This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Friday 6 November 2020

සන්තියාගෝ ප්‍රනාන්දු නම් මීගමුවේ සාන්තුවරයා

1904 මීගමුව කුඩාපාඩුවේ දිළිදු ධීවර පැල්පතක ඉපිද, 1991 නොවැම්බර් මස 02 දින, දිළින්දෙක් ලෙසම මියගිය සන්තියාගෝ ප්‍රනාන්දු හෙවත් ව. ස. ප්‍රනාන්දු හෙවත් ‘සන්ති ගුරුන්නාන්සේ’, සියළු ආත්මයන් සමරන (All Souls' Day) අද (02/11) වැනි දිනක කතෝලික ජනයා අමතක නොකළ යුතු තරම් වටිනා පුද්ගලයෙකි.

ඒ ඔහුගේ මරණය සිදුවුයේ අද වැනි දිනක නිසාම නොව, කෙතරම් බාධක පැමිණියද තමා තේරුම්ගත් ක්‍රිස්තු චරිතය තම ජීවන දැක්ම ලෙස සලකමින් මීගමුවේ පිඩිත ජනයාගේ ප්‍රශ්න වෙනුවෙන් මෙන්ම සමස්ථ ශ්‍රී ලංකික පිඩිතයන් වෙනුවෙන් සිය මරණය දක්වාම සටන් කල පුද්ගලයෙක්වීම නිසාය.

එහෙත් 1970 දශකයේ අගභාගය දක්වාම ශ්‍රී ලංකා කතෝලික පල්ලිය ඔහුට එරෙහිව දැඩි පිළිවෙතක් අනුගමනය කළේය. ඒ ඔහු 1935 දී පිහිට වූ ශ්‍රී ලංකා සම සමාජ පක්ෂයට එක්වූ පළමු කතෝලිකයා වී කතෝලිකයන් බහුතරයක් වෙසෙන මීගමුවේ වාමාංශික දේශපාලනයක නිරතවීම නිසාත්, කතෝලික පල්ලිය වාමාංශික දේශපාලනය ආගමික නිදහස තහනම් කරන ව්‍යාපාරයක් ලෙස වැරදි වැටහීමක සිටි නිසාත්ය.

එමෙන්ම ඔහු කතෝලික පල්ලිය දේශීයකරණය වියයුතු බවත්, දේශීය භාෂාවන්ගේන් සියළු කටයුතු සිදුකළයුතු බවත්, නිදහස් අධ්‍යාපනයේ නිසි පල පිඩිත ජනයාට ලැබීමට නම් කතෝලික පාසැල් ජන සතුවිය යුතු බවත් සිතා කටයුතු කළේය.

ඔහුගේ මෙම ප්‍රතිපත්ති කතෝලික පල්ලියේ ප්‍රතිපත්තිවලට වඩා වෙනස්ම නිසාම, 1947 පැවති පළමු ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මැතිවරණයට සම සමාජ පක්ෂයෙන් මීගමුව ආසනයට තරගකල ඔහුව ඡන්ද 926කින් පරාජය කිරීමට හේතුවක්වු බවට තර්කයක් වේ. 

කතෝලික පල්ලියෙන් මෙන්ම ඇතැම් සිංහල-බෞද්ධ බලවේගවල හැරහීමටද මෙතුමා පත්විය, ඒ 1955 දී බණ්ඩාරනායකගේ භාෂා ප්‍රතිපත්තිය තීරණය කරන රැස්වීමකට පිලිප් ගුණවර්ධනගේ පක්ෂයෙන් සහභාගීවූ ඔහු ඒහිදී සිංහල භාෂාව රාජ්‍යය භාෂාව මෙන්ම දෙමළ භාෂාවද අඩුම තරමින් උතුරු-නැගෙනහිර රාජකාරී භාෂාව ලෙසවත් පිළිගත යුතුයැයි තර්කකල නිසාය. මේ සම්බන්දයෙන් 56 බලවේගයේ සිංහල-බෞද්ධවාදී ස්ථාවරය නියෝජනය කල මෙත්තානන්ද ආදීන් ඔහුව විවේචනය කලේ 'කතෝලික පල්ලියේ පිල්ලි විවිධ ස්වරූප දරන බවත්, සන්තියාගෝ ප්‍රනාන්දු ද තවත් කතෝලික පල්ලියේ පිල්ලියක්' බවත් දක්වමිනි.

මියයනතුරුම පිලිප් ගුණවර්ධනගේ මහජන එක්සත් පෙරමුණේ සභාපතිවරයා ලෙස කටයුතු කල මෙතුමාට 1989 දී එම පක්ෂයට ලැබුණ ජාතික මන්ත්‍රි අසුන පුදකළ මුත්, එය බරනොගත් මෙතුමා, තමා ජීවිතය පුරාම දේශපාලනය කලේ මන්ත්‍රිකම් වෙනුවෙන් නොවන බවත්, එය 85 හැවිරිදි තමාට වඩා තරුණයකුට දෙන ලෙසත් ඉල්ලා සිටින ලදී. එයින් ප්‍රයෝජනය ගත් පක්ෂ නායක දිනේෂ් ගුණවර්ධන එය සිය සහෝදරයා වන ගිතාංජන ගුණවර්ධනට ලබාදී මහජන එක්සත් පෙරමුණ තුල සිය පවුලේ බලය තහවුරු කරගන්නා ලදී. 

1986 දී මෙතුමා හමුවට පැමිණි එවකට අගරදගුරුවරයා වූ ගරු නිකලස් මාකස් ප්‍රනාන්දු බිෂෝප්වරයා ඇතුළු කතෝලික පුජකවරු පිරිසක්, ඔහු සම්බන්දයෙන් කතෝලික පල්ලිය අනුගමනය කල ප්‍රතිපත්තිය වැරදි බවත් ඒවෙනුවෙන් සමාවෙන ලෙසත් ඉල්ලා සිටින ලදී. 

ඔහු ද කතෝලික පාසැල් ජනසතුවීම නිසා කිසිම සෙතක් නොවු බව පිළිගන්නා ලදී. ඔහු මියයාමට ප්‍රථම කතෝලික පල්ලිය 'කතෝලික ජන ප්‍රසාද' සම්මානය ඔහුට ලබදෙන ලදී. 

එතුමාගේ ආභාෂය ලද ලංකා සම සමාජ පක්ෂයෙන් මීගමුව ආසනය නියෝජනය කල හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි හෙක්ටර් ප්‍රනාන්දු මෙන්ම නොයෙකුත් තාඩන පීඩනවලට ලක්වෙමින් ශ්‍රී ලංකාවේ අතුරුදහන් වුවන්ගේ සංවිධානයේ කැදවුම්කරු ලෙස කටයුතු කරන බ්‍රිටෝ ප්‍රනාන්දු ද, එක්සත් කම්කරු සම්මේලනයේ කැදවුම්කරු ලීනස් ජයතිලක, ඇතුළු කතෝලික පුද්ගලයන් රාශියක් තවදුරටත් එතුමාගේම අඩිපාරේ ගිය බව පෙනේ. 

හිටපු මහ අධිකරණ විනිසූරු W. T. A ලෙස්ලි ප්‍රනාන්දු මහතා මෙතුමාගේ පුත්‍රයාය. 

මාකස් ප්‍රියන්ත පෙරේරා 
02/11/2014

2 comments: