This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Thursday, 22 June 2023

ඔස්වල්ඩ් ෆර්ත් (නිමනි) පියතුමාගේ මරණය ගැන කම්පාවූවෙමි


Rest In Peace Fr. Oswald Firth!! ගරු ඔස්වල්ඩ් ෆර්ත් (නිමනි) පියතුමා ස්වර්ගස්ථවූ බව දැන කම්පාවූවෙමි. කම්පාවුයේ වෙන කිසිවක් නිසා නොව ගෙවී ගිය පහුගිය වසර 20ක කාලය තුල එක් දිනකදීවත් මට එතුමාව දැක බලාගැනිමට යෑමට නොහැකිවු නිසාය...

මට එතුමාව අවසාන වශයෙන් හමුවූයේ 2001 දී විය යුතුය. ඒ හොංකොං නුවර සිට පැමිණෙද්දී ආසියානු මානව හිමිකම් කොමිසමේ ප්‍රධානි බැසිල් ප්‍රනාන්දු මහතා ලබාදුන් පොතක් එතුමාට ලබාදීමට යෑමේදීය. මම ඊට පෙර පටන් ඔස්වල්ඩ් ෆර්ත් පියතුමාව දැන උන්නෙමි. ඒ එතුමා ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුවේ සමාජ සත්කාරක කාර්‍ය්ංශය ලෙස සලකන සෙඩෙක් (SEDEC) ආයතනයේ ජාතික අධ්‍යක්ෂ ලෙස කටයුතු කරමින් සිටි අවදියේ සිටය.

'ඇමරිකන් හඩ' ව්‍යාපෘතිය නිසා හලාවත ඉරණවිල ග්‍රාමයේ ජනතාවගේ ඉඩම් අහිමිවීමට එරෙහිව එතුමා ප්‍රමුඛ සෙඩෙක් (SEDEC) ආයතනය දැඩිව මැදිහත් වි කටයුතු කලේය. අපි එතුමා ප්‍රමුඛ එම කණඩායම් සමග ඉතා සමීපව කටයුතු කළෙමු. වගකීම් දරමින්, කැපවීමෙන්, අප්‍රතිහත ධෛර්යෙන් යුතුව කටයුතු කළෙමු. ඉන් පසුව එතුමා මරදාන සමාජ සාමයික කේන්ද්‍රයේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කරද්දී ද එතුමා සමග විවිධ කටයුතු වලට සම්බන්ධව කටයුතු කළේය.

එතුමා මාව තරුණ ක්‍රියාධරයන් සදහා පිදෙන 'රීබොක්' මානව හිමිකම් සම්මානය (Reebok Human Rights Awards) සදහා නිර්දේශ යෝජනා කලේය. එවැනි ජාත්‍යන්තර සම්මානයක් සදහා නිර්දේශ යෝජනා කරමින් ඉදිරිපත් කල ලිපිය පාසැලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා වශයෙන් පාසැලෙන් සමුගැනීමේ දී ලබාදෙන ලිපියෙන් පසුව එවකට මා ලද හොදම ඇගැයුමය.

ඉන් අනතුරුව විශ්ව විද්‍යාලවලින් ලද විවිධ උපාධි සහතික, වාර්තා සහ ඇගැයුම් සටහන් නිසා ගරු ඔස්වල්ඩ් ෆර්ත් (නිමනි) පියතුමා Reebok සම්මානය සදහා මා ඉදිරිපත් කරමින් ලබාදුන් සටහන මගේ ලිපිගොනුවල යටට තල්ලුවී ගියද එතුමාගේ මරණය ගැන අසා මම නැවත එය කියවු විට මහත් කම්පාවක් දැනුනි. කෙනෙකු ඇගයීමට එතරම් නොපැකිලෙන කෙනෙක් ෆාදර් ෆර්ත් තරම් තවත් නැති තරම්‍ ය. කම්පාවට කරුණ නම් පහුගිය වසර 20ටම මම ඔහුව හමුවීමට ගොස් නැත.

පසුගිය වසර 20 තුල මම ලංකාවට හය-හත් වතාවකට වඩා ගොස් තිබුනද ඒ එකවතාවක් හෝ එතුමා නේවාසික පියතුමෙක් ලෙස නතරවී සිටි මට්ටක්කුලිය 'ද මැසනඩ්' නිවාස වෙත යාමට නොහැකි විය. 2004 සිට 2010 දක්වා එතුමා රෝමයේ සිටි කාලය තුලදී කිහිපවතාවක්ම රෝමයට ආවගියද එතුමා හමුවීමට එහිදී හෝ යෑමට නොහැකිවිය... ඊටත් වඩා ගිය වසරේ දිනක ශෙහාන් මාලක සොයුරා ෆර්ත් පියතුමා හමුවීමට ගොස් එතුමාගේ සුවදුක් විමසා එතුමා සමග සිට මට එවු ජයාරූපය දුටු විගස "ඊලග පාරේදී ලංකාවට ගියහම අනිවාර්යෙන්ම ෆාදර් ෆර්ත්ව බලන්න යනවා" යැයි සිතාගත්තද මේ වසරේ ලංකාවට ගියවිටද මට එය කිරීමට නොහැකිවිය; ආත්මය කැමැතිය එහෙත් ශරීරය දුර්වල"!😥

ගරු ඔස්වල්ඩ් ෆර්ත් (නිමනි) පියතුමාට මොක් සුව අත්වේවා!!❤️❤️❤️

මාකස් ප්‍රියන්ත පෙරේරා
19/06/23

Tuesday, 13 June 2023

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අතකොලුවක්ද?


දැන් ඔය පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජෙනරාල් අනුර මනතුංග මහාචාර්යවරයා ඉල්ලා අස්වීමට තුඩුදුන්නා යැයි කියන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, උතුරු-නැගෙනහිර දෙමළ සංධානයේ මංත්‍රිවරු සහ රාජ්‍ය නිලධාරින් අතර වු සාකච්ඡාවට අදාල වීඩියෝපට කිහිපයක්ම ලැබුවා...

ඒවා බලපුවහම මට පෙනීගිය කරුණු කිහිපයක් තිබුනා...

ඒ කරුණු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා; අනුර මනතුංග මහාචාර්යවරයා වගේ උගතෙක් ගෙන් "මට ඉතිහාසය උගන්වන්න එනවද?" වගේ රනිල්ගේ උඩගු, අහංකාර, දරදඩු ප්‍රකාශණ... /පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ උගත් බුද්ධිමත් නිලධාරින්ටත් වඩා රනිල් ඉතිහාසය දන්නවාද?.../දෙමළ සංවිධානය රනිල් ලව්වා ඒයාලගේ උවමනාවන් ඉෂ්ටකර ගන්න හදනවද?.../ "රනිල් නිකන් අර කුරාලයට නැග ගත් යකදුරා වගේ නේද?" වගේ කතාවලට වඩා අවධානය යොමු කරණ සුළුයි.

මම නිරීක්ෂණය කරපු එක කරුණක් තමයි ලංකාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තමන් සතු බලතල පාවිච්චි කරලා අක්කර සිය ගණනින් පවරා ගන්නවා පුරාවිද්‍යාත්ම රක්ෂිත ප්‍රදේශය කියලා නම් කරලා. එහෙම ඉඩම් පවරා ගද්දි ඒ ඉඩම්වල පරම්පරා ගණනාවක් වගාකරන්, ගෙවල් දොරවල් හදාගෙන ජීවත්වු මිනිස්සුන්ට යන එන මං නැතිවෙනවා...ඒ සම්බන්ධයෙන් නිසි ක්‍රියාපටිපාටියක් තියෙන බවක් පෙන්නේ නෑ...එහෙම තියෙනවා නම් දෙමළ සංධානය හෝ වෙනත් අයෙකුට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩනිසා ඉඩම් අහිමිවුනා කියලා ප්‍රශ්නයක් ඇතිවෙන්න ඉඩක් නෑ..

එහෙම පුරාවිද්‍යාවට පවරගත්ත ඉඩම් 'නැගෙනහිර කාර්‍යසාධක බලමණ්ඩලය' හරි මොකක් හෝ වෙනත් නමක් හෝ දාගෙන නැවැත එම ගොවීන්ට වගා කරන්න සල්ලිවලට බදු දෙනවා කියලා එම සාකච්ඡාවේදී කියවුනා... එහෙම බදු දෙන හෝ බදු දෙන්න ගිය භික්ෂූන් වහන්සේ නමගේ නමකුත් කියවුනා... අර පරම්පරා ගාණක් වගාකර කර හිටිය මනුෂ්‍යයාගේ ඉඩම පවරාගෙන "වගා කරන්න ඕනේ නම් බද්දට ගනින්" කියන එක කොච්චර සාධාරණද? ඇරැත් එක කරන්නේ බෞද්ධ භික්ෂූවක්. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වත් රජයේ අමාත්‍යාංශයක්වත් නෙමේ. එහෙම බදු දිලා ලබාගන්න ආදයම් යන්නේ රජයටද? නැතිනම් පුද්ගලයන් හෝ පෞද්ගලික ආයතනය වලටද? ඒ ගැන පැහැදිලි විස්තරයක් නෑ. ඒ දෙවැනි කරුණ.
තුන්වන කාරණය තමයි රටේ පුරාවිද්‍යාත්මක කැනීම් සහ සංරක්ෂණය සදහා පෞද්ගලික මුදල්/ආධාර/ප්‍රදාන/ප්‍රතිපාදන යොදා ගන්නවා කියන එක...දැන් බලපුවහම පුරා විද්‍යා වැඩවලට වැඩියෙන් මුදල් යොදවලා තියෙන්නේ බෞද්ධ භික්ෂූන්, බෞද්ධ සංවිධාන, ඒ බෞද්ධ සංවිධානය පිටරටවලින්/පිටරටවල වෙසෙන ලංකිකයන්ගෙන් (ඩයස්පෝරාවෙන්) පවා මුදල් එකතුකරගෙන තියෙනවා. කුරින්දිමලේ පුරාවිද්‍යා කැනීම් කරලා පැරණි බෞද්ධ විහාරයක් සොයාගෙන එය නැවත ගොඩනගන්න රුපියල් මිලියන 15 කට වඩා 'බෞද්ධාලෝක පදනම' කියලා සංවිධානයක් වියදම් කරලා තියෙනවා. පාර්ලිමේන්තු මංත්‍රි තිලංග සුමතිපාලගේ සහෝදරයා ජගත් සුමතිපාල එහි නායකයෙක්. උතුරු-නැගෙනහිර විතරක් නෙමේ රටපුරාම පුරාවිද්‍යා කැනීම් වලට විවිධ බෞද්ධ භික්ෂූන්/ බෞද්ධ සංවිධාන පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව එක්ක විවිධ ව්‍යාපෘති දියත් කරලා තියෙනවා... ඒ ඒ ව්‍යාපෘති සදහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතු සම්පත් සහ නිලධාරින් යෙදෙවොත් රටේ අනෙක් පුරාවිද්‍යාත්ම වටිනාකම් ඇති තැන් සංරක්ෂණය වෙන්නේ කොහොමද? ජාතික උරුමය කියන්නේ ඒවා විතරක්ද? පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඉන්නේ එක් එක්කෙනාගේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නද? ඔහොම බැලුවහම පේනවා නේද මීගමුව පෘතුගීසි-ලංදේසී කොටුව සංරක්ෂණය කරලා දෙන්න කියලා අපි කොච්චර ඉල්ලුවත් ඒක හරියටම නොවෙන්නේ ඇයි කියලා..

හතරවන කාරණය තමයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග සාකච්ඡාවේදී පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජෙනරාල් මහාචාර්යවරයා අනුර මනතුංග මහතා දක්වපු ප්‍රතිචාරවල ඇති දුර්වල කම. එක පැත්තකින් හොදට පෙනුන දෙයක් තමයි මහාචාර්ය අනුර මනතුංග මහතා ඔය සාකච්ඡාවට ඇවිත් තිබුනේ කිසිම සුදානමකින් තොරවයි කියන එක. ඒ නිසා තමයි අර ඉස්සර කුඩා යාත්‍රා වලින් තිරියායේ (ත්‍රිකුණාමලය) ඉදන් හොරොව්පතානට, එතැනින් අනුරාධපුරයට, එතැනින් මල්වතු ඔය හරහා මන්නාරමට යාත්‍රා කරන්න පුලුවන්.. නැගෙනහිර මූහුද ඉදන් බටහිර මුහුදට පිවිසෙන්න ජල මාර්ග පද්ධතියක් තිබුනා... පැරණි අඩුවියදම් ලයිට් හවුස් එකක් තිබුනා, වෙලද ආදිපත්‍යයක් තිබූ තපස්සු - භල්ලුකලා ඉදිකලා කියන ගිරිහඩු සෑය... අනුරාධපුරේ මහා විහාරයට ඉඩම් අක්කර කොච්චර තිබ්බද? මහා විහාරයටයි, ජේතවනාරාමයටයි අක්කර දාහක්වත් තිබුන්නේ නැහැ කියලා රනිල් කියාගෙන කියාගෙන යද්දි මහාචාර්ය අනුර මනතුංග කොරවෙන්නේ...

පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජෙනරාල් මහාචාර්ය අනුර මනතුංග වගේ නෙමේ ජනාධිපති රනිල් ඔය සාකච්ඡාවට ආවේම ඉතා හොදට සුදානම් වෙලා..හොදට කරුණු හදාරලා..ඊට මුහුණදීමට තරම් සුදානමක් ඇතිව නෙමේ මහාචාර්යවරයෙක් වුනත් අනුර මනතුංග මහත්තයා පැමිණෙන්නේ...රනිල් සමග හරි හරියට කරුණු ඉදිරිපත් කරන්න ඔහු අපොහොසත් වෙනවා..රනිල් ඉස්සරපිට ඔහු ඉතා කුඩා වෙනවා..රනිල්ගේ මුෂ්ටි පහරවලින් මුනින්තලා වැටෙනවා. දෙමළ සංධානයත් කොරවෙනවා. ඔය පුරාවිද්‍යාවේවත්, අනෙක් දෙපාර්තමේන්තුවකවත් එකෙක් හිටියේ නෑ නේ කියන්න "මේ සර් ඕක ඔහොම නෙමේ...මෙහෙමයි ඉතිහාස අධ්‍යානවල ලියවෙලා තියෙන්නේ"... කියන්න... ඇයි අපි රනිල්ගේ බයිලම විතරද අහන්න ඕනේ... ඕනෑ තැනට එහෙම කතාකරන්න කොන්දක් අපේ මිනිස්සුන්ට නෑ...අපේ අධ්‍යාපනෙත් එහෙම උගන්වලා නෑ...එතන යටහත්පහත්ව ඉදලා ගෙදර ඇවිත් ඉල්ලා අස්සෙනවා.. පස්සේ මාධ්‍ය සාකච්ඡාවකුත් තියයිද මන්දා..

අනෙක් කාරණය තමයි රනිල්ට ගහන්න ආපහු රට/ජාතිය/ආගම/සම්බුද්ධ සාසනය පෙරට ගන්න එක. ජෙරමි ප්‍රනාන්දුගේ සිද්ධියේ ඉදන් නටාෂාගේ සිද්ධිය දක්වාත් දැන් කුදිරමලේ ඉඩම් හෝ උතුරු-නැගෙනහිර ඉඩම් හෝ දෙමළ සංවිධානයේ ඉල්ලිම් දක්වා හෝ දිවයන්නේ අර පරණ සටන් පාඨ ටිකම තමයි. රනිල්ට ගහන්න රට/ජාතිය/ආගම ගේන්න ඕනේ නෑ..රටේ මිනිස්සු විදින දුකම ගන්න..මොන තරම් උග්‍ර ජීවන අරගලයකද ඒ මිනිස්සු ඉන්නේ.. ඔය රට/ජාතිය/ආගම මුල්කරගත් ජාතිවාදී වර්ගවාදී උත්සාහයන් වලට උඩගෙඩි දෙන්න එපා...එවට අහුවෙෙන්නත් එපා. "මේ යකාව පරද්දන ඕනෑ යකෙක් එක්ක එකතුවෙනවා" කියන පරණ ඔලමොට්ටල වැඩේට ආපහු සෙට්වෙන්න එපා.. එහෙම ගේන එක එක යකා එක්ක ඔට්ටුවෙවී ඉන්නවා මිසක් ලෙඩා ගොඩදාගන්න විදිහක් නෑ... අපි ඒක හොයමු.. උතුරේද, දකුණේ ද, සිංහල ද දෙමළ ද නෙමේ මිනිස්සුගේ ප්‍රශ්න වෙනුවෙන් පෙනී සිටිමු... ඒ වෙනුවෙන් පෙලගැසෙමු!!


මාකස් ප්‍රියන්ත පෙරේරා
13/06/23