This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Thursday, 26 November 2020

ෆෝක්ලන්තය ජයගත් එංගලන්තයට 'දෙවියන්ගේ අත' ත්, මැරඩෝනාගේ හිසත්, පයත්, අත්කරදුන් දුන් පරාජය !!!

1982 ලෝක පාපන්දු ශුරතා තරගාවලිය පැවත්වුයේ ස්පාඤ්ඤයේය. එම තරගාවලිය ලෝක පාපන්දු ශුරතා ඉතිහාසයේ එක් සුවිශේෂී කඩඉමක් සටහන් කල තරගාවලියක්විය. එතෙක් රටවල් 16කට පමණක් සභභාගීවීමට අවස්ථාව සලසා තිබු ලෝක පාපන්දු ශුරතා තරගාවලියට 1982 සිට රටවල් 24කට සභභාගීවීමට හැකි ලෙස තවදුරටත් පුළුල් කරන ලදී. ඒ අනුව ආසියාව නියෝජනය කරමින් කුවේටයද, ඔස්ට්‍රේලේසියා කලාපය නියෝජනය කරමින් නවසීලන්තයද, අප්‍රිකානු කලාපය නියෝජනය කරමින් ඇල්ජීරියාව සහ කැමරූන් යන රටවල්ද ප්‍රථමවතාවට ලෝක පාපන්දු ශුරතාවට තරගවැදීමට සුදුසුකම් ලබා ගතහ. තරගාවලිය ඇරබීමට පෙර සිටම ඉතාලිය, (එවකට පැවති බටහිර) ජර්මනිය, බ්‍රසීලය, ප්‍රංශය සහ බෙල්ජියම තරගාවලිය තුල සුවිශේෂී දස්කම් දක්වනු ඇතයි යන්න පුරෝකතනය කලේය.

එහෙත් මාධ්‍ය ලෝකය තුල වඩා අවධානය දිනා සිටියේ එංගලන්තය ය. ඇත්තවශයෙන්ම ආපහු හැරී බලතහොත් 1982 වසර පුරාම මාධ්‍ය ලෝකයේ වැඩිම අවධානයක් යොමුවී තිබු රටවී තිබුනේ එංගලන්තය ය. 

අගමැති මාග්‍රට් තැචර්ගේ පුතා සහරා කාන්තාරයේදී අතුරුදහන්වීමත්, ගල් අගුරු ආකර කම්කරුවන්ගේ සිට කසල එකතු කරන්නන් දක්වා දිවගිය නිමක් නැති වැඩ වර්ජන රැල්ලත්, උතුරු අයර්ලන්තයේ IRA ගරිල්ලන්ගේ ප්‍රහාර සහ බෝම්බ පිපිරවීම් මාලාව හමුවේ පවා ත්‍රස්තවාදීන්ට මරන දඩුවම පැමිණවීම තැචර් අගමැතිනිය ප්‍රතික්ෂේප කිරිමත්, IRA සංවිධානයේ ජෙරී ඇඩම්ස් බෙල්ෆාස්ට් ආසනය දිනාගැනීමත්, දෙවන ජුවාම් පාවුලු පාප්වහන්සේ බ්‍රිතාන්‍යයට සම්ප්‍රාප්තවී එංගලන්ත ක්‍රිස්තියානි සභාවේ මුලස්ථානයවන කැන්ටබරි දේවස්ථානයට ගොස් සමගි සම්මුතියකට එලබීමත්, තැචර්ගේ දැඩි දක්ෂිණාංශික පාලනයට අහියෝග කරමින්, වමේ බලාපොරොත්තු දල්වමින්, සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ රෝයි ජෙන්කින්ස් ග්ලාස්ගොව් අතුරු මැතිවරණයෙන් එම ආසනය දිනාගැනීමත්, බ්‍රිතාන්‍යයේ ආරොන් ක්ලග් (Aaron Klug) රසායන විද්‍යාව සදහාවූ නොබෙල් ත්‍යාගය දිනාගැනීමත්, බෙන් කිංස්ලි රගපෑ ගාන්ධි චිත්‍රපටිය තිරගත්වීමත් සමග බ්‍රිතාන්‍යය යටත් විජිතවාදී පාලනය සම්බන්දයෙන් දැඩි කථා බහක් නැවත මතුවීමත්, ආදීය 1982 වසර තුල මාස්පතා, සතිපතා, දිනපතා මාධ්‍ය ලෝකය තුල බ්‍රිතාන්‍යය ගැන අවධානය යොමුවන්නට හේතුවිය. 

එහෙත්, ඒ සියල්ලටම වඩා 1982 වසරේදී බ්‍රිතාන්‍යය වෙත මුළු ලෝකයේම අවධානය යොමුවුයේ ෆෝක්ලන්ත දූපතේ අයිතිය වෙනුවෙන් බ්‍රිතාන්‍ය සහ ආර්ජන්ටිනාව යුද්ධ වැදීමය. 1982 අප්‍රියල් 2වෙනිදා ආර්ජන්‍ටිනාව ෆෝක්ලන්ත දුපත පවරා ගැනීමට විරුද්ධව, නැවත එය බ්‍රිතාන්‍යය සතුකර ගැනීමට ඇරබි ෆෝක්ලන්ත යුද්ධය, 1982 අප්‍රියල් මාසේ සිට ජුනි 14 දින අර්ජන්ටිනා හමුදා බ්‍රිතාන්‍යයට යටත්වීමෙන් අවසන්විය. 

1982 ලෝක පාපන්දු ශුරතාව ඇරබෙන්නේ ආර්ජන්ටිනාව සහ බ්‍රිතාන්‍ය අතර ෆෝක්ලන්ත යුද්ධය පවතින සමයේමය. මෙකී ලෝක කුසලානයට උතුරු අයර්ලන්තයද සුදුසුකම් ලබා තිබුණි. තරගකාරී අනෙකුත් ක්‍රීඩා කණ්ඩායම් අතර බ්‍රිතාන්‍යයට දේශපාලනිකව සතුරැ පිලවල් දෙකක් ලෙස මේ අනුව උතුරු අයර්ලන්තයත්, ආර්ජන්ටිනාවත් ඉස්මතුව පෙනුනි. බ්‍රිතාන්‍යයට එරෙහි එකී සතුරැ කදවුරුවල හතුරුකම් එළිපිටම එළිදැක්වූ එක් ක්‍රීඩකයෙක් වෙත වැඩි අවධානයක් යොමුව තිබුණි. හේ දියාගෝ මැරඩෝනා නම් විය. 

අඩිපහක් 5ක් වත් උස නැති මේ පුංචි ක්‍රීඩකයා කටමැද දොඩවන්නෙක්වූ අතරම අති දක්ෂ පාපන්දු ක්‍රීඩකයෙක්ද විය. තමාට එංගලන්තය සමග ක්‍රීඩා කිරිමට අවස්ථාවක් සැලසෙතොත් එංගලන්තයට අමතක නොවන තරගයක් ක්‍රීඩාකරන බව පුන පුනා කියන්නට විය. ඇත්තවශයෙන්ම දියාගෝ මැරඩෝනා අර්ජන්ටිනා කණ්ඩායම නියෝජනය කරමින් ප්‍රථමවරට ලෝක කුසලාන තරගාවලියට සහභාගීවුයේද 1982දීය. එහෙත් අර්ජන්ටිනා රට තුල මෙන්ම ඉන් පිටතත්, විශේෂයෙන්ම ලෝක කුසලාන තරගාවලිය පැවති ස්පාඤ්ඤ තුලත් මැරඩෝනා ඉතා විශාල ප්‍රසිද්ධියක් හිමිකරගෙන සිටියේ ඔහු ඒ වනවිටද සුප්‍රකට බාසිලෝනා කණ්ඩායම සමග ගිවිසුම් ගතවී සිටි නිසාය. එහෙත් 1982 ලෝක කුසලාන තරගාවලිය තුල බ්‍රිතාන්‍යයට, ආර්ජන්ටිනාව හෝ උතුරු අයර්ලන්තය හමුවුයේ නැත. එම නිසාම දියාගෝ මැරඩෝනා කියූ අමතක නොවන තරගයක්දීමටද ඔහුට නොහැකිවිය. එකී ලෝක කුසලානයේ මුල්ම තරගය වූ ආජන්ටිනාව සහ බෙල්ජියම අතර තරගයෙන් ආර්ජන්ටිනාව 0-1 ලෙස පරාජයට පත්විය. තත්වය වඩා දරුනුවුයේ ආර්ජන්ටිනාව, බෙල්ජියම ඇතුළත්වූ කාණ්ඩය තුල සිටි හංගේරියාව, එල් සැල්වදෝර් රාජ්‍යයට එරෙහිව ගෝල 10-1ක විශාල ජයග්‍රහණයක් අත්කර ගැනීමත් සමගය. බ්‍රිතාන්‍යය මාධ්‍ය ආර්ජන්ටිනාව සහ දියාගෝ මැරඩෝනාව හාස්‍යට ලක්කරමින් කියා සිටියේ ඔවුන්ට බ්‍රිතාන්‍යයට අමතක නොවන තරගයක් ලබාදීමට පෙර කොමියුනිස්ට් හංගේරියාවට අමතක නොවන පාඩමක් ඉගැන්වීමට සිදුව ඇති බවයි. ඇත්තවශයෙන්ම, එය එසේම සිදුවිය. ආර්ජන්ටිනාව තරගාවලියේ විශාල පෙරලියක් කල හංගේරියාව ගෝල 4-1ක් ලෙස පරාජය කළේය. එහිදී මැරඩෝනා සිය සුවිශේෂී දස්කම් පෙළහර පාමින් විශිෂ්ඨ ගෝල ද්වීත්වයක් වාර්තා කළේය. දියාගෝ මැරඩෝනාට සිය බලාපොරොත්තුවවූ බ්‍රිතාන්‍යයට අමතක නොවන තරගයක්දීමට නොහැකිවුවද, ආර්ජන්ටිනාව සහ බ්‍රිතාන්‍යය අතර තරගයක් 1982 ලෝක කුසලාන තරගාවලියේදී නොයෙදුනද, මැරඩෝනාගේ මෙන්ම ආර්ජන්ටිනාවේද බලාපොරොත්තු බිදවැටුනද, ක්‍රීඩකයෙක් ලෙස මැරඩෝනාගේ නැගීම කිසිවෙකුට නැවතිමට නොහැකිවිය. 

ඔහු බාසිලෝනා ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරමින් තරග 36 කදී ගෝල 22ක් වාර්තා කරමින් සිය නාමය ඉහලින්ම රුන්දුහ. 1984 දී, එවකට වාර්තාවූ විශාලතම මුදලකට මැරඩෝනාව ඉතාලියේ නාපොලි ක්‍රීඩා සමාජය මිලදී ගත්තේය. නාපොලි ක්‍රීඩා සමාජය වෙනුවෙන් පමණක් මැරඩෝනා ගෝල 81 ක් වාර්තා කළේය. මැරඩෝනා වූ කලී දෙවියන්ගෙන් වරම් ලැබුවෙකු යැයි පාපන්දු ලෝකය තුල ඔහුව හැදින්වුයේ මේ සියළු තත්වයන් හමුවේය. දෙවියන්ගෙන් වරම් ලද්දෙකුටවුවද දෙවියන් දෙවන අවස්ථාවක් දෙයිදෝයි යන්න කිසිවෙක් නොදනී. එහෙත් පැහැදිලිවම මැරඩෝනාට නම් දෙවියන් දෙවන අවස්ථාවක්ද ප්‍රධානය කළේය. ඒ 1986 ලෝක පාපන්දු ශුරතා තරගාවලියේදීය. ඔහු පුන පුනා බලා සිටි එංගලන්තයට අමතක නොවන තරගයක් ක්‍රීඩා කිරීමට අවස්ථාව 1986දී අර්ධ අවසාන වටයේදී මැරඩෝනාට හිමිවිය.

ෆොර්ක්ලන්ත යුද්ධය පිළිබද අහිමිහිරි මතකය මැක්සිකොවේ පැවති 1986 ලෝක පාපන්දු ශුරතා තරගාවලියේ අර්ධ අවසාන වටයට එංගලන්තය සහ ආර්ජන්ටිනාව මුහුණට මුහුණ හමුවෙනවිට අළුයටලූ ගිනි අගුරුමෙන් එකවර බුර බුරා නැගෙන්නට විය. ආර්ජන්ටිනාවේ ජාතික ගෞවරවය ඔසවාලීමේ වගකීම සුපිරි පාපන්දු ක්‍රිඩක මැරඩෝනා අතට පැවරුණි. ඔහු ඒවන විට ලෝකයේ සිටි විශිෂ්ඨම පාපන්දු ක්‍රීඩකයා පමණක් නොව ආර්ජන්ටිනා කණ්ඩායමේ නායකයාද විය. ඉතා උණුසුම් සහ උද්වේගකරවූ එංගලන්තය සහ ආර්ජන්ටිනාව අතර අර්ධ අවසානවට තරගයේ පනස් එක්වන මිනිත්තුවේදී මැරඩෝනා හිසින් පන්දුවට පහර දෙමින් ගෝලයක් වාර්තා කලේ මුළු පිටියම දෙදරවමින් ජයගෝසා නැගෙද්දීය. එහෙත් එංගලන්ත කන්ඩායමේ දැල් රකින්නා මෙන්ම එංගලන්ත කණ්ඩායමද එය හිසින් නොව අතින් ගැසූ පහරක් යැයි කියමින් කෑගැසුහ. හැකි උපරිමයෙන් විරෝධයපෑහ. එහෙත් අද මෙන් නැවත නැවත පෙරලා ආපස්සට ගොස් බැලිය හැකි රූපවාහිණි තාක්ෂණයක් නොතිබි එකල එංගලන්ත කාණ්ඩායමේ විරෝධය මධ්‍යයේ වුවද එය නිල ගෝලයක් ලෙස පිළිගත්හ. එංගලන්තයට කල හැකි කිසිවක් නොවිණි. විනිසුරු තීරණය පිළිගනිමින් ඔවුහු නැවත තරගයට අවතීර්ණය විය. කඩා වැටුන එංගලන්ත කණ්ඩායම අන්දමන්ද කරමින් මැරඩෝනා ඉන් විනාඩි හතරකට පසුව එංගලන්ත ක්‍රීඩකයින් පස් දෙනෙකු පරාජය කරමින් වේගයෙන් තවත් ගෝලයක් වාර්තා කළේය. 1986 ලෝක කුසලාන තරගාවලියේ විශිෂ්ඨම ගෝලය හෙවත් සියවසේ ගෝලය ලෙස හැදින්වූ එම ගෝලය එංගලන්ත කණ්ඩයමේ ලෝක කුසලාන බලාපොරොත්තු සුනුවිසුනු කලේය. 1986 අවසන් පුර්ව වටයේදී බෙල්ජියමත්, අවසාන තරගයේදී (බටහිර) ජර්මනියත් පරාජය කරමින් ආර්ජන්ටිනාව 1986 ලෝක කුසලානය දිනාගත්තේය. මැරඩෝනා තරගාවලියේ විශිෂ්ඨම ක්‍රීඩකයා වෙමින් ''රන්පා වැසුම'' ද හිමිකර ගත්තේය. 

මැරඩෝනා 1982 දී ප්‍රාර්ථනාකල එංගලන්තයට අමතක නොවන තරගයක් දීමේ උවමනාව ඉෂ්ට කරගැනීමෙන් පසු සිය ජීවිත කාලය රිසි රිසි සේ ගෙවා දැමුවේය. එංගලන්තය සමග තරගයේදී ඔහු වාර්තාකල මුල්ම ගෝලය ගැන ඔහු මුලින්ම කිව්වේ එය ඔහුගේ හිසෙන් සහ 'දෙවියන්ගේ අතින්' වාර්තාකළ ගෝලයක් බවය. පසුව එය තම හිසින් නොව දෙවියන්ගේ අතින් ගැසූ ගෝලයක් බව කීහ. කෙසේ හෝ තරගය දිනීමට, ඔවුන්ට හේතු තිබෙන බවද ඔහු කිව්වේය. මැරඩෝනා නම් සිය ජීවිත අරමුණ සාක්ෂාත් කරගත් අයෙකු ලෙස මියගියේය. එහෙත් එංගලන්තය අදද එම තරගයෙන් පරාජයවීමේ වේදනාවෙන් මිරිකෙමින් සිටි. 

මාකස් ප්‍රියන්ත පෙරේරා
26/11/2020

Friday, 13 November 2020

Indecent Proposal චිත්‍රපටිය ගැන පුනරාවර්ජනයක්


මේ දවස්වල lockdown වෙලා ගෙදර ඉන්න නිසා වැඩිපුර යමක් කියවන්න, අහන්න, බලන්න වෙලාවක් ලැබිලා තියෙනවා. එහෙම කාලය ගතකරමින් ඉන්න වෙලාවක අපි A/L කරලා ගෙදර ඉන්න කාලෙදී බැලුව පරණ ඉංග්‍රීසි චිත්රපටියක් Netflix එකේ තියෙනවා දැක්කා. ඒ Adrian Lyne ගේ Indecent Proposal (1993) චිත්‍රපටිය. බ්‍රිතාන්‍ය ජාතික Adrian Lyne කියන්නේ චිත්‍රපට ඔස්සේ දක්ෂ කථා කියන්නෙක්. ඔහුගේ Lolita (1997), Unfaithful (2002) ආදී චිත්‍රපටිත් මම ආසාවෙන් බලපු චිත්‍රපට.

ඒත් Indecent Proposal චිත්‍රපටිය මගේ හදවතේ කිදාබැස තිබුන චිත්‍රපටියක්. සමහරවිට එකට හේතුව මම ආස කරපු Robert Redford සහ Demi Moore වැනි නළු / නිළියන් එහි ප්‍රධාන චරිත රගපාපු නිසා වෙන්න ඇති. Demi Moore මගේ හත වෙලාගත්තේ ඇය රගපෑ Ghost (1990) චිත්‍රපටියේ ඉදන් වෙන්න පුළුවන්. Ghost චිත්‍රපටියේ Righteous Brothersලා ගායනාකල Unchained Melody (Woah, my love, my darling, I've hungered for your touch..) ගීතය අදත් මම නිතර රසවිදන ආදරණීය ගීතයක්. කොහොමත් Ghost චිත්‍රපටියේ සංගීතය අධ්‍යක්ෂණය කල ප්‍රංශ ජාතික Maurice Jarre විශිෂ්ඨ සංගීත අධ්‍යක්ෂකවරයෙක්, ඔහු බ්‍රිතාන්‍යයෙන් බිහිවූ විශිෂ්ඨ චිත්‍රපටි අධ්‍යක්ෂකවරයෙක්වූ David Leanගේ Lawrence of Arabia (1962) චිත්‍රපටියේ සංගීත නිර්මාණය කිරීම වැනි දේවල සිට අදටත් මෙරට පාසැල් ළමුන් පවා සහභාගීවෙන orchestraවල වැයෙන සංගීත නිර්මාණ රාශියක නිර්මාපකයෙක්.

මේ සියල්ල මගේ මතකයට ආවේ Demi Moore ගැන, ඇය රගපෑ Indecent Proposal චිතරපටිය ගැන කතාකරන්න ගිහිල්ලයි.

ඒත් මම දන්නවා ඇත්තටම මම Indecent Proposal චිතරපටියට වඩා කැමති Demi Moore නිසාවත් Robert Redford (ඔහුගේ Butch Cassidy and the Sundance Kid (1969), An Unfinished Life (2005),The Way We Were (1973), Spy Game (2001) වැනි චිත්‍රපටි කොහොම නම් අමතක කරන්නද?) නිසාවත් නෙමේයි: මම Indecent Proposal චිතරපටියට වඩා කැමති එහි කථා සාරය සහ දෙබස් නිසයි.

Indecent Proposal චිත්‍රපටිය පුරාම දිව යන්නේ එකම එක තේමාවක්. ඒ තමයි සල්ලිවලට සියල්ල ගන්න පුලුවන්ද? ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙක්වු  John Gage (Robert Redford)පුළුවන් තරම් උත්සහ කරන්නේ සල්ලිවලට සියල්ල ගන්න පුළුවන් කියලා ඔප්පු කරන්නයි. ඔහු  ආර්ථික අර්බුධය නිසා රැකියාව අහිමිවෙලා, විශාල පීඩනයකට ලක්වෙලා, ලාස්වෙගාස්වල කැසිනෝ පොලවල සිය වාසනාව උරගා බලන්න ආව ආදරෙන් බැදුන තරුණ යුවලක්වූ Diana (Demi Moore) සහ David Murphy (Woody Harrelson)ටත් ඔප්පු කරන්න උත්සහ කරනවා. John Gage (Robert Redford) ගේ ඇහැ ගැටෙන Diana Murphy (Demi Moore)ව දිනාගන්න ඔහු අපමණ උත්සහයක් ගන්නවා. එත් Diana Murphy (Demi Moore) දිගටම කියන දෙයක් තමයි සල්ලිවලට මිනිස්සු ගන්න බැහැ... ආදරය දිනාගන්න බැහැ.. කියන එක. ඒ දෙබස් ඉතාම ආකර්ෂණීයයි...

“- John Gage: That's naive, Diana. I buy people every day.
- Diana Murphy: In business, maybe, but you can't buy people not when real emotions are involved.
- John Gage: So you're saying you can't buy love? That's a bit of a cliché don't you think?
- Diana Murphy: It's absolutely true.”

Diana Murphy (Demi Moore) කොහොම මොනවා කිව්වත් අන්තිමට ප්‍රකෝටිපති John Gage කියනවා ඇගේ සැමියාට ඩොලර් මිලියනක් දෙන්නම් ඔයාගේ ගෑනිව එක දවසකට මට එවන්න කියලා...අශිලාචාර යෝජනාව හෙවත් Indecent Proposal චිත්‍රපටිය දිගහැරෙන්නේ අන්න එතන සිටයි. එක මහා එපාකරපු, හදවත කීරි ගැසෙන යෝජනාවක්. පිළිකුලෙන් යුතුව හෙළාදැකිය යුතු යෝජනාවක්. මරාගෙන මැරෙන්න හිතෙන යෝජනාවක්. ඒත් අන්තිමට සිය ණයතුරුස්වලින් නිදහස් වෙන්න, ඇයගේ සැමියා සමග ජීවිතය ජයගන්න දෙදෙනාගේම කැමැත්ත මත  අර ප්‍රකෝටිපති John Gageගාවට යන්න Diana Murphy (Demi Moore) කැමති වෙනවා. යෝජනාවට කැමතිවෙලා ගෑනී ගියාට පස්සේ තමයි ඇගේ සැමියාවූ David Murphy (Woody Harrelson) හදවත මොරගහන්නේ. පපුව පැලෙන්නේ...ඔහු එතැනින් එහාට සම්පුරණයෙන්ම කඩා වැටෙනවා...ඔහු සමග වගේම ඇය සමගත් තරහක් ඇතිවෙනවා.. ඔහු පිස්සෙක් පිහාට්ටෙක්වෙනවා... කෙළවරක් නැති සැකකිරීමවලට යනවා... එය අවසාන වශයෙන් ඔවුන් දෙදෙනා වෙන්කිරීම දක්වා ගමන්කරනවා...ඒ මොහොත වෙනකම් Diana Murphy (Demi Moore)ගේ සැමියාවු David Murphy (Woody Harrelson) දැනගෙන හිටියේ නැහැ ඔහු ඇයට කෙතරම් ආදරය කලාද වග...ඇය තමා ලග හිටියත් තමාට ඇයව නොදැනෙන තරමට ඔහු අසංවේදීවූ බව ඔහුට හැගෙන්න පටන් ගන්නවා... ඇත්තටම චිත්‍රපටියේ පළමු වාක්‍යත් එකයි: “Losing Diana is like losing a part of me. I thought nothing could change the way we felt about each other. I thought we were invincible.”

කොහොමවුනත් Diana Murphy (Demi Moore)ගේ ශරීරය ප්‍රකෝටිපති John Gage ගාවට ගියත්, ඇයගේ ආදරය John Gageට එහෙම ලේසියෙන් නතුවෙන්නේ නැහැ...එක ප්‍රකෝටිපති John Gageත් ඉතා හොදින් දන්නවා...ඔහු ටික ටික ඇයව දිනාගන්න උත්සහ කරනවා. ඇති තරම් වියදම් කරනවා...ඇයව සතුටට පත්කරන්න පුළුවන් බොහෝ දේවල් කරනවා. ඇගේ හදවත දිනාගන්න පුළුවන් සියල්ල කරනවා...

අවසානයේ ඇය ඇගේ පැරණි සැමියාවූ David Murphy (Woody Harrelson)ට දික්කසාදය ඉල්ලා යවනවා. ඒ වෙනකොට විවිධ දුඛ්‍යවේදනාවන්ගෙන් අපමණ කඩාවැටීමකට ලක්වූ David ගුරුවරයෙක් ලෙස අලුත් ජීවිතයක් පටන් අරන්...ඔහු ඇයගේ දික්කසාද ඉල්ලුම් පත්‍රය පුරවා ඇය හමුවීමට ගොස් ඇයට කියනවා ''මම හිතුවා අපි එකිනෙකාව නොපෙනෙන නොදැනෙන ගානටයි හිටියේ...නමුත් මම දැන් දන්නවා මිනිස්සු ආදරයෙන් ඉද්දී එකිනෙකාට කලකී සියල්ල අමතක කරන්න බැහැ...එත් ඒ අය තවදුරටත් එකට ඉන්නවා නම් ඒ ඉන්නේ ඒ සියල්ල අමතක කරන නිසා නෙමෙයි, ඒ අය එකිනෙකාට සමාවදීම නිසයි'' කියලා (“I thought we were invincible. But now I know that the things that people in love do to each other, they remember. And if they stay together, it's not because they forget. It's because they forgive.”)

ඒ දෙබස ඒ චිත්‍රපටියේ සියල්ල එක මොහොතකදී එක පෙලට කැටිකොට ගන්නවා...David ගේ සහ Diana ගේ දෙබස දෙස ඈත සිට බලන් ඉන්න ප්‍රකෝටිපති John Gage තේරුම්ගන්නවා මම කොච්චර කොහොමකලත් Dianaගේ දෑස්වලින් ඇගේ සැමියා වූ Davidට ගලාහැලුන ආදරය කවදාවත් ඔහුට දිනාගන්න බැහැ කියලා. ප්‍රකෝටිපති John Gage හිතාගන්නවා සල්ලිවලට සියල්ල ගන්න බැහැ කියලා.

Diana Murphy (Demi Moore) සහ David Murphy (Woody Harrelson) අළුතින්ම ජීවිතය පටන්ගන්නවා..නැවත ආදරයෙන් වෙලෙනවා... ඒ සියල්ලේම පදනම වුනේ ඔවුන් එකිනෙකාට සමාව දී ඔවුන් එකිනෙකා මනුෂ්‍යන් වශයෙන් එකිනෙකාව නැවත පිළිගැනීමයි.. ඇත්තටම සමාවදීම කියන්නේ මොනතරම් තීරණාත්මක දෙයක්ද? 'මට අමතක කරන්න බැහැ..මට හිතින් අයින්කරගන්න බැහැ' කිය කියා වදවෙන, වදදෙන, වදවිදින සියල්ලන්ටම සමාවදීම කියන්නේ මොනතරම් දිව්‍ය ධානයක්ද? සමාවදීම නොදන්නා මිනිස්සු ඒ සහනය කොහොම අත්දකින්නද? බයිබලේ එක තැනදී ජේසුගෙන් අහනවා අපි කීපාරක් සමාව දෙන්න ඕනද කියල. ජේසු කියනවා හැත්තෑ වාර හැත්තෑවක් (“seventy times seven times” - Matthew 18:22). ඒ කියන්න සීමා මායිම්වලින් තොරව (boundlessness) සමාවදෙන්න කියලයි. ආදරේ නම් එක කරන්න පුළුවන් දෙයක්...සමාව දෙන්න පුළුවන් නම් කිසිවක් කවදාවත් අහිමිවෙන්නේ නැහැ. සමාවදිය හැකි ආදරයක් කවදාවත් නැතිවෙන්නේ නැහැ...ඔය චිත්‍රපටිය පටන්ගද්දීම ඒ ගැන කියනවා, අපි ඒක 1990 ගණන්වල ඉදලා නිතරම අහලා තියෙන දෙයක් “If you ever want something badly, let it go. If it comes back to you, then its yours forever. If it doesnt, then it was never yours to begin with.”

මාකස් ප්‍රියන්ත පෙරේරා
13/11/2020

Tuesday, 10 November 2020

කොරෝනා එන්නත සහ රුසියාව


ඇමරිකානු ජනාධිපතිවරණය අවසන්වූ වහාම කොරෝනාවලට එන්නතක් හොයාගත්තේ යැයි යන ප්‍රවෘත්තිය පලවෙන්නට විය. එය සමස්ත ලෝකයේම දැන් වැඩි දෙනෙක් බලා ඇති ප්‍රවෘත්තියවී හමාරය. 

කොරෝනා නිසා දිනකට දහස්ගානක් මියයන මොහොතක කොරෝනාවලට බෙහෙතක් හොයාගත්තේයැයි පුවත ලෝක ප්‍රවෘත්ති අතර මුල් තැනට පත්වීම අරුමයක් නොවේ. ඒකී ප්‍රවෘත්තිය නිසා ලෝකය පුරාම කොටස් වෙළදපොලවල මිල ඉහල ගිය බව දැක්වෙන පුවතද ඒ අනුව අපට තේරුම්ගැනීමට පුළුවන.  කොරෝනා උවදුර නිසා කඩාවැටුන කොටස් වෙළදපොලවල කොටස් ලොව  මහා පරිමාන ධනවතුන් සහ කොම්පැනිකරුවන් විසින් ඉතා අඩු මුදලකට මිලදී ගනිමින් සිටීයැයි පහුගිය කාලපුරාම වාර්තාවිය. එවැනි තත්වයක් තුල කොරෝනා වසංගතය සදහා ප්‍රතිකාරයක් සොයාගත්තේයැයි වාර්තාවූ  සැනින් කොටස් වෙලදපොලවල ආයෝජකයින් ක්ෂණිකයෙන් ලාභ ඉපැයීමකට යොමුවන්නටද ඇත. ඒ සියල්ල සිදුවුයේ කොරෝනා වසංගතයට බෙහෙතක් සොයාගත්තේයැයි යන පුවත නිසාය.

කොරෝනා වසංගතයට ප්‍රතිකාරයක් හොයාගත්තේයැයි ප්‍රකාශකලේ  ඇමරිකාව කේන්ද්‍රකරගත් බහුජාතික ඖෂධ සමාගමක් වන Pfizer සමාගම සහ ඔවුන්ගේ අනුබද්ධ ආයතනයක් වන BioNTech සමගම විසිනි. BioNTech ආයතනය පිළිකා රෝග සදහා භාවිතා කරන ඖෂධ නිෂ්පාදනය සම්බන්දයෙන් ප්‍රසිද්ධියක් උසුලන ජර්මන් සමාගමකි.

මේම සමාගම් කොරෝනා රෝගය සදහා ප්‍රතිකාරයක් සොයාගත්තේ යැයි නිවේදනය කිරීමට පෙර පවා, පසුගිය ජුලි මාසේම, රුසියාව කොරෝනා වසංගතයට ප්‍රතිකාරයක් හොයාගත්තේ යැයි නිවේදනය කළේය. එම දවස්වලම කොරෝනා වසංගතයට එන්නතක් සොයමින් සිටි බ්‍රිතාන්‍යයේ  ඔක්ස්ෆඩ් විශ්වවිද්‍යාලයේ පරීක්ෂන කණ්ඩායම් වාර්තාකල පුවතක්වුයේ ඔවුන්ට රුසියන් සයිබර් ප්‍රහාරයක් එල්ලවුන බවත්, ඔවුන්ගේ දත්ත සොරාගැනීමට රුසියානු සයිබර් හැකරුන් උත්සහකල බවත්ය.

රුසියාව ඔක්ස්ෆඩ් විශ්වවිද්‍යාලයේ පරීක්ෂනවල දත්ත සොරාගත්තාද? නැද්ද? යන්න ගැන අපි නොදනිමු. එහෙත් Pfizer සහ BioNTech සමාගම්  කොරෝනාවට ප්‍රතිකාරයක් සොයාගත්තායැයි දැක්වූ සැනින්ම රුසියාවද නිවේදනයක් නිකුත්කරමින්  දැක්වුයේ ඔවුන් සතුවද කොරෝනා වසංගතය සදහා එන්නතක් ඇති බවත් එහෙත් එය සදහා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් (WHO) නිසි අනුමැතිය ලබාදී නැති බවත්ය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රතිචාරයවුයේ රුසියානු කොරෝනා ප්‍රතිකාරය නියමිත පිළිවෙත්  සහ ක්‍රමවේදයන් අනුගමනය කරමින් සිය ප්‍රතිකාරයේ සාර්ථකත්වය තවමත් තහවුරු කරගෙන නැති බවයි. එහෙත් රුසියානු ප්‍රතිකාරය සාර්ථක බව රුසියාව ප්‍රකාශකලා පමණක් නොව පුටින්ගේ පවුලේ එක් දියණියක් පවා ඔවුන්ගේ  කොරෝනා එන්නත අත්හදා බලා සාර්ථක ප්‍රතිපල ලබාගත් බව පුටින්ම දක්වා තිබුනි. ඇත්ත වශයෙන්ම කොරෝනා වසංගතය සදහා එවැනි සාර්ථක ප්‍රතිකාරයක් රුසියාව සතුව තිබේද? සාර්ථක නොවන ප්‍රතිකාරයක් සිය පවුලේ සමාජිකයෙකුට ලබාදීමට පුටින් ඉඩ ලබාදෙයිද? තමන්ගේ පවුලේ කෙනෙකුට ප්‍රතිකාරය ලබාදී සාර්ථකවූ පමණින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියාම ක්‍රියාපටිපාටිය තහවුරු කිරීමට එය ප්‍රමාණවත්ද? යන්න වෙනම තර්කයකි.

එහෙත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අදහස කුමක්වුවද කිසිදු රාජ්‍යයක් රුසියාවේ ප්‍රතිකාරය ඉල්ලුම් කලබවක් හෝ, අඩුම තරමින් රුසියාවවත් සිය එන්නත තම රටේ ජනයාට ලබාදීමට පියවරගත් බවක් හෝ තවමත් වාර්තාවී නොමැත. සිය එන්නත සාර්ථක බව පමණක් රුසියාව දක්වමින් සිටී. 

කොරෝනා වසංගතය සදහා එසේ රුසියානු ප්‍රතිකාර ක්‍රමය සාර්ථක යැයි දැක්වුවද Pfizer සහ BioNTech සමාගම් කොරෝනාවට ප්‍රතිකාරයක් සොයාගත්තේයැයි දැක්වූ සැනින්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතියවත් තවමත් සම්පුර්ණයෙන්ම ලබාදී නොමැති තත්වයක් තුල පවා, Pfizer සහ BioNTech සමාගම්වල ප්‍රතිකාරයට විශාල ඉල්ලුමක් දැනටමත් ගෝලීය මට්ටමින් ගලා එමින් තිබේ. බ්‍රිතාන්‍යය රජය පවා එම සමාගමේ ප්‍රතිකාර සදහා පවුම් මිලියන ගණනක ඇනවුමක් ලබාදී ඇත.

Pfizer සහ BioNTech යන සමාගම් බහුජාතික සමාගම්ය. රුසියාව යනු රාජ්‍යයකි. බ්‍රිතාන්‍ය ඇතුළු බටහිර රටවල පසමිතුරු රාජ්‍යකි. එවැනි රාජ්‍යයකින් කොරෝනා වසංගතය සදහා ප්‍රතිකාර මිලදී ගන්නවා වෙනුවට බහුජාතික සමාගම්වලින් බෙහෙත මිලදී ගැනීමට විවිධ රටවල් පෙලගැසෙන්නේ පසමිතුරු රාජ්‍යයකට වඩා තම තමන්ගේ රටවලටත් බදුගෙවන සමාගම්වලට ලාභාංශ ලැබෙන සමාගමකින් බෙහෙත මිලදී ගැනීම වඩා යහපත් යැයි ඔවුන් සිතන නිසාද?

ඇතැම්විට, කලක් ගතවෙනවිට, කොරෝනා වසංගතය යනු  මිනිස් වර්ගයා මුහුණ දුන් භයානක වසංගතයක් විද්‍යාවේ සහ තාක්‍ෂණයේ දියණුවෙන් ජයගත් අවස්ථාවක් ලෙස දැක්වීමට මෙන්ම, මේ යුගයේ ධනවාදය ක්‍රියාත්මක වෙන්නේ කෙසේද යන්න ගැන පෙන්වාදීමට හැකි හොද උදාහරණයවීමටද ඉඩ තිබේ.

එවිටද අපට කීමට ඇත්තේ අපි හම්බකොලොත් අපි බෙහෙත් ගන්නවා කියාද? 

මාකස් ප්‍රියන්ත පෙරේරා
10/11/20 

Friday, 6 November 2020

සන්තියාගෝ ප්‍රනාන්දු නම් මීගමුවේ සාන්තුවරයා

1904 මීගමුව කුඩාපාඩුවේ දිළිදු ධීවර පැල්පතක ඉපිද, 1991 නොවැම්බර් මස 02 දින, දිළින්දෙක් ලෙසම මියගිය සන්තියාගෝ ප්‍රනාන්දු හෙවත් ව. ස. ප්‍රනාන්දු හෙවත් ‘සන්ති ගුරුන්නාන්සේ’, සියළු ආත්මයන් සමරන (All Souls' Day) අද (02/11) වැනි දිනක කතෝලික ජනයා අමතක නොකළ යුතු තරම් වටිනා පුද්ගලයෙකි.

ඒ ඔහුගේ මරණය සිදුවුයේ අද වැනි දිනක නිසාම නොව, කෙතරම් බාධක පැමිණියද තමා තේරුම්ගත් ක්‍රිස්තු චරිතය තම ජීවන දැක්ම ලෙස සලකමින් මීගමුවේ පිඩිත ජනයාගේ ප්‍රශ්න වෙනුවෙන් මෙන්ම සමස්ථ ශ්‍රී ලංකික පිඩිතයන් වෙනුවෙන් සිය මරණය දක්වාම සටන් කල පුද්ගලයෙක්වීම නිසාය.

එහෙත් 1970 දශකයේ අගභාගය දක්වාම ශ්‍රී ලංකා කතෝලික පල්ලිය ඔහුට එරෙහිව දැඩි පිළිවෙතක් අනුගමනය කළේය. ඒ ඔහු 1935 දී පිහිට වූ ශ්‍රී ලංකා සම සමාජ පක්ෂයට එක්වූ පළමු කතෝලිකයා වී කතෝලිකයන් බහුතරයක් වෙසෙන මීගමුවේ වාමාංශික දේශපාලනයක නිරතවීම නිසාත්, කතෝලික පල්ලිය වාමාංශික දේශපාලනය ආගමික නිදහස තහනම් කරන ව්‍යාපාරයක් ලෙස වැරදි වැටහීමක සිටි නිසාත්ය.

එමෙන්ම ඔහු කතෝලික පල්ලිය දේශීයකරණය වියයුතු බවත්, දේශීය භාෂාවන්ගේන් සියළු කටයුතු සිදුකළයුතු බවත්, නිදහස් අධ්‍යාපනයේ නිසි පල පිඩිත ජනයාට ලැබීමට නම් කතෝලික පාසැල් ජන සතුවිය යුතු බවත් සිතා කටයුතු කළේය.

ඔහුගේ මෙම ප්‍රතිපත්ති කතෝලික පල්ලියේ ප්‍රතිපත්තිවලට වඩා වෙනස්ම නිසාම, 1947 පැවති පළමු ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මැතිවරණයට සම සමාජ පක්ෂයෙන් මීගමුව ආසනයට තරගකල ඔහුව ඡන්ද 926කින් පරාජය කිරීමට හේතුවක්වු බවට තර්කයක් වේ. 

කතෝලික පල්ලියෙන් මෙන්ම ඇතැම් සිංහල-බෞද්ධ බලවේගවල හැරහීමටද මෙතුමා පත්විය, ඒ 1955 දී බණ්ඩාරනායකගේ භාෂා ප්‍රතිපත්තිය තීරණය කරන රැස්වීමකට පිලිප් ගුණවර්ධනගේ පක්ෂයෙන් සහභාගීවූ ඔහු ඒහිදී සිංහල භාෂාව රාජ්‍යය භාෂාව මෙන්ම දෙමළ භාෂාවද අඩුම තරමින් උතුරු-නැගෙනහිර රාජකාරී භාෂාව ලෙසවත් පිළිගත යුතුයැයි තර්කකල නිසාය. මේ සම්බන්දයෙන් 56 බලවේගයේ සිංහල-බෞද්ධවාදී ස්ථාවරය නියෝජනය කල මෙත්තානන්ද ආදීන් ඔහුව විවේචනය කලේ 'කතෝලික පල්ලියේ පිල්ලි විවිධ ස්වරූප දරන බවත්, සන්තියාගෝ ප්‍රනාන්දු ද තවත් කතෝලික පල්ලියේ පිල්ලියක්' බවත් දක්වමිනි.

මියයනතුරුම පිලිප් ගුණවර්ධනගේ මහජන එක්සත් පෙරමුණේ සභාපතිවරයා ලෙස කටයුතු කල මෙතුමාට 1989 දී එම පක්ෂයට ලැබුණ ජාතික මන්ත්‍රි අසුන පුදකළ මුත්, එය බරනොගත් මෙතුමා, තමා ජීවිතය පුරාම දේශපාලනය කලේ මන්ත්‍රිකම් වෙනුවෙන් නොවන බවත්, එය 85 හැවිරිදි තමාට වඩා තරුණයකුට දෙන ලෙසත් ඉල්ලා සිටින ලදී. එයින් ප්‍රයෝජනය ගත් පක්ෂ නායක දිනේෂ් ගුණවර්ධන එය සිය සහෝදරයා වන ගිතාංජන ගුණවර්ධනට ලබාදී මහජන එක්සත් පෙරමුණ තුල සිය පවුලේ බලය තහවුරු කරගන්නා ලදී. 

1986 දී මෙතුමා හමුවට පැමිණි එවකට අගරදගුරුවරයා වූ ගරු නිකලස් මාකස් ප්‍රනාන්දු බිෂෝප්වරයා ඇතුළු කතෝලික පුජකවරු පිරිසක්, ඔහු සම්බන්දයෙන් කතෝලික පල්ලිය අනුගමනය කල ප්‍රතිපත්තිය වැරදි බවත් ඒවෙනුවෙන් සමාවෙන ලෙසත් ඉල්ලා සිටින ලදී. 

ඔහු ද කතෝලික පාසැල් ජනසතුවීම නිසා කිසිම සෙතක් නොවු බව පිළිගන්නා ලදී. ඔහු මියයාමට ප්‍රථම කතෝලික පල්ලිය 'කතෝලික ජන ප්‍රසාද' සම්මානය ඔහුට ලබදෙන ලදී. 

එතුමාගේ ආභාෂය ලද ලංකා සම සමාජ පක්ෂයෙන් මීගමුව ආසනය නියෝජනය කල හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි හෙක්ටර් ප්‍රනාන්දු මෙන්ම නොයෙකුත් තාඩන පීඩනවලට ලක්වෙමින් ශ්‍රී ලංකාවේ අතුරුදහන් වුවන්ගේ සංවිධානයේ කැදවුම්කරු ලෙස කටයුතු කරන බ්‍රිටෝ ප්‍රනාන්දු ද, එක්සත් කම්කරු සම්මේලනයේ කැදවුම්කරු ලීනස් ජයතිලක, ඇතුළු කතෝලික පුද්ගලයන් රාශියක් තවදුරටත් එතුමාගේම අඩිපාරේ ගිය බව පෙනේ. 

හිටපු මහ අධිකරණ විනිසූරු W. T. A ලෙස්ලි ප්‍රනාන්දු මහතා මෙතුමාගේ පුත්‍රයාය. 

මාකස් ප්‍රියන්ත පෙරේරා 
02/11/2014