This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Monday, 26 September 2016

කාදිනල් මැල්කම් රංජිත් කාගේ පැත්තේද?

ශ්‍රී ලංකාවේ දැන් පවතින දෙවන ජනරජ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව හෙවත් J.R. ජයවර්ධනගේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව වෙනස්කර නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සැකසීම සදහා කටයුතු දියත්වෙමින් ඇති මේ කාලයේදී, පවතින ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 09 වන වගන්තිය ප්‍රකාරව රටේ වැඩිදෙනකු අදහන ආගමවන බෞද්ධ ආගමට හිමිව ඇති ප්‍රමුඛස්‌ථානය කිසිම ලෙසකින් වෙනස් නොකළයුතු බව ශ්‍රී ලංකාවේ කතෝලික සභාවේ ප්‍රධානියාවන මැල්කම් රංජිත් කාදිනල්තුමා දිගින් දිගටම ප්‍රකාශ කරමින් සිටී. එය එක් අතකින් පැසසීමටත් අනෙක් අතින් විවේචනයටත් ලක්ව තිබේ. 

කාදිනල්තුමාව පැසසීමට ලක්ව ඇත්තේ ඔහු බෞද්ධයෙක් නොවන ප්‍රධාන ආගමික නායකයෙක් ලෙස 'රටේ ප්‍රධාන (පැරණි) ශිෂ්ටාචාරය' ගොඩනැංවීමෙහිලා මුලික වශයෙන් බලපෑ ප්‍රධාන ආගම ලෙස සැලකෙන බෞද්ධ ආගමට හිමි ස්ථානය තවදුරටත් ව්‍යවස්ථාණුකූලව ආරක්ෂාවුවහොත් සෙසු ආගම්ද ආරක්ෂා වන බව' දැක්වීම තුලය. මෙමගින් ඔහු බෞද්ධ ආගමත්, ව්‍යවස්ථානූකූලව එයට හිමිව ඇති ප්‍රමුඛස්‌ථානයත්, ශ්‍රී ලංකාවේ සිංහල-බෞද්ධ සංස්කෘතියත්, ජාතික අනන්‍යතාවයන් අගයන බවත් ඒ වෙනුවෙන් පෙනීසිටින බවත්, ඒ වෙනුවෙන් ඇපකැප වෙන බවත් කියවෙන අදහසක් බොහෝ දෙනා තුල ඇතිව තිබේ.

අනෙක් අතට, ඔහුව විවේචනයට ලක්ව ඇත්තේ වසර තිහක දීර්ඝ යුද්ධයකින් පසුව සිංහල සහ දෙමළ ජනකොටස්වල මෙන්ම සෙසු සුළු ජන කොටස් තුලද සාමය සහ සහජීවනය ඇති කිරීම සදහා, කිසිදු ජන කොටසකට හෝ කිසිදු ආගමකට විශේෂත්වයක් හෝ විශේෂ වරප්‍රසාද හිමිනොවන ලෙස සාධාරණත්වය සහ සමානත්වය මත පදනම්වූ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ස්ථාපිත කලයුතුයි විශ්වාස කරන පිරිස්වලිනි. කාදිනල් තුමා දක්වන ලෙස නව ව්‍යවස්ථාවක් යටතේද දැන් පවතින ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 09 වන වගන්ති වැනි එක් ආගමකට සහ ඒක කොටසකට පමණක් විශේෂත්වයක් සලසන වගන්ති තවදුරත් ඒ ආකාරයෙන්ම පැවතියහොත් නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සදහාවූ උවමනාව වන සාධාරණත්වය සහ සමානත්වය උදාකරගැනීමට එමගින් නොහැකිවීමත්, දැන් පවතින රාජ්‍ය ව්‍යුහය අර්ථාන්විතව වෙනස් කිරීමට නොහැකිවීමත් එම විවේචනයට හේතුවය. 

කෙසේවෙතත්, මගේ අදහස නම් කාදිනල්තුමා පවතින ව්‍යවස්ථාවේ 09 වන වගන්තිය අනුව බෞද්ධ ආගමට හිමිව ඇති ප්‍රමුඛස්‌ථානය ආරක්ෂා කිරීමට ඉදිරිපත් වන්නේ, බෞද්ධාගම හෝ සිංහල සංස්කෘතිය හෝ ජාතික අනන්‍යතාවය ආරක්ෂා කිරීමටවත්, සාධාරණත්වය සහ සමානත්වය මත පදනම්වූ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් බිහිවීම වැළක්වීමටවත් නොව හුදෙක් ආගමික නායකයෙකු ලෙස ඔවුන්ට හිමි සමාජ ස්ථානය ව්‍යවස්ථානුකූලව ආරක්ෂා කරගැනීමට බවය. එය එක් ආකාරයක වෘත්තීය අයිතිවාසිකම් ආරක්ෂාකර ගැනීමකට දෙවැනි නොවේ. අනෙක් අතින් බෞද්ධාගමට හිමි තැන ආරක්ෂාවුවහොත් සෙසු ආගම්ද ආරක්ෂාවන බව කාදිනල්තුමා දැක්වීම තුල කියවෙනුවේ ශ්‍රී ලංකාව තවදුරත් ආගමීක රාජ්‍ය වශයෙන් පැවතීම තුල සෙසු ආගම්වලටද පැවතිය හැකි බවකි. ව්‍යවහාරයේ ඇති 'දී කිරට බළල්ලුත් සාක්කි යැයි' යන්නද, 'අර හාමුදුරුවන්ට බෙදන්න යැයි කීම තුල මේ හාමුදුරුවන්ටද ලැබෙනවා' යැයි යන ආප්තෝපදේශද මෙහිලා ගැලපෙනු ඇත.

ඇත්ත වශයෙන්ම, ආගමික නායකයන්ගේ පසමිතුරු අනෙකා ලෞකීකත්වයය. එය කුමන හෝ මාර්ගයකින් ආගම අභිබවා නැගීසිටීම තුල ආගමික නායකයන්ගේ අධිකාරීත්වය විනාශවනු ඇත. එසේවුවහොත් ඔවුන්ටද පොදු ජනයා මෙන් දිනපතා ජීවන අරගලයක නිරතවීමට සිදුවේ. මින් අදහස් කරනුයේ ආගමික නායකයන් අතර, පූජ්‍ය පක්ෂයන් අතර සිටින සියල්ලන් දිනපතා ජීවන අරගලයක නිරත නොවන බව නොවේ. ඔවුන් සමාජයේ සුවිශේෂ කුලකයක් ලෙස භුක්තිවිදින වරප්‍රසාද අහිමිවීම පිළිබදව ඇති අනතුර පිළිබද ගැටළුවය. 

පැහැදිලිවම, ආගමික ශාස්තෘවරුන්ගේ ඉගැන්වීම්වල කෙසේ දක්වා තිබුනද, එම ඉගැන්වීම් සහ අර්ථයට පටහැනිව ආගමික නායකයන් සහ පූජ්‍ය පක්ෂයේ සාතිශය බහුතරයක් සුවිශේෂ සමාජ කුලකයක් ලෙස විශේෂ ස්ථානයක් උසුලන බව වර්තමාන අපේ සමාජය දෙස බැලීමෙන් පවා පෙනේ. රටේ නායකයන් පවා ඔවුන්ගේ උපදෙස් අනුව රට පාලනය කරන බව දැක්වීමේ සිට සෑම කටයුත්තකටම ඔවුන්ගේ ආශිර්වාද බලාපොරොත්තුවීම තුල ආගමික නායකයන් සහ පූජ්‍ය පක්ෂය සුවිශේෂ සමාජ කුලකයක් ලෙස පැවතීමේ වැදගත්කම බොහෝ ඉහල ගොස් ඇත. 

එය කෙතෙක්දයත්, තමන්හා සමාන වෘත්තීයක නියුතු, 'පාප්ට' (pope) පමණක් නොව රජ කෙනෙකු ඉදිරියේවුවද මහානායකයන් වහන්සේලා අසුනෙන් නැගිටින්නේ නැතැයි ලංකාවෙන් ඇසුනේ වැඩි ඈතකදී නොවේ (ලිපියේ මුල්ම ජයාරූපය සහ පහත ජයාරූපය ඒ සම්බන්ද අවස්ථාවන්ය). මින් කියවෙන්නේ ලංකාවේ බෞද්ධ භික්ෂුව වැනි ආගමික නායකයන් රජටත් (පාලකයාටත්) වඩා හෝ රජ (පාලකයා) හා සමාන සුවිශේෂී බලයක් භුක්තිවිදින බවය. 
මෙවැනි තත්වයක් යුරෝපයේ අදුරුතම යුගයවූ මධ්‍යතන යුගයේද (Medieval period) පැවැති බවත්, ක්‍රි. ව. 1302 'ශුද්ධ රෝම අධිරාජ්‍යයේ පාලකයා වූ අටවන බොනිෆස් (Boniface VIII) පාප්වරයා වරක් ප්‍රකාශකලේ 'පාප්වහන්සේ වන තමන්ට දෙවියන්ගේ නියෝජිතයා වශයෙන් සියල්ලන්ව විනිශ්චයකල හැකි බවත්, එහෙත් කිසිවෙකුට තමාව විනිශ්චයකල නොහැකි බවත් (The pope can rightly judge all humans but could be judged by none), නුතන ජාතික-රාජ්‍ය බිහිකිරීමේ ව්‍යාපෘතිය තුල ගොඩනැගුන නුතන රාජ්‍ය විසින් එය 'රාජ්‍ය සියල්ලන්ට විධාන දෙන, නමුත් කිසිවෙකුගෙන් විධාන නොගන්නා (The state give orders to all, take orders from none) තැනක් බවට පත්කළ බවත්, මම මීට පෙර ලියූ 'යුරෝපය ආගමීක ආධිපත්‍යයෙන් මිදීම සහ ලංකාවේ ඥානසාර හිමියන් ඇතුළු ආගමීක නායකයන් දේශපාලනයට මැදිහත්වීම' (එය මෙතනින් කියවිය හැක) දැක්වුහ. ඒ අනුව නුතන රාජ්‍ය බිහිවනුයේ රාජ්‍ය ආගමෙන් වෙන් කර රාජ්‍යයේ කටයුතු සදහා ආගමික නායකයන්ට මැදිහත්වීමට ඇති ඉඩ අඩුකිරීම තුලය. 

ශ්‍රී ලංකාවේ නුතන රාජ්‍ය බිහිකරන බ්‍රිතාන්‍යයන්, මෙරට රජවරුන්ගේ වැඩවසම් පාලන සමයේ පැවති ආගම සහ දේශපාලනය අතර සම්බන්දය අහෝසිකල අතර ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය යටත්විජිත පාලනයෙන් නිදහස ලබන්නේ ආගම සහ රාජ්‍ය දෙකක් ලෙස සලකන නුතන රාජ්‍යක් ලෙසය. 

එහෙත් නිදහසින් පසු මෙරට බෞද්ධ භික්ෂුන් වහන්සේලාගෙන් කොටසක් සහ සිංහල-බෞද්ධ ජාතිකවාදී (Sinhala-Buddhist Nationalist) දේශපාලන ව්‍යාපෘතීන් විසින් නැවතවරක්, රජකාලේ පැවති ලෙස, බෞද්ධාගම රාජ්‍ය ආගම කලයුතු බවත්, එය ව්‍යවස්ථාවේන්ම තහවුරුකල යුතු බවටත් දිගින් දිගටම උද්ගෝෂණ අතර එය 1972 පළමු ජනරජ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ තුල පිළිගැනීමට ලක්විය. එතැන් සිට යටත් විජිත පාලකයන් විසින් බිහිකළ ලංකාවේ නුතන රාජ්‍යය ක්‍රමයෙන් වැඩවසම් රාජ්‍යයක් කරා ගමන් කිරීම ඇරබු බව මගේ අදහසයි. 1978 දෙවන ජනරජ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව විසින්ද මේ තත්වය තවදුරටත් දීර්ඝ කල අතර එමගින් බෞද්ධ ආගමට ප්‍රමුඛස්‌ථානය හිමිවන අතරම සෙසු ආගම්වලටද පිළිගැනීමක් හිමිවන බව දක්වා තිබේ. 

මේ තත්වය හොදින් දන්නා මෙරට බෞද්ධාගමික භික්ෂුන්ද, කාදිනල් මැල්කම් රංජිත් වැනි යුරෝපා කතෝලික සභා ඉතිහාසය පිළිබද විශාරදයන්ද නව ව්‍යවස්ථාවක් යටතේ කිසිදු ජන කොටසකට හෝ කිසිදු ආගමකට විශේෂත්වයක් හෝ විශේෂ වරප්‍රසාද හිමිනොවන ලෙස සාධාරණත්වය සහ සමානත්වය මත පදනම්වූ රාජ්‍යයක් බිහිවුවහොත් එමගින් ආගමික නායකයන්ට හිමි සුවිශේෂී ස්ථානය අහිමිවන බව හොදින් දනී. එවැනි ආගම සහ රාජ්‍ය වෙන්කරන ලද රාජ්‍යයක් ලෞකීක රාජ්‍යක් ලෙස ආගමික නායකයන් බොහෝ දුරට දක්වන අතර එමගින් සදාචාරය සහ හැදියාව වල පල්ලට යන බවත් දක්වයි. 

එහෙත් ලංකාවේ බෞද්ධාගම රාජ්‍ය ආගමවීම තුල මෙරට සදාචාරය සහ හැදියාව ඉහල ගොස් නැති බවත්, එමගින් බෞද්ධාගමික හර පද්ධතීන් පරයා ආගමික දේශපාලනය සහ දේශපාලන භික්ෂුව පෙරට පැමිණි බවත්, යුරෝපා ඉතිහාසයේ මෙලෙච්චම අවධිය යුරෝපයේ ක්‍රිස්තියානි ආගම රාජ්‍ය ආගමවූ 'ශුද්ධ රෝම අධිරාජ්‍ය' පැවති යුරෝපයේ අදුරුතම යුගයවූ මධ්‍යතන යුගයේ බවත් ඔවුන් අමතක කරති. 

මුලික වශයෙන් ආගම සහ රාජ්‍ය වෙන්කරන ලද රාජ්‍යයක් හෙවත් අනාගාමික රාජ්‍යයක් (secular state) ලෞකීක රාජ්‍යක් ලෙස හැදින්වීම තුල secular state යන්න සම්පුර්ණයෙන්ම නිවැරදිව අර්ථ ගැන්වීමක් සිදු නොවීමටද පුළුවන. මන්දයත් අනාගමික රාජ්‍ය (secular state)ක් ගැන මුලින්ම අදහස් දැක්වූ බ්‍රිතාන්‍ය ජාතික ජෝර්ජ් ජාකොබ් හොලියෝක්ට (George Jacob Holyoake), (1817–1906), අනුව අනාගමික රාජ්‍යක් (secular state) යනු ආගම විවේචනය කිරීමෙන් හෝ ඉවත් කිරීමකින් තොරව සමාජ පර්යාය ආගමින් වෙන්කිරීමය (social order separate from religion, but without actively dismissing or criticizing religious belief). එය ආගම විනාශ කිරීමක් හෝ ආගම විසින් දිරිමත් කරවන වටිනාකම් විනාශ කිරීමක් හෝ නොවේ. එහෙත් රාජ්‍ය ආගමෙන් වෙන්කිරීම තුල මිනිසා නිදහස් මිනිසෙකු බවට පත්වෙන අතර ආගමීක නායකයන්ට වෙනම සමාජ කුලකයක් ලෙස පැවතීමට ඇති ප්‍රධාන අවකාශයක් ඉන් අහෝසිවී යැයි.  

විශේෂයෙන්ම යුරෝපයේ රාජ්‍යයන්  ආගමෙන් නිදහස්වීම තුල තවදුරටත්  රාජ්‍ය, දේශපාලනය සහ  මනුෂ්‍යාගේ කටයුතු සම්බන්දයෙන් ආගම තීරනාත්මක සාධකයක් වී නොමැත. මෙවැනි තත්වයක් තුල ෆ්‍රැන්සිස් පාප්තුමා වැනි ආගමික නායකයන්ගේ අභියෝගය වී ඇත්තේ නියම ක්‍රිස්තියානි හරයන් වන ප්‍රේමය, සමානත්මතාවය සහ දයාව වැනි පණිවිඩයන් තවදුරත් මහ ජනයා අතරට රැගෙන යන්නේ කෙසේද යන්නනයි. ඒ අනුව මෙතෙක් කතෝලික සභාව ප්‍රවර්ධනය කල ආයතනගත ඉගැන්වීම් සහ වත්පිළිවෙත් වෙනුවට ෆ්‍රැන්සිස් පාප්තුමා දිළිදන්, රෝගීන්, මහල්ලන් සහ පීඩිතයන් සොයාගෙන යමින් සිටී. මෙතෙක් කතෝලික සභාව දැඩි විරෝදයක් දක්වමින් ප්‍රතික්ෂේප කල සමලිංගිකයන් ආදිය විනිශ්චය කිරීමට තමන් කවරෙක් දැයි ප්‍රශ්න කරයි. එය මෙතෙක් දෙවියන්ගේ නියෝජිතයා ලෙස සැලකෙන පාප්වරයකුට බැගැහැපත්වීමට හැකි උපරිම අවස්ථාවය. සිය සභා නායකයා මෙවැනි නව ගමනක නිරතවී සිටියදී ලංකාවේ ඔහුගේ නායකයා ලෙස මැල්කම් රංජිත් කාදිනල්තුමා නිරතවී ඇත්තේ එයට හාත් පසින්ම වෙනස් ගමනක නොවේද ?
මාකස් ප්‍රියන්ත පෙරේරා
27/09/16.

Thursday, 15 September 2016

ස්වර්ණ පුස්තකය හිමිවිය යුත්තේ මීගමුවේ එරික් ඉලයප්ආරච්චිටය!!

ශ්‍රී ලංකාවට චිත්‍රපටි කලාව හදුන්වාදුන්නේ මීගමුවෙන් බව අපි බොහෝදෙනෙකු දන්නෙමු. එමෙන්ම එම කලාව පෝෂණය කිරීමට අවශ්‍ය නළු-නිළියන් ආදී රංග ශිල්පීන්ද,   කැමරාශිල්පීන්, සංස්කාරකවරුන්, පිටපත් රචකයින් ආදී බොහෝ තාක්ෂණික ශිල්පීන් සියගණනක් ද මීගමුවෙන් බිහිකල බවද, අදටද බිහිකරමින් සිටින බවද අපි දන්නෙමු. 

එමෙන්ම, ලංකාවේ නාට්‍ය කලාවේ ආරම්භය මීගමු දූවේ පාස්කු නාට්‍ය කලාව බවත්, නුතන සිංහල නාට්‍ය කලාවේ මුදුන්මල්කඩ ලෙස හදුන්වන එදිරිවීර සරත්චන්ද්‍රයන්ගේ මනමේ නාට්‍ය පවා ගොඩනැගෙනුයේ මීගමු දූවේ පාස්කු නාට්‍ය කලාව අස්වද්දාලූ ආකෘතීන් අතුරින් බවත් බොහෝ අධ්‍යයන ඔස්සේ හෙළිකර ඇති බව නොරහසකි.  

තවද, ලංකාවට කණ්ඩායම් සංගීතයක් බිහිකළේ මීගමුවේ නෙවිල් ප්‍රනාන්දුගේ 'ලොස් කැබැල්රොස්' (Los Caballeros) සංගීත කණ්ඩායම බවත්, ක්ලැරන්ස් විජේවර්ධනයන් පවා එහි නාද ශික්ෂණය ඇසුරුකළ අයකු බවත්, අදටත් පොකුරු පිටින් සංගීත කණ්ඩායම්ද, ගායක ගායිකාවන්ද, සංගීත ශිල්පීන් රාශියක්ද මීගමුවෙන් බිහිකරමින් සිටින බවත් මම මෙන්ම ලංකාවේ බොහෝ අයද මතුකළ කරුණකි. 

එසේම, ලංකාවේ චිත්‍රකථා සම්ප්‍රදායක් ගොඩනැන්වීමෙහිලා කැමිලස් පෙරේරා මෙන්ම නුතන චිත්‍ර කලාව  ගොඩනැන්වීමෙහිලා මුලිකත්වය ගත්   කුලනාථ සේනාධීරයන්ද බිහිවුයේ මීගමුවෙන් බව විෂයානුබද්ධ දැනුමක් ඇත්තෝ දනිති. 

එහෙත්, නුතන ලාංකීය සිංහල සාහිත්‍යයේ  වත්මන් අද්වීතීය සලකුණවන  එරික් ඉලයප්ආරච්චි ශූරීන් බිහිවන්නේද මීගමුවෙන් බව දන්නෝ මීගමුවේ සිටින්නේද අල්පයකි. 

එරික් ඉලයප්ආරච්චි මහතාගේ 'බගන්දරා' (1998), 'විතණ්ඩ සමය' (2003), 'ආදරයේ සිමෙන්ති' (2005), 'ලලිත සමය' (2011), 'පාද යාත්‍රා' (2013) යන නවකතාවන්ද, 'මගේ කොළඹට සඳ පායයි' (2008),  'පියස්සක් නැති පරෙවියෙක් ' (2011) සහ 'පිත්තල හන්දිය' (2012) යන කවි පොත්ද  බොහෝ ලාංකීය සාහිත්‍ය විචාරකයන්ගේ විශිෂ්ඨ ඇගයීමට මෙන්ම  විවිධ සම්මානයන්ටද පාත්‍ර වූ ගද්‍ය සහ පද්‍ය නිර්මාණයන්ය. 

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් සංවිධානය කරන ‘ස්වර්ණ පුස්තක සම්මානය' සදහා මේ වසරේ (2016) තෝරාගත් අවසාන පොත් පහ අතරට  ද එරික් ඉලයප්ආරච්චි මහතාගේ නවතම නවකතාව වන 'පර්දේසි' (2016) නව කතාව  තෝරා ගැනිණි.  එම නවකතාව සම්බන්දයෙන්ද ලාංකීය සාහිත්‍ය විචාරකයන් දැක්වුයේ සුවිශේෂී උන්නදුවකි. 2016 මැයි 05 වෙනි දින 'දිවයින' ඉරිදා සංග්‍රහයට  'කලා ගවේසි - පරදේසි, නූතන නවකතා කලාවේ අර්බුදය හමුවේ පරදේසි නවකතාව' නමින් ලිපියක් ලියන සජීව ප්‍රසන්න මහතාගේ ඇගයීමට අනුව 'එරික් ඉලයප්ආරච්චි ශූරීන් යනු පියදාස සිරිසේන, ඩබ්ලිව්. ඒ. සිල්වා, මාර්ටින් වික්‍රමසිංහ, එදිරිවීර සරච්චන්ද්‍ර, ගුණදාස අමරසේකර, සයිමන් නවගත්තේගම වැනි සිංහල නවකතාවේ විකාශනයේහිලා බලපෑ දැවැන්තයින් සමග අද්විතීය ස්ථානයක තැබිය හැකි සුවිශේෂී සාහිත්‍ය සලකුණකි.'


මීගමුව මාරිස්ටෙලා විදුහලෙන් බිහිවූ රට සුපතලයන් දෙදෙනෙක්වූ නැසීගිය කෘතහස්ත දේශපාලනඥයෙක් වන ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ හෙවත්, එවකට පුවත්පත් වැඩියෙන්ම ආමන්ත්‍රණයට කැමතිවු ලෙස, ජයරාජ් ප්‍රනාන්දුපුල්ලේ  (ජය+රාජ්+ප්‍රනාන්දු+පුල්ලේ) මහතාගේ මෙන්ම  එරික් ඉලයප්ආරච්චි (එරික්+ඉලයප්ප+ආරච්චි) මහතාගේ නමින් පමණක්වුවද ඔවුන් මීගමුවේ වැසියන් බව  නොවහලා කිව හැක. මන්දයත්  මීගමුවේ ඇති  සිංහල, දෙමළ, දකුණු ඉන්දියානු, අරාබි, නැගෙනහිර ආසියානු සහ බටහිර යන විවිධ ජාතීන්ගේ  සහ කතෝලික, ක්‍රිස්තියානි, හින්දු, මුස්ලිම් සහ බෞද්ධ  යන ආගම්වල සම්මිශ්‍රණයෙන් ගොඩනැගුනු විශ්වීය සංස්කෘතිය ඒ නම් ඔස්සේ පවා විද්‍යාමානවන නිසාය. 


එරික් ඉලයප්ආරච්චි මහතාගේ ඇතැම් සාහිත්‍ය කෘතිවල වස්තුවිෂය පමණක් නොව වාස්තවිකයද මීගමුවය. උදාහරණයක් ලෙස 'බගන්දරා' (1998) නවකතාව පදනම් වනුවේ මීගමුවේ මහිමගොඩැල්ල ප්‍රදේශයය. 'ආදරයේ සිමෙන්ති' (2005)  නවකතාවේ (පිටු 166-7) එන 'සුදේෂ් ගරාජයේ සේවය කල අයූබ්ගේ මරණය' 90 දශකයේ මීගමුව පෙරියමුල්ලේ  සිදුවූ මුස්ලිම් ජාතිකයෙකුගේ මරණය සමග ඇතිවූ තත්වය සිහි කැදවයි. 

එරික් ඉලයප්ආරච්චි මහතාගේ සියළුම සාහිත්‍ය කෘතීන් නිරූපණය කරන  ජාතී, ආගම්, කුළමල සහ දේශසීමා ඉක්මවා ගිය විශ්වීය සංස්කෘතිය සහ ජාත්‍යන්තර ඥානප්‍රභාව ප්‍රතිබිම්භනය  කරනුයේ විවිධ ජාතීන් සහ විවිධ ආගම්  සම්මිශ්‍රණයෙන් ගොඩනැගුනු මීගමුවේ පවත්නා උක්ත විශ්වීය සංස්කෘතියය. එයට එක් උදාහරණයක් ලෙස පිත්තල හන්දිය (2012) කවි පොතේ එන 'ආකාස කඩේ බෝම්බය' නම් පහත සදහන් කවිය ගෙන බලන්න:
ලෝ යදමින් නිදහස් වී
අහස උසින් පිහාටුවකසැප සිටුවර පුටුව තබා 
තොළ ගානා විට මධුවිත
කොටි වට කර මගෙ සිහිනය
වෙඩි තබනා සැටි දුටුවෙමි

දැරියක සේ නිරුවත් වී
නාගසාකි මහ පාරේ
මගෙ සිහිනය දිව යන කල
අරගත් පින්තූර රැසක්
බීබීසි නිව්ස් ලෙසින්
පත්තර පිටුවල පළ විය‍

යුද ගිනිදැල් නිවුණු පසුව
මගේ සිහින අවතාරය
යටි පතුලේ සිට ම වෙළා
මොඩර්න් ආර්ට් මූර්තියක්
විලස තනා කලාභවන
මැද සිටුවා මළකඩ කෑ
එන්නත් කටු ගසා තිබිණ

සුවපත් වුණු මගෙ සිහිනය
අහිමි දෙපා ගැන සිතමින්
රෝද පුටුව මත සැතපී
අහස අඳුරු නැති දිනවල
වලා අතර සුදට පෙනෙන
හෙද සඳ දෙස බලා සිටියි.
ආකාස කඩේ යනු පැරණි සෙලින්කෝ සමුහ ව්‍යාපාරයට අයත් මුලස්ථාන ගොඩනැගිල්ලේ පැවති අවන්හලකි. එයද කොටින්ගේ මහා බැංකු මහා බෝම්බ ප්‍රහාරයෙන් විනාශවිය. එම සිද්ධිය තේමාකරගත් උක්ත කාව්‍ය  විස්තර කිරීමට කවියා වියට්නාම් නාපන් ප්‍රහාරය(දැරියක සේ නිරුවත්වී),  ජපානයේ පරමාණු බෝම්බ ප්‍රහාරය (නාගසාකි මහ පාරේ) සහ බීබීසි නිව්ස්  ආදී විශ්වීය ඥානප්‍රභාවන් ගෙන එයි. එහෙත් කවියේ රසයට හෝ අර්ථයට කිසිදු හානියක් ඉන් නොසිදුවේ. මා වැරදිද යන්න තක්සේරු කර බැලීමට නැවතත් එම කාව්‍ය පන්තිය කියවා බලන්න.

මෙවර ‘ස්වර්ණ පුස්තක සම්මානය'
සදහා  (2016) තෝරාගත් අවසාන පොත් පහ අතර වූ එරික් ඉලයප්ආරච්චි මහතාගේ 'පර්දේසි' (2016) නව කතාවද  'ජාතික සහ විජාතිකත්වය' තුල සිරවූ ශ්‍රී ලාංකිකයා ගැන සාකච්ඡා කරන, ලාංකීය පාඨකයා කියුබාව, හංගේරියාව නොර්වේ යන රට රටවලට පමණක් නොව සමාජ, දේශපාලන, සාහිත්‍ය සහ දර්ශනය වැනි විෂයන් රාශියක් වෙත ගෙනයන අති පුළුල් සාහිත්‍ය කෘතීයක් බව සදහන්ය.

එය මෙවර ‘ස්වර්ණ පුස්තක සම්මානය' සදහා අවසාන වශයෙන්  සලකා බැලූ සෙසු  කෘතීන්  හතරටම වඩා පුළුල් වපසරියක් සහිත, සිංහල පාඨකයන් තව තවත්  හුබස් තුලටම ගෙනයනවා වෙනුවට එයින් එපිට ලෝකයක් දැකීමට පොලබවන්නක් බව සෙසු නවකතා ගැන ඇති හැදින්වීම්වලින් පවා තේරුම්ගත හැක:

1.   ලියනගේ අමරකීර්තිගේ අහම්බකාරක – 

ශ්‍රී ලංකාවේ වලව් පැලැන්තිය අවසානවී යාමත්, ලංකාවේ  පැරණි වාමාංශික ව්‍යාපාරයේ බිදවැටීමත්, නව වමේ  ව්‍යාපාරය ද පැරණි වමේ විකාශනයක් වීමත් තේමාව කරගත්තකි. 

2.  මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ මාණික්කාවත

ශ්‍රී ලංකාවේ 18 වන සියවසේ රත්නපුරය වැනි සබරගමුව ප්‍රදේශයේ විශාල වනාන්තර එළිපෙහෙළි කරගනිමින් පදිංචියට ගිය ජනයාට මැණික් ලැබීම නිසා සිදුවන සමාජ ජීවන පෙරලිය කේන්ද්‍ර කරගත්තකි. 

3. සුමුදු නිරාගී සෙනෙවිරත්නගේ දුල්වල අලංකාරේ-

බ්‍රිතාන්‍ය යටත්විජිත යුගයේ මුඩුබිම් පනත කේන්ද්‍ර කරගත්තකි.

4. සුනේත්‍රා රාජකරුණානායකගේ කොළඹයා සහ ෂැන්හයියා - පාරම්පරිකව කොළඹ සිටින චීන ව්‍යාපාරිකයන් කේන්ද්‍ර කරගත්තකි. 


ඉහත නවකථා ඇසුරින් එරික් ඉලයප්ආරච්චි මහතාගේ 'පර්දේසි' (2016) නව කතාව සිංහල පාඨකයන් තව තවත්  හුබස් තුලටම ගෙනයනවා වෙනුවට එයින් එපිට ලෝකයක් දැකීමට පොලබවන, සිංහල නව කතාවට නව ආකෘතියක් සැපයු,  පුළුල් වපසරියක් සහිත, ජාති, ආගම්, දේශසීමා ඉක්මවා ගිය,  ජාත්‍යන්තර ඥානප්‍රභාවකට  පාඨකයා ලක්කළ  විශිෂ්ඨ කෘතියක් ලෙස බොහෝ විචාරයකයින්ගේ නිර්දේශයට ලක්වුවද, ස්වර්ණ පුස්තක සම්මානය හිමිවුයේ ලියනගේ අමරකීර්ති මහතාගේ අහම්බකාරක නවකතාවටය

එහිලා ඔහු පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිංහල අංශයේ මහාචාර්යවරයා ලෙසත්, විවිධ සාහිත්‍ය පොතපත නිතර පලකරන්නෙකු ලෙසත්, සිංහල පුවත්පත්වලට මෙන්ම facebook වල පවා භාෂාව සහ  සාහිත්‍ය පිළිබද  ලිපි ලේඛන සපයන්නෙකු ලෙසත්, මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර අභිනන්දනය කිරීමෙහිලා හෝ වෘත්තීය නියුතු ස්ථානයවීම නිසා හෝ, නියමින් හෝ අනියමින්, පේරාදෙණිය ගුරුකුලය වෙනුවෙන් පෙනීසිටීම වැනි සාධකයන් තුල ගොඩ නගාගෙන ඇති සිවිල් බලය වක්‍රාකාරව හේතුවුයේදැයි අපි නොදනිමු. තවද සජීව ප්‍රසන්න මහතාගේ කලින් සදහන් කල 'දිවයින' පුවත්පතේ  ලිපියේ ලියවී තිබු ගුණදාස අමරසේකරගේ "නොසෙවුනා කැඩපත" නම් ග්‍රන්ථයේ සදහන්වූ ලෙස "සිංහල නවකතාව පේරාදෙණිය වෙත සංක්‍රමණය වීමෙන් පරිහානියට පත් වූවායි" යන්නේහි නුතන පෙළගැසීම මෙය වීමට හැකිදැයි අපි නොදන්නෙමු. 

කෙසේවුවද, ස්වර්ණ පුස්තක සම්මානය හිමිවීම නොවීම මත  එරික් ඉලයප්ආරච්චි ශුරීන්ගේ නිර්මාණ දායකත්වය කිසිම ලෙසකින් අඩපනවීමක් නොවන බව ඔහුගේ සාහිත්‍යකරණය ඔස්සේම ප්‍රදර්ශනය වී හමාරය. 

එහෙත් දෙවතාවක්ම  ස්වර්ණ පුස්තක සම්මානයෙන් පිදුම් ලබන අමරකීර්ති ආදීන් පණපොවන අදහස් සමුදායන් තුලින් ස්වොත්මවාදී සිංහල සමාජ දේශපාලන කදවුර තව තවත් ශක්තිමත් කරනු ඇත. එයට එක් උදාහරණයක් ලෙස පසුගිය දිනක ඔහු සිය facebook පිටුවේ තැබූ සටහනක් ගෙනහැර දැක්විය හැක....

තිසර පෙරේරා සෑම තරගයකදීම පිටියට එද්දී සිය පපුව මත ශුද්ධ වූ ත්‍රිත්ත්වය සටහන් කර දෙවියන් යදින නමුත් ඒ කුරුසිය සටහන් කරන්නට පපුවක් මිස විශිෂ්ට ක්‍රීඩකයෙකු බවට පත්වීමට අවශ්‍ය මොළයක් ඔහුට ලබාදීමට දෙවියෝ සෑම දවසකම ප්‍රතික්ශේප කරති. පිරිත් නූල් කිලෝ ගණන් පැළදි අයගේ හිසෙහි ඊට වැඩි මොළයක් ඇතැයි ඉන් අදහස් නොවේ. අනේ ඩිල්ෂාන් ඔබේ විශ්‍රාමික ජීවිතයේ තනියට තිසර පෙරේරාද රැගෙන යන්න. නැති නම් මහේල ජයවර්ධනගේ සුඛනම්‍ය මැණික් කටු යුවළ ටික කාලෙකට ඔහුට ඉල්ලා දී පිටියේ ඕනෑම තැනක ඇති හිස් තැන් වෙත පන්දුව එල්ල කිරීමේ කලාව තිසර පෙරේරාට කියාදෙන්න.

ඔහුගේ ඒ  අදහස සම්බන්ධයෙන් මට කීමට තිබුනේ මෙපමණකි..


තිසර පෙරේරාගේ අසාර්ථක පිතිහරඹයන් ගැන අදහස් දැක්වීමේදී ඔබේ ඇස ගැටෙනුයේ ඔහු 'සිය පපුව මත ශුද්ධ වූ ත්‍රිත්ත්වය සටහන් කරගැනීම' වැනි Fetish දේවල්. ඒ වගේම ඉස්ලාමිය කාන්තාවන්ගේ මුහුණ ආවරණය ගැන අදහස් දක්වන post එකක් share කරන ඔබ දක්වන්නේ 'මේ වගේ අභ්‍යන්තරයෙන්ම (මුස්ලිම් සමාජය තුලින්ම) විචාරයක් මතු කිරීම විය යුතු බවයි - ඒ බුර්කාව පිටුදැකීමට. මෙහිදී අප කියවන්න අවශ්‍ය ඒ අයගේ සංස්කෘතික ආයිතම් සහ ඔවුන්ගේ ක්‍රියාකාරීත්වයන් අතර අර්ථාන්විත සම්බන්දකමක් නැතිකම නෙමේද? තිසර පෙරේරාගේ අසාර්ථක පිතිහරඹයන්ට හේතුව ඔහුගේ අනුවණ පහරවල් තෝරාගැනීමයි. එය ඕනෑම ක්‍රීඩකයෙක් අතින් වියහැක්කක්. එහෙත් මෙහිදී ඔබ තිසර පෙරේරා 'සිය පපුව මත ශුද්ධ වූ ත්‍රිත්ත්වය සටහන් කරගැනීම' හෝ ඔහුගේ මොළය සහ ලබ්බ්ධිය/ දෙවියන් ආදිය අතර ඇති සම්බන්දය ගැන කථා කරමින් ඒ සම්බන්දය විමසා බලන්නැයි ඔබ අපිට යෝජනා කරනවාද ? නොඑසේනම් මෙවැනි ප්‍රකාශ තුල ඔබ යෝජනා කරන්නේ සිංහල භාෂාත්මක පරිකල්පනයන් ඔස්සේ ගොඩනැගී ඇති සිංහල-බෞද්ධ සමාජයේ වර්තමාන ආත්මීය ලක්‍ෂණයන් අපට තේරුම් ගන්නා ලෙසද ?

ඉහත ආකාරයට, සිංහල පාඨකයා තව තවත්  හුබස් තුලට ගෙනයනවා වෙනුවට, ජාති, ආගම්, දේශසීමා ඉක්මවා ගිය, එයින් එපිට ලෝකයක් දැකීමට පොලබවන, පුළුල් වපසරියක් සහිත, ජාත්‍යන්තර ඥානප්‍රභාවකට  පාඨකයා රැගෙන යන, මීගමුවේන් බිහිවූ, එරික් ඉලයප්ආරච්චි මහතාගේ 'පර්දේසි' (2016) නව කතාවට  ස්වර්ණ පුස්තක සම්මානය හිමිවිය යුතුයැයි මම දක්වන්නේ ඒහිනි.
මාකස් ප්‍රියන්ත පෙරේරා
15/09/16.

Sunday, 4 September 2016

ලංකාවේ පැරණිම කාන්තා විදුහල මීගමුවේ නිව්ස්ටෙඩ් බාලිකා විදුහලය

මේ වසර තුල මා මීගමුව ගැන ලිවීමට අපේක්ෂාකල මාතෘකා කිහිපයෙන් එකක්වුයේ මීගමුව නිව්ස්ටෙඩ් බාලිකා විදුහලය. ඒ මීගමුව නිව්ස්ටෙඩ් බාලිකා විදුහලට මේ වසරේදී (2016) දෙසිය (200ය) වසරක් පිරීම නිමිත්තෙනි. ශ්‍රී ලංකාවේ කිසිම කාන්තා විදුහලකට මීගමුව නිව්ස්ටෙඩ් බාලිකා විදුහල තරම් දීර්ඝ ඉතිහාසයක් නොමැත. අදටත් ක්‍රියාත්මක මීගමුවේ නිව්ස්ටෙඩ් බාලිකා විදුහල ලංකාවේ පැරණිම කාන්තා විදුහලය. එහෙත් ඒ බව දන්නේ ලංකාවේ කීයෙන් කීදෙනාද? ලංකාවේ පැරණිම කාන්තා විද්‍යාලය මීගමුවේ නිව්ස්ටෙඩ් බාලිකා විද්‍යාලය බව හඩනගා කියන්නේ ශ්‍රී ලාංකීකයන් අතරින් කීයෙන් කීදෙනෙකුද? ශ්‍රී ලංකාවේ කාන්තා අධ්‍යාපනයේහිලා බාලිකා පාසැල් පිහිටවීමේ පෙරමන් විවරකලේ නිව්ස්ටෙඩ් බාලිකා විදුහල බවත්, එය මහා ස්ථම්භකයක් ලෙස මීගමුවේ පිහිටා තිබෙන බවත් නොවහලා කියන්නෝ කීදෙනෙක් නම් ලංකාවේ ජනමාධ්‍යවල, විශ්ව විද්‍යාලවල, ඉතිහාස පොත්පත් ලියන්නන් අතර සිටීද ?  

ස්වදේශීය මාධ්‍යන්ගෙන් සිප්සතරකල ස්වෝත්තමවාදී ලාංකීය නව සමාජ පන්තීන් ජාති-අන්ධකාරයෙන් පෙළහරපාමින් සෑම සියළු ඉතිහාස වැදගත්කමක්ම 'බටහිර පරගැතිකමින්' ගලවා වංශකථා සාහිත්‍යයේ එන උතුරැ ඉන්දියානු මූලයන්ට බද්ධ කිරීමට වෙරදරමින්  සිටින මෙකල 'More Beyond' නම්  වෙස්ලියානු (Wesleyan / Francis Baconආදර්ශ පාඨයන් අර්ථයක් නැති  හැගවුම්කාරකයන්වීම එයට හේතුවවීමට පුළුවන.  

එහෙත් 'More Beyond' යන්න ශතක දෙකක් පුරා මීගමුව පුරවරයේ පමණක් නොව අවට ප්‍රදේශයන්හි පවා විසූ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, ජා, මැලේ, බර්තාස්, පරවර්, හෙට්ටි, කොච්චි හෝ බෞද්ධ, හින්දු, මුස්ලිම්, කතෝලික, ක්‍රිස්තියානි හෝ කරාව, දුරාව, සලාගම, ගොවිගම යන අනේකවිධ ජාති, ආගම්, කුල  ආදීයට අයත් ලක්ෂ සංඛ්‍යාත බාලිකාවන්ට කිසිදු බේදයකින් තොරව සිංහල මෙන්ම ඉංග්‍රීසි මාධ්‍යයන්ගෙන්ද අධ්‍යාපනය ලබාදුන් මීගමුව නිව්ස්ටෙඩ් බාලිකා විදුහලේ ආදර්ශ පාඨයය.  
ඒ ආකාරයෙන් කිසිදු බේදයකින් තොරව අධ්‍යාපනය ලබාදීමෙහිලා මීගමුවේ නිව්ස්ටෙඩ් බාලිකා විදුහල ලබාදී ඇති පරමාදර්ශයට ආසන්නවීමටවත් ශ්‍රී ලංකාවේ නමගිය බොහෝ බාලිකා පාසැල්වලට අදටත් නොහැක. ඔව්හු ඔක්කො ජාතියට නැතිනම් ආගමට පමණක් සීමාව සිප්සතර හදාරන්නන්  ජාතියෙන් සහ ආගමින් මුසපත් කරමින් සිටිති. මීගමුව නිව්ස්ටෙඩ් බාලිකා විදුහල එවන් සීමාවන්හී කොටු නොවී අදටත් 'More Beyond' නම් සිය ආදර්ශ පාඨය පෙරදැරි කරගනිමින් විරාජමානව වැජබෙති. එහෙත් ඒ පණිවිඩය රටට ගෙන ගොස් රටේ සියල්ලන් ජාති-ආගම් අන්ධකාරයන්ගෙන් අවදිකරලීමට වෙර නොදරති. ඒ එහි ආරම්භය රටේ ප්‍රධාන ජාතික-ආගමික සංස්කෘතික අනන්‍යතාවයට වෙනස්ව සිදුව ඇති නිසාත්, අඩුම වශයෙන් වෙනත් පැරණි කාන්තා විදුහල් මෙන්  නිව්ස්ටෙඩ් විදුහල යටත්විජිත යුගයේදී සිදුවූ බෞද්ධ ආගමික ප්‍රබෝධයට කිසිලෙසකින්වත් සම්බන්ද නොවූ නිසාද වියහැක. එහෙත් ලංකා ඉතිහාසය තුල මීගමුව නිව්ස්ටෙඩ් විදුහලට හිමිවිය යුතු අද්විතීය ස්ථානය කිසිකලක විතැන්කල නොහැක.

නිව්ස්ටෙඩ් විදුහල ආරම්භකරනුයේ එංගලන්තයේ සිට පැමිණි  Robert Newstead නම් වෙස්ලියානු සභාවේ පියතුමා විසිනි. ඒ 1817දීය. ඒවන විටත් වේස්ලියානු සභාව විසින් ලංකාවේ පැරණිම පාසැලක් ලෙස සැලකෙන ගාල්ලේ Richmond විදුහල ආරම්භකර තිබුණි. 1817 දී Robert Newstead පියතුමා මීගමුවට පැමිණේනවිටත් මීගමුවේ වෙස්ලියානු ක්‍රිස්තියානු සභාවක් තිබුණි.  Don Daniel Pereira පියතුමාද, L.E.Pereira මුදලිතුමාද එම සභාවේ සිටි බව ලංකා වේස්ලියානු සභාවේ දුත මෙහෙවර ගැන සදහන් වාර්තාවලට අනුව පෙනේ. එමෙන්ම ඔවුන් 1816 සැප්තැම්බර්යේ සිට ඉරිදා පාසැලක් පවත්වාගෙන ගොස් තිබුණි. නිව්ස්ටෙඩ් විදුහලේ මුල් පදනම එයය. ඒම කාලය වනවිටත් මීගමුවේ ඉරිදා පාසැල් කිහිපයක් පල්ලි මට්ටමින් පවත්වාගෙන යමින් තිබු බව එම වෙස්ලියානු වාර්තාවලම දැක්වේ. වෙස්ලියානු ඉරිදා පාසැලටද ගැහැණු පිරිමි ළමයින් දෙපක්ෂයම පැමිණි බව සදහන්ය. 

එහෙත් 1817 දී  Robert Newstead පියතුමා විසින් මෙම ඉරිදා පාසැල සතියේ දිනවල ක්‍රියාත්මකවන පිරිමි පාසැලක් බවට පත්කරන ලද අතර ඉරිදා පාසැලට ගැහැණු පිරිමි ළමයින් දෙපක්ෂයම පැමිණි තිබේ. නොබෝ කලකින් එය ගැහැණු ළමුන්ගේ පාසැලක් බවට පත්වුයේ මීගමුවේ ඒ වනවිටත් පිරිමි ළමුන් සදහා පාසැල් කිහිපයක්ම තිබු නිසාත් ගැහැණු ළමුන් සදහා පාසැලක් මීගමුවේවත්, ලංකාව තුලත් නොපැවැති නිසාය. මේ විස්තර ලන්ඩනයේ SOAS විශ්වවිද්‍යාල පුස්තකාලයේ ඇති වෙස්ලියානු ධර්මදුත වාර්තාවල සදහන්ය (SOAS, Missionary Notices Vol I -Vol III, 1819-20). අභිනවයෙන් ගොඩනැගුණ මේම වෙස්ලියානු පාසැල සදහා මීගමුවේ පිහිටි ලන්දේසි පෙරදිග වෙළද සමාගමට (VOC) අයත් අනු-සමාගමකට කලක් අයත්ව තිබු පැරණි බංගලාවක් සහ ගබඩාවක් සහිත ඉඩමක් රික්ස් ඩොලර් 1500කට මිලදී ගෙන තිබේ. අදටත් එම ගොඩනැගිල්ල Mission House ගොඩනැගිල්ල ලෙස මීගමු නිව්ස්ටෙඩ් විදුහල් භූමියේම වෙරළට මුහුණලා  පිහිටා තිබේ. 
ශ්‍රී ලංකාවේ කාන්තා අධ්‍යාපනයේලා විධිමත් පාසැල් ක්‍රමයක් ආරම්භවීමට වසර එකසිය තිහකටත් (130) පෙර කාලයක ආරම්භවන මීගමුව නිව්ස්ටෙඩ් විදුහල  ශ්‍රී ලංකාවේ කාන්තාවන් සදහා ද්විතීය අධ්‍යාපනය සහ නේවාසික අධ්‍යාපනය මුලින්ම හදුන්වාදුන්  පාසැලද වේ. 1911 වනවිටත් බ්‍රිතාන්‍යයේ උසස් සමාර්ථ අධ්‍යාපන  සදහා ලංකාවේන් සිසුවියන් ඉදිරිපත්කරන පාසැලක් ලෙස මීගමුවේ නිව්ස්ටෙඩ් බාලිකා විදුහල පිළිගැනීමට ලක්ව තිබුණි.  Claribel Beven මහත්මිය මෙලෙස මීගමුවේ නිව්ස්ටෙඩ් විදුහලින් සිප්සතර හදාරා බ්‍රිතාන්‍යයේ උසස් අධ්‍යාපනය ලැබූ මීගමුවේ උපන් ලංකීක කාන්තාවකි. 

එමෙන්ම, ලංකාවේ දහනවවන සියවසේ අගභාගයේ සහ විසිවන සියවසේ මුල්කාලයේ ඇරබී බොහෝ කාන්තා විදුහල් සදහා පරමාදර්ශය කරගත්තේ මීගමුවේ නිව්ස්ටෙඩ් බාලිකාවය. විශේෂයෙන්ම ගාල්ල Southlands බාලිකාව ආරම්භකල Lucy Vanderstraaten (1885) මෙනවියද, කොළඹ Musaeus College විදුහල ආරම්භකල Marie Musaeus Higgins (1891) මහත්මියද, කොළඹ විශාඛා විද්‍යාලය ආරම්භකල Celestina Dias (1917) මහත්මියද ඒ අතර වෙන බව  Douglas Allen (1992) විසින් සංස්කරණයකල 'Religion and political conflict in South Asia' කෘතියේ එන 'Western Women Construct the Eastern Wife and Mother'  රචනයට අනුව පෙනේ. විශේෂයෙන්ම A.D. Dixon (1917) මහත්මිය නිව්ස්ටෙඩ් බාලිකාවේ විදුහල්පතිනිය ලෙස පත්වනවිට නිව්ස්ටෙඩ් බාලිකාවේ කීර්තිය බොහෝ ලෙස ඉස්මතුව තිබු බවත් ඇය ලංකාවේ බොහෝ ප්‍රකට කාන්තා පාසැල්වල ත්‍යාග ප්‍රධාන උත්සව වලට නිතර ඇරයුම් ලැබු තැනැත්තියක් බවත් සදහන්ය.

1962දී ක්‍රිස්තියානි සහ කතෝලික සභාවන් විසින් පාලනයකල පාසැල් රජයට පවරාගැනීම රටේ වෙනත් ප්‍රදේශවල මෙන්ම මීගමුවේද සියළු කතෝලික සහ ක්‍රිස්තියානි පාසැල්වලට එල්ලවූ දැවැන්ත හානියක්විය. එමගින් විදේශ මිෂනාරි සේවාවන් සහ විවිධ ක්‍රිස්තියානි සභාවල ආධාරයෙන් පවත්වාගෙන ගිය පාසැල්වල නඩත්තුව සහ උන්නතිය රජයට පවරාගත්හ. එතැන් සිට රජයේ මැදිහත්වීම් සහ අරමුදල් ලැබෙන තරමට එම පාසැල්වල වර්ධනය ඉහල පහල යෑම තීරණයවිය. 

ශ්‍රී ලංකාවේ කාන්තා අධ්‍යාපනහිලා මීගමුව නිව්ස්ටෙඩ් බාලිකා විදුහල කෙතරම් උදාර සේවයක් ඉටුකර ඇද්දයත් යන්න විමසා බැලීමේදී පෙනීයනුවේ 1983 දී J.R. ජයවර්ධන ජනාධිපතිතුමා විසින් පත්කළ ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලයක ප්‍රථම කාන්තා උප කුලපතිනිය වූ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආචාර්ය විමලා ද සිල්වා මැතිනියද බිහිව ඇත්තේ මීගමුව නිව්ස්ටෙඩ් බාලිකා විදුහලෙන් බවය. 
මාකස් ප්‍රියන්ත පෙරේරා
04/09/16