This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Friday, 7 March 2025

ආබාධිත ප්‍රජාවගේ අයිතීන් සුරැකිය හැක්කේ කෙසේද?

 


වැඩි ජන්ද 9000 කට වඩා ලබමින් බ්‍රිතාන්‍යයේ Penistone and Stocksbridge අසුන නියෝජනය කරමින් බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තුවට තේරීපත්වූ Marie Tidball ගේ මංගල පාර්ලිමේන්තු කතාවට ඇහුම්කන් දෙන්න... ඇයගේ එම කතාව තුල ඇය ස්තුති කරන්නේ ඇය වටාවූ සමාජය. ජනතාවටය. ආබාධ සහිතව, ජීවිතයත් මරණයත් අතර අවිනිශ්චිත අන්තයක, උපත ලබන ඇය කුඩා දරුවෙක් ලෙස පටන්ම රටේ අනෙක් දරුවන්ට හිමිවන සියළු අවස්ථාවන් ලබමින් ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ නීතිය හැදෑරීම හා අචාර්ය උපාධියක් දක්වා ඉගැනීමට අවස්ථාව සලසාදීම ගැනත්, පාර්ලිමේන්තු මංත්‍රීවරියක් ලෙස තෝරා පත්කර ගැනීම ගැනත් සිය ප්‍රදේශයේ ජනතාවටත්, මහජන බදු මුදලින් ඇය ලැබූ සියළු දේ සම්බන්ධවත් බ්‍රිතාන්‍යයේ ජනතාවටත් ස්තුතිවන්ත වෙයි. ඇය මෙම හදපිරි ප්‍රණාමය පිරිනමන්නේ මෙහි ජන සමාජයටත්, එහි පුරවැසියාටත් අවංකවමය. එමෙන්ම ඇය කුමන අපහසුතා පැවැතිය ඇය පෙරලා සමාජයට ඉටුකරන කාර්‍යභාරය සුළු පටු නොමැත. පාර්ලිමේන්තුව තුලත් ඉන් පිටතත් ඇගේ සේවය අති විශාලය.

මේ කාරණය ඉදිරිපත් කරන්නේ දයාසිරි ජයසේකර මංත්‍රීවරයා සුගත් වසන්ත මංත්‍රීවරයා සම්බන්ධයෙන් සිදු කළ වාචාල, ශෝබන ප්‍රකාශය සම්බන්ධවයි. දයාසිරි ජයසේකර මංත්‍රීවරයා සමාව ගැනීම අනිවාර්යයෙන්ම කළ යුත්තකි. එසේ සමාව ගැනීමෙන් පමනක් මෙම ප්‍රශ්න කෙළවර වන්නේ නැත. එනම් හෙටත් සුගත් වසන්ත මංත්‍රීවරයාට පමණක් නොව වෙනත් ජන ප්‍රජාවකට පවා අශිෂ්ට, අශීලාචාර ලෙස, නින්දා සහගත ලෙස රට වැසියා කතා කිරීම නවත්වයිද? අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාම පාර්ලිමේන්තු මංත්‍රීවරයෙක් ලෙස සිටියදී තවත් මංත්‍රීවරයෙකුගේ "අම්මත් පිස්සන් කොටුවේ හිටියේ, නංගිත් පිස්සන් කොටුවේ හිටියේ" යැයි පාර්ලිමේන්තුවේ කියන වීඩියෝවක් මම දැක ඇත ( එය ද පහලින් පලකරමි). මේ කාරණය සදහන් කළේ කිසිවෙකු අහිංසක නැතයි කියන්න ය. දයාසිරිට හෝ වෙනත් ඕනෑම අයෙකුට ගල් ගැසීම පහසුය එහෙත් අපි හැමෝම එසේ නොකරන, එසේ නොකර සිටින මිනිස්සුන් වෙන්නේ කවදා ද?

එහෙම මිනිස්සුන් බිහිවෙන්නේ තවත් ජන ප්‍රජාවක් හෙලා දකින, අපවාද, නින්දා අපහසකරන නොකරන සමාජයක් ගොඩනැගුණු විටය. එය බිහිවෙන්නේ එවැනි දේ වැරදි යැයි තේරුම් ගත් අධ්‍යාත්මික වශයෙන්ම දියුණු ජනතාවක් බිහිව්ම තුල පමණක් නොවේ: එසේ කිරීම වැරදි යැයි නීතියක් පවතින රටකය.

'රට වටකර වැට බැන්ද ද, කට වටකර වැට බදින්න බෑ' යැයි ලංකාවේ කියමනක් තිබේ. මිනිස්සු කියන දේවල් නැවැතිය නොහැකි බව එහි අදහසයි. එහෙත් එසේ කිරීමෙන් කිසිවෙකුට හානියක් සිදුවන්නේ නම් එහිලා නිතිමය ක්‍රියාමාර්ග ගැනීමට ඉඩ ප්‍රස්ථා පැවැතිය යුතුය. බ්‍රිතාන්‍යයේ නම් කිසියම් ජනප්‍රජාවක් පමණක් නොව එම ජන ප්‍රජාවේ එක් කෙනෙකුට හෝ අගතියක් සිදුවුවහොත් එහිලා ගත හැකි ක්‍රියාමාර්ග නිතිය අනුවම පෙන්වා දී තිබේ. එමගින් එම ප්‍රජාවන්ගේ අයිතීන් සුරක්ෂිත කළ හැක.

අප උගත් කොළඹ විශ්ව විද්‍යාලයෙන්ම ඉතිහාසය පිළිබඳව ප්‍රථම පංතියේ සමාර්ථයක් ලද ද, කොළඹ විශ්ව විද්‍යාලයේ අචාර්ය මණ්ඩලයට බදවා නොගැනීමෙන්, සුගත් වසන්තට පැහැදිලිව අසාධාරණයක් සිදුව තිබුණි. සිය දෘශ්‍යාබාධ තත්වය තුල තමන්ට අසාධාරණයක් වූවා යැයි දක්වමින් ඒ මහතාට අධිකරණයෙන් හෝ පිහිටක් පැතීමට අවස්ථාවක් උදාවූවා නම් එය රටේ තවත් ජන සමාජයක් සවිබල ගැන්වීමට හේතුවිය හැකිව තිබුණි. කිසිවෙකු ආබාධිතයෙක් වීම නිසා නොසලකා හැරීමට ලක්නොවිය යුතුය. සුගත් වසන්ත මහතා එවැනි නිතිමය ක්‍රියාමාර්ගයකට යොමුවූයේ ඇතැම්විට ඔහු අපේ ද ගුරුවරයෙකු විය හැකිව තිබුණි. එසේ වුවා නම් ලාංකික සමාජය තවත් අඩියක් ඉස්සරහට යනු ඇත.

නිදහසින් පසු ගෙවී ගිය 76 වසරම ශාපයක් නොවේ. දෘශ්‍යාබාධ තත්වයකින් පසුවන සුගත් වසන්ත මහතාට කොළඹ විශ්ව විද්‍යාලයේ ප්‍රථම පංතියේ සමාර්ථයක් ලැබීට හැකි තත්වයක් දක්වා රට විවිධ විනාශයන් හමුවේ පවා අඛණ්ඩව ඉරියට ගොස් ඇත. එහෙත් ලෝකයේ සෙසු රටවලට සාපෙක්ෂව අප තවමත් දියුණුවෙමින් පවතින රටකි. එය බොහෝ කාලයක් තිස්සේ පවතින්නේ එතැනමය.

මේ එකතැන පල්වෙමින් එකිනෙකා සමග උරුම්පූට්ටුවෙමින්, එදිරිවාදිකම් නඩත්තු කරමින් යන ගමනින් රට නන්වාලිය නොහැක. ඒ සදහා අවශ්‍ය නිති සකසමින්, එම නීති ක්‍රියාත්මක කරමින්, නිසි වේගයකින්, අවශ්‍ය වෙනස්කම් කරමින් ඉදිරියට යායුතු. මේ ආණ්ඩුවට පැවැරී ඇති වගකීම ඒකය. එහිලා Marie Tidball මහත්මියගෙන් සුගත් වසන්ත මහතාට ද, දෘශ්‍යාබාධිත David Blunkett ව ස්වදේශ ඇමැතිවරයා (home secretary) ලෙස පත්කරගත් බ්‍රිතාන්‍යයේ ටෝනි බෙලයාර් (Tony Blair) ගේ හා ආබාධිතයන් නම දෙනෙකුට පාර්ලිමේන්තු වරම් හිමිකර දෙමින් පාර්ලිමේන්තුවේ නීති සම්පාදන ක්‍රියාවලිය තුල වඩාත් පලදායි ලෙස ඔවුන් ක්‍රියාවේ යොදවා ඇති වත්මන් අගමැති කිර් ස්ටාමර් (Keir Starmer) ගේ කම්කරු පක්ෂ රජයන්ගෙන් ද (Labour party governments) මාලිමා රජයට බොහෝ දේ උගත හැක.

මාකස් ප්‍රියන්ත පෙරේරා

06/03/25

Marie Tidball ගේ මංගල පාර්ලිමේන්තු කතාව

👇👇👇👇


Tuesday, 4 March 2025

යුගයේ අභියෝගය කීර් ස්ටාමර් කරට ගනී ද?



ඇමැරිකාවේ ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේදී යුක්රේනයේ ජනාධිපති සෙලෙන්ස්කිට එරෙහිව ඇමැරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා උප ජනාධිපති ජේ. ඩී. වෑන්ස් එල්ලකළ දැඩි වාග් ප්‍රලාපයන් සමග ඇතිවූ දේශපාලන තිගැස්ම මට මතක් කළේ 2019 දී Tom Holland (ටොම් හොලන්ඩ්) පළකළ 'Dominion: The Making of the Western Mind' නම් කෘතියේ ඉදිරිපත් කරන තර්කයකි.

ටොම් හොලන්ඩ්ට අනුව පුරාණ ලෝකය සහ නූතන ලෝකය අතර ඇති ශ්‍රේෂ්ඨතම වෙනස නම් පැරණි ලෝකය හෙවත් ක්‍රිස්තු පූර්ව යුගය සමාජ ගෞරවය, බලය සහ වාචාලත්වය (honor, power, adominance and rhetoric) මත නිර්මාණය වූවක් වන අතර එය ශක්තිය සහ ජයග්‍රහණ ගැන ගුණ ගරුක විය යුතු යුගයකි. එහෙත් නව ලෝකය හෙවත් ක්‍රිස්තු දර්ශනයේ බලපෑම මත දිගහැරෙන ක්‍රිස්තු වර්ෂ යුගයේදී මනුෂ්‍යයත්වයේ උතුම්කම, ආදරය, සමාවදීම සහ දුබලයන්ට, පීඩිතයන්ට කාරුණික වීම (humility, love, forgiveness, caring for the weak and oppressed ) වැනි කරුණු අවධානයට ලක් කරයි. පැරණි ලෝකය හා නූතන ලෝකය ලෙස ටොම් හොලන්ඩ් (Tom Holland) 2019 දී බෙදා දක්වන මෙම වෙනසේ පදනම ලෙස ඔහු දක්වන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ ඉගැන්වීම් හා බයිබලයේ නව ගිවිසුමයි (New Testament)

යුක්රේනයේ ජනාධිපති සෙලෙන්ස්කි පසුගිය සිකුරාදා ඇමැරිකාවේ ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේදී ජනාධිපති ට්‍රම්ප්ව මුණ ගැසීමට පෙර ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් ද බ්‍රිතාන්‍යය අගමැති කීර් ස්ටාමර් ද ජනාධිපති ට්‍රම්ප්ව මුණගැසුන අතර එහිදී ඔවුන් දෙපොළම යුක්‍රේනයේ යුද්ධය සදහා ස්ථීරසාර විසදුමක අවශ්‍යතාවය මතුකර තිබුණි. එම අවස්ථා දෙකේදීම යුක්‍රේනයේ යුද්ධය සදහා ඇමැරිකාව දරා ඇති වියදම ගැන ජනාධිපති ට්‍රම්ප් කරුණු ඉදිරිපත් කළහ. ජනාධිපති ට්‍රම්ප් එසේ කරුණු ඉදිරිපත් කළ අවස්ථාවක ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් ට්‍රම්ප් ජනාධිපතිට අත තබා එම කතාවට බාධා කලේය. බ්‍රිතාන්‍යය අගමැති කීර් ස්ටාමර් ඉදිරියේදී ද ජනාධිපති ට්‍රම්ප් යුක්‍රේනයේ යුද්ධය සදහා ඇමැරිකාව දරා ඇති වියදම ගැන කියත්ම අගමැති කීර් ස්ටාමර් රාජ්‍යය තාන්ත්‍රික ඉරියව්වකින් ජනාධිපති ට්‍රම්ප්ගේ එකී කතාවට බාධා කලේය.

යුක්රේනයේ ජනාධිපති සෙලෙන්ස්කි හමුවේද ජනාධිපති ට්‍රම්ප් එසේ කරුණු ඉදිරිපත් කිරීම කෙලවර වූයේ දැඩි වාග් සංග්‍රාමයකිනි. එය දෙපාර්ශවයටම පිලිගත් රාජ්‍යය තාන්ත්‍රික හැසිරීම ඉක්මවා ගිය ලැජ්ජා සහගත අවමානයක් බව පැහැදිලිය. එවැනි වාග් ප්‍රහාරයන් හා හැසිරීම් වලින් කිසිවෙකු ජය ලබන්නේ නැති වුවද දෙපාර්ශවයටම තම තමන්ගේ ස්ථාවරයන් ගැන දැඩි අධිෂ්ඨානයකින් තහවුරු කිරීමට අවස්ථාවක් සැලසෙන බව නම් කිව යුතුමය. ජනාධිපති ට්‍රම්ප්ගේ පදය අනුව රැසියාව හා ඇමැරිකාව අතර ඇතිවන එකගතාවයකින් යුද්ධය අවසන් කිරීමට තමන් හෝ යුක්‍රේනය එකගවන්නේ නැති බව ජනාධිපති සෙලෙන්ස්කිගේ ස්ථාවරය පොලීකාරයෙක් ලෙස හැසිරෙන ඇමැරිකානු ජනාධිපති ට්‍රම්ප් හා උප ජනාධිපති ජේ. ඩී. වෑන්ස් කියවා ගන්නට ඇත.

ධවල මන්දිරයෙන් එළියට බැසගත් යුක්රේනයේ ජනාධිපති සෙලෙන්ස්කි කෙලින්ම ලංඩනය බලා ඒමත්, එහිදී බ්‍රිතාන්‍යයේ අගමැති කීර් ස්ටාමර් පමණක් නොව චාල්ස් රජ පවා ඔහුව ඉතා ඉහලින් පිලිගැනීමත් තුල ජනාධිපති සෙලෙන්ස්කි හෝ යුක්රේනය හුදකලා නොවන බව යුක්‍රේන ජනතාවට පමණක් නොව ඇමැරිකා එක්සත් ජනපදයට ද, රුසියාවට ද, ලබා දුන් පණිවිඩය විය. එපමණක් නොව යුරෝපයේ රාජ්‍යය නායකයින් කැදවා බ්‍රිතාන්‍යයේ බකිංහැම් මාලිගාව ආසන්නයේ ඇති ලැන්කැෂර් හවුස් හි දී ආරක්ෂක සමුළුවක් කැදවීමට ද බ්‍රිතාන්‍යයේ අගමැති කීර් ස්ටාමර් සමත්විය. යුක්‍රේනයේ ආරක්ෂාව වෙනුවෙන් බ්‍රිතාන්‍යය පමණක් නොව යුරෝපයේම සහය ලැබෙන බව ඉන් ප්‍රකාශයට පත්විය.

බ්‍රිතාන්‍යයේ අගමැති කීර් ස්ටාමර් බලයට පත්වීමෙන් පසු ඔහු මේ ගෙවන්නේ ඔහුගේ දේශපාලන ජීවිතයේ හොදම සතිය යැයි කිවහොත් ඔහුගේ දරුණුතම විරුද්ධවාදීන් වන කෝබීන්වාදීන් හා නයිජල් ෆෙරාජ් පවා පිළිගත හැක. කීර් ස්ටාමර් ඩව්නිං වීදියට ඇතුළු වූ දා සිට එතරම් තීරණාත්මක දේශපාලන නායකත්වයක් ලබාදුන්නේ නැති බව ඔහුගේ විවේචකයින් විසින් උපහාසයට ලක් කර තිබුණි. එහෙත් පසුගිය සතිය වන විට කීර් ස්ටාමර් රට අභ්‍යන්තරයේ මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද සිය දේශපාලන අස්ථානය තවුරුකරගත් නායකයෙක් බවට පත්විය. මෙම "නව ස්ටාර්මර්" යනු දේශපාලන යුග මෙහෙවරක් කිරීමට හා එහිලා අවශ්‍යය නායකත්වය දීමට විශ්වාසයක් හා හැකියාවක් ඇති නායකයෙක් බව ප්‍රකට කළේය. මෙය පසුගිය සතිය මුලදී වොෂින්ටනයේදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවිම තුලින්ම ප්‍රකට කළේය. ජනාධිපති ට්‍රම්ප් සමග සාකච්ඡාවේදී බ්‍රිතාන්‍යයේ අගමැති කීර් ස්ටාමර් සාකච්ඡාවට ප්‍රවේශ වූයේම ඔහු පුරුදු පුහුණුව සිටි සම්මුති විරහිත විශිෂ්ඨ මානව හිමිකම් නීතිඥවරයාගේ චරිතයෙන්ය. අගමැති කීර් ස්ටාමර් කලකට පෙර බ්‍රිතාන්‍යය රජයේ තීන්දු පවා ආපසු හැරවූ අති ප්‍රබල මානවහිමිකම් නීතිඥවරයෙක් විය.

අගමැතිවරයා වශයෙන් පසුගිය දින කිහිපයේදී කීර් ස්ටාමර් ප්‍රකට කළේ ඔහු කලින් පනපෙවූ "නපුරට එරෙහි ශිෂ්ටත්වයේ" මූලධර්මයන් ය. එනම් බ්‍රිතාන්‍යය හා යුරෝපය තවදුරටත් පෙනී සිටින්නේ මහා බල තරඟය වෙනුවෙන්වත්, සිය බලපෑමට සෙසු ක්ෂේත්‍රයන් අත්කර ගත යුතු යටත් විජිත සූරාකෑමේ ප්‍රාථමික තත්වය වෙත ආපසු යෑම වෙනුවටවත් නොව ආක්‍රමණිකයාට එරෙහිව සිය අසල්වැසියාගේ ආරක්ෂාව හා පීඩිතයාගේ යහපැවැත්ම වෙනුවෙන් වූ සදාචාරාත්මක රාජ්‍යය තාන්ත්‍රික ස්ථාවරයක් වෙනුවෙන් ය. එ සදහා යුරෝපයේ සෙසු නායකයින් ද එකග කරගැනීමට බ්‍රිතාන්‍යයේ අගමැති කීර් ස්ටාමර්ට හැකිවූ බව බ්‍රිතාන්‍යයේ පැවැති බ්‍රිතාන්‍යය ආරක්ෂක සමුළුවේ ඒකාබද්ධ නිවේදනයෙන් පිලිඹිබු වේ. අගමැති කීර් ස්ටාමර්ට යුක්‍රේනය හා ඇමැරිකාවේ ට්‍රම්ප් පරිපාලනය සමග සහයෝගයක් ගොඩනැගීමේ මැදිහත්කරු ලෙස කටයුතු කිරීමට දැන් අවස්ථාවක් උදාවි ඇත. එකී ප්‍රවනතා ඔස්සේ යුක්‍රේන යුද්ධයට පිලිගත හැකි ස්ථීරසාරව විසදුම් සෙවීමට සිය යූරෝපියානු හවුල් කරුවන් සමග කටයුතු කිරීමේ දැඩි අභියෝගය ද එල්ලවි ඇත. එය කිසිසෙත්ම පහසු කටයුත්තක් නම් නොවනු ඇත.

මාකස් ප්‍රියන්ත පෙරේරා
03/03/25