එක් දුපතක් දෙකඩ කර ඇළක් කපා පාලමක් ඉදිකළ අවස්ථාවක් ඔබ අසා තිබේද? එවැන්නක් මීගමුව මුන්නක්කරය ප්‍රදේශයේ තිබේ. මීගමුව මුන්නක්කරය නම් වූ දුපත හරහා ඇළක් කපා එම දුපත දෙකඩ කර පසුව ඒ මත පාලමක් ඉදිකර දුපත් දෙක එකිනෙකට සම්බදකර තිබේ. ඒ පෘතුගීසි සමයේවත්, ලන්දේසි සමයේවත්, ඉංග්‍රීසි සමයේවත් නොව ශ්‍රී ලංකාව යටත්විජිත පාලකයන්ගෙන් නිදහස ලබා වසර 6 කට පසුවය. ඒ සම්බන්ද විස්තරය විමසා බැලූවිට නිදහස් ලංකාවේ රජයන් වැඩ කර ඇත්තේ කෙතරම් මෝඩ තකතීරු ආකාරයටදැයි හොදින් කියාපායි.
මීගමුව නගරයත් ඒවටා ඇති මුන්නක්කරය සහ දූව දුපතත්, පිටිපන, තලාහේන-පේරුව අර්ධද්වීපයත් එකිනෙකට සම්බන්ද කිරීමේ අවශ්‍යතාවය සදහා නව පාලමක් ඉදිකිරීමට 1952 දී ඩඩ්ලි සේනානායකගේ රජය තීරණය කර ඇත. ඒ බ්‍රිතාන්‍යය යටත් විජිත පාලකයන් එතෙක් ඉදිකර පැවති ලී පාලම වෙනුවටය. පසකින් දැක්වෙනුවේ 1934 දී එම ලී පාලම පැවති ආකාරයයි. ඉතා පටුපාලමක් වූ මෙම පාලමේ එක් වාහනයක් ගමන් කරන විට සෙසු වාහන පසක නවතා ඉඩ දිය යුතුවිය. එම යුගයේදී එතරම් වාහන නොතිබියද පාලමේ නිතර ඇතිවෙන ගමනාගමන අපහසුව නිසාම පාලම පසක තබා මිනිසුන් ඔරුවලින් එගොඩ-මෙගොඩවීම තෝරාගෙන තිබුණි. එහෙත් මීගමුව කලපුවත්-මුහුදත් මැදි කරගනිමින් පිහිටි සුන්දර තලාහේන, බසියාවත්ත, පිටිපන යන ප්‍රදේශවල සංචාරක ප්‍රවර්ධනයට ඇති ඉඩකඩද, මගී ප්‍රවාහනයේ ඇති වැදගත්කමද මුල්කරගෙන මෙම නව පාලමක් ඉදිකිරීමට රජය තීරණය කර ඇති අතර එය ඉදිකිරීමට රජයේ වැඩ දෙපාර්තුමේන්තුවට පවරා තිබේ. 1953 හර්තාලය නිසා ඩඩ්ලි සේනානායක ඉල්ලා අස්වූ අතර අනතුරැව අගමැතිවූ ජෝන් කොතලාවල මහතා විසින් මෙම පාලම 1954 දී ජනතා අයිතියට පවරාදී ඇත. මීගමුවේ කොතලාවල පාලම ලෙස හැදින්වනුයේ මෙම පාලමය.
ඉහතින් දක්වෙනුවේ කලින් බ්‍රිතාන්‍ය යටත්විජිත පාලකයන් ඉදිකළ ලීපාලම ඉවත්කර ඉදිකළ කොතලාවල පාලමය. එහෙත් ගැටළුව ඇත්තේ මෙම පාලමේ නොවේ. මෙම පාලම ඉදිකිරීමට අවශ්‍ය ලෙස මීගමුව කලපුවේ සහ හැමිල්ටන් ඇළ ඔස්සේ ගලන ජලය කළමනාකරණය කරගැනීමටත්, ජලයේ පීඩනය පාලනය කරගැනීමටත් ගත් ක්‍රියාමාර්ගය නිසා ඇතුවූ නව ගැටළුවය.
පාලම ඉදිකිරීමට අවශ්‍ය ලෙස ජලය කළමනාකරණය කරගැනීමටත්, එහි පීඩනය පාලනය කරගැනීමටත් 1952-1954 දක්වා මෙම පාලම ඉදිකිරීමට කටයුතුකල රජයේ වැඩ දෙපාර්තමේන්තුව අපුර්ව ක්‍රියාමාර්ගයක් ගත්හ. ඉංජිනේරු තාක්ෂණයෙන් අනූන රජයේ වැඩ දෙපාර්තමේන්තුවේ නිලදරුවෝ ඉදිකරමින් තිබු මෙම පාලමට සැතපුමක් පහලටවීමට පිහිටි මුන්නක්කරය දුපතේ පහල කොටසින් කුඩා ඇළක් කපා ජලය ගලායෑමට නව මාර්ගයක් සැකසුහ.
සැලසුම වී ඇත්තේ කොතලාව පාලම ඉදිකර අවසන්වූ පසුව මෙම ඇළමාර්ගය වසා දමා නැවත මුන්නක්කරය දුපත එක් දුපතක් ලෙස තිබීමය. එහෙත් පාලම ඉදිකිරීමට ගතවූ වසර දෙක තුල සිදුව ඇත්තේ මෙම අලුතින් ඉදිකළ ඇළමාර්ගය ඔස්සේ නොසිතුවිරු ලෙස ජලය ගලා ගොස් එම ජලයේ ඇති පීඩනය නිසා ඇළ තව තවත් ගැබුරුවීමය. ඒ අනුව මෙම නව ඇළ වසාදැමීමට විශාල වියදමක් යන බව තේරීම්ගත් රජයේ වැඩ දෙපාර්තමේන්තුවේ උගත් බුද්ධිමත් ඉංජිනේරුවරු මෙම ඇළ මතින් ලී පාලමක් ඉදිකර වැඩේ ගොඩින් බේරා ගැනීමට කටයුතු කලහ. මීගමුවේ ජනග්‍රගනයෙන් 10 න් 1ක් හෙවත් 12, 000 පමණ වෙසෙන මුන්නක්කරයේ ජනතාවට එහාමෙහා යාමටවත් මේ පාලම ප්‍රමාණවත් නොවීය. ඒහින් මීගමුවේ ජනතාව එදා සිට මෙම පාලම හැදින්වුයේ මෝඩ පාලම ලෙසය. නිදහස් ශ්‍රී ලංකාවේ ඉංජිනේරු ශිල්පය කෙසේවිය හැකිදැයි ඒඅසුරින් හාස්‍යට ලක්කළේය. රජයේ වැඩ දෙපාර්තමේන්තුවල මරිමෝඩ තකතීරුකම් ගැන හොදම උදාහරණය මේ මෝඩ පාලම යැයි කීහ.
එහෙත්, ලී පාලමක් ලෙස පැවති මෝඩ පාලම කඩා ඉවත්කර ඇළ මාර්ගය වසා දමන්න යැයි මුල්කාලයේ ඉල්ලු ගැමියෝ නොබෝ කලකින්ම සිය ධීවර කටයුතු සදහා මෙම ඇළ මාර්ගය වෙස්වලාගත් ආශිර්වාදයක් ලෙස සලකා සිය ධීවර යාත්‍රා නවතා තැබීමටත්, ධීවර යාත්‍රා ඔස්සේ එහා මෙහා යෑමටත් පුරුද්දක් කරගත්හ. ඒ අනුව මෝඩ ඇළ වසා දමනවා වෙනුවට ඇළ එසේ තිබියදී මෝඩ පාලම පමණක් කඩා ඉවත්කර ඒ වෙනුවට ශක්තිමත් පාලමක් ඉදිකර දෙනමෙන් පාලකයන්ගෙන් ඉල්ලා සිටියහ. 1964 දී එම ඉල්ලීම ඉටුවිය. ඒ අනුව මීගමුවේ තුන්වරක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වූ, මීගමුවට අතිවිශාල සේවයක් කල, එහෙත් එක් සත පහක් හෝ හොරකම් නොකළ කුවින්ටින් ප්‍රනාන්දු මහතා විසින් ලීයෙන් තනා තුබූ මෝඩ පාලම වෙනුවට කොන්ක්‍රීට් පාලමක් තනා දෙන ලදී. එතෙක් හැදින්වූ මෝඩ පාලම යන්න වෙනුවට සිරිකුරුස පාලම යැයි එයට නම තැබුහ.
එහෙත් ඉන් අනතුරුව ගතවූ වසර 53 ක කාලය තුල මෙම පාලම අලුත්වැඩියා කිරීමට බලධාරීන් කිසිවක් නොකළහ. අද එහි පාලම් ඇදි දිරාපත්ව කඩා වැටී ඇත. 2013 දී ත්‍රීවීලයක්ද මෙම අනාරක්ෂිත ඇළ ඇඳෙන් වැටී අනතුරට පත්විය. කොයි මොහොතේ හෝ ඊටත් වඩා දරුණු අනතුරක් වේදෝයි යන්න ගැන මීගමුව මුන්නක්කරයේ ජනතාව පසුවෙන්නේ මහත් දෙගිඩියාවකිනි. මේ ඇළ හදා දෙනමෙන් දේශපාලකයන්ගෙන් ඉල්ලන සෑමවිටම ඔවුන් කියනුයේ මේ චන්දයට පෙර එය කර දෙන බවය. දැන් චන්ද කිහිපයක් පසුවී ඇත. එහෙත් එය සදාදී නැත. දැන් කියනුයේ මෙවර පලාත් පාලන චන්දයට පෙර එය සදාදෙන බවය. "පොඩ්ඩක් ඉන්න කෝ මේ නගර සහා චන්දය දිනන කම්" යැයි කියන්නෝද වෙති. මෝඩ පාලම මීගමුවේ ජනයා මෝඩයන් ලෙස සිතා ඔවුන්ව මුලාකරන්නේ එසේය.
එහෙත්, මෝඩ පාලම නම් වූ මීගමුව මුන්නක්කරයේ මර උගුල පමණක් නොව මෝඩ ඇළද ක්‍රමයෙන් ගැබුරුවී මුන්නකරයේ ඉවුරු දෙපසද ක්‍රමයෙන් ගිලගනිමින් නර බිලි ගැනීමට දත නියවමින් සිටී. අවශ්‍ය නම් රජයේ වැඩවල මෝඩ කම් වසාගනිමින් ඒ ඔස්සේ මීගමුවට නව එළියක් ලබා දීමටද ක්‍රමයෙන් ගැබුරු වී ඇති මෙම ඇළ මාර්ගය යොදාගත හැක. ඒ සදහා කල යුත්තේ මෝඩ පාලම වඩා උසින් තනා කුඩා රුවල් නැව් සහ සංචාරක යාත්‍රා ගමන් කල හැකි ලෙස එය නැවත ඉදිකිරීමයි. යහපාලන රජයේ මෙගා පොලිස් නගරයේ කොටසක් ලෙස සැලකෙන මීගමුව එලෙස නවීන ක්‍රියාමාර්ගයකට යොමුවුවහොත් මීගමු නගරයට නව ආලෝකයක් ගෙනදෙනු ඇත. කලපුව මීගමුව නගරයේ waterfront (ජලතීරය) වනු ඇත. මීගමුව නව නගරයක් ලෙස දියුණුවීමට ඉන් නව ඉඩක් විවරවෙනු ඇත.
එහෙත් අපි ඉබ්බන්ගෙන් පිහාටු නොඉල්ලමු. මීගමුව කොටුවේ ඇතුල්වීමේ දොරටුව සහ වික්ටෝරියා රැජිනගේ ජුබිලිය වෙනුවෙන් ඉදිකළ ඔරලෝසු කනුව කඩා වැටීමට ඔන්න මෙන්න කියා ඇති මේ මොහොතේ එය රැකදීමට හෝ කටයුතු නොකරන පාලකයන්ගෙන් මීගමුව නව නගරයක් ලෙස පෙරට පැමිණීමට නව මානයක් ඉල්ලා සිටීමේ පලය කුමක්ද?
එහෙත් ජාතික අභිමානය ගැන කථාකරන නිලධාරීන් පෙරට වඩා බොහෝ සිටින රාජ්‍ය දෙපාර්තමේන්තු එකතුවී සිය මෝඩකම්වල ප්‍රතිමුර්තිය ලෙස සැලකෙන මීගමුව මුන්නක්කරයේ මෝඩ පාලමේ විනාශවී ඇති ඇදි දෙකවත් ඉදිකර දෙන්නේ නම් එයත් ප්‍රමාණවත්ය. මීගමුවේ වැසියන්ගෙන් චන්දය ඉල්ලාගෙන එන දේශපාලකයන්ට ද කිවයුත්තේ මෝඩ පාලම පෙන්වා තවත් මීගමුවේ ජනයා මුලා නොකර පාලමේ ඇදි දෙක වහා ඉදිකර සිදුවිය හැකි මාරක අනතුරු වලක්වා දෙන ලෙසය.
එහෙත් ජාතික අභිමානය ගැන කථාකරන නිලධාරීන් පෙරට වඩා බොහෝ සිටින රාජ්‍ය දෙපාර්තමේන්තු එකතුවී සිය මෝඩකම්වල ප්‍රතිමුර්තිය ලෙස සැලකෙන මීගමුව මුන්නක්කරයේ මෝඩ පාලමේ විනාශවී ඇති ඇදි දෙකවත් ඉදිකර දෙන්නේ නම් එයත් ප්‍රමාණවත්ය. මීගමුවේ වැසියන්ගෙන් චන්දය ඉල්ලාගෙන එන දේශපාලකයන්ට ද කිවයුත්තේ මෝඩ පාලම පෙන්වා තවත් මීගමුවේ ජනයා මුලා නොකර පාලමේ ඇදි දෙක වහා ඉදිකර සිදුවිය හැකි මාරක අනතුරු වලක්වා දෙන ලෙසය.
මාකස් ප්‍රියන්ත පෙරේරා
31/03/17.