This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Tuesday, 31 December 2019

Negombo Fort Ground's Carnival - කානිවල් නම් ඉතින් මීගමුව කොටුව පිට්ටනිය තමයි.

ඉස්සර නත්තල් කාලේ වෙද්දී මීගමුව කොටුව පිට්ටනියේ කානිවල් දානවා. රෑ එළිවෙනකම් සංගීත සංදර්ශන. නත්තල් කාලෙට විතරක් නෙමේ අවුරුද්දේ කිහිප සැරයක්ම ඔය පිට්ටනියේ විවිධ සැණකෙළි, සංගීත සංදර්ශන තියෙනවා. ඒ වගේම විවිධ පුද්ගලයෝ විවිධ වාර්තා තියන්න විවිධ දේවල් කලා ඔතන. වරක් ගිනස් වාර්ථාවක් තියන්න මිනිහෙක් ඔතන නොනවත්වා නැටුවා. මිනිස්සු සල්ලි කොළ අමුණලා මාල හදලා ඒ මිනිහට ගෙනත් දැම්මා. පාසල්වල නිවාස අන්තර ක්‍රීඩා උළෙලවල් විතරක් නෙමේ පාසැල් ළමුන් ක්‍රීඩා පුහුණුවුණේත් මේ කොටුව පිට්ටනියේ. නිදහස් දින සමරු උත්සව තිබ්බෙත් ඔතන. ජුබිටර්ස්, යුත් පාපන්දු කණ්ඩායම් පාපන්දු පුහුණුවුනෙත් ඔතන.

මේ කොටුව පට්ටනිය ක්‍රීඩා පිටියේ තිබුන මණ්ඩපයේ කාලයක් කිසිම නඩත්තුවක් නැතිව තිබිලා දැන් වහල බිමටම කඩාවැටිලා. පිට්ටනියේ තණකොළ කපන්නේත් නැහැ. සර්පයෝ ඉන්නත් පුළුවන් කියලා ළමයි සෙල්ලම් කරන්න එන්නෙත් බයෙන්.

කෝ මේ ලන්සලා? කෝ මේ මීගමුවේ නගරාධිපති දයාන් ලන්සා? අර දවසකට එක වැඩක් කිය කිය facebook එකේ පොටෝ දාගෙන මීගමුව හදනවා කිය කිය හිටිය දයාන් ලන්සා කෝ? මීගමුවේ මහා කතෝලිකයා තමන් යැයි කිය කිය ගිය නිමල් ලන්සා කෝ? මීගමුවෙන් චන්ද ගන්න සුදර්ශනීලා, ප්‍රසන්නලා කෝ? මීගමුව එක්සත් ජාතික පක්ෂයේ නව සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද තවම මේක දැක්කේ නැද්ද? මීගමුව නගර සභාව මේ ගැන මොකද කරන්නේ? ඈත ඉන්න අපිට පේන දේවල් ලග ඉන්න ඔයාලට පෙන්නේ නැද්ද? නැතිනම් උවමනාවක් නැද්ද?

මතක තියාගන්න, මීගමුව කැඩිලා බිදිලා, විනාශවෙලා යනවා දකින්න ඕනෑ තරම් මිනිස්සු ඉන්නවා එත් එක රැකගන්න ඉන්නේ කිහිපදෙනයි. ඒ නිසා ඒ ටිකවත් එකතුවෙලා, ඔය සමාගමකින් ආධාරයක් හරි අරන් ඕක හදන්න කටයුතු කරන්න. 

Long ago, this ground was famous for carnivals, funfairs and musical shows not only at Christmas time but throughout the year. People said there was no carnival better than Negombo Fort Ground's Carnival.

It was a playground for many kids, many sports and many inter-school sports competitions and sports meetings. It was the home ground to St. Mary's College, Newstead Girls College, Jupiters and Youth Football clubs of Negombo. I remember once a man tried to get the Guinness World Record of non-stop dancing. People rewarded him with a necklace of money.

That was exactly on this pavilion. Now due to the neglections, it's run down and the roof has fallen.

Where is our Mayor, Dayan Lanza? Can't he see this? Don't they want to repair it? Where is the MP, Nimal Lanza? And the new UNP organiser, Kavinda Jayawardena? And the other MPs who got the votes from Negombo? What about our Municipal Council? What are they going to do about it?

Please don't let the heritage of our glorious city of Negombo fall apart. We know many people who want to see that happen. Please don't allow them to succeed.

Let's join together and demand to keep our Negombo a safe, beautiful and glorious place again. Try to draw the attention of everybody to repair and restore this memorable pavilion and the Negombo Fort Ground.

Marcus Priyantha Perera.

Tuesday, 24 December 2019

නත්තලේ ජීව ගුණය අඩුකර නොගනිමු !!

මෙවර නත්තල් දිනයේදී මට කීමට ඇත්තේ අප කිසිසේත්ම නත්තලේ ඇති නත්තල් ජීව ගුණය අඩුකර නොගත යුතුය බවය. 

නත්තල යනු අපට ඇති මහගුම මංගල්‍යයයි. අප සමරණ අනෙකුත් සියලු මංගල්‍යයන්ට වඩා එය උසස්ය. උද්වේගකරය. විශිෂ්ඨතමවුත්, අති උදාරම වුත් මංගල්‍යයය. මන්දයත් ඒ අප සමරන්නේ මුළු මහත් මිනිස්  සංහතියටම විමුක්තිය රැගෙනා විශිෂ්ඨතම විමුක්තිදායකයාගේ උපතය. නත්තලේ උපන් ජේසු නොවන්නට අද ලෝකය මීටත් වඩා යහපත්, නිදහස් තැනක්වීමට ඉඩ තිබුණිද? සමාජය වඩා යහපත් තැනක් කිරීමට ක්‍රිස්තු ධර්මය මහත්පිටුවහලක් සපයා ඇත. අද අප භක්තිවිදීන සෑම මිනිස් අයිතිවාසිකමක්ම, නිදහසක්ම, පොදු සමාජ සත්තාවන්ද මෙම පරිමාණයෙන් හෝ අප වෙත පැමිණ ඇත්තේ අද අප නත්තල් දිනයේ  සමරණ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ධර්මය පැමිණීම ඔස්සේය. මුළු මිනිස් ඉතිහාසය පුරාම වඩාත් දීර්ගකාලීනව බලපවත්වන ලද විප්ලවයක්වුයේ නම් ඒ ජේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ධර්මය තහවුරුවීමය. අප සියල්ලන් අද එහි ප්‍රතිපල භුක්තිවිදින්නෝය.

ජේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ විමුක්තිදායක පණිවිඩය නොවන්නට අද අප මොනවගේ සමාජයක ජීවත්වෙන, මොනවගේ පුද්ගලයන්වීමට ඉඩ තිබුණිද? එය අප සියල්ලන් තනි තනිවම තම තමන්ගෙන් ඇසිය යුතු ප්‍රශ්නයකි. ක්‍රිස්තියානින් වුවද, නොවුවද, අප සියල්ලෝම ක්‍රිස්තු ධර්මය මතුකළ පොදු මිනිස් වටිනාකම්වල හරය විදින්නෝය. 

මුළු මිනිස් සමාජයටම එවැනි වෙනසක් ගෙනදුන් උදාර පුත්‍රයෙක්ගේ උපතක් සැමරීමේදී අප කිසිසේත්ම උකටලී වන්නො නොවෙමු. 

ඇත්ත, අපේ සහෝදර ජනයා පාස්කු ප්‍රහාරය නිසා විපතට පත්ව ඇත. මේ නත්තලේදීද ඔවුන් අප අතර නැති බව ඔවුන්ගේ පවුල්වලට මෙන්ම අපටද දැනේ. එහෙත් ලොවපුරාම ක්‍රිස්තුස් වහන්සේගේ විමුක්තිදායක සුභාරංචිය වෙනුවෙන් ලොව සෑම තැනම දිවිපිදු, සහ අදටත් දිවිපුදන දහසකුත් එකක් ප්‍රාණපරිත්‍යාගීන් අතර පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් අපේ ජනයාද සිටිනු බව දැක අපට ඔවුන් ගැන අභිමානයෙන් ඇතිවිය යුතුය. අද අප ජීවත්වෙන මේ ලෝක තලය වඩා යහපත් තැනක් කරගැනීමට දිවිපිදු ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ධර්මයේ උපත සමරණ නත්තල අපට ගෙන එම සදහා පුරාණයේ සිට දිවිපුජාකල ජනයා අතරට ඔවුන්වද ගැනෙන බව දැන අප සතුටු විය යුතුය. 

පාස්කු ප්‍රහාරය නිසා හෝ අබල දුබලතා නිසා හෝ අප කිසිසේත්ම නත්තලේ ඇති නත්තල් ජීවගුණය නැති කරගතයුතු නැත. නත්තල් ජීව ගුණය ඇත්තේ අපි අදින ඇදුමේවත්, කනබොන දේවලවත්, නත්තල් සැරසිලිවලවත් නොව අපේ සිත් තුලය. අප නත්තල් කියා සමරන්නේ ලස්සනට සරසා, ලස්සනට සැරසී, හොදට කෑම බීමෙන් සප්පායම්වීම නම් එය නත්තලක් නොව විවාහ මංගල්‍යයක් වැනි යමකි. නත්තල යනු ඊට වඩා උසස් මංගල්‍යයකි. උස්සම මංගල්‍යයය. මුළු මහත් සමාජ සත්තාවම වඩා යහපත් තැනක් කල, තවදුරටත් එසේ කිරීමට මගපෙන්වන මහගු විමුක්තිදායක සුභාරංචියක් ගෙනා විමුක්තිදායකගේ පැමිණීම සමරණ මංගල්‍යය. එය අප සැමරිය යුත්තේ තමන් වඩාත් ප්‍රේමාන්විතව ආදරය කරන, තමන්ගේ මුළු මහත් ජීවිතය ගොඩ දැමු, ඉන් එහා කෙනෙකු නොවූ තරම්වූ වීරයෙකුගේ පැමිණීම සමරණ ආකාරයට. 

එවැනි මහගු මංගල්‍යයක් 'මගේ නත්තල දුගියා බත්කන දාය, වැරහැලි නැතිවෙන දාය, පව පල්ලි යන දෑය', 'නත්තල යනු ආධ්‍යාත්මික භාවනාවකි', 'පාස්කු ප්‍රහාරය නිසා නත්තල සමරන්නේ නැහැ',නත්තල පුහු ආටෝපවලින් මුදාගනිමු' ආදී යෙදුම්වලට ලඝුකල නොහැක.  නත්තල තුල කිසිම ප්‍රතිගාමීත්වයකට ඉඩ නැත. එහි ඉඩ ඇත්තේ  ප්‍රගතිශීලීත්වයටය. විශිෂ්ඨ, උදාර, උද්වේගකර ප්‍රගතිශීලීත්වයටය. 

අවශ්‍යව ඇත්තේ ජේසුගේ උපත තුල මතුකරන විමුක්තියේ පණිවිඩය මතුකරගෙන සැබෑ සතුට අත්කර ගත හැකි, සැමට සතුටින් සිටිය හැකි සමාජ, දේශපාලනික, ආර්ථික සහ පාරිසරික වටපිටාවක් ගොඩනැගීමට ජව සම්පන්නව මැදිහත්විය හැකි උදාර, ප්‍රේමයෙන් යුතු පුද්ගලයින් මෙන්ම ජන සමාජයක් බවටද පත්වීමය. 

ඒ සදහා අප  නත්තලේ ඇති ජීවගුණය කිසිසේත්ම අඩුවීමට නොදී හැකි උපරිමයෙන්ම පවත්වා ගෙන යමු !!!

ඔබ සැමට සුභ නත්තලක් !!!!

මාකස් ප්‍රියන්ත පෙරේරා. 
24/12/2019

**** මාධ්‍යතන යුගයේ ඉතාලි චිත්‍ර ශිල්පියෙකුවූ Sandro Botticelli ගේ Mystic Nativity (1501) ඉහලින් වේ.  

Sunday, 22 December 2019

ගෝඨාභය ජනාධිපතිට, ආණඩුවට සහ ආරක්ෂක අංශවලට මල්මිටක්

චාල්ස් මහතා කරගෙන යන 'කදුල' වැඩසටහනට පසුගියදා මතුගම ප්‍රදේශයේ භික්ෂුන්ගෙන් විරෝධයක් එල්ලවුනා. බොදුබල සේනාවේ ඥානසාර හාමුදුරුවෝ ඒ ගැන මාධ්‍ය සාකච්චාවක් පවත්වමින් 'කදුල' වැඩසටහන මතුගම ප්‍රදේශයේ කරන්න දෙන්න එපා කියලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන්, ආණ්ඩුවෙන් සහ එය සංවිධානය කල ජගත් විතාන මහත්මයාගෙන් ඉල්ලා සිටියා. එත් එක නැවතුනේ නැහැ. ආණ්ඩුව පොලිසියේ සහ හමුදාවේ ආරක්ෂාව ලබා දුන්නා. බලාපොරොත්තු උනාටත් වඩා හොදට මතුගම 'කදුල' වැඩසටහන සාර්ථක වෙලා.

ඊට පස්සේ මඩකලපුවේ ඉවැන්ජලික් කණ්ඩායමක් කරන්න ගිය නත්තල් කැරොල් වැඩසටහනක ප්‍රචාරක වැඩවලට මඩකලපුවේ සුමන හාමුදුරුවෝ මැදිහත්වෙලා නවත්වන්න කරන උත්සහයක් ගැන වීඩියෝ එකක් සංසරණය වෙන බව දකින්න ලැබුණා. ඒ හිදී ඒ හාමුදුරුවෝ මේකේ ඉන්නේ කොටි, මුන් බලෙන් ආගම ප්‍රචාරය කරනවා වගේ විවිධ චෝදනා එල්ල කරපු නිසා පොලිසියට ගෙනවිත් කරුණු සොයා බලා තියෙනවා. පස්සේ ඒ කිතුනු කණ්ඩායමට තමන්ගේ වැඩේ කරගෙන යන්න පොලිසිය ඉඩ දීලා විතරක් නෙමේ ආරක්ෂාවත් සපයලා තියෙනවා.

මේ අවස්ථා දෙකේදීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජයෙන්, පොලිසියෙන් සහ හමුදාවෙන් ලබාදුන් සහයෝගයට අපි ස්තූතිවන්ත විය යුතුයි.

ඒ වගේම ඉහත අවස්ථා දෙකේදීම අර හාමුරුවරු රටේ නීතිය අතට ගන්නටත්, ඊට පිටින් කටයුතු කිරීමටත්, ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහතිකකර ඇති අන්ආගමිකයන්ට ඇති නිදහස උල්ලංඝනය කිරීමටත්, රජය සහ ආණ්ඩුව අපහසුවට පත්කිරීමටත් කටයුතු කර තිබෙනවා. මේ තත්වය තවදුරටත් වර්ධනයවීමට නොදී යම් ක්‍රියාමාර්ගයකට එළබෙන්නේ නම් මැනවි.

මාකස් ප්‍රියන්ත පෙරේරා 
20/12/2019

Thursday, 12 December 2019

'ලෝක විවාහක රූ රැජින' කැරෝලයින් ජුරි සහ 'අපේ උරුමය'


මම ඔය රූපරැජින තරගවලින් දිනන්නේ කවුද කියන ගැන උනන්දු නැත, ඒවායින් ප්‍රවර්ධනය (promote) කරන්නේ මොනවාද යන්න ගැන තමයි මා වඩාත් උන්නදු. මේ වසරේ 'විවාහක රූ රැජින' ලංකාවේනුත්, 'විශ්ව රූ රැජින' දකුණු අප්‍රිකාවෙනුත් තෝරාගත්තා. ඒ අය ගැන ලියා තිබු දේවල් අතර ඒ අයගේ සමේ පැහැය ගැනද සදහන් කර තිබෙනු දුටුවෙමි. එය ඇතැම්විට රූපලාවන්‍ය ආලේපන වර්ග ප්‍රවර්ධනය සහ එකී නිෂ්පාදනවල ඊලග වෙළද පොළ ගැන දක්වන ඉගිකිරීමක්ද විය හැක.

ඒ වගේම මා උනන්දු තවත් දෙයක් තිබේ. ඒ විශේෂයෙන්ම ලංකාවේ කැරෝලයින් ජුරි (Caroline Jurie) ගැනය. මුලික වශයෙන්ම ඇය ජයග්‍රහණයෙන් අනතුරුව සිදුකල ප්‍රකාශයක් ගැනය: “I'm so honored to share my heritage and culture on the global stage”.

ක්‍රිස්තියානි, බර්ගර්, නම කියුවිට ද ලංකාවේ කෙනෙක් වගේ නෙමේ යැයි හිතෙන 'කැරෝලයින් ජුරි' (Caroline Jurie) මගේ "උරුමය" (heritage) සහ "සංස්කෘතිය"(culture) "ගෝලීය තලයට (global stag) ගෙන යෑමට ලැබීම භාග්‍යයක්" ලෙස සලකන බව එම ප්‍රකාශයෙන් දක්වා තිබුණි. ඇත්තටම, ඇය එයින් අදහස් කර තිබුනේ කුමක්ද? ඇය කියන 'උරුමය' සහ 'සංස්කෘතිය' කුමක්ද? කලින් කියූ ලෙස මගේ උනන්දුව ඇත්තේ ඒ ගැනය. ජයග්‍රහණයෙන් අනතුරුව ඇය ඇගේ Facebook profile පින්තුරය යාවත්කාලීන කරමින් මෙසේ දක්වා තිබුණි: ''All Glory to Jesus"!!! එය ඇය දක්වා ලූ ඇගේ 'උරුමය' සහ 'සංස්කෘතිය' කුමක්ද යන්න ගැන විස්තර කිරීමක්ද?

එය එසේය. ලංකාවට පැමිණි පසුව ඇය සිදුකල ප්‍රථම මාධ්‍ය සාකච්චාවේදීම සිය ආගම අනුව දෙවියන් පසසමින් ඇය ඇගේ සංස්කෘතික අනන්‍යතාවය ගැන පැහැදිලි අදහසක් ඉදිරිපත් කරන ලදී. එහෙත්, එම මාධ්‍ය සාකච්චාවේදී ඇය දෙවියන් පසසමින් කල ප්‍රකාශය ලංකාවේ කිසිදු මාධ්‍යකින් නොපෙන්වීමට ශ්‍රී ලංකාවේ විද්‍යත් මාධ්‍ය කටයුතු කරන ලදී. 

එයට හේතුව ඇය නියෝජනය කරන අනන්‍යතාවය ලංකාවේ මේ වනවිට ගොඩ නැගෙමින් ඇති 'සිංහල-බෞද්ධ ජාතික අනන්‍යතාවය' සමග  අනන්‍ය නොවීමද?

මේවන විට ශ්‍රී ලාංකීක  අනන්‍යතාවය 'සිංහල-බෞද්ධ' අනන්‍යතාවය තුල පමණක් ලඝු කිරීමට උත්සහයක් ඇති බව පැහැදිලිව පෙනීයයි. ඒ සමග අනෙක් අනන්‍යතා සහිත පිරිස් සිංහල බෞද්ධයාට තර්ජනයක් ලෙස සලකා ඔවුන් ලාංකීක සමාජයේ පිටස්තරයන් ලෙස සලකන තත්වයක්ද ක්‍රමයෙන් මතුවෙමින් තිබේ.  ක්‍රිස්තියානි / බර්ගර් අනන්‍යතාවයක් සහිත පිරිස් 'සිංහල-බෞද්ධ' සංස්කෘතිය කාදමන ''පරදේසක්කාර විලිසංගෙ නැති සංකර'' පිරිසක් ලෙසද, මුස්ලිම් නම් 'ආක්‍රමණිකයන්' පිරිසක් ලෙසද, දෙමළ නම් රට බෙදන ඩයස්පෝරාවේ එකෙක් ලෙසද සලකන තත්වයක් උද්ගතවී තිබේ.

යටත් විජිත පාලකයින් යටතේ 'සිංහල-බෞද්ධ උරුමය' විනාෂවුවා යැයි දක්වමින් ගොඩනැගු 'සිංහල-බෞද්ධ' ස්වොත්තමවාදී ව්‍යාපෘතිවල අවසාන ඉලක්කය වී ඇත්තේ ශ්‍රී ලංකාව සිංහල-බෞද්ධ රටක් බවට පත්කරගැනීමය. එහිදී 'සිංහල-බෞද්ධ' නොවන දෙමළ, මුස්ලිම් සහ ක්‍රිස්තියානි ඇතුළු අනෙක් සියළු ජන කොටස් පිටස්තරයන් ලෙස දැක්වීම පියවරෙන් පියවර සිදුවුවකි. දැන් එය එසේ කිරීම, එසේ සිතීම පවා රටේ ජාතිමාපක, දේශමාපක, දේශප්‍රේමීත්වයේ අනිවාර්ය ලක්ෂණයක් බවට පත්වී තිබේ. එය අනෙක් ජනකොටස්වලට සෑම අතින්ම අහිතකර ලෙස බලපානවා පමණක් නොව, ලංකාවට දියුණු රටක් ලෙස නැගී සිටීමට ඇති ඉඩත් සීමා කර ඇත.

මා ලියන්නේ මහජාතියේ එකී වර්ගවාදී, ජාතිවාදී, ආගම්වාදී, අධිපතිවාදී (hegemonic) ව්‍යාපෘතියට විරුද්ධවය. ඒකී ප්‍රවාහය විසින් යටපත්කර සම්පුර්ණයෙන්ම අතුගා දැමීමට දගලන චූල, (මීගමුව වැනි) ප්‍රාදේශීය, ප්‍රගතිශීලි අනන්‍යතාවයන් මතුකරලීම සදහාය. ඒක-වාර්ගික අනන්‍යතාවයක් මුල්කරගෙන දියත් වෙන වාර්ගික-ජාතිකවාදී (ethno-nationalism) ප්‍රවණතා මෙන්ම එය යටතේ ඉදිරියට පැමිණ ඇති 'වාර්ගික ජාතික රාජ්‍ය ගොඩනැගීමේ ව්‍යාපෘතියද (ethno-cultural nation-state building projects) පරාජය කලයුතුය. 

කිසිවෙකු ඉහතකී මහජාතියේ, වර්ගවාදී, ජාතිවාදී, ආගම්වාදී, අධිපතිවාදී (hegemonic) ව්‍යාපෘතියට වඩ වඩා අනන්‍ය වෙන තරමට ඔවුනට මා හතුරෙකු ලෙස පෙනීයාම සිදුවන බව මම දනිමි. එහෙත් මම දේශපාලනය ලෙස දකිනුයේ 'රාජ්‍ය' සහ 'බලයට' ප්‍රතිචාර දැක්වීමය. එහෙයින් පුද්ගලයන් සමග පැටලීම අනවශ්‍ය. අඩුම වශයෙන් බොහෝ පුද්ගලයින්ගේ කොමෙන්ට් වලට පවා ප්‍රතිචර දැක්වීම තේරුමක් නොමැති වැඩක් බව සිතන්නේ ඒහිනි. 

වැඩිකල් නොගොස්ම අහන ප්‍රශ්නයක් වනුවේ කැරෝලයින් ජුරි (Caroline Jurie) කොතරම් ශ්‍රී ලාංකිකද? යන්නය. ඒය එවැනි නම් සහ වෙනත් අනන්‍යතාවයන් තියෙන බොහොමයක් දෙනෙකුට මුහුණ පෑමට සිදුවෙන ප්‍රශ්නයකි. එදිනට කිරුල දිනූ නිසා 'කැරෝලයින් ජුරි' (Caroline Jurie) ශ්‍රී ලංකා කියමින් උඩදාන සියල්ලෝම ඇයව උඩම දාලා කොන්ද කැඩේන්න වැටෙන්න අත්හරිති. නැතිනම් හැකිතාක් විගස ඇය මෙන්ම ඇගේ කිරුලද සම්පුර්ණයෙන් අමතකර ඉතිහාසයෙන්ම අකාමකා දැමීමට කටයුතු කරති.

මාකස් ප්‍රියන්ත පෙරේරා.
09/12/2019

Monday, 9 December 2019

පාප්වහන්සේ නාගසාකි නුවරට යාම

පාප්වහන්සේ ඉකුත් 23/11/2019 දින ජපානයේ නාගසාකි නුවරට ගියේය. අපිට ජපානයේ නාගසාකි කියපුවහම මතක් වෙන්නේ හිරෝෂිමා-නාගසාකි පරමාණු බෝම්බ ප්‍රහාරය. ඒ නිසා විනාශවූ මිනිස් ජීවිත. ඒ මහා විනාශය. පාප්වහන්සේ හිරෝෂිමා-නාගසාකි නගර දෙකටම ගියේය. විපතට පත්වූවන් වෙනුවෙන් දුක්වුයේය. ඔවුන් වෙනුවෙන් දෙවියන් යදින ලදි. නැවත එවැනි විනාශයක් නැවත සිදුනොවීමට කටයුතු කිරීම සියල්ලන්ගේම වගකීම බව පසක් කලේය. 


ඊට අමතරව පාප්වහන්සේ නාගසාකි නුවර තවත් විශේෂ ස්ථානයකට ගියේය. ඒ සා. පෝල් මිකී ඇතුළු ක්‍රිස්තියානීන් 25 දෙනෙකු 1597 දී කුරුසියේ ඇනගසා මරා දැමු ස්ථානය ය. අද එහි පල්ලියක්ද ඉදිකර තිබේ. එහෙත් ජපානය 1560 ගණන්වල සිට 1900 පමණ වනතුරු ක්‍රිස්තියානි ආගම තහනම් කර, ක්‍රිස්තියානි ආගම ඇදහු ජනයව මර දමන ලදි. විදේශීය මිෂනාරීන් බුරුතු පිටින් අත් අත් අඩංගුවට ගෙන දසවද දීලා මරාදමන ලදී. ක්‍රිස්තියානි ආගම එන්නේ පෘතුගාලයෙන් සහ බටහිර ජාතිකයන්ගෙන් යැයි සලකා කිසිම පෘතුගීසිකාරයෙකුට ජපානයට එම තහනම් කර තිබුණි. අවුරුදු 200ක් කිසිම කතෝලික /ක්‍රිස්තියානි පියතුමෙකු ජපානයේ සිටියේ නැත. 


එත් මිනිස්සු කතෝලික ආගම රහසින් ඇදහැවුහ. ඒ අයගේ දරුවන් රහසින්ම ක්‍රිස්තියානි කරමින් සිය විශ්වාසය දිගටම අරගෙන ගියේය. අද එහි මිලියන 5ක කතෝලිකයින් පිරිසක් සිටී. එහෙත් අතීතයේ තිබු ක්‍රිස්තියානි මර්ධනය කෙතරම් දරුණුද යන්න දන ගැනීමට අවශ්‍යය නම් 2016 තිරගතවූ Martin Scorsese ගේ Silence චිත්‍රපටිය බලන්න. එය කෙතරම් කෘර මර්ධනයක්ද ඔබට උගත හැක.


ඒ ජපානයේ ජපන් ජාතිකවාදය තහවුරුවීම ආරම්භවූ වකවානුවේ. ජපන් ජාතිකවාදය ජපානය රණශූර ජාතියක් බවට පත්කළේය. එකී යුද්ධවාදී ජපන් ජාතිකත්වය අවසනවුයේ හිරෝෂිමා-නාගසාකි වැනි දෙවන ලෝක යුද්ධයෙන් ජපානය පරාජය කිරීමට හෙළු පරමාණු බෝම්බ ප්‍රහාරයට මග පාදමිනි. එම විනාශයෙන් අළුදුවිලි වුනු ජපානය නැවත ඇමරිකාව සහ බටහිර ජාතීන් මැදිහත්වී ගොඩනගැන ලදී. ජපානය නැවත ගොඩනැගීමට පැහැදිලිවම ජපන් ජනයාගේ කැපවීමද ඒ සමග අමතක නොකළ යුතුය. 


ජාතිකවාදය ගෙන යන්නේ මොනතරම් විනාශයකටද යන්න දෙවන ලෝක යුද්ධයේ විනාෂය ඔවුන් තේරුම් ගන්නා ලදි. අද ඔවුන් එයින් පාඩම් ඉගෙන ගෙන යහපත් මිනිසුන් පිරිසක් ලෙස අන්අයගේ නිදහසක් ගරුකරමින් ජීවත්වීම පාප්තුමාගේ ගමන තුල සාක්ෂාත් කරනු ඇත. 

මාකස් ප්‍රියන්ත පෙරේරා.
01/12/2019


Wednesday, 27 November 2019

කිතුණු මර්ධනයට එරෙහි රතු බදාදා (Red Wednesday)

අද රතු බදාදා (Red Wednesday) දිනයයි. ලොව පුරාම මරාදැමු, වද හිංසාවට ලක්කළ, දුෂණයකල සහ තර්ජනයන්ට මුහුණපා සිටින කිතුනුවන් සමරමින් ලොව පුරාම කිතුනු දේවස්ථානවල රතු පැහැය ප්‍රදර්ශනය කිරීම අද සිදුකරයි. තවමත් ලෝකයේ වැඩියෙන්ම පීඩාවට පත්ව අති ජන කොටස කිතුනුවන් බව පසුගිය කාලය පුරාම වාර්තා වී ඇති සිද්ධීන් අතුරින් පෙනී යන්නක්. ලොව පුරාම රටවල් 50ක කිතුනුවන් 11 දෙනෙක් දිනකට මරාදමන තත්වයක් උදාවී තිබේ. ඒ තර්ජනයන්ට, දුෂණය කිරීම්වලට සහ වද හිංසනයන්ට ගොදුරුවුන්ට අමතරවය. විශේෂයෙන්ම අප්‍රිකාවේ, මැද පෙරදිග, දකුණු ආසියාවේ සහ නැගෙනහිර ආසියාවේ කිතුනුවන්ට එරෙහිව එල්ලවී ඇති අනතුර වඩා වේගයෙන් ඉහල ගොස් ඇත.

ඒ අතරින් දකුණු සහ නැගෙනහිර ආසියාවේ තත්වය ක්‍රමයෙන් උග්‍ර අතට හැරෙමින් තිබේ. මන්දයත් අප්‍රිකානු සහ මැදපෙරදිග කලාපවල කිතුනුවන්ට බොහෝ සෙයින් තර්ජන එල්ලවී ඇත්තේ මුස්ලිම් අන්තවාදීන්ගෙන් පමණක් වුවත්, දකුණු සහ නැගෙනහිර ආසියානු කලාපවල කිතුනුවන්ට තර්ජන එල්ලවී ඇත්තේ මුස්ලිම් අන්තවාදයෙන් පමණක් නොව එකී කලාපයේ රටවල නැගී එන ආගමීක සහ වාර්ගික ජාතිකවාදීන්ගෙන් සහ අත්තනෝමතික පාලකයන්ගෙන්ද වීම නිසාය.

මුස්ලිම් අන්තවාදීන්ගෙන් මෙන්ම ආගමීක සහ වාර්ගීක ජාතිකවාදීන්ගෙන්ද, අත්තනෝමතික පාලකයන්ගෙන්ද පීඩාවට පත්ව ඇති කිතුණුවන් අතරට පාකිස්ථානය, ඉන්දියාව, පිලිපීනය, චීනය,උතුරු කොරියාව, බුරුමය (මියන්මාර්) මෙන්ම දැන් ශ්‍රී ලංකාවද ඇතුලත්ව ඇත. ඒ හුදෙක් පාස්කු ප්‍රහාරය නිසාම නොව පසුගිය කාලයේ පුරාම වර්ධනය වී ඇති තත්වයන්ද සැලකිල්ලට ගනිමින්. 2017 ජුනි මාසේදී ආණ්ඩුවේ ඇමතිවරයෙක්වූ විජේදාස රාජපක්ෂ මහතා මානව හිමිකම් නීතිවේදියෙකු වූ ලක්ෂාන් ඩයස් මහතාට රූපවාහිනී නාලිකාවක දිගහැරුණු සංවාදයකදී ප්‍රසිද්ධියේ තර්ජනය කිරීම මෙන්ම, හිටපු නීතිපති මොහාන් පීරිස්ට තර්ජනය කිරීමද, පල්ලිවලට සහ කිතුනු ආගමික ස්ථාන 50කට වැඩි ප්‍රමාණයකට පහරදීම, තර්ජනය කිරීම සහ විනාශ කිරීමත්, වලක්වාගත හැකිව තිබියදීත් ශ්‍රී ලංකා රාජ්‍යයේ නොසලකා හැරීම සහ ආරක්ෂාව නොසැලසීම නිසා ජීවිත 300 කට අධික ප්‍රමාණයක් බිලිගනිමින් 500 කට අධික ප්‍රමාණයකට තුවාල සිදුකල පාස්කු ඉරිදා ප්‍රහාරයත් සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාව කිතුනුවන්ට එරෙහිව ඇති අනතුර ඉහල යන රටක් ලෙස සැලකීමට හේතුවී තිබේ.

ඉන්දියාව, බුරුමය, පාකිස්ථානයේ මෙන්ම ශ්‍රී ලංකාවේද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ආගමික නිදහස තහවුරුකර තිබුනද, ක්‍රමයෙන් වර්ධනය වන ආගමික සහ වාර්ගික ජාතිකවාදී ප්‍රවණතා, අත්තනෝමතික පාලකයන්ගේ කටයුතු සහ ඉස්ලාමිය අන්තවාදීන්ගේ ක්‍රියාවන් නිසා එකී ආගමික නිදහස කිතුනුවන්ට අහිමිකරන තත්වයක් එම රටවල් සියල්ලේම ඇතිවී ඇත. ඊට අමතරව වෙනත් ආගම් අදහන අය හා මිශ්‍ර විවාහවලට එළබි තැනැත්තන්ට සිය කිතුනු විශ්වාසය සහ ඇදහිල්ල තුල ජීවත්වීමට අවස්ථාව අහිමිවීමත්, ඔවුන්ගේ දරුවන්ව පවා කිතුනු ඇදහිල්ලෙන් ඈත්කර තැබීමට ලක්කිරීමත් අවධානය යොමුවෙමින් පවතින තත්වයකි. මෙම ප්‍රවනතාවය ඉන්දියාව, බුරුමය, පාකිස්ථානයේ මෙන්ම ලංකාවේද ක්‍රමයෙන් ඉහල යමින් තිබෙන බව පෙනේන්නට තිබේ. ඒ කිතුනු සංස්කෘතික අංගයන් ක්‍රමයෙන් අතුගා දමමින් සිටීමට අමතරවය.

ලංකාවේ තත්වය දැන් ක්‍රමයෙන් ලගාවෙමින් ඇත්තේ පාකිස්ථානයේ කිතුණුවන්ට එරෙහි මර්ධනය හිස එසවූ 1980 අගභාගයේ තත්වයට යැයි ගණන් බලා ඇත. ඒ අනුව ලංකාවේ කිතුනුවන්ට උදාවෙමින් ඇත්තේ ඉතා දුෂ්කර තත්වයක් යැයි යන්න එහි නිගමනයයි.

ලොවපුරාම කිතුනුවන්ට එරෙහිව උද්ගතවී ඇති මෙම බිහිසුණු මර්ධනකාරී තත්වය ගැන ලොව පුරාම කිතුනුවන් දැනුවත් කිරීම මෙම රතු බදාදා (Red Wednesday) දිනයේ අරමුණුය. ඒ සදහා කතෝලික සභාව සියලුම ක්‍රිස්තියානි, අපෝස්තලික සහ ඉවන්ජලික් කිතුනු කණ්ඩායම් සමග එකට එක්ව කටයුතු කරන අතර කිතුනු සංහාරයට එරෙහිව එක් පෙරමුණක් ලෙස මුහුණදීමට තීරණය කර ඇත.

ඒ අනුව අද දිනයේදී ලොව පුරාම රාජ්‍යයන් ගණනාවක පාලකයින්ට සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයට ලොව පුරාම කිතුනුවන් මුහුණදී ඇති පීඩාවන්, මර්ධනයන්, දුෂණයන්, ඝාතනයන් සහ තර්ජනයන් ගැන පුර්ණ වාර්තාවක් ලබාදීමටද ඒ වෙනුවෙන් ක්‍රියාකරන සංවිධාන කටයුතු කරමින් සිටී. එකී සංවිධානවල ක්‍රියාකාරීත්වය නිසාම බුරුමයේ Kachin පළාතේ කිතුනුවන්ට, ඉන්දියාවේ සහ පාකිස්ථානයේ එරෙහිව එල්ලවී ඇති ඇතැම් තර්ජන සහ මර්ධනයන් පිටු දැකීමට යම් ආකාරයක නැබුරුවකට එකී රටවල පාලකයන්ගේ අවධානය යොමුකරවීමට සමත්ව ඇත.

කෙසේවුවද, කිතුනුවන්ට එරෙහිව ඇති තර්ජන සහ මර්ධන එලෙස ලේසියෙන් සහ ඉතා ඉක්මනින් ඉවත්වන බවක් පෙනී නොයයි. එසේ හෙයින් මෙම රතු බදාදා (Red Wednesday) දිනයේදීවත් කිතුනු සංහාරය ගැන අවධානයෙන් සිටින්න.

''එබැවින්, සහෝදරයෙනි, ආසියාවේදී අපට පැමිණි පීඩාව ගැන නුඹලා නොදැන සිටිනවාට නොකැමැත්තෙමුව. එනම් ජීවිතය ගැන පවා අපට බලාපොරොත්තුවක් නැති තරමට, උසුලන්ට බැරි පමණ, අප පිටට බර පැමුණුණ බවය(2 කොරින්ති 1:8)'' (We do not want you to be uninformed, brothers and sisters,[a] about the troubles we experienced in the province of Asia. We were under great pressure, far beyond our ability to endure, so that we despaired of life itself.'' - 2 Corinthians 1:8).

''If they persecuted me, they will persecute you also.'' (John 15; 20.)

මාකස් ප්‍රියන්ත පෙරේරා.
27/11/2019

Monday, 18 November 2019

පොහොට්ටුව මීගමුවේදී පැරදුනේ ඇයි?

පොහොට්ටුවෙන් තරගකළ ගෝඨාභය රාජපක්ෂ මහතා සිංහල-බෞද්ධ ප්‍රදේශවල අතිවිශිෂ්ඨ ජයග්‍රහණයක් ලැබුවද මීගමුවේදී දරුණු පරාජයකට ලක්විය. ඒගැන ගෝඨාභය රාජපක්ෂ මහතා රටපුරාම විශිෂ්ඨ ජයග්‍රහණයක් ලැබීමටත් වඩා විශාල ගෝෂාවක් පැන නැගී ඇත. 

මීගමුවේ මැතිවරණ ප්‍රථිපලය ගැන පොහොට්ටු පාක්ෂිකයින් කෙතෙක් කිපී අදත්දැයි කිවහොත් ඔවුහු සිය facebook පිටුවල 1. "මීගමුවේ එවුන්ට බෝම්බ ගහලත් උන් බෝම්බකාරයන්ටමයි වෝට් කරලා තියෙන්නේ"  2. "මීගමුවට බෝම්බ ගහල මදි වගේ" 3. "මීගමුවේ එවුන්ට බෝම්බ කාලත් ලැජ්ජ නැහැ"  4. "මීගමුවට බෝම්බ පිට බෝම්බ ගැහුවත් මදි"  5. ''සහරාන් මචෝ මීගමුවේ තව පල්ලි තියෙනවා''  6. ''තව එක පල්ලියකට දෙකකට වදිනවා නම් දැනෙන සතුට කියලා නිම කරන්න බැහැ'' 7. ''මීගමුවට පරමාණු බෝම්බයක් ගහන්න ඕනේ නැත්තටම නැතිවෙලා යන්න'' 8. ''මීගමුවේ චන්ද ප්‍රථිපලයෙන් පේන්නේ දෙමෙල්ලු, හම්බයෝ විතරක් නෙමේ කුරුසකාරයින්වත් අතුගාලම දාන්න ඕනේ'' ආදියද, ඊට අමතරව ''අවජාතක'', ''කලවම්'', ''සුද්දට ඇල්ලුව'', ''පරගැති බල්ලෝ'' ආදී සැහැසික, මේලේච්ච, කෘර, වර්ගවාදී, තිරිසන්, අමානුෂික සහ තුච්ඡ ප්‍රකාශ රාශියක් මුදාහැර තිබුණි. 
  
ඒකී පහත්, නින්දිත ප්‍රහාරයන්ට මුහුණදී ගත නොහැකිව හෝ එකී මැතිවරණ ප්‍රතිපලවලට තමන්ගේ සම්බන්දයක් නැති බව කීමට හෝ ඇතැමුන් සිය facebook පිටුවල 1. ''අපිට මීගමුවේ කියන්නත් ලැජ්ජයි'' 2.''කටුවපිටිය තියෙන්නේ මීගමුවේ නෙමේ කටානේ, කටාන පොහොට්ටුව දින්නනේ''  3.  ''මීගමුවේ හැම ජාතියක්ම ජීවත්වෙනවා ඔය මුස්ලිම් මිනිස්සුන්ගේ ජන්දවලින් තමයි හංසයා දින්නේ'' ආදී ලෙස මුස්ලිම් ජනයා බිල්ලට දී තමන්ගේ මුහුණ හොද කරගැනීමට හෝ උත්සහ දැරූවන්ද විය. 

එහෙත් ඇත්ත තත්වය නම් මීගමුවේ චන්ද ප්‍රතිපලය හුදෙක් මුස්ලිම්, ක්‍රිස්තියානි හෝ බෞද්ධ ජන්ද ප්‍රතිපලයක් නොව මීගමුවේ අනන්‍යතාවය නියෝජනයවූ ජන්ද ප්‍රතිපලයක් බව එහි ප්‍රතිපල විශ්ලේෂණය කිරීමේදී පෙනී යයි. මට ලැබී ඇති චන්ද ගණන් කිරීමේ  මධ්‍යස්ථානවල ප්‍රතිපල වාර්තා මෙසේය:

1. චන්ද කොට්ටාශ 8, 16, 24, 32, 40, 48, 56, 64, 72, 77 ඇතුලත්වූ    ශාලා අංක 17; 
        අනුර - 533  සජිත් -5116 ගෝඨාභය 4089.

2.  චන්ද කොට්ටාශ 7, 15, 23, 31, 39, 47, 55, 63, 71, 76 ඇතුලත්වූ ශාලා අංක 16; 
        අනුර - 503  සජිත් -6109 ගෝඨාභය 3654. 

3.  චන්ද කොට්ටාශ 6, 14, 22, 30, 38, 46, 54, 62, 70, 78 ඇතුලත්වූ ශාලා අංක 15; 
        අනුර - 429  සජිත් - 6179 ගෝඨාභය 3843.

4.  චන්ද කොට්ටාශ 05, 13, 21, 29, 27, 45, 53, 61, 69, ඇතුලත්වූ ශාලා අංක 14; 
        අනුර - 577  සජිත් -5649 ගෝඨාභය 3040. 

5. චන්ද කොට්ටාශ 24, 12, 20, 38, 44, 58, 60e, 60g, 68 ඇතුලත්වූ ශාලා අංක 13; 
        අනුර - 437  සජිත් -5414 ගෝඨාභය 4021. 

6. චන්ද කොට්ටාශ 3, 11, 19, 27, 35, 43, 51, 59, 67, 75 ඇතුලත්වූ ශාලා අංක 12; 
        අනුර - 555  සජිත් -5184 ගෝඨාභය 4440.

7.  චන්ද කොට්ටාශ 2, 10,18, 26, 34, 42, 50, 58, 66, 74 ඇතුලත්වූ ශාලා අංක 11; 
        අනුර - 554  සජිත් -5127 ගෝඨාභය 3823. 

8.  චන්ද කොට්ටාශ 1,9, 17, 25, 33, 41, 49, 57, 65, 73  ඇතුලත්වූ ශාලා අංක 10; 
        අනුර - 544  සජිත් -5263 ගෝඨාභය 4033. 

ඒ අනුව චන්ද ගණනය කල සෑම ශාලාවකම ප්‍රතිපල අනුව පෙනී යන්නේ එකී සෑම ශාලාවකම බහුතරය හිමිකර ගත්තේ සජිත් ප්‍රේමදාස මහතාය. එමෙන්ම ඉතා විශ්වාසනීය ලෙස පැවසිය හැක්කේ මීගමුවට අයත්වන කටුවපිටිය කොට්ටාශ දෙකද, කටාන ආසනයට අයත් කටුවපිටිය  කොට්ටාශද පැහැදිලිවම ජයගත්තේ සජිත් ප්‍රේමදාස මහතාය. මේ අනුව කිව හැක්කේ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්දයෙන් ආණ්ඩුවට විරුද්ධව කෙතරම් විශාල ජනමතයක් ගොඩනැගුවද මීගමුවේ චන්ද දායකයින්ගේ චන්දය ප්‍රකාශකිරීම සම්බන්දයෙන් ඉන් විශාල බලපෑමක් සිදුකර නැති බවය. 

එසේ නම් මීගමුවේ චන්ද දායකයින්ගේ චන්දය ප්‍රකාශකිරීම සම්බන්දයෙන් පැහැදිලිවම බලපා ඇත්තේ කුමක්ද? 

මීගමුව කාලාන්තරයක් තිස්සේ එක්සත් ජාතික පක්ෂයේ බලකොටුවක් නිසා මීගමුව නිසැකයෙන්ම එක්සත් ජාතික පක්ෂයට හිමිවෙන්නේ යැයි පොදු කථාවක් තිබේ. එහෙත් 2010 පාර්ලිමේන්තු මැතිවරණයේදී මීගමුව ජයගත්තේ මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය දුන් එක්සත් ජනතා නිදහස් සන්ධානයයි. 1956දී ලංකා සමසමාජ පක්ෂයේ දොස්තර හෙක්ටර් ප්‍රනාන්දු මහතා මීගමුවේ ජය ලැබීය. 1947 ලංකාවේ මුල්ම මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ජයගත්තද, ලංකා සමසමාජ පක්ෂයේ අපේක්ෂකයාවූ ව.ස. ප්‍රනාන්දු මහතා පරාජයවුයේ ජන්ද 800ක් තරම් සුළු ප්‍රමාණයකිනි. කෙසේවුවද, මීගමුවේ වැඩිම මැතිවරණ ප්‍රමාණයක් ජයගෙන ඇත්තේ එක්සත් ජාතික පක්ෂය විසිනි. එසේ එක්සත් ජාතික පක්ෂයට මීගමුවේ වැඩිම මැතිවරණ ප්‍රමාණයක් ජයගැනීමට හැකිවී ඇත්තේ ඇයි? එයට ඇත්තේ එක පිළිතුරකි. එනම් එක්සත් ජාතික පක්ෂය සියළු ජනකොටස්වලට සාධාරණව සලකන, සුළු ජාතීන්ට සමානව  සලකන, වර්ගවාදී හෝ ආගම්වාදී දේශපාලන ප්‍රතිපත්තියක් නොදරන ප්‍රධාන දේශපාලන පක්ෂයක්යැයි මීගමුවේ බුහුතර ජනයා විශ්වාස කිරීමය. මීගමුවේ පමණක් නොව දෙමළ ජනයා ජීවත්වෙන ප්‍රදේශවලද, මුස්ලිම් ජනයා ජීවත්වෙන ප්‍රදේශවලද එක්සත් ජාතික පක්ෂයට එවැනිම පිළිගැනීමක් ඇති බව මෙම ජනාධිපතිවරණ ප්‍රතිපල තුලින්ද පෙනීයයි. එම නිසාම ලංකාවේ සිංහල - බෞද්ධ බුහුතරයේ දේශපාලන අභිලාෂය නියෝජනය කල ගෝඨාභය රාජපක්ෂ මහතා දෙමළ සහ මුස්ලිම් ජනයා බහුලව ජීවත්වෙන ප්‍රදේශවල අන්ත පරාජයක් ලබන අතරේ එක්සත් ජාතික පක්ෂය පෙරටුකරගත් ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය අති විශාල ජයක් ලැබීය. එහෙත් සිංහල භාෂාව කථා කරන ප්‍රදේශ අතර පිහිටි මීගමුව එසේ වෙන්නේ ඇයි? (අවශ්‍යනම් කොලබ දකුණේ සිට වත්තල ආදී ප්‍රදේශද එසේ ජය ගන්නේ ඇයි යන්නටද දිය හැකි පිළිතුරද මේ සමග කැටිකොට තිබේ)   

ඕනේ නම් ඕනෑ කෙනෙකුට විවාද කල හැකිවුවද, මීගමුවේ  චන්ද දායකයින්ගේ ඉහත චන්දය ප්‍රකාශ කිරීමට බලපානුයේ මීගමුවේ ඇති අනන්‍යතාවය. මීගමුවේ එකී අනන්‍යතාවය ගොඩනැගී ඇත්තේ කතෝලික-ක්‍රිස්තියානි පදනම තුලය. ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් ලෙස දැක්වුවද ලංකාවේ සිංහල-බෞද්ධ නොවන ප්‍රදේශ රාශියක් තිබේ. මීගමුවද ඉන් ප්‍රධාන එකකි. මීගමුව සිංහල-බෞද්ධ අනන්‍යතාවය තුල නොව කතෝලික-ක්‍රිස්තියානි සංස්කෘතිය අනන්‍යතාවය මත ගොඩ නැගුන නගරයකි. එය සිංහල නගරයක්වත්, දෙමළ නගරයක්වත් නොව ක්‍රිස්තියානි නගරයකි. මීගමුව යනු සිංහල, දෙමළ මෙන්ම බර්ගර් කතෝලික-ක්‍රිස්තියානි ජනයා පුංචි රෝමය ලෙස සලකන ක්‍රිස්තියානි නගරයකි.  මීගමුවේ ජන මනස ගොඩනැගී ඇත්තේ ක්‍රිස්තියානි අනන්‍යතාවය මත මිස බෞද්ධ හෝ හින්දු හෝ මුස්ලිම් පදනම් මත නොවේ. ක්‍රිස්තියානි අනන්‍යතාවය යනු කන-බොන-ජොලිකරන මිනිස්සු ලෙස වඩා ජනප්‍රියව දැක්වුවද එහි ඇත්ත හරය දෙවියන් අදහන, දසපනත අනුව දිවිගෙවිය යුතුයැයි පිලිගන්නා, අසල්වැසියාට ප්‍රේම කරන, සතුරාට පවා සමාව දීම මුලික හරය කරගත් අනන්‍යතාවයකි. මෙකී කතෝලික-ක්‍රිස්තියානි අනන්‍යතාවය මීගමුවේ මුල් බැසගත් අනන්‍යතාවය ය.  එම නිසාම කවුරු කෙසේ උත්සහ කලද සහරාන්ලාගේ බෝම්බ නිසා සිය අසල්වැසි මුස්ලිම් ජනයා කෙරෙහි වෛර බැද නොගත්තේය. මුස්ලිම් ජනයා පිටුදැකීම  නොකල, ඒ වෙනුවට අන්තවාදය පිටු දැක්ක පිරිසකි. එම නිසා පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් කිතුනු ජනයා සහ මුස්ලිම් ජනයා අතරේ වෛරයක් ඇතිකිරීමට උත්සහකලේ නම් එය පැහැලිවම මීගමුව තුල ක්‍රියාත්මක කල නොහැකි බව පෙන්වා දී ඇත්තේ වෛරය වෙනුවට ප්‍රේමය සහ සමාවදීම නම්වූ කිතුනු වටිනාකම් මීගමුව තුල මුල්බැසගෙන අති නිසාය. ඒ අර්ථයෙන් ගත්කල එය එක්තරා ආකාරයකට කාදිනල්තුමා පසුගිය කාලය පුරාම මීගමුවේ නැවත නැවත දේශනාකළ ප්‍රේමය, සාමය, සමාවදීම, සහෝදරත්වය ආදීය යලිත්වරක් ස්ථාපිතවී ඇති බවටවූ ප්‍රකාශනයක් ලෙසද සැලකිය හැක.


මේ මැතිවරණය සම්බන්දයෙන් කතෝලික රදගුරු සම්මේලනයේ අදහසක් ලෙස ඉදිරිපත්වී තිබුනේ 1. ජාතිවාදය පිටු දකින, 2. ප්‍රජාතන්ත්‍රවාදය සුරකින නායකයෙක් පත්කරගන්න යන්නය. එය එක් පක්ෂයක අපේක්ෂකයෙක් ඉලක්ක කරගත්තක් නොවීය. පැහැදිලිවම පොදු මුලික යහපත් අරමුණක් මුල්කරගත්තකි. මීගමුවේ චන්ද දායකයෝ එය අකුරටම පිළිපැද ඇත. 


එමෙන්ම, පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් විපතට පත්වී ඇති අපේ ජනයාගේ ලේ කදුළු දේශපාලන වාසි සදහා යොදා ගැනීමට පොහොට්ටුව සහ ඔවුන්ගේ නියෝජිතයින්වූ ලන්සලාව ප්‍රතික්ෂේප කිරීමක්ද මීගමුවේ චන්ද ප්‍රතිපල තුල නිරූපණය වේ. ලන්සලාගේ ගම වන වැල්ලවීදියේ සා. සෙබස්තියන් විද්‍යාලයේ ජන්ද පෙට්ටියෙන් පවා ලන්සලාගේ පොහොට්ටුව චන්ද 300කින් පරාජයවිය. කුඩාපාඩුවේ තත්වයද එසේමය. පාස්කු ඉරිදා ප්‍රහාරය අලෙවි කරමින් දේශපාලන වාසි සෙවූ ඔවුන්ට මීගමුවේ ජනයා පැහැදිලි උත්තරයක් ලබාදී ඇත. සිය ජාවාරම් දිගටම කරගෙනයෑමට අවශ්‍ය දේශපාලන ශක්තිය ලබා ගැනීමට පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් ජනයාගේ දුක්සෝ කදුළු අලෙවිකල ඔවුන්ව ගෝඨාභය රාජපක්ෂ සමගම  මීගමුවේ ජනයා ප්‍රතික්ෂේප කර තිබේ.  ''මතකද 21/4?'' යනුවෙන් ගෝඨාභයගේ පොස්රටයක් මීගමුවේ ඇලවුයේද ඔවුන්ය. එය කිතුනු ජනයා තේරුම් ගත්තේ එක්තරා ආකාරයක තර්ජනයක් ලෙසය.  මෙසේ පෝස්ටර් අලවමින් සිටි පොහොට්ටුවේ ආධාරකරුවන් පිරිසක් 13/11/19 දින මීගමුවේදී හසුවිය. ඔවුන්ට පෝස්ටර් ගැසීමට දී ඇත්තේ කවුදැයි ඔවුන් හෙළිකර තිබේ.  පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අපේ මිනිසුන්ටවූ විනාසයෙන් පවා දේශපාලන වාසි සොයන තත්වයට පොහොට්ටුව මෙන්ම ලන්සලාද ඇද වැටී තිබීම ගැන මීගමුවේ ජනයා සිටියේ දැඩි පිළිකුලකිනි. එම නිසාම පාස්කු ඉරිදා ප්‍රහාරය පිටුපස පවා ඔවුන්ගේ සැගවුණු හස්තයන් තිබීමට ඉඩඇති බව ඇතමේක් සැකකළේය. හලාවත ධීවර ඇන්ටනීට සහ කටුනායක රොෂේන් චානකට වෙඩි තබා ඝාතනය කිරීම, රතුපස්වල වතුරු ඉල්ලු ජනයාට පල්ලියට පැන පහරදීම ආදිය ගැන මීගමුවේ ජනයාට තවම අමතකව නැත. කිතුනුවන් සිය පීඩකයා ගැන  නිතර අවධානයෙන් සිටී. ඔවුහු යක්ෂයාගේ දුෂ්ටකම්වලටත් ඔහුගේ සතුරුකම් ගැනත් අමතක නොකර පරීක්ෂාවෙන් සිටී. එහින් දුෂ්ට දේශපාලන ව්‍යාපෘතිවලින් බලය සොයන්නේ මොකාද යන්න ඔවුන්ට පහසුවෙන්ම හදුනාගත හැක. නාග ලොවින් නොව, කපාල කන්දෙන් ධාතු ගෙනාවා කීවද ඔවුන් රැවටිය නොහැක. 

මීට අමතරව 14/11/19 දින කටාන ප්‍රදේශයේ මුස්ලිම් පිරිසකට ''චන්දේ දෙන්න ගියොත් බලාගෙනයි'' යනුවෙන් තර්ජනය කිරීමට ගිය කාණ්ඩායමක එකෙක් අල්ලාගත් බව මුස්ලිම් ජනයා අතර මෙන්ම බෝලවලාන, කුරණ ආදී ප්‍රදේශවල කිතුනු ජනයාටද දැන ගැනීමට ලැබී තිබේ. ජනයාගේ නිදහස් කැමැත්තට මේ ලෙස සිදුකරන අනිසි බලපෑම් නිදහස, සාමය සහ සහෝදරත්වය අගයන මීගමුවේ ජනයා දැඩිව ප්‍රතික්ෂේප කළේය.

තවද චන්දයට පෙරදින කොලබ අගරගුරු නිවසින් නිකුත්කළ video පටියක් තුලින් පියතුමෙක් දක්වා තිබුනේ කතෝලික ප්‍රදේශවල කතෝලික පියතුමන්ලා මෙන් ලෝගුවක් පැලදී පුද්ගලයින් දේශපාලන වේදිකාවට නංවා පාස්කු ප්‍රහාරයට විරුද්ධව පොහොට්ටුවට චන්දේ දෙන්න යැයි ඉල්ලන වැඩසටහනක් දියත්වී ඇති බවත් එහෙත් කතෝලික සභාවේ කිසිම පියතුමෙකු එසේ කිසිම දේශපාලන වේදිකාවකට ගොඩවී නැති බවත් දක්වන ලදී. ඒවා මිනිස්සු නොමග යැවීමට කරන දේවල් ලෙසත්, පාස්කු ප්‍රහාරයෙන් දේශපාලන උවමනාවන් ඉෂ්ට කරගැනීම නවත්වන ලෙසත් ඉල්ලා සිටියහ. 

ඒ වන විටද අපේ පළාතේ මන්ත්‍රී කෙනෙකු වන කුප්‍රකට නිමල් ලාන්සා මහතා ඔහුගේ Facebook පිටුවේ රදගුරුවරයෙක් කිව්වේ යැයි කියා ගෝඨාභයට ජන්දේ දෙන ලෙස ඉල්ලා සිටින වීඩියෝවක් නිකුත්කර තිබුණු. ඔහු එ සදහා යොදාගත් රදගුරුවරයාවුයේ කතෝලික රදගුරුවරයෙක් නොවූ, එංගලන්ත සභාවේ සිටි, මුදල් වංචාවක් නිසා එම සභාවෙන් ඉවත්කළ  තැනැත්තෙකි. මහා කතෝලික මන්ත්‍රීවරයෙක් ලෙස තමාව හදුන්වා ගන්නා නිමල් ලාන්සා, මෙන්ම ඔහුගේ සහෝදරයා වන මීගමුවේ චන්ද බලයෙන් නොව සල්ලි බලයෙන් නගරාධිපතිවූ දයාන් ලන්සාත්, පාස්කු ප්‍රහාරයෙන් දේශපාලන වාසි ලබාගැනීමට පාස්කු ප්‍රහාරය විකුණන්නේ ඇයි? ආගම බේරාගැනීමටද? කතෝලිකයින්ව බේරාගැනීමටද? නැතිනම් ඔවුන්ව බේරා ගැනීමටද? ඔවුන්ගේ ජාවාරම් බේරාගැනීමටද? තමන්ගේ නිවසේ නීතිවිරෝධී ද්‍රව්‍ය ඇතයි සිතා තමන්ගේ නිවසට පොලිස් විශේෂ කාර්ය බලකාය යොදා වැටලීමක් කරමින් ඔවුන්ගේ පරම්පරා ගණනාවකට මහා නින්දාවක් කල ගෝඨාභය රාජපක්ෂව ජනාධිපති කරවන්න ලන්සලා දගලන්නේ මීගමුව තවත් විනාශ කරදීමීටදැයි යන සැකය මීගමුවේ ජනයා තුල නිතර කැසකැවුණු ප්‍රශ්නයක්විය. 

මේ සියලු කරුණු සැලකිල්ලට ගැනීමේදී මීගමුවේදී ගෝඨාභය රාජපක්ෂ දරුණු පරාජයකට පත්වීම නොවැලක්විය හැක්කකි. එසේම ගෝඨාභයගේ පරාජයෙන් අනතුරුව මීගමුවේ ජනයාට එල්ලවූ තර්ජන ගර්ජන සහ නින්දිත ප්‍රහාර හමුවේ මීගමුවේ ජනයාට තමන් කවරහුද? ඔවුන් නියෝජනය කරන අනන්‍යතාවය කුමක්ද? යන්න තේරුම්ගැනීමටද අවස්ථාවක් උදාවිය.  නිදහසින් පසු ක්‍රියාත්මකවූ මීගමුවේ ජනයාගේ සැබෑ අනන්‍යතාවයවූ කතෝලික-ක්‍රිස්තියානි අනන්‍යතාවය ක්‍රමයෙන් දියකර හරිමින් සිංහල-කතෝලික යනුවෙන් එහෙටත් නැති, මෙහෙටත් නැති, ව්‍යාජ අනන්‍යතාවයක් ගොඩනැගීමේ ව්‍යාපෘතියද හෝදා යන ලදී. පැහැදිලිවම කියන්නේ නම් මේම ජනාධිපතිවරණය මීගමුවේ ජනයාගේ  කතෝලික-කිතුනු අනන්‍යතාවය වඩ වඩා සහතික කල, වඩ වඩාත් ඔවුන්ගේ සිත් තුලට කාවැද්දු ජනාධිපතිවාරණයක් විය. ජනාධිපතිවරණයේ ප්‍රතිපල නිකුත්වෙන විට ''බෙදුන දේශයක, බහුතරයේ ආධිපත්‍යට එරෙහිව සුළුතරයේ ප්‍රතිවිරෝධය දැක්වූ ජන්දයක්'' යැයි මගේ Facebook පිටුවේ මම සදහන් කලේ ඒ නිසාය. 

කෙසේවුවද දැන් මීගමුව වඩ වඩා පරික්ෂාකාරී විය යුතුය, ඒ යක්ෂයාගේ හෝරාවා පැමිණ ඇති නිසාම නොව සතුරන්ද අප අතරම වන නිසාය. 

මීගමුවට ජයවේවා !! සුළු ජන කොටස්වල අයිතිවාසිකම් ආරක්ෂා වේවා!! පීඩිතයින්ට විමුක්තිය අත්වේවා!! සියළු ජනයා සාමයෙන්, සහෝදරත්වයෙන් පසුවේවා!!!

මාකස් ප්‍රියන්ත පෙරේරා
18/11/2019