This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Thursday, 7 November 2024

දෙවියෝ ට්‍රම්ප්ගේ ජීවිතය බේරුවේ ද?


"God spared my life for a reason" - 

දෙයියෝ එයාගේ ජීවිතය බේරුවේ හේතුවක් ඇතිවයි කියලා ජනාධිපතිවරණය දින්නයින් පස්සේ ට්‍රම්ප් කිව්වා.. දැන් ඒක හැම මධ්‍යයකම ලොකු අකුරින් පළවෙලා තියෙනවා. 

ඝාතන තැතකින් දෙය්යෝ ඔහුගේ ජිවිතය බේරුවේ මොන හේතුවක් ඇතිව ද? යන්න ගැන කියන්න අපි කවුරුත් දන්නේ නෑ.. ඒත් ඇමැරිකානු ක්‍රිස්තියානි කණ්ඩායම් ට්‍රම්ප්ගේ ජය වෙනුවෙන් දැඩි මැදිහත්වීමකින් කටයුතු කළා. විශේෂයෙන්ම Alabama, Arkansas, Georgia, Louisiana, Mississippi, Missouri, Nebraska, North Carolina, Oklahoma, South Carolina, Florida, South Dakota සහ Tennessee වගේ ඇමැරිකානු Bible Belt එකේ දැවැන්ත සහයෝගය හිමිවුනේ ට්‍රම්ප්ට. කමලා හැරිස්ට ඒ ප්‍රදේශය වල නිසි සහයක් නොලැඹීම ඇගේ පරාජයට එක් හේතුවක්. 

ට්‍රම්ප් ආගමික අනන්‍යතාවයක් නියෝජනය කරනවද? නැද්ද? කියන එක කොහොම වුනත් ගබ්සාවට විරුද්ධවීම, බයිඩන්ලගේ, කමලා හැරිස්ලගේ ඩිමොක්‍රටික් පක්ෂය සහයෝගය දෙන ලිබරල් වැඩපිලිවෙළ හැකිලීම, වැනි එරට ක්‍රිස්තියානි කණ්ඩායම්වල ඉල්ලිම් ඉටුකිරීමට නම් ට්‍රම්ප්ගේ සහයෝගය හිමිවේවි. 

ඒ වගේම යුක්‍රේන - රුසියානු යුද්ධය, මැදපෙරදිග අර්බුදය ආදියටත් මැදිහත්වේවි. ඒ සියල්ලටම වඩා ඇමැරිකාව තුල මතුවි ඇති අභ්‍යන්තර ආර්ථික අර්බුදය, විරැකියාව, සංක්‍රමණික අර්බුදය, නිවාස අහිමි ජනයාගේ ප්‍රශ්නය, සෞඛ්‍ය හා අධ්‍යාපන අර්බුදය ගැන අවදානය යොමු කරන්න ඔහුට තදින්ම සිදුවේවි. ඔහුගේ ඒ මැදිහත්වීම තුල දෙවියෝ ඔහුගේ ජීවිතය බේරුවේ කුමන හේතුවකට ද යන්න කාලයත් සමග විමසා බැලිය හැකිවේවි. අන්න ඒ තත්වයන් තුල අර ඇල්බට් අයින්ස්ටයින් වරක කිව්ව වගේ දෙවියෝ දාදු කෙළින්නේ ද? යන්න හෙළිවේවි

 - "God does not play dice" !!

මාකස් ප්‍රියන්ත පෙරේරා
06/11/24

Wednesday, 6 November 2024

Quincy Jones ලාංකික සංගීත ක්ෂේත්‍රය තුල අවධානයට ලක් නොවුයේ ඇයි?


දැන් ලංකාව තමන්ගේම වූ ලෝකයක හිරවෙමින් තියෙන්නේ...සෙසු ලෝකයේ වෙන්නේ මොකක්ද කියන්න දන්නේ නෑ... මෙච්චර උණුසුමක් තියෙන ඇමැරිකානු ජනාධිපතිවරණය ගැන පවා එහෙට එහෙම දැනෙන්නේ නෑ... එහෙව් එකේ Quincy Jones ගේ මරණය කොහොමත් අදාල වෙන්නේ නෑ... Quincy Jones කියන්නේ කවුද කියලාවත් බොහෝ දෙනෙක් දන්නේ නෑ... හැබැයි Quincy Jones ගේ නම නොදන්නවා වුනත් අතිශය ජනප්‍රිය වූ ඔහුගේ ඇතැම් සංගීත නිර්මාණ නම් රටේ මිනිස්සු අහලා තියෙනවා. විශේෂයෙන්ම මයිකල් ජැක්සන්ගේ Billie Jean, We Are the World, Thriller, Bad, Don’t Stop වගේ සින්දු.

ඒවත් අහලා තියෙන්නේ මයිකල් ජැක්සන් කියන සින්දු විදිහට මිසක් ඒ සිංදු හැදුව කෙනා දන්නේ නැතිවයි. අපි "නිර්මාණකරුවා දන්නේ නැති, නිර්මාණ පමණක් රසවිඳින ජාතියක්" කියලා මම facebook ආපුම කාලේ නිමල් මෙන්ඩිස් ගැන ලියද්දි ලිව්වා (ඒ ලිපිය මෙතනින් පිවිස කියවන්න පුලුවන්). ඒ වගේම තමයි අපි මයිකල් ජැක්සන්ගේ සින්දු අහලා තිබුනට, ඒවා දන්නවා වුනාට, ඒවා බලලා තියෙනවා වුනාට, මයිකල් ජැක්සන්ගේ සිංදු විතරක් නෙමේ මයිකල් ජැක්සන්ගේ ස්වතන්ත්‍ර සංගීත ජීවිතයම ගොඩනැගුවේ Quincy Jones කියලා ලංකාවේ මයිකල් ජැක්සන්ගේ සිංදු අහන හුගාක් දෙනෙක් දන්නේ නෑ.

මයිකල් ජැක්සන්ගේ නිර්මාණ ඔස්සේවත් Quincy Jones ව හදුනා නොගත් කෙනෙකුට Frank Sinatra ගේ Fly Me to the Moon සින්දුව, Ray Charles ගේ One Mint Julep සින්දුව, Lesley Gore ගේ My Party වගේ සිංදු නිර්මාණය කළේ ඔහු, Elvis Presley ගේ සින්දුවල second trumpet part එක ගහන්නේ ඔහු...The Pawnbroker වගේ චිත්‍රපටිවල ඉදන් Prince of Bel-Air, The Color Purple වගේ චිත්‍රපටිවල සංගීතය නිර්මාණය කළේ ඔහු වගේ කාරණා කිසිසේත්ම හදුනාගනී කියලා හිතන්න බෑ...

Quincy Jones වගේ අය විතරක් නෙමේ, බටහිර ජනප්‍රිය, pop, මෙන්ම ශාස්ත්‍රීය සංගීතය ගැන වගේම පෙරදිග සංගීතය ගැන වුනත් ලංකාවේ ඒ හැටි මුල් බැසගත්ත කතිකාවක් නෑ... විවිධ සංගීත ශානර ගැන ගැඹුරු කතිකාවක් නෑ... instrument එකක්, සංගීත භාණ්ඩයක්, වාදනය කරන්න පුලුවන් ගොඩාක් අය හිටියට music notes කියවන්න, ලියන්න පුලුවන් අය ඉතා අඩුයි. ගීත රචනය, තනු නිර්මාණය හා නිෂ්පාදනය ආදිය ගැන අවධානය යොමු කළත් සංගීතය කියන්නේ ප්‍රසාංගික හා නිර්මාණාත්මක (performance and composition) මාදිලියකට (featured) පමණක් සීමා නොවූ මානව ශාස්ත්‍ර සංස්කෘතික දෘෂ්ටිකෝණයකින් (perspective) මානව චර්යාව විශ්ලේෂණය කළ හැකි විෂයක් ලෙස සංගීතය හැදෑරීම ලංකාවට තවමත් ආගන්තුකයි.

එතරම්ම දුරකට නොගියත් අඩුම තරමේ සමකාලීන සංගීත නිර්මාණ පිටුපස සිටින විශිෂ්ඨයන් පිලිබදවත් ලාංකිකයන්ට එතරම්ම අවබෝධයක් නෑ...ඒ නිසා තමයි මයිකල් ජැක්සන් ගේ සින්දු ඇහැව්වත් එම නිර්මාණ පිටුපස සිටි Quincy Jones වගේ කෙනෙකුව මගහැරෙන්නේ... එහෙත් ඇත්තම ප්‍රශ්නය අවුරුදු 91ක් ජීවත්වූ, ඒ වගේ දැවැන්තයෙක්ව ලාංකිකයන්ට මගහැරෙන්නේ කොහොමද? සංගීතය පිලිබද ලාංකික කතිකාව තුලට ඔහුව හසු නොවෙන්නේ කොහොමද? කියන එකයි...ඒ අපි සෙසු ලෝකයෙන් ක්‍රමයෙන් දුරස්වෙමින් යන නිසා ද?


මාකස් ප්‍රියන්ත පෙරේරා
05/11/24

Wednesday, 23 October 2024

විමුක්ති දේවධර්මයේ පියා ගුස්ටාවෝ ගුටෙරෙස් (Gustavo Gutiérrez) පියතුමා අභාවප්‍රාප්ත වෙයි

විමුක්ති දේවධර්මයේ පියා ලෙස සැලකූ පේරූ (Peru) රටේ ගුස්ටාවෝ ගුටෙරෙස් (Gustavo Gutiérrez) පියතුමා වසර 96 ක් ආයූ වළදා අද (23/10/24) මියගොස් තිබෙනවා. 1928 ජුනි 08 වෙනි දින පේරූ රටේ ලීමා (Lima) නුවර උපත ලැබූ එතුමා ඩොමිනිකානු නිකායේ පියතුමෙකු ලෙස 1959 දී පුජාත්වරයට පිවිසූවෙක්. බෙල්ජියමේ ලුවේන් කතෝලික විශ්ව විද්‍යාලයේ (Catholic University of Leuven) හා ප්‍රංශයේ ලියෝන් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන හැදෑරූවෙක්. පසුව පැරීසියේ Notre Dame විශ්ව විද්‍යාලයේ ආචාර්යවරයෙක් ලෙස සේවය කළ පියතුමෙක්.

1971 ගුස්ටාවෝ ගුටෙරෙස් (Gustavo Gutiérrez) පියතුමා පල කළ A Theology of Liberation කෘතිය කතෝලික සභාව තුල විශාල සාකච්ඡාවක් ජනිත කළ කෘතියක් බවට පත්වූවා. එම ප්‍රකාශණය තුල නිර්ධන පාංතීක විමුක්තිය, මාක්ස්වාදී න්‍යායන්, ෆැසිස්ට්වාදී ප්‍රවනතා ගැනත්, යටත් විජිත පාලන සමයන්හී ප්‍රවර්ධනය කළ කිතුණු ශුභාරංචි ආඛ්‍යානවල ඇති රළු බවත්, එහි බටහිරවාදී අර්ථ නිරූපනයන් ගැනත් සංශ්ලේෂණාත්මක අධ්‍යයනයක් (synthesis study) ලෙස සලකුණු ලැබූවා.

ඒ සමග ඔහු මධ්‍යම සහ දකුණු ඇමරිකාවේ විමුක්ති දේවධර්මාචාර්යවරුන් (liberation theologians) වූ බ්‍රසීලයේ ලෙනාඩෝ බොෆ් (Leonardo Boff), උරුගුවේහි ජුවාන් ලුයිස් සෙගුන්ඩෝ (Juan Luis Segundo) ආදීන් පනපෙවු කතෝලිකයන්ගෙන් “කාලයේ සලකුණු කියවන්න” (Read the signs of the times) කණ්ඩායමේ/කවුන්සිලයේ ප්‍රධාන න්‍යායාචාර්ය වරයා ලෙස ද සලකනු ලැබූවා.

එහෙත් නිල කතෝලික සභාව තුල ගුස්ටාවෝ ගුටෙරෙස් (Gustavo Gutiérrez) පියතුමා ගේ කෘතිය (Theology of Liberation) මෙන්ම විමුක්ති දේව ධර්මය පිලිබද කතිකාවත් කිසියම් ආකාරයක තර්ජනයක්, අනතුරක් ලෙස සැලැකූ කාලයක් ද තිබුනා.

දෙවන ජුවාම් පාවුළු පාප්වහන්සේ වතිකානුවෙහි මූලධර්ම කාර්යාලය වන 'ඇදහිල්ලේ ධර්මය සඳහා වූ සභාවෙ' හි (Congregation for the Doctrine of the Faith - C.D.F) ප්‍රධානියා ලෙස (පසුව 16 වෙනි බෙනඩික්ට් පාප් වහන්සේ - Pope Benedict XVI) ලෙස පත් වූ කාදිනල් ජෝසෆ් රැට්සිංගර්ව 1981 දී පත් කිරීමෙන් අනතුරුව කතෝලික සභාවට නව යුගයේ මුහුණදීමට ඇති මූලධර්මවාදී ගැටළු ගැන අධ්‍යායනය හා ක්‍රියා කිරීම ඇරබුවා.

කාදිනල් ජෝසෆ් රැට්සිංගර්ගේ මුල්ම කාර්යන් අතර කතෝලික විශ්ව විද්‍යාල තුල ජනප්‍රිය වෙමින් පැවැති විමුක්ති දේවධර්මයේ (liberation theology) ඉගැන්වීම් පිලිබදව අවධානය යොමු කිරීම දැකිය හැකි වුනා. කතෝලික සභාව තුලින්ම මතුවෙමින් පැවැති විමුක්ති දේවධර්මය පිලිබදවූ ඉගැන්වීම් කිසියම් ආකාරයක දේශපාලන ප්‍රවනතාවයක් ලෙස ද සැලකුවා.

විමුක්ති දේවධර්ම පිලිබව ද පූර්ණ අධ්‍යයනකින් අනතුරුව කාදිනල් රැට්සිංගර්ගේ කාර්යාලය (C.D.F) කතෝලික සභාව තුල ජනප්‍රිය වෙමින් පැවැති විමුක්ති දේවධර්මයේ (liberation theology) ඇතැම් ඉගැන්වීම් නිවැරදි නොවන බවත් එමගින් "දෙවියන් වහන්සේ ඔහුගේ පල්ලියට භාර දුන් ක්‍රිස්තියානි පණිවිඩය විකෘති කිරීමක්" (“a perversion of the Christian message as God entrusted it to His Church”) කර ඇති බවත් ප්‍රකාශයට පත්කළා.

එමෙන්ම විමුක්ති දේව ධර්මය ප්‍රචලිත කල පේරු හි ගුස්ටාවෝ ගුටෙරෙස් (Gustavo Gutiérrez) පියතුමා ආදින් පිළිබඳ විමර්ශනයක් කිරීමටත් 'පැහැදිලි කිරීම්' ඉල්ලා සිටීමටත් දැඩිව කටයුතු කළා.

එම ක්‍රියාමාර්ග මධ්‍යම සහ දකුණු ඇමරිකාවේ විමුක්ති දේවධර්මාචාර්යවරුන් (liberation theologians) ගේ බලය බිදීමටත්, කතෝලික පල්ලිය තුල ඔවුන් අත්කරගත් සුවිශේෂී අවධානය අහිමි කිරීමටත් හේතුවූවා.

එහි වගකිවයුත්තා ලෙස ඇගිල්ල දිගුවුයේ දෙවන ජුවාම් පාවුළු පාප්වහන්සේට නොව වතිකානුවෙහි මූලධර්ම කාර්යාලය වන ඇදහිල්ලේ ධර්මය සඳහා වූ සභාවෙහි (Congregation for the Doctrine of the Faith - C.D.F) ප්‍රධානියා ලෙස කටයුතු කළ කාදිනල් ජෝසෆ් රැට්සිංගර් වෙතයි.

විශේෂයෙන්ම 1989 දී එල් සැල්වදෝරයේ මධ්‍යම ඇමරිකානු විශ්ව විද්‍යාලය තුල එරට හමුදාවට අනුයුක්ත මිනීමරුවන් විසින් ඉග්නාසියෝ එල්ලකුරියා පියතුමා (Father Ignacio Ellacuría) ඇතුළු විමුක්ති දේවධර්මය වෙනුවෙන් හඬ නැගූ ජේසු නිකායික පියතුමන්ලා හය දෙනෙකු, ඔවුන්ගේ ගෘහ සේවිකාව සහ ඇගේ දියණිය ඝාතනය කිරීමට එරෙහිව කතෝලික සභාව දැඩි පියවරක් නොගැනීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් අප්‍රසාදය යොමුවුයේ ද කාදිනල් ජෝසෆ් රැට්සිංගර්ට යි. ලංකාවේ තිස්ස බාලසූරිය පියතුමාට අතුරු තහනම් නියෝගයක් පනවමින් බාලසූරිය පියතුමා ලියු 'Mary and human Liberation' කෘතිය සම්බන්ධයෙන් විමර්ශනයක් කලේ ද කාදිනල් ජෝසෆ් රැට්සිංගර්ගේ කවුන්සිලය ය. (එම කෘතිය පිලිබදව වූ තහනම මෙන්ම තිස්ස බාලසූරිය පියතුමාට පැනවූ අතුරු තහනම් නියෝගයද විමර්ශනයකින් පසුව වතිකානුව ඉවත් කරගත්තා)

කාදිනල් ජෝසෆ් රැට්සිංගර් පිලිබදව වූ විරෝධය හා අප්‍රසාදය ඔහු 16 වෙනි බෙනඩික්ට් පාප් වහන්සේ - Pope Benedict XVI - වූ පසුවත් විමුක්ති දේවධර්ම පිලිබදව අදහස් දැරූවන් දිගින් දිගටම ගෙනගියා. 16 වෙනි බෙනඩික්ට් (කාදිනල් ජෝසෆ් රැට්සිංගර්) පාප්තුමා වාමවාදී/ මාක්ස්වාදී මුහුණුවරක් ගත් විමුක්තිවාදී දේශපාලන ප්‍රවනතාවයන්ගෙන් කතෝලික සභාව බේරා ගත්තෙක් ලෙස ද ඇතමෙක් සලකන අතරම ගුස්ටාවෝ ගුටෙරෙස් (Gustavo Gutiérrez) පියතුමා සභාගත කළ විමුක්ති දේවධර්මය පිලිබද ඉගැන්වීම් ක්‍රිස්තියානි ආගමේ විමුක්තිවාදී හරය නැවැත මතු කර ගත් මහා ප්‍රවනතාවයක් ජනිත කළ පියතුමෙක් ලෙස ද සැලකෙනවා.

කෙසේ වෙතත්, 2017 ජනවාරියේ ස්පාඤ්ඤයේ El País පුවත්පත සමඟ කළ සම්මුඛ සාකච්ඡාවේදී ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සිය මව් රට වූ ආර්ජන්ටිනාව ඇතුළු ලතින් ඇමරිකාවේ පැතිරුණු විමුක්ති දේවධර්මය ධනාත්මක දෙයක් ලෙස සදහන් කර තිබෙනවා.

එහෙත් යථාර්ථය මතු කරළීම සදහා විමුක්ති දේවධර්මය මාක්ස්වාදී විශ්ලේෂණ තෝරා ගැනීම හෙළා දැකීමට කාදිනල් ජෝසප් රැට්සිංගර් (පසුකාලීන16 වෙනි බෙනඩික්ට් පාප් වහන්සේ - Pope Benedict XVI ) පියවර ගැනීම නිවැරදි යැයි ද දැක්වූවා.

"ඔහු (කාදිනල් ජෝසප් රැට්සිංගර්) ඇදහිල්ලේ මූලධර්මයේ ප්‍රධානියා (C.D.F) වූ විට ගුස්ටාවෝ ගුටෙරෙස් (Gustavo Gutiérrez) පියතුමා ඇතුළු විමුක්ති දේවධර්මය පිලිබදව ඉගැන්වීම් දැඩි අධ්‍යානයකින් අනතුරුව මූලික නිරීක්ෂණ දෙකක් ඉදිරිපත් කළ බවත්, එකක් නම් විමුක්ති දේවධර්මය පිලිබදව ඉගැන්වීම් හී යථාර්ථය ඉස්මතු කිරීම සදහා මාක්ස්වාදී විග්‍රහය භාවිතා කර ඇති" බවත්, දෙවැන්න නම් "විමුක්ති දේවධර්මයේ ධනාත්මක ප්‍රවේශයන් සම්බන්ධයෙන් සභාවේ නිසි අවධානය යොමුවිය යුතු බවත්" දැක්වු බව ෆ්‍රැන්සිස් පාප් වහන්සේ 2017 ජනවාරියේ ස්පාඤ්ඤයේ El País පුවත්පත සමග දී තිබූ එම සාකච්ඡාවේදී ප්‍රකාශ කර තිබුනා.

එම නිර්දේශ දෙවන ජුවාම් පාවුළු පාප්වහන්සේ වෙත, වතිකානුවෙහි මූලධර්ම කාර්යාලය වන ඇදහිල්ලේ ධර්මය සඳහා වූ සභාවෙහි (Congregation for the Doctrine of the Faith - C.D.F) ප්‍රධානියා ලෙස කටයුතු කළ කාදිනල් ජෝසෆ් රැට්සිංගර් “'විමුක්තියේ දේවධර්මයේ' ඇතැම් අංශ පිළිබඳ උපදෙස්" - Libertatis Nuntius (1984) හා ක්‍රිස්තියානි නිදහස සහ විමුක්තිය පිළිබඳ උපදෙස්" - Libertatis Conscientia (1986) යන ලේඛන දෙකක් වශයෙන් ඉදිරිපත් කර ඇති බව දැන් පැහැදිලියි.

වසර ගණනාවක් පුරාම වතිකානුව ගුස්ටාවෝ ගුටෙරෙස් (Gustavo Gutiérrez) පියතුමාගේ ලේඛණ පරීක්ෂා කර ඒ සම්බන්ධයෙන් දේවධර්ම පිලිබදව සිය ස්ථාවරයන් සහිතව සිය විචාරයන් ඉදිරිපත් කළ බවත් කියවෙනවා. 2006 දී පේරූ බිෂොප්වරුන්ගේ සමුළුව වාර්තා කළේ වතිකානුව 2004 දී ගුස්ටාවෝ ගුටෙරෙස් (Gustavo Gutiérrez) පියතුමාගේ සමහර කෘතිවල අඩංගු ගැටළුකාරී කරුණු පැහැදිලි කරගැනීමේ ක්‍රියාමාර්ග අවසන් කර ඇති බව දැන්වූ බවයි.

දශක ගණනාවක් පුරා ගුස්ටාවෝ ගුටෙරෙස් (Gustavo Gutiérrez) පියතුමා හා වතිකානුව අතර ඇති වූ මතවාදී අරගලය දෙපිලම කිසියම් ආකාරයක පෝෂණයක් ලබා දෙමින් අවසන් වී ඇති බව ගුස්ටාවෝ ගුටෙරෙස් (Gustavo Gutiérrez) පියතුමාගේ "Ecclesial Koinonia" ලිපිය සංශෝධිත දෙවන අනුවාදය ලෙස 2004 දී පලකිරීම ඔස්සේ පෙනී යන බව විචාරකයින්ගේ මතයයි.

එය වතිකානුවත් ගුස්ටාවෝ ගුටෙරෙස් (Gustavo Gutiérrez) ත්, විමුක්ති දේවධර්ම කණ්ඩායම අතරත් එකගතාවයකට පැමිණීමක් හා දෙපාර්ශවයේම එකිනෙකාගෙන් පෝෂණය ලබමින් අන්‍යොන්‍ය අවබෝධයකට පැමිණීමක් ලෙස ද දැක්විය හැකියි.

ගුස්ටාවෝ ගුටෙරෙස් (Gustavo Gutiérrez) පියතුමාට ස්වර්ගීය ජීවනය අත්වේවා!!❤️

මාකස් ප්‍රියන්ත පෙරේරා
23/10/24 


Thursday, 17 October 2024

Carlsberg හැදූ ඩෙන්මාර්කයේ Little Mermaid ප්‍රතිමාව

 


අහලා තියෙනවද The Little Mermaid කියන සුරංගනා කතාව...

අර රජ කුමාරයෙකුට ආදරේ හිතිලා මනුස්සයෙක් වෙන්න ගිය දියකිදුරිය ගැන කතාව... 

ඒ ආදරේ නිසාම මායාකාරියෙකුට සිය කටහඩ  දීලා, වලිගේ හලලා, මනුස්සයෙක් වුනු 15 හැවිරිදි දියකිදුරිය ..

ඒත් හිරිමල් වියේ උන්නු දියකිදුරියට අර කුමාරයාව හිමිකරගන්න බැරිවෙනවා... 

කුමාරයා, කුමාරියෙක් කසාද බදිනවා...සිය ජීවිතේ සියල්ල අතහැරලා මනුස්සයෙක් වූ ඒ දියකිදුරියගේ පපුව පැලිලා මැරෙනවා...

එහෙත් ඇගේ ආත්මය සදාතන ජීවන අත්කරගන්නවා.. 

නවකතා, චිත්‍රපට, බැලේ ආදී  විවිධ කලා නිර්මාණ රාශියකට වස්තුවිෂය වූ මේ අනුවේදනීය කතාව මුලින්ම ලිව්වේ ඩෙන්මාර්කයේ Hans Christian Andersen කියන ලේඛකයා. ඒ 1837 තරම් ඈතක..ඒ ලේඛකයා වගේම මේ කතාවත් ඉතාම ජනප්‍රියයි. 

සුරංගනා කතාවලට පෙම්බදින අය මේ කුඩා දියකිදුරිය ගැන හරියට දුක්වෙනවා.. ඒ තරමටම ලයාන්විත කතාවක්. 

මේ කුඩා දියකිදුරිය සිහිකරමින් ඩෙන්මාර්කයේ කෝපන්හේගන් අගනුවර කුඩා මූර්තියක් නිර්මාණය කර තිබෙනවා...

මම ගියා ඒක බලන්න... එය ඉදිකර ඇත්තේත් 1913 යි, අවුරුදු 100කටත් වඩා පරණයි.. 

ඒ නිර්මාණය සදහා මුදල් වියදම් කර ඇත්තේ ඒ කාලේ ඩෙන්මාර්කයේ කෝපන්හේගන් නුවර විශාල තැබැරුම් හිමියෙක්වූ දානපතියෙක්.. 

ඔහු නමින් Carl Jacobsen...

ඔහු තමයි Probably The Best Beer In The World කියලා ඇඩ් දාන Carlsberg බියර් කොම්පැනියේ නිර්මාතෘ. හැබැයි ඔහුගේ නමවත් මේ මුර්තියේ ගහන්න දිලා නෑ...

කතාව ලියූ Hans Christian ගේ නමයි, මුර්තිය නිර්මාණය කල Edvard Eriksen ගේ නමයි විතරයි ගහන්න ඔහු යෝජනා කරලා තියෙන්නේ.. ඔය ප්‍රතිමාව හදන්න වියදම් කල තැබෑරුම් හිමියාත් අර කුඩා දියකිදුරියට ආදරේ කරපු කෙනෙක් හෝ ඒ කුඩා Little Mermaid ට ආදරය කල කෙනෙකුට ආදරය කල කෙනෙක් වෙන්නම ඕනෑ....

කතාවට කියන්නේ Carl Jacobsen ඔය කුඩා දියකිදුරියට ආදරේ කරන්න ගත්තේ Little Mermaid බැලේ එක බලලලු...එහි රගපෑ නිලියක් ගැන වහවැටිල ලු...


Marcus Priyantha Perera

17/10/23

Wednesday, 16 October 2024

අනුරගේ විදානය හා අයියන්දේගේ ඉරණම

 

ජනාධිපති අනුර කුමාර දිසානායක මෙවර මහමැතිවරණයට ඉදිරිපත් වී සිටින සිය අපේක්ෂක කණ්ඩායම අමතා සිදුකල කතාව සම්බන්ධයෙන් බොහෝ යහපත් ප්‍රතිචාර පලවී තිබුණා. එය විශිෂ්ඨ කතාවක් බවත් ඔහු අති දක්ෂ සංනිවේදකයෙක් බවටත් විවාදයක් නෑ. මේ මොහොතේ ලාංකික සමාජය තුල සිටින විශිෂ්ඨතම දේශපාලන සංවේදකයා අනුර කුමාර දිසානායක මහතා වන බැවින් ඔහු ඉදිරිපත් කරන අදහස් සම්බන්ධයෙන් කිසියම් හෝ ඇබ්බැහිවීමකින් හෝ ආසක්තවීමකින් තොරව නිසි විචාරයකින් යුතුව එම අදහස් විමසුමකට ලක්කරන්නේ ද යන්න සැක සහිතයි.

ජනාධිපතිවරයා සිය අපේක්ෂක කණ්ඩායම අමතා ඉරිපත් කළ කතාව තුල පැහැදිලිව කරුණු 3ක් අඩංගු වූ බව පෙනී යන්නක්. එක් කරුණක් නම් (1) ජනාධිපතිවරණයේ ප්‍රතිඵල ගැන ඔහුගේ කියවීමයි. (2) දෙවැන්න නම් මෙවර මැතිවරණයට ඉදිරිපත් කර ඇති ඔවුන්ගේ කණ්ඩායමට පැවැරී ඇති වගකීම පිලිබදව පැහැදිලි කිරීමයි. තුන්වැන්න නම් (3) එම නියෝජිතයන් වගකිවයුතු පාර්ශ්වය පිලිබදව අපේක්ෂක කණ්ඩායම දැනුවත් කිරීමයි.

ප්‍රථමයෙන්ම (1) සලකා බැලුවහොත් මෙවර ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය අනුර කුමාර දිසානායක මහතා ව්ග්‍රහ කළේ "(A) නව ආර්ථික ගමනක උවමනාව වෙනුවෙනුත්, (B) නව දේශපාලනය සංස්කෘතියක උවමනාව වෙනුවෙනුත්, (C) ජනතාව හා දේශපාලකයා අතර නව සම්බන්ධයක උවමනාව වෙනුවෙනුත්" ප්‍රකාශ කළ ජන්දයක් ලෙසයි. ජනාධිපතිවරණයේදී ඔවුන් ලැබූ චන්ද ප්‍රමාණය හා ප්‍රතිශතය පිලිබදව යම් අවධාරණය කිරීමකට ලක් කිරීමකින් තොරව වුනත් ඔවුන්ට ලැබූ චන්දය පැහැදිලිවම මතවාදීමය හා දේශපාලනය සංස්කෘතියේ වෙනසක් වෙනුවෙන් ප්‍රකාශ කළ චන්දයක් ලෙස අර්ථ නිරූපනය කරගැනීම ඕනෑම දේශපාලන ව්‍යාපාරයක දේශපාලන ව්‍යාපෘතියේ කොටසක්.

ජනාධිපතිවරණයේදී ඔවුන්ට ලැබූන චන්ද ප්‍රමාණය ප්‍රකාශිත චන්ද සංඛ්‍යාවෙන් 42% ක සුළුතර චන්දයක් වුවත් එය "අලුත් දේශපාලන ගමනකට රට ප්‍රවිශ්ට කරනවාද ? නැතිනම් පරණ දේශපාලන ගමනම යනවාද? සම්බන්ධයෙන් ජනතාව ගත් දැඩි දේශපාලන තීරණයක්" ලෙස අතිශයෝක්තියට නැන්වීම (exaggerate) යතාර්ථයට තරමක් දුරස්. එහෙත් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ඔවුන්ගේ මහමැතිවරණ අපේක්ෂකයින් ඉදිරියේ එම චන්ද ප්‍රතිඵලය රටේ සමස්ථ සමාජයේම ඒකායන ප්‍රකාශණයක් ලෙස සමාජ ගත කරන්නේ ඔවුන්ගේ ඉදිරි දේශපාලන ව්‍යාපෘතියේ පදනම 'ප්‍රමාණයට වඩා ගුණය' පදනම් කරගත්, නිශ්චිත දේශපාලන අභිලාෂයක් පෙරදැරි කරගත්තක්, බව මතුකරලීමටයි.

එම දේශපාලන අභිලාෂයන් මුදුන් පත්කිරීමට ශක්තිමත් දේශපාලන බලයක් අවශ්‍ය බවත්, එම ශක්තිමත් දේශපාලන බලය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඔළු ගෙඩි වලින් සැදුම් ලත් ප්‍රමාණාත්මක බලයක් නොවන, ගුණාත්මක අගයකින් යුතු, පිරිසක් විම සිය අපේක්ෂක කණ්ඩායමට පැවැරී ඇති වගකීම ලෙස ඔහුගේ කතාවේ දෙවන (2) කරුණ ලෙස දිසානායක මහතා මතුකරණු ලැබුවා.

අනුර කුමාර දිසානායක මහතා සිදුකල කතාවේ බොහෝදෙනකු වසග කළ කොටස දිග හැරෙන්නේ කතාවේ එම කොටස සමගින්.

විශේෂයෙන්ම 'පැවැති පාර්ලිමේන්තු නින්දා සහගත, ජනතා අපේක්ෂා අමු අමුවේ වළලා දමන ලද, ධනය, බලය කේන්ද්‍ර කරගත් හොරුන්ගේ ගුබ්බෑයමක් බව ජනතාව අතර මුල් බැසගෙන ඇති මතයට තිත තබා, උසස් වටිනාකම්, උසස් ගුණ ධර්ම පෙරටු කරගත්, ආදර්ශමත් පාර්ලිමේන්තුවක් නිර්මාණය කිරීමේ වගකීම පැවරී ඇත්තේ ඔබට බවත්, එවැනි ගුණාත්මක පාර්ලිමේන්තුවක් බිහි කිරීමේ ගුණාත්මක බලය ඇත්තේ ඔබ සතුව බවත්, ඔවුන්ගේ අපේක්ෂ කණ්ඩායම හමුවේ ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන්' අනුර කුමාර දිසානායක මහතාට බොහෝ පැසසුම් ලැබී තිබුන බව පෙනීයන්නක්.

මීට පෙර සිටි ජනාධිපතිවරුන්ද අවස්ථා කිහිපයකදීම ඔවුන්ගේ අපේක්ෂක කණ්ඩායම අමතා එවැනි ගුණධර්ම, යහපත්කම් ඇති මංත්‍රීවරුන් වීමේ වැදගත්කම පහදා දුන් අවස්ථා තිබුණි. එහෙත් ඒවා 'බිහිරි අලීන්ට විණා වාදයන්' විතරක් නොව 'ජනතාව ඇන්දවන' කයිකතන්දර පමණක් බවත්, ඔවුන් බලයට පත්වූ පසුව කටයුතු කරන්නේ කෙසේද යන්න ගැන සියල්ලන්ම හොව තක්සේරුවක් තිබුන බව ඒකාන්තයයි.

එහෙත් මෙවර පාර්ලිමේන්තුවේ 'ගුණාත්මක බලය තිරණය කරන්නේ ඔබ යැයි' ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය අපේක්ෂ කණ්ඩායම හමුවේ ප්‍රකාශ කළ විට ජනතාව පැතූ, 'පැතුම් මල් පිපුණාක්' මෙන් හැහීමක් ඇති කරණු ලැබූවා. සීයට 3ක් වූ සීමිත, කුඩා, පිරිසක් වූ ඔවුන්ව රටේ ප්‍රධාන බලවේගයක් ලෙස ඔසවා තැබී ම "ආශ්චර්යයක්" බවත්, ජනතාව ඔවුන් කෙරෙහි තබා තිබෙන "විශ්වාසය බිදකින් හෝ බිද වැට්ටවීමට අපිට අයිතියක් නැති බවත්" අනුර කුමාර දිසානායක මහතා මතු කළේ අපේක්ෂකයින්ගේ පමණක් නොව, එම කතව අසන ජනතාව ද එක මිට ට ගොනු කරගනිමින්.

ඒමෙන්ම "එම ජනතා අපේක්ෂා බිද දමන්නේ නම් ඔවුන් මිනිසුන් නොවන බවත්" ප්‍රකාශ කළේ 'මිනිසුන් අතර මිනිසුන් ගැනත්' / 'මිනිසුන් අතර සිටින නරුමයන්'/ ද්‍රෝහියන් / පිලිබදවත් වූ වාමාංශික දේශපාලනය සාහිත්‍යයේ හා භාවිතයේ ද පරිචයක් ඇතිව විය යුතුයි.

එහෙත්, බලය හා සාමාන්‍ය මිනිස් ස්වභාවය පිලිබදව අත්දැකීම් ඇති ඒ මහතා "අපි දන්නවා අපි කවුද කියන්න, ඒත් මිනිස්සු අප කෙරෙහි විශ්වාසය තබනවා.. එය බිද දැමීමට අපිට අයිතියක් නෑ" යනුවෙන් දක්වනුයේ හර්දයාංගම ආකාරයකටයි.

'වෙනස් කළ යුතු දේ වෙනස් කිරීමට ඉවසිවන්තව කටයුතු කරන, ග්‍රාමීය ගැටුම් සහිත ව්‍යාපාරයක් වෙනුවට, සමාජයේ මිනිසුන් අපේක්ෂා කරන සාධනීය උසස් ගුණාංග රැස්කරගත්, උසස් ගුණාංගවලින් යුතු අලුත් දේශපාලන ව්‍යාපාරයක් බවට පරිවර්තනය වීමට ජනතාව ලබාදෙන ප්‍රමාණාත්ම බලයේ ගුණාත්මක කොටස කැටුව එන පිරිස' බවට පත්වීමට සිය මැතිවරණ අපේක්ෂකයින්ට දිසානායක මහතා එයින් ආරාධනා කර තිබුණා.

එය වාමාංශික ව්‍යාපාරයේ අධ්‍යාපන සම්ප්‍රදායේ වූ (ජනතාව දේශපාලන වශයෙන්) 'පෝෂණය කිරීමට ඔබ පෝෂණය වන්න' යන්නට වඩා වෙනස්, ඉදිරිගාමී විවෘත ආරාධනයක්. එනම් 'සාධනීය දේවල් අරන් එන්න, අපිට ඔබෙන් පෝෂණය විය හැකියි' වැනි අදහසක්.

එහෙත් එම කතාවේ බරපතලම කොටස කියවෙන්නේත් එසේ ඇරයුම් කරමින්මයි.

මුළු කතාවම එක් කේන්ද්‍රයක් වෙත නාභි ගතකරමින් අනුර කුමාර දිසානායක මහතා සිය අපේක්ෂකයින්ට පසක් කරදීමට උත්සහ කරන්නේ මැතිවරණයට ඉදිරිපත්කර ඇති "අපේක්ෂකයන් යනු ආණ්ඩුකරණය සදහා සුදානම් වූ පිරිසක් පමණ" ය යන්නයි.

ආණ්ඩුවක් පවතින්නේ ආණ්ඩුකරණ ක්‍රියාදාමය තුලම පමණක් නොවන බව ජනාධිපතිවරණයේදී 'පොහොට්ටුව' ට අත්වු ඉරණම ඇසුරෙන් පෙන්වා දෙමින් අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරන්නේ "ආණ්ඩුවක් පවතින්නේ ආණ්ඩුකරණ පිරිස් මතම නෙමෙයි, ඒ පිටුපස ඇති දේශපාලන ව්‍යාපාරයක් තුලයි" යන්නයි. ඒය ඔහුගේ කතාවේ තුන්වන (3) කොටසේ සාරය ලෙස සැලකිය හැකියි.

පසුගිය මැතිවරණයේදී ඔවුන් සීයට 3 ට වැටුන අවස්ථාවේ පවා සම තරගකරුවන් ලෙස ඔවුන්ව නැවත ඔසවා තැබුවේ, නමක් ගමක් නොදන්නා, දැන් මේ මොහොතේ පවා වැස්සේ තෙමෙමින්, බයිසිකල් පදමින්, ජනතාව සංවිධානය කරමින්, කෑමක්, බීමක්, රෑ ක් දවාලක් නැතිව, දිවිහිමියෙන් වෙහෙස මහන්සි වී වැඩ කරන, කිසිදු පෞද්ගලික අරමුණක් වෙනුවෙන් නොවන, ඊට වඩා පැතිරුණු, පොදු සමාජ අරමුණක් වෙනුවෙන් වගකීම් පවරා ගත් පිරිසකගේ අප්‍රතිහත කැපවීම මත ගොඩනැගූ ව්‍යාපාරයක් තුලින් බව ඔහු සිත් කාවදින ලෙසත්, ඉතා තීව්‍රවත් අවධානයට ලක් කරයි.

එම කරුණු අවධානයට ලක් කරමින් ඔහු කියා සිටින්නේ: "ඔබ එම ව්‍යාපාරයට වගකිවයුතු, එහි ප්‍රකාශකයන් විය යුතු, පිරිසක් විය යුතුයි" යන්නයි.

ඒ ව්‍යාපාරය ජනතා විමුක්ති පෙරමුණ බව අපි දනිමු. මාලිමාවේ පිටුපස සිටින්නේ ජනතා විමුක්ති පෙරමුණ බව නොරහසකි.

එහෙත් මාලිමාවේ මැතිවරණ අපේක්ෂයන් හමුවේ අනුර කුමාර දිසානායක මහතා කළ කථාවේ ප්‍රධාන විදානය වන්නේ - "ඔබ එම ව්‍යාපාරයට වග කියන, එහි ප්‍රකාශකයින් පිරිසක් වන්න" යන්නයි.

එය, රැස්ව සිටි අපේක්ෂක කණ්ඩායම වගකිව යුත්තේ කාටද යන්න ඉතා ප්‍රබලව දැක්වීමකි.

එම කතාවේ එක් අවස්ථාවකදී මහජන නියෝජිතයන් වගකිව යුත්තේ ජනතාවට ද? නැතිනම් ව්‍යාපාරයට ද? පක්ෂයට ද? යන්න හා සමපාතවීමක් හා නොවීමක් අතර වෙනස පැහැදිලි කිරීමකට ආසන්න වෙන අවස්ථාවක් එළබුනත් අනුර කුමාර දිසානායක මහතා සිය කතාව එතරම් ගැඹුරට ගෙන නොයාමට තරම් පරිස්සම් විය.

"ඔබ එම ව්‍යාපාරයට වග කියන, එහි ප්‍රකාශකයින් පිරිසක් වන්න" යැයි සිය අපේක්ෂකයින් අමතා අනුර කුමාර දිසානායක මහතා ලබා දෙන විදානය තුල මාලිමාව තුල සිටින ජනතා විමුක්ති පෙරමුණේ නොවන පිරිස් වෙත මොනයම් ආකාරයේ අදහසක්, බරක් පතිත කළේද? නැද්ද? යන්න අපිට දැම්ම පැහැදිලි නැති නමුත් එය කාලයකට පසුව හෝ දැනගැනීමට හැකිවේවි.

ඒ කෙසේවෙතත්, අනුර කුමාර දිසානායක මහතා මෙවර (2024) මහමැතිවරණය සදහා මාලිමාවේන් ඉදිරිපත් කර ඇති අපේක්ෂක/ අපේක්ෂාවන් අමතා 13/10/24 කළ කතාව මට කිසියම් ආකාරයකින් චිලී (Chile) හි Salvador Allende (සැල්වදෝර් අයියන්දේ) විසින් 05/09/1970 සිදුකළ 'ජයග්‍රාහී කතාව' (Victory Speech) සිහිපත් කළේය.

1970 චිලී රටේ බලයට පැමිණි සැල්වදෝර් අයියන්දේ (Salvador Allende) ලෝකයේ මැතිවරණයකින් බලයට පැමිණි ප්‍රථම මාක්ස්වාදී පාලකයා ලෙස හදුන්වයි. චිලියේ එම මැතිවරණයත් පසුගිය දා ලංකාවේ පැවැති ආකාරයේම තුන් කොණ් මැතිවරණයක් විය. 1970 චිලියේ පැවැති එම මැතිවරණයේ දී Popular Unity වාමාංශික එකතුවෙන් තරග කළ සැල්වදෝර් අයියන්දේ (Salvador Allende) 36.61% චන්දයක් ද, ස්වාධීනව තරග කළ හිටපු ජනාධිපති Jorge Alessandri, 35.27% ක් ද, Christian Democratic පක්ෂයෙන් තරග කළ Radomiro Tomic 28.11% ක චන්දයක් ලැබූහ. එහෙත් කිසිවෙකුට 50% ක පැහැදිලි බහුතරයක් නොලැබූ නිසා චිලී පාර්ලිමේන්තුවේ මංත්‍රී මණ්ඩල දෙකම එකතුවී වැඩිම චන්ද ලැබූ අපේක්ෂකයින් දෙදෙනා අතරින් වාමාංශික සැල්වදෝර් අයියන්දේ (Salvador Allende) එරට ජනාධිපතිවරයා ලෙස 1970 දී තෝරා පත් කරගත්තේය.

එම තෝරා පත්කරගැනීමෙන් අනතුරුව ඔහු පැවැත්වූ 'ජයග්‍රාහී කතාවේදී' (Victory Speech) සැල්වදෝර් අයියන්දේ ප්‍රකාශ කළේ: 'චිලීය අපේක්‍ෂා කරන දේ යථාර්ථයක් බවට පත් කිරීමේ ඓතිහාසික කර්තව්‍යයක් ඔවුන් මත පැවරී ඇති බවත්, ජාතියේ ප්‍රගතිය, සමාජ සාධාරණත්වය තුළ, සෑම පිරිමියෙකුගේම, සෑම කාන්තාවකගේම, තරුණයෙකුගේම අයිතිවාසිකම්, බලාපොරොත්තු මුදුන්පත් කරන අසමසම රටක් බවට පත් කිරීමට සිය ව්‍යාපාරය හා බලමුළු ගන්වන ලෙසයි'.

එහෙත් 1970 මැතිවරණයෙන් බලයට පැමිණි ලෝකයේ ප්‍රථම මාක්ස්වාදී පාලකයා වූ සැල්වදෝර් අයියන්දේට බලයේ සිටිය හැකිවූයේ වසර තුනක් පමණි. ඔහු ඉදිරිපත් කළ ආර්ථික ප්‍රතිසංස්කරණ රට අරබුදයෙන් අර්බුදයට පත් කළේය. ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ යෝජනා පරාජයට පත්ව ඔහු ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්නෙක් බවට චෝදනාවලට ලක්විනි. විදේශ සබදතා අවුල් ජාලයක් විනි. පාර්ලිමේන්තුවේ බලයට පිටින් සිය පක්ෂය ලවා රට ආණ්ඩුකරණ පාලකයෙක් බවට ඔහුට චෝදනා එල්ලවුනි. එරට හමුදාවට, පොලීසියට හා මිලිටරි පාලකයන්ට එරෙහිව සිදුකළ විමර්ශණ නිසි සාර්ථකත්වයක් පෙන්නුම් නොකෙරුවද එයින් හමුදා කුමන්ත්‍රණවලට පාර කැපුනි. අවසානයේ අන්ත දක්ශිණාංශික, සිය දහස් ගණන් මිනිස්සුන්ගේ ජීවිත මහා විනාශයකට ගෙන ගිය, මිනීමරු Augusto Pinochet (පිනෝචේ) නම් මිලිටරි පාලකයා හමුදා කුමන්ත්‍රණයකින් චිලීයේ බලය අල්ලා ගත්තේය. පිනෝචේ වැනි ගහලයෙකුට යටත්වීම වෙනුවට සැල්වදෝර් අයියන්දේ සිය දිවි නැති කර ගැනුනි.

1970 චිලීයේ ජනයා දැල්වූ බලාපොරොත්තු 1973 වන විට නිමී ගියේ ඇමැරිකානු රූකඩයක්වූ පිනෝචේ (Pinochet) යටතේ අන්ත දක්ශිණාංශික මේලේච්ච හමුදා පාලනයක් බිහි කරමිනි. පිනෝචේ ගේ හමුදා පාලනය 1973 සිට 1990 දක්වා පැවතුනි. එය මිනිස්සු සිය දහස් ගාණක් බිලිගත් අධම යුගයක් විනි. බලයෙන් පහවූ පසු, පිනෝචේ ට විරුද්ධව පැවැති අපරාධ චෝදනා විභාග කිරීමට පෙරම ඔහු මිය ගියේය. වසර ගාණනාවක 'තට්ටු මාරු' බල හුවමාරුවලින් අනතුරුව 2022 මාර්තුවේ පැවැති චිලී ජනාධිපතිවරණයෙන් 38 හැවිරිදි Gabriel Boric බලයට පැමිණියේය. එහෙත්, අදත් පිනෝචේ (Pinochet) යටතේ සිදුවූ අපරාධ සම්බන්ධයෙන් විපතට පත් ජනතාවට යුක්තිය ඉටුවී නොමැත .

ලංකාවේ පසුගිය මැතිවරණයෙන් බලයට පැමිණි අනුර කුමාර දිසානායක මහතාගේ ජයග්‍රහණය ලෝකයේ බොහෝ මාධ්‍යය හදුන්වා තිබුනේ ද මාක්ස්වාදීයෙකුගේ ජයග්‍රහණයක් ලෙසය. ඒ ලෝකයේ මැතිවරණයකින් බලයට පැමිණි ප්‍රථම මාක්ස්වාදී පාලකයා ලෙස සලකන 1970 බලයට පැමිණි චිලියේ සැල්වදෝර් අයියන්දේ ගෙන් පසුවය..

අනුර කුමාර් දිසානායක මහතාගේ රජය සැල්වදෝර් අයියනගේ පාරේ යාවිද? නැති නම් චීලියේ වාම බලාපොරොත්තු ඉහල නන්වමින් දැන් බලයට පැමිණ ඇති Gabriel Boric ගේ පාරේ යාවි දැයි තවමත් කිව නොහැක. එවැනි සසදා බැලීම් කිසිසේත්ම අදාල නොවන්නට ද පුළුවන. එත් අවශ්‍ය වන්නේ වාම බලය පරාජය කර දක්ශිණාංශය බලයට පැමිණියහොත් සිදුවන්නේ කුමක්ද යන්න වටහා ගැනීමය. එය චිලීයේ පිනෝචේ (Pinochet) ලාගෙන් පමණක් නොව ලංකාවේ J. R. ලාගෙන්, R. ප්‍රේමදාසගෙන් වුවද උගත හැකිය.

මාකස් ප්‍රියන්ත පෙරේරා
15/10/24

Thursday, 26 September 2024

පාස්කු ඉරිදා ප්‍රහාරය විමර්ශනය මේ ආණ්ඩුවේ අම්ල පරීක්ෂණයයි. සුරේෂ් සලේ තවමත් රාජ්‍යය බුද්ධි අංශ ප්‍රධානියා



ජේෂ්ඨ මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය මහතා එසේ දක්වා ඇත්තේ ඊයේ (25/09/24) මරදාන සමාජය හා සාමයික කේන්ද‍්‍රයේ (CSR) හි පැවැති 'පාස්කු ඉරුදින ප්‍රහාරය පාර රාජ්‍යයේ සෙවනැලි සහ නොවිසඳුණු අහිරහස්' නම් සිය කෘතිය එළිදක්වමිනි.

පාස්කු ඉරිදා ප්‍රහාරය පිලිබදව මෙතෙක් සිදුකර ඇති විමර්ශන වාර්තා ඇසුරෙන් මෙන්ම ගවේෂණාත්මක මාධ්‍යයවේදියෙකු ලෙස තමා රැස්කරගත් කරුණු ද ඔස්සේ ලියා ඇති එම කෘතිය, පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව බොහෝ කරුණු ඉදිරිපත් කිරීමට අමතරව ශ්‍රී ලංකා රාජ්‍යය තුල ක්‍රියාත්මක වන 'පාර රාජ්‍යයේ' (deep state) මිලිටරි සෙවනැලි 2021 අප්‍රියෙල් 21 වෙනි පාස්කු ඉරුදින එල්ලවූ ප්‍රහාරයන් මත ද වැටී ඇති බව පෙන්වා දෙන බව කෘතිය හදුන්වමින් දක්වා තිබේ. ශ්‍රි ලංකා රාජ්‍යයේ අභ්‍යන්තරයේ සිට ක්‍රියාත්මක වෙන මෙම මිලිටරි 'පාර රාජ්‍යය' (deep state) සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග නොගතහොත් බලයට පත් වූ නව රජය පවා අනතුරකට මුහුණ දීමේ අවධානමක් ඇති බව ද ඒ මහතා තවදුරටත් පෙන්වා දෙනවා.

එම කෘතිය එළිදැක්වීමේ උලෙළ අමතමින් කථා කළ ජේෂ්ඨ මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන මහතා සහරාන්ගේ අන්තවාදී මුස්ලිම් කණ්ඩායම සමග සුරේෂ් සලේ හා රාජ්‍ය හා හමුදා බුද්ධි සේවා අතර පැවැති සම්බන්ධතා එකිනෙක කරුණු සහිතව ගෙන හැර පා තිබෙනවා.

එමෙන්ම පාස්කු ඉරිදා ප්‍රහාරය පිලිබද විමර්ශන නොමග යැවීමට මෙන්ම අදාල විමර්ශන කඩාකප්පල් කිරීමට රාජ්‍ය හා හමුදා බුද්ධි සේවා පමණක් නොව ගෝඨාභය රාජපක්ෂ රජය ද කටයුතු කර ඇති ආකාරය සුනන්ද දේශප්‍රිය මහතාගේ එම කෘතිය එළිදැක්වීමේ උලෙළට සහභාගීවෙමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර මහතා විස්තර සහිතව පෙන්වා දී තිබෙනවා.

එම අදහස් දැක්වීම් තුනට සවන්දීමෙන් පමණක් වුවද ශ්‍රි ලංකා රාජ්‍යය තුල කෙතරම් බරපතළට විහිදුනු මිලිටරි 'පාර රාජ්‍යය' ක (deep state) හස්තයක බලපෑමට ලක්ව ඇත්ත යන්න පිළිබඳව සිතා ගත හැක්කක්.

දැන් ප්‍රශ්ණය වී ඇත්තේ එකී 'පාර රාජ්‍යය' යෙන්, මිලිටරි හස්තයන්ගෙන් මිදී ශ්‍රී ලංකාව තුල ආණ්ඩුවකට පැවැතිය හැකිද? යන්නයි.

1. ජාතික ජනබලවේගයේ (මාලිමාවේ) වේදිකාවට ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර අමු අමුවේ මරා දැමුවේ යැයි චෝදනා එල්ල වූ විශ්‍රාමික මේජර් ජෙනරාල් අසෝක තෝරදෙණිය ගොඩවීමත්;


2. ශ්‍රී ලංකා සිවිල් යුද්ධයේ අවසන් අදියරේදී, විශේෂයෙන්ම 2009 මැයි මාසයේ, අසීමිත ලෙස කාපට් බෝම්බ ප්‍රහාරවල නිරත වූ බවට චෝදනා එල්ල වී ඇති අංක 09 බලඝණයේ, Fleet 24 සම්බන්ධ මෙහෙයුම් අධීක්ෂණය කළ, මුල්ලිවයික්කාල් සමූල ඝාතන බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති කුප්‍රකට හිටපු විංග් කමාන්ඩර් තුයකොන්ත, මාලිමාව ආණ්ඩුවේ ආරක්ෂක ලේකම්වරයා ලෙස පත්කිරීමත්;

3. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් දැඩි චෝදනාවන්ට ලක්ව ඇති සුරේෂ් සලේ අනුර දිසානායක ජනාධිපතිවරයාගේ මාලිමා ආණ්ඩුව යටතේ පවා තවදුරටත් බුද්ධි අංශ ප්‍රධානියා ලෙස කටයුතු කිරීමත්;

ශ්‍රී ලංකා රාජ්‍යය තුල ඇති එකී 'පාර රාජ්‍යය' යේ, මිලිටරි හස්තයන් සමග ජාතික ජනබලවේගය (මාලිමාව),අනුර කුමාර දිසානායක මහතාගේ රජය සමග කිසියම් ආකාරයක සම්මුතියකට එළබීමක් ද?

ඒ පිලිබදව තවදුරටත් නොදුරේදීම කතා කළ හැකිවනු බව නියතය.

මෙම අර්ථයෙන් ගත් කල සුනන්ද දේශප්‍රිය දක්වන්න පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව විමර්ශන කිරීම පමණක් නොව, ලසන්ත වික්‍රමතුංග, ප්‍රදීප් එක්නැලිගොඩ, ඝාතන විමර්ශනය කිරීම් ද, මේ ආණ්ඩුවට මුහුණදීමට ඇති බරපතළ අම්ල පරීක්ෂණය (litmus test) මන්ද යත් එම ඝාතන සම්බන්ධයෙන් ද ශ්‍රී ලංකා රාජ්‍යයේ ඇති 'පාර රාජ්‍යය' යේ, මිලිටරි හස්තයන් ගැන චෝදනා එල්ල වී ඇති බැවිනි.

'පාස්කු ඉරුදින ප්‍රහාරය පාර රාජ්‍යයේ සෙවනැලි සහ නොවිසඳුණු අහිරහස්' නම් සිය කෘතිය හදුන්වා දෙමින් සුනන්ද දේශප්‍රිය මහතා ඉදිරිපත් කළ කථාව ද, එම එළිදැක්වීමේ උලෙළේ දී අදහස් වූ ප්‍රවීන මාධ්‍යයවේදී තරිඳු ජයවර්ධන මහතාගේ හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර මහතා ගේ අදහස් දැක්වීම් ද පහතින් දක්වා ඇත.

මාකස් ප්‍රියන්ත පෙරේරා
26/09/24 





Monday, 23 September 2024

ජයග්‍රහණයේ සංයුතිය සහ ප්‍රමාණය පිළිබඳව හොඳ අවබෝධයක් තිබෙනවා"


"ජයග්‍රහණයේ සංයුතිය සහ ප්‍රමාණය පිළිබඳව මට හොඳ අවබෝධයක් තිබෙනවා. අපට සහාය නොදුන්, අපව විශ්වාස නොකරන පුරවැසියන්ගේ විශ්වාසය ගොඩනඟා ගැනීමට ද අප කටයුතු කරනවා" - නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දෙමින් අනුර කුමාර දිසානායක මහතා එසේ ප්‍රකාශ කර තිබෙනවා. එය ඉතා වැදගත් ප්‍රකාශයක්. ඒ වගේම යහපත් ප්‍රවේශයක්.


එම ප්‍රකාශය තුලම: "රටේ ජනතාව විසින් පාලකයෙක් තෝරා ගැනීමෙන්, මැතිවරණයට ඡන්ද ප්‍රකාශ කිරීමෙන් සහ පාලකයා තෝරා ගැනීමෙන් පමණක් ප්‍රජාතන්ත්‍රවාදය අවසන් වන්නේ නැහැ..." යනුවෙන් ද දක්වා තිබුනා. එනම් ජනතාවගේ සක්‍රීය දේශපාලන මැදිහත්වීම මැතිවරණ කාලෙන් පසුත් දිගින් දිගටම සිදුවිය යුතු බව ඔහු විශ්වාස කරනවා.


මැතිවරණ කාලෙන් පසු ජනතාවගේ දේශපාලන මැදිහත්වීම දැකිය හැක්කේ විවේචන, විරෝධතා, උද්ඝෝෂණ, වර්ජන, පෙළපාලි, නීති ක්‍රියාමාර්ග හා මැදිහත්වීම් ලෙස බව එවැනි භාවිතයකින් පැමිණි ජනාධිපතිවරයෙකු ලෙස ඔහු ඉතා හොදින් දන්නා කරුණක්. ඒ අයිතිය තහවුරු කිරීම ප්‍රජාතන්ත්‍රවාදය පිලිබදව ලිට්මස් පරික්ෂාවක් බවත් එම අයිතීන් මර්ධනය කිරීම කිසිසේත්ම පිලිතුර නොවන බවත් ඔවුන් පැමිණි ඉතිහාසය ඔස්සේම ඔවුන් උගත් බව තවුරු කිරීම අතිශයින්ම අවශ්‍ය වන්නක්.


එමෙන්ම, 'අර්බුදය නිමා කිරීමේදී පොදු පුරවැසියාටත් වගකීමක් තිබෙන බවත්, තමා ඉන්ද්‍රජාලිකයෙක් හෝ මැජික්කරුවෙක් නොවෙන බවත්, රටේ සාමාන්‍ය පුරවැසියෙක් ලෙස දන්නා දේවල් මෙන්ම නොදන්නා දේවල් තිබෙන බැවින් අන් අයගේ ද හැකියාවන් යොදාගෙන, නොදන්නා දේ එක්රැස් කරගනිමින්, වඩා හොඳ තීන්දු තීරණ ගැනීම' තමාගේ අරමුණ ලෙස ද ඔහු දක්වා තිබුනා. 

එම සංදර්භය තුලම අනුර කුමාර දිසානායක මහතා අභිනව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දෙමින් සිදු කළ ඉහත ප්‍රකාශය අගය කළ යුත්තක්.


එකී අරමුණු සාක්ෂාත් කරගැනීමට ඔහුට අවශ්‍යය ශක්තිය හා ධෛර්යය ලැබේවා යැයි සුබ පතමු!!


මාකස් ප්‍රියන්ත පෙරේරා

23/09/24

Tuesday, 4 June 2024

ගමක ඉතිහාසය ප්‍රදර්ශණය කළ දේවස්ථාන ජුබිලියක්

දැන් මාස කිහිපයකට පෙර අප මෙහි ජීවත්වන ප්‍රදේශයේ දේවස්ථානයකට වසර 150ක් පිරීමේ ජුබිලිය පවත්වනු ලැබුවා.

දේවස්ථානයක ජුබිලි සමරුවක් තුල සාමාන්‍යයෙන් සිදුවන ආගමික කටයුතු හා දේවස්ථානය පිළිසකර කර වර්ණ ගැන්වීම වැනි කටයුතු වලට එහා ගිය ජුබිලි සමරු වැඩසටහනක් එම දේවස්ථානය විසින් සංවිධානය කර තිබුණා.

ඒ තමයි එම දේවස්ථානය පිහිටි ප්‍රදේශයේ වසර 150ක ඉතිහාසය දැක්වෙන ප්‍රදර්ශණයක් සංවිධානය කර තිබීම.

එවැනි ප්‍රදර්ශණයක් සංවිධානය කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නෙමේ. ඒ සදහා දේවස්ථානයේ පියතුමාගේ අනුශාසකත්වයෙන් කමිටුවක් පත්කර තිබුණා. විශ්‍රාමික විදුහල්පතිවරු, විශ්‍රාමික ගුරුවරු වගේම පල්ලියේ ක්‍රියාකාරීන්, ප්‍රදේශයේ විශ්ව විද්‍යාල සිසුන් ආදියත් ඊට සම්බන්ධ වී සිටියා. ඔවුන් පල්ලියේ වාර්තා මෙන්ම පල්ලියට අයත් පාසැලේ වාර්තා ද, බ්‍රිතාන්‍යය ජාතික පුස්තකාලයේ, ජාතික ලේඛණාගාර දෙපාර්තමේන්තුවේ සහ නගර සභාවෙත් උදව් ලබාගෙන තිබුණා.

එහෙත් මෙම වැඩසටහන සම්පුර්ණයෙන්ම දියත්වී තිබුනේ ස්වෙච්ඡා පදනමකින්. ප්‍රදර්ශණයට අවශ්‍ය අමුද්‍රව්‍යය වල පිටපත් ගැනීමට හෝ මුද්‍රණය කටයුතු කරගැනීමටත්, ප්‍රදර්ශණ භාණ්ඩ සකස්කර ගැනීමටත් පමණක් අරමුදල් සපයාගෙන තිබුණා.

එය අපි හුගාක් දෙනෙකු පුරුදු වී ඇති මුදල් හොයාගෙන වැඩ කිරීමේ ක්‍රමයට වඩා වෙනස් විදිහේ වැඩ කිරීමේ පිළිවෙළක්. මුදල් හොයාගෙන වැඩකිරීම වෙනුවට ස්වෙච්ඡාවෙන් පොදු අරමුණක් වෙනුවෙන් කටයුතු කරන විට එහිලා අවශ්‍ය සහය, ආධාර නිතැතින්ම ගලා තමයි මෙහිදී සිදුවී ඇත්තේ. එය එක්තරා ආකාරයට අදාල කාරණයට අවශ්‍යය ජීවය ගෙන එමක්.

ප්‍රදර්ශණය දින ගණනාවක්ම පැවැත්වූවා. පාසැල් ළමුන් වගේම රැකියාව අවසන් වී ගෙදර යන වැඩිහිටියන් ද ප්‍රදර්ශණය නැරඹීමට පැමිණ තිබුණා.

ප්‍රදේශයේ පැරණි සිතියම්, පසුගිය වසර 150 තුල ප්‍රදේශයේ වීදි, මංමාවත්, ගොඩනැගිලි ආදිය වෙනස්වී ඇති ආකාරය, දෙවන ලෝක යුද්ධ සමයේ ජර්මාණු ගුවන් ප්‍රහාරවලින් ප්‍රදේශයේ ගොඩනැගිලිවලට සිදුවූ හානි දැක්වෙන ජයාරූප, රාශියක්ම එහි ප්‍රදර්ශණයට තබා තිබුණා.

මෙම ප්‍රදර්ශණය මහා පරිමාණයෙන් වියදම් කළ හෝ ඉහල ප්‍රමිතියට සැකසූ ප්‍රදර්ශණයක් නොවුනත් එය ප්‍රදේශයේ ජීවත්වෙන ජනයාට කිසියම් ආකාරය අධ්‍යාපනක්, දැනුවත්වීමක්, පණගැන්වීක් ඇති කළ ප්‍රදර්ශණයක්. එය අලුත් පරම්පරාවකට පවා තමන් ජීවත්වන ප්‍රදේශයේ ඉතිහාසය ගැන කිසියම් මතකයක්, ආවර්ජනයක්, ඉතිහාසයක්  ගොඩනැගීමට හේතු වූ ප්‍රදර්ශණයක්.

මම මේ කාරණය බෙදාගත්තේ මා හැදී වැඩුන ගම වන මීගමුවේ මේ වසරේ සහ ලබන වසරේ පල්ලි කිහිපයකම ජුබිලි සැමැරීම් යෙදී ඇති නිසයි.

පෘතුගීසි යුගයේ සිට පැවැත එන මීගමුව පිටිපන විදිය කන්‍යා ශුද්ධවූ දේව මාතා දේවස්ථානයට මේ වසරේ වසර 400යක් පිරෙනවා. මීගමුව පෘතුගීසි - ලන්දේසි සිට ස්ථාන කිහිපයකටම රැගෙන ගිය මීගමුව මහවීදිය සා. මරියා දේවස්ථානයේ වර්තමාන දේවස්ථානයට මේ වසරේ වසර 100යක් පිරෙනවා.

මේ දේවස්ථානවල, ඒ ඒ මීසම් වල ඉතිහාසය දැක්වෙන ප්‍රදර්ශණයක් සංවිධානය කරන්න හැකි නම් කොපමණ අගේද? මොන තරම් නම් තොරතුරු ප්‍රමාණයක් බෙදාගැනීමට හැකිද? ප්‍රදේශයේ කෙතරම් ජනතාවක් අධ්‍යාපනික වශයෙන් දැනුවත් කිරීමට හැකිද?

මා දන්නා ලෙස හැම දෙනෙක්ම එහි ඇති වැදගත්කම දකීවි. එහෙත් එහෙම දෙයක් කරන්නේ කොහොම දැයි අසාවි. මම නම් කියන්නේ සුළුවෙන්ම හිතන්න. පුළුවන් තැනින් පටන් ගන්න. ගමේ මිනිස්සුගාව ඇති පැරණි ජයාරූප, පින්තුර, පැරණි සමරු කලාප සොයාගත හැකියි. පල්ලියේ පැරණි වාර්තාත් බලන්න...කුඩාවට හෝ ප්‍රදර්ශණයක් කරන්න ඇති තරම් අමුද්‍රව්‍ය වගේම සම්පත ආදියත් ලැබේවි. එවැනි උත්සාහයක් ඇතැම්විට අර බයිබලයේ 'අබ ඇටය' ගැන දැක්වෙනවා වගේ කුඩා දෙයක් විය හැකියි. එහෙත් ඔබ එයින් ප්‍රදේශවාසීන්ට ගෙනෙන ජීවය අපමණයි... ආශ්වාදය අමරණීයයි.

අප එය මා දැනට ජීවිතවන  ප්‍රදේශයේ දේවස්ථානයක පැවැති ජුබිලි ප්‍රදර්ශණයේදී අත්දකිනු ලැබූවාක්, එහි ජයාරූප සමහරක් පහතින්..

මාකස් ප්‍රියන්ත පෙරේරා

04/06/24

Friday, 31 May 2024

උසාවියේ තීන්දුවෙන් ට්‍රම්ප් ගේ ගමන නැවතිය හැකිද?

 

ඇමැරිකාවේ නිව්‍ යෝර්ක් අධිකරණය අද ලබාදුන් නඩු තීන්දුවත් සමග ඩොනල්ඩ් ට්‍රම්ප් (Donald Trump) එරට අධිකරණයක් මගින් අපරාධයකට වරදකරු වූ පළමු ඇමැරිකානු ජනාධිපතිවරයා බවට පත්ව තිබෙනවා. ඔහු වරදකරු වී ඇත්තේ 2016 මැතිවරණයට පෙර ඉදිරිපත් කළ සිය ව්‍යාපාර ගිනුම් ලේඛණවල 'Stormy Daniels' නම් නිරුවත් නිරූපන ශිල්පිනියකට (Porn star) ගෙවූ ඇ. ඩො.ලර් 130, 000 මුදල් සැඟවීමට කූට ලේඛන සකස් කිරීම සම්බන්ධයෙනුයි. ඒ සම්බන්ධයෙන් දඩුවම් නියම කිරීම ජුලි 11 වැනි දින දක්වා කල් තබා ඇති අතර ඔහුව සිරගත කිරීම හෝ බෝහෝ දුරට දඩයක් නියම කිරීම හෝ සිදුවිය හැකියි.


එහෙත් එසේ දඩුවමක් නියම වූවත්, අපරාධ වාර්තාවක් (criminal record) ලැබුනත්, ඔහුට තවමත් ජනාධිපති ධුරයට තරඟ කිරීමට පමණක් නොව ජනාධිපති ධුරය භාර ගැනීමටත් හැකිවීමයි.


ඒය ඇමැරිකානු ප්‍රජාතන්ත්‍රවාදයේ ලොකු හිඩසක් ලෙස අර්ථකථන කළ හැකිවූවත්, එහි අනෙක් පැත්ත තමයි නඩු පටලවා කිසිවෙක් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම කඩාකප්පල් කිරීමට නිතිය යොදාගැනීම වැලැක්වීමයි.


ට්‍රම්ප්ට අනුව මෙම නඩුව “දූෂිත” / "දේශපාලනය අරමුණක්" ඇති නඩුවක්. තමා “අහිංසක” බවත් ඔහුගේ නීතීඥයින් මාර්ගයෙන් අභියාචනයක් ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බවත් ඔහු දක්වනවා.


ජනාධිපති Biden මේ නඩු තීන්දුව ගැන මෙන්ම ජනාධිපතිවරණය ගැනත් කියන්නේ ට්‍රම්ප් ව පරාජය කිරීමට ඇති හොදම මාර්ගය වැටී ඇත්තේ මැතිවරණ ව්‍යාපාරය හරහා ඡන්ද පෙට්ටිය තුළින් ප්‍රකාශවන 'මහජන මතය' තුල පමණක් බවයි.


මේ නොවැම්බරයේ යෙදී ඇති ඇමැරිකානු ජනාධිපතිවරණය තුල ඩොනල්ඩ් ට්‍රම්ප් නැවැත ජනාධිපති වේ යැයි විශාල මතයක් ගොඩනැගී තිබෙනවා. ඒ වගේම ඩොනල්ඩ් ට්‍රම්ප් නැවැත ජනාධිපතිවෙනවාට දැඩි විරෝධයකුත් ඇමැරිකානු සමාජය තුල ගොඩ නැගී තිබෙනවා.


ඇත්ත වශයෙන්ම ඉංදියාවේ උපත ලැබූ මේ මොහොතේ ඇමැරිකාවේ ප්‍රකටම දේශපාලන විචාරකයා වන Fareed Zakaria යා ගේ නවතම කෘතිය වන 'Age of Revolutions: Progress and Backlash from 1600 to the Present' (2024) හී විස්තර කිරීමට උත්සහ කරන පරිදි ට්‍රම්ප් සහ ට්‍රම්ප්වාදය, එක්තරා ආකාරයක අපට දැන් පසු කලයුතු අවදියක් (Trump and Trumpism was a kind of phase that would pass, and it's not passing..). එය දේශපාලන ව්‍යාපාරයක් නොවේ (it's not even really a political movement..political movement) ඊටත් වඩා එය දේශපාලන කල්ට් එකක්, දේශපාලන ලබ්ධියක් - It's a cult. It's a personality cult.


එහෙත් Fareed Zakaria ගේ පොතේ පවා පෙන්වා දෙන්නේ වර්තමානයේ ඇතිවෙමින් ඇති දේශපාලනය ප්‍රවාහනයන් තුලින් කියවෙන්නේ තවදුරටත් 'පසුගාමීත්වයන්ට' (backwardness) ඉඩක් නැති බවයි. ලෝකය ගමන් කරමින් සිටින්නේ බහු සංස්කෘතික අනන්‍යතාවයන් සහිත සමාජයකට බවත් (world we're going into, a multicultural world) එය හුදෙක් බහු සංස්කෘතික අනන්‍යතාවයන් ඉවසාදරාලණ සමාජයක වඩා බහු සංස්කෘතික අනන්‍යතාවයන් උත්කර්ෂයට නන්වන (not just tolerated but celebrated) සමාජයක් බවත් තවදුරටත් සීමා කිරීම්, සංවෘත භාවයන් කිසිසේත්ම අදාල නොවන විවෘත සමාජයකට (openness) අප අවතීරණය වෙමින් පවතින බව Fareed Zakaria සිය කෘතියේ දක්වනවා.


පුදුමයකට මෙන් පසුගිය මැයි 20 දා ෆ්‍රැන්සිස් පාප්තුමා ඇමැරිකාවේ CBS රූපවාහිනී නාලිකාවේ Norah O'Donnell සමග පැවැති සම්මුඛ සාකච්ඡාවේදී ද එවැනිම අදහස් රාශියක් දක්වනවා. ෆ්‍රැන්සිස් පාප්තුමා දක්වන්නේද විවෘත භාවය, බහු සංස්කෘතික අනන්‍යතාවය, සංක්‍රමණය ආදිය පිලිගැනීමකින් තොරව ඉදිරි ගමනක් නැති බවයි.


ඒ කෙසේවුවද, එදිරි ගමනක් සදහා මේ දුෂ්කර තීරණාත්මක මොහොත පසුකරගත යුතුමයි. එහිලා ට්‍රම්ප් ලා පමණක් නොව සියළු පසුගාමිකත්වයන් පරාජය කල යුතුමයි.


මාකස් ප්‍රියන්ත පෙරේරා
30/05/24

Wednesday, 29 May 2024

තිළිනා හර්ෂණී වැනි පාස්කු වින්දියන්ට ඉටුකළ හැකි යුක්තිය කුමක්ද?


පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයන්ට ලක්ව වසර 5ක් ගිලන්ව, එකතැන්වූ තිළිනා හර්ෂණී මහත්මියද මියගොසින් ය. මිය යනවිට වයස අවුරුදු 40ක් පමණක් වූ ඇය තිදරු මවක් විය. 2019 අප්‍රියෙල් 21 එල්ලවූ පාස්කු ඉරිදා ප්‍රහාරයන්ගෙන් කටුවපිටිය දේවස්ථානය තුලදී ඇයගේ කුඩා පුතුනුවන් ඇගේ උකුළේ එතනම මිය යනවිට ඇය සදාකාලික අබ්බගාතයෙක් විය. දරුවාගේ දේහයට පස් මිටක් දැමීමට තියා සිය දරුවා මළ බව වත් ඇය දැන ගත්තේ ඉන් දින ගණනාවකට පසු ශල්‍යකර්ම රාශියකින් අනතුරුව ඇය පියවි සිහියට පත්වූ කල්හි ය. එකෙනෙහිම ඇගේ සිහිය ඇයට නොලැබුනා නම් හොද යැයි ඇය සිතන්නට ඇත් ද? එහෙත් ඇය ඇගේ අනෙක් දරු දෙදෙනා වෙනුවෙන් ජීවත්වීමට අදිටන් කරගන්නට ඇත. ගිලන් ඇදේ හෝ සිටිමින් අනෙක් දරු දෙදෙනාගේ සුව දුක් විමසා බලන්නට ඇය සිත යොමු කරන්නට ඇත. සිය දරුවා නැති වී, බිරිද ඔත්පල වී, ඔවුන්ගේ කැදැල්ල සී සී කඩ යෑමෙන් විකල්වූ පියා ද යුක්තිය ඉල්ලා කාදිනල් හමුවේද, දේශපාලකයන් ඉදිරියේද, විලාප තබන්නට විය. ඔහුගේ විලාපය මැතිවරණ දේශපාලනයේ චන්ද රැස්කිරීමේ මෙවලමක් කරගත් දේශපාලකයෝ ඔවුන්ගේ දේශපාලන වේදීකාවලද, මාධ්‍යයවලද ඔහුට අත්වූ ඉරණම පෙන්වා ජය කෙහෙළි නන්වන්නට වූහ. ජනපතිකම්, අගමැතිකම්, මැති ඇමැතිධුර අත්කර ගන්නට වූහ. තමාට සිය දරුවා ද, බිරිද ද, පමණක් නොව තමාට තමාද අහිමිවූ බව තේරුම් ගත් ඔහු සිය පවුලද, නෑ හිතවතුන්ද, අතහැර, හිස ලූ ලූ අතේ කටයුතු කරන්නට විය.

පාස්කු අපරාධයෙන් වින්දිතයන් වූ ජනයාට යුක්තිය ඉටුවීම වෙනුවට ඔවුන්ව දිගින් දිගටම වේදනාවේ පතුලටම ගිල්වමින් මරණය වැළදගැනීමට සැලැස්වීම හැර ඔවුන්ගේ රුධිරය වැගිරීම්වලට, ඔවුන්ගේ වද වේදනාවලට සැබෑ අර්ථයක්, සැබෑ වටිනාකමක්, එක් කරලීමට අප සියල්ලන් තවමත් අසමත් ය..

2019 පාස්කු ඉරිදා එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලින් ඇය මෙන්ම, ඇගේ දරුවා ඇතුළු 316 දෙනෙකු දැනටමත් මියගොස් ඇත. සිය ගණනක් විපතට පත්වූහ. පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල කළේ "බලය ලබාගැනීමේ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක්" ලෙස නම්: එසේ ජන ඝාතක කුමන්ත්‍රණයකින් හටහත් මහජන කැලඹිල්ල ඔස්සේ 69 ලක්ෂයක ජන්දයක් ගෙන බලයට පැමිණි ගෝඨාභය රාජපක්ෂ එවැනිම මහජන කැලඹිල්ලකින්ම ගෙදර යවා ඇත.

ඉතින් ඒ ගැන තිළිනාට සතුටු විය හැකිව තිබුණි. එහෙත් ඒ සතුට කුමකට ද, තවමත් බලයේ ඉන්නේ ඔවුන් නම්.. ඔවුන්ගේ නියෝජතයෙක් නම්...

නැටුමෙන්, ගැයුමෙන්, සිත් පිනා යන සිනහවකින් මුව සරසාගෙන, ජවසම්පන්නව සිටි ඇය සදාකාලිකව ඔත්පල විය. ඇය ආබාධිත තත්වයට පත් වුයේ, තොරතුරු ලැබී තිබියදීත්, මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ලවෙන බව දැන දැනත්, මහජන ආරක්ෂාව සලසන්නට නොහැකි වූ රාජ්‍යය යාන්ත්‍රණයක අසමත්කම පෙන්වා දෙන්නට නම්: ඇය මිය ගියේ, "ගැලනිගම මුරපොළේදී බෝම්බ ලොරිය පරික්ෂා කිරීමට ඉඩ නොදුන්", වර්තමාන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇය වැතිර හුන් ගිලන් ඇද අසලටම පැමිණ බඩු මල්ලක් දී යෑ මෙන්‍ ය. ප්‍රහාරයක් එල්ල වෙන බව දැන දැනත් එය වැලැක්වීමට කටයුතු නොකර නිවාඩු ගිය කොළඹ උතුර පොලිස් කොට්ඨාසය භාරව උන් දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවීමෙන් අනතුරුව පාස්කු ප්‍රහාරයෙන් ඔත්පලව සිටි ඇය අසලටම පැමිණ බඩු මල්ලක් දී යෑමෙන් කියවෙන්නේ: "තොප සිටින්නේ අපගේ බිලි පුජාවන්ට බිලි වීමට මිස අන් කිසිවෙකට නෙමේ" යන්න නොවේ ද?

ඇය ගොදුරු වූයේ ලෝකය පුරාම මූලධර්මවාදී ඉස්ලාමීය රාජ්‍යයක් ගොඩ නැගීමේ භයානක සැලැස්මට ශ්‍රී ලංකාවත් ඇතුල් කරලීමේ ජෙහාඩි ත්‍රස්තවාදීන්ගේ බිහිසුණු ප්‍රහාරයක ප්‍රතිඵලයක් ලෙස නම්: ඇය මිය යන්නේ ඇගේ අල්ලපු ගම වූ මීගමුව පෙරියමුල්ලේ පවා කරක් ගැසූ isis ත්‍රස්තයන් කණ්ඩායමක් ඉංදියාවේ හයිද්‍රාබාද් හීදී අත් අඩංගුවට ගත් පුවතක් කණවැකී සතියක් යන්නටත් පෙරය. ඇගේ දරුවා ඇතුළු ගම්වාසීන් රැසක් බිලිගත්, ඇයව ඔත්පල කළ, මරාගෙන මැරෙන isis ත්‍රස්තවාදීන් අවතාර නැවත නැවතත් හොල්මන් කරමින් සිටින පසුබිමක ඇය වැනි සිය ගණන් දෙනා ජීවිත පුජාකල ඊනියා "ආරක්ෂාව බිද වැටීම" තවමත් තහවුරු වී නැද්ද?

ඇය පමණක් නොව පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් විපතට පත්වූ සිය ගණනක් වූ ජනයාට හවුහරණක් වූ ශ්‍රී ලංකා කතෝලික පල්ලිය විපතට පත්වූවන්ගේ වේදනාවන්ට අවතීරණය වෙමින් ඔවුන්ගේ අගහිගකම්වල සිට සිත් තැවුල් දක්වාද, රෝගාබාධවල සිට දරුවන්ගේ අධ්‍යාපනය දක්වාද සියලු බර පැණ දරමින්, විවිධ සහන සැලැසූහ. තිළිනා සම්බන්ධයෙන් ද එසේය. ශ්‍රී ලංකාවේ කතෝලික පල්ලිය නොවන්නට ඇය මිය ගොස් බොහෝ කල්ය. ඇගේ දරුවන් ඇතුළු බොහෝ දරුවන් ද, දරු පවුල් සිය ගණනාවක් ද, මහ මගට වැටී බොහෝ කල් ය. ශ්‍රී ලංකා කතෝලික පල්ලිය පාප්තුමා ඇතුළු ජාත්‍යන්තර ක්‍රිස්තියානි ජනයාගේ සහයෝගය ඇතිව පාස්කු ඉරිදා වින්දිතයන්ගේ දුක් වේදනාවන් සදහා සහන සැලැසූ බව සැබෑය. සීරීමක් ඇතිවූවන්ට පවා මුදලක් ගෙවා සහනයක් සැලසූ බව සැබෑය. බරපතළ සත්කම් අවශ්‍ය වූවනට අවශ්‍යය සැත්කම්වලට කෝටි ගණන් මුදල් වියදම් කළේය. වින්දියන්ගේ දරු පවුල් වල අධ්‍යාපනය සදහා දෙස් විදෙස් ශිෂ්‍යත්ව දී ඔවුන්ගේ අධ්‍යාපනය සදහා ඇප කැප වූහ. ඒ සියල්ලටම වඩා වින්දියන්ගේ මානසික සුවය වෙනුවෙන් බොහෝ දේ කළහ.

ඒහෙත් ඒ සියල්ල තුල පමණක් පාස්කු වින්දිතයන්ට යුක්තිය සහ සාධාරණය ඉටු නොවන බව ඔවුහු දන්නාහුය. යුක්තිය ඉටුකරගැනීමේ මුලිකම දේ සත්‍යය හෙළිකරගැනීම බව ඔවුහු දන්නාහුය. එහිලා ඔවුන් මෙතක් අනුගමනය කළ ක්‍රියාමාර්ග ගැන ඔවුන්ට සතුටුවිය හැකිද? පාස්කු ප්‍රහාරය විමර්ශනය කර, වරදකරුවන්ට දඩුවම් ලබාදීමට ගෝඨාභය රාජපක්ෂ කටයුතු කරතැයි තමා බලාපොරොත්තු වූ බව කාදිනල්තුමා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර සිටියේය. එහෙත් මේ සටකපට දේශපාලකයන්ගෙන් එතුමාට තියා ගහක් කොලයකටවත් යුක්තියක්, සාධාරණත්වයක්, ඉටුවන්නේ නැත. දේශපාලකයෝ තීන්දු තීරණ ගන්නේ සිය 'බල - පැවැත්මේ - අභිලාෂයන්' මත සිට මිස යුක්තිය, සත්‍යය සහ සාධාරණත්වය මත පදනම්ව නොවේ.

පාස්කු ප්‍රහාරයට යුක්තිය සෙවීමේදී දේශපාලකයන් තීන්දු තීරණ ගන්නා 'බල - පැවැත්මේ - අභිලාෂයෙන්ට' සැබෑ ලෙසම අභියෝග කළ හැකි, බලපෑම් කළ හැකි ජාතික හා ජාත්‍යන්තර වශයෙන් සහය ලබාගත් මූලෝපායන් සකස්කර ගැනීමට ශ්‍රී ලංකා කතෝලික සභාව තවමත් අසමත්ව ඇත. ජිනිවා හී ජාත්‍යන්තර මානව හිමිකම් කොමිසම හමුවට ගිය පමණින් සිදුවන කිසිවක් නොමැත. තවත් සිදුකල යුතු කාර්‍යභාරයන් රාශියක්ම තිබේ


එහිලා මූලික වශයෙන්ම පසක් කරගත යුත්තක් නම් පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මිය ගියේ, රුධිරය වැගිරුවේ, වද වේදනාවලට පත්වූයේ අන් කිසිවෙකුත් නොව 'ක්‍රිස්තියානි සමාජ ආගමික සංස්කෘතික ඇගයුම්' ජීවත් කිරීමට වෙර දැරූ පිරිසක් බව අවබෝධ කරගැනීම වැදගත් ය. ඔවුන් කුමන ආගමකට, ජාතියකට, කුමන වර්ගයකට, කුමන රටකට, කුමන භාෂාවකට අයත්වුව ද, ඔවුහු එදින සෑදී පැහැදි සිටියේ ක්‍රිස්තියානි සමාජ, ආගමීක, සංස්කෘතික අංගයන් ජීවත් කරවීමටය. ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සමරමින් ආගමික වතාවත් සදහා දේවස්ථානවල දිව්‍යය පුජා සදහා එක් රැස්වූව සිටි කිතුනු බැතිමතුන් හෝ වේවා, තරු පහේ හෝටල්වල පාස්කු ඉරුදින සුප්‍රකට උදෑසන භෝජන සංග්‍රහයන්ට (Easter Sunday brunch) එක්ව සිටියේ අන් කවරෙකුත් නොව 'ක්‍රිස්තියානි සමාජ, ආගමීක, සංස්කෘතික ඇගැයුම්' ජීවත් කරවූ පිරිස්‍ ය. ජාතික ආරක්ෂාව අහිමි වූයේ එම පිරිස්වලටය. සත්‍යය මතුකර ගැනීම යනු එසේ වුයේ ඇයි දැයි හෙළිකරගැනීම ය.

වින්දියන්ට යුක්තිය ඉටුවන්නේ පාස්කු අපරාධය ගැන දේශීය විදේශීය එකතුවක් තුලින් නිසි විමර්ශනයක් කර වරදකරුවන්ට දඩුවම් දීමෙන්ම පමණක් නොවේ. එමගින් පමණක් පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් විපතට පත්වූවනට යුක්තිය ඉටුවන්නේ නැත. පාස්කු ඉරිදා ප්‍රහාරයේ වින්දිතයන්ට සැබෑ යුක්තියක් ඉටුකළ හැක්කේ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය, රුධිරය වැගිරවූ, ආබාධිතයන් බවට පත්වු, වද වේදනාවන්ට ලක්වූ ජනයාගේ ජීවිතවලට සැබෑ අර්ථයක්, සැබෑ වටිනාකමක්, එක් කරලීමෙනි.

එසේ සෑබෑ වටිනාකමක්, අර්ථයක් එක් කල හැකි ව්‍යායාමයකට පාස්කු ඉරිදා ප්‍රහාරය වෙනුවෙන් යුක්තිය සොයන සියල්ලන් ප්‍රවිශ්ට විය යුතුය. ඒ තුලින් දැන් ක්‍රමයෙන් දියවෙමින් හෝ දියකරමින් තිබෙන සැබෑ 'ක්‍රිස්තියානි සමාජ, ආගමීක, සංස්කෘතික ඇගැයුම්' නැවත පණගැන්විය හැක. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් විපතට පත්වූවන් වැගිරීවූ ලේ, කදුළු, දහඩිය වලට සැබෑ වටිනාකමක්, සැබෑ අර්ථයක් එක් කළ හැක්කේ එවැනි උත්සාහයක් තුලය. එය එක්තරා ආකාරයට පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පවා බිද දැමීමට නොහැකි, මරණයෙන් පවා නතර කළ නොහැකි, ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානීය (resurrective) පණිවිඩය ආගමික අර්ථයෙන් පමණක් නොව සමාජ, දේශපාලන, ආර්ථික, සංස්කෘතික සහ වෙනත් බොහෝ අංශ ඔස්සේ ද සොයායෑමකි, පසක් කරගැනීමකි, ක්‍රියාවට නැන්වීමකි. තිළිනා හර්ෂණී වැනි පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් විපතට පත්වූනට සැබෑ යුක්තියක් ඉටුකරලීමට මරණයෙන් පවා නතර කළ නොහැකි 'ක්‍රිස්තියානි සමාජ, ආගමීක, සංස්කෘතික ඇගැයුම්' නැවත පණගැන්වීමට එක්වෙමු!!


මාකස් ප්‍රියන්ත පෙරේරා

29/05/24

Monday, 6 May 2024

නලින් සිල්වා ගේ ලෝකය දැක ගැනීම


මහාචාර්ය නලින් ද සිල්වා මහතාගේ ලෝකය මට ප්‍රථමයෙන්ම 'දැකගත හැකිවන්නේ' ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍යය සංගමය සංවිධානය කර තිබූ විවාදයකදීය. එම විවාදය පැවැතියේ අපි කොළඹ විශ්ව විද්‍යාලයට ඇතුල්වූ 1995-96 කාලයට පෙර විය යුතුය. විවාදයේ මාතෘකාව වී තිබුනේ රටේ 'ජාතික ප්‍රශ්නය' ය. විවාදයේ ප්‍රධාන කතිකයන් දෙදෙනා වූයේ ආචාර්ය නලින් ද සිල්වා සහ ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්නය. අපි මේ විවාදය නැරබීමට ගියේ එවකට නව සමසමාජ පක්ෂයේ මිගමුවේ නායකයා වූ බ්‍රිටෝ ප්‍රනාන්දු මහතා සහ තවත් න.ස.ස. පක්ෂ ක්‍රියාකාරීන් රාශියක් සමගය. මෙම විවාදය පැවැති ජයවර්ධනපුර විශ්ව විද්‍යාල ශාලාවට වෙනත් විශ්ව විද්‍යාලවලින් මෙන්ම, වෙනත් ප්‍රදේශවලින්ද පිරිස් පැමිණ සිටියහ. එම පිරිස් අතර නලින් ට මෙන්ම බාහු ට ද සහය දැක්වූවන් මෙන්ම ඒ කාටත් සහයදීමට වඩා විවාදය නැරඹීමට පැමිණ සිටි පිරිස් ද විය.

බ්‍රිටෝ අය්යා ගේ නිවසේදී හා වෙනත් ස්ථානවල පැවැති රැස්වීම්වලදී ආචාර්ය වික්‍රමබාහු ව කිහිප අවස්ථාවක් මුණගැසී තිබූනද ආචාර්ය නලින් ද සිල්වා ව ඒ වන විටවත් මම දැක නොතිබුණි. එහෙත් ආචාර්ය නලින් ද සිල්වා ගැන කියවා/අසා තිබුණි. විදුසර පත්තරේ ඔහු ලියූ ලිපි අඛණ්ඩව ද, දිවයින සහ The Island පත්තරවල ඔහු ලියූ ලිපි විටින් විටද කියවා තිබුණි. එසේ 'හදුනාගෙන සිටි' නලින් ද සිල්වා ව මට මුලින්ම 'දැකගත හැකිවන්නේ' ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පැවැති ඉහත විවාදයේදීය. එම විවාදය නැරඹීමේදී නලින් ද සිල්වා ගැන එතෙක් මා තුල පැවැති සියළු 'මවාගැනීම්', 'එළඹගැනීම්' සහ 'පිලිගැනීම්' මුලින්ම දෙදෙරා වැටෙන ලදි.

උගතෙක්, බුද්ධිමතෙක්, ප්‍රාඥායෙකු ලෙස එතෙක් මගේ සිත තුල මුල්බැසගෙන සිටි නලින් ද සිල්වා ජාතිවාදී, වර්ගවාදී, අන්තවාදී, උමුතු මිනිසෙකු යැයි මට එම අවස්ථාවේදී හැගී ගියේය. ඒ තරමට ඔහු එම විවාදයේදී කෝපයෙන්, අනෙකා පෙලමින්, දැඩි අධිපතිවාදී ස්වරූපයකින් හැසිරුනේය. ඒ කෝපාවිෂ්ඨ හැසීරීම තුල පවා ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න උපහාසයෙන්, උසුළු විසුළු කරමින්, විදග්ධ ලෙස අදහස් ඉදිරිපත් කරන ලදි. බාහුගේ විශිෂ්ඨ අදහස් ඉදිරිපත් කිරීම, තර්කණය, නලින් ද සිල්වාගේ ශාස්ත්‍රීය පදනමින්ම, ඔහුට උත්තර දීම තුල බාහු වීරයෙක් ලෙස මට ඒ මොහොතේදී හැගීයන්නට විය. නව සම සමාජ නායකයින් අතරින් පොදු ජනයාගේ නායකයෙක් ලෙස ඉස්මතුව පෙනුනු, මීගමුව,පෙරියමුල්ල, ඇලපාරේ, සමන්තගේ කසිප්පු වීදුරුව හෝ ප්‍රතික්ෂේප නොකර පොදු ජනයා සමග බද්ද වූ වාසුදේව නානායක්කාරට වඩා, න. ස. ස. පාක්ෂිකයන් අතර පවා තරමක් දුරස්ථව සිටි, බාහු ක්‍රමයෙන් මගේ වීරයෙක් වීමේ පදනම වැටීමට ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේදී බාහු සහ නලින් ද සිල්වා අතර පැවැති එම විවාදය හේතුවන්නට ඇත.

ලාංකික දෙමළ ජනයාගේ අනන්‍යතාවය ගොඩනැගුනේ ලන්දේසි යුගයේදී යැයි දීර්ඝව, ඉතිහාස කරණු ගෙනහැර දක්වමින් නලින් ද සිල්වා ගෙනා කරුණු 'අළුයම ලූ කෙළ පිඩක් සේ' බැහැර කරලමින් "ඔය කියන 'ඉතිහාස කතා' දැන් මේ 'ජාතික ප්‍රශ්නය' ට අදාල නෑ" කියමින් බාහු නලින් ව සමතලා කරන ආකාරයේ ප්‍රහාරයන් එල්ල කිරීම Cassius Clay හෙවත් මොහොමඩ් අලීගේ මුෂ්ටි පහරවලටත් වඩා තද බල විය. නලීන් ද සිල්වා ට 'කතාන්දර කියන්නෙකු' යැයි මුලින්ම කිව්වේ වික්‍රමබාහු කරුණාරත්න විය යුතුය.

බාහු නලින් ද සිල්වාට 'කතාන්දර කියන්නෙකු' යැයි කිව්වේ හුදෙක් නලින් ද සිල්වා ජාතික ප්‍රශ්නය, ඉතිහාසය, සිංහල ජනයා ගැන ඉදිරිපත් කල අදහස් පදනම් කරගෙනම නොවිනි. නලින් ද සිල්වා විද්‍යාව සහ මාක්ස්වාදය සම්බන්ධයෙන් ඉදිරිපත් කල අදහස් ද ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න සැලකුවේ කතාන්දර ලෙස මිස විෂයානුකූල ශාස්ත්‍රීය විවේචන, විශ්ලේෂණ හෝ විග්‍රහ ලෙස නොවේ. බාහු සහ නලින් ද සිල්වා අතර දිගහැරුණු විවාදයන්ගේ පරිසමාප්තිය 'හන්තානේ සංවාද' විය හැකිය. ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න ලියූ 'බුද්ධාගම විද්‍යාව සහ මාක්ස්වාදය' කෘතිය නිර්මාණය වන්නේ මම ඔය කියන 'හන්තානේ සංවාද' වලින් පසුවය. එම පොත එලිදැක්වීමට න. ස. ස. ප. තරුණ කණ්ඩායම් කොළඹ පෝස්ටර් ගසා, උත්සවයක් සුදානම් කර තිබුනි. එහි ආරාධනා පත්‍රයක් අපේ කොළඹ විශ්ව විද්‍යාලයේ නිර්මාල් රංජිත් දේවසිරිට මා දුන්විට ඔහු ඒ ගැන විවේචනයක් ඉදිරිපත් කළා මතකය. ඒ නිර්මාල් රංජිත් දේවසිරි නලින් ද සිල්වා සමග 'ඇමිණි', 'ඇමිණි' සිටි කාලයේය. එහෙත් නිර්මාල් කවදාවත් නලින් ද සිල්වාට හොදම ප්‍රතිවාදියෙක් වුයේ නැත... 'ඇකඩමියාව' විසින් හුදකලා කළ නලින් ද සිල්වාට අන්තිමට විහිළු සපයමින් හෝ ඔහු සමග විවාද කරන්න හිටියේ නිර්මාල් රංජිත් දේවසිරි විතරමය.

ඇත්තටම නලින් ගේ නියම ප්‍රතිවාදියා වුයේ ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න ය. බාහු සෑම අතින්ම නලින්ගේ සෑබෑම ප්‍රතිවාදියා විය..

එය ඒ අයගේ පේරාදෙණිය විශ්ව විද්‍යාල කාලයටත් පෙර පටන්, පාසැල් යන කාලේ සිට (බාහු ගියේ ආනන්දෙට, නලින් ගියේ තර්ස්ටන්/ අල්ලපු වැටේ තියෙන රෝයල් විදුහල), ඔවුන්ගේ ආදර කතාවල, ලංකා සම සමාජ පක්ෂයේ එකට වැඩ කරන කාලේ , පසුව ඉන් ඉවත්වී නව සම සමාජ පක්ෂය බිහිකරමින් එකට කටයුතු කරන කාලේ, ඊට පසුව ජාතික මතවාදී තලය දක්වා ද දිග හැරිණු ඓතිහාසික ද්වී ඝට්ටනයක් විය.

එම ද්වී ඝට්ටනය තුල නලින් ද සිල්වා ව රටේ මහා ප්‍රාඥායෙකු, දාර්ශනිකයෙකු ලෙස උඩ දැමීමටත්, වික්‍රමබාහු ව (තවම) එහෙම නොකිරීමටත්, බාහු අවසිහියෙන් පවා විප්ලවවාදියෙකු ලෙස සැලැකීමටත්, නලීන් ද සිල්වා තමන් විසින්ම තමා උගතෙකු හෝ බුද්ධිමතෙකු නොව 'කතාන්දර කියන්නෙකු' ලෙස නම්කර ගැනීමට තරම් බරපතල කැපුමක් ඔවුන් ඔවුන්ගේ පැවැත්මවල් තුල ඇතිකරගෙන තියෙන බව පැහැදිලිය.

එය නලින් ද සිල්වා ගේ 'මගේ ලෝකය' (1986) ඔස්සේ දිග හැරුණු "මගෙන් තොර ලෝකයක් පවතින බව මම දන්නේ කෙසේද?" යන ප්‍රස්තුතයේ ඔවුනොවුන් සිට ගත් අස්ථානයන් ඇසුරෙන් වුවද ගෙන හැර දැක්විය හැක. ඉහත ප්‍රස්තුතය සම්බන්ධයෙන් නලින් ද සිල්වා සිට ගත්තේ "මට මනසක් ඇති නිසා ය" යන තැන නම්, බාහු හිටියේ "මම සිටින නිසා ය" කියන තැනය. මේ දෙකම "ගොඩනගන ලද එළඹුම්" ලෙස ද විග්‍රහ කල හැක. එහෙත් එහිදී නලින් ද සිල්වා තව අඩියක් ඇතුලට ගොස් "මනස කියන්නෙත් දැනුම විසින් ගොඩනගන ලද දෙයක්. ඒ දැනුම එන්නේ පංච ඉන්ද්‍රියයන් ඔස්සේ සහ බාහිරෙන්, එසේ ලැබෙන දැනුම මනස විසින් සංස්ලේෂණය කරමින් නැවැත සංස්ලේෂණය කරනවා" යැයි දක්වයි. නලින් ද සිල්වා ඉදිරිපත් කළ 'නිර්මාණාත්මක සාපේකෂතාවාදය' කියවෙන්නේ එවැනි අදහසකි. බාහු තමන්ගේ ස්ථාවරය ඉදිරිපත් කිරීම සදහා මාක්ස් ගේ සිට හේගල් සහ කාන්ට් දක්වා ගොස් ඉන් නතරවේ... ඔහු ඊලගට මතුවෙන්නේ බෞද්ධාගමේ චතුස්කෝටික තර්කය පිලිගනිමින්, මාක්ස්වාදී අපෝහකය ද 'බහු ඇගයුම් තර්කණය' පිලිගන්නවා කියන අදහස ඉදිරිපත් කරයි.

මට නම් හිතෙන්නේ, පසු කාලේ විවිධ හෙලවීම් තිබුන ද, බාහු සිය මුළු ජීවිත කාලය පුරාම තමන්ව ගොඩනැගුණු බෞද්ධාගම, ඉගෙනගත් විද්‍යාව, හැදෑරූ බටහිර දර්ශනය, පිලිගත් මාක්ස්වාදය තුල සිය ලෝක දැක්ම සකස්කරගත්, ඒ මත ස්ථීරසාරව පදනම් වූ තැනැත්තෙක් බවයි.

නමුත් නලින් ද සිල්වා කියන්නේ තමන් ඉගෙනගත්, තමන්ව ගොඩ නැගූ, බෞද්ධාගම, විද්‍යාව, දර්ශනය, මාක්ස්වාදය, පක්ෂය, ජාතිය ආදී මේ සියල්ල ප්‍රශ්න කළ තැනැත්තෙකි. ඒ එකක්වත් ඔහුට ශක්තිමත් පදනම් නොවිනි... ඒ එකක්වත් ඔහුගේ ලෝක දැක්ම පරිපුර්ණ කළේ නැත. ඔහු එක්තරා ආකාරයට අර්බුදයට ගිය තැනැත්තෙක්. ඔහු පමණක් නොව රටේ සෙසු සිංහල-බෞද්ධ (සහ සිංහල-බෞද්ධ නොවන) ජනයා ද අර්බුදයට ගිහින් යැයි තේරුම් ගත් තැනැත්තෙක්. ඔහු සිංහල-බෞද්ධ රාජ්‍යයක් ගොඩනගන්න යෝජනා කරන්නේ ඒ නිසාය. එහෙත් එය කරන්න බැරි තරම් පරසතුරුතා, පසමිතුරුතා මෙන්ම පරස්පරතාත් රට තුලත් ඉන් පිටතිනුත් තියෙනවා ඔහු දනී. රාම-රාවණ කතා ගෙනෙන ඉ‍ංදියාවේ, ග්‍රීක-රෝම-යුදෙව්-ක්‍රිස්තියානි බටහිර චින්තයේ සිට, එහි දේශීය නියෝජනයන් දක්වාම විහිදුනු, (ඔහු මුහුණ දුන්නා මෙන්) දැවැන්ත අර්බුදයක හිරවෙන අභියෝග සිංහල-බෞද්ධ රාජ්‍යය ගොඩ නැගීමෙහිලා මුහුණ දෙන්නට සිදු වෙන බව ඔහු බොහෝ සේ විග්‍රහ කර ඇත.

මේ අර්බුද, පරස්පරතා, පරසතුරුතා, පසමිතුරුකම් වලින් එලියට එන්න නම් 'අළුත් දැනුම් පද්ධතියක්' අවශ්‍යයි ඔහුට හිතේ.. 'බින්දුව හල් කීරිම' ගැන උනන්දුවෙන්න යැයි ඔහු යෝජනා කරන්නේ එහෙයිනි...

එත්, 'අළුත් දැනුම් පද්ධතියක්' අවශ්‍යයි යෝජනා කරන ඔහුගෙන් ආපහු අපි මෙසේ විමසුවහොත්: "දැනුම කියන්නෙත් මනස විසින් සංස්ලේෂණය කරන දෙයක් නේද?"

අන්න එතනදී මහාචාර්ය නලින් ද සිල්වාට මල පනී...ආවේශවේ, තරහා යයි, වියරුවෙන් මෙන් හැසිරේ...ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ දී දැක්ක නලින් ද සිල්වා ව නැවැත මතුවේ.

ඒත් අපිට ඔහුව තේරුම් ගන්න පුලුවන..

මාකස් ප්‍රියන්ත පෙරේරා

06/05/24

මීට කලින් ලියා මම ලියලා තිබෙන භක්තිය සහ අවබෝධය අතර ඇදහිල්ල: සමන්ත බද්‍ර, නලින් ද සිල්වා සහ කාදිනල් මැල්කම් ඇසුරින් ලිපියත් හැකි නම් කියවන්න...

Thursday, 2 May 2024

ලංඩන් නගර සභා චන්දයට හැදුනුම්පත අනිවාර්ය කිරීම හා මැතිවරණය දූෂණ ගැන බ්‍රිතාන්‍යයේ අවධානය යොමුකිරීම

 


ඊයේ (02/05/24) මෙහෙ ලංඩන් නගර සභාවට නගරාධිපතිවරයෙක් සහ නගර සභිකයින් තෝරන පලාත් පාලන චන්දේ. මේ තමයි බ්‍රිතාන්‍යයේ චන්දේ දැමීම සදහා හැදුනුම්පත අනිවාර්ය කල පළමු මැතිවරණය. ඉස්සර චන්දේ දාන්න හැදුනුම් පත් තියා චන්ද කාර්ඩ් (poll card) එකවත් අවශ්‍ය වුනේ නෑ... දැන් චන්ද කාර්ඩ් එක විතරක් නෙමේ හැදුනුම්පතත් අවශ්‍යයි කියන්නේ බ්‍රිතාන්‍යයේ වුනත් 'හොර චන්ද'/'චන්ද වංචා/චන්ද දූෂණ' ගැන අවධානය යොමුවෙලා කියන එකනේ... එකෙන් පේනවා නේද බ්‍රිතාන්‍යය සමාජයත් වෙනස් වෙලා තියෙන හැටි..

ඒත් ප්‍රජාතන්ත්‍රවාදයට ඇත්තම අනතුර තියෙන්නේ හොර චන්ද වලින් විතරක් නෙමේ: දේශපාලන සාක්ෂතාවය (Political literacy) පහලයෑම තමයි ප්‍රජාතන්ත්‍රවාදයට ඇත්තම අනතුර එල්ල කරන්නේ...

දේශපාලන සාක්ෂතාවය (Political literacy) පහල යෑම ලංකාවේ, බ්‍රිතාන්‍යයේ විතරක් නෙමේ ලෝකය පුරාම දැන් දැවැන්ත අභියෝගයක් කියලා තමයි දේශපාලන විද්‍යාව පිලිබද ශාස්ත්‍රීය කතිකාව තුල සාකච්ඡාවට ලක් කරන්නේ... ගිය අවුරුද්දේ මෙහෙ උසස් පෙළ හදාරන්න සිසුන් හා විශ්ව විද්‍යාල කිහිපයක පලමු සහ දෙවන වසරවල සිසුන් සම්බන්ධ වූ සමීක්ෂණයකින් ඒ කාරණය නැවැත තහවුරු වූවා. විශේෂයෙන්ම බ්‍රිතාන්‍යය සමාජය යනු ප්‍රජාතන්ත්‍රවාදය පිලිබදව ඉහල කතිකාවක් සහ ආයතන ව්‍යූවහයක් පැවති සමාජයක් විදිහට තමයි කාල් මාර්ක්ස් පවා විග්‍රහ කළේ (" La Liberté" Speech, 8 September 1872, delivered by Karl Marx on , in Amsterdam)

ඒත් වර්තමාන අදහස තමයි බ්‍රිතාන්‍යයේ පවා දේශපාලන සාක්ෂතාවය (Political literacy) පහල ගිහින් තියෙනවා කියන එක. ඉතින් මේ චන්දේට හැදුනුම්පත් අරන් එන්න කියනේ චන්ද දූෂණ වැලැක්වීමේ අදහසින් තමයි. ඒත් ඇත්ත අනතුර ජනයා අතර චන්දය භාවිතා කිරීම සම්බන්ධයෙන් පැහැදිලි දැක්මක්, අවබෝධයක්, තේරුම් ගැනීමක් තියෙනවද කියන එකයි..එහෙම කියන එක වුනත් විවාද ජනක බව පිලිගන්නවා... ඒත් මගේ ප්‍රශ්නය බ්‍රිතාන්‍යයේ අගනුවර ලංඩන් නගර සභාවේ නගරාධිපතිවරයා මෙන්ම නගර සභිකයින් තෝරාගැනීමේ දී මහජනයා අතර එහෙම පුළුල් කතිකාවක් තිබුන ද? කියන එකයි. ඇත්තටම එහෙම තිබ්බේ නෑ. තිබුනේ අරය කළේ මොනවාද? මෙයා ඇවිත් කරන යන්නේ මොනවාද? කියන එක ගැන මිසක් බ්‍රිතාන්‍යය මුහුණ දෙමින් ඇති ඇත්ත අභියෝග සම්බන්ධයෙන් රටේ ප්‍රධාන නගරයේ ජනයාගේ ශක්තිය කෙසේ පෙළගැස්විය යුතුද? යන්න ගැන ඔය ප්‍රධාන අපේක්ෂකයෝ එහෙම අවධානයක්, අවතීරණයක් පෙන්නුවේ නෑ..

උදාහරණයක් විදිහට ගත්තොත්, වැඩිම අවධානයක් යොමුකරගෙන ඇති ලේබර් පක්ෂයේ සඩීක් ඛාන්ට මිනිස්සු චන්දේ දෙන්න යන්නේ එයා නගරයේ පොදු ප්‍රවාහනය දියුණු කිරීම, ප්‍රාථමික පාසැල් වල ළමුන්ට දිවා ආහාරය නොමිලේ ලබාදීමේ ඉදන් නගරයෙ වායු දූෂණය වැලැක්වීමට නගරයට ඇතුල්වෙන වාහනවලට දඩයක් නියම කිරීම වගේ කාරණා දක්වා වූ විවිධ සාධනීය කාරණාත් (ඒ වගේම සුළු ජාතික පදනමත්) මුල් කරගෙන තමයි. එහෙත් බ්‍රිතාන්‍යයේ අගනුවර ප්‍රධානියා වශයෙන් ඔහු බ්‍රිතාන්‍යයේ වාමාංශික ව්‍යාපාරය මේ රට තුල ස්ථාපිත කළ 'සුබසාධන රාජ්‍යය' දැන් ක්‍රමයෙන් හැකිලීමට විරුද්ධව, හැම සති අන්තයකම 'ගාසා වැසියන්ට සටන් විරාමයක් ඉල්ලලා, යුක්‍රේන යුද්ධය නැවැත්වීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ මැදිහත්වීම අවශ්‍යයි කියන කාරණා වගේ කාරුණු සදහා ලංඩන් නගර වැසියන්ව පෙලගස්සවන්න ඔහු (සඩීක් ඛාන්) - ඒවගේම අනෙක් ප්‍රධාන අපේක්ෂකයෝත් - ප්‍රමාණවත් හඩක් නැගුවේ නෑ.. ඒත් දිනන්නේ සඩීක් ඛාන්ලා තමයි!!

මාකස් ප්‍රියන්ත පෙරේරා
03/05/24

Tuesday, 23 April 2024

 

ඇත්තම කිව්වොත් මේ දවස්වල මගේ සිනමා වීරයෙක් කිරුළ පැළදුවා. ඒත් කනගාටුවට කරුණ නම් අද දවස ගෙවෙනකම් මට ඔහු ගැන වචනයක්වත් ලියන්න බැරිවුනා. එච්චරට වැඩ, රැස්වීම්, හමුවීම්, කියවීම්, ලිවීම්, මේ එහි අවසාන එක...


ඊයේ (10/03/24) පැවති 2024 වසරේ ඔස්කාර් සම්මාන උලෙළේදී හොඳම නළුවාට හිමි සම්මානය හිමිකරගත්තේ මේ දවස්වල මගේ සිනමා වීරයෙක්.. ඔහු කිලියන් මර්ෆි (Cillian Murphy). මර්ෆි  (Murphy) කියලා මගේ දරුවන්ගේ ප්‍රකට ගුරුවරියක් ඉන්නවා (Mrs. Murphy) ඇය වගේම ඔහුත් (Cillian Murphy)  අයර්ලන්ත ජාතිකයෙක්. කිලියන් මර්ෆි (Cillian Murphy) වඩා ප්‍රසිද්ධ වූයේ බ්‍රිතාන්‍යයේ නිර්මාණය කර ලෝකය පුරාම ප්‍රචලිතවූ Peaky Blinders (2013–2022) ටෙලිනාට්‍ය මාලාවේ Tommy Shelby ගේ චරිතය නිරූපනය කිරීමෙන්. 


Tommy Shelby ලා කියන්නේ බ්‍රිතාන්‍යයේ Birmingham නගරය කේන්ද්‍ර කරගත් මැරයෝ. ඔවුන්ගේ ආධිපත්‍යය ව්‍යාපාර ක්ෂේත්‍රයේ විතරක් නෙමේ බ්‍රිතාන්‍යය දේශපාලන ක්ෂේත්‍රයටත් පැතිර තිබුණා. වින්සන්ට් චර්චිල් වැනි බ්‍රිතාන්‍යයේ ප්‍රකට අගමැතිවරු පමණක් නෙවෙයි, බ්‍රිතාන්‍යයේ දේශපාලනය පක්ෂත්, සමාජ, දේශපාලන, සුබසාධන ව්‍යාපාර පවා Shelby ලා ගෙන් මුදල්, ආධාර සහ ආරක්ෂාව සපයා ගත් බව බ්‍රිතාන්‍යය සමාජය පිලිගත් කාරණයක්. 


ඒත් Shelby ලා කියන්නේ ලංකාවේ 'තුන්මුල්ලේ පද්මේ' වගේ 'දෙකයි පනහේ' මැර චරිත නිරූපනය කල අය නෙමේ. ඔවුන්ට සංස්කෘතිය, භාෂාව, කලාව, සාහිත්‍යය, දේශපාලනය ගැන හොද කියවීමක් වගේම හොද තක්සේරුවක්, භාවිථාර්තයක් තිබුන අය. ඔවුන්ට සමාජයේ විවිධ තීරු සමග තමන්ගේම වු අනන්‍යතාවයක් තුල කටයුතු කළ හැකිවූ අය.


 මේ චරිතය කිලියන් මර්ෆි (Cillian Murphy) අකුරටම රගපානවා... ඇඩෙන්න රගපානවා...ඒක ගැන සැකයක් නෑ... ඉස්සර වගේ නම් මම ඔහුගේ ලොකු පොස්ටරයක් මගේ කාමරයේ ගහ ගන්නවා.. මගේ කාමරයේ බංග්ලාදේශයෙන් ගෙනාව චේගුවෙරාගේ  පින්තූරේ ඉදන් මැඩෝනාගේ, සමන්තා ෆොක්ස් (Samantha Fox) ගේ ආදී විවිධ අයගේ පින්තූර තිබුනා. ඒ ඒ කාලේ... 


කිලියන් මර්ෆි (Cillian Murphy) ව මට ඉස්සෙල්ලාම හිතට අල්ලලා ගියේ ඔහු රගපෑ 'Red Eye' (2005) චිත්‍රපටයෙන්. ඒ කාලේ Rachel McAdams කියන්නේ  නැගී එන නිළියක්, හරිම ලස්සනයි...( දැන් නම් කොහේ ඉන්නවාද දන්නේ නෑ). ඒ චිත්‍රපටයේ කිලියන් මර්ෆි රගපෑවේ මැරයෙක් ගේ චරිතයක්. හැබැයි, ආදරේ හිතෙන මැරයෙක්... "කමක් නැද්ද?" කියලා අහලා බලය යොදවන මැරයෙක්... Red Eye (2005) චිත්‍රපටයේ ඔහුගේ රගපෑම විශිෂ්ඨම නෑ.. නමුත් impressive, සිත් ඇදගන්නා සුළුයි. 


හැබැයි කිලියන් මර්ෆි (Cillian Murphy) බ්‍රිතාන්‍යයේ විකාශනය වූ Peaky Blinders (2013–2022) ටෙලිනාට්‍යය මාලාවේ Tommy Shelby ගේ චරිතය නිරූපනය කිරීමත් සමග ඔහු වීරයෙක් වෙනවා (he went from being an actor to a superstar). ඔහු ක්‍රිස්ටෝපර් නෝලන් (Christopher Nolan) අධ්‍යක්ෂණය කරපු ඕපන්හයිමර් (Oppenheimer) චිත්‍රපටයේ Robert Oppenheimer ගේ චරිතය නිරූපනය කළා කියන්නෙම ආපහු දෙකක් නෑ හොදම නළුවා (best actor) තමයි..


අවංකවම එකක් කියන්න ඕනේ, ඔය Oppenheimer චිත්‍රපටය බලපු නිසා තමයි මම ඇමරිකාවේ න්‍යාෂ්ටික බෝම්බ වැඩපිළිවෙළ ගැන (the Manhattan Project) ගැන, ඊට පදනම සැකසු ඇල්බට් අයින්ස්ටයින් ඇමැරිකාවේ රූස්ට්වෙල් ජනාධිපතිට ලියපු ලියුම ගැන, ඒ සියල්ල පිටිපස්සේ හිටිය Leo Szilard ලා, Enrico Fermi ලා, දෙවෙනි ලෝක යුද්ධ කාළේ බුරුතුපිටින්, නැව් ගණන්, යුරෝපයේ යුදෙව් ජනයා ඇමරිකාවට ගෙන්වාගත් Lewis Strauss ලා ගැන, වඩ වඩා හොයන්න,  කියවන්න පටන්ගත්තේ..  


එහෙම කියවපු විස්තර එක්ක ගත්තාහම කිහිප වතාවක්ම බලපු Oppenheimer චිත්‍රපටයේ පරමානු බොම්බායේ නිර්මාතෘ Robert Oppenheimer ගැන කියවෙන විස්තර බොහෝ දුරට නිවැරැදියි...


සාමාන්‍යයෙන් Hollywood චිත්‍රපටවල කරුණු ඒගොල්ලන්ට ඕනෑ, ඕනෑ විදිහට වෙනස් කරගන්නවානේ... හැබැයි ක්‍රිස්ටෝපර් නෝලන් (Christopher Nolan) ගේ ඕපන්හයිමර් (Oppenheimer) චිත්‍රපටයේ ඒක අඩුයි. එහෙම නෑ ම නෙමේ... ඒක අඩුයි..


ඒම චිත්‍රපටයේ චරිත නිරූපනය සම්බන්ධයෙන් මට තියෙන ලොකුම විවේචනය  Lewis Strauss ගේ චරිතය කිසියම් අගතගාමී විදිහට කරලා තිබුනා කියන එකයි.  Lewis Strauss යි, Robert Oppenheimer අතර කිසියම් ඝට්ටණයක් තිබුනා තමයි. ඒ Lewis Strauss ලිබරල්වාදියෙකු ලෙස පෙනීයෑමත්, Robert Oppenheimer කොමියුනිස්ට්වාදීයෙකු  පෙනීයෑමත් වීමට පුලුවන්. ඒත් මම කියවපු විවිධ තොරතුරු අතරේ පෙනීගියේ Lewis Strauss කියන්නේ එහෙම කළු චරිතයක් නෙමේ කියන එකයි.  හැබැයි චිත්‍රපටය තුළ  Lewis Strauss ව පෙන්වන්නේ කළු චරිතයක් විදිහටයි. ඒක නිවැරදි නෑ.. හැබැයි චිත්‍රපටයේ Lewis Strauss ගේ චරිතය නිරූපනය කරණ Robert Downey ඒක හරියට රගපානවා.. ඒ නිසාම තමයි ඔහුට මේ චිත්‍රපටයේ හොදම සහය නළුවාට හිමි සම්මානය හිමිවෙන්නේ...එය වැදගත්. 


ඒ කොහොම වුනත් චිත්‍රපටය තුළ Robert Oppenheimer ගේ චරිතය බොහෝ දුරට නිවැරැදිව නිරූපනය කරළා තියෙනවා.. Robert Oppenheimer අර පෙන්වනවා වගේ අතීශය මීටරයක්, බුද්ධිමතෙක්, ග්‍රීක දර්ශණවාදයේ ඉදන්, ඉංදීය භගවත් ගීතාවේ ඉදන්, යුදෙව් (Oppenheimer ත් යුදෙව්වෙක්) තෝරා (Torah) ග්‍රන්ථයේ  ඉදන්, ක්‍රිස්තියානීන්ගේ බයිබලය දක්වාත් හොද කියවීමක් තියෙන තැනැත්තෙක්... ස්ත්‍රී ලෝලියෙක්... කොමියුනිස්ට් හිතවතෙක්.. ස්පාඤ්ඤ විප්ලවයට මුදල් යෙදවූවෙක්... යුදෙව් ජනයාගේ සුභසාධනය  වෙනුවෙන් මැදිහත්වූයෙක්.. තමන්ගේ කාර්‍යභාරය  වෙනුවෙන් කැපවූවෙක්, හිත රිදුනාහම කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ තමන්ගේ ගුරුවරයාට වුවත් වසදීමට නොපැකිලෙන ගල් හිතක් ඇත්තෙක්...ඒ වගේම තමයි තමන් හිතනදේ කරපු, කාගේවත් කීමක් නොහපු තැනැත්තෙක් - ඒකම තමයි ඔහුගේ බිදවැටීමටත් (downfall) හේතුව. 


 Robert Oppenheimer ගේ අන්න ඒ චරිතයට මගේ මේ දවස්වල සිනමා වීරයෙක් වන කිලියන් මර්ෆි (Cillian Murphy) හරියටම පණපොවළා තියෙනවා. ඒක මම විතරක් නෙමේ ඔස්කාර් (Oscar) සම්මාන උලෙළත් පිළිගෙන... 


ඉතින් සතුටු නැද්ද? 


මාකස් ප්‍රියන්ත පෙරේරා 

11/03/24

Tuesday, 16 April 2024

ඇහැට - ඇහැක්, දතට - දතක් කියන යුදෙව් ඊශ්‍රායලයට ඉරානය පහරදීම

දැන් අර ඉරානය ඊශ්‍රායලයට ගහපු එක ගැන වැඩි සද්දයක් නෑ නේ... ඊශ්‍රායලයේ ඉන්න අපේ යාළුවෝත් කියන්නේ එහෙම ලොකු හානියක් නෑ කියලා නේ... එහෙම හොදයි.. වැඩි හානියක් නැතිව මේක මෙහෙම සීමා වෙනවා නම් මුළු ලෝකයටම හොදයි..

එහෙම නැතිව "ඉරානය එව්ව ඩ්‍රෝන් (drone) ඔක්කෝම වගේ බිම දැම්මා", "දැක්කාද ඊශ්‍රායලයේ ආරක්ෂක ශක්තිය" වගේ දේවල් කියාගෙන වැඩිය දගලන්න ගියොත් තත්වය නරක අතට යන්න පුලුවන්...

ඉරානය ඔය කළේ අර සිරියාවේ එයාලගේ තනාධිපති කාර්‍යලයකට පහරදීලා ඉරාන හමුදා ජෙනරාල්වරයෙක් වූ Mohammad Reza Zahedi මරා දැමීමේ එකට එක කිරීමක් විදිහට නේ.. Mohammad Reza Zahedi කියන්නේ 2020 දී ඇමැරිකානු ඩ්‍රෝන් ප්‍රහාරයකින් ඉරාකයේදී මරා දැමූ Major General Qassem Soleimani පසුව මරා දැමු ඉරාන හමුදාවේ ඉහලම ප්‍රධානියෙක්...

Major General Qassem Soleimani මරා දැමීමත් එක්ක, ඉරානය, එයාලට සහය දක්වන එක් එක් කණ්ඩායම් යොදාගෙන, ලෝකය පුරාම ඇමැරිකානු හමුදා කණ්ඩායම් වලට ප්‍රහාර 170 දියත් කරලා තියෙනවා. ඒවායින් බරපතළ හානි වුනත් ඇමැරිකාව කළේ පහර කාගෙන වෙලාව එනකම් ඉන්නවා මිසක් ඉරානය එක්ක කෙළින්ම හැප්පෙන්න ගිය එක නෙමේ. ඊශ්‍රායලයටත් දැන් කරන්න වෙළා තියෙන්නේ ඒක - it is better to take a slap than lose your neck.

හේතුව: ඉරානය කියන්නේ ලේසි පහසු නෑ.. යුද්ධයකට ගියොත් එක දැවැන්තම යුද්ධයක් වෙනවා වගේම ඛණිජ තෙල් මුල් කරගත් දැන් පවතින සමස්ථ වෙළද පොළ ආර්ථිකයම බිද වැටෙනවා. ඒ වගේම Shia මුස්ලිම් ඉරානය බහුතරයක් Sunni මුස්ලිම් වන මුස්ලිම් ලෝකයේ හුදකලා රටක් වුනාට 'තනි අලියෙක්'. ඇත්තටම දැන් ලෝක බල තුලනය ගත්තහම එහෙම "තනි අලි' කිහිපයක්ම බලවත්ව ඉන්නවා. රුසියාව, චීනය, උතුරු කොරියාව ඒ වගේ 'තනි අලි'. ඉරානයත් ඇතුලත්ව, ඒ අය එක පෙළකට එකතු වුනොත් ලෝක බලතුනයේ දැවැන්ත වෙනසක් වෙනවා වගේම, ආපහු අර දෙවන ලෝක යුද්ධ කලේ අක්ශි පාර්ශ්වය යි, මිත්‍ර පාර්ශ්වය යි (Allies and the Axis) වගේ සතුරු - මිතුරු බල පොරයක් නිර්මාණය වෙලා දැවැන්ත න්‍යෂ්ටික අනතුරු දායක තත්වයක් නිර්මාණය වෙනවා.

කොහොමත් ඊශ්‍රායලයට එවපු ඩ්‍රෝන් (drone) ප්‍රහාරය සාර්ථක වුනේ නෑ කියලා ඉරානයේ යුද්ධ ශක්තිය අවතක්සේරු කරන්නත් බෑ, ඊශ්‍රායලයේ යුද්ධ ශක්තිය මහ ඉහලින් තියන්නත් බෑ.. ඔය අච්චර ඔත්තු සේවයක් තියෙනවා කියන ඊශ්‍රායලයට පසුගිය ඔක්තෝබරයේ හමාස් ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරයක් එල්ලවෙනකම්ම ඒගොල්ලෝ දැනගෙන හිටියේ නෑ.. දැන් මාස 6ක් වෙනවා හමාස් ත්‍රස්තවාදීන්ව මුලින් උපුටා දාන්න නෙමේ, සැතපුම් 25ක් වන ගාසා තීරය වත් ඊශ්‍රායලයට තවම අල්ල ගන්න බැරුව ගියා...

ඒ වගේ තමයි ඉරානය ඊශ්‍රායලයට ගැහැව්වේ ගහනවා කියලා දන්වලා...ඇමැරිකානු, බ්‍රිතාන්‍යය, යුරෝපා සංගමයට විතරක් නෙමේ අසල්වැසි රටවලටත් දැනුම් දීලා...'මේ ගහන්නේ ඔයාලට නෙමේ සිරියාවේ ඉරාන තනාධිපති කාර්‍යලයකට පහරදීලා ඉරාන හමුදා ජෙනරාල්වරයෙක් වූ Mohammad Reza Zahedi ගේ මරාදැමීමට ප්‍රතිචාරයක් විදිහටයි ඊශ්‍රායලයට ගහන්නේ කියලා දන්වලයි ගැහැව්වේ...ඒ වගේම ඊශ්‍රායලයට පහර දෙන්න දැන් ඉරාන ඩ්‍රෝන් සහ මිසයිල යැව්වා කියලා යැව්ව ගමන්ම ඉරානය මාධ්‍යයට කිව්වා...ඉරානයේ ඉදන් ඊශ්‍රායලයට ඒ ඩ්‍රොන් යන්න කාලයක් ගතවෙන නිසා ඊශ්‍රායලයට සුදානම් වෙන්නත් කල් දීලයි ඉරානය ඊශ්‍රායලයට ගැහැව්වේ...

ඒ නිසා ආපු ඩ්‍රෝන් ඔක්කොම බිම දැම්මා කියලා 'සිගිති ආතල්' ගන්න ඕනෑ නෑ.. ඇත්තටම ඒ ඩ්‍රෝන් එවලා කළේ හරියට අර 'ජොනී පට්ටන්ට' එළුවෝ, හරක් යවනවා කියනවා වගේ වැඩක්.. ඒවා ඊශ්‍රායලයේ ගුවන් ආරක්ෂ ජාලයට (Iron Dome) පොකුරු පිටින් ගොදුරු වෙන්න යවන ගමන් ඉරානයේ ඉදන් ඉරාකය, සිරියාව, ජොර්දානය පහුකරන් කිලෝමීටර් 1000ක් ගෙවාගෙන එන ballistic මිසයිල ඊශ්‍රායලයේ F-35 fighter jets base එකකට යි, හමුදා බුද්ධි මූලස්ථානයකුයි විනාශ කරන එක තමයි අරමුණු කරගෙන තියෙන්නේ..

ඉරානය බලාපොරොත්තුවූ තරම්ම ප්‍රහාරය සාර්ථක නොවුනත් එයින් ඔවුන් බලාපොරොත්තුවූ අරමුණ වන ජෙනරාල් Mohammad Reza Zahedi ගේ මරාදැමීමට එකට එක කිරීම' වගේ දෙයක් ඉටුකරගන්න පුලුවන් වෙනවා... ඒවගේම ඉරාන ආගමීක අන්තවාදී දේශපාලකයෝ හැමදාම කිව්ව එක; "ඊශ්‍රායලයට ගහනවා" කියන එක, ඔන්න ඒකත් ඒ අය කරලා පෙන්නුවා...ඒක නොදුරේදීම එළඹෙන ඉරාන මැතිවරණයේදී පාලක රෙජීමයේ මැතිවරණ ප්‍රචාරවලට ප්‍රයෝජනවත් වේවි... අනෙක් අතට ඉරානයේ ඔවුන්ම නිපදවන දුර දිග මිසයිල වගේ අවි ආයුධවල ශක්‍යතාවන් මැන බලන්නත් මේක අවස්ථාවක් කරගත්තා.

ඊශ්‍රායලය මොන දේවල් කිව්වත් අනතුරදායක තත්වයකට තමයි දැන් එයාලා පත්වෙලා ඉන්නේ... ගාසා තීරයේ සිදුකරන ලද සහසික අපරාධ, 40, 000කට වඩා ඝාතනය කල ජනයාගේ ලේ වන්දිය කොයි මොහොතේ හෝ ගෙවීමට සිදුවෙන බව ඔවුන් දන්නවා... පලස්තීන ප්‍රශ්නයට විසදුමක් නොදුන්නොත් ඊශ්‍රායලයට තවත් සියවස් දෙකක්වත් රාජ්‍යයක් විදිහට පවතින්න බැරිවෙන බව, වසර දෙදහාක් රටක් නැතිව එහෙ මෙහෙ අගුපිල්වල, අන්ත අසරණ පීඩිතයන් ලෙස සිටි ඉතිහාසය, ඔවුන්ට නැවත නැවත පසක් කරාවි. ඒ නිසා පහර කාගෙන ඉන්න ඊශ්‍රායලයට සිදුවේවි. එහෙත් ඒ කොයිතරම් කාලයකටද කියන්න අපි කවුරුන් දන්නේ නෑ...

අර CNN එකේ Fareed Zakaria කිව්වා වගේ "Conflict is the new normal" අර්බුද තමයි ලෝකයේ දැන් ස්වභාවය වී තිබෙන්නේ... හැබැයි ගැටලුව එය ලෝක යුද්ධයක් බවට පත්වේද? යන්නයි.

මාකස් ප්‍රියන්ත පෙරේරා
15/04/24