This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Tuesday, 31 March 2015

ක්ලැරා, පරා, නිමල්, නෙවිල් සහ නීලා - මීගමුව ගැන අතුරු කථාවක්


නීලා වික්‍රමසිංහ ගායිකාව මහින්ද රාජපක්ෂ මහතාගෙන් 'ගහලා හරි බලය ගන්නැත්තේ ඇයි  ?' දැයි  විමසු බව මම පුවත් වාර්තාවල  කියවූවෙමි. එය මහින්ද රාජපක්ෂ මහතා නැවත බලයට ගෙන ඒමට ඇයට ඇති උවමනාව කියා පායි. ඇය කැමති දේශපාලනයක නිරත වීමට ඇයට අයිතියක් ඇත. එහෙත් නිසොල්මන්ව, තැම්පත් ලෙස ගීත ගායනා කරන, අගනුවර විශාකා විද්‍යාලයේ සංගීත ගුරුවරියක්, සංගීත විශාරදියක් සහ කලාකාරිනියක් ලෙස ගරුබුහුමන් ලබන නීලා වික්‍රමසිංහ එවැනි ප්‍රචණ්ඩ දේශපාලන යොමුවක් දෙස ගමන් කිරීම පුදුම සහගත තත්වයක් ලෙස පෙනීයාහැක. එහෙත් එහි පුදුමයක් නැති බව තරමක් දුරට ඇයගේ භාවිතය දෙස ආපසු හැරී බැලීමේදී පෙනී යයි. 


ඇය ශ්‍රී ලංකිකයන් අතර ගායිකාවක් ලෙස  ඉස්මතුවන්නේ 1983 දී රුපවාහි ප්‍රසංගීක වැඩ සටහනකට Super Star සංගීත කණ්ඩායම සමග වේග රිද්මයට 'මාස්ටර් සර්' ගීතය ගායනා කරමිනි. එදා මෙදා තුර ඇය ජනප්‍රිය වෙන්නේ මෙම ගීතයත් 'රන්ටිකිරි සිනා ගීතයත්' ශ්‍රී ලංකිකයන්ගේ හදවත් තුල තැම්පත් කරමිනි. කොටින්ම ඇය සිය ඒක පුද්ගල ගී ප්‍රසංගය නම් කරනුයේද 'මාස්ටර් සර්' නමිනි. එහෙත් 'රන්ටිකිරි සිනා' ගීතයත්වත්,  'මාස්ටර් සර්' ගීතයවත් ඇයගේ ගීතයන් නොවේ.

 'රන්ටිකිරි සිනා' ගීතය මුලින්ම ගායනා කරනු ලබන්නේ එවකට බම්බලපිටිය ශුද්ධවු පවුලේ බාලිකා කන්‍යාරාමයේ 13 හැවිරිදි සිසුවියක්වූ නිරාශා පෙරේරා  සහ වික්ටර් සිල්වා නම් ගණකාදීකරුවෙක් විසින් සුමිත්‍රා පීරිස්ගේ ගඟ අද්දර (1980) චිත්‍රපටියටය. 'මාස්ටර් සර්' ගීතය මුලින්ම සිංහලෙන් ගායනා කලේ මීගමුවේන් බිහිවූ විශිෂ්ට ගායකයෙක් වූ නෙවිල් ප්‍රනාන්දු විසිනි. ඒ 1974 දී නිර්මාණය කල කළුදිය දහර චිත්‍රපටියට පෙරය. නිමල් මෙන්ඩිස් මුලින්ම ඉංග්‍රීසියෙන් නිර්මානය කර ඔහු ගැයූ "Master Sir" සිංහලට පරිවර්තනය කරනු ලැබුවේ කරුනාරත්න අබේසේකර විසින් වන අතර එය මුලින්ම සිංහලෙන් ගයා තිබුනේ නෙවිල් ප්‍රනාන්දුය. බොහෝ ගායක, ගායිකාවන් කලඑලි බසින්නේ වෙනත් ගායක, ගායිකාවන්ගේ ගීත ගයමින් බව මම දනිමි. එමෙන්ම එසේ කලඑලි බසින ගායක ගායිකාවන් තමා ගැයූ ගී මුලින්ම ගැයුවන් නිරන්තරයෙන් සිහිපත් කරන අයුරු ද මම අසා ඇත්තෙමි. එහෙත් නීලා වික්‍රමසිංහ කිසිදු දිනක 'රන්ටිකිරි සිනා' ගීතයෙත්, 'මාස්ටර් සර්' ගීතයේත් මුලින් ගැයුවන් සිහි කරවන අවස්ථාවක් මම අසා නැත්තෙමි. එසේම ඇගේ ගීත වෙනත් නවකයින් ගයනවාට ද ඇය විරුද්ධය. එහෙත් ඇය ගුණ යහපත් කම් ඇති ඇත්තියකි. ඒ ඇය ගායන කරන 'රන්ටිකිරි සිනා', 'මාස්ටර් සර්', සහ 'වියෝ ගී ගැයෙනා' යන ගීත නිර්මාණය කල නිමල් මෙන්ඩිස් නම් ශ්‍රී ලාංකීය සංගීතයේ සුවිශේෂ නිර්මාණකරුවාට ඇගේ 'මාස්ටර් සර්' ප්‍රසංගයෙදී ප්‍රණාමය දැක්වීම තුලය. නිමල් මෙන්ඩිස් එය අනවශ්‍ය දෙයක් ලෙස දැක්වූ බව මට දැන ගැනීමට ලැබුණි. 

ප්‍රශ්නය ඇත්තේ මෙලෙස ගරු බුහුමන් කිරීම් හෝ සිහිපත් කිරීම් හෝ නීලා වික්‍රමසිංහ එය කෙසේ කලේද යන්න තුල නොව, එයින් කියවෙන්නේ කුමක්ද යන්න තුලය. එනම් මහින්ද රාජපක්ෂට ගහලා හරි බලය ගන්න යැයි යෝජනා කරන්නන්, නෙවිල් ප්‍රනාන්දුලාව, නිරාශා පෙරේරලාව, වික්ටර් සිල්වලාව නැවත කරලියට ගෙන ඒමට කටයුතු නොකරන්නේ ඇයි ? සිංහලට වඩා ඉංග්‍රීසියෙන් ගීත ගායනා කල, ගීත රචනාකල, 'ගග අද්දර,' 'උපුල් නුවන් විදහා', 'ගැහැණු ළමයිනේ', 'නිම් හිම් සේව්වා මා සසරේ' වැනි විශිෂ්ට සිංහල ගීතවල සංගීතය නිර්මානය කල, සරසවි සම්මාන ලාභී,  එංගලන්තයේ Top of the Pop සංගීත වැඩසටහනට ආරාධනා ලැබු ශ්‍රී ලංකාවේ එකම සංගීත ශිල්පියා මෙන්ම, අපේ රටේ කේමදාසට කලින් සිටි, කේමදාසටත් ඒහා ඉසව්වකට ගමන්කල මහා සංගීත ශිල්පියා වන නිමල් මෙන්ඩිස්ව ජාතික මට්ටමින් ඔසවා තැබීමට  අපේ රටේ ජාතික කලාකරුවන් කටයුතු නොකරන්නේ ඇයි ?  


පැහැදිලිවම බටහිර හෝ ජාතික අනන්‍යතාවයන් නියෝජනය නොකරන, භාෂාව හෝ පුරවැසි බව තුල ශ්‍රී ලංකාවේ හෝ එංගලන්තයේ ජාතික රාජ්‍ය (nation-state) නම් කොටුපවුරේ සිරකල නොහැකි, ආර්ථික, දේශපාලන හෝ ආරක්ෂාව වෙනුවෙන් දේශපාලන බලඅධිකාරීත්වයන් හා ගනුදෙනු නොකරන නිමල් මෙන්ඩිස් වැන්නවුන්ට කුමන රටක හෝ ජාතික වශයෙන් ඔසවා තැබීම වැදගත් නොවෙනු ඇත. එහෙත් ඒවැනි මිනිසුන්ට හිමිවිය යුතු තැන තීරණය කිරීම අදාල රට සහ ඔවූන්ගේ නිර්මාණ රසවිදින ජනයා තීරණය කල යුත්තකි. 


වරක් 'මාස්ටර් සර්' නෙවිල් ප්‍රනාන්දුගේ ගීතයක් නොවේදැයි නීලා වික්‍රමසිංහගේ මුල්ම 'මාස්ටර් සර්' ප්‍රසංගයට (2012) පෙර මාධ්‍ය වේදියෙක් විමසුවිට ඇය දක්වා තිබුනේ 'නෙවිල් ප්‍රනාන්දුත් ඇයගේ ගීතයේ පද ටික වෙනත් තලයකට ගයා ඇති බවයි.' ඇයගේ එම අර්ථ දැක්වීමට අනුව නෙවිල්  ප්‍රනාන්දු ඇයට වඩා කණිෂ්ඨ, සිල්ලර ගායකයෙකු යැයි අදහසක් නෙවිල්  ප්‍රනාන්දු ගැන නොදන්නා ලාංකිකයන් තුල ජනිත කරයි. එහෙත් නෙවිල් ප්‍රනාන්දු ඇයට පෙර ක්ෂේත්‍රට පිවිස, පිටව ගිය තැනැත්තෙකි. ඔහු 1979 දී ලියුකේමියා පිලිකා රෝගයෙන් මිය යන ලදී. වසර 38ක් පමණ කාලයක් ජීවත් වුවද නෙවිල් ප්‍රනාන්දු නොමැකෙන නාමයක් තැබුවෙකි. ඔහුගේ 'මල්බර හිමිදිරියේ', 'පුන්සද හිනවෙන්නේ', 'සදක් නැග සදක් ගිලේ', 'බදුන් පිරි ඉතිරෙන' වැනි සිංහල ගීතත්, "Oh My Papa" වැනි ඉංග්‍රීසි ගීතත්, "Malagueña Salerosa" වැනි Spanish ගීතත් එකසේ ජනප්‍රියවු ගීතය. එහෙත් අද නෙවිල් ප්‍රනාන්දුගේ නාමය නැවත හාර මතුකර ගතයුතු පුරාවස්තුවක් බවට පත්ව තිබේ. ඒ ඔහුගේ බොහෝ නිර්මාණ මෙන්ම ලංකේය සංගීතය තුල ඔහුට හිමි තැනද අහිමිකර ඇති නිසාය. ශ්‍රී ලංකාවේ කණ්ඩායම් සංගීතයේ පුරෝගාමියා නෙවිල් ප්‍රනාන්දුය. ඔහුගේ 'Fernando Trio' සංගීත කණ්ඩායම මෙන්ම වඩාත් ප්‍රසිද්ධ වූ 'Los Caballeros' සංගීත කණ්ඩායමත් ලංකාවේ කණ්ඩායම් සංගීතයේ පුරෝගාමීන්ය. 


එහෙත් ලියනගේ අමරකීර්තිගේ  'කුරුළු හදවත' නවකතාවේ එන 'කුරුළුගන්ගොඩ දිනසිරිලා' වැන්නවුන් පෙරට එන ලංකාවේ FM රේඩියෝ සේවාවන්වලට අනුව මෙරට කණ්ඩායම් සංගීතයේ පුරෝගාමීයා ක්ලැරන්ස් විජේවර්ධනය. මට මතක ලෙස ක්ලැරන්ස් විජේවර්ධනය ලංකාවේ කණ්ඩායම් සංගීතයේ පුරෝගාමීයායි FM නාලිකාවකින් මුලින්ම රටට කීව්වේ සිරස FM නාලිකාව ආරම්භකල යුගයේ දිනකදී කැලුම් ශ්‍රී මාල්ය. එය අසා සිටි මීගමුවේ 'ඇපිල්ටන් පීරිස්' නම් සුප්‍රකට ගිටාර් වාදකයා 'මුන් දන්න රෙද්ද යැයි' තරහින් කියන අයුරැ මගේ මතකයේ තවමත් රැදී තිබේ. ක්ලැරන්ස් විජේවර්ධනගේ Moonstones සංගීත කණ්ඩායම 1966 සිය මුල්ම ගීත කිහිපය පටිගත කරන විට නෙවිල් ප්‍රනාන්දු මීගමුවේ සහ කොළඹ අතුරු-සිදුරු නැතිවෙන්නට සෙනග පිරෙන මහා ප්‍රසංග දෙකක් කර තිබුණි.  ක්ලැරන්ස් 1976 BBC යේ Radio London සේවයේ වර්නන් කුරේගේ අනුග්‍රහයෙන් ගීත ගායනයක් ඉදිරිපත්කරන විට නෙවිල් ප්‍රනාන්දු කොළඹ සහ පාකිස්ථානයේ ලාහෝර් නුවර ඉන්ටර්කොන්ටිනෙන්ටල් හෝටල් වල ගී ගැයීමට කොන්ත්‍රාත් අත්සන් කරන ලංකාවේ ෆ්‍රෑන්ක් සිනාට්ට්‍රා (Frank Sinatra) කෙනෙකු හෝ ඩීන් මාර්ටින් (Dean Martin) කෙනෙකු බවට පත්වී තිබුණි. ඒ මීගමුව බ්‍රවුන්ස් බීච් සහ බ්ලූ ලැගුන් හෝටල් වල ගී ගැයීමේ කොන්ත්‍රාත්වලට අමතරවය. ඒ සියල්ලටම වඩා ක්ලැරන්ස් විජේවර්ධන මීගමුවේ නෙවිල් ප්‍රනාන්දු ගේ අභාෂය ලැබූ, නෙවිල්ගේ බොහෝ ගායනා රසවීදීමට සිය ඥාතියෙකු වන මීගමුවේ විසු කරුනාසේන මහතාගේ නිවසට නිතර පැමිණි, නෙවිල් මෙන් ජනප්‍රිය ගායකයෙකු වීමට ප්‍රර්ථනා කල තැනැත්තෙකු බව මතු කිරීමට 'ක්ලැරා' නවකතාව ලියු 'ධනිය ගෝපාල' මෙන් නොවිය හැකි පරාක්‍රම කොඩිතුවක්කුටත් අතපසුවී තිබේ. ක්ලැරන්ස්ගේ ඇසුරින් සංගීතය ප්‍රගුණ කල කරුනාසේන මහතාගේ පුත්‍රයා දැන් ලන්ඩනයේ  ශ්‍රී ලංකා සංගීත ප්‍රසංග වල ක්ලැරන්ස් විජේවර්ධනගේ ඥාතිත්වයත්, නෙවිල් ප්‍රනාන්දුලාගේ මීගමු අභාෂයත් මනහර ලෙස මුසු කර වයති, ගයති. ඒ අනුව නෙවිල් ප්‍රනාන්දු පැහැදිලිවම නීලා වික්‍රමසිංහලාට, ක්ලැරන්ස් විජේවර්ධනලාට වඩා පෙර පැමිණි දැවැන්තයෙක්ය, ජේෂ්ඨතයෙක්ය සහ පුරෝගාමීයෙක්ය යන්න අවිවාදයෙන් පිළිගත හැක. 

එහෙත් ශ්‍රී ලංකා සංගීත ක්ෂේත්‍රය තුල නෙවිල් ප්‍රනාන්දුලාට, නිමල් මෙන්ඩිස් ලාට නිසි ඇගයීමක්  
නොලැබෙන්නේ කුමක් නිසාද ?  ඔවුන්ට නිසි තැන ලැබෙන විට නීලා වික්‍රමසිංහලාට ඇති  තැන අහිමිවේද ? මහින්ද රාජපක්ෂට ගහලා හරි බලය ගන්න යැයි කියන්නේ එවැනි බියක් ඔවුන්ට ඇති නිසාද ? 


මාකස් ප්‍රියන්ත පෙරේරා
31/03/2015.

Saturday, 28 March 2015

මීගමුවේ ශාන්ත මරියා පල්ලිය සහ එහි මහා සිත්තරා !!!!




මීගමුවේ ශාන්ත මරියා පල්ලිය: සම්භාව්‍ය යුරෝපියානු ගොතික්(Gothic) සහ බැරෝඔක් (Baroque) යන ගෘහ නිර්මාණ දෙකම එක ලෙස යොදා නිර්මාණය කල සුවිශේෂිය ශ්‍රී ලංකීය ගෘහ නිර්මාණයකි. 1874 දී ප්‍රංශ ජාතික විස්ත්‍රීන් පියතුමන්ගේ අප්‍රතිහත උත්සාහය නිසාම ඉදිවෙන මෙම දේවස්ථානයේ ඉදිකිරීම්  අවසානවී ඇත්තේ ඉන් වසර 50කට පසුව 1922 දීය. එතෙක් පටන් අද 


දක්වාම එහි කිරිගරුඩ (alabaster) ප්‍රතිමා, ඇතුල් වහලේ (ceiling), වීදුරු සහ බිත්ති චිත්‍ර සදහා විශේෂ ප්‍රසිද්ධියක් උසුලනයි. මහ වීදීය දේවස්ථානය, කොළඹට ගංගාරාමය මෙන්ද, මහනුවරට දළදා මාලිගය මෙන්ද, යාපනයට නල්ලුර් කෝවිල මෙන්ද මීගමුවට සුවිශේෂ ලකුණක් එක්කරයි. 

Grand street, St. Mary’s cathedral is the biggest cathedral in Negombo. And, one of the most important Gothic and Baroque architectural structure in Sri Lanka. The church’s construction was started in 1874 and was completed after almost 50 years in 1922. Since, it was well known for its painted ceiling as well as alabaster statues. of various saints.





එසේම මීගමුවේ සාන්ත මරියා දේවස්ථානය වතිකානුවේ සින්ස්ටන් මැදුරේ දේවස්ථානය මෙන්  චිත්‍රයෙන් වර්ණවත්ය. එය මීගමුවේ සාන්ත පීතර විදුහලේ ක්‍රිස්තු ප්‍රතිමාව නිර්මාණය කල මෙන්ම වෙනත් බොහෝ විශිෂ්ට කලානිර්මාණ රාශියකට පනපෙවු, මීගමුවේ 'මයිකල ඇන්ජලෝ' යැයි අවිවාදයෙන් පිළිගන්නාවූ, විශිෂ්ට චිත්‍ර, මුර්ති සහ ඡයාරූප ශිල්පි N. S. ගොඩමාන කලාකරුවා විසින් නිමවන ලදී




Meet the Michelangelo of Negombo: A gifted master painter, sculptor and photographer, who painted Negombo St. Mary's Cathedral with Saints’ Paintings, the sculptor of Negombo St. Peters College’s Christ Statue and the artist of  a number of well known paintings and artworks, Mr. N. S. Godamanna.


මාකස් ප්‍රියන්ත පෙරේරා
28/03/15.

පෙර වදනක් - My Home town Negombo


පෙර වදනක්





මීගමුව ගැන මම කාලයක සිට මගේ facebook පිටුවේ ලිව්වෙමි. 

එය වසර ගණනාවක් පුරා විහිදුනු, විවිධ මාතෘකා ඔස්සේ දිගහැරුණු, දිග යොමුවක් බවට පත්වුයෙන් වෙනත් තැනක එය ස්ථානගත කිරීමට දැන් සිදුව තිබේ. ඒ එහිලා උනන්දුවන බොහෝ දෙනෙකුගේ ඉල්ලීම්වලට ප්‍රතිචාරයක් වශයෙනි. 


මීගමුවේ අපි ජීවත්වූ කාලයේදී එහි සිටි මහා යුගපුරුෂයින් කිහිප දෙනෙකුම සිය ජීවිතවල සැදෑසමය ගෙවමින් සිටියහ. ඔවුන් සමහරක් සමග කථාබහ කිරීමටද, ඔවූන්ගේ නිර්මාණ අසා දැනගැනීමටද වෙනත් කාලීන දෑ සම්බන්දයෙන් ඔවුන්ගේ කථාබස්වලට සවන්දීමටද භාග්‍ය ලදිමි. 

ශ්‍රී ලංකවේ වමේ ව්‍යාපාරයේ නියමුවෙක් වූ ව. ස. ප්‍රනාන්දු හෙවත් සන්තියාගෝ ප්‍රනාන්දු හෙවත් සන්තියාගෝ ගුරුන්නාන්සේ, මහා චිත්‍ර ශිල්පී N. S. ගොඩමන්න, සිංහල සිනමාවේ ප්‍රාරම්භකයෙක් වූ හියුගෝ ප්‍රනාන්දු, මහ අධිකරණ විනිසුරු ලෙස්ලි ප්‍රනාන්දු යන මහත්වරුන් ඔවුන්ගෙන් කිහිප දෙනෙකි. ඊට අමතරව මාගේ පියා, සීයා (මවගේ පියා) සහ වෙනත් දැන උගත් පිරිස් දිගින් දිගටම මීගමුව ගැන සිදුකරන කථාබස්වලින් මාගේ සවන් දිගින් දිගටම පිරී පැවතුනි. බොහෝදුරට ඒ කථාබස් වලින් කියවුනේ සුන්දර මෙන්ම සුවිශේෂී නගරයක් වන මීගමුව දිගින් දිගටම අභාවයට යමින් ඇති බවයි. 

ඔවුන්ගේ කථාබස් වලින් කියවුණු ඔවුන් හැදීවැඩුන මීගමුව පසු කලෙක මට මගේ අධ්‍යනවලදී නැවත හමුවුවෙමි. ඉන් සමහරක් දෑ මෙසේ පලකරමි.