This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Saturday, 12 March 2016

ණය උගුල යනු JRලා, ප්‍රේමදාසලා හිටගෙන කරපුදේ මහින්ද දුවදුව කරන්න ගොස් කරඇති වින්නැහිය!!!

ශ්‍රී ලංකාව ණය උගුලක පැටලී ඇතිබව අගමැතිවරයා පාර්ලිමේන්තුව ඔස්සේ රටට කියන ලදී. රට මෙන්ම රටේ වැඩිදෙනාද ණයකාරයෝ බව හැමෝම දනිති. මිනිස්සු ගෙවල්දොරවල් හදන්න, ඉඩකඩම්, නිවාස, බඩුමුට්ටු, යාන-වාහන, හරකබාන, යන්ත්‍රසූත්‍ර ගන්න පමණක් නොව හදිස්සි අවශ්‍යතා වෙනුවෙන්ද, උත්සව මෙන්ම එදිනෙදා කටයුතු වෙනුවෙන්ද ණය ගනිති. රටක් ලෙස ලංකාවද එයට වෙනස් නැත. ඒ අවශ්‍ය දේවල් කිරීමට අවශ්‍ය තරම් ආදායම් සහ වත්කම් නැති නිසාය. රට මෙන්ම රටේ වැසියන්ද ආදායමේ හැටියට ජීවත්වීමට මෙන්ම ආදායමේ හැටියට වියදම් කිරීමටද නොදනිති. එය ලංකාවේ පමනක් නොවේ ලෝකයේ බොහෝ දෙනාගේ මෙන්ම බොහෝ රටවලද ප්‍රශ්නයකි. 

වසර 400කට පමණ පෙර ලෝකයේ බොහෝ රටවල පැවතියේ ප්‍රදේශ වශයෙන් ගොඩනැගුන ස්වයන් පෝෂිත සරල ආර්ථික ඒකකයන්ය. එහෙත් ධනවාදයත්, කාර්මික විප්ලවයත්, යටත්විජිතකරණයත් තුල එම ආර්ථික ඒකක කුඩුපට්ටම්කර අද ඇති සංකීර්ණ, ආශාවන් සහ අවශ්‍යතාවන්ගෙන් අනූන, එකක් අනෙක මත යැපෙන ආර්ථික ඒකකයන් බිහිකර ඇති බව නොරහසකි. මෙම ක්‍රමය තුල අපේක්ෂාකරනුයේ ආශාවන් සහ අවශ්‍යතාවන් පුළුවන් තරම් සර්ත්පනය කිරීම හෙවත් භාණ්ඩ සහ සේවාවන් උපරිම ලෙස පාරිභෝජනය කිරීමය. එසේ කිරීමට නම්  වියදම් කල යුතුය. නුතන සංවර්ධන ක්‍රියාවලිය තුල බොහෝදුරට සිදුව ඇත්තේ මෙම පාරිභෝජන ක්‍රියාවලියට තවදුරටත් පහසුකම් සැපයීම සහ ඇති බාධා ඉවත්කර  එයට හැකිතරම් ඉඩකඩ සැපයීමය. මෙම ක්‍රියාවලිය තුල පුද්ගලයා යනු පාරිභෝගිකයා නම් ජීවියාය. රටක් යනු එවැනි පාරිභෝගිකයන් රාශියකගේ වාස භූමියය. ඒ අනුව මෙම සංවර්ධන ක්‍රියාවලිය තුල බලාපොරොත්තු වනුයේ පාරිභෝගිකයාගේ මිලදී ගැනීමේ හැකියාව හෙවත් ක්‍රයශක්තිය තවදුරටත් නොනසා පවත්වාගෙන යෑමට හැකි ලෙස ඔවුන් නඩත්තු කිරීමය.  ණය දීම සහ ණය ගැනීම යන දෙකම මෙම ක්‍රියාවලියේ එක් දිගුවකි. 

මෙම සංවර්ධන ක්‍රියාවලියේ එක් කූටප්‍රාප්තියක් වනුයේ  1977 දී බලයට පැමිණි J R ජයවර්ධනගේ රජය හදුන්වාදුන් 'විවෘත ආර්ථික සංවර්ධන මොඩලයය.' එය ලංකාව යටත්විජිත පාලකයන්ටත් වඩා මුළුමනින්ම ලෝක ආර්ථිකය මත ඇති රැදියාව වැඩි කලේය. ඔවුන් හදුන්වාදුන් මෙම 'සංවර්ධන' ක්‍රියාවලිය තවදුරත් විෂම පාරිභෝජන ක්‍රියාවලියට පහසුකම් සැපයීමත්, එයට ඇති බාධා ඉවත් කිරීමත්  හැකිතරම් ඉලක්ක කර ගත්තකි. මෙම ක්‍රියාවලිය තුල අවශ්‍ය දේශපාලන බලය නඩත්තු කිරීමට සිය පක්ෂිකයන් වෙනුවෙන් මෙන්ම විවිධ ක්ෂේත්‍රවලට ධනය යම් ආකාරයට බෙදාහැරීමද, සංවර්ධන පුරාජේරුව පෙන්වීම සදහා සංදර්ශන කෙරුවාවද අඩුවක් නැවතිව පවත්වාගෙන යන ලදී. 

මේ සියල්ල සිදු කරන්නේ පොළියට අරන් පෙනුමට වැඩකිරීම තුල බව කවුරුත් දැන සිටියද  සියල්ලෝම එහි වසගයට ප්‍රිය කරති.

මහින්ද කලේ  JRලා, ප්‍රේමදාසලා, චන්ද්‍රිකාලා කල දෙයම වඩා වේගයෙන්, වඩා හොදට කිරීමය. ඔහුට මෙම ක්‍රියාවලිය වඩා හොදට කර ඉතිහාසගතවීමට තිබූ හදිස්සියත්, ඉහත සංවර්ධන ක්‍රියාවලියට තිබු ප්‍රධාන බාදකය වූ LTTEය සමුල ඝාතනය කිරීම තුල ඇතිකරගත් අවකාශයත් මත අන් සියල්ලන්ටම වඩා ණය ගත් පාලකයා බවට පත්වූයේ ඔහුය. එහෙත් ඔහු කලේද JRලා, ප්‍රේමදාසලා, චන්ද්‍රිකාලාගේ සංවර්ධන ක්‍රියාවලියම ඔවුන්ට වඩා හොදට, ඊට වඩා වැඩි වේගයෙන් කරගෙන යෑමය. JRලා, ප්‍රේමදාසලා, චන්ද්‍රිකාලා    හිටගෙන කරපුදේ මහින්ද දුවදුව කරන්න ගොස් කර ඇති වින්නැහිය යනුවෙන් දැක්වුයේ එයය. 

එදා JRලා, ප්‍රේමදාසලා, චන්ද්‍රිකාලා    හිටගෙන කරපුදේ මහින්ද දුවදුව කල සේම අද රනිල් වික්‍රමසිංහ ඉදගෙන කරන්න හදන්නේද එයමය. 

මෙගා පොලිස් හෝ වේවා පොට්සිටි හෝ වේවා මේ කුමන නමකින් හෝ වේවා දැන් සිදුවෙන්නෙත් එය ක්‍රියාවලියමය. ණය උගුල කෙසේවෙතත් ඔය සියල්ලටම තවතවත් ණය  ගැනීමට නියමිතය. ඊළගට මේ කෙරුවාව වඩාත් හොදට කරන්නේ තමන්යැයි කීමට චම්පික රණවක ද දැන් පෙරට පැමිණෙමින් සිටී. 

මේ ණය අර්බුධයෙන් ගොඩ ඒමට නම් මේ විකාර සංවර්ධනය ක්‍රියාවලිය වෙනස් විය යුතුය. සංවර්ධනයේ අරමුණ විය යුත්තේ මහ ජනයාට වඩා හිතකර, දැරිය හැකි සමාජයක ජීවත්වීමට ඉඩකඩ සලසාදීම මිස  ඔවුන් තවදුරටත් මෙම විෂම පරිභෝජන රටාව තුල නන්නත්තාර කිරීම නොවේ. ඒහින් විශාල සිහින පසුපස හබායෑම වෙනුවට පියවි ලෝකයේ සුන්දරත්වය විදිමින් ජනයාට සරලව, සාමුහිකවශයෙන් එක්ව සාධාරණ සමාජයක ජීවත්වීමට ඉඩකට සැකසීම මේ ණය උගුල්වලින් මිදීමට ඇති හොදම මගය. 
මාකස් ප්‍රියන්ත පෙරේරා
12/03/2016.

No comments:

Post a Comment