දැනට ලැබී ඇති දළ ප්රතිඵල අනුව බෙන්ජමින් නෙතන්යාහුගේ නායකත්වයෙන් යුත් දක්ෂිණාංශික ලිකුඩ් පක්ෂය ප්රමුඛ කඳවුරට ආසන 54ක් ද, ප්රධාන විපක්ෂ කඳවුරට ආසන 49ක් ද හිමිව ඇති බව වාර්තා වෙනවා. එහෙත් ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්ය ආසන 61ක බහුතරය කිසිදු පාර්ශ්වයකට ලබාගැනීමට හැකි වී නැහැ.
මෙහිදී විශේෂ අවධානයට ලක්වන්නේ අරාබි දේශපාලන පක්ෂ ලබාගෙන ඇති ආසන 18–19ක පමණ නියෝජනයයි. මෙම තත්ත්වය මත ඊශ්රායලයේ ඉදිරි ආණ්ඩු පිහිටුවීමේදී අරාබි දේශපාලන පක්ෂ එරට දේශපාලනයේ තීරණාත්මක දේශපාලන බලවේගයක් බවට පත්වීමට ඉඩක් තිබෙනවා.
ශ්රී ලංකාවේ හුගාක් අය හිතන් ඉන්න දෙයක් තමයි ඊශ්රායලයේ අරාබි දේශපාලන පක්ෂ කියන්නේ එරට මුස්ලිම් දේශපාලන පක්ෂවල එකතුවක් කියන එකයි. ඒත් ඇත්ත අරාබි දේශපාලන පක්ෂ කියන්නේ මුස්ලිම් නියෝජනයක් විතරක්ම නෙමෙයි. ඊශ්රායලයේ අරාබි ජන කොටස් ලෙස සැලැකෙන ජනකොටස් එරට මුළු ජනගහනයෙන් 20% ක් විතර වෙනවා. ඔවුන් අතර මුස්ලිම්වරුන්ට අමතරව ක්රිස්තියානීන් ද සිටිනවා. ඒ වගේම ලිබරල් ප්රජාතන්ත්රවාදීන්, සමාජවාදීන්, කොමියුනිස්ට්වාදීන් සහ වෙනත් දේශපාලන මතවාද හා වෙනත් ආගම් නියෝජනය කරන කණ්ඩායම් ද මේ අරාබි දේශපාලන පක්ෂ තුල ගොනුවී සිටිනවා. එ නිසාම අරාබි දේශපාලන පක්ෂ මුස්ලිම් යැයි සිතීම හෝ ඔවුන් සියල්ලම එකම ආගමික හෝ දේශපාලන මතවාදයක් නියෝජනය කරන පිරිසක් යැයි සිතීම වැරැදියි.
ඒ කොහොම වුනත් ඊශ්රායලයේ අරාබි දේශපාලන පක්ෂ ලෙස හදුන්වන බලවේගවල නැගීමේ දේශපාලන වැදගත්කමක් තියෙනවා. ඊට හේතුව ඔවුන් ඊශ්රායලයේ අධිපතිවාදී යුදෙව් දේශපාලනය තුල අරක්ගෙන සිටින සාම්ප්රදායික දක්ෂිණාංශික ජාතිකවාදී දේශපාලනයට විකල්පයක් ලෙස යුද විරෝධී, මානව හිමිකම් සහ සමාන පුරවැසිභාවය වෙනුවෙන් පෙනී සිටින තෙවෙනි බලවේගයක් ලෙස මතුවීමයි.
විශේෂයෙන්ම 2023 ඔක්තෝබර් 7 හමාස් ප්රහාරයෙන් පසුව උත්සන්න වූ ඊශ්රායල–පලස්තීන යුද්ධය දැන් ලෙබනනය, ඉරානය දක්වා දිග්ගැස්සී තිබෙනවා. එක් අතකින් යුද්ධ වියදමත්, අනෙක් අතින් එරට ජනගහනයෙන් 14%ක් වන ඔර්ත්ඩෝක්ස් යුදෙව්වන් එරට අනිවාර්ය යුද්ධ සේවයෙන් මුදාහැර තිබීමට බෙන්ජමින් නෙත්න්යාහුගේ රජය එකගවී සිටීමත් තුල අල්ලාගත් ප්රදේශවල රැදී සිටීමට තරම් ප්රමාණවත් පාබල හමුදාවක් නොවීමත් තුල ඊශ්රායලය දැඩි යුද්ධ උගුලක සිරවී සිටිනවා. මේ අතර දැන් ඔවුන් තුර්කිය හා කටාරය සමගත් කොයි මොහොතේ හෝ ඇවිලීමට ඉඩ ඇතැයි ද බොහෝ දෙනා විශ්වාස කරනවා.
දැනටමත් කරුණු කාරණා නැතිවුවත් ඊශ්රායල් මැතිවරණයේ අරාබි දේශපාලන පක්ෂවල නැගීමට තුර්කිය හා කටාර් රාජ්යය උදව්කළා යැයි බෙන්ජමින් නෙත්න්යාහු දක්වනවා. ඒගැන පරීක්ෂණයක් කරන්න යැයි ද ඔහු මැතිවරණය කොමිසමේන් ඉල්ලා තිබෙනවා.
ඒ කොහොම වුනත් අරාබි දේශපාලන පක්ෂවල නැගීමේ දේශපාලන ප්රවණතාවයට නව වැදගත්කමක් තිබෙනවා. විශේෂයෙන්ම එරට
යුද විරෝධී දේශපාලනය කියන්නේ යුද්ධය ප්රතික්ෂේප කිරීම විතරක්ම නොවීම ඊට හේතුවක්. එරට සිවිල් ජනතාවගේ ආරක්ෂාව, මානව හිමිකම්, ප්රජාතන්ත්රවාදී වගවීම සහ දිගුකාලීන සාමකාමී දේශපාලන විසඳුමක් වෙනුවෙන් පෙනී සිටීම ඊශ්රායල් රාජ්යයේ නිති පැවැත්ම කෙරෙහි වැදගත් යැයි දැන් ජාත්යන්තර වශයෙන් වගේම එරට තුලත් ලියලමින් පවතින මතයක්. අරාබි දේශපාලන පක්ෂ සහ එවැනි අදහස් දරන යුදෙව් දේශපාලන කණ්ඩායම් අතර සහයෝගීතාවක් ගොඩනැඟීමේ වැදගත්කකමත් ඒ යටතේම සාකච්ඡා වන්නක්.
1948දී පලස්තීන භූමියේ නුතන ඊශ්රායලය නමින් රාජ්යයක් පිහිටුවීමට පෙර එම භූමියේ යුදෙව්, මුස්ලිම් සහ ක්රිස්තියානි ජනතාව එකට ජීවත් වූනා. යුදෙව් ජනතාවට එම භූමිය සමඟ ඓතිහාසික හා ආගමික සම්බන්ධයක් තිබෙන බව කිසිසේත්ම අමතක කළ නොහැකියි. ඒ වගේම ඊශ්රායලය පිහිටවිමට පෙර එම පලස්තීන භූමියේ ම ජීවත්වූ අරාබි ජනතාවට ද තම නිජබිම හා යුදෙව් නොවන ජාතීන් හා ජනවර්ග ලෙස පැවැතීමට ඇති අයිතිය පිළිබඳ ප්රබල ඉල්ලීම් ද ඉවත දැමිය නොහැකියි. ඊශ්රායල රාජ්යය පිහිටුවීමත් සමඟ ලොවපුරාම වෙසෙන යුදෙව් ජනයාගේ සංක්රමණය වීම් හා එහි සිටි ජනයා ඒ සමග විශාල වශයෙන් අවතැන්වීමත් නිසා ඊශ්රායලයේ අභ්යන්තර වශයෙන් ඇතිවී ඇති දීර්ඝකාලීන ගැටුම අද දක්වාම විසඳී නෑ.
ඒ පදනම මත ඊශ්රායල් රාජ්යයෙ චිර පැවැත්ම පිලිබඳව සාකච්ඡා කිරීමේදී රාජ්ය දෙකක විසඳුම (Two-State Solution) හෝ සියලු ජනතාවට සමාන පුරවැසි අයිතිවාසිකම් සහිත එක් රාජ්යයක විසඳුම (One-State Solution) පිළිබඳ අදහස් ද සාකච්ඡාවට ලක්වේමින් තිබෙනවා.
ඉන් අදහස් වෙන්නේ දැන් පවත්නා යුදෙව්වන් අධිපතිවාදී ඊශ්රායල් රාජ්යය වෙනුවට පලස්තීන - අරාබි ජනතාවටත්, යුදෙව් - ඊශ්රායල් ජනතාවටත් සමාන අයිතිවාසිකම් හිමිවන බහුවාර්ගීක නව ප්රජාතන්ත්රවාදී රාජ්යයක් පිලිබඳ විසදුමයි.
මේ කුමන විසඳුමක් වුවනත් සාර්ථක වීමට නම් යුදෙව් ජනයාගේ මෙන්ම අරාබි-පලස්තීන යන දෙපාර්ශ්වයේම ආරක්ෂාව, ස්වයං නිර්ණ අයිතිය සහ සමාන අයිතිවාසිකම් පිළිබඳ විශ්වාසදායක එකඟතාවක් අවශ්යයි.
ඒ ඉඩකඩ ඊශ්රායලයේ අරාබි දේශපාලන පක්ෂ මෙවර මැතිවරණයේ දී අමන්ත්රණය කලා විතරක් නෙමෙයි මෙවර ඊශ්රායල් මැතිවරණ ප්රතිඵල අනුව ඊට ඉතා ඉහත ප්රතිචාරයක් ලැබී ඇති බවත් පෙනීයන්නක්.
අනෙක් අතට, 2023 ඔක්තෝබර් 7 හමාස් ප්රහාරය වළක්වා ගැනීමට ඊශ්රායලයේ බෙන්ජමින් නෙත්න්යාහුගේ පාලනය, මොසාඩ් වැනි එරට ආරක්ෂක හා බුද්ධි අංශ අසමත් වීමත් මේ මැතිවරණයේ දී බරපතළ ලෙස ප්රශ්න කර තිබුණා. එය බෙන්ජමින් නෙත්න්යාහුගේ දේශපාලන නායකත්වයේ වගවීම පිළිබඳව ප්රශ්න කරන්නක්. ප්රහාරයට පෙර ඔවුන්ට නිවැරැදි බුද්ධි තොරතුරු නොලැබුණා ද? නැතිනම් තොරතුරු ලැබී තිබියදීත් ඒ සම්බන්ධයෙන් නිසි ක්රියාමාර්ග නොගෙන යුදෙව් ජනතාව බිලිදුන්නා ද? යනුවෙන් එරට මැතිවරණ වේදිකාවේ ප්රශ්න කළා. ප්රහාරය වලක්වා ගැනීමට නොහැකිවීමේ අසාර්ථකත්වය සහ ඉන් අනතුරුව දිග්ගැස්සුණු යුද්ධය හමුවේ ඊශ්රායල් සමාජය තුළ දේශපාලන වෙනසක් සඳහා ඇති ඉල්ලීමත් නොසලකා හැරිය නොහැකි ඉල්ලීමක් බවට දැන් පත්ව තිබෙනවා.
මේ පසුබිම තුල මෙම මැතිවරණය හුදෙක් ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වන ආසන සටනක් විතරක් වුනේ නෑ. එය ඊශ්රායලයේ අනාගත දේශපාලන දිශානතිය, අරාබි පුරවැසියන්ගේ දේශපාලන නියෝජනය සහ යුද්ධය වෙනුවට සාමය හා සහජීවනය වෙනුවෙන් පෙනී සිටින බලවේගවල ඉදිරි ගමන තීරණය කළ හැකි අවස්ථාවක් වුවා.
දැන් ප්රශ්නය වන්නේ අරාබි දේශපාලන බලවේගවල මෙම නැගීම, ඊශ්රායලයේ සාම්ප්රදායික දේශපාලන බල තුලනය වෙනස් කිරීමටත්, අන්ත ජාතිකවාදය සහ දිග්ගැස්සෙන යුද ප්රතිපත්තිය වෙනුවට නව දේශපාලන සන්ධානයක් හා නව දේශපාලන ප්රවේශයක් ගොඩනැඟීමටත් සමත් වේද යන්නයි.
ඒ සඳහා අවසන් මැතිවරණ ප්රතිඵල මෙන්ම ඉදිරියේදී ගොඩනැඟෙන දේශපාලන සන්ධාන දෙස ත්, එසේ සංධානයක් මගින් නව රජයක් ගොඩ නොනැගුනොත් ඊශ්රායලය නැවැතත් මහාමැතිවරණයක් කරා යොමුකරාවිද? අරාබි ජනයාගේ ජන්ද අයිතියත් උදුරාගනීවිද යන්න දෙසත් අවධානයෙන් බලා සිටිය යුතුයි.
මාකස් ප්රියන්ත පෙරේරා
30/10/26

No comments:
Post a Comment