'ශුද්ධවු පැය' හෙවත් Holy Hour යනු චතාරික කාලයේදී කිතුනුවන් මහත්වු භක්තියකින් මෙනෙහි කරන චතාරික භක්ති අභ්‍යාසයකි. ලෝකයේ බොහෝ රටවල එකී චතාරික භක්ති අභ්‍යාසය සිදුකරනුයේ දිව්‍ය සත්ප්‍රසාදය ඉදිරිපිටය. එම නිසාම එකී චතාරික භක්ති අභ්‍යාසය හදුන්වන්නේ A holy hour of Eucharistic adoration / an hour in Eucharistic adoration the presence of the Blessed Sacrament ලෙසය. ක්‍රිස්තුස් වහන්සේගේ අන්තිම රාත්‍රි භෝජනය සහ ගෝලයන්ගේ පාද සේදීම සිදුකරන මහ බ්‍රහස්පතින්දා (Maundy Thursday) දිව්‍ය පුජාවෙන් පසුව දිව්‍ය සත්ප්‍රසාදය ඉදිරිපිට මධ්‍යම රාත්‍රියත් පසුවෙනතෙක් ශුද්ධවු පැය යැදුම පැයක් පැයක් පාසා සිදුකිරීම ලාංකීක කිතුනු පාස්කු සම්ප්‍රදායකි. එහිලා භාවිතා කරන්නේද මෙම ශුද්ධවු පැය පොතය.
පාස්කු කාලවල නිතර සිදුකරන මෙකී චතාරික භක්ති අභ්‍යාසය ඉතා පැරණි චතාරික ආගමික සම්ප්‍රදායක් ලෙස පෙනිගියද එය එතරම් පැරණි නැත. A holy hour of Eucharistic adoration හෙවත් 'ශුද්ධවු පැය' නිර්මාණය වන්නේ 1673 මර්ගරීතා මරියා නම්වු ප්‍රංශ ජාතික භක්තිවන්තියක් මැතිව් සුවිශේෂයේ ගෙනෙන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ පවාදුන් ගෙත්සමෙනි උද්‍යානයේ ගෙවු පැය කිහිපය ගැන සදහන් "මාගේ හදවත ශෝකයෙන් පිරියන්නාහ...මා සමග එක පැයක්වත් පිබිද සිටීමට නුබලාට බැරිවුනාද?" ( “My soul is overwhelmed with sorrow to the point of death. Stay here and keep watch with me....Couldn’t you men keep watch with me for one hour?” - Matthew 26: 38/40) යන පාඨය මුල්කරගෙන සිදුකල ධ්‍යනභාවනාවක් ඇසුරෙනි. එකී භාවනාව තුල ඇයට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව දර්ශය වූ බවත්, හෙල්ලයකින් සිදුරු කරන ලද එතුමන්ගේ දිව්‍ය හර්දය ඇයට පෙන්වු බවත් කියවේ. ජේසුගේ දිව්‍ය හෘදය ඉදිරිපිට දණින් වැටී සිටින ඇයගේ චිත්‍රයක් භක්තිවන්තයන් අතර ප්‍රචලිතය. ජෙසුගේ දුක්ප්‍රාප්තිය සිහිකරමින් ජේසුගේ දිව්‍ය හර්දයට යැදීම ක්‍රමයෙන් කිතුනුවන් තුල චතාරික භක්ති අභ්‍යාසයක් ලෙස ප්‍රචලිතවන්නට විය.
එකී සම්ප්‍රදාය ආරම්කල මර්ගරීතා මරියා (Margaret Mary Alacoque) 1920 දී 15 වන බෙනඩික් පාප්වහන්සේ ( Pope Benedict XV) ශුද්ධ වරයට ඔසවන ලදි. ඒ වනවිට 'ශුද්ධවු පැය' හෙවත් Holy Hour යනු චතාරික කාලයේදී කිතුනුවන් ප්‍රධානතම භක්ති අභ්‍යාසයක්වී තිබුනි. බොහෝ රටවල 'ශුද්ධවු පැය' හෙවත් Holy Hour සැකසී තිබුනේ පැයක් පුරා විවිධ යාච්ඤා සහ ශුවිශේෂ පාඨ අතුලත්ව කොන්තය කීමෙනි.
එහෙත් ලංකිකයන් නිරතවන 'ශුද්ධවු පැය' නම් චතාරික භක්ති අභ්‍යාසය එයට වඩා විශේෂ, මහත්වු භක්තියක් ජනිත කරන, ක්‍රිස්තුස් වහන්සේගේ දුක්ප්‍රාප්තිය වචනයේ පරිසමාප්තියෙන්ම අත්දකින, හදවතට තදින් දැනෙන, දෙවියන් වහන්සේ ප්‍රතික්ෂේප කිරීමේ දුෂ්ටකම, පාපයේ බරපතලකම අත්විදන මහත්වු භක්ති අභ්‍යාසයක්මය.
එය එසේවුයේ Holy Hour නම් වු යුරෝපියානු භක්ති අභ්‍යාසය 'ශුද්ධවු පැය' නමින් සිංහලෙන් කිරීමට උචිත ලෙස රචනා කරන ලද කුඩා පොත් පිංච නිසාය. 'ශුද්ධවු පැය' පොත වූ කලී සිංහලෙන් රචනා කර ඇති විශිෂ්ටතම භක්තිය අභ්‍යාසය වියහැක. එකී කුඩා පොත් පිංච පිලිබදව විශේෂ ශාස්ත්‍රීය අවධානයකට ලක් නොවූවද, එය වුකලී පසුගිය සියවසේ සිංහලෙන් ලියවුනු විශිෂ්ටතම යැදුම් පොතය. එහි කධුර, කර්කෂක භාෂාව කසයකින් තලන්නාක් මෙන් හදවත කිරීගස්සන්නේය, එහි එන යැදුම් මෙන්ම යෙදුම් ද අපගේ හදවත් ශෝකයෙන් පීඩවට පත්කරන සුළුය. එනයින්ම එය අප ජේසුතුමා ගෙත්සමෙනි උයනේ වින්දාවු වේදනාවට අපව වඩ වඩා සමීපකරයි. ජේසුගේ දුක් ප්‍රාප්තියට අපව සමීපකරවයි. එකී යාච්ඤා පොත සදහා භාවිතා කර ඇති වචන සිංහල භාෂාවේ බහුලව භාවිතා නොකරන අතීශය සියම් භාවහැගීම් දනවන වචනය. ශුද්ධවු පැය පොතේ ගෙන එන කයදුෂ්කර ප්‍රාර්ථනාවේ එන 'වසක් කේඩුවෙන් වැටුනේ' යන වචනය ඊට හොදම උදාහරණයකි. මහා සිංහල ශබ්ද කෝෂයේ 1576 පිටුවට අනුව 'වසක් කෙඩුව' යන වචනයේ අරුත නම් දුර්වල, ඇඟේ පතේ පණවත් ගතියක් නැති, විඩාවට පත්වීම, කෙඩෙත්තුව, මහන්සිය, සිහි මුර්ජාවීමය. ඒ අනුව 'වසක් කේඩුවෙන්' වැටුනේ යන්නෙහි අර්ථය සිහි මුර්ජාවීම ලෙස ගතහොත්, ඕනෑම අයෙකු සිහි මුර්ජා විය හැක. එහෙත් ආගමික ශාස්තෲ වරයෙකු සදහා සිහි මුර්ජා වී වැටීම යන්න වෙනුවට 'වසක් කේඩුවෙන්' වැටුනේ යැයි යෙදීම වඩාත් උචිතය. එය ජේසුතුමා විදි වේදනාව ද හොදින් ප්‍රකාශ වේ. 'ශුද්ධවු පැය' පොතේ භාෂාව හැසිරවීම එතරම්ම උසස් ය. විශිෂ්ටය. පසන් විලාශයෙන් යැදීමට උචිතය. එම 'ශුද්ධවු පැය' පොතට අමතරව මෑත යුගයේදී 'සමිදු සමග පැයක්' ආදී ලෙස විවිධ ශුද්ධවු පැය පොත් නිකුත්වුවද මුල් ශුද්ධවු පැය පොත තරම් එකී කිසිදු යැදුම් පොතක් ජේසු මල් උයනේදී වින්දාවු දුක් වේදනාවලට අපව රැගෙනයාමට තරම් භාෂාත්මකව අසමත්ය, නොගැබුරුය යන්න මගේ අදහසයි.
අද පවා සමකල නොහැකි, භාෂාත්මකව ජේසුගේ වේදනාව හා අප හදවත් යාකරන එවැනි විශිෂ්ඨ ලියව්ල්ලක් ලිවීමට සමත් තැනැත්තා කවුද? ඔහු ගැන අප දන්නේ මොනවාද? ඒ ගැන අපට ඇත්තේ අඩු දැනුමකි. 'ශුද්ධවු පැය' පොත නම් මෙම යාච්ඤා පොත ලියා ඇත්තේ ප්‍රැන්සිස්කන් පුජා ප්‍රසාදිවරයෙකුවු M.F ගුණතිලක පියතුමාය. පල කර ඇත්තේ 1937 පෙබරවාරි 22 ය. ගෞ. ෆ්‍රැන්සිස් එම්. ගුණතිලක පියතුමා වනාහි වත්තල මාබෝල මීසමෙන් බිහිවූ පළමු පූජක පුතුය. මාබෝල ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගය අද්දර පිහිටි ගුණතිලක වලව්ව එතුමාගේ මහගෙදර වන අතර එතුමාගේ පවුලේ අය දේවස්ථානයේ මුහුප්පු තනතුරු දැරූහ. මා මෑතකදී දැනගත් එකී තොරතුරු අනුව එතුමා පළමුව මහනුවර රදගුරු වසමේ පදවි පූජකවරයෙක් ලෙස සේවය කළ අතර අනතුරුව අසීසිය බලා ගොස් එහිදී OFM ෆ්‍රැන්සිස්කන් පළමු නිකායේ (OFM) සාමාජිකත්වය ලබා එහිම වාසය කොට ස්වර්ගස්ථ වී ඇත.අපි දන්නේ එපමණය....එ පමණක් ප්‍රමාණවත් නැත. එතුමා කල වෙන යැදුම් පොත් තිබේද? එතුමා එම භාෂා විලාශය උකහා ගත්තේ කොහෙන්ද? එතුමාගේ සිංහ භාෂා යෙදුම් ජාකොමේ ගොන්සාල්වෙස් පියතුමාගේ යෙදුම් වලින් උකහා ගත්තක්ද? අපට අවධානය යොමුකල යුතුය බොහෝ දෑ ගෞ. ෆ්‍රැන්සිස් එම්. ගුණතිලක පියතුමා 1937 දී පලකල 'ශුද්වු පැය' නම් කුඩා පොත් පිංච තුල ඇතුලත්ය
ජාකොමේ ගොන්සාල්වෙස් පියතුමාගේ සිංහල භාෂාව පමණක් නොව ගෞ. ෆ්‍රැන්සිස් එම්. ගුණතිලක පියතුමාගේ 'ශුද්ධවු පැය' පොතේ එන සිංහල භාෂාව ද මෙරට කිතුනුවන්ගේ සිංහල භාෂා පරිචය ගැන හොද උදාහරණය. එමෙන්ම සිංහල කිතුණුවන්ගේ සිංහල භාෂාවද, සිංහල කිතුනුවන්ටම සුවිශේෂී වු ඔවුන්ගේ අනන්‍යතාවයේද ප්‍රකාශණයන් ය.
මාකස් ප්‍රියන්ත පෙරේරා
06/04/23