This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Wednesday, 23 October 2024

විමුක්ති දේවධර්මයේ පියා ගුස්ටාවෝ ගුටෙරෙස් (Gustavo Gutiérrez) පියතුමා අභාවප්‍රාප්ත වෙයි

විමුක්ති දේවධර්මයේ පියා ලෙස සැලකූ පේරූ (Peru) රටේ ගුස්ටාවෝ ගුටෙරෙස් (Gustavo Gutiérrez) පියතුමා වසර 96 ක් ආයූ වළදා අද (23/10/24) මියගොස් තිබෙනවා. 1928 ජුනි 08 වෙනි දින පේරූ රටේ ලීමා (Lima) නුවර උපත ලැබූ එතුමා ඩොමිනිකානු නිකායේ පියතුමෙකු ලෙස 1959 දී පුජාත්වරයට පිවිසූවෙක්. බෙල්ජියමේ ලුවේන් කතෝලික විශ්ව විද්‍යාලයේ (Catholic University of Leuven) හා ප්‍රංශයේ ලියෝන් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන හැදෑරූවෙක්. පසුව පැරීසියේ Notre Dame විශ්ව විද්‍යාලයේ ආචාර්යවරයෙක් ලෙස සේවය කළ පියතුමෙක්.

1971 ගුස්ටාවෝ ගුටෙරෙස් (Gustavo Gutiérrez) පියතුමා පල කළ A Theology of Liberation කෘතිය කතෝලික සභාව තුල විශාල සාකච්ඡාවක් ජනිත කළ කෘතියක් බවට පත්වූවා. එම ප්‍රකාශණය තුල නිර්ධන පාංතීක විමුක්තිය, මාක්ස්වාදී න්‍යායන්, ෆැසිස්ට්වාදී ප්‍රවනතා ගැනත්, යටත් විජිත පාලන සමයන්හී ප්‍රවර්ධනය කළ කිතුණු ශුභාරංචි ආඛ්‍යානවල ඇති රළු බවත්, එහි බටහිරවාදී අර්ථ නිරූපනයන් ගැනත් සංශ්ලේෂණාත්මක අධ්‍යයනයක් (synthesis study) ලෙස සලකුණු ලැබූවා.

ඒ සමග ඔහු මධ්‍යම සහ දකුණු ඇමරිකාවේ විමුක්ති දේවධර්මාචාර්යවරුන් (liberation theologians) වූ බ්‍රසීලයේ ලෙනාඩෝ බොෆ් (Leonardo Boff), උරුගුවේහි ජුවාන් ලුයිස් සෙගුන්ඩෝ (Juan Luis Segundo) ආදීන් පනපෙවු කතෝලිකයන්ගෙන් “කාලයේ සලකුණු කියවන්න” (Read the signs of the times) කණ්ඩායමේ/කවුන්සිලයේ ප්‍රධාන න්‍යායාචාර්ය වරයා ලෙස ද සලකනු ලැබූවා.

එහෙත් නිල කතෝලික සභාව තුල ගුස්ටාවෝ ගුටෙරෙස් (Gustavo Gutiérrez) පියතුමා ගේ කෘතිය (Theology of Liberation) මෙන්ම විමුක්ති දේව ධර්මය පිලිබද කතිකාවත් කිසියම් ආකාරයක තර්ජනයක්, අනතුරක් ලෙස සැලැකූ කාලයක් ද තිබුනා.

දෙවන ජුවාම් පාවුළු පාප්වහන්සේ වතිකානුවෙහි මූලධර්ම කාර්යාලය වන 'ඇදහිල්ලේ ධර්මය සඳහා වූ සභාවෙ' හි (Congregation for the Doctrine of the Faith - C.D.F) ප්‍රධානියා ලෙස (පසුව 16 වෙනි බෙනඩික්ට් පාප් වහන්සේ - Pope Benedict XVI) ලෙස පත් වූ කාදිනල් ජෝසෆ් රැට්සිංගර්ව 1981 දී පත් කිරීමෙන් අනතුරුව කතෝලික සභාවට නව යුගයේ මුහුණදීමට ඇති මූලධර්මවාදී ගැටළු ගැන අධ්‍යායනය හා ක්‍රියා කිරීම ඇරබුවා.

කාදිනල් ජෝසෆ් රැට්සිංගර්ගේ මුල්ම කාර්යන් අතර කතෝලික විශ්ව විද්‍යාල තුල ජනප්‍රිය වෙමින් පැවැති විමුක්ති දේවධර්මයේ (liberation theology) ඉගැන්වීම් පිලිබදව අවධානය යොමු කිරීම දැකිය හැකි වුනා. කතෝලික සභාව තුලින්ම මතුවෙමින් පැවැති විමුක්ති දේවධර්මය පිලිබදවූ ඉගැන්වීම් කිසියම් ආකාරයක දේශපාලන ප්‍රවනතාවයක් ලෙස ද සැලකුවා.

විමුක්ති දේවධර්ම පිලිබව ද පූර්ණ අධ්‍යයනකින් අනතුරුව කාදිනල් රැට්සිංගර්ගේ කාර්යාලය (C.D.F) කතෝලික සභාව තුල ජනප්‍රිය වෙමින් පැවැති විමුක්ති දේවධර්මයේ (liberation theology) ඇතැම් ඉගැන්වීම් නිවැරදි නොවන බවත් එමගින් "දෙවියන් වහන්සේ ඔහුගේ පල්ලියට භාර දුන් ක්‍රිස්තියානි පණිවිඩය විකෘති කිරීමක්" (“a perversion of the Christian message as God entrusted it to His Church”) කර ඇති බවත් ප්‍රකාශයට පත්කළා.

එමෙන්ම විමුක්ති දේව ධර්මය ප්‍රචලිත කල පේරු හි ගුස්ටාවෝ ගුටෙරෙස් (Gustavo Gutiérrez) පියතුමා ආදින් පිළිබඳ විමර්ශනයක් කිරීමටත් 'පැහැදිලි කිරීම්' ඉල්ලා සිටීමටත් දැඩිව කටයුතු කළා.

එම ක්‍රියාමාර්ග මධ්‍යම සහ දකුණු ඇමරිකාවේ විමුක්ති දේවධර්මාචාර්යවරුන් (liberation theologians) ගේ බලය බිදීමටත්, කතෝලික පල්ලිය තුල ඔවුන් අත්කරගත් සුවිශේෂී අවධානය අහිමි කිරීමටත් හේතුවූවා.

එහි වගකිවයුත්තා ලෙස ඇගිල්ල දිගුවුයේ දෙවන ජුවාම් පාවුළු පාප්වහන්සේට නොව වතිකානුවෙහි මූලධර්ම කාර්යාලය වන ඇදහිල්ලේ ධර්මය සඳහා වූ සභාවෙහි (Congregation for the Doctrine of the Faith - C.D.F) ප්‍රධානියා ලෙස කටයුතු කළ කාදිනල් ජෝසෆ් රැට්සිංගර් වෙතයි.

විශේෂයෙන්ම 1989 දී එල් සැල්වදෝරයේ මධ්‍යම ඇමරිකානු විශ්ව විද්‍යාලය තුල එරට හමුදාවට අනුයුක්ත මිනීමරුවන් විසින් ඉග්නාසියෝ එල්ලකුරියා පියතුමා (Father Ignacio Ellacuría) ඇතුළු විමුක්ති දේවධර්මය වෙනුවෙන් හඬ නැගූ ජේසු නිකායික පියතුමන්ලා හය දෙනෙකු, ඔවුන්ගේ ගෘහ සේවිකාව සහ ඇගේ දියණිය ඝාතනය කිරීමට එරෙහිව කතෝලික සභාව දැඩි පියවරක් නොගැනීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් අප්‍රසාදය යොමුවුයේ ද කාදිනල් ජෝසෆ් රැට්සිංගර්ට යි. ලංකාවේ තිස්ස බාලසූරිය පියතුමාට අතුරු තහනම් නියෝගයක් පනවමින් බාලසූරිය පියතුමා ලියු 'Mary and human Liberation' කෘතිය සම්බන්ධයෙන් විමර්ශනයක් කලේ ද කාදිනල් ජෝසෆ් රැට්සිංගර්ගේ කවුන්සිලය ය. (එම කෘතිය පිලිබදව වූ තහනම මෙන්ම තිස්ස බාලසූරිය පියතුමාට පැනවූ අතුරු තහනම් නියෝගයද විමර්ශනයකින් පසුව වතිකානුව ඉවත් කරගත්තා)

කාදිනල් ජෝසෆ් රැට්සිංගර් පිලිබදව වූ විරෝධය හා අප්‍රසාදය ඔහු 16 වෙනි බෙනඩික්ට් පාප් වහන්සේ - Pope Benedict XVI - වූ පසුවත් විමුක්ති දේවධර්ම පිලිබදව අදහස් දැරූවන් දිගින් දිගටම ගෙනගියා. 16 වෙනි බෙනඩික්ට් (කාදිනල් ජෝසෆ් රැට්සිංගර්) පාප්තුමා වාමවාදී/ මාක්ස්වාදී මුහුණුවරක් ගත් විමුක්තිවාදී දේශපාලන ප්‍රවනතාවයන්ගෙන් කතෝලික සභාව බේරා ගත්තෙක් ලෙස ද ඇතමෙක් සලකන අතරම ගුස්ටාවෝ ගුටෙරෙස් (Gustavo Gutiérrez) පියතුමා සභාගත කළ විමුක්ති දේවධර්මය පිලිබද ඉගැන්වීම් ක්‍රිස්තියානි ආගමේ විමුක්තිවාදී හරය නැවැත මතු කර ගත් මහා ප්‍රවනතාවයක් ජනිත කළ පියතුමෙක් ලෙස ද සැලකෙනවා.

කෙසේ වෙතත්, 2017 ජනවාරියේ ස්පාඤ්ඤයේ El País පුවත්පත සමඟ කළ සම්මුඛ සාකච්ඡාවේදී ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සිය මව් රට වූ ආර්ජන්ටිනාව ඇතුළු ලතින් ඇමරිකාවේ පැතිරුණු විමුක්ති දේවධර්මය ධනාත්මක දෙයක් ලෙස සදහන් කර තිබෙනවා.

එහෙත් යථාර්ථය මතු කරළීම සදහා විමුක්ති දේවධර්මය මාක්ස්වාදී විශ්ලේෂණ තෝරා ගැනීම හෙළා දැකීමට කාදිනල් ජෝසප් රැට්සිංගර් (පසුකාලීන16 වෙනි බෙනඩික්ට් පාප් වහන්සේ - Pope Benedict XVI ) පියවර ගැනීම නිවැරදි යැයි ද දැක්වූවා.

"ඔහු (කාදිනල් ජෝසප් රැට්සිංගර්) ඇදහිල්ලේ මූලධර්මයේ ප්‍රධානියා (C.D.F) වූ විට ගුස්ටාවෝ ගුටෙරෙස් (Gustavo Gutiérrez) පියතුමා ඇතුළු විමුක්ති දේවධර්මය පිලිබදව ඉගැන්වීම් දැඩි අධ්‍යානයකින් අනතුරුව මූලික නිරීක්ෂණ දෙකක් ඉදිරිපත් කළ බවත්, එකක් නම් විමුක්ති දේවධර්මය පිලිබදව ඉගැන්වීම් හී යථාර්ථය ඉස්මතු කිරීම සදහා මාක්ස්වාදී විග්‍රහය භාවිතා කර ඇති" බවත්, දෙවැන්න නම් "විමුක්ති දේවධර්මයේ ධනාත්මක ප්‍රවේශයන් සම්බන්ධයෙන් සභාවේ නිසි අවධානය යොමුවිය යුතු බවත්" දැක්වු බව ෆ්‍රැන්සිස් පාප් වහන්සේ 2017 ජනවාරියේ ස්පාඤ්ඤයේ El País පුවත්පත සමග දී තිබූ එම සාකච්ඡාවේදී ප්‍රකාශ කර තිබුනා.

එම නිර්දේශ දෙවන ජුවාම් පාවුළු පාප්වහන්සේ වෙත, වතිකානුවෙහි මූලධර්ම කාර්යාලය වන ඇදහිල්ලේ ධර්මය සඳහා වූ සභාවෙහි (Congregation for the Doctrine of the Faith - C.D.F) ප්‍රධානියා ලෙස කටයුතු කළ කාදිනල් ජෝසෆ් රැට්සිංගර් “'විමුක්තියේ දේවධර්මයේ' ඇතැම් අංශ පිළිබඳ උපදෙස්" - Libertatis Nuntius (1984) හා ක්‍රිස්තියානි නිදහස සහ විමුක්තිය පිළිබඳ උපදෙස්" - Libertatis Conscientia (1986) යන ලේඛන දෙකක් වශයෙන් ඉදිරිපත් කර ඇති බව දැන් පැහැදිලියි.

වසර ගණනාවක් පුරාම වතිකානුව ගුස්ටාවෝ ගුටෙරෙස් (Gustavo Gutiérrez) පියතුමාගේ ලේඛණ පරීක්ෂා කර ඒ සම්බන්ධයෙන් දේවධර්ම පිලිබදව සිය ස්ථාවරයන් සහිතව සිය විචාරයන් ඉදිරිපත් කළ බවත් කියවෙනවා. 2006 දී පේරූ බිෂොප්වරුන්ගේ සමුළුව වාර්තා කළේ වතිකානුව 2004 දී ගුස්ටාවෝ ගුටෙරෙස් (Gustavo Gutiérrez) පියතුමාගේ සමහර කෘතිවල අඩංගු ගැටළුකාරී කරුණු පැහැදිලි කරගැනීමේ ක්‍රියාමාර්ග අවසන් කර ඇති බව දැන්වූ බවයි.

දශක ගණනාවක් පුරා ගුස්ටාවෝ ගුටෙරෙස් (Gustavo Gutiérrez) පියතුමා හා වතිකානුව අතර ඇති වූ මතවාදී අරගලය දෙපිලම කිසියම් ආකාරයක පෝෂණයක් ලබා දෙමින් අවසන් වී ඇති බව ගුස්ටාවෝ ගුටෙරෙස් (Gustavo Gutiérrez) පියතුමාගේ "Ecclesial Koinonia" ලිපිය සංශෝධිත දෙවන අනුවාදය ලෙස 2004 දී පලකිරීම ඔස්සේ පෙනී යන බව විචාරකයින්ගේ මතයයි.

එය වතිකානුවත් ගුස්ටාවෝ ගුටෙරෙස් (Gustavo Gutiérrez) ත්, විමුක්ති දේවධර්ම කණ්ඩායම අතරත් එකගතාවයකට පැමිණීමක් හා දෙපාර්ශවයේම එකිනෙකාගෙන් පෝෂණය ලබමින් අන්‍යොන්‍ය අවබෝධයකට පැමිණීමක් ලෙස ද දැක්විය හැකියි.

ගුස්ටාවෝ ගුටෙරෙස් (Gustavo Gutiérrez) පියතුමාට ස්වර්ගීය ජීවනය අත්වේවා!!❤️

මාකස් ප්‍රියන්ත පෙරේරා
23/10/24 


Thursday, 17 October 2024

Carlsberg හැදූ ඩෙන්මාර්කයේ Little Mermaid ප්‍රතිමාව

 


අහලා තියෙනවද The Little Mermaid කියන සුරංගනා කතාව...

අර රජ කුමාරයෙකුට ආදරේ හිතිලා මනුස්සයෙක් වෙන්න ගිය දියකිදුරිය ගැන කතාව... 

ඒ ආදරේ නිසාම මායාකාරියෙකුට සිය කටහඩ  දීලා, වලිගේ හලලා, මනුස්සයෙක් වුනු 15 හැවිරිදි දියකිදුරිය ..

ඒත් හිරිමල් වියේ උන්නු දියකිදුරියට අර කුමාරයාව හිමිකරගන්න බැරිවෙනවා... 

කුමාරයා, කුමාරියෙක් කසාද බදිනවා...සිය ජීවිතේ සියල්ල අතහැරලා මනුස්සයෙක් වූ ඒ දියකිදුරියගේ පපුව පැලිලා මැරෙනවා...

එහෙත් ඇගේ ආත්මය සදාතන ජීවන අත්කරගන්නවා.. 

නවකතා, චිත්‍රපට, බැලේ ආදී  විවිධ කලා නිර්මාණ රාශියකට වස්තුවිෂය වූ මේ අනුවේදනීය කතාව මුලින්ම ලිව්වේ ඩෙන්මාර්කයේ Hans Christian Andersen කියන ලේඛකයා. ඒ 1837 තරම් ඈතක..ඒ ලේඛකයා වගේම මේ කතාවත් ඉතාම ජනප්‍රියයි. 

සුරංගනා කතාවලට පෙම්බදින අය මේ කුඩා දියකිදුරිය ගැන හරියට දුක්වෙනවා.. ඒ තරමටම ලයාන්විත කතාවක්. 

මේ කුඩා දියකිදුරිය සිහිකරමින් ඩෙන්මාර්කයේ කෝපන්හේගන් අගනුවර කුඩා මූර්තියක් නිර්මාණය කර තිබෙනවා...

මම ගියා ඒක බලන්න... එය ඉදිකර ඇත්තේත් 1913 යි, අවුරුදු 100කටත් වඩා පරණයි.. 

ඒ නිර්මාණය සදහා මුදල් වියදම් කර ඇත්තේ ඒ කාලේ ඩෙන්මාර්කයේ කෝපන්හේගන් නුවර විශාල තැබැරුම් හිමියෙක්වූ දානපතියෙක්.. 

ඔහු නමින් Carl Jacobsen...

ඔහු තමයි Probably The Best Beer In The World කියලා ඇඩ් දාන Carlsberg බියර් කොම්පැනියේ නිර්මාතෘ. හැබැයි ඔහුගේ නමවත් මේ මුර්තියේ ගහන්න දිලා නෑ...

කතාව ලියූ Hans Christian ගේ නමයි, මුර්තිය නිර්මාණය කල Edvard Eriksen ගේ නමයි විතරයි ගහන්න ඔහු යෝජනා කරලා තියෙන්නේ.. ඔය ප්‍රතිමාව හදන්න වියදම් කල තැබෑරුම් හිමියාත් අර කුඩා දියකිදුරියට ආදරේ කරපු කෙනෙක් හෝ ඒ කුඩා Little Mermaid ට ආදරය කල කෙනෙකුට ආදරය කල කෙනෙක් වෙන්නම ඕනෑ....

කතාවට කියන්නේ Carl Jacobsen ඔය කුඩා දියකිදුරියට ආදරේ කරන්න ගත්තේ Little Mermaid බැලේ එක බලලලු...එහි රගපෑ නිලියක් ගැන වහවැටිල ලු...


Marcus Priyantha Perera

17/10/23

Wednesday, 16 October 2024

අනුරගේ විදානය හා අයියන්දේගේ ඉරණම

 

ජනාධිපති අනුර කුමාර දිසානායක මෙවර මහමැතිවරණයට ඉදිරිපත් වී සිටින සිය අපේක්ෂක කණ්ඩායම අමතා සිදුකල කතාව සම්බන්ධයෙන් බොහෝ යහපත් ප්‍රතිචාර පලවී තිබුණා. එය විශිෂ්ඨ කතාවක් බවත් ඔහු අති දක්ෂ සංනිවේදකයෙක් බවටත් විවාදයක් නෑ. මේ මොහොතේ ලාංකික සමාජය තුල සිටින විශිෂ්ඨතම දේශපාලන සංවේදකයා අනුර කුමාර දිසානායක මහතා වන බැවින් ඔහු ඉදිරිපත් කරන අදහස් සම්බන්ධයෙන් කිසියම් හෝ ඇබ්බැහිවීමකින් හෝ ආසක්තවීමකින් තොරව නිසි විචාරයකින් යුතුව එම අදහස් විමසුමකට ලක්කරන්නේ ද යන්න සැක සහිතයි.

ජනාධිපතිවරයා සිය අපේක්ෂක කණ්ඩායම අමතා ඉරිපත් කළ කතාව තුල පැහැදිලිව කරුණු 3ක් අඩංගු වූ බව පෙනී යන්නක්. එක් කරුණක් නම් (1) ජනාධිපතිවරණයේ ප්‍රතිඵල ගැන ඔහුගේ කියවීමයි. (2) දෙවැන්න නම් මෙවර මැතිවරණයට ඉදිරිපත් කර ඇති ඔවුන්ගේ කණ්ඩායමට පැවැරී ඇති වගකීම පිලිබදව පැහැදිලි කිරීමයි. තුන්වැන්න නම් (3) එම නියෝජිතයන් වගකිවයුතු පාර්ශ්වය පිලිබදව අපේක්ෂක කණ්ඩායම දැනුවත් කිරීමයි.

ප්‍රථමයෙන්ම (1) සලකා බැලුවහොත් මෙවර ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය අනුර කුමාර දිසානායක මහතා ව්ග්‍රහ කළේ "(A) නව ආර්ථික ගමනක උවමනාව වෙනුවෙනුත්, (B) නව දේශපාලනය සංස්කෘතියක උවමනාව වෙනුවෙනුත්, (C) ජනතාව හා දේශපාලකයා අතර නව සම්බන්ධයක උවමනාව වෙනුවෙනුත්" ප්‍රකාශ කළ ජන්දයක් ලෙසයි. ජනාධිපතිවරණයේදී ඔවුන් ලැබූ චන්ද ප්‍රමාණය හා ප්‍රතිශතය පිලිබදව යම් අවධාරණය කිරීමකට ලක් කිරීමකින් තොරව වුනත් ඔවුන්ට ලැබූ චන්දය පැහැදිලිවම මතවාදීමය හා දේශපාලනය සංස්කෘතියේ වෙනසක් වෙනුවෙන් ප්‍රකාශ කළ චන්දයක් ලෙස අර්ථ නිරූපනය කරගැනීම ඕනෑම දේශපාලන ව්‍යාපාරයක දේශපාලන ව්‍යාපෘතියේ කොටසක්.

ජනාධිපතිවරණයේදී ඔවුන්ට ලැබූන චන්ද ප්‍රමාණය ප්‍රකාශිත චන්ද සංඛ්‍යාවෙන් 42% ක සුළුතර චන්දයක් වුවත් එය "අලුත් දේශපාලන ගමනකට රට ප්‍රවිශ්ට කරනවාද ? නැතිනම් පරණ දේශපාලන ගමනම යනවාද? සම්බන්ධයෙන් ජනතාව ගත් දැඩි දේශපාලන තීරණයක්" ලෙස අතිශයෝක්තියට නැන්වීම (exaggerate) යතාර්ථයට තරමක් දුරස්. එහෙත් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ඔවුන්ගේ මහමැතිවරණ අපේක්ෂකයින් ඉදිරියේ එම චන්ද ප්‍රතිඵලය රටේ සමස්ථ සමාජයේම ඒකායන ප්‍රකාශණයක් ලෙස සමාජ ගත කරන්නේ ඔවුන්ගේ ඉදිරි දේශපාලන ව්‍යාපෘතියේ පදනම 'ප්‍රමාණයට වඩා ගුණය' පදනම් කරගත්, නිශ්චිත දේශපාලන අභිලාෂයක් පෙරදැරි කරගත්තක්, බව මතුකරලීමටයි.

එම දේශපාලන අභිලාෂයන් මුදුන් පත්කිරීමට ශක්තිමත් දේශපාලන බලයක් අවශ්‍ය බවත්, එම ශක්තිමත් දේශපාලන බලය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඔළු ගෙඩි වලින් සැදුම් ලත් ප්‍රමාණාත්මක බලයක් නොවන, ගුණාත්මක අගයකින් යුතු, පිරිසක් විම සිය අපේක්ෂක කණ්ඩායමට පැවැරී ඇති වගකීම ලෙස ඔහුගේ කතාවේ දෙවන (2) කරුණ ලෙස දිසානායක මහතා මතුකරණු ලැබුවා.

අනුර කුමාර දිසානායක මහතා සිදුකල කතාවේ බොහෝදෙනකු වසග කළ කොටස දිග හැරෙන්නේ කතාවේ එම කොටස සමගින්.

විශේෂයෙන්ම 'පැවැති පාර්ලිමේන්තු නින්දා සහගත, ජනතා අපේක්ෂා අමු අමුවේ වළලා දමන ලද, ධනය, බලය කේන්ද්‍ර කරගත් හොරුන්ගේ ගුබ්බෑයමක් බව ජනතාව අතර මුල් බැසගෙන ඇති මතයට තිත තබා, උසස් වටිනාකම්, උසස් ගුණ ධර්ම පෙරටු කරගත්, ආදර්ශමත් පාර්ලිමේන්තුවක් නිර්මාණය කිරීමේ වගකීම පැවරී ඇත්තේ ඔබට බවත්, එවැනි ගුණාත්මක පාර්ලිමේන්තුවක් බිහි කිරීමේ ගුණාත්මක බලය ඇත්තේ ඔබ සතුව බවත්, ඔවුන්ගේ අපේක්ෂ කණ්ඩායම හමුවේ ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන්' අනුර කුමාර දිසානායක මහතාට බොහෝ පැසසුම් ලැබී තිබුන බව පෙනීයන්නක්.

මීට පෙර සිටි ජනාධිපතිවරුන්ද අවස්ථා කිහිපයකදීම ඔවුන්ගේ අපේක්ෂක කණ්ඩායම අමතා එවැනි ගුණධර්ම, යහපත්කම් ඇති මංත්‍රීවරුන් වීමේ වැදගත්කම පහදා දුන් අවස්ථා තිබුණි. එහෙත් ඒවා 'බිහිරි අලීන්ට විණා වාදයන්' විතරක් නොව 'ජනතාව ඇන්දවන' කයිකතන්දර පමණක් බවත්, ඔවුන් බලයට පත්වූ පසුව කටයුතු කරන්නේ කෙසේද යන්න ගැන සියල්ලන්ම හොව තක්සේරුවක් තිබුන බව ඒකාන්තයයි.

එහෙත් මෙවර පාර්ලිමේන්තුවේ 'ගුණාත්මක බලය තිරණය කරන්නේ ඔබ යැයි' ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය අපේක්ෂ කණ්ඩායම හමුවේ ප්‍රකාශ කළ විට ජනතාව පැතූ, 'පැතුම් මල් පිපුණාක්' මෙන් හැහීමක් ඇති කරණු ලැබූවා. සීයට 3ක් වූ සීමිත, කුඩා, පිරිසක් වූ ඔවුන්ව රටේ ප්‍රධාන බලවේගයක් ලෙස ඔසවා තැබී ම "ආශ්චර්යයක්" බවත්, ජනතාව ඔවුන් කෙරෙහි තබා තිබෙන "විශ්වාසය බිදකින් හෝ බිද වැට්ටවීමට අපිට අයිතියක් නැති බවත්" අනුර කුමාර දිසානායක මහතා මතු කළේ අපේක්ෂකයින්ගේ පමණක් නොව, එම කතව අසන ජනතාව ද එක මිට ට ගොනු කරගනිමින්.

ඒමෙන්ම "එම ජනතා අපේක්ෂා බිද දමන්නේ නම් ඔවුන් මිනිසුන් නොවන බවත්" ප්‍රකාශ කළේ 'මිනිසුන් අතර මිනිසුන් ගැනත්' / 'මිනිසුන් අතර සිටින නරුමයන්'/ ද්‍රෝහියන් / පිලිබදවත් වූ වාමාංශික දේශපාලනය සාහිත්‍යයේ හා භාවිතයේ ද පරිචයක් ඇතිව විය යුතුයි.

එහෙත්, බලය හා සාමාන්‍ය මිනිස් ස්වභාවය පිලිබදව අත්දැකීම් ඇති ඒ මහතා "අපි දන්නවා අපි කවුද කියන්න, ඒත් මිනිස්සු අප කෙරෙහි විශ්වාසය තබනවා.. එය බිද දැමීමට අපිට අයිතියක් නෑ" යනුවෙන් දක්වනුයේ හර්දයාංගම ආකාරයකටයි.

'වෙනස් කළ යුතු දේ වෙනස් කිරීමට ඉවසිවන්තව කටයුතු කරන, ග්‍රාමීය ගැටුම් සහිත ව්‍යාපාරයක් වෙනුවට, සමාජයේ මිනිසුන් අපේක්ෂා කරන සාධනීය උසස් ගුණාංග රැස්කරගත්, උසස් ගුණාංගවලින් යුතු අලුත් දේශපාලන ව්‍යාපාරයක් බවට පරිවර්තනය වීමට ජනතාව ලබාදෙන ප්‍රමාණාත්ම බලයේ ගුණාත්මක කොටස කැටුව එන පිරිස' බවට පත්වීමට සිය මැතිවරණ අපේක්ෂකයින්ට දිසානායක මහතා එයින් ආරාධනා කර තිබුණා.

එය වාමාංශික ව්‍යාපාරයේ අධ්‍යාපන සම්ප්‍රදායේ වූ (ජනතාව දේශපාලන වශයෙන්) 'පෝෂණය කිරීමට ඔබ පෝෂණය වන්න' යන්නට වඩා වෙනස්, ඉදිරිගාමී විවෘත ආරාධනයක්. එනම් 'සාධනීය දේවල් අරන් එන්න, අපිට ඔබෙන් පෝෂණය විය හැකියි' වැනි අදහසක්.

එහෙත් එම කතාවේ බරපතලම කොටස කියවෙන්නේත් එසේ ඇරයුම් කරමින්මයි.

මුළු කතාවම එක් කේන්ද්‍රයක් වෙත නාභි ගතකරමින් අනුර කුමාර දිසානායක මහතා සිය අපේක්ෂකයින්ට පසක් කරදීමට උත්සහ කරන්නේ මැතිවරණයට ඉදිරිපත්කර ඇති "අපේක්ෂකයන් යනු ආණ්ඩුකරණය සදහා සුදානම් වූ පිරිසක් පමණ" ය යන්නයි.

ආණ්ඩුවක් පවතින්නේ ආණ්ඩුකරණ ක්‍රියාදාමය තුලම පමණක් නොවන බව ජනාධිපතිවරණයේදී 'පොහොට්ටුව' ට අත්වු ඉරණම ඇසුරෙන් පෙන්වා දෙමින් අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරන්නේ "ආණ්ඩුවක් පවතින්නේ ආණ්ඩුකරණ පිරිස් මතම නෙමෙයි, ඒ පිටුපස ඇති දේශපාලන ව්‍යාපාරයක් තුලයි" යන්නයි. ඒය ඔහුගේ කතාවේ තුන්වන (3) කොටසේ සාරය ලෙස සැලකිය හැකියි.

පසුගිය මැතිවරණයේදී ඔවුන් සීයට 3 ට වැටුන අවස්ථාවේ පවා සම තරගකරුවන් ලෙස ඔවුන්ව නැවත ඔසවා තැබුවේ, නමක් ගමක් නොදන්නා, දැන් මේ මොහොතේ පවා වැස්සේ තෙමෙමින්, බයිසිකල් පදමින්, ජනතාව සංවිධානය කරමින්, කෑමක්, බීමක්, රෑ ක් දවාලක් නැතිව, දිවිහිමියෙන් වෙහෙස මහන්සි වී වැඩ කරන, කිසිදු පෞද්ගලික අරමුණක් වෙනුවෙන් නොවන, ඊට වඩා පැතිරුණු, පොදු සමාජ අරමුණක් වෙනුවෙන් වගකීම් පවරා ගත් පිරිසකගේ අප්‍රතිහත කැපවීම මත ගොඩනැගූ ව්‍යාපාරයක් තුලින් බව ඔහු සිත් කාවදින ලෙසත්, ඉතා තීව්‍රවත් අවධානයට ලක් කරයි.

එම කරුණු අවධානයට ලක් කරමින් ඔහු කියා සිටින්නේ: "ඔබ එම ව්‍යාපාරයට වගකිවයුතු, එහි ප්‍රකාශකයන් විය යුතු, පිරිසක් විය යුතුයි" යන්නයි.

ඒ ව්‍යාපාරය ජනතා විමුක්ති පෙරමුණ බව අපි දනිමු. මාලිමාවේ පිටුපස සිටින්නේ ජනතා විමුක්ති පෙරමුණ බව නොරහසකි.

එහෙත් මාලිමාවේ මැතිවරණ අපේක්ෂයන් හමුවේ අනුර කුමාර දිසානායක මහතා කළ කථාවේ ප්‍රධාන විදානය වන්නේ - "ඔබ එම ව්‍යාපාරයට වග කියන, එහි ප්‍රකාශකයින් පිරිසක් වන්න" යන්නයි.

එය, රැස්ව සිටි අපේක්ෂක කණ්ඩායම වගකිව යුත්තේ කාටද යන්න ඉතා ප්‍රබලව දැක්වීමකි.

එම කතාවේ එක් අවස්ථාවකදී මහජන නියෝජිතයන් වගකිව යුත්තේ ජනතාවට ද? නැතිනම් ව්‍යාපාරයට ද? පක්ෂයට ද? යන්න හා සමපාතවීමක් හා නොවීමක් අතර වෙනස පැහැදිලි කිරීමකට ආසන්න වෙන අවස්ථාවක් එළබුනත් අනුර කුමාර දිසානායක මහතා සිය කතාව එතරම් ගැඹුරට ගෙන නොයාමට තරම් පරිස්සම් විය.

"ඔබ එම ව්‍යාපාරයට වග කියන, එහි ප්‍රකාශකයින් පිරිසක් වන්න" යැයි සිය අපේක්ෂකයින් අමතා අනුර කුමාර දිසානායක මහතා ලබා දෙන විදානය තුල මාලිමාව තුල සිටින ජනතා විමුක්ති පෙරමුණේ නොවන පිරිස් වෙත මොනයම් ආකාරයේ අදහසක්, බරක් පතිත කළේද? නැද්ද? යන්න අපිට දැම්ම පැහැදිලි නැති නමුත් එය කාලයකට පසුව හෝ දැනගැනීමට හැකිවේවි.

ඒ කෙසේවෙතත්, අනුර කුමාර දිසානායක මහතා මෙවර (2024) මහමැතිවරණය සදහා මාලිමාවේන් ඉදිරිපත් කර ඇති අපේක්ෂක/ අපේක්ෂාවන් අමතා 13/10/24 කළ කතාව මට කිසියම් ආකාරයකින් චිලී (Chile) හි Salvador Allende (සැල්වදෝර් අයියන්දේ) විසින් 05/09/1970 සිදුකළ 'ජයග්‍රාහී කතාව' (Victory Speech) සිහිපත් කළේය.

1970 චිලී රටේ බලයට පැමිණි සැල්වදෝර් අයියන්දේ (Salvador Allende) ලෝකයේ මැතිවරණයකින් බලයට පැමිණි ප්‍රථම මාක්ස්වාදී පාලකයා ලෙස හදුන්වයි. චිලියේ එම මැතිවරණයත් පසුගිය දා ලංකාවේ පැවැති ආකාරයේම තුන් කොණ් මැතිවරණයක් විය. 1970 චිලියේ පැවැති එම මැතිවරණයේ දී Popular Unity වාමාංශික එකතුවෙන් තරග කළ සැල්වදෝර් අයියන්දේ (Salvador Allende) 36.61% චන්දයක් ද, ස්වාධීනව තරග කළ හිටපු ජනාධිපති Jorge Alessandri, 35.27% ක් ද, Christian Democratic පක්ෂයෙන් තරග කළ Radomiro Tomic 28.11% ක චන්දයක් ලැබූහ. එහෙත් කිසිවෙකුට 50% ක පැහැදිලි බහුතරයක් නොලැබූ නිසා චිලී පාර්ලිමේන්තුවේ මංත්‍රී මණ්ඩල දෙකම එකතුවී වැඩිම චන්ද ලැබූ අපේක්ෂකයින් දෙදෙනා අතරින් වාමාංශික සැල්වදෝර් අයියන්දේ (Salvador Allende) එරට ජනාධිපතිවරයා ලෙස 1970 දී තෝරා පත් කරගත්තේය.

එම තෝරා පත්කරගැනීමෙන් අනතුරුව ඔහු පැවැත්වූ 'ජයග්‍රාහී කතාවේදී' (Victory Speech) සැල්වදෝර් අයියන්දේ ප්‍රකාශ කළේ: 'චිලීය අපේක්‍ෂා කරන දේ යථාර්ථයක් බවට පත් කිරීමේ ඓතිහාසික කර්තව්‍යයක් ඔවුන් මත පැවරී ඇති බවත්, ජාතියේ ප්‍රගතිය, සමාජ සාධාරණත්වය තුළ, සෑම පිරිමියෙකුගේම, සෑම කාන්තාවකගේම, තරුණයෙකුගේම අයිතිවාසිකම්, බලාපොරොත්තු මුදුන්පත් කරන අසමසම රටක් බවට පත් කිරීමට සිය ව්‍යාපාරය හා බලමුළු ගන්වන ලෙසයි'.

එහෙත් 1970 මැතිවරණයෙන් බලයට පැමිණි ලෝකයේ ප්‍රථම මාක්ස්වාදී පාලකයා වූ සැල්වදෝර් අයියන්දේට බලයේ සිටිය හැකිවූයේ වසර තුනක් පමණි. ඔහු ඉදිරිපත් කළ ආර්ථික ප්‍රතිසංස්කරණ රට අරබුදයෙන් අර්බුදයට පත් කළේය. ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ යෝජනා පරාජයට පත්ව ඔහු ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්නෙක් බවට චෝදනාවලට ලක්විනි. විදේශ සබදතා අවුල් ජාලයක් විනි. පාර්ලිමේන්තුවේ බලයට පිටින් සිය පක්ෂය ලවා රට ආණ්ඩුකරණ පාලකයෙක් බවට ඔහුට චෝදනා එල්ලවුනි. එරට හමුදාවට, පොලීසියට හා මිලිටරි පාලකයන්ට එරෙහිව සිදුකළ විමර්ශණ නිසි සාර්ථකත්වයක් පෙන්නුම් නොකෙරුවද එයින් හමුදා කුමන්ත්‍රණවලට පාර කැපුනි. අවසානයේ අන්ත දක්ශිණාංශික, සිය දහස් ගණන් මිනිස්සුන්ගේ ජීවිත මහා විනාශයකට ගෙන ගිය, මිනීමරු Augusto Pinochet (පිනෝචේ) නම් මිලිටරි පාලකයා හමුදා කුමන්ත්‍රණයකින් චිලීයේ බලය අල්ලා ගත්තේය. පිනෝචේ වැනි ගහලයෙකුට යටත්වීම වෙනුවට සැල්වදෝර් අයියන්දේ සිය දිවි නැති කර ගැනුනි.

1970 චිලීයේ ජනයා දැල්වූ බලාපොරොත්තු 1973 වන විට නිමී ගියේ ඇමැරිකානු රූකඩයක්වූ පිනෝචේ (Pinochet) යටතේ අන්ත දක්ශිණාංශික මේලේච්ච හමුදා පාලනයක් බිහි කරමිනි. පිනෝචේ ගේ හමුදා පාලනය 1973 සිට 1990 දක්වා පැවතුනි. එය මිනිස්සු සිය දහස් ගාණක් බිලිගත් අධම යුගයක් විනි. බලයෙන් පහවූ පසු, පිනෝචේ ට විරුද්ධව පැවැති අපරාධ චෝදනා විභාග කිරීමට පෙරම ඔහු මිය ගියේය. වසර ගාණනාවක 'තට්ටු මාරු' බල හුවමාරුවලින් අනතුරුව 2022 මාර්තුවේ පැවැති චිලී ජනාධිපතිවරණයෙන් 38 හැවිරිදි Gabriel Boric බලයට පැමිණියේය. එහෙත්, අදත් පිනෝචේ (Pinochet) යටතේ සිදුවූ අපරාධ සම්බන්ධයෙන් විපතට පත් ජනතාවට යුක්තිය ඉටුවී නොමැත .

ලංකාවේ පසුගිය මැතිවරණයෙන් බලයට පැමිණි අනුර කුමාර දිසානායක මහතාගේ ජයග්‍රහණය ලෝකයේ බොහෝ මාධ්‍යය හදුන්වා තිබුනේ ද මාක්ස්වාදීයෙකුගේ ජයග්‍රහණයක් ලෙසය. ඒ ලෝකයේ මැතිවරණයකින් බලයට පැමිණි ප්‍රථම මාක්ස්වාදී පාලකයා ලෙස සලකන 1970 බලයට පැමිණි චිලියේ සැල්වදෝර් අයියන්දේ ගෙන් පසුවය..

අනුර කුමාර් දිසානායක මහතාගේ රජය සැල්වදෝර් අයියනගේ පාරේ යාවිද? නැති නම් චීලියේ වාම බලාපොරොත්තු ඉහල නන්වමින් දැන් බලයට පැමිණ ඇති Gabriel Boric ගේ පාරේ යාවි දැයි තවමත් කිව නොහැක. එවැනි සසදා බැලීම් කිසිසේත්ම අදාල නොවන්නට ද පුළුවන. එත් අවශ්‍ය වන්නේ වාම බලය පරාජය කර දක්ශිණාංශය බලයට පැමිණියහොත් සිදුවන්නේ කුමක්ද යන්න වටහා ගැනීමය. එය චිලීයේ පිනෝචේ (Pinochet) ලාගෙන් පමණක් නොව ලංකාවේ J. R. ලාගෙන්, R. ප්‍රේමදාසගෙන් වුවද උගත හැකිය.

මාකස් ප්‍රියන්ත පෙරේරා
15/10/24