දැන් මාස කිහිපයකට පෙර අප මෙහි ජීවත්වන ප්‍රදේශයේ දේවස්ථානයකට වසර 150ක් පිරීමේ ජුබිලිය පවත්වනු ලැබුවා.
දේවස්ථානයක ජුබිලි සමරුවක් තුල සාමාන්‍යයෙන් සිදුවන ආගමික කටයුතු හා දේවස්ථානය පිළිසකර කර වර්ණ ගැන්වීම වැනි කටයුතු වලට එහා ගිය ජුබිලි සමරු වැඩසටහනක් එම දේවස්ථානය විසින් සංවිධානය කර තිබුණා.
ඒ තමයි එම දේවස්ථානය පිහිටි ප්‍රදේශයේ වසර 150ක ඉතිහාසය දැක්වෙන ප්‍රදර්ශණයක් සංවිධානය කර තිබීම.
එවැනි ප්‍රදර්ශණයක් සංවිධානය කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නෙමේ. ඒ සදහා දේවස්ථානයේ පියතුමාගේ අනුශාසකත්වයෙන් කමිටුවක් පත්කර තිබුණා. විශ්‍රාමික විදුහල්පතිවරු, විශ්‍රාමික ගුරුවරු වගේම පල්ලියේ ක්‍රියාකාරීන්, ප්‍රදේශයේ විශ්ව විද්‍යාල සිසුන් ආදියත් ඊට සම්බන්ධ වී සිටියා. ඔවුන් පල්ලියේ වාර්තා මෙන්ම පල්ලියට අයත් පාසැලේ වාර්තා ද, බ්‍රිතාන්‍යය ජාතික පුස්තකාලයේ, ජාතික ලේඛණාගාර දෙපාර්තමේන්තුවේ සහ නගර සභාවෙත් උදව් ලබාගෙන තිබුණා.
එහෙත් මෙම වැඩසටහන සම්පුර්ණයෙන්ම දියත්වී තිබුනේ ස්වෙච්ඡා පදනමකින්. ප්‍රදර්ශණයට අවශ්‍ය අමුද්‍රව්‍යය වල පිටපත් ගැනීමට හෝ මුද්‍රණය කටයුතු කරගැනීමටත්, ප්‍රදර්ශණ භාණ්ඩ සකස්කර ගැනීමටත් පමණක් අරමුදල් සපයාගෙන තිබුණා.
එය අපි හුගාක් දෙනෙකු පුරුදු වී ඇති මුදල් හොයාගෙන වැඩ කිරීමේ ක්‍රමයට වඩා වෙනස් විදිහේ වැඩ කිරීමේ පිළිවෙළක්. මුදල් හොයාගෙන වැඩකිරීම වෙනුවට ස්වෙච්ඡාවෙන් පොදු අරමුණක් වෙනුවෙන් කටයුතු කරන විට එහිලා අවශ්‍ය සහය, ආධාර නිතැතින්ම ගලා තමයි මෙහිදී සිදුවී ඇත්තේ. එය එක්තරා ආකාරයට අදාල කාරණයට අවශ්‍යය ජීවය ගෙන එමක්.
ප්‍රදර්ශණය දින ගණනාවක්ම පැවැත්වූවා. පාසැල් ළමුන් වගේම රැකියාව අවසන් වී ගෙදර යන වැඩිහිටියන් ද ප්‍රදර්ශණය නැරඹීමට පැමිණ තිබුණා.
ප්‍රදේශයේ පැරණි සිතියම්, පසුගිය වසර 150 තුල ප්‍රදේශයේ වීදි, මංමාවත්, ගොඩනැගිලි ආදිය වෙනස්වී ඇති ආකාරය, දෙවන ලෝක යුද්ධ සමයේ ජර්මාණු ගුවන් ප්‍රහාරවලින් ප්‍රදේශයේ ගොඩනැගිලිවලට සිදුවූ හානි දැක්වෙන ජයාරූප, රාශියක්ම එහි ප්‍රදර්ශණයට තබා තිබුණා.
මෙම ප්‍රදර්ශණය මහා පරිමාණයෙන් වියදම් කළ හෝ ඉහල ප්‍රමිතියට සැකසූ ප්‍රදර්ශණයක් නොවුනත් එය ප්‍රදේශයේ ජීවත්වෙන ජනයාට කිසියම් ආකාරය අධ්‍යාපනක්, දැනුවත්වීමක්, පණගැන්වීක් ඇති කළ ප්‍රදර්ශණයක්. එය අලුත් පරම්පරාවකට පවා තමන් ජීවත්වන ප්‍රදේශයේ ඉතිහාසය ගැන කිසියම් මතකයක්, ආවර්ජනයක්, ඉතිහාසයක් ගොඩනැගීමට හේතු වූ ප්‍රදර්ශණයක්.
මම මේ කාරණය බෙදාගත්තේ මා හැදී වැඩුන ගම වන මීගමුවේ මේ වසරේ සහ ලබන වසරේ පල්ලි කිහිපයකම ජුබිලි සැමැරීම් යෙදී ඇති නිසයි.
පෘතුගීසි යුගයේ සිට පැවැත එන මීගමුව පිටිපන විදිය කන්‍යා ශුද්ධවූ දේව මාතා දේවස්ථානයට මේ වසරේ වසර 400යක් පිරෙනවා. මීගමුව පෘතුගීසි - ලන්දේසි සිට ස්ථාන කිහිපයකටම රැගෙන ගිය මීගමුව මහවීදිය සා. මරියා දේවස්ථානයේ වර්තමාන දේවස්ථානයට මේ වසරේ වසර 100යක් පිරෙනවා.
මේ දේවස්ථානවල, ඒ ඒ මීසම් වල ඉතිහාසය දැක්වෙන ප්‍රදර්ශණයක් සංවිධානය කරන්න හැකි නම් කොපමණ අගේද? මොන තරම් නම් තොරතුරු ප්‍රමාණයක් බෙදාගැනීමට හැකිද? ප්‍රදේශයේ කෙතරම් ජනතාවක් අධ්‍යාපනික වශයෙන් දැනුවත් කිරීමට හැකිද?
මා දන්නා ලෙස හැම දෙනෙක්ම එහි ඇති වැදගත්කම දකීවි. එහෙත් එහෙම දෙයක් කරන්නේ කොහොම දැයි අසාවි. මම නම් කියන්නේ සුළුවෙන්ම හිතන්න. පුළුවන් තැනින් පටන් ගන්න. ගමේ මිනිස්සුගාව ඇති පැරණි ජයාරූප, පින්තුර, පැරණි සමරු කලාප සොයාගත හැකියි. පල්ලියේ පැරණි වාර්තාත් බලන්න...කුඩාවට හෝ ප්‍රදර්ශණයක් කරන්න ඇති තරම් අමුද්‍රව්‍ය වගේම සම්පත ආදියත් ලැබේවි. එවැනි උත්සාහයක් ඇතැම්විට අර බයිබලයේ 'අබ ඇටය' ගැන දැක්වෙනවා වගේ කුඩා දෙයක් විය හැකියි. එහෙත් ඔබ එයින් ප්‍රදේශවාසීන්ට ගෙනෙන ජීවය අපමණයි... ආශ්වාදය අමරණීයයි.
අප එය මා දැනට ජීවිතවන ප්‍රදේශයේ දේවස්ථානයක පැවැති ජුබිලි ප්‍රදර්ශණයේදී අත්දකිනු ලැබූවාක්, එහි ජයාරූප සමහරක් පහතින්..
මාකස් ප්‍රියන්ත පෙරේරා
04/06/24
Negombo Dungalpitiya Pamunugama predesha wala thibu Dutch headmen system eka visthara karanna please
ReplyDelete