'සමබිම' සගරාමය පුවතපතේ පළවූ ලිපිය මෙසේය:
නවතම බටහිර-පෙරදිග දේශපාලන බෙදුම
දෙවන ලෝක යුද්ධයෙන් පසුව යුරෝපයත්, සමස්ත ලෝකයත්, නැගෙනහිර සහ බටහිර ලෙස නොහොත් සමාජවාදී සහ ධනවාදී ලෙස බෙදී ගිය සීත යුද්ධ සමය සෝවියට් දේශය බිඳ වැටීමත් සමඟ අවසන් විය. ඉන්පසුව ලොව පුරාම බොහෝදුරට දැකිය හැකිවූයේ විවිධ වාර්ගික සහ ආගමික ගැටුම්ය. ඒ නිසා එය ශිෂ්ටාචාරයන්ගේ ගැටුමක් ලෙස විස්තර කර ලෝකය විවිධ සංස්කෘතික අනන්‍යතාවයන්ගෙන් යුතු කලාප කිහිපයකට බෙදා දක්වන මතවාදයන් ඉදිරිපත් විය. මෙම ලිපියේ දක්වනුයේ ලෝකය දැන් හටගෙන ඇත්තේ ශිෂ්ටාචාරයන්ගේ ගැටුමක් නොව, උසස් ශිෂ්ටාචාරයන් කරා ඇදී ඒමට හෝ තමන්ගේ ශිෂ්ටාචාරයන් වෙනත් උසස් ශිෂ්ටාචාරයන්ගේ ප්‍රමිතීන් අනුව ගොඩනගා ගැනීමට සිදුකරන අරගලයන් බවයි. එය ප්‍රජාන්ත්‍රවාදයේ සහ අර්ධ-අධිකාරීවාදයේ (Democracy vs. Semi Authoritarian) ගැටුමක් ලෙස දක්වන මෙම ලිපිය, එය එක් එක් රාජ්‍යන්ගේ අභ්‍යන්තර දේශපාලන ගැටුමක සිට නැවත ලෝකයම නැගෙනහිර සහ බටහිර ලෙස බෙදී යාමට තරම් තීව්‍ර වන බෙදුමක් නිර්මාණය කරන බව දක්වයි.
මීට වසර 25කට පෙර යුරෝපය නැගෙනහිර සහ බටහිර ලෙස දෙකට බෙදී තිබුණ බව නොරහසකි. නැගෙනහිර යුරෝපය එවකට සෝවියට් දේශයේ පැවතියේ යැයි පිළිගත් මාක්ස්-ලෙනින්වාදී සමාජවාදය දේශපාලන ක්‍රමයක් ලෙස පිළිගෙන තිබූ අතර, බටහිර යුරෝපය අත්ලාන්තික් සාගරයෙන් එහා පැවති ඇමරිකා එක්සත් ජනපදය ප්‍රගුණ කළ ධනවාදී ආර්ථික ක්‍රමයත්, ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයත් අඩුවැඩි වශයෙන් මිශ්‍ර කරගත් දේශපාලන ක්‍රමයක් පවත්වාගෙන යන ලදී.
යුරෝපයෙන් පිටතද, ඉහත කඳවුරු දෙකට අයත් ලක්ෂණ හිමිකරගත් තවත් රාජ්‍යයන් පැවති හෙයින්, නැගෙනහිර සහ බටහිර බෙදුම යුරෝපීය භූගෝලීය මායිම්වලට පමණක් සීමා නොවී, සමසත ලෝකයම නැගෙනහිර සහ බටහිර ලෙස කඳවුරු දෙකකට බෙදා වෙන්කළ හැකි තරම් තියුණු බෙදීමක්ව පැවතිණි.
එහෙත් 1989 සැප්තැම්බර්යේදී නැගෙනහිර ජර්මනියෙන් පටන්ගත් ‘We want out’ (අපට පිට වීමට උවමනා කර තිබේ) උද්ඝෝෂණ රැල්ල එම වසරේ නොවැම්බරයේම, ජර්මනිය නැගෙනහිර සහ බටහිර ලෙස දෙකට බෙදා වෙන්කළ බර්ලින් තාප්පය බිඳ දැමීමත්, එම උණුසුමෙන් පන්නරය ලද සෝවියට් දේශයට අයත්ව තිබූ රටවල් 1991දී සෝවියට් දේශයෙන් පිටවීමත් සමඟ සෝවියට් දේශයද බිඳ වැටීමත් නිසා ලෝකය තවදුරටත් ඉහත ආකාරයෙන් නැගෙනහිර සහ බටහිර ලෙස දෙකට ලෙස බෙදා වර්ග කළ නොහැකි විය.
එසේ බෙදා වෙන් කිරීමට තරම් තවදුරත් පැහැදිලි දෘෂ්ටිවාදී වෙනස්කම් ලෝකය තුළ තවත් ඉතිරිව නැති බවත්, ඉතිරි වී ඇත්තේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී (Liberal Democracy) දේශපාලන ක්‍රමය පමණක් බවත්, එය මිනිස් වර්ගයාගේ අවසාන දෘෂ්ටිවාදී විකාශනය (the endpoint of mankind’s ideological evolution) මෙන්ම, මිනිස් වර්ගයාගේ අවසාන ආණ්ඩුක්‍රමය (final form of human government) බවත්, ඒ නිසා (හේගල්ගේ අර්ථයෙන්) වෙනත් පාර-භෞතික විකල්පයක් නොමැති බැවින් (Non-met a physical option) එය ඉතිහාසයේ අවසානය යැයිද (The End of History), සෝවියට් දේශය බිඳවැටෙන යුගයේම ෆ්‍රාන්සිස් ෆුකුයාම (1989දී /1992දී) සටහන් කළ බව නොරහසකි.
එහෙත් ෆුකුයාම එම මතය ඉදිරිපත් කරන යුගයේම එවකට පැවති සදාම් හුසේන්ගේ ඉරාකය (1990 අගෝස්තුවේ) කුවේටය ආක්‍රමණය කිරීමත්, කුවේටය බේරා ගැනීමට ඇමරිකාව ප්‍රමුඛ මිත්‍ර පාක්ෂිකයන් දෙවන ලෝක යුද්ධයෙන් පසුව ඇතිකරගත් විශාලම යුද්ධ සන්ධානය ගොඩනගා ගනිමින් ඉරාකයට එරෙහිව (1991) යුද්ධ වැදීමත් නිසා, ඉතිහාසය අවසන් වී තිබේද? නැතහොත් එය නැවත දිගහැරෙමින් තිබේද? ඉතිරි වී ඇත්තේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමය පමණක්ද? නැතහොත් එයට ප්‍රතිපක්ෂ තවත් පාරභෞතික විකල්පයන් ඉතිරිව පවතින්නේද? යන ප්‍රශ්න පැන නැගිණි.
මෙම ප්‍රශ්න තව තවත් තීව්‍ර වූයේ, නැගෙනහිර සහ බටහිර දේශපාලන වර්ගීකරණය නිම වීමට පෙරත්-පසුවත්, ජාතික සහ ආගමික පදනම් මුල් කරගෙන ඉහත කඳවුරු දෙකේම, මතවාදීමය සහ යුද්ධමය ආධිපත්‍යට එරෙහිව ප්‍රතිවිරෝධතාවයන් ස්පාඤ්ඤයේ බාස්ක් පළාතේ (Basque Country) සිට බෙල්ජියමේ වැලුන් පළාත (Walloon Region) දක්වාත්, පැරණි යුගොස්ලෝවියාව, හංගේරියාව, ඇෆ්ගනිස්ථානය සහ චීනය දක්වාත් පැතිර යාමයි.
නලින් ද සිල්වා හන්ටින්ටන්ගේ අනුගාමිකයෙක් වීම
ඉහත කරුණු සැලකිල්ලකට ගනිමින් වෙනත් මතයක් ඉදිරිපත් කළ සැමුවෙල් හන්ටින්ටන් (1993) දැක්වූයේ නැගෙනහිර සහ බටහිර දේශපාලන බෙදීම් අවසන් වීමෙන් පසුව ඉදිරියට පැමිණ ඇත්තේ මූලික වශයෙන් දෘෂ්ටිවාදී හෝ ආර්ථික (primarily ideological or primarily economic) වශයෙන් වූ බෙදීමකට වඩා, විවිධ සංස්කෘතික අනන්‍යතාවයන් පදනම් කරගත් ශිෂ්ටාචාරයන්ගේ ගැටුමක් (Conflicts between nations and groups of different civilisations / The clash of civilisations) බවයි. මෙම අදහසට අනුව එතෙක් පැවති නැගෙනහිර සහ බටහිර බෙදුම වෙනුවට, විවිධ ශිෂ්ටාචාරයන් පදනම් කරගත් විවිධ සංස්කෘතික අනන්‍යතාවයන් මත ලෝකය කැලි-කෑලිවලට බෙදා වර්ග කළ හැකි අතරම, එම කලාපයන් අතර මෙන්ම එකම කලාපය තුළ සිදුවන ගැටුම්ද විස්තර හැකි බව පෙනිණි. ඒ නිසා එය අල්-කයිඩා මුස්ලිම් අන්තවාදීන්ගේ මෙන්ම, ඉවැන්ජලික් ක්‍රිස්තියානිගේ අභිලාසයන්ද (Evangelical Christian interest), බුරුමයේ විරතු හිමියන්ගේ සිට ශ්‍රී ලංකාවේ බොදුබල සේනාත්, ඉන්දියාවේ ශිව සේනාහීත් ක්‍රියාකාරීත්වයන් විස්තර කළ හැකි බව පෙනේ.
තවද එය බහුතර සිංහලයන් සහ සුළුතර ඊලාම් ද්‍රවිඩයින් අතර යුද්ධය ද, යුද්ධයෙන් පසුව යුද්ධ අපරාධ චෝදනා අපට එල්ල කරන ඇමරිකානු, යුරෝපියානු මැදිහත්වීම්ද විස්තර කිරීමටත් යොදාගත හැක. ඒ මන්දයත් නලින් ද සිල්වාට අනුව ඇමරිකාව, එංගලන්ත ප්‍රමුඛ බටහිර රටවල් අපට එවැනි චෝදනා නගන්නේ මෙරට පවතින සිංහල බෞද්ධ සංස්කෘතියත්, සිංහල බෞද්ධ චින්තනයත් කුඩු පට්ටම් කර ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තන ආධිපත්‍යය සහ යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යය මෙරට තුළ තහවුරු කිරීමට සුද්දන්ට උවමනා කරන නිසාය. මේ අනුව නලින් ද සිල්වා ද විස්තර කරනුයේ සංස්කෘතික අනන්‍යතාවයන් පදනම් කරගත් ශිෂ්ටාචාරයන්ගේ ගැටුමකි. එය සැමුවෙල් හන්ටින්ටන්ගේ (1993) ශිෂ්ටාචාරයන්ගේ ගැටුම (The clash of civilisations) නම් ප්‍රවාදයේ කාබන් පිටපතකි.
නලින් ද සිල්වාට මෙහිදී සිදුව ඇත්තේ රටේ ජාතික ගැටලුවක් විස්තර කිරීමට තමන් ඉතාමත් පිළිකුලෙන් හෙළා දකින විජාතික ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය නිර්මාණය කළ ප්‍රවාදයන්ගේම සරණ සොයා යාමට සිදුවීමේ අවාසනාවන්ත සිද්ධියය.
එහෙත් ඇත්ත වශයෙන්ම සංස්කෘතික අනන්‍යතාවයන් පදනම් කරගත් ශිෂ්ටාචාරයන්ගේ ගැටුම යන්න අද ඊයේ ඇතිවූවක් නොව එය ඉතිහාසයේ සෑම කාලයකම සිදුවූවකි. ශ්‍රී ලංකාවේ විජයාගමනය සිට පෘතුගීසින්ගේ, ඉංග්‍රීසීන්ගේ පැමිණීමද, ඉන්දියාවේ ආර්ය, මොංගල්, ග්‍රීක (ඇලෙක්සැන්ඩර්), යුරෝපීයානු ආක්‍රමණයන්ද, එංගලන්තයේ රෝම, වයිකින් ආක්‍රමණයන්ද, කුරුස යුද්ධයද, මෙලෙස ඉතිහාසයේ සෑම කාලයකම සිදු වූ සංස්කෘතික ආක්‍රමණයන් හෝ ශිෂ්ටාචාරයන්ගේ ගැටුම් ලෙස විග්‍රහ කළ හැක.
එහෙත් ඉතිහාසය පුරාම සිදු වූයේ එක් එක් සංස්කෘතියන් අනෙකුත් සංස්කෘතියන් ආක්‍රමණය කිරීම හෝ එක් එක් ශිෂ්ටාචාරයන් අනෙකුත් ශිෂ්ටාචාරයන් සමඟ ගැටුමක නිරතවීමම නොවේ. වඩාත් බහුලව සිදු වූයේ, ශ්‍රී ලාංකිකයන් බෞද්ධාගම වැළඳ ගැනීම වැනි එක් එක් සංස්කෘතියන් අනෙකුන්ගේ උසස් සංස්කෘතියන් වැළඳ ගැනීමත්, එසේ නොමැති නම් අනෙකුත් උසස් සංස්කෘතියන්ගේ අභාසයන් සහ වෙනත් ශිෂ්ටාචාරයන්ගේ සම්පත් උකහාගෙන තම තමන්ගේ සංස්කෘතියන් සහ ශිෂ්ටාචාරයන් දියුණු කර ගැනීමත්ය. ගැටුම ඇති වනුවේ මෙවැනි සංස්කෘතික ප්‍රවාහයන්ට එක් එක් සංස්කෘතියන් මුහුණ දෙන ආකාරය අනුවය. ඒ අනුව තායිලන්තය, නේපාලය, ස්වීඩනය, තුර්කිය, ලයිබීරියාව වැනි රටවල් අධිරාජ්‍යවාදීන්ගේ යටත්විජිත නොවීමත්, ඉන්දියාව, ශ්‍රී ලංකාව, චීනය, බ්‍රිතාන්‍ය, ප්‍රංශය වැනි විශාල සංස්කෘතියන් සහ ශිෂ්ටාචාරයන් ඇති රටවල් වෙනත් සංස්කෘතියන් සහ ශිෂ්ටාචාරයන් ඇති රටවලට යටත්විජිත බවට පත්වීමත් සිදු විය.
අද සිදුවන්නේ කුමක්ද?
එහෙත් අද මේ වැනි දේශපාලනමය හෝ යුද්ධමය හෝ සංස්කෘතිමය ආධිපත්‍යයන් පිහිටවීමට එක් එක් ශිෂ්ටාචාරයන් අතර ගැටුමක් ඇතිවී ඇතැයි සිතීම මුලාවකි. අද සිදුවන්නේ එයට වඩා වෙනස් දෙයකි. එනම් එක් එක් සංස්කෘතියන් සහ එක් එක් ශිෂ්ටාචාරයන්වල සිට, වෙනත් දියුණු සංස්කෘතියකට හෝ දියුණු ශිෂ්ටාචාරයකට ජනයා ඇදී ඒමට දක්වන පෙළගැසීමත්, එවැනි දියුණු ශිෂ්ටාචාරයන්ගේ ප්‍රමිතීන්ට අනුව තම රටවල ශිෂ්ටාචාරයන් යළි ගොඩනගා ගැනීමට සිදුකරන අරගලයන් හෝ එසේ කිරීමට බල කරන අරගලයනුත්ය.
අද ලෝකයේ සිදුවන ආගමන, විගමන සහ සංක්‍රමණ මෙන්ම, ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා ලොව පුරා සිදුකරන අරගලයන් ද බටහිර දේශපාලන මැදිහත්වීම් ද මේ කරුණ වඩාත් පැහැදිලි කරනු ඇත.
ඇත්ත වශයෙන්ම මුස්ලිම් සහ ක්‍රිස්තියානි සංස්කෘතියන් සහ ශිෂ්ටාචාරයන් අතර ගැටුමක් පවතින්නේ නම් ඇමෙරිකාවට, කැනඩාවට, යුරෝපයට, ඕස්ට්‍රේලියාවට ඇතුළු ක්‍රිස්තියානි රටවලට මෙතරම් අතිවිශාල මුස්ලිම් ජනකායක් තවදුරටත් සංක්‍රමණය වන්නේ නැත. එසේම, මුස්ලිම් මැද පෙරදිගට ක්‍රිස්තියානින්, බෞද්ධයන් සහ හින්දුන් බුරුතු පිටින් රැකියා සඳහා හෝ ඇතුළු වෙන්නේ නැත. ශ්‍රී ලාංකිකයන් හෝ වෙනත් කිසිවෙක් සිය දිවි දෙවෙනි කර සිය යහපත් ජීවන අපේක්ෂා මුදුන් පමුණුවා ගැනීම සඳහා සිය සංස්කෘතියන් හෝ ශිෂ්ටාචාරයන් වැනසීමට සිටින සතුරු කලාපයකට කෙසේ හෝ ඇතුළු වීමට උත්සාහ කරයිද? පැහැදිලිවම නැත.
ලෝකයේ එක් කලාපයක සිට තවත් කලාපයකට, වඩාත් යහපත් ජීවිතයක් පිළිබඳව බලාපොරොත්තු දල්වාගෙන, මිනිසුන් සංක්‍රමණ වන්නේ එම සංක්‍රමණ වන කලාපය තමන් ජීවත්වන කලාපයට වඩා යහපත් වන බව සිතන නිසාය. මෙය හුදෙක් ආර්ථික කරුණුවලට පමණක් සීමා කළ නොහැක්කේ, යුද්ධ සහ අත්තනෝමතික දේශපාලනික තත්ත්වයක් පවතින එහෙත් ආර්ථික වශයෙන් යහපත් රටවල් වන සිංගප්පූරුව, හොංකො, චීනය, රුසියාව, ඉරානය සහ මැදපෙරදිග වැනි රටවල සිට ද වඩා යහපත් පාලන ක්‍රමයක ජීවත්වීම සඳහා ඇමෙරිකාවට, කැනඩාවට, යුරෝපයට සහ ඕස්ට්‍රේලියාවට ඉතා විශාල වශයෙන් ජනයා සංක්‍රමණ වන නිසාය.
මෙසේ ඉහත දැක්වූ කලාපයන්වලට අති විශාල ජනගහනයක් ඇදී එන්නේ පැහැදිලිවම වෙනත් කලාපවලට නැති යමක් එම කලාපවල තිබෙන්න නිසාය. විශේෂයෙන්ම ආර්ථික සහ දේශපාලන නිදහස මෙම ඇමෙරිකාව, කැනඩාව, යුරෝපය සහ ඕස්ට්‍රේලියාව වැනි කලාපයන්ගේ පැහැදිලි ලක්ෂණය වී තිබේ. ඒ නිසා ඉහළම රැකියාවක් නොකළද සෑම පුද්ගලයෙකුටම අවම ජීවන මට්ටමක් ඇතිකර ගැනීමට සිය මව් රටේ මෙන් දැවැන්ත අරගලයක් සිදු කිරීමට සිදු නොවන බව සෑම සංක්‍රමණිකයෙක්ම දනී. අනෙක් අතට, පුද්ගලයා කුමන තරාතිරමකද, ඔහුගේ/ඇයගේ වාර්ගික, ආගමික, ලිංගික හෝ අදහස්වල වෙනස්කම් නොසලකා එම රටවල සෙසු මිනිසුන්ට හිමිවන නීතිය ඉදිරියේ සමානාත්මතාවය එහි වෙසෙන සෑම පුද්ගලයෙකුටම ලබාදීමට තරම් නීතියේ ආධිපත්‍යය සහ යහපාලනය එම රටවල තහවුරු වී ඇති බව ද ඔවුන් දනී. එවැනි ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයකට ඇතුළු වී ජීවත්වීමට මනුෂ්‍යන් දිවි හිමියෙන් වෙර දරන්නේ, තමන්ගේ සංස්කෘතියන් සහ ශිෂ්ටාචාරයන් රැකගැනීමේ ගැටුමක නිරත වීමට වඩා, වෙනත් උසස් සංස්කෘතියන් සහ ශිෂ්ටාචාරයන් සහිත කලාපයන් වටිනා බව සිතන නිසාය. මහා සංක්‍රමණික ප්‍රවාහයකට එකතුවීමට ජනයා පෙළගැසෙන්නේ එම නිසාය.
එහෙත් මෙම මහා ජන ප්‍රවාහයට තවදුරටත් මුහුණ දීමට ඉහත කී යහපත් සංස්කෘතියක් සහ ශිෂ්ටාචාරයක් ඇති රටවලට පවා නොහැකි වෙමින් තිබේ. විශේෂයෙන්ම, දෙවන ලෝක යුද්ධයෙන් පරාජයට පත්කර, යුරෝපයෙන් ප්‍රතික්ෂේප කළ, හිට්ලර් සහ මුසෝලනි වැන්නවුන් වරනැගූ, වාර්ගික සහ ආගමික පදනම් මත දියත්වූ, දේශපාලන ව්‍යාපෘතීන් වෙනත් කලාපවල තහවුරු වී, විවිධ ජාතික සහ ආගමික වෙනස්කම් මත බෙදී, තම තමන්ව මරා දමන තත්ත්වයකට ලොව බොහෝ රටවල් පත්වීමත්, ලෝකයේ බොහෝ රටවල රාජ්‍යයන් මහජන පාලනයන් හෝ යහපාලනයන් නොවී, පිරිසකට පමණක් සෙත සලසන අර්ධ-අධිකාරීවාදී පාලනයන් වීම නිසා, ඉහත ආකාරයේ මහා ජන සංක්‍රමණවලට විසඳුමක් සෙවීම ප්‍රජාතන්ත්‍රවාදීන්ට අනිවාර්යයෙන්ම සිදුකළ යුතු ප්‍රශ්නයක් වන්නේ එලෙසය.
ප්‍රජාතන්ත්‍රවාදී ඉල්ලීම් වෙනුවෙන් සටන්වදින පිරිස් දිරිමත් කිරීමේ සිට ප්‍රජාතන්ත්‍රවාදී නොවන අර්ධ-අධිකාරීවාදී රටවලට ප්‍රජාන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සඳහා බලපෑම් කිරීම දක්වාත්, කිසිසේත්ම ප්‍රජාන්ත්‍රවාදී නොවන රටවල පාලනයන් පහකිරීම දක්වාත් වූ ක්‍රියාදාම රාශියකට ප්‍රජාන්ත්‍රවාදී රාජ්‍යයන් එක්ව ක්‍රියා කරන්නේ මෙවැනි පසුබිමකය. එසේ ඔවුන් එක්ව ක්‍රියා නොකළහොත්, ප්‍රජාන්ත්‍රවාදී නොවන මහා ජන සංක්‍රමණයන්ගේ සිට, ත්‍රස්තවාදය, ලෙඩ රෝග, වසන්ගත, දිළිඳුකම, මත්ද්‍රව්‍ය, පරිසර විනාශයන් සහ විශාල මිනිස් ඛේදවාචකයන් ආදී දහසකුත් එකක් ගැටලුවලට තනි තනිව මෙන්ම පොදුවේත් මුහුණ දීමට සිදුවන බව ඔවුන් දනී.
එහෙත්, මෙම පෙළගැසීම්වල සාධනීය තත්ත්වයන් පිළිබඳව සැලකිල්ලක් නොදක්වමින් අද ප්‍රජාතන්ත්‍රවාදී නොවන අර්ධ-අධිකාරීවාදී රෙජීමයන් සිදු කරනුයේ, සිය බලය තවදුරටත් තමන් අතම තබා ගනු වස්, ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ පෙළගැසීම්වලට මුහුණ දීමට අර්ධ-අධිකාරීවාදී රෙජීමයන්ගේ පෙරමුණක් ද ගොඩනගා ගැනීමට ක්‍රියා කිරීමයි. ජිනීවාහිදී ශ්‍රී ලංකාවට එල්ලවන චෝදනාවලට තනිවම මුහුණ දී එම ගැටලුව රාජ්‍යතාන්ත්‍රිකව විසඳා ගැනීම වෙනුවට, ජිනීවා යෝජනාවන්ට එරෙහිව එයට මුහුණ දීමට රුසියාව, චීනය, ඉරානය මෙන්ම වෙනත් එවැනිම අප්‍රිකානු, ලතින් ඇමෙරිකානු රටවල සහයෝගය සොයාගෙන යාමට තරම් උනන්දු වන්නේ මෙවැනි අද ලෝකයේ ප්‍රමාණවත් අර්ධ-අධිකාරීවාදී රෙජීමයන් කොටසක්ද සිටින නිසාය.
අවාසනාවකට, බොහෝ ප්‍රජාතන්ත්‍රවාදය බිඳවැටුණ, ජාතික සහ ආගමික මතවාදයන් වඩා වඩාත් හිස එසවූ, වර්ගවාදී සහ ආගමික ගැටුම් පවතින, යහපාලනය බිඳ වැටුණ රටවල අද පහළ වන්නේ අර්ධ-අධිකාරීවාදී රෙජීමයන්ය. ඒ හේතුවෙන් අද ලෝකය පැහැදිලිවම ප්‍රජාන්ත්‍රවාදී පාලනයක් පවතින රටවල් සහ අර්ධ-අධිකාරීවාදී රෙජීමයන් පවතින රටවල් ලෙස දෙකට බෙදීයාමක් දැකිය හැක.
පසුගිය දා යුක්රේනය යුරෝපා සංගමයට ගෙනයාමට වෙර දරන පිරිස් සහ එය රුසියාවට පක්ෂපාතී රටක් ලෙස තවදුරටත් තබා ගැනීමට වෙර දරන එරට රජය අතර ගැටුම් දෙස බැලීමේදී පෙනී යන්නේ ඉහතින් දැක්වූ ප්‍රජාන්ත්‍රවාදී පාලනයක් පවතින රටවල් සහ අර්ධ-අධිකාරීවාදී රෙජීමයන්ගේ රටවල් අතර බෙදුම් ඉර බොහෝ දුරට යුක්රේනය හරහා ඇදීමට නියමිත බවයි. ඒ මන්දයත් යුක්රේනයෙන් නැගනහිරින් පිහිටි රුසියාව, චීනය, උතුරු කොරියාව, මොන්ගෝලියාව සිංගප්පූරුව අද පැහැදිලිවම අර්ධ-අධිකාරීවාදී රෙජීමයන්ගේ පාලනයට අයත්ව තිබීමත්, මෙතෙක් ආසියාවේ වූ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන් වූ ජපානයේ, දකුණු කොරියාවේ, මැලේසියාවේ සහ ශ්‍රී ලංකාවේ පවා ජාතිකවාදී රෙජීමයන් බලයට පැමිණීත්, නරේන්ද්‍ර මෝති යටතේ ඉන්දියාවේ පවා ජාතිකවාදී රෙජීමයක් බලයට පත්වීමට ඉඩ තිබීමත්, තායිලන්තයේ, බුරුමයේ සහ ඉන්දුනීසියාවේ පවා හමුදා පාලනයක් හෝ ජාතිකවාදී රෙජීමයක් බලයට පත්වීමට ඉඩතිබීමත් නිසාය.
ඒ නිසා යුක්රේනයෙන් බටහිර කොටස ප්‍රජාතන්ත්‍රවාදී ලෙසත්, යුක්රේනයෙන් නැගෙනහිර කොටස අර්ධ-අධිකාරීවාදී රෙජීමයන්ගේ පාලනයට නතුවූ කොටස ලෙස බෙදීමක් ඇතිවීමට තවත් වැඩි කලක් නො යනු ඇත.
ශ්‍රී ලංකාව මින් කුමන කඳවුරක නතර වන්නේදැයි තීරණය වන්නේ මෙරට ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලනයක් වෙනුවෙන් ගෙන යන සටන්වල ජයග්‍රහණයන් තුළය. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් වූ සටන් පරාජය වී ජාතිකවාදීන්ගේ ජයග්‍රහණයන් සිදුවන්නේ නම් ශ්‍රී ලංකාව තවදුරටත් අනතුරුදායක තත්වයක පැවතීම පමණක් සිදු නොවේ. ඒ වෙනුවට, දකුණු ආසියාවේ පැවතියේ මහා භාරතයක් පමණක් යැයි දේශපාලන වේදිකාවේ ඉතිහාසය විකෘති කර පුරසාරම් දොඩන නරේන්ද්‍ර මෝදි වැනි මහා ඉන්දියානු ජාතිකවාදීන්ට පවා ශ්‍රී ලංකාව ගොදුරක් බවට පත්වීම සිදුවිය හැක. ඒ මන්දයත්, අප දැන් දැන් වඩ වඩා උඩ දමන, මහා වංශයේවත් සඳහන් නොවන, රාවණා කෙනෙකු සහ රාම-රාවණා යුද්ධයක් පැවති ලංකා පුරය පැවතියේ මහා භාරතය තුළ වීමත්, ඒ බැවින් ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොටසක් යැයි අපේ රටට අයිතිවාසිකම් නොකී සිටීමට තරම් නරේන්ද්‍ර මෝදි ඉදිරිපත් නොවනු ඇති බවට කිසිවකුට සහතිකයක් දීමට නොහැකි නිසාත්ය.
බටහිර ලෝකයේ මුල් බැසගත් ප්‍රජාතන්ත්‍රවාදයේ වටිනාකම් සහ එහි ඇති වැදගත්කම අපට වැටහෙන්නේ එදාටය.
මාකස් ප්‍රියන්ත පෙරේරා
2014 මාර්තු වේදී 'සමබිම' සගරාමය පුවත්පතට ලියු ලිපියකි.
එය 2014 මාර්තු 05 සහ 2014 අප්‍රියල් 07 කොටස් දෙකක් වශයෙන් සමබිම සගරාවේ පලවිය.
http://www.samabima.com/?p=10043&fbclid=IwAR3lUgNmGIjvS0dd-mhJsMV59F_w3_1w85FLMcN7vU59h4zN837uwuiwCqE.
https://www.samabima.com/?p=10259&fbclid=IwAR1YmR9cZd80Cf_O5nm1WW6TnRFqKuHMqf_UeC_WS28Aklrh2Ef13xj7hOE