This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Friday, 24 February 2023

මීගමුව දූවේ ආශ්චර්යමත් ක්‍රිස්තු ප්‍රතිමාව

The magnificent statue of Christ in Duwa, Negombo. දූවේ ආශ්චර්යමත් ක්‍රිස්තු ප්‍රතිමාව මේ වසරේද තැම්පත්කර ඇත්තේ දූවේ සින්ද්‍රාන්ති මාතා දෙව්මැදුරේය (Our lady of good voyage Church). එය ලබන වසරේ (2024) අළු බදාදාට පෙර ඉරිදා එනම් 11/02/24 දින නැවතත් මීගමුව නගර මධ්‍යයේ පිහිටි සා.පීතර දේවස්ථානය වෙත රැගෙන යයි. වසර 02ක් දූවේ සින්ද්‍රාන්ති මාතා දෙව්මැදුරේද, වසරක් මීගමුව සා.පීතර දේවස්ථානයේද මෙම ආශ්චර්යමත් ක්‍රිස්තු ප්‍රතිමාව තැම්පත්කර තිබීම එහි සාමාන්‍ය සම්ප්‍රදායයි. දූවේ සිට මීගමුව නගර මාධ්‍යයටත්, මීගමුව නගර මාධ්‍යයේ සිට දූවටත් මෙම ක්‍රිස්තු ප්‍රතිමාව රැගෙන එම සහ රැගෙනයාම මීගමුවේ පාස්කු සම්ප්‍රදායේ සුවිශේෂී අංගයකි. 1954 මුන්නක්කරය මහ පාලම හෙවත් කොතලාවල පාලම ඉදිවීමට මත්තෙන් මෙම සුරුවම දූවට රැගෙන එම සහ රැගෙනයාම සිදුකර ඇත්තේ හැමිල්ටන් ඇළ සහ කලපුව ඔස්සේය. රතුමල් ඉසිමින් පෙරහැරක ස්වරූපයට සිදුකල මෙම ක්‍රිස්තු ප්‍රතිමාව වැඩවීම එක්තරා ආකාරයකට මීගමුවටම උරුවූ කිසියම් ආගමීක භක්ති අභ්‍යාසයක් විනි.

පාස්කු හෙවත් චතාරික කාලය මීගමුවේ හදුන්වන්නේ 'කොරොස්ම කාලය' යනුවෙනි. එය මීගමුවේ කලක් භාවිතාවූ පෘතුගීසි භාෂාවෙන් උරුමවුවකි. පෘතුගීසි භාෂාවෙන් අද ද පාස්කු කාලය හදුන්වන්නේ 'ක්රෝස්ම' (quaresma) කාලය නමිනි. අළු බදාදා (Ash Wednesday) යින් පසු ඇරබෙන දින 40ක කාලයක්වු මෙම පාස්කු කාලයේදී සෑම සිකුරාදාවකම දූවේ ආශ්චර්යමත් ක්‍රිස්තු ප්‍රතිමාව මහජනයාට විවෘතව පවතී.

අපි කුඩා කාලයේදී සෑම සිකුරාදාම එම සුරුවම නැරඹීමට යෑම පුරුද්දක් කරගෙන තිබුණි. විශේෂයෙන්ම මීගමුව නගර මාධ්‍යයේ පිහිටි සා. පීතර දේවස්ථානයේ සුරුවම පැවති කාලයේදී පාසල් දරුවන් වශයෙන් අප එම දේවස්ථානයේ පැවැති ආගමික වතාවත්වලට නිරන්තරයෙන් සභභාගීවුවෙමු. එහි ලබාදෙන සුදු නූල් පවා අත් වල පැලදුවෙමි. සා. පීතර දේවස්ථානය පිටුපස පාරේ මෙන්ම පල්ලිය ඉදිරිපිට පිහිටි පිටියේ දකුණු පසින් පිහිටි බොරලු පාරේ අච්චාරු, කජු පුහුල්, කජු කොරදියල්, ඉටිපන්දම්, මීගමු අලුවා, වෙරලු, දන්, ජම්බෝල බික් ආදිය විකුණන කාන්තාවන්ගෙන් රැපියලට, දෙකට, තුනට, පහට කඩචෝරු කෑ හැටි තවමත් මතකය. අද කීයටවත් එවැනි මිලකට ජම්බෝල බික් ස්වල්පයක් හෝ නොලැබෙනු ඇත. සරුවත්, අයිස්ක්‍රිම්, බොම්බයි මුටයි, නයිස්, පුහුල් දෝසි, බූන්දි ආදිය විකුණන අයට වඩා අච්චාරු, කජු පුහුල්, කොරදියල්, මීගමු අලුවා ආදිය විකුණන අය කෙරෙහි ලමා-ලපටීන් පමණක් නොව වැඩිහිටියන්ද වැඩි වශයෙන් ඇදුනේ ඇයි ද යන්න මට අද ද සිතා ගැනීමට අපහසු කරුණකි.

ඒහෙත් ඒ සියල්ලෝම දානය බෙදනවිට දානය බෙදන්නන් වටකරගනී. විවිධ තරාතිරමේ විවිධ පුද්ගලයන් කූඩවල අසුරාගෙන එන කිරිබත්, බනිස් ආදිය මෙම ආශ්චර්යමත් ක්‍රිස්තු ප්‍රතිමාව අභියසට ගෙනගොස් යාච්ඤාකර පල්ලියෙන් පිටතට පැමිණ අසල සිටින ජනයාට බෙදා දේ. එම දාන අතර කුඩා ප්ලාස්ටික් බෑගවල අසුරා දෙන මිරිස් මාලු සමග කිරිබත් එකල වඩා ජනප්‍රිය විය. එය ඉතාමත් ප්‍රනීත ආහාරයකි. චතාරික සමයේදී සෑම සිකුරාදවකම සා. පීතර විදුහලේ සිසුන්ව පල්ලියේ පවත්වන යැදුම් මෙහෙයන් සදහා රැගෙන එය නමුදු එම සිසුන්ගෙන් සමහරක් පාසල නිමවු පසුවද පල්ලිය කරා දුවයන්නේ මෙකී දාන භුක්තිවීමේ අපේක්ෂාවෙනි. එමෙන්ම මෙම ක්‍රිස්තු ප්‍රතිමාව මීගමුව දූව පල්ලියේ තැම්පත්කර ඇති විට වික්ෂෝප දේවමාතාවන්ගේ මංගල්‍යයට පෙර සිකුරාදා දූවේ කට්ටු දැල් ධීවරයින් ලබාදෙන බත් සහ ඉස්සෝ දානයද බොහෝ දෙනෙකුගේ උනන්දුව වැඩි කරන්නක් විය. එකී දානය අතිමහත් පිරිසකට දිව්‍ය භෝජනයක්ම විය. දූවේ ප්‍රතිමාව විවෘතව ඇති දිනවල මග දෙපස සරුවත් දන්සැල් වලින්ද අඩුවක් නොවුනි. තදින් අව්ව පෑයු පාස්කු කාලවල අන්නාසි, කස කසා නොඅඩුව තිබූ එකී දන්සැන්වල පාට පාට සිසිල් පැන් ලබාදුන් රස සහ සිසිල අමෘතයක්ම විය.

මේ සියල්ල සිදුවන්නේ පල්ලියේ තැම්පත්කර ඇති ආශ්චර්යයමත් ක්‍රිස්තු ප්‍රතිමාවට අති මහත් භක්තියත්, අවධානයත්, නොකඩවාම සිදුකරන යැදුමෙනුත් නොඅඩු ආගමීක ශ්‍රද්ධාව ඉහලින් ඔසවා තැබූ පසුබිමකය. ආගමීක වතාවත්වල, ශුද්ධවූ පැයවල, පුජාවන්වල, පාද නමස්කාරවල, දුක් ප්‍රාප්ති ගීතිකාවන්වල, පසන් සහ ලතෝනී ගායනවල අඩුවක් එහි නොවුනි. ඒ සියල්ල අතිමහත් ගරුත්වයක්, හික්මීමක් සහ භක්තියක් අවට පරිසර තුල ජ්වලිතකර තිබුනි.

වසර 300යකට වඩා පැරණි දූවේ පාස්කු දර්ශනය සදහා යොදාගැනීමට 1838 දී ඉන්දියාවේ කොචින් හී සිටි ප්‍රකට මුර්ති ශිල්පියෙකුවූ ජෝකීනු මෙස්ත්‍රාල් (Joachim Mistral of Cochin/Kochi) විසින් නිර්මාණය කර මීගමු දූවට මුහුදෙන් ගෙනෙන ලද මෙම දූවේ ආශ්චර්යමත් ක්‍රිස්තු ප්‍රතිමාව එතැන් පටන් මීගමුව ජනයාගේ නොබද ගෞවරවයට පාත්‍රවිය. එම කාලයේදී මීගමුව දූව දේවස්ථානය පාලනය කලේ පෘතුගාලයට අයත්වු ගෝවේ (Goa) කොචින් (Cochin/Kochi) පදවිය විසිනි. 

එහෙයින් මීගමුව දූවේ ආශ්චර්යයමත් ක්‍රිස්තු ප්‍රතිමාව එක්තරා ආකාරයකින් මීගමුවත්, ඉන්දියාවේ බටහිර වෙරලේ පිහිටි ගෝවේ (Goa) සහ කොචින් (Cochin/Kochi) නගරත්, 1961 දක්වා එහි පැවැති පෘතුගීසි පාලනයත් දක්වා දිවයන සම්බන්ධයක අඛණ්ඩ පුරුකකි. අනෙක් අතට එය දැන් චතාරික සමයේ ලාංකීක කිතුනුවන්ගේ සුවිශේෂ අවධානයකට ලක්වන ප්‍රබල ආගමීක සංකේතයකි. ලංකීක කිතුනු ජනයාගේ අතිමහත් ගෞරවාදරයට, භික්තියට පාත්‍රවු ඓතිහාසික ක්‍රිස්තු ප්‍රතිමාවකි. මීගමුවේ අපට නම් එය දැවන්ත සංස්කෘතික උරුමයකි.

මාකස් ප්‍රියන්ත පෙරේරා.
24/02/23





Monday, 20 February 2023

අවසන් ගමන් ගිය මීගමුවේ රීගල් සිනමාහල හෙවත් මීගමුවේ අශෝකමාලා

මීගමුවේ රීගල් සිනමා ශාලාව කඩා ඉවත්කල බව  දැන ගත්තෙමි. අපේ යොවුන්විය ගෙවු මීගමුවේ බොහෝ ස්ථාන දැන් අපිට මතකයන් පමණක් ඉතිරිකර සදහටම බිමට සමතලාවෙමින් යයි. මීගමුවේ රීගල් චිත්‍රපට ශාලාවද එවැන්නකි. 

රුපියල් 10ය 10ය එකතුකර එහි බැලූ චිත්‍රපට සංඛ්‍යාව අපමණය. සිංහල, දෙමළ, ඉංග්‍රීසි මෙන්ම හින්දි චිත්‍රපටිද එහි ප්‍රදර්ශනය විය. චිත්‍රපටිය කුමක්වුවද එහි චිත්‍රපටි බැලීමට දිගු පෝලිමක් විය. එම පෝලිමේ වැඩියෙන්ම සිටියේ කුඩවලින් මුහුණ වසාගත් ජෝඩුය. මීගමුවේ ටියුෂන් පන්ති යෑමට පැමිණි පාසැල් යන වයසේ පසුවූ නාඹර තරුණ තරුණියන්ද, කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ සේවයකල තරුණ, තරුණියන්ද ඔවුන් අතර බොහෝවිය. ඔවුන්ගෙන් වැඩි දෙනෙකු ගියේ box හෝ බැල්කනිවලටය, එහි ඉඩක් නොවුකල ODC පන්තියද එකී ජොඩුවලින් පිරී යයි. චිත්‍රපටිය අවසන්වී අවුල්වු හිසකෙස් අතින් සකසමින් එලියට ඇදෙන බොහෝ යුවතියන් මෙම සිනමා ශාලාවේ "මකුණෝ එමට" යැයි නිතර චෝදනා කරති. එම යුවතියන්ගේ රත්පැහැ ගැන්වු  මුහුණ සහ බෙල්ල මකුණෝ කෑවේ කෙසේදැයි කොල්ලෝ ඔලොක්කුවට අසති.  එකී කතා දැන් මතකයන් පමණි. මීගමුවේ රීගල් සිනමා ශාලාවත්, එහි වූ යුවති-පතීන්ගේ දිගු පෝලීම්ද කාලයේ වැලිතලාවන්ට වැසී ගොස්‍ හමාරය. ප්‍රේමයෙන් මුසපත්ව ආලය කරන අතර කලාවත් ලලිත්‍යයත් එකට රසවිදීමට ඉඩකඩ සලසන චිත්‍රපටියක් බැලීමට දැන් කාලේ තරුණ ජෝඩු කොහේ යනවා ඇත්ද? සිනමා ශාලාවල් සමගම එම පරම්පරාවත් නිමවී ගියේද?

මෙවර සුමති සම්මාන උලෙළට නිර්දේශවූ හොදම නම් අතරින් 06-07 දෙනෙකුම මීගමුවේන් බිහිවු කලාකරුවන් විණි. එහෙත් අදටත් මීගමුවට හොද සිනමා ශාලාවක්, කලාගාරය, නාට්‍යය ශාලාවක්, රංගශාලාවක්, ප්‍රදර්ශණාගාරයක්, කෞතුකාගාරයක්, කලායතනයක් නැත. 

එහෙත් සිංහල චිත්‍රපටි කර්මාන්තය බිහිවු මුල් යුගයේදීම මීගමුව තුල  සිනමාශාලා 04 බිහිවී තිබුණි. 1983 ජාතිවාදී කෝලාහල විසින් සිංහල ජාතිවාදීන් ගිනිතැබු රාජ් සිනමා ශාලාව, ආදයමක් නොවුයෙන් බංකොලොත්වු නඩරාජා ටෝකීෂ් හෙවත් කිංග්ස් සිනමා ශාලාව, මීගමුවේ ලන්සා පාලනය විසින් කඩාදැමු මීපුර සිනමා ශාලාව සහ  'සිලෝන් තියටර්ස්' ආයතනයට අයත් මීගමුව නගර මාධ්‍යයේ පිහිටි රීගල් සිනමාහල ඒ අතර විය. 

කිසියම් ආකාරයක දේශිය ගෘහ නිරූපණ ශිල්පයක් (Ceylonese architect) අනුව ඉදිකර තිබූ මීගමුවේ රීගල් සිනමා ශාලාව ආරම්භයේදී, එනම් 1947දී,  හදුන්වාදී ඇත්තේ 'අශෝකමලා' සිනමාහල ලෙසය. ඒ ඒහි මුලින්ම තිරගත කල  චිත්‍රපටිය 'අශෝකමලා' වීම නිසාය. මාස ගණනාවක් යනතුරු එම චිත්‍රපටිය එහි තිරගතව ඇත.  එවකට වැඩිපුරම ද්‍රවිඩ චිත්‍රපටි රසවිදි මීගමුවේ සිනමා රසිකයන්ට සිංහල චිත්‍රපටි ප්‍රචලිත කිරිමේ තිබිරිගෙය වුයේද මෙම රීගල් සිනමාහලය. කලක් රාජ්‍ය චිත්‍රපටි සංස්ථාව යටතේ පාලනයවූ මීගමුව රීගල් සිනමාහල එතෙක් දෙමළ චිත්‍රපටි නැරබීමට වැඩි පෙළගැස්මක් තිබු මීගමූ නගර තුල සිංහල චිත්‍රපටි නරබන්නන්ගේ හදවත බවට 1970 දශකයේ අගභාගයවනවිට පැමිණි තිබුණි. මීගමුවේ  තිරගතකල සියළුම සිංහල කලාත්මක චිත්‍රපටිවල අලුත්ම නිකුතුවත්, ඉංග්‍රීසි චිත්‍රපටිත්  මෙම රීගල් සිනමා ශාලාවේ තිරගතවිය. ජලගැල්මට ලක්ව, නඩත්තු කරගැනීමට නොහැකිව, 2015 නොවැම්බර් මාසයේදී මීගමුවේ රීගල් සිනමා ශාලාව වසාදැමීය. 

එය කඩා ඉවත්කර එම භූමියේ සුපිරි සාප්පු සංකීර්ණයක් සහිතව නැවත චිත්‍රපට ශාලාවක් ඉදිකරන බව කියවේ. එහෙත් එය කෙතක් දුරට යථාර්ථයක් වේදෝයි යන්න සැක සහිතය. කෙසේවුවද මීගමුවේ රීගල් සිනමා ශාලාවටද අත්වූයේ මීගමුවේ අනෙකුත් සිනමා ශාලාවලට අත්වු ඉරණය ය. ඒ ගැන මම 2016 ලියූ 'මීගමු මහනගර සභාවට රැකගත නොහැකිවූ මීපුර සිනමාහල සහ මීගමුවේ වෙනත් සිනමාහල්' ලිපිය ඔස්සේ කියවිය හැක.

මාකස් ප්‍රියන්ත පෙරේරා 

17/02/23

 

Thursday, 9 February 2023

තද මීදුමක 'The Others' සිහිවීම

 

'The Others' in the thick fog...මේ දවස්වල මෙහෙ උදේට දැඩි මීදුම. මේ වගේ තද මීදුමක ඇවිද යද්දී මට මතක් වෙන්නේ 'බොද මීදුම් කදු රැල්ලේ' වගේ සින්දුවක්වත්, අර චාලි චප්ලින් (Charlie Chaplin) කිව්වයි කියන “I always like walking in the rain, so no one can see me crying" කියන එක අනුසාරයෙන් කොල්ලෝ කියන "මම මීදුමේ ඇවිදින්න කැමැතියි, එතකොට මම දුම් උරනවා කියලා කාටවත් පේන්නේ නෑ" (I like to walk in fog so that no one can see me smoking) වගේ කතා නෙමේයි; 2001දී තිරගතවුනු Nicole Kidman ඉන්න 'The Others' කියන චිත්‍රපටිය. 

'The Others' කියන්නේ හොල්මන් චිත්‍රපටියක්. චිත්‍රපටිය අවසන් වෙනතුරු කවුරුත් දන්නේ නෑ, කාටත් හිතාගන්න බෑ, කවුද හොල්මන්, කවුද ජීවතුන් අතර ඉන්නේ, කවුද මියගිය අය කියන එක. ඒ ච්ත්‍රපටියේ මැද දී Nicole Kidman හොයාගන්නවා, විස්තර නොකරන, photosensitivity කියන රෝගයකින් පෙලෙන ලමයි දෙන්නත් එක්ක එයා පදිංචි වෙලා ඉන්න ජර්සි දූපතේ (Jersey, Channel Island) පිහිටි සුවිසල් නිවසේ ඊට කලින් හිටපු අයගේ ඇල්බම් (album) එකක්. ඒ album එකේ photo වල ඉන්න ඔක්කෝමල්ලා මැරිලා...එයා ඒ ගැන නිවසේ මෙහෙකරුවන්ගෙන් අහනවා, එයාලා කියනවා ඒ ඒ ගෙදර හිටපු අය, ඒ අය 1800 ගණන්වල පැතිරුණු ක්ෂය රෝග (tuberculosis) වසංගතයෙන් මියගියා කියලා අහලා තියෙනවා කියලා. පස්සේ Nicole Kidman හොයාගන්නවා ගෙදර මෙහෙකරුවෝ ඊට වඩා යමක් දන්නවා, එයලා වත්ත අතුගාලා අර කලින් මැරිච්ච අයගේ සොහොන්කොත් වැසී යන්න කුණු එකතුකරලා ඒ සොහොන්කොත් වහනවා කියලා. ඊට කලින් ඉදලා Nicole Kidman ඒත්තු ගන්නවා ඒ ගෙදර හොල්මන් තියෙනවා කියලා. හිටපු ගමන් කවුරුත් නැතිව පියානෝ එක play වෙද්දී එයා දැඩි මීදුමේ පල්ලියට දුවනවා පල්ලියේ father ව ගෙනත් ගේ bless කරගන්න. එහෙම මීදුමේ යන එයාට දෙවන ලෝක යුද්ධයේදී මැරුණුයි කියන එයාගේ සැමියා මග එනවා දකිනවා. ඇය ඔහුත් එක්ක නැවතත් ගෙදර එනවා. එත් පහුවෙනිදා උදේදී ඔහුත් ගිහින්...ඒ එක්කම ගෙදර වැඩට හිටපු මෙහෙකාරියකුත් අතුරුදන් වෙලා කියලා ඇය දැනගන්නවා.. ඒ ගැන හොයද්දී අතුරුදන්වු මෙහෙකාරියගේ සොහොන් කොත ලමයි හොයාගන්නවා...පස්සේ බලද්දි ඇයත් බොහෝ කලට පෙර මියගිය තැනැත්තියක්...ඒ අතර ගෙදරට එක එක අලුත් මිනිස්සු එනවා, යනවා. හොයලා බලද්දි මේ ගේ විකුණන්න දාලා. ඒක බලන්න විවිධ මිනිස්සු එනවා කියලා ඇය දැනගන්නවා...එහෙම හොයාගෙන ගෙදරට ගොඩවෙද්දී එයාගෙන් අහන්නේ නැතිව ගෙදර මෙහෙකරුවො ගෙදර ඔක්කෝම curtains ඉවත්කරලා..හිරු එලිය ගෙදරට එනවා...එයාට වගේම photosensitivity කියලා කිව්ව එයාගේ ලමයින්ට හිරු එලිය දරාගන්න බෑ...එයා ගෙදර මෙහෙකරුවෝ එක්ක මේගැන විශාල ආරව්වකට පැටලෙනවා. අන්තිමට මෙහෙකරුවෝ ඇයට කියනවා: 'මෙහෙ ඉන්නවා නම් ඔක්කොම එක්ක එකට එන්න ඕනේ' (learn to coexist together) කියලා. ඒ කියන්නේ ජීවත්වෙන, මියගිය සහ හොල්මන් කියන ඔය ඔක්කෝම එක්ක එකට ජීවත්වෙන්න ඕනෑ කියන එකයි...

මට ඔය චිත්‍රපටිය මතකයට ආවේ ඔය ඝන මීදුමේ ඇවිද යද්දී මා අසලින් ඇවිද යන, මුමුණන, නොමුමුණ, පෙනී නොපෙනෙනීයන අය දැක්කහමයි....

මගේ මතකයට අවේ අර කතාව; "මෙහෙ ඉන්නවා නම් ඔක්කොම එක්ක එකට එන්න ඕනේ"...ජිවතුන්ද, මලවුන්ද, හොල්මන්ද කියලා නෑ...ඒ ඔක්කොම එක්ක එකට එන්න ඕනේ (coexist together)...

මාකස් ප්‍රියන්ත පෙරේරා 

09/02/23