මහින්ද රාජපක්ෂ මහතා බලයේ සිටියේ නම් අද වනවිට කොළඹ-නුවර අධිවේගී මාර්ගය හෝ කොළඹ-යාපනය අධිවේගී මාර්ගය ඉදිවීමට හෝ දක්ෂිණ අධිවේගී මාර්ගය හම්බන්තොට දක්වා දීර්ඝවීමට හෝ තිබුණි. ඇතැම්විට නෙලුම් කුළුණ හෝ port-city ව්‍යාපෘතියේ පලමු අදියර හෝ වෙනත් කුමන හෝ මහා පරිමාණ ව්‍යාපෘතියක් අතිඋත්කර්ෂවත් ලෙස අද වීවෘත කරනු ඇත. සංවර්ධනය යනු එය නම්, රටේ සතයක් නැතිවුවත්, 'චී+ණය' යෙන් ගිනිපොලියට ගෙන හෝ ඔහු ඒ කටයුතු කරනු ඇත. මන්දයත්, එම ව්‍යාපෘති අවසන්වූ සැනින් රට සංවර්ධන වී, රටේ ආදායම් වැඩිවී, ණය මෙන්ම පොළියද ගෙවීම එතරම් අපහසු නොවන බව ඔහු මෙන්ම ඉර-හද-තාරකාවල පිහිටීම අනුව රටේ අනාගතය ගැන කියන ජෝතීර්වේදීන් ද කියන බැවිනි. එසේවූයේ නම් ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්ව සිටින බැවින් උතුරේ කොටියෙක් තියා දකුණේ 'සිංහ+ලේ' කුගේවත් පෝස්ටරයක් දැකිමට නොහැකිවනු ඇත. 'රාජ්‍ය සංවර්ධන උපායමාර්ග පිළිබද විශේෂඥයෙක්' ලෙස ජාතික මාධ්‍ය උදේ සවස තෙපලූ බැසිල් රාජපක්ෂ, සෑම ආණ්ඩුපක්ෂ අපේක්ෂකයෙකුටම, ඔවුන් රැස්කල කොමිස් මුදල්වලින් හෝ, අඩුම තරමින් රුපියල් මිලියනයක්වත් ගෙදරටම ගෙනත් දී සෑම මැතිවරණයක්ම පහසුවෙන් ජයගන්නා හැටි ඔප්පුකර පෙන්වනු ඇත. මහින්ද රාජපක්ෂගෙන් පසු නාමල් රාජපක්ෂද, යෝෂිත, ශෂි, රෝහිත ඇතුළු මෙකි නොකී රාජපක්ෂලා රාශියක්වුයෙන් ක්‍රීඩාවේ සිට දේශපාලනය දක්වා වූ සියළු ක්ෂේත්‍ර කිසිදු හාවක්-හුවක් නැතිව දැති රෝදයේ දැති කැරකෙන සේ ඔහේ ක්‍රියාත්මකවීමට තිබුණි.
එහෙත් ඉකුත් වසරේ (2015) ජනවාරි 08 වෙනිදාවෙනවිට එසේ දැති රෝදයේ දැති කැරකෙනසේ, දෙන දෙයක් කා වෙනදෙයක් දිහා, ඔහේ බලාසිටීමට කැමතිවුයේ රටේ චන්දදායකයන්ගෙන් 47.58% පමණි. බහුතරයක් වූ 51.28% හෙවත් 6,217,162 වූ ශ්‍රී ලාංකික චන්දදායකයන් එසේ මහින්ද රාජපක්ෂ පාලනය නම් වූ දැති රෝදයේ දැත්තක් නොවී පුරවැසියන්සේ ක්‍රියාකිරීමට සිතා සිය චන්දය භාවිතා කළ හෙයින් මහින්ද රාජපක්ෂ පාලනය පෙරලා දමා මෛත්‍රිපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ රජයක් නිර්මාණය විය. එය දුෂණයට, භීෂණයට, පවුල් පාලනයට, ඥති-මිත්‍ර සංග්‍රහයට, අවනීතියට එරෙහිව වඩා යහපත් පරමාදර්ශ වෙනුවෙන් වූ ශ්‍රී ලාංකීකයන්ගේ පෙළගැස්මක් මිස හුදු මහින්ද විරෝධයක් ලෙස ලඝුකරගන්නේ නම් එය වසර 2500යක අඛන්ඩ ඉතිහාසයක් හා ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයක අගය ගැන නිතර සාකච්ඡා කරන ජාතියකට කරන අවමානයකි.
ඇත්තවශයෙන්ම, බොහොමයක් ශ්‍රී ලාංකීකයන් වඩා යහපත් පරමාදර්ශ මුල්කරගත්, ආකල්මය වශයෙන් වඩා දියුණු, ප්‍රජාතන්ත්‍රවාදය ගැන අවබෝධයක් ඇති, ජනතාවක්යැයි යන්න මෙරට ගැන අධ්‍යනයකල විදේශකයන් කිහිපදෙනෙකුම ලියා ඇත. ඒ අතරින් ශ්‍රී ලංකාව පුර්ණ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයක් ස්ථාපිතකිරීමට සුදුසු මට්ටමක පවතින්නේ යැයි සෝල්බරි කොමිසම සිදුකල නිර්දේශ වඩාත් වැදගත්ය. එම කොමිසමේ නිර්දේශවලට අනුව පමණක් නොව එම නිර්දේශ සම්බන්දයෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ පවත්වාඇති විවාදයේදීද පිළිගැනීමට ලක්වී ඇත්තේ ශ්‍රී ලංකාව සර්වජන චන්දබලයෙන් තේරීපත්වන පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකට අවශ්‍ය තරම් පරිනතභාවයකින් (politically mature enough) යුතු ජාතියක් බවයි (Henry Pelling, (1984), The Labour Governments 1945–51, Macmillan: London, p. 153–154). එමෙන්ම Cliffrod Geertz (1963) සිය 'Old society and the New State: The quest for Modernity in Asia and Africa' කෘතියේ දක්වනුයේ ද ශ්‍රී ලංකාව පශ්චාත්-යටත්විජිත යුගයේදී ප්‍රජාතන්ත්‍රවාදී වශයෙන් වඩාත් සාර්ථකවිය හැකි රාජ්‍යයක් බවයි (one of the new democratic state that could succeed in the post-colonial period).
ඉකුත් ජනවාරි 08 වෙනිදා මහින්ද රාජපක්ෂ පාලනය පරාජය කිරීම සදහා වූ මහජන පෙළගැස්ම සාක්ෂි දරන්නේද ඉහත සෝල්බරි කොමිසමේ සහ Cliffrod Geertz වැනි විද්‍යාර්ථයින් ශ්‍රී ලාංකීකයන් සම්බන්ධයෙන් වූ තක්සේරුව නැවත නැවතත් නිවැරදි බවය. මුලික වශයෙන්ම, මහින්ද රාජපක්ෂ පාලනය මුලික වශයෙන් අධිකාරීත්වය (Authority), ආධිපත්‍ය (Hegemony) සහ මර්ධනය (oppression) පදනම කරගත් පාලන ක්‍රමයක් බව පැහැදිලිය. පොදුවේ අධිකාරීත්වය (Authority), ආධිපත්‍ය (Hegemony) සහ මර්ධනය (oppression) අදහස් එකක් ලෙස සලකා ලංකාවේ බොහෝ දෙනෙක් ලියනබව පෙනේ. සංකල්පීය වශයෙන් එකිනෙකට සම්බන්දවුවත් දේශපාලන න්‍යාය/දර්ශනය(political theory/Political philosophy) තුල අධිකාරීත්වය(Authority), ආධිපත්‍ය (Hegemony) සහ මර්ධනය(oppression) යන්නට වෙනවෙනම අර්ථ දැක්වීම් තිබේ. මහින්ද රාජපක්ෂ පාලනයටම අදාලකර මෙම කරුණු සාකච්ඡා කළහොත් විධායක ජනාධිපතිධූරයෙන්ම ඔහුට හිමිවූ ව්‍යස්ථාපිත දේශපාලන අධිකාරීත්වයට(Authority) අමතරව, මැක්ස් වෙබර්ගේ (Max Weber) ගේ අර්ථය තුල, ඔහු පුද්ගල පෞරුෂය (Charismatic/ Charismatic authority) මත ගොඩනැගුණු අධිකාරීත්වයක්ද පැතිරවූ සර්වබලධාරී 'මහා රජාණන්' (almighty ruler) කෙනෙකුවිය. එම අධිකාරීත්වය (Authority) පවත්වාගෙනයාමට ඔහු පැතිරවූ ආධිපත්‍ය (Hegemony) රැදී තිබුනේ සිංහල සංස්කෘතික, ඉතිහාස සහ සිංහල බෞද්ධ පදනම් තුල ගොඩනැන්වූ මතවාදයන් තුලය. ඒ අනුව 'දියසේන කුමාරයා', 'දුටු ගැමුණු', 'ශ්‍රී වික්‍රමද්වීප ජෝති', 'ශ්‍රී රෝහණ ජනරංජන', 'රට ජාතිය මුදාගත් පාලකයා', 'ලංකාව අවසාන වශයෙන් එක්සත් කල නායකයා', 'චිරස්ථිතියේ ආරක්ෂකයා', ආදී සියල්ල මහින්ද රාජපක්ෂ පාලනයේ ආධිපත්‍ය (Hegemony) පිළිබද ප්‍රකාශනයන්ය, සේවාදායකයන්ය. එම ආධිපත්‍යයේ (Hegemony) පදනම කෙතරම් ශක්තිමත්දයත් ගැමියන්, බයියන්, පමණක් නොව කලාකරුවන් පවා 'ගහලා හෝ බලය ගැනීමට' තරම් යෝජනා කරන, මරාගෙන මැරෙන සටන්කරුවන් බෝකරන, මොළ-හෝදකයන්ය. මහින්ද රාජපක්ෂ පාලනයේ ආධිපත්‍යයට සහ අධිකාරීත්වයට විරුද්ධවන්නන්ට එරෙහිව දියත්වන මර්ධනය (oppression) කුමක්දැයි යන්න තේරුම් කරගැනීමට එතරම් අපහසු නොවේ. එහෙත් එය සෑමවිටම ප්‍රචන්ඩත්වය, සුදුවෑන් සහ කෘරත්වය මතම දියත්වූවක් නොවේ. මාධ්‍ය යොදාගනිමින් සාපරාධී අපහාසයන්, මඩ සහ සාවද්‍ය ප්‍රචාරයන් මගින් විරුධවාදීන් නිහඩ කිරීමේ සිට වරදාන සහ වරප්‍රසාද මගින් විරුද්ධවාදීන් අවශෝෂණය කරගැනීමද එම මර්ධනයේම (oppression) වෙනත් මුහුණුවරය.
මහින්ද රාජපක්ෂ පාලනය යටතේ දියත්වුයේ කුමනාකාරයේ පාලනයක්දැයි තේරුම් ගැනීමට, චිරාත්කාලයක් තිස්සේ වඩා යහපත් පරමාදර්ශ මුල්කරගත්, වඩා දියුණු ශිෂ්ටාචාරයක උරුමකරුවන්වූ ශ්‍රී ලාංකීකයන්ට අපහසු කරුණක් නොවිනි. අධිකාරීත්වය (Authority)ට, ආධිපත්‍ය (Hegemony)ට සහ මර්ධනය (oppression)ට එරෙහි දේශපාලනය ප්‍රජාතන්ත්‍රවාදය බව අවබෝධකරගැනීමට, එය වටා ගොනුවීමට ශ්‍රී ලාංකීකයන් (1947 දී සෝල්බරි කොමිසම තක්සේරුකල ලෙසම) දේශපාලන පරිනතභාවයකින් (politically mature) යුක්ත බව නැවතවතාවක් ඔප්පුකර පෙන්වු හෙයින් මහින්ද රාජපක්ෂ පාලනය පරාජයවිය. එය එක්තරා ආකාරයකින් කාල් පොපර් (Karl Popper) ගේ 'ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් සහ දුෂ්ට පාලකයා (Tyranny) අතර ඇතිවන ඝට්ටනය කෙසේවිය හැකිද යන්න සනිටුහන් කරයි. (Dissenters in democracies should also become free to opt out from under democratically run territorialism, with its inherently compulsory collectivism or even tyranny, even territorialist totalitarianism as its foundation..... I personally call the type of government which can be removed without violence "democracy," and the other, "tyranny.".....– Karl Popper ('Freedom: A New Analysis' (1954) by Maurice William Cranston, pp. 112)
මහින්ද රාජපක්ෂ පාලනය පෙරලා දැමීමේ ක්‍රියාදාමය සම්බන්දයෙන් නිර්මාල් රංජිත් දේවසිරි මහතාගේ විග්‍රහය වූ "අඩු තීව්‍රතාවයක් ඇති විප්ලවයක්" යැයි යන්න ගොඩනැගුනේ ඉහත කාල් පොපර් (Karl Popper)ගේ අර්ථදැක්වීම මතවිය යුතුය. විශේෂ්යෙන්ම කාල් පොපර්(Karl Popper)ගේ 'Essentialism and the Organic State' යන සාකච්ඡාවන්ගේ මතුව එන අදහස් නිර්මාල් රංජිත් දේවසිරි මහතාගේ බොහෝ අළුත් රචනාවල දැකිය හැක්කකි,
කෙසේවුවද, මා මීට කලින් 'සමබිම'ට ලියා ඇති පරිදි ශ්‍රී ලංකාව තුල යුක්තිය සහ සාදාරණත්වය යන්න ප්‍රජාතන්ත්‍රවාදය නොවී, ඒ වෙනුවට අධිකාරීත්වය (Authority), ආධිපත්‍ය(Hegemony) සහ මර්ධනය(oppression) (අඩු-වැඩිව හෝ නොඅඩුව පවතින) 'බහුතරයේ' පාලනය ප්‍රජාතන්ත්‍රවාදය ලෙස අර්ථගැන්වීම තුල යහපත් සහ නිරෝගී ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යක් ලෙස වර්ධනයවීමට ශ්‍රී ලංකාවට මුලසිටම නොහැකිවිය.
චම්පික රණවක මහතාට අනුව නම් නිදහස් ශ්‍රී ලංකාවේ මුල්ම පාලකයාවූ D.S. සේනානායකගේ රජය පවා Corporate Nationalism සහ Corporate Capitalism මත පදනම්වූ බහුතර ජනවර්ගයාගේ ආධිපත්‍ය (Hegemony) තුල ගොඩනැන්වූ පාලනයක්ය. එහෙත් එය බහුතර ජනවර්ගයාගේ වර්ගීක අනන්‍යතාවය මුල්කගත් අධිකාරීත්වය (Authority) මත ගොඩනැගුවක් නොවේ. එවැන්නක් ගොඩනැගීමට මුලපුරන්නේ S.W.R.D බණ්ඩාරනායකගේ '1956 විප්ලවය' ය. D.S. සේනානායකගේ පශ්චාත්-යටත්විජිත ශ්‍රී ලංකාවේ රාජ්‍ය පිළිබද දැක්ම Corporate Nationalism සහ Corporate Capitalism නම්, S.W.R.D බණ්ඩාරනායකගේ රාජ්‍ය පිළිබද දැක්ම බහුතර ජනවර්ගයාගේ වර්ගීක අනන්‍යතාවයවූ සිංහල-බෞද්ධ අධිකාරීත්වය (Authority) මත පිහිටවූ Ethno-Nationalistic (වාර්ගීක-ජාතිකත්ව මුල්කරගත්) රාජ්‍යකි. එහෙත් ජයදේව උයන්ගොඩගේ (2010) ගේ විග්‍රහයට අනුවනම් එවැනි බහුතර ජනවර්ගයාගේ වාර්ගීක අනන්‍යතාවය මත පදනම්වු සිංහල-බෞද්ධ අධිකාරීත්වය (Authority) සහිත රාජ්‍යක් (Sinhala Buddhist Ethnic-Majoritarian Rule) ගොඩනැගෙනුයේ 1970 සිරිමාවෝ බණ්ඩාරනායකගේ රජය බිහිවීමෙන් අනතුරුවය. විශේෂයෙන්ම බුද්ධාගම රාජ්‍ය ආගම බවට පත්කල 1972 ප්‍රථම ජනරජ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව බිහිවීමත් සමගය (The United Front Regime of 1970 and the Post-Colonial State of Sri Lanka,” in Tissa Jayatilaka, (Ed.), 2010, 'Sirimavo: Honouring the World’s First Prime Minister', Colombo, pp.31-45). එනයින්, සිරිමා බණ්ඩාරනායකගේ රජයට බහුතර ජනවර්ගයාගේ ආධිපත්‍ය (Hegemony) දිනා ගැනීමට හොද නැබුරුවක් තිබුණි. එහෙත් 1971 කැරැල්ල ඇතිකළ සමාජ කම්පනය, සංවෘර්ත ආර්ථික ප්‍රතිපත්තිය තුල ජනයා පීඩාවට පත්වීම සහ J.R ජයවර්ධනගේ විපක්ෂ ක්‍රියාකාරිත්වය තුලද බහුතර ජනවර්ගයාගේ ආධිපත්‍ය (Hegemony) දිනාගත් සිරිමා බණ්ඩාරනායකගේ රජයට
බහුතරයේ අධිකාරීත්වය (Authority) දිනාගැනීමට නොහැකිවිය.
ඉන් අනතුරුව 1977 බලයට පැමිණි J.R ජයවර්ධනගේ රජය එතෙක් (චම්පික රණවකගේ අර්ථ දැක්වීමට අනුව) එක්සත් ජාතික පක්ෂය (UNP) අනුගමනය කලායැයි දක්වන සම්ප්‍රදායක Corporate Nationalism සහ Corporate Capitalism අත්හැර දමා වීවෘත ආර්ථික ප්‍රතිපත්තිය වෙතට ගමන් කරන ලදී. J.R ජයවර්ධනට හයෙන් පහක (5/6) බලයක තුලින් මෙන්ම 1977 විධායක ජනාධිපතිධුරය සහිත නව ව්‍යවස්ථාව මගින්ද රට තුල දේශපාලන අධිකාරීත්වය (Authority) ක් පසුවෙන්ම ගොඩනගා ගැනීමට හැකිවිය. එහෙත්, ඔහුට හෝ ඔහුගේ අනුප්‍රාප්තිකයන් වූ ප්‍රේමදාස, විජේතුංග හෝ චන්ද්‍රිකා ආදී කිසිවෙකුට ලාංකීය ජනසමාජය තුල අධිකාරීත්වය (Authority)ක් මිස ආධිපත්‍ය (Hegemony)ක් ගොඩනගා ගැනීමට නම් නොහැකිවිය. එහිලා ඔව්හු නොකළ දෙයක් නොමැත. J.R ජයවර්ධන සිංහල බෞද්ධ පදනම් සිහිකරමින් පොත්ද ලීයුහ. කැළණි විහාරයේ භාරකාරයෙක් වශයෙන් කටයුතු කරමින් තමන් ශාසනයේ ආරක්ෂකයා බව සපථ කලේය. දුටුගැමුණු රජගේ භස්මාවශේෂ රැගත් රථයක් පිරිත් කියමින් රටපුරාම විදි සංචාරයට පිටත් කලෙය. මහාවංශය සහ චුලවංශය ලිවීම නැවත ඇරබීය. ජනාධිපති ප්‍රේමදාසද කිසිදු පන්සලක් අත්නැහැරීය. ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංගද යනතමින් හෝ ඔය සියල්ලම කළහ. එහෙත් ඒ කිසිවෙකුට ව්‍යවස්ථාපිතව සහ සිය පුද්ගල පෞරුෂයන් මත ගොඩනගාගත් අධිකාරීත්වයක් (Authority) මිස ආධිපත්‍යක් (Hegemony) නම් ගොඩනගා ගැනීමට නොහැකිවිය. තවද ඔවුනට ව්‍යවස්ථාපිතව හිමිවූ අධිකාරීත්වය (Authority) පවත්වා ගෙනයාමට පවා මර්ධනය (oppression) නොයොදවාම බැරි තත්වයක් වාමාංශිකයන්ගෙන් මෙන්ම, බෙදී වෙන්වීයාම වෙනුවෙන් සටන්කල දෙමළ සටන්කාමීන්ගෙන්ද එල්ලවිය. උද්ගතවූ තත්වය තුල යන්තම් හෝ සිය දේශපාලන අධිකාරීත්වය (Authority) රැකගැනීමට හෝ ආධිපත්‍ය (Hegemony) සදහා ඉව ඇල්ලීමට හෝ එම පාලනතන්ත්‍රයන් කලේ වාමාංශිකයන්ට හෝ දෙමළ සටන්කාමීන්ට හෝ එරෙහිව මර්ධනය (oppression) දියත්කිරීමය.
කලින් සදහන් කල ලෙස ශ්‍රී ලංකා ඉතිහාසයේ අධිකාරීත්වය (Authority)ත්, ආධිපත්‍ය (Hegemony)ත්, සහ මර්ධනයත් (oppression) එකවර, එකවිට භුක්තිවිදි මෙන්ම විදහාලූ එකම පාලකයාවුයේ මහින්ද රාජපක්ෂ මහතාය. ව්‍යස්ථාපිතවත්, සිය පුද්ගල පෞරුෂය (Charismatic/ Charismatic authority) තුලත් ඔහු හිමිකරගත් අධිකාරීත්වය (Authority) යුද්ධ ජයග්‍රහණයත් සමග මහා ආධිපත්‍ය (Hegemony)යක් සහිත සර්වබලධාරී 'මහා රජාණන්' (almighty ruler) කෙනෙකු බවට සිංහල සමාජය තුල ඔහුව ඔසවා තබන ලදී. එහෙත් ඔහුටද පරාජය හිමිවිය. ලක් ඉතිහාසයේ ප්‍රථමවරට ජනාධිපතිවරණයකින් පරාජයට පත්වූ ප්‍රථම ජනාධිපතිවරයා ලෙස ඔහුව ඉතිහාසය තුල ඉහල සිට පහලටම ඇද දමන ලදී.
එය, මහින්ද රාජපක්ෂ පාලනය යටතේ දියත්වුයේ කුමනාකාර පාලනයක් දැයි තේරුම්ගත්, චිරාත්කාලයක් තිස්සේ ගොඩනැගුන වඩා යහපත් පරමාදර්ශයන් පෙරටුකරගත්, ආකල්පමය වශයෙන් වඩා දියුණු, ශ්‍රී ලාංකීකයන් පිරිසක් රටට උරුම කරදුන් ජයග්‍රහණයක්ය. රටේ චන්දදායකයන්ගෙන් වැඩි පිරිසක් වූ එම පිරිස මහින්ද රාජපක්ෂ පාලනය පදනම්වූ අධිකාරීත්වය(Authority)ට, ආධිපත්‍ය(Hegemony)ට සහ මර්ධනය(oppression)ට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදයේ පිළිසරණ ගිය පිරිසක්ය. සිය ප්‍රධාන දේශපාලන අස්ථානය ප්‍රජාතන්ත්‍රවාදය ලෙස තෝරාගත් පිරිසක්ය. උතුරේ දෙමළ ජනයාගේ මෙන්ම දකුණේ සිංහල ජනයාගේ ප්‍රශ්නවලටද අවසාන විසදුම යුද්ධ සහ (සමූල) ඝාතනය නොවන බව, අශෝක අධිරාජ්‍යයා බුදු දහම වැළදගැනීමේ හේතුවෙන්ම අවබෝධකරගත් පිරිසක්ය. යුද්ධය අවසන් විසදුම ලෙස සිතා රාජපක්ෂ පාලනය කටයුතු කිරීම තුල, මෙතෙක් තමන් ජාතියක් සහ ජනතාවක් ලෙස ගොඩනැන්වූ වඩා යහපත් පරමාදර්ශයන්ට, වඩා දියුණු ආකල්පයනට, සුවිශේෂී ශිෂ්ටාචාරයට, විශාල කැලලක් සිදුවුබව දන්නා එම ජනයාව දිනාගැනීමට රාජපක්ෂ පාලනය කෙතරම් තීව්‍ර ලෙස යුද්ධ ජයග්‍රහණය සහ සංවර්ධන ප්‍රවෘත්ති ඉස්මතු කලද කිසිසේත්ම නොහැකිවිය.
ජනවාරී 8 සමරනුයේ, පශ්චාත් යටත්විජිත ශ්‍රී ලංකා ඉතිහාසයේ, අධිකාරීත්වය (Authority)ත්, ආධිපත්‍ය (Hegemony)ත් මෙන්ම මර්ධනය (oppression)ත් යන තුනම එකවර හිමිකරගත් පාලකයා වූ මහින්ද රාජපක්ෂ පාලනයට පරාජය ගෙනදුන් ශ්‍රී ලාංකීය සමාජයේ වඩා යහපත් පරමාදර්ශ මුල්කරගත්, ප්‍රජාතන්ත්‍රවාදය සිය මුලික දේශපාලන සිද්ධාන්තය ලෙස අවබෝධය කරගත් ශ්‍රී ලාංකීකයන්ගේ ජයග්‍රහණය. අනෙක් අතට, ජනවාරී 8 සනිටුහන් කරනුයේ රටේ චන්ද දායකයන්ගෙන් වැඩිදෙනෙකුගේ දේශපාලන අභිලාෂයන් චිරාත්කාලයක පටන් සකස්වී ඇත්තේ අධිකාරීත්වයට, ආධිපත්‍යට සහ මර්ධනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාද පිළිබද වූ නැබුරුවකින් යුතුව බවය.
එහෙත්, නැවත වතාවක්, යුක්තිය සහ සාදාරනත්වය යන්න ප්‍රජාතන්ත්‍රවාදය නොවී බහුතර ජනවර්ගයාගේ අධිකාරීත්වයත්, ආධිපත්‍යත්, මර්ධනයත් ප්‍රජාතන්ත්‍රවාදය ලෙස ශ්‍රී ලංකාව තුල නැවත හිස ඉසවුවහොත් හෝ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා සිය දේශපාලන අභිලාෂයන් වෙනුවෙන් එම මාර්ගය තෝරාගතහොත් ඔහුට අත්වන ඉරණම මහින්ද රාජපක්ෂ පාලනයට අත්වූ ඉරණමට වඩා විකාර රූපී වනු ඇත. යම් සීමාවක් තුල, ව්‍යවස්ථාව මගින් පවරා ඇති අධිකාරීත්වය(Authority) හැර, ඉන් එහා ගිය අධිකාරීත්වය(Authority)ක්වත්, ආධිපත්‍ය (Hegemony)ක්වත් හිමිකර ගැනීමට නම් මෛත්‍රිපාල සිරිසේන ජනාධිවරයාට නොහැකි බව ඉදුරාම කිව හැක. මර්ධනයෙන් (oppression) නම් ඒ කිසිම සිහිනයක් ඔහුට සැබැකරගත නොහැක.
මෙයට වෙනස් ලෙස, ප්‍රජාතන්ත්‍රවාදය පිළිබද නව මානයකින් 'ලෙච්චවී රජදරුවන්ගේ පාලනය' ගැන කථා කරන රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගෙන්ද ඇසිය යුත්තේ එම පාලන ක්‍රමය ක්‍රියාත්මකකිරීමට අවශ්‍ය කරන්නේ ජෝර්ජ් සරෝස්ලා මුල්කරගත්, සිංගප්පූරු මාදිලියේ අත්තනෝමතික ධනවාදී පාලනයක් ද ? නැතහොත් අඩුම වශයෙන් ස්වීඩන් පන්නයේ සුබසාදන ධනවාදයක් ද ? යන්නය.
මාකස් ප්‍රියන්ත පෙරේරා
01/08/2016.