This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Tuesday, 29 September 2020

මීගමුවේ නගරසභා සේවකයෙකුගේ ගිණුමේ ඇති කොටි ගණන් මුදල් කාගේද?


මේවට තමයි කියන්නේ බල්ලොත් එක්ක ලැග්ගොත් නැගිටින්න වෙන්නේ මැක්කොත් එක්ක කියලා...

මේ කියන තැනත්තාට කෝටි ගනන් සල්ලි ආවේ කොහෙන්ද? ඒවා කුඩු සල්ලි ද? කියලා උසාවිය ඉස්සර ඔප්පු කරලා දඩුවම් දෙනතුරු ඔහු නිර්දෝෂයි වගේම ඔහු සමග මෙම ජයාරූපයට පෙනීසිටින්නන්ද නිර්දෝෂයි. ඔවුන් සමහරවිට ඒ ගැන කිසිවක් නොදැන ඉන්නත් ඇති. 

ඒත් මේ ජයාරූපය දැක්කහම පෙනීයන දෙයක් තියෙනවා..ඒ තමයි හරිනම් නිමල් ලංසා වගේම දයාන් ලංසාත් ඉන්න ඔනේ නාමල් රාජපක්ෂ ලගින්මයි. ඒත් ඒ අය ඉන්නේ එහායින්. ඒ චෝදනා ලබා සිටින තැනත්තා නාමල් ලග සිටින නිසාද? දයාන් ලංසා නම් ඉන්නේ හැංගිලා වගේ කෙලවරක. ඇයි ඒ? වෙනදාට නාමල් රාජපක්ෂ එක්ක එකට ඇලීගැලී පොටෝ ගන්න ඒ අය ඇයි ඔය පොටෝ එකේදී දුරස්වෙලා ඉන්නේ? ඒ අර චෝදනා ලබා සිටින තැනත්තා නාමල් ලගම සිටින නිසාද? 

කොහොමත් ඔහු නිමල් ලංසාලා, දයාන් ලංසාලා එක්ක එකට හිටියේ කියන එක හංගන්න බැ...ඔච්චර සල්ලි තියෙන්න, ඔය වගේ පෙනුමක් තියෙන තරුණයෙක්ව දයාන් ලංසා නගරාධිපතිකම් කරන මීගමුව නගර සභාවේ සෞඛ්‍ය සහ සනීපාරක්ෂක කම්කරුවෙක් ලෙස රුකියාවට බදවා ගැනීමෙන්ම එහි මොකක්දෝ හොරයක් තියෙනවා කියලා කාටත් පෙනීයන දෙයක්...ඔය දේවල් එක්ක ලංසලාට නැගෙන කුඩු චෝදනා ගැන දැන් මිනිස්සු කියන්නේ නිකන් ගින්නක් නැතිව දුමක් නැගෙන්නේ නැහැනෙ කියලයි. ඒ වගේම මිනිස්සු කියන්න තව කතාවකුත් තියෙනවා... ඒ තමයි "රා බොන්නම ඕනේම නෑ රා තැබැරුමේ හිටියත් ඇතිලු බේබද්දෙක් කියලා හංවඩු ගහන්න..." කියන එක. 

මං නම් කියන්නේ ඕවා ඔක්කොම හිතේ තියාගෙන වැදගත් යමක් කරලා, වැදගත් විදිහට ජීවත්වෙන්න. මිනිස්සු විනාශ කරන වැඩවලට හවුල් වෙන්නත් එපා, ඒවට ඉඩ දෙන්නත් එපා, එහෙම කරන පාප මිත්‍රයෝ එක්ක මිතුරු පාසානකම් වැඩකුත් නෑ. මොකක්ද ඒ වගේ මිනිස්සුන්ගේ අපරාධවලට වන්දි ගෙවන්න වෙන්නෙ ඒ අයට විතරක් නෙමේ, ඒ අය ඇසුරු කරපු අයගේ දරුවන්ටත් එක්කයි. 

මාකස් ප්‍රියන්ත පෙරේරා 
28/09/20. 



මීගමුවේ නගරසභා සේවකයෙකුගේ ගිණුමේ ඇති කොටි ගණන් මුදල් කාගේද? ඉහත ජායාරූපය මුලින්ම ජනයා අතර  මුදාහැරියේ  රන්ජන් රාමනායකගේ  Facebook පිටුවේය. පසුව මීපුර වෙබ් පුවත්පතේ 2020 සැප්තැම්බර් 26 (https: / / www. meepura. com /? p=95319) ආදාල පුද්ගලයාගේ ජායාරූපය රවුම් කර සලකුනුකර  පලවිය. ඉන් අනතුරුව විවිධ පිටුවලද පලවිය. 

Sunday, 27 September 2020

(බූ)වැලි(කඩ) මත මාලිගා තනාගන්නා ලාංකිකයෝ


මේ සුමානේ අවසාන කරන්න බෑ බූවැලිකඩ ගැන කථා නොකර. 

අපරාදේ අර ජීවිත තුන. 

ගොඩනැගිලිවට නම් හෙනගහලා ගියාදෙන්. පව් අර අහිංසක පුංචි එකී. මහා උන්ගේ තකතීරුකම්වලට වන්දි ගෙව්වේ ඒ නොදරුවයි. ඒ ගැන නම් මතක්වෙද්දෙත් දුකයි. ඒ දරුවට එවැනි ඉරණමක් හිමිවීම හරිම කනගටුදායක දෙයක්. ඒ ළමයා කරපු දෙයක් නැහැ. මහවුන් කරපු දේවල් විතරයි...අර කථාවක් තියෙනවා දෙමාපියෝ ඇබුල් මිදි කෑවහම දත් හිරි වැටෙන්නේ දරුවන්ගෙලු (The fathers have eaten sour grapes, and the children's teeth are set on edge..Ezekiel 18:2) මම නම් කියන්නේ අර බූ-වැලි-කඩ මත මාලිගාවක් තනාගත් (The man, who built his house on the sand) ලෙව්කේ නිලමේ වගේම, අර මියගිය (දරුවාගේ) පියාත් වැරදියි. ඒ දෙගොල්ලොම දන්නවා ඒගොල්ලන් මේ ගෙවල්/හෝටල් හදන්නේ බෑවුමක... කන්දක් පාමුල... කදු කඩාවැටෙන්න පුළුවන්... මේක තැනිතලාවක් නෙමේ කියලා...

එත් දැන දැන හදනවා..

ඇයි??? එක පැත්තකින් සුවදායක පරිසරය ජීවත්වෙන්න... මීදුම ගලන, සිහිල් සුළන් රැල්ල ගතේ ගැවසෙන, අම්බානක පායන ලංකාවේ පුල්ම කූල් තැනක ඔපේට ජීවත්වෙන්න තියෙන ආසාවට.. අනික් පැත්තෙන් මියගිය පවුලේ අය හෝටලයක් හදනවා ඒ වගේ සුවදායක පරිසරයක පදිංචිවෙන්න බැරුව ගියත් නිවාඩුවකට හරි ඇවිල්ලා ඒ පරිසරය විදින්න කැමති ජනයාගෙන් ආදායම් උපයන්න... මේ දෙකෙන්ම කියවෙන්නේ ආශාව, වින්දනය සහ ආදායම් ඉපැයීම, ලාභය වගේ දේවල් කියලා ඕනේ නම් ඕන කෙනෙකුට ඒ විදිහට උනත් සිද්ධිය විග්‍රහ කරන්න පුළුවන්. 

ඒවා ඔක්කොම හරි. 

එත් එහෙම තේරුම් ගත්තම හැම මනුෂ්‍යාම සියළු දේවල් කරන්නේ ඔය දේවල් වෙනුවෙන් නෙමේද? ඔක්කොමල්ලා කරන්නේ එකයි, එවැනි ඉලක්ක සපුරා ගැනීමටයාමෙන් මේ වගේ මිනිස්සු කොච්චර නම් මැරෙනවාද කියලා හිතුවොත් අර මියගිය දරුවාට, මවට, පියාට, ඒ තුන්පත් රෑන ගැන දුක්සොසුම් හෙලූ සියල්ලන්ගේ කදුල සුසුම නිකම්ම නිකන් වියලිලා යනවා නේද? එහෙම නෙමේ හැම ජීවිතයකටම වටිනාකමක් තියෙන්න ඕනේ.. ඒත් තව ටික දවසකින් පුරුදු පරිදි ලංකාවේ මිනිස්සු ඒ තුන්දෙනාගේ මරණයන් අමතක කරලාදායි. 

එත් පුදුම වැඩේ මොකක්ද දන්නවාද? ආපහු ඔය වගේම තැනකම, සමහරවිට කාලයක් ගිහින්, අර සුනාමියට ගහගෙන ගිය තැන්වල දැන් ආපහු ගෙවල්/හෝටල් හදලා තියෙනවා වගේ, ඔතනම උනත් ආපහු මිනිහෙක් අර වගේම නැතිනම් ඊටත් වඩා හොදට ගෙවල්/හෝටල් හදන් යයි. 

අපේ රටේ මිනිස්සු එහෙම තමයි...

ඔය හුගක් අය කියනවා ලංකාවට නගර සැලසුම් නැහැ... ඉදිකිරීමේ ප්‍රතිපත්තියක් නැහැ..හරි හමන් විදිහට නියාමන සහ ප්‍රතිපත්ති ඇතිව, නිවැරදි අනුමැතිය මත හරිම ප්‍රමිතියෙන් යුතු බඩුදාලා ගොඩනැගිලි හදන්නේ නැහැ...ආදී කථා රාශියක්.

ඒවා ඔක්කොම අත්තවෙන්න පුළුවන්. එත් ඒ හැමදේටම වඩා මිනිස්සුන්ගේ ප්‍රශ්නයකුත් තියෙනවා... ඒ අයගේ තෝරාගැනීම් පිළිබද ප්‍රශ්නයකුත් තියෙනවා...මොකක්දෝ හිස්කමක් වගේම standard එකේ, quality එකේ, level එකේ ප්‍රශ්නයකුත් තියෙනවා...වාසගම ලෙව්කේ උනාට, නිලමේකමක් කරලා තිබ්බට, වලව්වක ඉන්න ඕනේ වගේ පෙනීගියාට, ඉන්න ආසා කදු බෑවුමක. නිකම් A/C වෙන සුපිරියි කියලා පෙනීයන නවීන ගෙයක. ඒ කන්ද උඩම තමන්ගේ ඉඩමට උඩින් තමන්ගේ හිසට කඩාගෙන පත්වෙන්න පුළුවන් තඩි ගොඩනැගිල්ලක් තිබුනත්, තමන්ටත් කාමර ටිකක් කුලියටදීගෙන කීයක් හරි හොයාගන්න පුළුවන් නම් මොන අවධානමක් තිබුනත් එතන තමයි හෝටලය හදන්නේ.. ඔන්න ඕකයි තත්වයේ..

ඕවට තමයි කියන්නේ සල්ලිවටවත්, උගත්කමටවත් ගන්න බැහැල්ලු කෙනෙකුගේ හැසිරීමවත්, කල්ක්‍රියාවත්, බුද්ධිය සහ පන්තියවත් (There are some things that money or education cannot buy, like manners, morals, intelligence and class.)

එක ලංකාවේ විතරක් නෙමේ කොහේ ජීවත්වුනත් මනුෂයෝ වශයෙන් අපි හැමදෙනාටම තියෙන අභියෝගයක්. එම අභියෝගය ජයගන්න පුළුවන් වෙන්නේ හැමවිටම කල්පනාවෙන් වැඩ කිරීමෙන් විතරයි. බූවැලිකඩත් එහිලා අපිට තවත් එක් අවස්ථාවක් සලසනවා. 

මාකස් ප්‍රියන්ත පෙරේරා
25/09/2020

Wednesday, 23 September 2020

''අනේ මේ ධර්මපාලතුමාගේ ප්‍රතිමාව ඔයාට කොහෙන්ද?''

දැන් ටික කාලේකට පෙර අපේ ගෙදර ආව අපේ යාළුවෙක්ගේ බිරිදක් ඔය තියෙන Bust sculpture එක දැකලා පුදුමයෙන් වගේ ඇහැව්වා ''අනේ මේ අනගාරික ධර්මපාලතුමාගේ ප්‍රතිමාවක්නේ...ඔයා කොහෙන්ද මේක ගත්තේ..." කියලා. 

ප්‍රශ්නයට උත්තර දෙන්න කලින් මම එක පාරටම ඇහැව්වේ ඔයා ඉස්කොලේ ගියේ කොලඹ ආනන්ද බාලිකාවටද කියලයි. ඒක තරමක් අමුතු/බලාපොරොත්තු නොවන (odd) ප්‍රශ්නයක් වුනත් මම එහෙම ඇහැව්වේ අනගාරික ධර්මපාලතුමාගේ කෞතුකාගාරය තියෙන්නේ කොලඹ ආනන්ද බාලිකා විදුහල් භුමියේයි. එහි ඉහත වර්ගයේ ධර්මපාලතුමාගේ Bust sculpture කිහිපයක්ම තියෙනවා. ඒවා දැකලා පුරුද්දට ඇය එහෙම ඇහැව්වද කියලා මම හිතපු නිසයි මම එහෙම ඇහැව්වේ. නෑ ඇය එම පාසලට ගිය ශිෂ්‍යයාවක් නෙමේයි. 

මම මේ ධර්මපාලතුමා ගැන කතා කරන්න හිතුවේ පසුගිය සුමානේ එතුමාගේ ජන්ම සංවත්සරයක් යෙදී තිබුන නිසාත්, සමහර ලාංකිකයන්ගේ facebook පිටුවල වගේම ලංකාවේ පත්තරවලත් පසුගිය සතිය පුරාම ධර්මපාලතුමා ගැන පුළුල් සාකච්ඡාවක් ඇතිවි තිබුන නිසයි. 

ලංකාවේ කිතුනු අපිට කෙසේවෙතත් සිංහල බෞද්ධ සමාජයට නම් අනගාරික ධර්මපාලතුමා කියන්නේ සුවිශේෂ චරිතයක්. 

මක්නිසාදයත් අනගාරික ධර්මපාලතුමා තමයි ලංකාවේ යටත් විජිත යුගයේ සිට ක්‍රමයෙන් පරිවර්තනය වෙමින් තිබු ලාංකික සමාජය තුල සිංහල බෞද්ධ අනන්‍යතාවයක් ගොඩනගා ගැනීමට ක්‍රියාකල තැනත්තාවුනේ. 

ඇතැම් විද්වතුන්ට අනුව නූතන සිංහල බෞද්ධ අනන්‍යතාවය ගොඩනැගුවේ අනගාරික ධර්මපාලතුමාගේ මගපෙන්වීම තුලිනුයි. ඔහු එහිලා දෙයාකාරයක ක්‍රියාමාර්ග අනුගමනය කලා. 

එකක් තමයි බටහිර සංස්කෘතිය, ක්‍රිස්තියානි ආගම, බටහිර සභ්‍යත්වය, බටහිර ශිෂ්ටාචාරය සහ බටහිර වටිනාකම් ප්‍රතික්ෂේප කරමින් පැරණි ලංකාවේ පැවති ශිෂ්ටාචාරය ප්‍රවර්ධනය කිරීම. 

අනෙක තමයි එසේ බටහිර සහ දෙමළ, මුස්ලිම්, ක්‍රිස්තියානි ආදී අනෙකුත් අනන්‍යතා ප්‍රතික්ෂේප කරන ගමන්ම ඒ ඒ අනන්‍යතාවල විවිධ අංග උපාංග, සංස්කෘතික ලක්ෂණ එකතුකර ගනිමින් මේ යුගයට ගැලපෙන ලෙස ලංකාවේ පැරණි ශිෂ්ටාචාරය පදනම් කරගත් නූතන සිංහල බෞද්ධ අනන්‍යතාවයක් ගොඩනැගිමට ක්‍රියාකිරීම. උදාහරණයක් ලෙස ක්රිස්තියානින්ගේ නත්තල වගේ වෙසක් උත්සවය සැමරීමට කැරොල් වගේ භක්ති ගීත, නත්තල් කාඩ් වගේ වෙසක් කාඩ් මුද්‍රණය කිරීම ආදී මෙකී නොකී දාහක් දේවල් දැක්විය හැකියි.

මේක හරියට 'දවල් මිගෙල් රැ දැනියෙල්' වගේ වැඩක්. ඒත් අපි අහලා තියෙනවානේ ''පෙදරේරුවා ඉවතදැමු ගලම එහි මුල්ගල විය'' කියලා කථාවක් (The stone the builders rejected has become the capstone - Psalm 118:22). එහෙ උනෙත් එකම තමයි ප්‍රතික්ෂේප කරපු එකම අරන් එහෙටමෙහෙට කරලා අළුත් එකක් හදාගත්තා. ධර්මපාලතුමාගෙන් පස්සේත් ඔහුගේ ඒ වැඩ පිලිවෙල ලංකාවේ විවිධ අය විවිධ ක්ෂේත්‍ර ඔස්සේ දිගටම ක්‍රියාත්මක කලා .

එහිදි යම් ආකාරයකට ලංකාවේ පැරණි ශිෂ්ටාචාරය පදනම් කරගත් නූතන සිංහල බෞද්ධ අනන්‍යතාවයක් ගොඩනගා ගැනීමට ලංකාවේ සිංහල බෞද්ධ ජනයාට හැකිවුනත් ශ්‍රී ලංකාවට රටක් වශයෙන් බොහෝදේ අහිමිවී ගොස් තිබෙනවා. අහිමිවූ විශාලමදේ තමයි සිංහල බෞද්ධ (සහ, පසුකාලීනව ඊට ප්‍රතිපක්ෂව ගොඩනැගුන ලංකා දෙමළ) ආදී වාර්ගික ජාතිකත්වයන් (ethnonationalism/Ethnic-nationalism) ගොඩනගා ගැනීමට සමත්වුවත්: ශ්‍රී ලාංකික නම් සමස්ත දේශයම නියෝජනය කල හැකි පුළුල් සිවිල් ජාතිකත්වයක් (Civic nationalism) ගොඩනගා ගැනීමට නොහැකිවීම. එක තමයි නිදහසෙන් පස්සේ අපිට අහිමිවූ, තවමත් කීයටවත් අත්කරගැනීමටවත් පුළුවන් කියලා හිතන්නවත් බැරි විශාලතම නොලැබීම. 

ඊට අමතරව අහිමිවූ බොහෝ දේවල් තිබෙනවා. ශ්‍රී ලංකාවටම කියලා සම්භව්‍ය සංගීතයක්වත් නොතිබීමත් ඉන් එකක්. අද අපි ලග ඇති ශාස්ත්‍රීය සංගීතය කියන්නේ ඉන්දියානු දෙයක්...බටහිර සම්භාව්‍ය සංගීතය ලංකාවට තවමත් ආගන්තුකයි. මහජනයාට කිසිසේත්ම රසවිදීමට හෝ ඉගැනීමට ඉඩක් නැති, අවකාශයක් නැති ක්ෂේත්‍රයක්. එනිසා තමයි අපේ මිතුරාගේ බිරිදට අර අපේ ගෙදර තියෙන Mozartගේ Bust sculpture එක නුහුරුවෙන්නේ, අදුනගන්න බැරිවෙන්නේ... අනගාරික ධර්මපාල වගේ පෙන්නේ...

මම හිතන්නේ ලංකාවේ තරමක් හරි බටහිර සම්භාව්‍ය සංගීතය ගැන පරිචයක් සහ නැබුරුවක් ඇති පිරිසක් ඉතුරුවෙලා තියෙන්නේ ABRSM හරි Trinity College හරි music exam කරන පිරිස නිසා නෙමේයි: කතෝලික/ක්‍රිස්තියානිපල්ලි නිසයි. ඒවායේ කැරොල්/පසන්/කන්තාරු/choir නිසයි. ඉන් පුහුණව ලැබූ පිරිසක් වගේම, ඔවුන්ගෙන්, ඒවායින්, ආශ්වාදය ලද පිරිස් නිසා අදටත් ලංකාවේ බටහිර සංගීතය කියලා යමක් ඉතුරුවෙලා තියෙනවා. ඒත් එකත් බටහිරම නෙමේ. ධර්මපාලගේ පාරේ ගිහින් ලංකාවේ පැරණි ශිෂ්ටාචාරය පදනම් කරගත් නූතන සිංහල බෞද්ධ අනන්‍යතාවය අනුව ගොඩනැගුන එකකුත් නෙමේ. ලංකාවේ ක්‍රිස්තියානි ජනයාගේ අනන්‍යතාවය කියන්නේ බටහිරමත් නොවන සිංහලමත් නොවන වෙනම එකක්. එකට හේතුව එහි 'මුල' බටහිර වීමත් 'කද' දේශීය වීමත් වීමයි. ඉතින් මල්, පලතුරු, කොළ ගැන අමුතුවෙන්ම හිතාගන්න ඕනේ නේ...හැබැයි ඒ අයට ධර්මපාලවත් අදුන ගන්න පුළුවන් Mozartවත් අදුනගන්න පුළුවන්... 

කාට හරි ඕනේ නම් එක ගැන කියන්න පුළුවන් 'මට නම් ඒ ගැන ඇත්තේ සතුටක් වගේම ආඩම්බරයක්' කියලා. නමුත් එකත් වැරදියි... මොකද එකට කියන්නේ ස්වොත්මවාදය (chauvinism) කියලයි. ඒ කියන්නේ තමන්ගේ දේ උසස් කියලා හිතීමවගේ දෙයක්. කිසිම අනන්‍යතාවයක්වත්, සංස්කෘතියක්වත් අනිකට වඩා උසස්වත් පහත්වත් නෑ. අරකට වඩා මේක ඉස්මතුකර දැක්වීමවත් මේකට වඩා අරක ඉස්මතුකර දැක්වීමවත් තේරුමක් නැති දේවල්. ඒවා සියල්ලම මිනිස් වර්ගයාගේ නිර්මාණ. එකක් අනෙකෙන් පෝෂණය වෙනවා. එකක්වත් ප්‍රතික්ෂේප කරන්නවත් ඉවත දමන්නවත් අවශ්‍ය නැහැ. කොහෙත්ම අපිට ධර්මපාලගේ මාර්ගයේ යන්න ඕනේ නැහැ... අපිට අවශ්‍ය සාර්වභෞමික, විශ්වදේශි (cosmopolitan) මනුෂ්‍ය ප්‍රජාවක් වීමටයි. 

මාකස් ප්‍රියන්ත පෙරේරා.
23/09/2020

Monday, 21 September 2020

පාස්කු ප්‍රහාරයට මාස17යි, කොමිසම බලධාරීන් නිදහස්කර නිලධාරීන් හිරකරයිද?

අද, 2020සේ සැප්තැම්බර් 21ක්වන දිනය විට පාස්කු ප්‍රාහාරයට මාස 17ක් ගතවී ඇත.  එහෙත් අප කිසිවෙකුගේ හදවත් තුලින් පාස්කු ප්‍රහාරය පිළිබද ඛේදනීය මතකය හෝ ඒ වේදනාබර අත්දැකීම තවමත් වියැකී ගොස් නැත. මීට වසර 2020කට පෙර මරාදැමු ක්‍රිස්තුන්වහන්සේගේ මරණය සහ දුක්ප්‍රාප්තිය සිහිකරන ක්‍රිස්තු අනුගාමිකයින්වන කිතුනුවන්, විවිධාකාර වදහිංසාවන්ට ලක්කරමින් මරාදැමූ ක්‍රිස්තියානි ආගම වැලදගත් ජනයා සාන්තුවරුන් ලෙස සදාසමරන කිතුනුවන්, ඉකුත් වසරේ අප්‍රියල් 21 දින සිය දේවස්ථාන තුල මරාදැමු කිතුනුවන්ව කිසිසේත්ම අමතක කරන්නේ නැත. ඔවුන්ව මෙන්ම ඔවුන් මුහුණදුන් පාස්කු ප්‍රහාරයද කිසිසේත්ම කාලයේ වැලිතලාවට වැළලීයෑමට ඉඩදෙන්නේ නැත. පාස්කු ප්‍රහාරයෙන් මියගිය ජනයා ඔවුන්ට 'නම් නොකල' සාන්තුවරුන්ය. ඔවුන් සිය ජීවිත පුජාකළ භූමීන් ශුද්ධවූ භූමීන්ය.

ඒ කිතුනුවන්ගේ පැත්තෙනි.

එහෙත් පාස්කු ප්‍රහාරය ගැන මතකය බොහෝ ශ්‍රී ලාංකිකයින්ට යලි යලිත් අවදිකරනු ලබන්නේ දැන් ක්‍රියාත්මකවන පාස්කු ප්‍රහාරය පිළිබද ජනාධිපති කොමිසමේ විමර්ශන කටයුතු නිසාය. ඇත්තවශයෙන්ම, වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පිහිටවූ පාස්කු ප්‍රහාරය පිළිබද ජනාධිපති කොමිසම කලින් පැවැත්වූ සියළු විමර්ශනයනයන්ට වඩා පුළුල් සහ ගැබුරට විමර්ශන කටයුතු සිදුකරමින් සිටිනබවක් පෙනේ. ඒ ඊට කලින් පැවති කොමිසන් සහ විමර්ශන ඔස්සේ හෙලිනොවූ කරුණු රාශියක් හෙළිවීම නිසාය. 

විශේෂයෙන්ම, රාජ්‍ය බුද්ධිඅංශ ප්‍රධානීන් සහ අනෙකුත් ආරක්ෂක ප්‍රධානීන් අතර පැවති ආකාර්යක්ෂම සහ වගකීම්විරහිත ක්‍රියාකලාපය කෙතරම් ජනජීවිත ප්‍රමාණයක් අනතුරේ හෙලාඇද්ද යන්න කොමිසමේ සාක්ෂි වලින් මොනවට පැහැදිලිවේ. එහෙත් සිසිර මෙන්ඩිස් මහතාවත් නිලන්ත ජයවර්ධන මහතාවත්, හේමසිරි ප්‍රනාන්දු මහතාවත් වෙනත් රාජ්‍ය ආරක්ෂක ප්‍රධානියෙක්වත් ඒගැන කණගාටුවෙන බවක් හෝ සාතීශීය වශයෙන් මනස්ථාපනය වනවගක් ඔවුන්ගේ සාක්ෂිවලින් නොපෙනේ. ඔවුන් එක්තරා ආකාරයකට සිදුකරමින් සිටින්නේ හිටපු ජනාධිපති සිරිසේන මහතා සිදුකලා මෙන් ''මන් මොකටද සමාව ඉල්ලන්නේ මම දැන ගෙන සිටියේ නැහැ නේ..'' බදු ක්‍රියා මාර්ගයකි. වෙනස ඇත්තේ ''ඔව් අපිට දැන ගැනීමට ලැබුනා, මම ඒක අරයට පැවරුවා එත් එයා ඒක කලේ නෑ'' වැනි ක්‍රියාමාර්ගයක් ඉහත නිලධාරීන් අනුගමනය කිරීමය. ඔවුන් සිදුකරමින් සිටින්නේ එකිනෙකාට බෝලේ පාස්කිරීමය. එසේ කරමින්  සිය වගකීම්වලින් නිදහස්වීමට උත්සහ කිරීමය.

ඔවුන් සිය වගකීමෙන් නිදහස්වීමට  එකිනෙකාට ඇගිලි දික්කර ගන්නවා මිස අපේ ජනයාගේ ජීවත්වලට සිදුවූ හානිය ගැන, විපතට පත් ජනයා ගැන, වගකීම් බාර ගැනීමට ඉදිරිපත් වන්නේ නැත. 

අපේ ජනයාට සිදුවූ විනාශය ගැන වගකීම් බාර ගැනීමට කිසිවෙකු ඉදිරිපත් වන්නේ නැද්ද?

තොරතුරු දැන දැනත් ඔවුන් ඒ ජනයා විනාශ මුඛයට යාමට ඉඩදී බලාසිටියේ ඇයි? 

සියල්ල මරාගෙන මැරුණු බෝම්බකරුවන්ට සහ සහරාන්ට බාර කරමින් ඔවුන් හදන්නේ අත හොදාගැනීමටද?  

අපිට අනුව ක්‍රිස්තුස් වහන්සේගේ රුධීරයට තමා සම්බන්ද නැතයි යනුවෙන් දක්වමින් සිය දෑත සෝදාගත් පමණින් 'පිලාත්' වුවද නොදොස්වන්නේ නැත. ඒ අනුව එක් එක් නිලධාරීන් සිය වගකීම තව කෙනකුට පැවරීමෙන් සමස්ත වගකීමෙන් ඔවුන්ටද නිදහස් වියනොහැක. ඉන් මිදිය නොහැක. සියළු තොරතුරු දැන දැනත් මේ අපරාධය වැලක්වීමට කිසිවක් නොකිරීම ගැන ඔවුන්ට පැහැදිලිවම දඩුවම් හිමිවිය යුතුය. 

මේ අතර හිටපු ආරක්ෂක ඇමති මෙන්ම හිටපු ජනාධිපති සිරිසේන මහතාද හීන් සීරුවෙන් පාස්කු ප්‍රහාරයේ වගකීමෙන් නිදහස්වන බවක් පෙනේ. එයට හේතුවන්නේ කොමිසමේ  සාක්ෂි අනුව ඔහු කිසිවක් දැන නොසිටි බවක් පෙන්වාදීමට උත්සහයක් ක්‍රමයෙන් දියත්වෙමින් තිබීමය. 

ඔහු දැන සිටියද? නොසිටියද? රටේ ජාතික ආරක්ෂාව අනතුරේ හෙළුවේ ඔහුය. ඔහු සහ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ අතර ඇතිවූ බල අරගලය  රටේ ආරක්ෂාව අනතුරේ හෙලුවා පමණක් නොව ආරක්ෂක නියෝජ්‍ය ඇමතිවරයාවද, අගමැතිවරයාවද, පොලිස්පතිවරයාද  ආරක්ෂක කවුන්සිලයේ රැස්වීමට පවා ගෙන්වා නොගත්තේය. එපමණක් නොව පාස්කු ප්‍රහාරය සිදුවනවිට රටේ නොසිටි ජනාධිපතිවරයා වෙනුවට ආණ්ඩුවේ ඊලග ප්‍රධානියාවූ අගමැතිවරයාගේ රැස්වීමකටවත් නොයන ලෙස නිලධාරීන්ට උපදෙස් දෙන තරමට නහීන තත්වයකට ජනාධිපතිවරයා පත්ව සිටියේය. ඔවුන්ගේ බල පොරයට බිලිවුයේ අපේ අහිංසක ජනයාය.

රනිල්ගේ බලලෝහී තක්කඩි දේශපාලනයට ජනතාව නිසි පිළිතුරක් දී ඇතත් හිටපු ජනාධිපති සිරිසේන සුපුරුදු නූල් සුස්තරයෙන්ම ඇග බේරාගැනීමට ගන්නා නිවට උත්සහය පරාජය කල යුතුය. ජනතාව අනතුරේ හෙලු  පාලකයන්ට, බලධාරීන්ට, නිලධාරීන්ට පැහැදිලිවම නීතියානුකුලව දඩුවම් හිමිවිය යුතුය. එසේ නොවේ නම් නැවත නැවත ලාංකීක සමාජය අනතුරේ හෙලීම වැළක්විය නොහැකිවෙනු ඇත. 

සිය වගකීම නිසි පරිදි ඉටුනොකරමින් කටයුතු කල සියල්ලන්ගේම නිරුවත පැහැදිලිවම හෙළිවිය යුතුව ඇත. සිය පියාගෙන් හෝ ලැබූ තොරතුරක් ගැන කිසිවක් නොකල හරීන් ප්‍රනාන්දු සිය වගකීම හරි හැටි ඉටුනොකරමින් සිය වගකීම් විරහිත ක්‍රියා කලාපය වසාගැනීමට කාදිනල් මැල්කම් රංජිත්ට ඇගිල්ල දික්කිරීමට ගත් උත්සහය පරාජය කිරීමට ලැබීම පසුගිය සතියේ කොමිසමේ ක්‍රියාකාරීත්ව තුල ලංකික කිතුනුවන් ලද ජයග්‍රහණයකි. 

හරීන් ප්‍රනාන්දු වගකීමක් ඇති මහජන නියෝජිතයෙක් නම් සිය පියාගෙන් ලද තොරතුර හමුවේ ඔහු එක්කෝ ඒ පිලිබදව අදාල අංශවලින් විමසීමක් කල යුතුව තිබුණි. නැතහොත් සිය පක්ෂ නායකයා දැනුවත්කර ඒ පිළිබවද කටයුතු කල යුතුව තිබුණි. නැතිනම් කාදිනල්වරයාට දුරකථන ඇමතුමක් ඔස්සේ හෝ දැනුවත් කල යුතුව තිබුණි. නැතහොත් තමා ඉගෙනගත් සා. ජෝසප් විදුහලේ විදුහල්පති පියතුමාවත් දැනුවත් කල යුතුව තිබුණි. එහෙත් ඒ කිසිවක් ගැන අවධානය යොමු නොකර වගකීම් විරහිතව කටයුතු කල කතෝලික මහජන නියෝජිතයෙක්වූ හරීන් ප්‍රනාන්දු පාස්කු ප්‍රහාරයෙන් පසුව සිය පියාද ප්‍රහාරය ගැන දැනසිටි බව කිව්වේය. 

දැන දැනත් තමා කිසිවක් කිරීමට ඉදරිපත් නොවීම ගැන, කිසිවක් නොකිරීම ගැන ඔහු කනගාටුවන බවක්ද නොපෙන්වීය. පසුව සිය 'කයිචාන්ඩු' භාෂා විලාශයෙන් නිවේදන නිකුත්කරමින් කාදිනල්වරයා ප්‍රමුඛ කතෝලික සභාවට චෝදනා එල්ල කිරීමට පැමිණියහ. එසේවුයේ ''ඇමති පුතා බේරුනා අපේ දරුවෝ මිය ගියායැයි'' කදිනල්වරයා කර තිබු ප්‍රකාශය නිසාය. කොමිසම හමුවේ දිගහැරී ඇති කරුණු අනුව කාදිනල්වරයා කර ඇති ප්‍රකාශය පැහැදිලිවම සත්‍ය ලෙස පෙනීයනුවේ හරීන් ප්‍රනාන්දුගේ අගනුවර ප්‍රකට කතෝලික විදුහලක ඉගෙනුම ලබන ඥාති පුත්‍රයෙකු පවා එදින පැසිපන්දු පුහුණුවකට සහ පසුව යෙදීමට නියමිතව තිබු කොච්චිකඩේ සා.අන්තෝනි පල්ලියේ  යැදුමකට සහභාගීවී නොසිටීමය. සිදුව ඇත්තේ අනතුර ගැන තොරතුරු ලැබුන නිසා හරීන්ලා  සිය දරුවන් බේරාගැනීමට කටයුතු කලද සෙසු ජනයා බේරාගැනීමට කටයුතු නොකිරීමය. එය මහජන නියෝජිතයෙකු වශයෙන් ඔහුට පැවරුන වගකීමෙන් කරඇරීමක්ය. ඔහු කර ඇත්තේද සෙසු ජනයා අනතුරට ලක්වනතුරු කිසිවක් ගැන කිසිවක් නොකරමින් බලාසිටීමය. ඔහු එසේ කලේ සිය පක්ෂය තුල රනිල්ට කෙලවා සජිත්ව බලයට ගෙන ඒමට දැයි අපි නොදනිමු. එහෙත් ඔහු දැන දැනම කදිනල්වරයාගේ නම විනාශ කිරීමට නම් කටයුතු කළේය. 

ඒ කාදිනල්වරයා පාස්කු ඉරුදින පුජාව පැවැත්වුයේ නැත්තේ ඇයි දැයි ප්‍රශ්න කිරීමෙනි. කාදිනල්වරයා පුජාව තියන්නේ පාස්කු ඉරිදා උදෑසන නොව ඊට පෙරදා එනම් ආලේලුයියා සෙනසුරාදා මධ්‍යම රාත්‍රියේ බව ඔහු නොදැන සිටින්නේ කෙසේද? පාස්කු දා පමණක් නොව නත්තල් දා වුවද කාදිනල් පුජාව තියන්නේ නැති බවත් ඔහු පුජාව තියන්නේ ඊට පෙරදින, දෙසැම්බර් 24, මධ්‍යම රාත්‍රීයේ බවත් හරීන් කවදාවත් දැන සිටියේ නැද්ද? ඔහු නම් පුදුම කතෝලිකයෙකි. තමන් ලද තොරතුර ගැන කිසිවක් නොකරමින් සිය වගකීම පැහැර හැරීම සම්බන්දයෙන් මහජන නියෝජිතයෙක් වශයෙන්, විශේෂයෙන්ම කතෝලික මහජන නියෝජිතයෙක් වශයෙන්, හරීන් ප්‍රනාන්දු මනස්ථාපානය වන්නේ කවදාද?

ඒ සියල්ල එසේ වනවිට, පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශනය කරන ජනාධිපති කොමිසම ගැනද, එය ගමන් කරන දිසාව ගැනද, වචනයක් සදහන් කළයුතුවම ඇත. 

මට පෙනී යන ලෙස කොමිසම නිලධරීන් වගකීම් පැහැර හැරීම ගැන සිය අවධානය සම්පුර්ණ ලෙසම යොමු කරනවා මිස සහරාන්ගේ ඉස්ලාමීය අන්තවාදීන් සන්නද්ධවුයේ කෙසේද? ඔවුන් පුපුරණ ද්‍රව්‍ය රැස්කර ගත්තේ කෙසේද? ඔවුන්ගේ ඉලක්කය සකස් කලේ, නැතහොත් පාස්කු ඉරිදා දිනයේදී ප්‍රහාරය එල්ලකිරීමට කටයුතු කලේ ඇයි? සහ, ඒ සදහා උපදෙස් දුන්නේ කවුද? යන්න ගැන ප්‍රමාණවත් විමර්ශනයක් සිදුකරන බවක් නොපෙනේ. එමෙන්ම දැන් හෙළිවී ඇති කරුණු අනුව මීගමුව කටුවපිටියේ බෝම්බකරුගේ බිරිදවූ 'පුලස්ති' ඉන්දියාවට පලාගියේ කෙසේද? විමර්ශන කටයුතු සදහා ඇයව ලංකාවට භාරදෙන මෙන් ඉල්ලා සිටීනවාද? ආදිය ගැන හෝ ඒ සම්බන්දයෙන් හෙළිවී ඇති කරුණු පිලිබදව විමර්ශනය කිරීමට කොමිසම අවධානය යොමුකරන බවක් නොපෙනේ.

එහෙත් පාස්කු ප්‍රහාරය එල්ලවූයේ ඉන්දීය මහා මැතිවරණ සමයේය. ප්‍රධාන අපේක්ෂකයාවූ අගමැති මෝදී දැඩි මුස්ලිම් විරෝධී මැතිවරණ ප්‍රචාරයක නිරතවෙමින් සිටියදීය. ලංකාවේ පාස්කු බෝම්බ ප්‍රහාරය ගැන වැඩියෙන්ම අනතුරු ඇගේව්වේද ඉන්දියාවය. මෙහි ඇති සහසම්බන්දතා ගැන කොමිසම අවධානය යොමුකරන්නේ නැද්ද? 

ඒගැන කොමිසමේ අවධානය යොමුකිරීමට කාදිනල්තුමා ප්‍රමුඛ  ශ්‍රී ලංකා කතෝලික පල්ලිය කටයුතු කරන්නේ නැද්ද? පාලකයින්, බලධාරීන් නිදහස්වී නිලධාරීන් පමණක් වරදකරුවන්කර කොමිසමට සිය විමර්ශන කටයුතු බාගෙට අවසන් කිරීමට ඉඩ දී බලාසිටිමුද? එය අප කිසිවෙකුගේ බලාපොරොත්තුව නොවේ. පාස්කු ප්‍රහාරය පිටුපසින් ඇති සියළු අංශයන් ගැන පුර්ණ ලෙසම තොරතුරු හෙලිකරගැනීමට කටයුතු කලයුතුමය. එසේ නොමැතිව සැකසෙන ආරක්ෂාවක් වත්, ජාතික ආරක්ෂාවත් නැත. 

පාස්කු ප්‍රහාරයෙන් මියගිය සහ විපතට පත්වූ ජනයා වෙනුවෙන් යුක්තිය සහ සාධාරණත්වය වෙනුවෙන් දිගින් දිගටම හඩනගමු !!! ඔවුන් වෙනුවෙන් අඛණ්ඩව නැගී සිටිමු!!!


මාකස් ප්‍රියන්ත පෙරේරා 

21/09/20.

Sunday, 20 September 2020

මීගමුවේ කොස් කෑම

මට මතක විදිහට දිවුලපිටියේ හෙන්පිටිගෙදර පියනන්ද හාමුදුරුවෝ 1965 ලියපු 'ගමක වෙනස' කියන නවකතාවේ එකතැනක කියනවා මීගමුවෙන් කත් බැදන් එන මාළු වෙළෙන්දෝ ආපහු යද්දී කොස් අරන් යනවා කියලා...ඇත්තටම මීගමු පොලේ, මාකට්වල කොස් විකුණන්න තිබුනත් මීගමුවේ එහෙම සාරේට කොස් වැවෙන පලාතක් නෙමේ...

පත දෙල් ගස් නම් අඩුවක් නැතිව තිබුනා...

එත් මීගමුවේ මිනිස්සු මස්,මාළු, කරෝල එක්ක කොස් කන්න රුසියෝ. 

ඉස්සර මාකට් එකේ ලපටි කොස් හෙවත් හෙරළි ලියන කාන්තාවෝ කිහිපදෙනෙකුම හිටියා. මීගමුව සා. පීතර විදුහල අසල පිහිටි බන්දුල මාර්කට් එකට ඇතුල්වෙන තැනම කාන්තාවන් තුන්දෙනෙක් හෝ හතර දෙනෙක් හෙරළි ලිවීම ජීවිකාව කරගෙන ජීවත්වුවා. ඒ අය අතර ඇග්නස් නැන්දා නම් කාන්තාවක්දවූ බව මට තවම මතකයි. නගර මධ්‍යයේ පිහිටි බන්දුල මාකට් එක හැරුනහම මීගමුව පොලේද, කාමච්චෝඩේ පිහිටි ඩඩ්ලි මාකට් එකේද, පෙරියමුල්ල සහ කොච්චිකඩේ මාකට්වලද, දළුපොත සහ දළුවකොටුව කඩපේලිවලද,මුන්නකරය අලියා පිට්ටනිය අසලද ලපටි කොස් හෙවත් හෙරළි  ලියන කාන්තාවන්හෙරළි ලිවීම මෙන්ම කොස් විකිණීමද ජීවිකාව කරගත් කාන්තාවන් සැලකිය යුතු පිරිසක් සිටියා. මීගමුවේ මිනිස්සු පෝලිමේ ඉදලයි ඒ අයගෙන් කොස් හෙරළි අරන් ගියේ. ගම්බිරිස් රසට හෙරළි මැල්ලුම පිලියල කිරීම මීගමුවට ආවේනික ව්‍යංජනයක් විදිහට ඒ දවස්වල බොහෝ ප්‍රසිද්ධියක් දිනා සිටියා. (මීගමුවේ අතීත නිෂ්පාදන සහ පරිභෝජන රටාව ගැන මගේ පැරණි ලිපියක මින් පෙර සටහන් කලා එය මෙතනින් කියවිය හැකියි.)

ඇත්තටම එළවළුවක් විදිහට හරි තම්බලා කන ආහාරයක් විදිහට හරි කොස් මීගමුවේ ජනප්‍රිය ආහාරයක් වීම නිසාම අර මාළු වෙළදාමේ ගිය වෙළෙන්දෝ ආපහු මීගමුවට එද්දී කොස් අරන් ආවා කියන එක පිළිගන්න පුළුවන්. මාළු කත් කාරයෝ කොස් අරන් ආවා කියන එකෙන් පෙනීයන දෙයක් තමයි මීගමුව වෙරළ අද්දර කෙසේවෙතත් මීගමුවේ සිට හැතැප්ම කිහිපයක් රටතුලට ගමන් කරපුවහම ඕනෑ තරම් කොස් හොයාගන්න පුළුවන් කියන එකයි. මීගමුවේ ඉදන් මාළු අරගෙන කත් කරුවන් අවට පළාත්වලට ගියා වගේම තමයි මීගමුව අවට පිහිටි මිනුවන්ගොඩ, දිවුලපිටිය, කටාන, මැල්ලව ගෙදර ආදී අවට පළාත්වලින් මාළු මිලදී ගැනීමට මාළු වෙළෙන්දන්ද පැමිණියා. ඔවුන්ද මීගමුවට කොස් ගෙනා බව පිළිගන්න පුළුවන්. මේ සියල්ලෙන්ම කියවෙන්නේ මීගමුවේ ජයටම කොස් කෑමක් තිබුන බවයි. 

ඔය ටික මට කියන්නවුනේ ඉහත ජායාරූපය දැක්කහමයි.

1950 වර්ෂයේදී මීගමුවේදී ගනුලැබු ජයාරූපයක් ලෙස දැක්වෙන්නේ මෙම ජායාරූපයේ දැක්වෙන්නේ මගීන් පිරිසක් මීගමුව කලපුවෙන් ඔරුවක නැගී ගමන් කරන්න සුදානම්ව සිටින ආකාරයයි. ඉස්සර මීගමුවේ කොතලාවල පාලම හදන්න කලින් දූව, පිටිපන, තලාහේන, මුන්නක්කරය, දුන්ගාල්පිටිය දක්වා ප්‍රදේශවලට මිනිස්සු ගමන්කලේ ඔරුවෙන්.

කොහොම හරි, ඔය ඔරුවේ යන්න යන මගීන් අතර ඇති කූඩවල තියෙන්නේ කොස්ගෙඩි කියලා පැහැලිව පේනවා. ඒවගේම එම කූඩ මීගමුවේ බහුලව භාවිතාකරන මාළු වට්ටි නැතිනම් මාළු කූඩ කියලත් පැහැදිලියි. ඒ කියන්නේ මේ ජායාරූපයේ ඉන්නේ, අර හාමුදුරුවන්ගේ පොතේ කියනවා වගේ උදේ මාළු විකුණන්න ගිහින් හවස කොස් අරන් එන මාළු වෙළෙන්දන්/වෙළෙන්දියන් පිරිසක්ද? බලන්න දන්න කියන අය එහෙම ඉන්නවාද කියලා....

ඒවගේම මෙම ජයාරූපයේ සිටින කාන්තාවන් ඇදන් සිටින හැට්ට ගැන ද යම් කථාවක් මතුවුනා. එහිදී කියවුන දෙයක් තමයි වැලමිටෙන් පහලට අත් ඇති හැට්ට ඇදන් හිටි කාන්තාවන් බොහෝදුරට මීගමුව පිටිපන පැත්තේ කාන්තාවන් විය හැකි බවත්... වැලමිටෙන් ඉහලට අත් ඇති හැට්ට ඇදන් සිටි කාන්තාවන් බොහෝදුරට දූව, තලාහේන පේරුව ආදී ප්‍රදේශවලට අයත් කාන්තාවන් විය හැකි බවත් කියවුනා. දැන් මීගමුවේ කාන්තාවන් අතර දැකිය නොහැකි මේ ඇදුම්වල වෙනස්කම කුල වෙනස්කම් මත නිර්මාණය වුවක් ලෙස පිළිගත හැකියි. 
 
1955දී මීගමුව කලපුව හරහා කොතලාවල පාලම ඉදිකිරීමත් සමග දූව, පිටිපන පළාත්වලට ඔරුවෙන් යෑම නතර වුනත් තවමත් කොස් කෑම අත් හැරී නැහැ. මෙම ජායාරූපයේ දැක්වෙන සරුසාර පොල් වගාවත් දැන් මීගමුවේ දැකීමට නැහැ. සරු සාර පොල්වතු කුඩා කුඩා ඉඩම් කුට්ටිවලට බෙදිලා දැන් පොල් ගස්වලට වැඩිය තියෙන්නේ ගෙවල්. ඒ කාලේ කොච්චර නම් පොල්වතු මීගමුවේ තිබුනද කියලා හිතා ගන්න වෙන්නත් මේ වගේ ජයාරූපවලින්ම තමයි.

මාකස් ප්‍රියන්ත පෙරේරා
20/09/2020

Monday, 14 September 2020

හරිනි අමරසූරිය මතුකරන කාන්තාවන්ගේ නොගෙවන ශ්‍රමය පිළිබද ප්‍රශ්නය


''මෙතන ඉන්න කාන්තාවෝ වැඩිදෙනෙක් මිනීමරුවෝ"

ස්වාමීන්වහන්සේ නමක් බණකදී එහෙම කියන Facebook එකේ සංසරණයවූ වීඩියෝවක තිබී මම අහගෙන හිටියා. ඉතා ප්‍රසිද්ධ හාමුදුරු නමක් වූ උන්වහන්සේ එහෙම කියන්න හේතුවුනේ දැන් කාන්තාවන් ඉස්සර වගේ දරුවන් හදන්නේ නැහැ කියන අදහස ගෙනහැර දැක්වීමටයි. එහිදී ඒ හාමුදුරුවෝ කිව්ව දේ තමයි එම හාමුදුරුවන්ගේ පවුලේ 10දෙනෙකු සිටි බවත්, අම්මා එම දරුවන් 10 දෙනාව රැක බලාගෙන, ගෙදර වැඩ කරගෙන, උයා පිහාගෙන, මේ සියළු දේවල් කරගෙන සිටියත් දැන් කාන්තාවන් එහෙම කරන්න අපොහොසත් බවයි. 

ඇත්තටම දැන් කාන්තාවන් එහෙම දරුවන් විශාල ප්‍රමාණයක් හදන්නේ නැතිවුනත්, පවුල් වල එහෙම දරුවෝ වැඩි දෙනෙක් නැතිවුනත්, කාන්තාවන් කරන, නැතිනම් කරන්න තියෙන වැඩ ප්‍රමාණයේ අඩුවීමක් වෙලා තියෙනවාද? 

නැහැ. 

වැඩ ප්‍රමාණය තව තවත් වැඩිවෙලා තියෙනවා...විශේෂයෙන්ම දරුවන්ගේ වැඩ වැඩිවෙලා තියෙනවා...අර පන්තියටයි, මේ පන්තියටයි ඇදලාම වෙලාව ගෙවිලා යනවා. උයන පිහන ගේ දොර වැඩ වලට අමතරව රැකියාවකුත් කරන්න වෙලා තියෙන්නවා.

ඒ නිසා සමහර කාන්තාවෝ නැගිටින්නේ උදේ පාන්දර 4ට 5ට. ඒ අස්සේ වයසට ගිහින් ඉන්න දෙමාපියන්ව බලාගන්න හරි, අසනීප ළමයෙක් රැක බලා ගන්න ආදී කාරණයක් පැවරුනොත් එකත් වැටෙන්නේ ඇයගේ කර මතටමයි. එත් කවුරුත් කථා කරන්න කැමති පවුල්වල දරුවන් අඩුයි කියන එක හෝ කාන්තාවන් දරුවන් හදන්නේ නෑ කියන එක විතරයි. 

කාන්තාවන් දරුවන් බලාගැනීම සහ කාන්තාවන් ගෙදර තුල කරන විශාල කාර්යභාරය, ඒ කියනේ ආහාර සකස්කිරීම, දරුවන් රැක බලා ගැනීම, වැඩිහිටියන්, රෝගීන්, විශේෂ අවශ්‍යතා තියෙන අය රැකබලාගැනීම යනාදිය සදහා ඒ අය වැටුපක් නොලැබුවත් ඒ වැඩේ කරන්න පිටින් කවුරු හරි ගන්න උනොත් එකට මුදලක් ගෙවන්න වෙනවා...

අපේ කාන්තාවන් මැද පෙරදිග ඇතුළු බොහෝ රටවලට ගිහිල්ලා කරන්නෙත් එවැනි වැඩ තමයි. හැබැයි ඒවාට වැටුපක් ලැබෙනවා...නමුත් ගෙදර ඉදන් ඒ ටිකම කලත් එහි අගයක් නැහැ...ඒවා කාන්තාවන්ගේ වගකීම් කියලා හිතන එක විතරයි වෙන්නේ...

වැටුපක් නොලබා මේ කරන වැඩ කොටස සමාජයේ මෙන්ම ජාතික ආර්ථිකයේද ඇගයීමට ලක්විය යුතුයි කියලා මාලිමාවෙන් පත්කළ මන්ත්‍රිනී හරිනි අමරසූරිය මහත්මියගේ මංගල පාර්ලිමේන්තු කථාවෙන්ම, මෙතෙක්  ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුල සාකච්චාවට ලක්නොවූ, මෙම කාරණය  ගැන සදහන් කිරීම ඉතා වටිනවා...ආර්ථික ප්‍රතිපත්ති සකස් කිරීමෙන්දී එම සේවා ගැන නිසි සැලකිල්ලක් යොමුවිය යුතුයි. මම හිතන්නේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුල ඇය මතු කල කාරණයට රට පුරාම විශාල අවධානයක් යොමුවිය යුතු බවයි. 

මේම රටවල නම් ගෙදර ඉදන් කාව හරි බලාගන්නවා නම් එකට මුදලක් ගෙවනවා...තමන්ගේම දරුවෙක් හරි තමන්ගේම දෙමාපියන් වුනත් බලාගත්තත් ඒ සදහා මුදලක් ගෙවනවා. එය caregivers ලෙස හදුන්වා දෙනු ලබනවා. මෑතකදී සිදුකල ගණන් බැලීම්වලට අනුව බ්‍රිතාන්‍ය ආර්ථිකය තුල පමණක් ගෘහස්ථ වශයෙන් කාන්තාවන් සිදුකරන කාර්යන්හි ශ්‍රමයේ දායත්වය බ්‍රිතන්‍යය ආර්ථිකය තුල පවුම් ට්‍රිලියන 1.24ක ලෙස සලකනවා.

ඇත්තවශයෙන්ම ලංකාව තුලත් මේ තත්වය ගැන අවධානය යොමු කල යුතුයි. වැටුප් ලබා හෝ නොලබා කාන්තාවන් කරන මේ කාර්යභාරයන්ට සමාජ පිළිගැනීමක් මෙන්ම ආර්ථික වටිනාකමකුත් හිමිවිය යුතුයි. 

"එය කිරීම කාන්තාවන්ගේ උරුමය ලෙස සමාජය සලකනවා. සමහර කාන්තාවන් මෙම වැඩ කොටස රැකියාවක් ලෙස කලත් එක පිළිගැනීමෙන් අඩු, කිසිම නියාමනයක් නැති, බොහෝ විට කම්කරු නීතියකට යටත් නොවී කරන රැකියාවක්. නමුත් මෙම වැඩ කොටස නොකරන්නේ නම්, ආර්ථිකයට පවතින්නත් බැහැ..." හරිනි අමරසූරිය නගපු ඒ හඩ ගැන අප සියල්ලන්ම ඇයට කෘතවේදී විය යුතුයි. ඒ වගේම නීති සම්පාදන ක්‍රියාදාමය තුල මෙන්ම, ආර්ථික ප්‍රතිපත්ති තුලත්, විශේෂයෙන්ම සමාජ තුලත් මේ සදහා විශාල අවධානයක් යොමුවිය යුතුයි.

මාකස් ප්‍රියන්ත පෙරේරා
14/09/20
Image may contain: 1 person, text

Like
Comment
Share

Monday, 7 September 2020

ප්‍රසන්න රණවීර ඇමැතිවරයාට යන්න පුලුවන් දුර කොච්චරද?


මේ දවස් ටිකේම මම දකින දෙයක් තමයි අර පාර්ලිමේන්තුවට මිරිස් කුඩු ගහපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මේ ආන්ඩුවේ රාජ්‍ය ඇමතිවරයෙක් ලෙස පත්වූවායින් පස්සේ තමන්ට ලබාදුන්න වේවැල්, පිත්තල​, ලී බඩු, මැටි අමාත්‍යංශය දියුණු කරන්න, ඒ ඒ කර්මාන්තවල නියුතු ජනයාගේ ප්‍රශ්න ගැන හොයා බලන්න රටේ විවිධ ප්‍රදේශවල කරක් ගහනවා. 

ඔහු එහෙමෙහෙ ගිහින් දාන ජායාරූප අතර ඇති වේවැල්, පිත්තල​, ලී, මැටි නිෂ්පාදනය දැක්කාම ඇත්තටම එම නිෂ්පාදන කොච්චර නම් ඉස්තරම් නිෂ්පාදනද කියලා ආපහු දෙකක් නොමැතිව පිලිගන්න පුලුවන්. ඕනෑම කෙනෙකුට මිලදී ගන්න හිතෙනවා. කොච්චර නම් ප්‍රවර්ධනය කරන්න පුලුවන් කර්මාන්තයක්ද කියලා ඒත්තු යනවා. වෙලදපොලක් හොයාදූන්නොත් කෙතරම් නම් ආදායමක් උපයන්න පුලුවන්ද කියලා ඕනෑම කෙනෙකුට පෙනීයනවා...

ඇත්තටම එහෙම කර්මාන්ත දියුණු කරන්න දෙන්න ඕනේ මේ ප්‍රසන්න රණවීරලා වගේ අයට. මොකද ඔය වගේ මිනිස්සුන්ට දෙන ඕනෑම කටයුත්තක්, වගකීමක්, කොන්ත්‍රාත් එකක්, රාජකාරියක් ඔය වගේ චරිත කරගහලා අදින බව රාජපක්ෂලා හොදටම දන්නවා. ඒ අයට මිනිස්සුන් යොදාගැනීම ගැන තියෙන පරිචය ලාංකාවේ වෙන්න කිසිම දේශපාලයෙකුට නෑ. 

ඒත් ප්‍රශ්නේ තියෙන්නේ කොතනද??? 

අමාත්‍යංශවලට මුදල් වෙන්කිරීමේදියි...

එච්චර හොදට දියුණු කරන්න ඕන කර්මාන්ත මොනවාද? ඒවාට පත්කරන්න ඕනේ ඇමැතිවරු කවුද? කියලා දන්න රාජපක්ෂලා අමාත්‍යංශවලට මුදල් වෙන්කිරීමේදි ප්‍රසන්න රණවීරගේ වේවැල්, පිත්තල​, ලී බඩු, මැටි අමාත්‍යංශයට වෙන්කරලා තියෙන්නේ මිලියන 57යි. මම දැක්කා එක මාධ්‍යවේදීයෙක් ඒ ගැන කියලා තිබුනා මන්ත්‍රීවරු ඒගොල්ලන්ට ලබාදෙන ඩියුටී ෆ්‍රේ වාහනය විකුණනන්නෙත් ඔයට කිට්ටු ගානකට කියලා.

ඉතින් ඒ වගේ ගානකින් කොහොමද අර වගේ අමාත්‍යංශයක් දියුනු කරන්නේ.....ඒත් රාජපක්ෂලා දරන අමාත්‍යංශවලට නම් ඇති තරම් නෙමේ, ඉහටත් උඩින් මුදල් වෙන්කරගෙන තිබුනා...

ඉතින් කොහොමද අර ප්‍රසන්න රණවීරගේ වේවැල්, පිත්තල​, ලී බඩු,මැටි කර්මාන්ත දියුණු කරන්නේ...කොච්චර ජවයක් තිබුනත්, කොච්චර මහන්සි උනත් අර ප්‍රසන්න රණවීර ඇමැතිවරයාට උනත් යන්න පුලුවන් දුර කොච්චරද කියලා පේනවා නේද? 

ප්‍රශ්නේ තියෙන්නේ එතන. අර මොකක්ද එක තියෙන එකාට මොකක්ද එක නෑ...මොකක්ද එක තියෙන්න එකා ඒක කරන එකාට කරන්න ඒක දෙන්නෙත් නෑ... 

ඉතින් කොහොමද රටවල් දියුණු කරන්නේ?

මාකස් ප්‍රියන්ත පෙරේරා 
07/09/20