This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Monday 18 September 2017

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මෙතනින් කොතැනටද?


ශ්‍රී ලංකා ගුවන් විදුලිය සංස්ථාව දේශපාලන පත්වීම ලබාදෙන ආයතනයක් හෝ පාලක පක්ෂයේ දේශපාලන  අඩහැරයක ලෙස භාවිතා කිරීම දැන්  කාලයක් තිස්සේම  දකින්නට  ලැබෙන්නකි.  දේශපාලන පත්වීම් ලබාගෙන පැමිණි බොහෝ දෙනෙකුගේ සාමාන්‍ය සම්ප්‍රදායවුයේද  සිය පත්වීම ලබාදුන් පාලකයන්ට රෙදි නැතිව කඩේ යෑමය. මහින්ද රාජපක්ෂ සමයේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයාවූ හඩ්සන් සමරසිංහ එහි අශ්ශීලම උදාහරණය බව  අමුතුවෙන් කිවයුතු නැත. ඔහු නැවත ගෝඨාභය යුගයේද පත්කිරීම රට නැවතත් ආපස්සට යෑමක්  ලෙසද සලකන්නෝ සිටිති. යහපාලන යුගයේදී ගුවන් විදුලියට  කෙලින්ම  සම්බන්දව  නොසිටි සුදර්ශන ගුණවර්ධන එහි සභාපති ලෙස පත්කළේය. ඔහු ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව නැවත ශ්‍රාවකයන් අතරට ගෙනයෑම සදහා උත්සහයක් දැරීය. රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීකයෙකුවූ සුදර්ශන ගුණවර්ධන පසුගිය මහින්ද රාජපක්ෂ පාලනයට එරෙහිව ගොනුවූ මුල්ම දේශපාලන ක්‍රියාකාරීත්වයන්ගෙන් එකක් ලෙස සැලකිය හැකි 'නිදහසේ වේදිකාව' නම් රාජ්‍ය නොවන සහ සමාජ-දේශපාලන ක්‍රියාකාරීන්ගේ එකතුව ගොඩනගා ගනිමින් පසුගිය යහපාලන රජය බලයට ගෙන ඒම සදහා  දායකවුයෙකි. එම නිසාම ඔහු ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති පුටුවට පත්වීම දේශපාලන පත්වීමක් ලෙස සැලකිය හැක. 

දේශපාලන පත්වීම් අනුව මාධ්‍ය ආයතනවලට පත්වන්නන්ට යම් දේශපාලන න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කිරීමට පැවරී ඇති බව පැහැදිලිය. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා වශයෙන් පත්වූ  හඩ්සන් සමරසිංහ මහතාට මෙන්ම  සුදර්ශන ගුණවර්ධන මහතාටද එය පොදු කාරණයක්ව තිබුණි. එහෙත්, එම තත්වයන් යට‍තේවුවද මහජනයාගේ බදු මුදලින් නඩත්තුවන මහජන දේපලක්වන ශ්‍රී ලංකා ගුවන්විදුලිය ඔස්සේ ශ්‍රී ලාංකීකයන් හරවත් යමක් වෙත යොමුකරවීමට ඔවුන් දැඩි ප්‍රයත්නයක නිරතවනු දැකීම අසන්නන්ගේ අපේක්ෂාවය. එවැනි උත්සහයන් පැහැදිලිවම අගය කලයුත්තය.  

අතොරක් නැතිව ඇසෙන FM ගුවන් විදුලි නාලිකා විසින් විකල් කරඇති සිංහල ශ්‍රාවකයන්ගේ කණට මිහිරි ගීත සහ සංගීත වැඩසටහන් ඔස්සේ අවතීරණ වෙමින් කලක් ශ්‍රී ලංකා ගුවන්විදුලිය හිමිකරගෙන තිබු වපසරිය නැවත දිනාගැනීමට කටයුතු කරන අතරම අසන්නන්ට බුද්ධිමය විමංසාවක් ඇති කිරීම සදහා විවිධ සංවාද වැඩසටහන් හදුන්වාදීමටත්, පැවති සුභාරතී වැනි වැඩසටහන් නවතාවයකින් යුතුව ඉදිරිපත් කිරීමටත් සුදර්ශන ගුවනවර්ධන සභාපතිව සිටියදී  කටයුතු කලේය.  එවැනි  වැඩසටහනකට  2017  අගෝස්තු 12වෙනි සෙනසුරාදා මමද සහභාගිවුවෙමි. එහිදී සාකච්ඡාවට ලක්කරන කාරණා සම්බන්දයෙන් පක්ෂ-විපක්ෂ සියළු මතයන් ඉදිරිපත් කිරීමට සැලකියයුතු ඉඩප්‍රස්ථාවක් සලසාදීමට කටයුතු කලබවක් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සුභාරතී වැඩසටහන උස්සේ විකාශනයවූ '1953 හර්තාලය' සම්බන්දයෙන්වූ වැඩසටහනට සම්බන්දවූ මට අත්දැකීමෙන්ම දැකගත හැකිවිය. (එම වැඩසටහන පිළිබදව මා පසුව සටහන් කිරීමට  අපේක්ෂා කරන බැවින් වැඩියමක් මම මේ මොහොතේ නොලියමි.)   
    
එම කාලයේදී ශ්‍රී ලංකා ගුවන් විදුලිය ඔස්සේ ප්‍රචාරයවූ වැඩසටහන් ඔස්සේ ප්‍රකාශවූ  එක් ප්‍රධාන කාරණයක් තිබේ. ඒ වෙනකක් නොව ශ්‍රී ලංකා ගුවන් විදුලිය යනු මහජනයාගේ බදු මුදලින් නඩත්තුවෙන, මහජන දේපලක් මිස පාලක පක්ෂයේ හොරණෑවක් නොවන බවය. මෙතෙක් ශ්‍රී ලංකා ගුවන් විදුලිය මහජනයාට අවබෝධකර නොදුන් එම   සත්‍යය එම කාලයේදී ගුවන් විදුලිය ඔස්සේම මහජනයාට පසක්කරදීමට  කටයුතු කරමින් සිටී. ගුවන් විදුලිය පමණක් නොව ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවද, ස්වාධීන රූපවාහිනියද මහජනයාගේ බදු මුදලින් නඩත්තුවෙන මහජන දේපලකි. 

බ්‍රිතාන්‍යයේ නම් BBCය යනු මහජනයා ගෙවන බදුවලින් නඩත්තුවෙන මහජන දේපළක් බව එරට ජනයා නිතැතින්ම දනී. ඒ  මන්දයත් වසරේ සෑම ජනවාරියකම TV license නම් බද්දක් ගෙවීමට එරට වැසියන්ගෙන් අතිබහුතරයකට සිදුවන නිසාය. එක නිවසකින් බ්‍රිතාන්‍ය පවුම් 147ක් ලෙස අයකර ගන්නා TV license බද්ද ඔස්සේ එකතුවෙන බිලියන ගණනක මුදල  BBC 01/ BBC 02 යන රූපවාහිනී නාලිකාවලට පමණක් නොව BBC රේඩියෝ 01/02/ 03/04, Classic FM සහ BBC ලෝක සේවය (BBC World Service) ආදියට වියදම් කල ආකාරය එරට මහජනයාට දැකගත හැකිය. එම මුදල්වලින් ප්‍රවෘත්ති, විශිෂ්ඨ ළමා වැඩසටහන්, සංගීත වැඩසටහන්, වාර්තා වැඩසටහන්, David Attenborough ආදීන් ඉදිරිපත් කරන  ස්වභාව ධර්මය සහ සත්ව චර්යාව පිලිබදව සැකසු සුවිශේෂී නිර්මාණ ආදිය නිෂ්පාදනය කර ඉදිරිපත් කෙරේ. එමගින් මහජනයාගෙන් අයකරන බදු මුදලට සාධාරණ සේවයක් සපයන අතරම ඉංග්‍රීසි භාෂාව, බ්‍රිතාන්‍යය අනන්‍යතාවය ආදිය පමණක් නොව බ්‍රිතාන්‍යය ආදිපත්‍යයේ සලකුණද ලොව පුරාම ඔසවා තැබීමට  BBC රූපවාහිනී සහ ගුවන් විදුලි නාලිකාද එකසේ කටයුතු කරයි.   

එහෙත්, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව පමණක් නොව ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවද මහජනයාගේ බදු මුදල්වලට වගකියන, එම බදු මුදල් යොදවා මහජනයාගේ රසඥතාවයන් පුළුල්කරන, සමාජ විඥානයන් අවධිකරන, දැනුම ගැන සාපාසිතවුවන් බෝකිරීමට සමත් වැඩසටහන් නිෂ්පාදනය කරන ආයතනද යන්න ප්‍රශ්නයක් වී තිබුණි. සුදර්ශන ගුණවර්ධන මහතාගේ සභාපතීත්වය යටතේ ශ්‍රී ලංකා  ගුවන් විදුලිය එම ප්‍රශ්ණය සාකච්ඡාවට ලක්කිරීම වැදගත්ය. ජාතික රූපවාහිනිය වැනි වෙනත් මහජනයාගේ බදු මුදලින් නඩත්තුවෙන රජයේ මාධ්‍ය ආයතන තුලින්ද,  අනෙකුත් රාජ්‍ය ආයතන තුලින්ද  මහජනයා ගෙවන බදු මුදලට සරිලන  සේවයක් සපයන්නේදැයි යන සාකච්ඡාව ශ්‍රී ලංකා ගුවන් විදුලිය  ඔස්සේ මතුකිරීමට හැකි නම් එය ඊටත් වඩා වැදගත්ය. 

එවිට ශ්‍රී ලංකා ගුවන් විදුලිය යනු 'ඇහැවුවත් සල්ලි දෙන, නැතොත් නින්දවත් නොදෙන', අසන්නාගේ කණත්, හිතත්, කැමැත්තත් සියල්ල ලාභයන් බවට පත්කරගන්නා FM මුදලිලාගේ මඩිය තරකරන තවත් FM එකක් වැනි ගුවන් විදුලි මගඩියක් නොවන බව අසන්නන් පසක්වෙනු ඇත. ශ්‍රී ලංකා ගුවන් විදුලිය යනු එවැන්නක් නොව මහජනයාගේ ප්‍රශ්න සාකච්ඡා කරන, ජන විඥානයන් පුළුල් කරන, මහජනයාගේ රසඥතාවයන් තීව්‍රකරන, දැනුම බෙදාහරින  මහජන ආයතනයක් බවට පත්වෙන විට එය රැකගැනීමට දහසක් අත් එසවෙනු නියතය. මහජනයාගේ දෙයක් බවට පත්කිරීමෙන් තොරව කිසිදු මහජන දේපලක් රැකගැනීමට ජනයා ඉදිරිපත්වන්නේ නැත. ශ්‍රී ලංකා ගුවන් විදුලියද සම්බන්දයෙන්ද එම සත්‍යය පොදුය. 
BBC රේඩියෝවට සමකාලීනව 1925 දී Edward Harper නම් බ්‍රිතාන්‍යය ජාතික විසින් Radio Ceylon ගුවන් විදුලි සේවය ආරම්භකරන විට එය බ්‍රිතාන්‍යය, ජර්මනිය සහ ඔස්ට්‍රේලියාව යන රටවල හදුන්වාදුන් මහජන සන්නිවේදනය (public broadcasting) නම් අරමුණ පෙරදැරිකර ගනිමින් ක්‍රියාත්මක වුවකි. එය 1967 අංක 37 පනත යටතේ 'Ceylon broadcasting corporation' වී,  පසුව 1972 දී  Sri Lanka Broadcasting Corporation බවට පත්විය. 

ඇත්තවශයෙන්ම, ශ්‍රී ලාංකා ගුවන් විදුලිය Radio Ceylon ලෙස පැවති කාලයේදී සහ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව බවට පත්වී ක්‍රියාත්මක වූ මුල් වසර 10ක-15ක කාලයේදී  එය ලංකාවේ පමණක් නොව දකුණු ආසියාවේම පතාක යෝධයෙක්ව සිටියහ. සිංහල, ඉංග්‍රීසි, දෙමළ, හින්දි, මලයාලම්, තෙලිගු සහ කර්ණාටක භාෂාවලින් වැඩසටහන් ප්‍රචාරයකල Radio Ceylonනය ශ්‍රී ලංකාවේ සිට කිලෝමීටර් 2000කට එපිටි පිහිටි එවරස්ට් කන්දට පවා ඇසුන බවත්,  එවරස්ට් කන්ද මුදුනට (29/05/53) මුලින්ම නැගී එඩ්මන්ඩ් හිලරි සහ ටෙන්සින් නොර්ගයේ සිය කුඩා ගුවන් විදුලිය කරකැවූ විට මුලින්ම ඇසුන රේඩියෝව Radio Ceylonනය බවත්, එය දකුණු ආසියාවේ මිලියන සංබ්‍යාත ජනතාවක් සවන්දුන් රේඩියෝවක් බවත්, 'Panos' වෙබ්අඩවිය 10/22/2003 දින පලකල නාලක ගුණවර්ධන මහතාගේ  'Radio suffers as Colombo bosses call the shots' නම්  ලිපියේ මේසේ දැක්වේ: 

'Soon after conquering Mount Everest half a century ago, Edmund Hillary and Tenzing Norgay turned on their transistor radio and the first thing they heard was an overseas broadcast of Radio Ceylon, from more than 3,000 kilometres away. They joined millions of people across the Indian subcontinent who regularly tuned in to these broadcasts. A pioneer in broadcasting in Asia, Radio Ceylon for decades informed and entertained an overseas audience many times the population of Ceylon, now Sri Lanka....'

තවද, ලෝකප්‍රකට ගත්කතුවරයෙකු වන සලමන් රුෂ්ඩි (Salman Rushdie) 1999 මැයි 06 දින ඇමරිකානු Whole Earth සගරාවට Peter Kadzis සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවේදී දක්වා තිබුනේ තමා Radio Ceylonනයට හද පතුලින්ම ප්‍රණාමය පුදකරන බව දක්වා තිබේ. මන්දයත්, ඉන්දියානු ජාතිකවාදීන්ගේ නැගීමත් සමග ඉන්දියානුවන්ට ඉංග්‍රීසි සිංදුවක් ඇසීමටවත් මාධ්‍යක් නොවුන බවත්, ජාතිකවාදීන්ගේ පටු මතයන් පමණක් ඇසීමට සිදුවූ බවත්, එම නිසා ඔහුට තිබු එකම විකල්පය Radio Ceylonනය පමණක් බව දැක්වීය. Radio Ceylonනය ඉංග්‍රීසි ගීත සහ ඉංග්‍රීසි වැඩසටහන් විකාශනය කල,  දකුණු ආසියානු කලාපය තුල  වඩා පුළුල් සහ විවෘත මනසකින් පවත්වා ගෙන ගිය බව ඔහු පහත ආකාරයට දක්වා තිබේ: 

'I have to express my deep gratitude to what was then called Radio Ceylon. (Sri Lanka now.) It had a slightly more open attitude and did play Western music, so that's where I became familiar with all kinds of things that I could slightly regret, like the complete works of Ricky Nelson.....it [Radio Ceylon] had a rather more tolerant policy, and, yes, at the weekends, it would play a few hours of a Western hit-parade kind of program. That's where we first heard a lot of these songs....' 

මගේ පොත් රාක්කයේ ඇති සලමන් රුෂ්ඩි (Salman Rushdie) ගේ 'Midnight's Children' (2011) නවකතාවේ 226 පිටුවේ Radio Ceylon ගැන සදහන්වේ..//It was astonishing how soon fear left me; by morning, I was thinking, 'Man, this is better than All-India Radio, man; better than Radio Ceylon!'//

එලෙස පැවති ගුවන් විදුලි සේවයක් ඉන් දශක දෙකක් යන විට ක්ලැරන්ස් විජේවර්ධනගේ පවා ගීත විකාශනය කිරීම ප්‍රතික්‍ෂේප කල බව වර්තමානයේ පවත්වන ඕනෑම ක්ලැරන්ස් විජේවර්ධන උපහාර වැඩසටහනකදී අසන්නට ලැබෙන කරුණකි. 

දකුණු ආසියාවම වෙලාගත් විවිධ භාෂා ඔස්සේ විවිධ සංස්කෘතික වැඩසටහන් ඉදිරිපත්කල, දකුණු ඉන්දියානු කලාපයේ නුතනත්වයේ රේඩියෝව වූ Radio Ceylonනය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව වනවිට ශ්‍රී ලංකාවට පමණක් සීමාවූ, ශ්‍රී ලාංකිකයන් අතරින්ද අල්පවූ ශ්‍රාවකයින් පිරිසකට පමණක් වැඩසටහන් විකාශනය කරන ගුවන්විදුලි සේවයක් වීම කණගාටුවට කරුණකි. 

ගුවන් විදුලි සංස්ථාව දිනාගත යුතුව ඇති ස්ථානය හුදෙක් දේශීය ශ්‍රාවකයන් අතරින් පිරිසක් දිනාගැනීම නොවේ, එයට වඩා ඉහා ගිය තමන්ට අහිමිවූ කලාපයේ ප්‍රමුකයා වීමේ අභියෝගයය. සභාපතිවරයා වශයෙන් සුදර්ශන ගුණවර්ධන මහතාට එ සදහාවූ මූලෝපාය සැලැස්මක් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට ලබාදිය හැකිනම්, එවැනි ගමනාන්තයක් සදහා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව දිශාගත කළහැකි නම් එය ඔහු ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට කරන ලොකුම සේවය ය. එහිලා ශ්‍රී ලංකා ගුවන් සේවයට සැලකිය යුතු තරම් වටිනා සම්පත් කිහිපයක් ඉතිරිව ඇතැයි යන්න මගේ විශ්වාසයය. 

විශේෂයෙන්ම ගුවන් විදුලි සංස්ථාවේ තැටිගබඩාවේ ඇති දෙස්-විදෙස් රාජ්‍ය නායකයන්ගේ, සම්භවනීය පුද්ගලයන්ගේ, කලාකරුවන්ගේ විවිධ සම්මුඛ සාකච්ඡා නැවත විකාශනය කිරීමටත්, එම සාකච්ඡාව සම්බන්ධයෙන් නැවත සාකච්ඡාවක් ඇති කිරීමත් ඔස්සේ නිබදව විශාල අසන්නන් පිරිසක් දිනාගත හැක. එය සිංහල භාෂවෙන් පැවැත්වූ සම්මුඛ සාකච්චාවලට පමණක් සීමා නොවී ඉංග්‍රීසි සහ දෙමළ සම්මුඛ සාකච්ඡාවන්ද පරිවර්තනය කරමින් සිදුකල හැකිනම් තවත් අගනේය.

 එම ක්‍රියාමාර්ගයම විවිධ ගායක ගායිකාවන්ගේ ගීත සම්බන්දයේද අනුගමනය කලහැකි නම් අද අප අසන ගීතයන් හී මුල් නිර්මාණවල හැඩයත්, සංගීතයත්, එහි ඇති නිර්මාණශීලී භාවය පිලිබදවත් වඩා විදග්ධ සාකච්ඡවක් ඔස්සේ ලාංකීක ගීත නිර්මාණයන්ගේ ප්‍රභවය සහ ප්‍රභාවය පිළිබද පැහැදිලි අවබෝධයක් ජනයා අතරට පත්කල හැක.

BBC Proms මට්ටමේ ලා සැලකිය හැකි සංගීත සන්ධවනීය වැඩසටහන් Radio Ceylonනය යටතේ විකාශනය වී තිබේ. එවැනි වැඩසටහන් සුදුසු awasthawaka නැවත විකාශනය කල හැකිනම් සංගීතය පිළිබද ශ්‍රී ලාංකිකයන්ගේ නිම්වළලු පුළුල් කල හැක. 

එමෙන්ම ශ්‍රී ලංකා ගුවන් විදුලිය තුල ජය කෙහෙළි නැන්වූ වර්නන් කොරයා, පර්ල් ඔන්ඩ්ච්චි, ෂර්ලි පෙරේරා, බොබ් හාවී, අබ්දුල් හමීඩ්, S.P. මයිල්වාගනම්, තේවිස් ගුරුගේ, කරුණාරත්න අබේසේකර, මර්වින් ජයසුර්ය, විජය කොරයා ආදීන්ගේ නිවේදන ශෛලයන් නව පරපුරට හදුන්වාදීම සදහා ඔවුන් ඉදිරිපත්කල ඇතැම් වැඩසටහන් නැවත විකාශනය කල හැකිනම් හෝ ඒ සම්බන්ධයෙන් යම් ක්‍රියාමාර්ගයක් ගන්නේ නම් ගුවන් විදුලි සංස්ථාවේ නිවේදක/නිවේදිකාවන්ට පමණක් නොව වෙනත් ගුවන් විදුලි සහ රූපවාහිනී නිවේදක/නිවේදිකාවන්ට බොහොමයකට යම් පරිචයක් සහ ගුරුහරුකම් රාශියක් ලැබිය හැක. 

ශ්‍රී ලංකා ගුවන් විදුලිය අසන්නන් අතරට නැවත රැගෙන යෑම සදහා සුදර්ශන ගුණවර්ධන  සභාපතිව සිටියදී  හැකි තරම් සින්දු විකාශනය කිරීමට කටයුතු කලේය. එය පැහැදිලිවම ජනප්‍රිය FM නාලිකා සමග තරගයක් දීමේ අපේක්ෂාවෙන් දියත්වුවකි. එය එක් ආකාරයකින් ගත්කල හොද උපාය මාර්ගයක් ලෙස පෙනීයයි. එහෙත් මා විශ්වාස කරනුයේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව කලකට පෙර විකාශනය කල 'මුවන්පැලැස්ස' වැනි දුවන්විදුලි නාට්‍යයද,  ගීත කථා සහ පැරණි විනෝද කථා  නැවත ප්‍රචාරය කරන්නේ නම් විශාල අසන්නන් පිරිසක් නැවත දිනාගැනීමට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව සමත්වෙන බවය. මෙම උපායමාර්ගය බ්‍රිතාන්‍යයේ FM නාලිකා වල ජනප්‍රියත්ව අභිබවා BBC Radio නාලිකාවලට නැගී සිටීමට උපකාර වනලදී. අද BBC Radio නාලිකා යනු බ්‍රිතාන්‍යයේ වැසියන්ගෙන් බහුතරයක් සවන්දෙන Radio සේවාවන්ය. එම නිසාම බ්‍රිතාන්‍යයන් යනු රේඩියෝවට සවන් දෙන ජාතියක් යැයි (Radio nation) හදුන්වති. බොහෝ බ්‍රිතාන්‍යය ජාතිකයන් අවදිවෙන්නේද, වැඩට යෑමට, ළමුන් පාසැල් යැවීමට සුදානම් කරන්නේද, ඉවුම්-පිහුම්, ගේ-දොර කටයුතු කරනුයේද ගුවන් විදුලියට සවන් දෙමිනි. BBC රේඩියෝ වැඩසටහන්වල ඇති ඉහල ගුණත්වය එම ජනයාගේ රසිකත්වය සහ සමජානුයෝජනයේද, විචාරක බුද්ධියේ සහ දැනමුතුකමේද රහසවී ඇති බව මගේ නිරීක්ෂණයයි. 

තවද එරට ගුවන්විදුලියේ විකාශනය වන සියළු වැඩසටහන් ඇතුලත් Radio Times නම් සගරාවක් සෑම සතියේම බ්‍රිතාන්‍යයේ නිකුත්වේ. වෙළදපොලේ ඉතා ඉහල ඉල්ලුමක් ඇති එම සගරාව හොදින් අලෙවිවෙන සගරාවකි. එම සගරාව තුල අදාල සතිය තුල  විකාශනය කරන සියළු ගුවන් විදුලි වැඩසටහන්වල විස්තර පමණක් නොව රූපවාහිනී වැඩසටහන් වල විස්තරද, ඒ සම්බන්දයෙන් ඇතිවී ඇති සාකච්චාවන්ද,  සටහන් කර තිබේ. ශ්‍රී ලංකාවේද ඊට සමාන සගරාවක් 1953 දී මුද්‍රණය කර විකිණීමට නිකුත්කර තිබේ. එහෙත්  කාලයක් යනවිට එම සගරාව  මුද්‍රණය නොකර අතහැර දමා තිබේ.  නැවතත් එවැනි සගරාවක් මුද්‍රණය කර බෙදා හැරීමට අපහසු බව මම දනිමි. එහෙත්  විවිධ පුවත්පත්වලින් නිකුත්කරන රූපවාහිනී වැඩසටහන් ආදිය ගැනවූ අතිරේකයන් සමග රේඩියෝ වැඩසටහන් ගැන සදහන් පිටුවක්ද ඇතුල් කල හැකි නම් දැනට එයත් ප්‍රමාණවත්ය. 

ගෙදර රේඩියෝව නැවතත් වෙළද සේවයට සහ city fm නාලිකාවන්ට හරවන වැඩිහිටියන් කිහිදෙනෙකුම මම දුටිමි. ඒ ඔවුන්ගේ පැරණි  මතකයන්  නිසාය. මේ මොහොතේද එතෙර සිට අන්තර්ජාලය ඔස්සේ අපද ශ්‍රී ලංකා ගුවන් විදුලියට ඉඩක් ඇතිවිට සවන් දෙන්නෙමු. කලකට පෙර ශ්‍රී ලංකාව පමණක් නොව දකුණු ආසියාවම සිය ගුවන් විදුලි යාන්ත්‍රයන් Radio Ceylonනය ඇසීමට කැරකු ලෙස රටේ බොහෝ දෙනෙකු සිය  රසඥතාවයන් පුළුල්කරන, සමාජ විඥානයන් අවධිකරන, දැනුම ගැන සාපාසිතවුවන් බෝකිරීමට සමත් වැඩසටහන් විකාශනය කරන ආයතනයක් බවට පත්විය හැකි ශ්‍රී ලංකා ගුවන් විදුලියට සවන්දීමට පෙළගැසෙනු දැකීම මාගේ ප්‍රාර්ථන යයි. 

මාකස් ප්‍රියන්ත පෙරේරා.
18/09/2017.

4 comments:

  1. බීබීසිී ලෝක සේවයේ සංදේශය ආකෘතියේ වැඩසටහනක් කරන්න කියන්න

    ReplyDelete
  2. BBC සංදේශයේ ආකෘතිය සම්බන්දයෙන් විවිධ විවේචන තිබෙනවා. අවසාන වශයෙන් එයත් අසාර්ථක ව්‍යාපෘතියක් ලෙසයි නතරවුනේ. ඇත්තටම ඔය මොකවත් නෙමේ පැරණි Radio Ceylon එකෙන්ම හොද ආකෘතියක් සකසා ගන්න පුළුවන්. එහි සේවය කල වර්නන් කොරයා BBC ආයතනය තමන්ගේ උපදේශකයෙක් ලෙසත් බදවා ගන්නවා. එහෙම ඉතිහාසයක් තිබුණ තැනක් තමයි Radio Ceylon එක කියන්නේ.

    ReplyDelete
  3. ගුවන් විදුලි සාකච්ඡා වැඩ සටහන් ගැන තොරතුරු දන්වන්න..

    ReplyDelete
  4. සාකච්ඡා වැඩසටහන් කිව්වේ?

    ReplyDelete