1983 ජුලි කලබලවලට පෙර ජර්මනියේ Peter Klein විසින් ගනු ලැබු, මීගමුවේ පරණ හලාවත පාරත්, මහවීදිය (Main Street ) පාලමත්, අසරප්පා පාරත් අතර පාරේ දකුණු පැත්තේ කොටසේ (මහවීදිය පල්ලිය දෙසට යනවිට) ඉතා දුර්ලබ ඡයාරූපයක් Old Ceylon වෙබ් පුටුවේ 21/01/2014 දී පළකර තිබුණි. එම ඡයාරූපය සම්බන්දයෙන් මම එම දිනවලම මගේ facebook පිටුවේ ලිව්වෙමි. මේ එහි දිගුවකි.
මෙම ඡයාරූපයේ විශේෂත්වය වනුයේ එය මීගමුව නගරයත් දාවඅළුකල 1983 ජුලි කලබලවලට පෙර ගැනු ඡයාරූපයක් වීම නිසාවත්, එවකට අයියලා-මල්ලිලා තිදෙනෙක් කරගෙන ගිය පාලම අයිනේ ඉටිරෙදි වෙලදාම ඡයාරූප ගතකළ නිසාවත් නොව, එය එවකට මීගමුවේ ෂාවුල් හමීඩ් මහතාට අයත්ව තිබු පාලම අයිනේ නිල්පාට ගොඩනැගිල්ලේ ලියා ඇති 'ගේ ලෝඩ්ස්' නම් වැකිය නිසාය.
1990 දශකයේ මුල්කාලයේදී මීගමුවේ පදිංචි වී සිටි කාමසුඛල්ලිකානු යෝගයෙන් දිවිගෙවූ 'බහුමාන්' නම් සුවිස් ජාතික ධනකුවේරයෙකු පවත්වාගෙන ගිය සංචාරක නිකෙත්නයන් නිසා මීගමුව සමලිංගික සංචාරකයන් ප්‍රවර්ධනය කරන නරක නගරයක් යැයි කළු පැල්ලමක් ඇතිවී තිබිණි. බහුමාන් ගේ සංචාරක නිකෙත්නයන් විසින් යුරෝපයේ ලිංගික අවශ්‍යතා සදහා රට රටවලට යන සංචාරකයින් මීගමුවටද ගෙන්වා ගැනීම සදහා යුරෝපයේ පලකල වෙළද දැන්වීම්වල මීගමුවේදී ඔවුන්ට අවශ්‍යනම් බාලවස්කාර පිරිමිදරුවන් පවා ලබාගත හැකියැයි දැන්වීම් පවා පලකල බව එවකට ජූඩ් ලාල් ප්‍රනාන්දු පියතුමා නායකත්වය දුන් 'කිතුසර' කණ්ඩායම විසින් බෙදාහැර තුබූ පත්‍රිකාවල සහ ඔවුන්ගේ 'කිතුසර' පත්තරේ එවකට පලකල වාර්තාවල ද පළවිණි.
'කිතුසර' කණ්ඩායම, මීගමු එත්තුකාලේ 'දොන් බොස්කෝ' ආයතනය, එහි කතෝලික පියතුමන්ලා සහ මීගමුවේ සමස්ථ කතෝලික පල්ලියම බහුමාන්ටත්, ඔහුගේ සංචාරක ව්‍යාපෘතියටත් එරෙහිව ඔහුගේන් විවිධ ලාභ ප්‍රයෝජන ලැබූ දේශපාලයන්ගේත්, රාජ්‍ය නිලධාරීන්ගේත්, එවකට මීගමුව පොලිසියේ සිටි ඇතැම් නිලධාරීන්ගේත් තර්ජන-ගර්ජන, මැර ප්‍රහාර, අත් අඩංගුවට ගැනීම සහ සිරගතකිරීම්වලට ලක්වෙමින් දැඩි අරගලයක් දියත්කරන ලදී. එහි ප්‍රතිපලයක් ලෙස බහුමාන්ගේ සංචාරක නිකෙත්නයන් වසාදැමීමටත්, ඔහුව නීතිය ඉදිරියට ගෙන ඒමටත්, පසුව නැවත කිසිදිනක ලංකාවට පාතැබීමට නොහැකිලෙස රටින් පිටුවහල් කිරීමට කටයුතු කිරීමටත් හැකිවිනි. එම අරගලය එම යුගයේ තරුණ අපට ඉතිරිකලේ සදා අනුස්මරණීය මතකයකි. දශක දෙකකට වඩා ගතවුවද 'බහුමාන්' ආදීන් මීගමුවට එක් කල කළු පැල්ලම තවමත් මකාදැමිය නොහැකිව ඇතිබව මාගේ පෞද්ගලික විශ්වාසයයි.
එහෙත් ඉහත ඡයාරූපයේ එන 'ගේ ලෝඩ්ස්' යන්න කිසිම ලෙසකින් ඉහත සදහන් කල ලිංගික සංචාරක ව්‍යාපෘතියන් සමගවත්, සමලිංගික කටයුතු සමගවත් බැදුනක් නොව, එය සාමාන්‍ය ගොඩනැගිලි ද්‍රව්‍ය සපයන ව්‍යාපාරයක නමක් පමණි. මෙහි 'ගේ ලෝඩ්ස්' යන්නෙහි ගැබ්වී තිබුනේ ගේ-දොර සැදීමේ ද්‍රව්‍යයන්ගේ සිට ගේ-දොර උපකරණ සැපයීම දක්වා වූ සියලු සේවාවන් මෙම වෙළෙද සැල ඉටුකර දෙන බවයි.
එහෙත් ව්‍යාපාර නාමයක් සදහා 'ගේ ලෝඩ්ස්' යනුවෙන් නාමයක් පාවිච්චි කලේ කවුද ? ඒ ඇයි ? යන්න විමසා බැලීමේදී පෙනීගියේ, එය 80 දශකයේ මීගමුවටත් ගසාගෙන ආ, එවකට බ්‍රිතාන්‍ය ඇතුළු යුරෝපා තරුණයන් අතර පැතිරුණු ජනප්‍රිය 'මොඩ්' (Mod) සංස්කෘතිය සහ බැදී පැවතුනක් බවයි.
කලින් කලට විවිධාකාර සංස්කෘතික අංග-උපාංග වලට නිතර නතුවන මීගමුව, 80 දශකයේ ආරම්භයේදී 'මොඩ්' සංස්කෘතියේ (Mod Culture) අභාෂය ලැබූවන්ගේන්ද නොඅඩුව පැවත ඇත. එවකට මීගමුවේ සංගීතය, ඇදුම් විලාසිතා , සයිඩ්බර්න්ස් (sideburns) ඇතුළු කොන්ඩ සහ රැවුල් විලාසිතා ආදිය දෙස බැලීමේදී පෙනී යන්නේ එය පැහැදිලිවම මොඩ් (Mod) සංස්කෘතියේ අභාෂය ලැබුවක් බවයි.
ඉහත බිත්තියේ සදහන් කර ඇති ව්‍යාපාරය පවත්වාගෙන ගිය තරුණයා (දැන් වියපත් Uncle) මීගමුවේ එවකට මොඩ් Mod සංස්කෘතිය නියෝජනය කල කණ්ඩායම් හොදින් ඇසුර කල ඔවුන්ගේ සංස්කෘතික දිවිපෙවතේදී ඔවුන් රසවිධි විවිධ දෑ හොදින් දැන සිටියෙකුවේ. ඔහුගේ ගොඩනැගිලි ද්‍රව්‍ය සපයන අළුත් ව්‍යාපාරයට 'ගේ ලෝර්ඩ්ස්' යන නම උපුටාගනු ලැබුවේද මීගමුවේ මොඩ් (Mod) තරුණයන් අතර 1980 මුල් යුගයේ අතීශයෙන් ජනප්‍රියව පැවති 'Smokey and the Bandit II' නම් බටහිර චිත්‍රපටියේ, Jackie Gleason රගපෑ 'Gaylord Justice' ගේ චරිතය ඇසුරිනි.
Smokey and the Bandit චිත්‍රපටි පෙළත්, Jackie Gleasonරගපෑ 'Gaylord Justice' ගේ චරිතය පමණක් නොව එහි එන ඇතැම් යෙදුම් පවා එම යුගයේ මීගමුවේ මොඩ් (Mod) තරුණයන් අතර ජනප්‍රියව තිබු බව මෙම 'ගේ ලෝඩ්ස්' නම පිලිබදව මා කල සොයාබැලීමේදී පෙනීගිය දෙයකි. කිසිසේත්ම සමලිංගික කටයුතු හා බැදුනක් නොවු මෙම ගොඩනැගිලි ද්‍රව්‍ය සපයන ව්‍යාපාරය පවත්වාගෙන ගිය වෙළද ව්‍යාපාරිකයන්ට තම ව්‍යාපාරය සදහා එවැනි නමක් යොදාගැනීමේදී පැකිලීමට කිසිදු කරණක් නොතිබි අතර ඔවුන්ට අනුව නම් 'ගේ ලෝඩ්ස්' යන්න තවත් එවකට ජනප්‍රිය සංස්කෘතියේ එන මොඩ් (Mod) නමක් පමණක් වනලදී. එය මීගමුවේ කිසිවෙකුටත් කිසිසේත්ම ගැටළුවක් වී නොතිබිණි. ඒ බහුමාන් ආදීන් මීගමුවට කළු පැල්ලමක් එක්කිරීමට පෙරය.
මාකස් ප්‍රියන්ත පෙරේරා
(25/10/15)