිණ තිබෙනවා. "මේ දේශපාලකයින්ගේ තහඩු කෑල්ලට, සිමෙන්ති කොට්ටෙට චන්දේ දී නිවාස ඉල්ලගෙන මා ලගට එන්න එපා" යැයි කාදිනල්තුමාගේ උද්වේගකර කතාව සිදුකලෙත් එම රැස්වීමෙයි ( වීඩියෝව පහලින්).

රටේ අනෙක් හැම ප්‍රශ්නයක් වගේම මීගමුවේ නිවාස ප්‍රශ්නය කියන්නෙත් රටේ පාලකයින් කිසිදා නිසිලෙස විසදුමක් ලබාදුන් ප්‍රශ්නක් නෙවෙයි. රටේ අනෙක් හැම පලාතේම නිවාස යෝජනා ක්‍රම පිටින් ඉදිවෙද්දීත් රජයේ අනුග්‍රහයෙන් මීගමුවේ පහුගිය කාලය පුරාම ඉදිවුනේ නිවාස ඉතා ස්වල්පයක් පමණයි. මීගමුවේ නිවාස ප්‍රශ්නය එක්ක සලකා බලද්දී ඒ වගේ සීමිත උත්සාහයන් කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ කියලා අමුතුවෙන්ම කියන්න ඕනේ නෑ.

මීගමුවේ නිවාස ප්‍රශ්නය ගැන කතාකරද්දී දේශපාලකයෝ නිතර කියන දෙයක් තමයි මීගමුවේ ගෙවල් හදන්න ඉඩම් නෑ කියන එක. ඇත්ත ඒක නෙමේ. තට්ටු නිවාස ව්‍යාපෘති ඉදිකිරිමට මීගමුවේ තවමත් ඉඩ පහසුකම් තියෙනවා. ඒත් වෙලා තියෙන්නේ මීගමුවේ තියන ඉඩම් ටිකත් දේශපාලකයෝ තම හිතවතුන්ට බෙදාදීලා. නැතිනම් අනවසරෙන් පදිංචි කරලා, පදිංචි වෙලා ඉන්න ඉඩදීලා. මීගමුවේ සමහර ඉඩම් වල දැන් මීගමුවට පිටින් පැමිණි දේශපාලන මැරයෝ බලෙන් පදිංචිවෙලා ඉන්නේ ප්‍රදේශයේ දේශපාලකයින්ගේ බලයෙන්. ඇතමුන් ඔය පාලකයෝම ගෙනත් දාපු අය.

එක පැත්තකින් එහෙම වෙද්දී අනෙක් පැත්තෙන් මීගමුවේ ධීවරයෝ පදිංචිවෙලා ඉන්න ඉඩකඩම් ටික සංචාරක ව්‍යාපාරය විසින් අත්පත් කරගනිමින් ඔවුන්ට වෙරළත්, පැලත් අහිමිකරමින් යනවා. මීගමුවේ නගර සංවර්ධන සැලැස්ම කියලා එලිදක්වන සැලසුම් වලින් දැන් කරමින් තියෙන්නේ මීගමුවේ ධීවරයන්ව ඔවුන්ගේ පාරම්පරික වාසස්ථානවලින් ඉවත් කරලා ඔවුන්ව එක මුල්ලකට හිරකරන එකයි.

මේ සියල්ලේම අවසාන ප්‍රතිඵලය මීගමුව නගරේ ජනයාව නිවාස අහිමිකර ඔවුන්ව පලවාහැරීමද? 'පුංචි රෝමය' යැයි කියූ මීගමුවේ ජන සංයුතිය වෙනස් කිරීමේ සැලැස්මක් මේ සියල්ල තුල ගොනුවී තිබෙනවාද? අපි මීගමුවේ නිවාස අහිමි ජනයාගේ නිවාස ප්‍රශ්නය විසදන්න ඕනේ එවැනි ප්‍රවනතාවයන් ගැනද නිසි අවධානය යොමුකරමින්!!

මාකස් ප්‍රියන්ත පෙරේරා
11/11/22


2 comments: