This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.
Showing posts with label My Home town Negombo 27.. Show all posts
Showing posts with label My Home town Negombo 27.. Show all posts

Wednesday, 20 April 2016

බ්‍රිතාන්‍යයේ එලිසබෙත් මහ රැජිනගේ මීගමූ සංචාරය සහ ඇගේ සීයා නමින් නම් කර ඇති මීගමුවේ මාර්ගය


1954 අප්‍රියල් මස 10 සිට 21 වෙනිදා දක්වා යෙදී තිබු බ්‍රිතාන්‍ය දෙවෙනි එලිසබෙත් මහ රැජිණගේ පළමු ශ්‍රී ලංකා (Her majesty's Royal visit to  Ceylon) සංචාරයේදී ඇය මීගමුවටද පැමිණ තිබේ. ඒ එවකට 'මීගමුව ගුවන් තොටුපල' ලෙස හැදින්වූ, අද බණ්ඩාරනායක ජාත්‍යන්තර  ගුවන් තොටුපල ලෙස හදුන්වන, කටුනායක පිහිටුවා තිබු බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදා කදවුර හෙවත් මීගමුව රාජකීය ගුවන් හමුදා කදවුර (Royal Air Force Negombo (RAF Negombo)) නිරීක්ෂනය කිරීමෙන් අනතුරුවය. 

බ්‍රිතාන්‍ය වින්සර් මාලිගයේ ඇති රාජකීය ලේඛනාගාරයේ (The Royal Archives at Windsor Castle) රැස්කර ඇති රාජකීය චාරිකා පිළිබද විස්තර එකතුවේ සහ ලංඩනයේ කිව් ප්‍රදේශයේ පිහිටා ඇති ජාතික ලේඛනාගාරයේ (The National Archives Kew, London) තොරතුරුවලට අනුව බ්‍රිතාන්‍ය දෙවෙනි එලිසබෙත් මහ රැජිණගේ මීගමු සංචාරය සදහා හේතුවූ කරුණු කිහිපයක් තිබුණ බව පෙනේ. එකක් නම් කොලඹ සිට කටුනායකටත්, නැවත කටුනායක සිට කොලඹටත් ආපසු යන ගමනේදී ඇයට විවේකයක් අවශ්‍යබවත්, ඒ සදහා හොදම ස්ථානය මීගමුව යැයි ඇයගේ ගමන සංවිධානය කල පිරිස ගෙන තිබු තීරණය. අනෙක නම් ඇගේ සීයාවූ පස්වෙනි ජෝර්ජ් රජ සහ මේරි බිසව (King George V and H.M. Queen Mary) රජකමට පත්ව්මට පෙර, 1901 අප්‍රියල් 12-15 දිනවල, ලංකාවේ සිදුකල සංචාරයේදී මීගමුවට පැමිණ තිබීම ගැන සංවිධායකයන් සැලකිල්ලට ගෙන තිබීමයි. (පස්වන ජෝර්ජ් රජගේ ලංකා ගමන සහ ඔහුගේ සංෂිප්ත මීගමු ගමන ගැන පසු අවස්ථාවක ලිවීමට අපේක්ෂා කරමි).

තවද එම සංචාරයේදී ජෝර්ජ් රජ නවාතැන්ගත් මීගමුව නව තානායම (Negombo New Rest House) 1940 දශකය වනවිට රට රටවල වෙළද දැන්වීම් පළකරන, ජාත්‍යන්තර වශයෙන් මුහුදු මත්ස්‍ය ආහාර පිලිගැන්වීම සදහා ප්‍රසිද්ධියට පත් තානායමක් වී  තිබුණි. එම තානායමට පසකින් තිබු පාර King George Drive ලෙසද නම් කර තිබුණි. අදටත් එම පාර හදුන්වන්නේ ඒ නමිනි.
අවට මීගමු වෙරළ තීරය ලෝක ප්‍රසිද්ධ චිතාකර්ශනීය වෙරළක් (world famed glamours beach Negombo) ලෙස දැන්වීම් පලව තිබුණි. මේ සියළු කරුණු කටුනායක පිහිටුවා තිබු බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදා කදවුර නිරීක්ෂණය කිරීමෙන් අනතුරැව එලිසබෙත් රැජිණව ඉන් සැතපුම් 5කට එපිටින් පිහිටි මීගමුවේ සංචාරයක් සදහා යොමුකිරීමට හේතුවූ බව පෙනේ. (එම තානායම ගැන සහ මීගමු වෙරල ගැන එවකට පළවූ දැන්වීමක් පහතින් වේ)
ඒ අනුව රැජිනගේ මීගමු ගමන කටුනායක රාජකීය ගුවන් හමුදා කදවුරේ සිට මෝටර් රථ පෙරහැරකින් මීගමුව දක්වා දියත්වී ඇත. 

මග දෙපස රැස්ව සිටි ජනයාට ආචාර කරමින් පැමිණි ඇයව මීගමු ලුනුකඩේ හන්දියේ දී එවකට මීගමුවේ  නගරාධිපති වරයාවූ A.N. De Abrew අබේසිංහ (Abeysinghe) මහතා විසින් පිළිගෙන තිබේ. සෙමින් ඇදුන රිය පෙරහැරට  අතරමැදි අවස්ථාවන් කිහිපයකදීම මල් කළබ පිලිගැන්වීම්ද සිදුකර ඇත.

අනතුරුව ගමනේ ප්‍රධාන නැවතුමවූ මීගමුව කොටුව පිටිය අසල වෙරළේ ඇති මීගමුව නව තානායමේ කාමර අංක 07 හී ඇය ගිමන් නිවාගැනීම සදහා නවාතැන් ගෙන තිබේ. එහිදී ඇයට නැවුම් මුහුදු මත්ස්‍යයින්ගෙන් සකස්කල ප්‍රණීත ආහාරත්, විවිධ බීම වර්ගවලිනුත් සංග්‍ර කර තිබේ. පාස්කු සමයවූ එකල මීගමුවේ ප්‍රධානතම සංස්කෘතික අංගයක්වන පාස්කු නාට්‍යවල එන ජවනිකාවක් සහ ගීත කිහිපයක් මීගමු දූවේ පාස්කු නාට්‍ය කණ්ඩායම විසින් ඉදිරිපත්කර තිබේ. තවද ප්‍රදේශයේ ප්‍රභූවරු කිහිපදෙනකුද, එංගලන්ත සභාවේ සහ කතෝලික සභාවේ පියතුමන්ලා තිදෙනෙකුද පැමිණ ඇයට ආචාරකල බව සදහන්ය. ඇය ගිමන් නිවාගැනීම සදහා නවාතැන් ගෙන ඇත්තේද ඇයගේ සීයා වූ පස්වන ජෝර්ජ් රජ සහ ආච්චී වූ මේරි බිසව නවාතැන්ගත් තානායමේම බව ඉහත ලේඛනාගාරවල ඇති වාර්තාවලට අනුව පැහැදිලිය.

ඇයගේ මෙන්ම ඇයගේ සීයාගේ සංචාරයත් නිසා මීගමුවේ නව තානායම (Negombo New Rest House) ලංකාවේ මෙන්ම බ්‍රිතාන්‍යයෙත්, විවිධ රටවලත් සංචාරකන්ගේ විශේෂ අවදානයක් දිනාගෙන තිබේ. මීගමුවේ මෙම නව තානායම සදහා පමණක් post-card කිහිපයක්ම නිකුත්කර තිබුනේ එහි නවාතැන් ගැනීම ඔවුන්ට සංඛේතාත්මක වශයෙන් වැදගත්වූ නිසා විය යුතුය. මේම ලිපියේ මුලින් පලවන ඡයාරූප අතර ඉන් කිහිපයක්ද වේ.   


බ්‍රිතාන්‍ය දෙවෙනි එලිසබෙත් මහ රැජිණගේ පැමිණීමට පෙර මෙරට ප්‍රථම නිදහස් උත්සවයේ රාජාසන කතාව සඳහා පැමිණි ග්ලෝස්ටර් ආදිපාදවරයා සහ එම ආර්යාව සදහා වූ නික්මයාමේ භෝජන සංග‍්‍රහය, එවකට අගමැතිවරයා වූ D.S. සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇත්තේද මෙම මීගමුව නව තානායමේම බව මම මීට පෙර ලියූ 'ලංකාවේ ප්‍රථම නිදහස් සැමරුම මීගමුවේ පැවැත්වූ ආකාරය' ගැන ලියූ ලිපියේ දැක්වුවෙමි (එය මෙතනින් කියවිය හැක).  

එහෙත්, ඒ තානායමට පැමිණි සුවිශේෂී අමුත්තන් ගැන මතකයත්, ගාලුමුවදොර Galle Face හෝටලය සේ නැගී සිටිය හැකිව තිබු සම්භවනීය අමුත්තන්ගේ නවාතැන්පොලක් වූ අනගිභවනීය මීගමුවේ නව තානායමේ ඉතිහාසයත්, එදා ලෝක ප්‍රසිද්ද චිත්තාකර්ෂනීය වෙරළක් ලෙස හැදින්වූ  මීගමුවේ වෙරළත් (world famed glamours beach Negombo) අද විනාශ වී ගොස් තිබේ.

ඒ මෙම තානායම අවට වෙරළ කරවල මුදලාලිලා දෙදෙනෙකුට දේශපාලන අධිකාරිය විසින් පවරාදී ඇති නිසාය. මෙම කරෝල මුදලාලිලා දෙදෙනා විසින් අසල වෙරළ තීරයේ පරිසරය වනසමින්, අවට පරිසරයම දුගන්දයෙන් ජරාජීරන කරමින් කරෝල සැකසීමෙන් සිදුකරන විනාශය ගැන කොතෙක් දෙනාගේ ඇස් ඇරලුවද කිසිවෙක් කිසිවක් නොකර සිටී. ඒ පවතින දේශපාලන බලපෑම් නිසාය. තවද මීගමු මහ අධිකරණ සංකීරණය ඇත්තේ මීටර් සීයක්වත් දුරින් නොවේ. එහෙත් එහි සිටින නීති විශාරදයින්ටද මේ සිදුවන විනාශය ගැන කිසිදු හාන්කවිසියක් නැත. ඔවුහුද ඕනෑම දුගන්දයක්, විනාශයක් මීගමු ජනතාව මෙන්ම කිසිවක් කල නොහැකිව විදදරාගෙන සිටිති.  ඒ මීගමුවේ සෙසු වෙරල තීරයන් හොටල් ව්‍යාපරිකයන් සහ දේශපාලකයන් විසින් අල්ලාගෙන සිටීමට අමතරවය. රජයේ තානායමක් ලෙස පවරාගැනීමෙන් අනතුරුව මෙම තානායම විවිධ දේශපාලන සම්බන්දකම් මත විවිධ පුද්ගලයන්ට බදුදෙමින් ඇති අතර ඔවුන් ද මෙහි නඩත්තුව පිලිබදව කිසිදු සාධනීය කටයුත්තක් නොකිරීම නිසා ලන්දේසි යුගයේ සිට පැවැත එන මෙම නව තානායම් ගොඩනැගිල්ල දැන් ගරා වැටෙමින් තිබේ. 

මේ සියල්ල සාකච්ජා කලේ හුදෙක් රජවරුන්ගේ, සිටුවරුන්ගේ චාරිකා ගැන පුනපුනා කීමට නොවේ. මීගමුවට ඇති සීමිත ඉතිහාසය සහ මීගමුවේ වෙරළ, කලපුව, කඩොලාන, ජලමාර්ග වැනි මීගමුවට ඇති සීමිත ස්ස්වභාවික වටිනාකම් කිහිපය ආරක්ෂා කර ගැනීමේ වැදගත්කම පසක් කරදීමටය. මෙම වටිනාකම් ආරක්ෂා කරගැනීමට කිසිදු පියවරක් නොගෙන, ඒවා විනාශයට යෑමට  ඉඩදී 'මෙගා නගර (Megapolis) සංවර්ධන සැලැස්ම'  යටතේ මීගමුව සංචාරක නගරයක් ලෙස සංවර්ධනය කරනවායැයි කීම අරුත් සුන් කථා පමණි. 

(පහතින් ඇත්තේ අද මෙම නව තානායමේ, රැජින නවාතැන් ගත් කාමරයේ සහ අවට වෙරළ තීරයේ වර්තමාන තත්වයයි)
මාකස් ප්‍රියන්ත පෙරේරා
18/12/16.